Saturday, October 20, 2018

කාශ්‍යප හිමි වැඩ සිටි ගුරුළු පර්වතය H.C.P. බෙල් සීගිරිය කලාද?

මෙරට නමට සිංහලයන් වන බහුතරය සිංහලයන්ගේ ප්‍රෞඩ ඉතිහාසය බොහෝ දුරට විශ්වාසවන්ත ලෙසින් (අපක්ෂපාති ලෙස නොවේ. අපක්ෂපාති ලෙස ඉතිහාසය සටහන් කරන්නන් ලොව නැත.) ග්‍රන්ථාරූඩ කර ඇති  මහාවංසය කියවා නැත. පාසලේ ඉතිහාසය එහෙන් මෙහෙන් උගන්වන කාලයක සිය මූලික අධ්‍යාපනය ලද පරපුරකට අයත් නම් ඔවුන් ලද ඉතිහාස දැනුම එපමණය. ඉතිහාසය, සාහිත්‍යය කන්නදැයි විමසූ පාලකයන් සිටි අවධියක පාසැල් ගියේ නම් ඒ ටිකද නැත. එවන් ජාතියක් උඹලාගේ ඉතිහාසය මෙන්න මේකයි කියා ඕනෑම ප්‍රබන්ධ කතාවකින් මුලා කරලිය හැක. බුදු හිමි ලංකාවේ සිටි බවත්, සීගිරිය යනු කාශ්‍යප තෙරණුවන් වැඩසිටි කුක්කුට පර්වතය බවත් එහි දැනට පා යුගලක නටබුන් ඇත්තේ කුක්කුට හෙවත් ගුරුලාගේ මිසක (ඇත්ත වශයෙන්ම කුක්කුට යනුද කුකුළා මිසක ගුරුලා නොවේ.) සිංහයකුගේ නොවන බවටත් ආදි වශයෙන් "කතාන්දර" ගොතා එවන් සාතිශය බහුතරයකට ඇඟේ මයිල් කෙලින් වෙන ආකාරයේ අත්භූත ඉතිහාසයක් මවා පෙන්වීම අතිශයෙන්ම සරලය. එමගින් එම "කතාන්දර පප්පලාට" පොරවල් විය හැක. අවශ්‍ය නම් පොතක් දෙකක් පලකර ආර්ථික ප්‍රතිලාභද අත්කර ගත හැක.

සීගිරියේ එහි උතුරු දිශාවෙන් සිංහයෙකුගේ රූපයක් සහිතව ගල මතු පිටට නැගීමට හිණි පෙලක්  තිබූ බවට මහාවංශයෙහි සහ සීගිරි කුරුටු ගී වල කියැවෙන බව මෙයට පෙර පළ කල ලිපියෙන් කරුණු දැක්වූවෙමි. Link>>  එහෙත් සීගිරිය පිළිබඳව වන ඉහත යාන් හෑල්ල ලියූ පුද්ගලයන් සහ පසුව එය ඔසවාගෙන යන අන්ද භක්තිකයන් මතු කරන මේ පිළිබඳව වන ප්‍රධාන සහ එකම කරුණ (Fact) වනුයේ සීගිරියේ දැනට දක්නට ලැබෙන ආකාරයට සිංහ පාදයේ "ප්‍රමුඛව" ඇඟිලි තුනක් පමණක් පිහිටා තිබීමය. එම යාන් හෑල්ලේ ඉතිරි සියල්ලම පොදු ව්‍යවහාරයේ භාවිතා වන ලෙසට නම් "අතේ රෝල්" මිසක අන් යමක් නොවේ.
යාපහුවේ සිංහ රූපය
Panthera leo sinhaleyus
ඓතිහාසික යුගය තුල සිංහයන් මෙරට ස්වභාවික වනාන්තර තුල ජීවත්ව සිටි බවට කිසිදු සාධකයක් හමු වී නැත. එමෙන්ම අශ්වයන් මෙරටට ගෙන්වූ ආකාරයට අසල්වැසි භාරතීය පෙදෙසකින් හෝ වෙනත් එවැනි විදේශ රටකින් සිංහයන් මෙරටට ගෙන ආ බවටද කිසිදු වංශ කතා හෝ සෙල් ලිපි සාධකයක්ද හමු නොවේ. Panthera leo sinhaleyus ලෙසින් නාමකරනය කර ඇති සිංහ විශේෂයක් මෙරට සිටි බවට හමු වී ඇති එකම සාධකය රත්නපුරයේ මැණික් පතලකින් හමු වූ සිංහයෙකුට අයත් බවට P.E.P. දැරණියගල මහතා විසින් හඳුනාගෙන ඇති සිංහ දත පමණි. කුරුවිට ප්‍රදේශයේ පොළව මතු පිට සිට අඩි 19 යටින් ඉල්ලම් පසට උඩින් 1936 වසරේදී හමු වූ මෙම දත ඉල්ලම් පස් සමග මිශ්‍ර වී තිබීම නිසා කාල නිර්ණය කල නොහැකි මුත් Pleistocene යුගයට අයත් බවට අනුමාණ කෙරේ. ( P.E.P. දැරණියගල මහතා කුරුවිට ප්‍රදේශයේම මැණික් පතලකින් අඩි 20 යටින් මෙම සිංහ වීශේෂයටම අයත් තවත් දතක් 1947 වර්ෂයේදී හමුවූ බව පවසා ඇති මුත් කැළුම් මනමේන්ද්‍ර-ආරච්චි මහතා පවසන්නේ මෙම විශේෂය මෙරට සිටි බවට ඇති එකම සාධකය දැනට බ්‍රිතාන්‍යයේ ස්වහාව විද්‍යා කෞතුකාගාරයේ තැන්පත් කර ඇති ඉහත දත පමණක් බවය.)

