Showing posts with label Vikramabahu. Show all posts
Showing posts with label Vikramabahu. Show all posts

Sunday, September 8, 2019

අරාජික සමයේදී දළදා රැකි දෙමළ වේළෛක්කාර කුලී හේවායන්

පොළොන්නරුවේ දළදා මළුව ලෙසින් හැඳින්වෙන තරමක් උස් බිමක පිහිටි පූජනිය ගොඩනැගිලි කිහිපයකින්ම සමන්විත මළුවේ දැනට අටදාගෙය ලෙසින් හැඳින්වෙන ගොඩනැගිල්ල අසලින් 1903 වසරේදී H.C.P. බෙල්ට හමුවූ දෙමළ සහ ග්‍රන්ථ අක්ෂර භාවිතා කර දෙමළ භාෂාවෙන් රචිත පුවරු ලිපිය මෙරට හමුවන සෙල් ලිපි අතරින් එක් සුවිශේෂ සෙල් ලිපියක් ලෙස සැලකේ.

වේළෛක්කාර සෙල්ලිපිය ලෙසින් හැඳින්වෙන එම සෙල් ලිපිය පළමුවන විජයබාහු (ක්‍රි.ව. 1055 - 1110) රජුගේ යුගය සහ ඉන්පසු යුගයේ සමාජ දේශපාලන තත්වයන් පිළිබඳව වැදගත් තොරතුරු රැසක් හෙලිකරනවා පමණක් නොව ඒ සම්බන්ධව මහාවංශය ප්‍රධාන අනෙකුත් මූලාශ්‍ර වල දක්වා ඇති කරුණුද තහවුරු කරයි.

ලිපියේ මුල් කොටසේ අන්තර්ගතයෙන් හෙලිවන කරුණු මෙසේ පෙලගැස්විය හැක.

  • සශ්‍රීක ලංකා ද්වීපයේ සූර්ය වංශික ශ්‍රී සංඝබෝධි වර්මන් හෙවත් ශ්‍රී විජයබාහු දේවාර් රජු බෞද්ධ සංඝයාගේ ආරාධනයෙන් නොයෙක් පරසතුරන් මැඩ අනුරාධපුර නගරයට ඇතුළු වූ බව සහ බෞද්ධ ශාසනයේ චිරස්තිථිය උදෙසා උතුම් ඔටුනු පළඳා අරමණ දේශයෙන් (බර්මා හෙවත් වර්තමාන මියන්මාරය) බෞද්ධ භික්ෂූන් වැඩමවා තුන් නිකාය පිරිසිදු කල බව.
  • රජු තෙවරක්ම ඔහුගේ බරට සමාන කාසි තුන් නිකාය උදෙසා වැය කර, ලංකාව එක්සේසත් කරමින් පුරා 55 වසරක් දශ රාජ ධර්මයෙන් රාජ්‍යය විචාරමින් උපන් දින 73 සැමරූ බව ( එනම් ඔහු අවුරුදු 73 ආයු වලඳා 55 වසරක් මෙරට එකම ධජයක් යටතේ පාලනය කල බව.)
  • රජු නුවරකල් දේව සෙනෙවිරත්තාර් ලවා විජයරාජපුරම් හෙවත් පුලනාරි (වර්තමාන පොළොන්නරුව එකල හැඳින්වූ නම්) හි මහා දළදා මාළිගයක් තනවා එහි පෙර අභයගිරි මහා විහාරයේ උත්තොරුල-මූල ප්‍රධාන විහාරයේ තිබූ දළදා  සහ පාත්‍ර ධාතූන් වඩම්මවා තැන්පත් කල බව.
  • එම විහාරයේ ප්‍රථම අභිෂේකය සිදු කරන බව සහ එහි ගන්ධ කුටියේ බුදුන් වහන්සේගේ සුවිශාල සෙල්මුවා පිළිමය තිබූ බව. වාර්ෂිකව එම පිළිමයේ නේත්‍රා මංගල්‍යය සිදු කර ඇත.

සෙල්ලිපියේ ඉහත ඉදිරිපත් වන තොරතුරු  පළමුවන විජයබාහු රජු සම්බන්ධයෙන් මහාවංශයේද ඒ ආකාරයෙන්ම විස්තර වන මුත් දළදා මාළිගය තැනූ අමාත්‍යවරයාගේ නම එහි හමු නොවේ.

පළමුවන විජයබාහු සම්බන්ධ එම විස්තරයෙන් අනතුරුව සෙල්ලිපිය පිහිටුවීමේ අරමුණ විස්තර වේ. එහි සඳහන් වන්නේ උතුරුල මූල රාජගුරු මුගලන් මහතෙර රාජමාත්‍යාදීන් සමග වේළෛක්කාර ප්‍රජාවට ඉහත සඳහන් දළදා මාලිගාවේ සියලු භාරකාරත්වයන් පවරා දුන් බවයි.
අනතුරුව ඔවුන් එම දළදා මැදුර කීර්තිමත් වේළෛක්කාර තුන් පේරුවට අයත් මහා  දළදා විහාරය ලෙසින් නම් කර එය ඔවුන්ගේම පුණ්‍යායතනයක් ලෙස සලකා එහි නඩත්තු කටයුතු උදෙසා ගම්වර සහ ආරක්ෂකයන් පත් කර එම ගිවිසුම කඩ කරන ඕනෑම කටයුත්තක් වේළෛක්කාරවරුන්ට සහ මහාතන්ත්‍රයටත් (ශෛව ආගමික නිකායක් ලෙස හඳුනාගෙන ඇත.)බුද්ධ, ධම්ම, සංඝ යන ත්‍රිවිධ රත්නයටත් එරෙහි අපරාධයක් ලෙසින් සලකා කටයුතු කල බව එහි වැඩි දුරටත් සඳහන් වේ.