මේ අනුව මෙරට සිංහ මූර්ති කැටයම් කල ශිල්පීන් දේශිය පුද්ගලයන් නම් ඔවුනට ජීවමාන සිංහයෙකුගේ හැඩරුව දැක ගැනීමට තිබූ හැකියාව අල්ප බව පෙනේ.
පොළොන්නරුවේ නිශ්ශංකමල්ල රාජ සභා මණ්ඩපයේ දැකිය හැකි සිංහ රූපය
තාත්වික නොවන රජරට සිංහයන්
තවද මෙහිදී පැවසිය යුතු තවත් එක් වැදගත් කරුණක් වනුයේ පුරාණ සහ මධ්‍යතන යුගයට අයත් මෙරට හමුවන සියළුම සිංහ රූප කැටයම් සහ මූර්ති තාත්වික ශෛලයකින් නෙලා නොමැති බවය. සිංහයා ට අමතරව බහුලව හමුවන අනෙක් සිව්පා (ක්ෂීරපායී) සතුන් තිදෙනා වන අශ්වයා, ගවයා සහ අලියා සමග සංසන්දනය කිරීමේදී මෙය කැපී පෙනෙන වෙනසක් වන්නේ බොහෝ විට එම සතුන් සිංහයා මෙන් ශෛලිගතව නොව තාත්වික ශෛලියකින් නෙළා තිබීමය. එම ලක්ෂණය මෙරටට පමණක් නොව අසල්වැසි ඉන්දියාවේ සිට චීනය දක්වා රටවල් වල හමුවන පැරණි සිංහ මූර්ති සහ කැටයම් වලටද බොහෝ දුරට අදාල වේ. මේ සමග පළවන යාපහුවේ සහ පොළොන්නරුවේ නිශ්ශංකමල්ල රාජ සභා මණ්ඩපයේ හමුවන ගලින් කල සිංහ රූප දෙස බැලීමෙන් එම සිංහ රූප ජීවමාන සිංහයකුගේ විලාශය නොදක්වන බව වටහා ගත හැක (එහෙත් එම සිංහ රූප වල ප්‍රමාණයන් [Proportions] බොහෝ දුරට නිවැරදිව නෙළා ඇති බවද මෙහිදි සඳහන් කල යුතුය.)

ශෛලිගත සිංහ රූපයක පා වල ඇඟිලි ප්‍රමාණයන් ආදිය නිවැරදි විය යුතු නැති බවට අමුතුවෙන් පැවසිය යුතු නොවේ.
නිශ්ශංකමල්ල රාජ සභා මණ්ඩපයේ ඇති සිංහයාගේ පාද
පොළොන්නරුවේ සහ යාපහුවේ සිංහයන්ගේ ඇඟිලි ගණන
වෙනත් පැරණි සිංහ රූප වල සිංහයාගේ ඉදිරි පාදයේ ඇති ඇඟිලි පිළිබඳව විමසා බැලූ විට පෙනී යන්නේ පොළොන්නරුවේ නිශ්ශංකමල්ල රාජ සභා මණ්ඩපයේ තිබෙන සිංහයාගේ ඉදිරි පාදයේ ප්‍රමුඛව දැකිය හැක්කේද ඇඟිලි 3 ක් පමණක් වන බවය. මේ සමග ඇති රූපයේ දක්වා ඇති ලෙසට එම සිංහ රූපයේ වම් පාදයේ ඇඟිලි තුනක් පමණක් දැකිය හැකි අතර දකුණු පාදයේ ඉදිරිපසට වන්නට දක්නට ඇත්තේද ඇඟිලි තුනක් පමණි. එහෙත් තරමක් පසු පසට වන්නට තවත් ඇඟිල්ලක් පැහැදිලිව එම දකුණු පාදයේ පමණක් දැකිය හැක (කාලයත් සමග සැලකිය යුතු මට්ටමින් විඛාදනය වී ඇති මෙම පාද එහි මුල් ස්වරූපයෙන් අද දැකිය නොහැක. වම් පාදයේ අමතර ඇඟිල්ල තිබූ කොටස මේ වන විට ගැලවී ගොස් ඇතිවා විය හැක.)

යාපහුවේ සිංහයාගේද පාද එහි මුල් ස්වරූපයට වඩා බෙහෙවින් ගෙවී ගිය ලෙසින් අද දැකිය හැකි මුත් ඇඟිලි හතරක් තිබූ බව විමසිල්ලෙන් බැලූ විට දැක ගත හැක. යාපහුවේ සිංහ රූපයේ ඇඟිලි වල නියපොතු සීගිරියේ සහ පොළොන්නරුව නිශ්ශංකමල්ල රාජ සභා මණ්ඩපයේ සිංහයාගේ මෙන් ඉදිරියට නෙරා ගොස් නොමැති අයුරුන් නෙළා ඇත (සිංහයන්ගේ නිය පූසන්ගේ මෙන් ඇඟිලි අතර සැඟවී ඇති බවත්, එහෙයින් සීගිරියේ පාද සිංහයකුගේ නොව පක්ෂියෙකුගේ බවටත් තර්ක කරන රාවණ බ්‍රෝ ලාගෙන් මෙහිදී ඇසිය යුත්තේ එතකොට පොළොන්නරුවේ සිංහයා පක්ෂියෙක්ද කියාය.)
සීගිරිය දකුණු සිංහ පාදය - වම් කෙලවරේ ඇති පස්වන ඇඟිල්ල බලන්න
ඇත්ත වශයෙන්ම සිංහයෙකුගේ ඉදිරි පාදයේ ඇඟිලි 5 ක් ඇති අතර පසුපස පාද වල ඇත්තේ ඇඟිලි 4 ක් පමණි Link>>. ඉදිරි පාදයේ එක් ඇඟිල්ලක් අනෙක් ඇඟිලි හතර සමග පොළොවට ස්පර්ශ නොවී පාර්ශවිකව මදක් ඉහලින් පිහිටා ඇත (Dewclaw බල්ලෙකුගේ පාද වලද මේ ලක්ෂණය දැකිය හැක.) බොහෝ දෙනෙකුගේ අවධානයට ලක් නොවන මුත් සීගිරියේ සිංහ පාදයේද මෙම 5 වන ඇඟිල්ල දැකිය හැක (මේ සමග පළවන ඡායාරූප බලන්න.) ඒ අනුව මෙහිදී ඉදිරිපස ඇඟිලි තුනක් පමණක් දැනට දැකිය හැක්කේ ඇයිද යන පැණය නැවතත් මතුවේ.
පස්වන ඇඟිල්ල
ඇතැම්විට මුල් නිර්මාණයේ ඇඟිලි තුනක් සහ පාර්ශ්වික ඇඟිල්ල පමණක් තිබුනා වන්නට ඉඩ ඇත. එහෙත් පහත දක්වා ඇති ඡායාරූප දෙස වුවද විමසිල්ලෙන් බැලූ විට පෙනී යන්නේ සිව්වන ඇඟිල්ලක් නෙලීමට අවශ්‍ය ඉඩකඩ එම පාද වල දැනටද දැකිය හැකි බවයි. එසේම ඇතුලට වල ගැසුනු කොටසක් සීගිරියේ සිංහ පාද වල (වම් සහ දකුණු පාද) පිටත පැත්තේ දැකිය හැක.  දකුණු පාදයේ ඉදිරි ඇඟිලි සහ 5 වන ඇඟිල්ල අතර පිටතට නෙරා ගිය ගඩොල් කොටසක්ද දැකිය හැකි බවද මෙහිදි පෙන්වා දිය හැක.ඒ අනුව ඇතැම් විට එම ඇඟිල්ල මුලදී තිබී පසු කලක විනාශ වූවා විය හැක.
සීගිරිය වම් සිංහ පාදය - දකුණු කෙලවරේ ඇති පස්වන ඇඟිල්ල බලන්න
සිංහයා පක්ෂියෙකු කලේ කවුද?
යාන් හෑලි ලියන රාවණ බ්‍රෝලාගේ බයිලා වල කියැවෙන අන්දමට නම් 1890 ඉතා අපහසුවෙන් සිංහ පාදය අසලට නැගගත් H.C.P. බෙල් එය දැක තුෂ්ණිම්භූත වී ඇත. ඇත්ත කතාව නම් එම සිංහ පාද කැනීම් මගින් H.C.P. බෙල් මහතා මතු කර ගන්නේ 1908 දී බවය. එතෙක් එම සිංහ පාද සහ පියගැටපෙල එහි ඉහලින් පිහිටා තිබූ සිංහයාගේ ඉතිරි කොටස සහ වෙනත් ගොඩනැගිලි ආදියේ කඩා වැටීමත් සමග එක්වූ සුන්බුන් වලින් සම්පූර්ණයෙන්ම වැසී ඒවා මත ශාක වැවී තිබී ඇත. දැනට සිංහ පාදය තිබෙන ස්ථානය සහ ඒ අවට තනිකර පස් ගොඩැල්ලක් ලෙසට විනා සිංහ පාදයක් ලෙස දිස්වී නැත.