මෙරට ඉතිහාසයේ මහා විජයබාහු යන නමින් හැඳින්වෙන රජු පිළිබඳව සඳහන් වන්නේ ඔහු 77 වසරක සොලී පාලනයෙන් සිංහල දේශය මුදාගත් විරුවා ලෙසිනි. ඔහුගේ පාලන කාලයෙන් වසර 20 - 30 පමණ කාලයකට පසුව පිහිටවූ ලෙසින් අනුමාණ කරන මෙම සෙල්ලිපියේ සඳහන් ලෙසින් සිංහල බෞද්ධයන්ගේ මුදුන්මල්කඩ වන් දළදා සහ බුදුන්ගේ පාත්‍ර ධාතුව තැන්පත් කර ඇති විහාරයේ සියලු භාරකාරත්වයන් දෙමළ කුලී හේවායන් වන වේළෛක්කාරවරුන් හට බෞද්ධ නායක මහතෙරුන්වහන්සේ කෙනෙකු විසින්ම පවරා දීමට හේතු වූ තත්වයන් මොනවාදැයි මෙහිදී විමසා බැලීම වැදගත් වේ.
දැනට අටදාගෙය ලෙසින් හඳුන්වන වේළෛක්කාර සෙල්ලිපිය අසල පිහිටි මෙම ගොඩනැගිල්ල ලිපියේ විස්තර වන විජයබාහු රජු විසින් ඉදිකල දළදා මාළිගය ලෙසින් අනුමාණ කෙරේ. රූපයේ වම් පසින් සෙල්ලිපිය දැකගත හැක.

වේළෛක්කාරවරු 
සිය ජීවිතය පවා පරදුවට තබා රජුගේ ජීවිතය රකින බවට දිව්රා පොරොන්දු වී රජුට සේවය කරන දකුණු ඉන්දීය ද්‍රවිඩ කුලී හේවායන්ගෙන් සමන්විත වේළෛක්කාරවරු සිය ආරක්ෂාව උදෙසා මෙරට ඉතිහාසයේ මුලින්ම යොදාගත් රජු ලෙස සඳහන් වනුයේ පළමු විජයබාහු රජුය. ඔහු ඇතැම් විට ඔහුට පෙර සිටි සොලීන් මෙහිදී අනුගමනය කලා විය හැක. මෙරට තුල දේශපාලන බල අරගල වලදී විශේෂයෙන් මාළිගා කුමන්ත්‍රන අවස්ථාවන්හීදී විදේශිකයන් බැවින්  ඔවුන් රජුට අවනතව කටයුතු කරනු ඇතැයි යන විශ්වාසය එයට හේතු වූවා විය හැක. නමුත් විජයබාහු රජුටම ඔවුන් පාරාවලල්ලක් වූ සිද්ධියක් මහාවංශයේ විස්තර වේ. වරක් චෝල දේශය සමග සටන් වැදීම උදෙසා රජු සේනා සංවිධානය කරමින් සිටියදී ඒ සඳහා තමන්ටද සහභාගි වීමට සිදුවීම සම්බන්ධයෙන් උරණ වූ වේළෛක්කාරවරු රජුට එරෙහිව කැරලි ගැසූහ (වේළෛක්කාරවරුන්ගෙන් බහුතරය චෝළ දේශවාසීන් වන්නට ඇති බව මෙයින් පෙනේ.) ඔවුන් රජුගේ සෙන්පතිවරු දෙදෙනෙකුද මරා රජුගේ බාල නැගණිය සහ ඇයගේ පුතුන් තිදෙනාද ප්‍රාණ ඇපයට ගත් අතර ජීවිතය බේරාගැනීම උදෙසා රජුටද වාකිරිගලට පලා යෑමට සිදුවිය. වේළෛක්කාරවරු රජ මාළිගයද ගිනි තබා පොලොන්නරුව නගරයද කොල්ලකෑවේය. සිය යුවරජු වන වීරබාහු සමග එක්වී දරුණු සටන් කර රජුට වේළෛක්කාරවරු පැරදවීමට හැකි වූ අතර මරණු ලැබූ සෙන්පතියන්ගේ ඇටසැකිලි තැන්පත් කල චිතකය අසල වේළෛක්කාර සෙන්පතියන් බැඳ දමා හාත්පසින් ගිනි අවුලවා ඔවුන් දැව්වේය. එහෙත් විජයබාහු රජුගෙන් පසුද සියවසක් පමණ කාලයක් වේළෛක්කාරවරු කුලී හමුදා ලෙසින් සිංහල රජවරු යොදාගත් බවට තොරතුරු ඇත. නමුදු දෙවන ගජබාහු (ක්‍රි.ව. 1132 - 1153) සහ පළමුවන පරාක්‍රමබාහු (ක්‍රි.ව. 1153 - 1186) රජවරුන්ටද වේළෛක්කාරවරුන් ද්‍රෝහි වූ අවස්තා තිබූ බවට වංශ කතා තොරතුරු ඇත.