 අද සිංහ පාදයේ දක්නට ඇති කපරාරුව සහ එයින් පැහැදිලිව මතු කර ඇති නිය පසු කාලීන සංරක්ෂණ ක්‍රියාදාමයන්හි ප්‍රතිඵල විනා ඒවායේ මුල් ස්වරූපය නොවන බව පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ 125 වන සංවත්සරය වෙනුවෙන් එම දෙපාර්තමේන්තුව මගින් පළකල ඔවුන් සතුව ඇති පැරණි ඡායාරූප එකතුවේ දැක්වෙන ඡායාරූපයකින්ද පැහැදිලි වේ. (නීතිමය හේතුන් මත එම ඡායාරූපය මෙහි පළකල නොහැකි බව සලකන්න.) දකුණු පාදයේ පියගැටපෙල දෙසට වන්නට පිහිටි නිය කොටසේ සුළු පෙදෙසක කපරාරුව හැරෙන්නට එම ඡායාරූපයට අනුව සිංහ පාදයේ ඉතිරි කොටස් වල දැකිය හැක්කේ මතුවී පෙනෙන ගඩොල් කොටස් පමණි. ඒ අනුව ඒ වන විට විනාශවී තිබූ සිව්වන පාදයේ කොටස් කැනීමේදී ඉවත් වී සංරක්ෂණ කාර්යයේදී අවධානයෙන් ගිලිහුනා වීමටද ඉඩ ඇත. දැනට දක්නට ඇති පසු කාලීනව එකතු කල කපරාරුව සහ එයින් මතු කල ඇඟිලි 3 (සහ 5 වන ඇඟිල්ල) සහිත සිංහ පාදයේ හැඩයට යටවී සදහටම වැලලී ගොස් ඇතුවා විය හැක. තවදුරටත් පැරණි ඡායාරූප සහ පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ කැනීම් සහ සංරක්ෂණ වාර්තා (ඒවා විනාශ නොවී තවමත් දෙපාර්තමේන්තුව සතුව කොහේ හෝ ඇත්නම්) විමසා බැලීමෙන් ඒ පිළිබඳව යමක් පැවසිය හැක. කෙසේ නමුත් සීගිරියේ දැකිය හැක්කේ සිංහයකුගේ පාද බවට නිගමනය කිරීමට නම් මේ කිසිවක් බාධාවක් නොවේ.
සීගිරි පර්වතයේ නැගෙනහිර දිශාවෙන් ගත් මෙම ඡායාරූපයට ඉදිරියෙන් සිංහ රූපයක මුහුණක් මවා ගත් විට කොතරම් අපූරුවට ලැග සිටින සිංහයකු නිර්මාණය වේදැයි සිතා බලන්න.
ඇතැම්විට බෙල් හෝ බෙල්ට පසුව මෙහි සංරක්ෂණ කාර්යයන් සිදු කල පුරාවිද්‍යාඥයන් අතින් එම සිව්වන ඇඟිල්ලේ තරමක් හෝ ඉතිරිව තිබූ කොටස් විනාශ වී ගියේ නම් හෝ කපරාරුව නිසා එම කොටස් සැඟවී ගියේ නම් සිංහයකු සිටි සීගිරිය, "ඇඟිලි තුනේ ගුරුලෙකු" කිරීමේ වගකීම ඔවුන් බාරගත යුතුය.(රාවණ බ්‍රෝලා මෙරට කීර්තිමත් පුරාවිද්‍යාඥයින්ට සහ ඉතිහාසඥයන්ට චෝදනා කරන ලෙසින් එසේ සිදු වූවා නම් එය ඔවුන් හිතාමතා කල දෙයක් නොව අතපසු වීමක් බවද මෙහිදී සඳහන් කල යුතුය. සංරක්ෂණ සහ කැනීම් ක්‍රියාදාමයන්හිදී එවැනි දේ සිදුවීම වැලැක්විය නොහැකි අතර අවම කරගැනීම පමණක් සිදු කල හැක.)