අටදාගෙය තුල ශෛලමය බුද්ධ ප්‍රතිමා කිහිපයක්ම තිබූ බවට
සාධක ඇති මුත් ප්‍රමාණයෙන් විශාල මෙම හිටි පිළිමය ඉහත
සෙල්ලිපියේ විස්තර වන පිළිමය විය හැක.
මෙවන් තත්වයක් යටතේ මහා විජයබාහු රජුගෙන් පසු අවධියේදී එවන් වූ වේළෛක්කාරවරුන් යටතට රාජ්‍යයයේ උරුමයටද වැදගත් වන දළදා,පාදා පිහිටි විහාරය පවරා දීමට හේතු වූවේ මන්ද යන්න පිළිබඳව විමසීමේදී විජයබාහු රජුගෙන් පසුව මෙරට දේශපාලන තත්වය පිළිබඳව සලකා බැලීම වැදගත් වේ. මෙයට පෙර ලිපියකින් ඒ පිළිබඳව තොරතුරු ඉදිරිපත්කර ඇති බැවින් ඒ පිළිබඳව මෙහිදී කරුණු ඉදිරිපත් කරන්නට බලාපොරොත්තු නොවේ. ඒ සම්බන්ධ පෙර ලිපිය කියවීමට Link >>

ලිපියේ සඳහන් වන මුගලන් හෙවත් මොග්ගල්ලාන තෙරුන් හඳුනාගැනීම සම්බන්ධයෙන් දීර්ඝ කරුණු දැක්වීමක් ඉදිරිපත් කරන මෙම ලිපිය H.C.P. බෙල්ට පසුව දෙවෙනිවර කියවා පරිවර්තනය කරන Z. වික්‍රමසිංහ මහතා ඒ හිමියන් පළමු විජයබාහු යුගයේ සාමනේර නමක්ව සිට පළමුවන පරාක්‍රමබාහු යුගයේ ශාසන පුනර්ජීවන කටයුතු දක්වාම සිටි මොග්ගල්ලාන ව්‍යාකරණ ග්‍රන්ථය කරවූ හිමියන් ලෙස හඳුනාගනී. ඉහත සෙල්ලිපියේ ඒ හිමියන් ව්‍යාකරණ සම්බන්ධ විශේෂ දැනුමක් තිබූ අයෙක් ලෙසද හඳුන්වා තිබීම එම හඳුනාගැනීම නිවැරදි බවට තවදුරටත් තහවුරු කරයි. එසේම වික්‍රමසිංහ මහතා මෙම ලිපිය පිහිටවූ කාලය ක්‍රි.ව 1137 ත් 1153 ත් අතර කාලය විය හැකි බවට අනුමාණ කරයි . ඒ වූ කලී බුද්ධ ශාසනය සම්බන්ධයෙන් එතරම් සැලකිල්ලක් නොදැක්වූ සහ ඇතැම් අවස්තා වලදී එයට විරුද්ධව කටයුතු කල පළමුවන වික්‍රමබාහු රජුගේ (වික්‍රමසිංහ මහතාට අනුව ක්‍රි.ව.1116 - 1137  පරණවිතාන මතය - ක්‍රි.ව. 1111 - 1132) අවසන් කාලය හෝ අනතුරුව පොළොන්නරුවේ බලයට පත්වූ එවැනිම වූ දෙවන ගජබාහු රජුගේ (වික්‍රමසිංහ මහතාට අනුව ක්‍රි.ව.1137 - 1153  පරණවිතාන මතය - ක්‍රි.ව. 1132 - 1153) මුල් කාලය වේ. (විවිධ හේතූන් නිසා බුද්ධ ශාසනය කෙරෙහි වෛරයෙන් කටයුතු කල පාලකයන් මෙකල මෙන්ම පෙර කාලයේත් සිට ඇත. පන්සලේ පිං කැටයේ එකතු වන මුදල් පවා කොල්ලකා, සංඝයා වහන්සේ 50 නමකට වඩා විවිධ හේතු මත දඟ ගෙහි ලා, අන්‍යාගමිකයන්ට රිසිසේ විහාර ඉඩකඩම් කොල්ලකෑමට සහ විනාශ කිරීමට අවස්තාව සලසා දී,ගොංජා වැනි තම හෙන්චයියන් ලවා ගරුතර සංඝරත්නයට අපහාස සිදුකර අවසානයේ කැළණි පන්සලේ ප්‍රධාන දායක කමින්ද දොට්ට දැමූ ගෙදර යාමට නියමිත බටලන්දේ අගනැති පිංගුත්තරයා සිහි කරන්න.)