මූලාශ්‍ර
  • Sigiriya, City palace gardens monasteries paintings, Senaka Bandaranayake, 2013
  • Archaeological Guide to Sigiriya, Raja de Silva, 2004
  • Sigiriya, R.H. de Silva, 1976
  • උරුමයක අරුණ එදා අද, 2015
  • The Pleistocene of Ceylon, P.E.P. Deraniyagala, 1958
  • අනුරාධපුර ජෛවවිවිධත්වය සහ වර්තමාන ජෛවවිවිධත්වය, කැලුම් නලින්ද මනමේන්ද්‍ර-ආරච්චි, ගාමිණී අධිකාරි, 2014
  • Srinimal Lakdusinghe Felicitation Volume, Gunawardhana et.al., 2010

24 comments:

  1. ඔය කිව්වට ඔය ඉන්නෙ ගුරුලෙක්ම තමයි. අපේ රාවණ රජ්ජුරුවො හරි ආදරෙයි ගුරුලන්ට. ඒකයි එතුම ගුරුලෙක්ව ඇඹුවෙ. හොදයි ගුරුලෙක් නෙවෙයි කියමුකො එහෙමනං මේ පැස්බරෙක්, මයිනෙක්, දිය කාවෙක් හරි ගේ කුරුල්ලෙක් හරි වෙන්ඩ බැරිද? ඒ මොකා උනත් සිංහයෙක් නෙවෙයි. එක අතකට ඒකා කුරුල්ලෙක් වෙච්ච එකත් හොදයි...මොකද අච්චර අභිමානවත් ජාතියක සංකේතය එපා කියන දෙකොන පටලැවිච්ච පිස්සො රැලක් එක්ක මොන ආලකමන්දාවක්ද....අපිට හරියන්නෙ බ්‍රොයිලර් කුකුල් මඩුවක්....

    ReplyDelete
    Replies
    1. කට්ටකාඩුවේ ලොකු මල්ලි - මෙහෙම යනකොට ඔතන හිටියේ බ්‍රොයිලර් කුකුලෙක් කියලා කියන තැනටත් එන්න බැරි කමක් නම් නැහැ තමයි :D

      Delete
  2. මේ වගේ වටිනා කියන ලිපි තවත් ලියහන් මචන්... නැත්නම් මිතයාවන් බිදින්න බැහැ

    ReplyDelete
    Replies
    1. ස්තූතියි. ඔව් හැකිතාක් ලියන්න බලමු.

      Delete
  3. රටෙත් හිටියෙ නැති නිදිමත සිංහයෙක්ව ගෙනත් ජාතික කොඩියෙ ඇලෙව්වෙ මොකාද?