එවන් අරාජික සමයන්හීදී දකුණු ඉන්දීය දෙමළ කුලී හේවායන් මෙරට පාලකයන්ට වඩා මුගලන්  තෙරුන් වැනි භික්ෂූන්ට බෞද්ධයාගේ උතුම් වෙහෙර විහාර ආරක්ෂා කිරීම සම්බන්ධයෙන් විශ්වාසී වූවා විය හැක. ඉහත සෙල්ලිපියේ සඳහන් වන පරිදි වේළෛක්කාරවරුන්, මුගලන්  හිමියන් සහ අමාත්‍යවරුන් ( එම අමාත්‍යවරුන් අනිවාර්යයෙන්ම පැවතී රජයේ අමාත්‍යවරුන් විය යුතු බවට ලිපියේ වචන වලින් ගම්‍ය නොවේ.) සමග ඇතිකරගත් ගිවිසුම තඹ සන්නසක මෙන්ම සෙල්ලිපියකද කොටවා ඉර හඳ පවතිනතුරාවට පවතින ලෙසට පිහිටවූ බව පැවසේ.
කෙසේ නමුත් මහාවංශයේ සඳහන් වන්නේ පළමුවන වික්‍රමබාහු රජුගේ කාලයේදීම රජු බුද්ධාදී තෙරුවන් සතු අයගම් පැහැරගෙන සේවකයන්ට දුන් හෙයින්ද, පොළොන්නරුවේ ධාතූන්ගෙන් අලංකාර වූ නොයෙක් විහාර විදේශික භටයන්ට වාසය සඳහා දුන් හෙයින්ද (මෙම මහාවංශ පාඨයෙන් දළදාව තැන්පත් කර තිබූ විහාරය මුගලන් තෙරුන් සහ අමාත්‍යයන් විසින් ප්‍රස්තුත සෙල්ලිපියේ ලෙසින් වේළෛක්කාර භටයන්ට පැවරීමෙන් ඔවුන් බලාපොරොත්තු වූ ආරක්ෂාව වෙනුවට සම්පූර්ණයෙන් වෙනස් දෙයක් වීද යන්න සම්බන්ධව යම් ඉඟියක් ලෙස ගත නොහැකිද යන්න මෙහිදි විමසා බැලිය යුතුය.), සැදැහැවතුන් පාත්‍රධාතුවට සහ දළදාවට පූජා කල මිණි මුතු, රන් ප්‍රතිමා ආදිය පැහැරගෙන විනාශ කල හෙයින්ද ඔහු කෙරෙහි කළකිරුණු අෂ්ටමූල විහාරවාසී භික්ෂූන් වහන්සේලා සහ පාංසුකූලික භික්ෂූන් වහන්සේලා එක්ව උතුම් දළදාව සහ පාත්‍ර ධාතුව ගෙන රුහුණට පලා ගොස් වාසය කල බවයි. ඒ අනුව මෙම සෙල් ලිපිය එම සිදුවීම් වලට පොරොතුව වික්‍රමබාහු රජුගේ කාලයේදීම පිහිටුවන්නට ඇති බවත්, ඉන් අනතුරු කාලයේදී එම ධාතූන් වහන්සේලාද රැගෙන භික්ෂූන්ගේ රුහුණට පලා යාම සිදුවන්නට ඇති බවත් සිතිය හැක.

මූලාශ්‍ර

  • University of Ceylon History of Ceylon Volume 1, Part 2, 1960.
  • Archaeological Survey of Ceylon Epigraphia Zeylanica, Volume II (1912 - 1927), Edited and Translated by D. M. de Zilva Wickremasinghe1928
  • මහාවංස 2 වෙළුම, ක්‍රි.ව. 303-1815 මාගධී පෙළ සහ සිංහල අනුවාදය, නව සංස්කාරක චන්ද්‍ර වික්‍රමගමගේ, සිංහල අනුවාදය අරුණ තලගල, 2015
  • Archaeological Survey of Ceylon Annual Report , H.C.P. Bell, 1903
  • Archaeological Survey of Ceylon Annual Report , H.C.P. Bell, 1911 -1912

Sunday, February 12, 2017

උදුන්දොර සුගලා දේවිය සොයා ගලබැද්දට....

සොළී බලසෙන් මැඩ ලක්දිව එක්සේසත් කල මහා විජයබාහු (ක්‍රි.ව. 1055-1110) රජතුමාගේ මරණින් පසු ඔහුගේ නැගණිය වූ මිත්‍රා, සිය පුතුන් තිදෙනා, අනෙකුත් රදළයන් සහ අෂ්ට විහාර වාසී භික්ෂුන් සමග එක්වි රුහුණේ වසන්නාවූ විජයබාහු රජුගේ පුත් වූ වික්‍රමබාහු ඈපාණන්ට රජු මල බව නොදන්වා, යුව රජ වූ ජයබාහු (ක්‍රි.ව. 1110-1111) හට රාජ්‍ය පවරා, උපරාජ පදවියට මිත්‍රා දේවියගේ පුත් වූ මාණාබරණ පත් කලහ. ඉක්බිති මාණාබරණ සිය සොහොයුරන් දෙදෙනා හා ජයබාහු රජු සමග සියලු සේනා ගෙන වික්‍රමබාහු හා සමග යුද වැදීම සදහා පුලත්ථි නගරයෙන් (පොළොන්නරුවෙන්) නික්මුණහ. වික්‍රමබාහු ඈපාණන්ද පියා මල බව සැලවී මහානාගහුල සිට සිය සේනාවද සමග ඔවුන් හා සටන් වැදීමට පුලත්ථි නගරය කරා එන අතරේ ගුත්තහාලා මඩුල්ලේ පණසබුක්ක නම් ගම්හී ඔවුනොවුන් හා යුද වැදුනහ. මෙහිදි එම සටනින් පැරද පලා යන මාණාබරණ හා ජයබාහුගේ ගේ සේනාව සමග වික්‍රමබාහු සටන් වැදුන ස්ථාන ලෙස මහාවංශය පිළිවෙලින් ආදිපාද ජම්බු, කටගාම, කාලවාපි, උද්ධානද්වාර සහ අවසානයේ පණ්කවෙලක යන තැන් සඳහන් කරයි.
කැසිකිලි ගලක්- ගලබැද්ද පොකුණ
මෙහි සඳහන් වන ගුත්තහාල මණ්ඩල යන්න වර්තමාන බුත්තල අවට ප්‍රදේශය ලෙස හඳුනා ගෙන ඇත (ගුත්තහාල >ගුත්තල>බුත්තල). පෙළ බසින් පණා යනු කොස් ලෙස ගත් කල පණසබුක්ක හා පණ්කවෙලක ලෙස මෙහි සඳහන් වන්නේ මොණරාගලට දකුනින් පිහිටි කොස්ගොඩ විය හැකි බව C.W. නිකලස් අදහස් කරයි (එහෙත් එකම පෙදෙසකට එකම අවස්තාවේ නම් දෙකක් ව්‍යවහාර වන්නේ මන්ද යන ප්‍රශ්නය මෙහිදී පැන නැගේ.). ආදිපාද ජම්බු ප්‍රදේශය වර්තමානයේ මොණරාගලට උතුරින් පිහිටි දඹගල්ල විය හැක (පා: ජම්බු = සිං: දඹ). මෙහි සඳහන් කාලවාපි යනු අනුරාධපුර ආසන්නයේ ඇති කලා වැව නොව වෙනත් අවස්ථා කිහිපයකදීමත් රුහුණේ  කාලවල්ලිමණ්ඩප, කාලවල්ලික මණ්ඩප ලෙසින් හැඳින්වෙන බුත්තලට ආසන්නව පැවති වෙනත් පෙදෙසක් ලෙස මත ඉදිරිපත් වී ඇත (මහා පරාක්‍රමබාහු රජු රුහුණේ කාලවල්ලි වැව පිලිසකර කල බව පැවසේ. එසේම පූජාවලියට අනුව කාවන්තිස්ස රජතුමන් රුහුණේ කළු මුහුදු විහාරය ඉදි කර ඇත.) මේ හඳුනාගැනීම් නිවැරදි නම් උද්ධානද්වාර නමින් හැඳින්වෙන පෙදෙසද මොණරාගල අවටම විය යුතු බව පෙනේ.
කාන්තා රූපයක් - ගලබැද්ද පොකුණ
සටනින් ජයගන්නා වික්‍රමබාහු (ක්‍රි.ව. 1111-1132) පුලත්ථි නගරයට ගොස් එහි සිට රජරට බලය පිහිටුවා ගන්නා අතරතුරෙහිදි මාණාබරණ ඇතුලු 'සහෝදර සමාගම' දක්ඛිණ දේශයේ සහ රෝහණයේ බලය අල්ලාගනී. ඉන්පසු එක් සොහොයුරෙකු වූ කිත්සිරිමේඝ හට ද්වාදසසහස්සක පෙදෙස (දොළොස්දහස් රට) බාර කරන අතර ඔහු එහි මහානාගහුල (වර්තමාන අම්බලන්තොට රම්බා විහාරය පිහිටි පෙදෙස මහානාගහුල ලෙස හඳුනාගෙන ඇත.) නගරයේ සිට පාලනය මෙහෙයවයි. අනෙක් සොයුරා වන සිරිවල්ලභ හට අට්තසහස්ස පෙදෙස (අටදහස් රට) සිටින ලෙසට පවසන අතර ඔහු පෙර සඳහන් කල උද්ධානද්වාර ග්‍රාමය රාජකීය නගරය බවට පත්කර ගනිමින් එහි සිට එම පෙදෙස පාලනය කරයි. දක්ඛිණ දේශය බලා යන මාණාබරණ එහි පුණ්ඛගාමයේ (මේ කෑගල්ල දිස්ත්‍රික්කයේ පිහිටි දැදිගම ලෙස පරණවිතාන මහතා හඳුනාගනී) සිට විරබාහු යන නමින් එම පෙදෙසේ බලය පතුරුවයි. මිත්‍රා දේවිය සහ ජයබාහු කිත්සිරිමේඝ සමග මහානාගහුලම නවතී.