    ReplyDelete
    Replies
    1. භූෂණ, ලංකාවෙ අයිතිහාසික කාලෙ සිංහයොවත් , ව්‍යාඝ්‍රයොවත් හිටියෙ නෑ. ඒත් සිංහලයන්ගේ ලකුණ සිංහයා. LTTE එකත් ව්‍යාඝ්‍රයෙක් ගත්තා. දෙකම ඉන්දියන්. හේතුව: ඉන්දියන් ඔරිජින්ද? අපේ අලියා, දිවියා, වලහාට වඩා උන් ගාම්භීර නිසාද? සිංහයා ලෝකය පුරාම ගාම්භීර ලෙස රජ පවුල් විසින් යොදා ගත්තානෙ. ඉන්ගලන්තෙ නම් සිංහයාට අමතරව දිවියා/ leopard ත් ගත්තා. තුන්වන රිචර්ඩ් වල්ඌරාවත් ගත්තා. ඉන්ගලන්තෙ නොහිටියට යුරෝපීය සිංහයා අයිතිහාසික කාලෙ හිටියා (Greece, Bulgaria, etc.). ඉන්දියාවෙ සිංහයාට අමතරව දකුණු ඉන්දියාවෙ ව්‍යාඝ්‍රයා ලකුණක් ලෙස හුඟක් ගත්තා.
      කොහොමහරි ලංකාවෙ තිබුන යුද්ධයේ දෙපාර්ශවයම භාවිතාකලේ ෆොරීන් සත්තු !!

      Delete
    2. සිංහල ජාතියට සිංහයා ලකුණ ආපු එක ගැන වෙනම කතා කල යුතුයි. ඒ පිළිබඳව යමක් මෙම පෝස්ට් වල (https://trisinhala.blogspot.com/2015/09/blog-post.html & https://trisinhala.blogspot.com/2015/09/blog-post_9.html) තියෙනවා. LTTE එක ව්‍යාඝ්‍රයා ගත්තේ ඇයිද කියන එකට නම් මට උත්තර දෙන්න පුළුවන්. LTTE එක යොදා ගත්තේ අනුරාධපුර යුගය අවසන් කරමින් මෙරට යටත් කරගත් චෝලයන්ගේ ලකුණ. එම චෝල අධිරාජ්‍යය දකුණු ඉන්දීය විශාල කොටසක් සහ මෙරට රජරට එක් කරගනිමින් ගොඩනැගූ ද්‍රාවිඩ අධිරාජ්‍යයක්. LTTE එකේ සහ ඔවුන්ට ආධාර උපකාර කල තමිල්නාඩුවේ අරමුණ මැනවින් එයින් පිළිබිඹු වෙනවා (ඉන්දීය මධ්‍යම රජයේ නෙමේ)

      Delete
    3. ලංකාවේ ආදි කාලේ සිංහයෝ හිටියේ නෑ කියන්න බැහැ. අස්වයෝ විදේශ වලින් ආනයන කලා වගේ සිංහයන්වත් ඉන්දියාවෙන් ආනයනය කරලා ඇති කරන්න හැකියාවක් තියෙනවා.

      Delete
    4. ඔව් ඒත් අශ්වයෝ වගේ නෙමෙ සිංහයෝ මෙරටට ආනයනය කිරීමේ අවශ්‍යතාවය කුමක්ද කියන ප්‍රශ්නය මෙහිදී පැන නගිනවා. අශ්වයන් නම් යුධ කටයුතු සඳහා වගේම ප්‍රභූන්ගේ ගමන් බිමන් සඳහා යොදාගත්තා වෙන්න පුළුවන්. ආක්‍රමණිකයන් බවට පත්වුන සේන ගුත්තික දෙදෙනාත් අශ්ව වෙලෙඳන් ලෙස සඳහන් වෙනවා. සෙල්ලිපි කිහිපයකම මට මතක හැටියට අශ්වරෝහකයන් හෝ වෙළෙඳන් ගැන සඳහන් වෙනවා. ඒත් සිංහයන් ආනයනය කිරීමේ කිසිදු හේතුවක් නැහැ නේද? බෞද්ධ ආගමික පසුබිකම අපේ රජවරු සත්ව උද්‍යාන නඩත්තු කල බවට මා දන්නා තරමින් සාධක නැහැ රජරට ශිෂ්ටාචාරය පැවති යුගයේ නම්. ඒවන් රජකෙනෙකු අපට හමුවන්නේ මහනුවර යුගයේ. ඒ දෙවැනි රාජසිංහ රජුගේ කාලයේ. ඉන්පසුව පැමිණි ඇතැම් රජවරුත් ඒ ක්‍රියාව පවත්වාගෙන යන්න ඇති බව කුරුල්ලන් මඩුවේ ලේඛම් වැනි පදවි වලින් පැහැදිලි වෙනවා. ඒත් මේ කතා කරන කාලයේ එවන් සත්ව උද්‍යාන පිහිටි බවට සාධක නැහැ