මෙම පාලකයන් සිව් දෙනාගේ පාලන කාලය තුල උසස් කුලවතුන් පිරිහෙලූ බවත්, හීන වූ ස්වාභිමානී ජනයන් මහත් තන්හී තැබූ බවත්, බුදුසස්න පිරිහෙලූ බවත්, උතුම් කුලවත් මිනිසුන්ගේ කිසිදු දොසක් නැතිව වුවද ඔවුන්ගේ ධනය බලහත්කාරයෙන් ගත් බවත්, අධික බදු පණවමින් ජනයා උක් යන්ත්‍රයක ලූ උක්දඬු සේ මිරිකූ බවත් වංශ කතාව පවසයි.[එම තත්වය කොතරම්  දුරට අදටත් ගැලපේද?] යුව රජ කමට සුදුසුකම් ලත් වික්‍රමබාහු වෙනුවට පැත්තක සිටි මාණාබරණ යුව රජු කර ඔහු යටතේ රූකඩ පාලකයෙක් ලෙස සිටීමට කැමැති වූ ජයබාහුගේ සහ පාණ්ඩ්‍ය රජ කුමරුවෙකුගේ බිසව වූ මිත්‍රා දේවියගේ කුමන්ත්‍රණය එසේ අවසාන වන්නේ මහා විජයබාහු රජු එක්සත් කල දේශය නැවතත් කැබැලි වලට කැඩී, පාලකයන් ජනයා පෙලමින් ඔවුනොවුන් හා සමගද කුලල්කාගන්නා අන්දමින්ය.
පාර්ලිමේන්තුවේ බහුතරය සහිත අගමැති සිටියදී සදාකාලික පරාජිතයෙක් අගමැති කර ඔහු යටතේ රූකඩයක් වී ඇති පාලකයෙක් වර්තමානයේද සිටි. මිත්‍රා බිසව ලෙසින්ම ඔහුට උපදෙස් දීමට චෞර රැජිනක්ද පසු පසින් සිටී.නායක මට්ටමේ චීවරදාරීන්ද ඔවුන් පසු පස සිට දැන් 'අතන මෙතන රතන' වන අතර එකෙකු අපා ගත විය. වසර 30 කට පසු ශ්‍රේෂ්ඨ නායකයෙක් නැවත එක්සත් කල දේශය නැවතත් බෙදා වෙන් කරලීමේ ඉමට පැමිණ ඇත. ඉතිහාසය නැවත නැවතත් එලෙසින්ම සිදුවනවාද? කෙසේ නමුත් අපගේ අවධානය මෙහිදී ප්‍රධාන වශයෙන් යොමු වන්නේ ඉහත කී උද්ධානද්වාර රාජධානිය පිහිටි පෙදෙස හඳුනාගැනීම සඳහා වන හෙයින් වංශ කතා වල ඒ හා සම්බන්ධ පසු කාලීන වාර්තා වෙත යොමු වෙමු.
රජමාලිගයේ නටබුන් වලට නුදුරින් ඇති තහවුරු නොකල ගොඩනැගිල්ලක් 
මෙසේ බෙදී වෙන් වූ ලක්දිව නැවත එක්සේසත් කිරීම සිදුවන්නේ දක්ඛිණ දේශයේ පාලකයා වූ මාණාබරණ ගේ පුත් වූ පරාක්‍රමබාහු කුමරා වෙතින්ය. වංශ කතාවට අනුව දක්ඛිණ දේශයේ පාලකයා වූ මානාබරණගේ මරණින් පසු දොළොස්දහස් රටේ සිටි කිත්සිරිමේඝ දක්ඛිණ දේශයේ පාලකයා වන අතර, අටදහස් රටේ උද්ධානද්වාර නගරයේ සිටි සිරිවල්ලභ අටදහස් සහ දොළොස්දහස් යන දෙරටම ඇතුලත් මුලු රෝහයේම බලය ඔහුට නතු කර ගෙන සිය අගනුවර ලෙස මහානාගහුල තෝරාගනී. සිරිවල්ලභගේ මරණින් පසු ඔහුගේ පුත් මාණාබරණ 2 (ඉහත මාණාබරණ හා පටලැවීම වැලක්වීමට මෙතැන් සිට ඔහු මාණාබරණ 2 ලෙස දක්වමු) අතට රුහුණේ පාලනය මාරු වෙයි. [මෙහිදී මහා නදී, වන නදී ආදී නම් වලින් මහාවංශයේ හැඳින්වෙන වර්තමාන වලවේ ගඟෙන් නැගෙනහිර පෙදෙස පහල ඌව පෙදෙසද ඇතුලත්ව අටදහස් රට ලෙසත් (එනම් ගම් 8000 වූ රට) වලවේ ගඟින් බටහිර ගම් 12000 කින් යුක්ත වූ පෙදෙස දොළොස්දහස් රට ලෙසත් එහි අගනුවර මහානාගහුල හෙවත් මානාවුළු පුරවරය බවත් හඳුනාගෙන ඇත.]
කිත්සිරිමේඝගේ මරණින් පසු දක්ඛිණ දේශයේ පාලනය බාර ගන්නා පරාක්‍රමබාහු කුමරු, වික්‍රමබාහුගේ මරණින් පසු රජරට පාලකයා වන ඔහු පුත් ගජබාහු (ක්‍රි.ව. 1132-1153) හා රුහුණේ පාලකය වූ මාණාබරණ 2 එකිනෙකාගේ ප්‍රදේශ අල්වාගැනීම සඳහා ඔවුනොවුන් අතර වූ දීර්ඝ හා වෙහෙසකර  සටන් පෙලකින් පසුව ගජබාහුගේ ස්වභාවික ව සිදුවූ මරණින් අනතුරුව පරාක්‍රමබාහු කුමරා අවසානයේ  රජරටද ඔහුගේ අනසක යටතට පත් කරගනී. ගජබාහු හා පරාක්‍රමබාහු අතර සංඝයා මැදිහත් වීමෙන් මණ්ඩලිගිරි විහාරයේ (වර්තමාන මැදිරිගිරිය) ඇති කරගත් ගිවිසුමට අනුව ගජබාහුගෙන් පසු රජරට සිහසුන පරාක්‍රමබාහුට (ක්‍රි.ව. 1153-1186) අයත් විය යුතු වූ මුත් මේ කාලය වන විට රාජ්‍යයේ සංකේතය බවට පත්ව තිබූ දන්ත ධාතුව සහ පාත්‍ර ධාතුව හිමිව තිබූ රුහුණේ මාණාබරණ 2 සහ පරාක්‍රමබාහු අතර නැවතත් සිවිල් යුද්ධයක් ඇති වන අතර ඉන් පැරදි රුහුණට පලා යන මාණාබරණ 2 එහිදි මිය යෑමෙන් පසු දන්ත ධාතුව සහ පාත්‍ර ධාතුව ලබාගැනීම උදෙසා නැවතත් මාණාබරණගේ මව වූ සුගලා දේවිය සහ පරාක්‍රමබාහු අතර රුහුණේ සටන් ඇවිලේ.
වතුර ඇතුළුවීමට ඇති නල මාර්ග - ගලබැද්ද පොකුණ