      Delete
    5. ඔවු උඩරට රජුට වෙනම ඕලන්ද්දක්කාරයන් සපයපු බලු රැලක් ගැන සදහන් වෙනවා. ඒ වගේම තමයි අන්තිම රජු ශ්රී වික්රම රාජසිංහ රජතුමාට සුදු හරක් පට්ටියක් හිටපු විත්තියත් උඩරට මහා කැරැල්ල පොතේ සදහන් වෙනවා. සමහර විට අනුරාධපුර යුගයේදී රජුගේ පුද්ගලික විනෝදයට සිංහයන් ඇති කලා වෙන්න පුලුවන්. මෝගල් රජුන්ගේ රාජ සභාවල අාසියාතික චී‍ටා සත්තු ඇති දැඩි කල බව සදහන් වෙනවා. ඒ විදියට සාමානයෙන් ලංකාවේ දකින්න නොලැබෙන සිංහයන්, ව්‍යාග්රයන් ලංකා රජු සන්තකයේත් ඉන්න ඇති බවට අපට සාධාරණ සැක කරන්න පුලුවන්?

      Delete
    6. වෙන්න පුලුවන්. ඒත් අනුරාධපුර කාලයේ සහ මහනුවර කාලයේ රජකම් වෙනස්. මහනුවර වෙනකොට රාජ්‍යය දුර්වල වෙලා ඒකාධිපති, tyrannical සහ එක්සෙන්ට්‍රික් රජවරු වැඩියි. අනුරාධපුර ගැන හරියටම කියන්න බැරිවුනාට මට හිතෙන්නෙ ඊට වඩා දියුණු, සොෆිස්ටිකේටඩ් රජවරු සහ අඩු ගණනේ ප්‍රභූ පන්තියටවත් (සහ ව්‍යාපාරික පන්තියට ) ප්‍රජාතන්ත්‍රවාදී අයිතීන් ඇති ක්‍රමයක් තියෙන්න ඇති කියලයි. මහනුවර කාලෙ වගේ රජු දෙවියෙක් වගේ සැලකුවයි හිතන්න අමාරුයි. There may have been exceptions in A'pura era. කාශ්‍යප වගේ වෙනස් රජ කෙනෙක් නම් තම තනි විනෝදයට සත්තු ඇති කලා වෙන්න පුලුවන්

      Delete
    7. මාත් හිතන්නේ අපේ මුල් කානීන රජවරු අතර එම සිරිත තියෙන්න නැති වෙන්න ඇති කියල එක හේතුවක් බෞද්ධ ආගමේ බලපෑම, අනික ඒ වගේ දේවල් පිළිබඳව කිසිම සාක්කියක් වංශකතා හෝ සෙල්ලිපි ආශ්‍රයෙන් හමු නොවීම. අපේ එදිනෙදා අවශ්‍යතාවයන්ට අවශ්‍ය නිසා හීලෑකරගත් සතුන් හැර ( ගවයා, බල්ලා, අලි ඇත්තු.. අශ්වයන් ) වෙනත් සතුන් ඇති කිරීමේ අවශ්‍යතාවයක් අපට තිබ්බේ නැහැ. දෙවන රාජසිංහගෙ තමා මන් දන්න තරමින් එවන් විනොදාංශයක් තිබ්බ පලමුවන රජු. ඔහුට මවගෙන් (කලින් පෘතුගීසින් අතර හැඩී වැඩී කතෝලික ආගාම වැලඳගත්) සහ ඔහුගේ පියාගේ සහෝදරයා (කොනප්පු බණ්ඩාර ලෙසින් ගෝවේ සිට පැමිණ විමලධර්මසූරිය ලෙසින් රජවූ) වෙතින් ආපු පෘතුගීසි ආභාෂයන් තියෙන්නට ඇති එවන් දේවල් වලට යොමුවීමට

      Delete
  4. Excellent stuff Bushana.All the best!

    ReplyDelete
  5. බුෂණ
    ඔබ හරි. නෙගෙනහිර පඩිපෙළ ද සිංහ මුහුණක් මවනවා

    ReplyDelete
  6. රාවන බ්‍රෝස්ලා දුසෛ්රාවනේ පෙලෙන් රාවනා නැගිට්ටගන්න හෙන පොරේ මේ දවස් වල. උඹ පරිස්සමින් ඉදහං උංගේ ආතල් කුඩු කරනවට. හැක්

    භූෂණ Keep it up bro

    ReplyDelete
    Replies
    1. ඔය යකා නැගිටල ඇවිල්ලා මට රාම සැරයෙන් වත් ගහයිද දන්නේ නැහැ. අනික රාවණාව රාමට පාවලා දුන්නා කියන්නේ විභීෂණනේ. මමත් භූෂණ එක ලගින් යන නම් දෙකක් :D

      Delete
  7. චැහ් ඉන්දියන් රාම සැර මොකටද, 90% පෲෆ් ඔරිජිනල් හෙල රාක්ස සැර තියනකොට
    පොඩ්ඩක් ඉන්නකො. ඔය සීගිරිය ගලක් කිව්වට කටුවක් විතරයි. රාවණාගේ යුද්ද හෙඩ් ක්වාටර්ස් සහ අබ්බවකාස පාලන මැදිරිය විතරක් නෙමෙයි වයිද්ය, ඉන්ජිනේරු, රසායන අරක මේක ඔක්කොම ලැබ් තියෙන්නෙත් ඕක ඇතුලෙ හා ඕකට යටින් තව අඩි සිය ගනනක් තියන ගොඩනැගිල්ලෙ. අපේ අල්ලපු ගෙදර ලේඩිගෙ බාප්පගෙ දුව බැඳපු මෑන්ගෙ සීයා ගාව තියනව බ්ලූප්‍රින්ට් එක පුස්කොල පොතක. බෙල් රාවණාගේ එක්ස්ටර්නල් හාර්ඩ් ඩ්‍රයිව් හොරකම් කරලා ඕකෙ දොරටුව කොන්ක්‍රීට් දාල වැහුවනෙ.
    දැන් නැගිටල, බ්‍රේක්ෆස්ට් අරගෙන ඕක ඇරල හෙල රාවණාවාදීන් එකතුකරල භූෂණවගේ අයට දුවන්න දෙන්නෙ.
    p.s. ලැච්චරර්තුමාට ගුරුලු ඩිස්ටිලරි එකවත් දෙයි.

    ReplyDelete
    Replies
    1. ප්‍රා අර කියපු පුස්කොල පොතේ බ්ලු ප්‍රින්ට් එකක් කිව්වෙ ඕක 18+ ද ? නෑ අර උඩ ඇඳුම් නැති ළමයි මතක් වෙලා ඇහුවෙ ;)

      Delete
  8. කොච්චර ආසා වුණත් මං පුරාවිද්‍යාව හදාරලා නැහැ. බූෂණ, ඒ නිසා ඔයාගේ ලිපි හරිම ආසාවෙන් කියවනවා. අගතිගාමී නොවී, මැදහත්ව දෙපැත්තම බලන එකයි වැදගත්මදේ. දිගටම ලියන්න. එතකොට මේ දැනීම ටික ටික හරි පැතිරිලා යාවිනේ.

    ReplyDelete
  9. ස්තූතියි ඔබේ කොමන්ට්ස් වලට. ඔබ වගේම තමා මමත් පුරාවිද්‍යාව හෝ ඉතිහාසය විෂයක් ලෙසට විශ්වවිද්‍යාලයකින් තබා පාසලෙන්වත් ඉගෙන ගෙන නැහැ (අපි පාසලෙන් ඉගෙන ගත්තේ මැලේ අච්චාරුවක් වගේ සමාජ අධ්‍යයනය කියලා විෂයක්. ඒ කාලේ හිටිය නායක කාරකාදීන්ගේ දෙමව්පියන්ට පිං සිද්ධවෙන්න :) )

    ReplyDelete