ඒ සඳහා පරාක්‍රමබාහු රජුගේ රක්ඛ නම් වූ සෙනෙවියා පොළොන්නරුවෙන් නික්ම බරබ්බල (වර්තමාන මයියංගණය අසල විය හැක.) කණ්ඨකවන, අම්බලල, සැවැ යන බලකොටු යටත් කරගනිමින් ගොස්  දිවාචන්දන්තාබාට නම් වූ වනගත නිම්නයේ වූ බලකොටුව අසලට පැමිණි කල්හි දෙපිරිස  අතර දරුණු සටන් ඇති විය. මෙම ගමන් මාර්ගය වර්තමාන මයියංගණය -ඌරණිය-බිබිල මාර්ගය ඔස්සේ වැටි තිබෙන්නට ඇතැයි කොඩ්රිංටන්  මහතා අනුමාන කරන අතර වර්තමානයේ හෑපොල ලෙසින් හැඳින්වෙන ප්‍රදේශය ඉහත කී දරුණු සටන් සිදුවූ වන දුර්ග සහිත නිම්නය ලෙස හඳුනාගනී. මෙහිදී රක්ඛගේ සහයට භූත නම් වූ සෙනෙවියාද බල පිරිස් සමග එක්වන අතර එම ස්ථානය යටත් කර ගැනීමෙන් පසු ඔවුන් කිම්සුඛවත්තුක, වටරක්ඛතලි, දාථාවඩ්ධන යන බලකොටු යටත් කරගනිමින් ගොස් සහෝදර නම් ගම්හි (බිබිල අසල ලෙස සැලකේ) මහා යුධ කොට එතැන් සිට සතුරු බල මුලු මගින් පැත්තකින් එල්ල වන ප්‍රහාර  (Flank attacks) වැලැකීමට රක්ඛ සෙනෙවි තෙමේ ලෝකගල්ල (වර්තමාන ලොග්ගල් ඔය නිම්නය) ඔස්සේ ගොස් නැවතත් සේනා දෙක එක්වී මජ්ජිමගාම ( බිබිල-මොණරාගල මාර්ගයේ ඇති මැදගම ) සහ කණ්ඨකද්වාරවාත (දඹගල්ල අසල කටුපැලැල්ල ) යන බලකොටු යටත් කරගනිමින් ගොස් සුගලා දේවී විසූ උද්ධානද්වාරය වෙත ලගාවේ.
ගලබැද්ද පොකුණ ඉදිරිපසට පෙනෙන කඳු වැටිය
සුගලා දේවිය දළදා සහ පාත්‍ර ධාතු රැගෙන උරුවෙලා  (වර්තමාන ඇතිමලේ ) පෙදෙසට පලා යන අතර ඉක්බිති දීඝවාපි පෙදෙසේ ඇතිවන ගැටුම් නැවතත් උද්ධානද්වාර දක්වා පැතිරී එහි දරුණු සටන් ඇතිවේ. වංශ කතාව විස්තර සහිතව දීර්ඝ ලෙස විස්තර කරන මින් පසු ඇතිවූ සටන් වලදි දළදා සහ පාත්‍ර ධාතු පරාක්‍රමබාහු රජු ලබා ගන්නා අතර අවසානයේ සුගලා දේවියද ජීවග්‍රහයෙන් අල්වා ගනී. රුහුණේ සුගලා දේවිය සමග සටන් වැදුනු නායකයන් සමූලඝාතනය වන අතර වනගාම හිදී සිදුවූ අවසන් සටනින් පැරද නැවතත් උද්ධානද්වාර සහ නිග්‍රෝධ-මාරගල්ල වෙත පලා එන ඇතැම් සෙනෙවියන්ද මරා දමා හෝ අල්වාගෙන රුහුණේ ප්‍රභූ පරපුර නැවත නැගී නොසිටින ලෙසට විනාශ කර දමනු ලබයි. [මෙහි සඳහන් වන නිග්‍රෝධ-මාරගල්ල  මොණරාගල කඳු වැටියේ මරගල ලෙස කොඩ්රිංටන් හඳුනා ගනී.]
ගොඩනැගිල්ලක ගඩොළු පාදමක්
පාළි මූලාශ්‍ර වල උද්ධානද්වාර ලෙසින් හැඳින්වෙන ප්‍රදේශය පිළිබඳ හෝඩුවාවක් කුරුණෑගල යුගයේ  රචනා කල දළදා පූජාවලියෙන් ලැබේ. රුහුණු උඳුන්දොර අමරගිරි පර්වත සමීපයේ සුරක්ෂිත කර තිබූ දළදා, පාත්‍ර ධාතුන් මහළු පරාක්‍රමබාහු රජතුමන් චතුරාංගනී සේනාව යවා පොළොන්නරු පුරවරයට ගෙන්වා ගත් බව එහි සඳහන් වේ. මොණරාගල ලෙස වර්තමානයේ හැඳින්වෙන කන්ද පෙර කල අමරගිරි ලෙස හැඳින්වූ බවට බිබිලේ රටේ මහත්තයා විසින් තහවුරු කල බවත්, ඒ අනුව උදුන්දොර යනු වර්තමානයේ මොණරාගල පාමුල ගලබැද්ද ලෙස හඳුන්වන නටබුන් වූ මාලිගයක් සහ පොකුණක් සහිත ප්‍රදේශය බවත් කොඩ්රිංටන් හඳුනාගනී. තවමත් කැනීම් කර සංරක්ෂණය කර නොමැති මෙහි මාලිගයේ සැලැස්ම පොළොන්නරුව සහ පඬුවස්නුවර ඇති පොළොන්නරු යුගයේ රජ මාලිගා වල සැලැස්මට සමාන වන මුත් ප්‍රමාණයෙන් ඒවාට වඩා කුඩාය. මාලිගයේ නටබුන් වලට නුදුරින් ඇති 'කෙල්ලන්ගේ වල' නමින් හැඳින්වෙන සංරක්ෂණය කර ඇති පොකුණ පොළොන්නරු යුගයේ ගෘහනිර්මාණ ලක්ෂණ වලින් යුක්ත වේ.
සුගලා දේවිය සොයා රක්ඛ සෙනෙවියා ගිය මාර්ගය ඔස්සේ අසූව දශකයේ වන මන් පෙත් ඔස්සේ දුෂ්කර ගමනක යෙදී සිය අත්දැකීම් විචිත්‍ර ලෙස ඉදිරිපත් කල ලාලා ආදිත්‍ය මහතා සිය කෘතියේ තම රාජධානිය අත්පත් කරගැනීමට ලග ලග එන රක්ඛ හා භූත සෙනවියන් ප්‍රමුඛ සේනාව හමුවේ උදුන්දොර මාලිගයේ සිටි සුගලා දේවියගේ මුවට නැන්වූ මෙම පැදියෙන් මෙය අවසන් කරමු.

"I have swayed troublous councils,
                                        I am wise in terrible things;
Father and son and grandson,
                                        I have known the hearts of the Kings.
Shall I give thee my sleepless wisdom,
                                       or the gift all wisdom above?
Ay, we be women together-
                                      I give thee thy people's love."

බලසම්පන්න තරුණ පරාක්‍රමබහු සමග රුහුණු රටේ උරුමය උදෙසා අභීත සටනක් ගෙන ගිය සුගලා දේවියත් සමග රුහුණු ප්‍රභූ පරපුර හමාර වේ. එහෙත් එහි වන්දි ගෙවන්න්නට සිදුවන්නේද අනාගත රජරට ප්‍රභූ පරපුරටමය. පෙර කල අනුරාධපුර රාජධානී සමයේ මෙන් පර සතුරු උවදුරු හමුවේ නැවතත් සිංහල ජාතියේ ස්වාධීනත්වය නගා සිටුවීමට රුහුණෙන් මතු වී සටන් කිරීමට නායකත්වයක් ඉතිරි වී නොතිබුණි. ශ්‍රේෂ්ඨ සභ්‍යත්වයක අභිමානයද එයට සමගාමීව කෙමෙන් වියැකී ගොස් පසු කාලයකදි බටහිර ආක්‍රමණිකයන්ට නතු විය.

මූලාශ්‍ර
  • මහාවංශය සිංහල - බෞද්ධ සංස්කෘතික මධ්‍යස්ථානය.
  • Chulavamsa, Being the more recent part of the Mahavamsa, Translated by Wilhelm Geiger And from the German into English by C. Mabel Rickmers, 1929
  • University of Ceylon History of Ceylon Volume 1, Part 2, 1960.
  • පැරණි ස්මාරක නාමාවලිය, සංස්කෘතික අමාත්‍යාංශය 1972
  • Nicholas C.W. 1963, Historical Topography of Ancient and Medieval Ceylon, Journal of the Ceylon Branch of the Royal Asiatic Society, New Series, Volume VI, Special Number. 
  • දළදා පූජාවලිය
  • Search For Sugala, Lala Adithiya, 1980