Sunday, March 27, 2016

ඉන්දියානු ආක්‍රමණ පුරාණය

ඇතමුන් පිලිගැනීමට මැලි වුවද අද මේ රටේ ආන්ඩු කෙරෙන්නේ අසල්වැසි ලොකු අය්යාට ඕනේ විදිහටය. විපක්ෂයේ මන්ත්‍රීවරු කල යුතු රාජකාරිය පවා නිර්ණය කරන්නේ ලොකු අය්යාගේ මෙරට නියෝජිත සිංහාය. - Prof. Peiris: Are we back to Viceroy Dixit era of overlordship? මොන කතා කීවද වරාය නගරයේ චීන ඉදිකිරීම් වලට ඉන්දියාවේ එකඟතාවය නොමැති හෙයින් එහි ඉදිකිරීම් නැවතීමට ඉන්දියානු රූකඩ පාලකයනට සිදුවිය. අපට හැම අතින්ම අහිතකර ETCA ගිවිසුම මගින් මෙරට සේවා අංශය ඉන්දියානුවන්ට විවර කිරීම කවුරු විරුද්ධ වුවද කරන බව රූකඩ ආන්ඩුවේ අගමැති සපථ කර හමාරය. ඉන්දියානු ගිලන් රථ සේවය මගින් RAW නියෝජිතයන් රට පුරා ඕනෑම තැනක සැනෙකින් ස්ථාන ගත කිරීමේ ව්‍යාපෘතියද ක්‍රියාත්මක වීමට රජය අවසර දී ඇත. 

ඉන්දියානු අර්ධද්විපයට ආසන්නව පිහිටි භූ දේශපාලනය පිහිටීම නිසාම ක්‍රිස්තු පූර්ව යුගයේ පටන්ම මෙරට සංස්කෘතික, ආගමික සාමාජීය සහ දේශපාලන තත්වයන්ට ඉන්දියානු බලපෑම නොවැලැක්විය හැකි සාධකයක්ව පැවැතුනි. මෙරට වංශ කතාවල දැක්වෙන ආකාරයට එදා පටන්ම අප මෙරට ස්වාධීනත්වය සදහා ඉන්දියානු භූමියේ විවිධ කොටස් වල බලය පතුරාගෙන සිටි චෝල, පාණ්ඩ්‍ය, කේරල ආදී කොටස් සමග නිරන්තර අරගලයක යෙදී සිටියෙමු. වරක ඔවුන් අප රටේ ස්වාධීනත්වය ඩැහැ ගන්නා අතර මේ බිමේ සුජාත දූ පුතුන්ගේ ජීවිත පරිත්‍යාගයන් මතින් නැවතත් නිවහල් ජාතියක් ලෙස නැගි සිටියෙමු. මෙම සදාතනික අරගලය අදද නොයෙක් ස්වරූපයන්ගෙන් එලෙසම පවතින අතර වර්තමානයේ මේ ක්‍රියාත්මක වන්නේද එයමය. නිවට පාලකයන් සිටිනතාක් කල් අප ඔවුන්ගේ යටත්වැසියන් ලෙසට සැලකීම ඔවුන් සිදුකරනු ඇත. ඔවුන්ට විරුද්ධ වන පාලකයන් 2015 ජනවාරි සිදු කල අයුරින් කුමන්ත්‍රණ මගින් පලවා හරිනු ඇත. මේ වංශකතා වල සදහන් එවන් ඉන්දියානු ආක්‍රමණ ගැන විවරණයකි.

ලිඛිත ඉතිහාසයේ සදහන් වන පලමු ඉන්දියානු ආක්‍රමණය සිදු කරන්නේ සූරතිස්ස රජු සමයේ ඉන්දියාවේ සිට පැමිණි සේන සහ ගුත්තික නම් දමිලයන් දෙදෙනෙකි. ඔවුන් අශ්වයන් වෙළදාමේ පැමිණි නාවිකයකුගේ පුතුන් දෙදෙනෙකු බව මහාවංශය සදහන් කරයි. ඔවුන් වසර 22 මෙරට පාලනය කල බව එහි වැඩිදුරටත් සදහන් වේ. අසේල නම් සිංහල රජු නැවතත් ඔවුන්ගෙන් බලය අත්පත්කරගන්නා නමුත් ඔහුට වසර 10 ක්වත් පාලනය කිරීමට නොහැකි වන්නේ දෙවෙනි ඉන්දියානු ආක්‍රමණයද එළාර නම් චෝල රට සිට පැමිණි දමිලයෙකු ක්‍රියාත්මක කිරීමත් සමගය. ඔහු එතැන් සිට වසර 44 ක් මෙරට රාජ්‍යය පාලනය කරයි. මෙම ආක්‍රමණයන් සිදුවූ කාලය පිළිබද නිශ්චිත සාධක නොමැති හෙයින් ඒවා ක්‍රි. පූ. 250 ත් ක්‍රි.පූ. 161 ත් අතර සිදුවූ ලෙස අනුමාන වශයෙන් පිළිගැනේ. වංශ කතා වල සදහන් වන අයුරින් මේ ආක්‍රමණිකයන් සියලු දෙනාම දැහැමින් රට පාලනය කර ඇත. කුඩා ප්‍රමානයක් වූ ඔවුන්ගේ බලය මෙරට බහුතරයක් වූ ස්වදේශිකයන් එකමුතු වුවහොත් පහසුවෙන්ම අතික්‍රමණය කල හැකි බැවින් එවැනි හැසීරීමක් අනිවාර්ය බව පැහැදිලිය. කෙසේ නමුත් රජරට ප්‍රදේශයට පමනක් සීමා වූ මේ ආක්‍රමණිකයන්ගේ බලය දකුණේ රෝහණ දේශය යටත් කරගැනීම දක්වා පැතිරීමක් සිදු නොවූ බැවින් රෝහණයේ සිට සේනා සංවිධානය කල කාවන්තිස්ස රජුගේ උත්සාහය මල්ඵල දරමින් ඔහු පුත් දුටුගැමුණු විසින් මෙරට නැවතත් එක්සේසත් කලහ. එළාරගේ මරණයෙන් පසු ඔහුගේ බෑනා වූ භල්ලුක නම් තැනැත්තෙක්ද මෙරටට සේනාවක් සහිතව පැමිණෙන මුත් ඔහුවද පැරදවීමට දුටුගැමුණු සමත්වේ. මෙය තුන්වැනි ඉන්දියානු ආක්‍රමණය ලෙස ගත හැක.

අද ඇතැම් විජාතික මනසින් යුත් මනස්ගාතකරුවන් අර්ථනිරූපනක කිරීමට වලිකන අයුරින් මෙම සටන් කිසිදු ලෙසකින් එකල මෙරට විසූ ජනවර්ග දෙකක් අතර පැවැති වාර්ගික යුද්ධ ලෙස සැලකීමට සාධක නොමැති අතර බෞද්ධ ආගම මෙරටට හදුන්වාදීමත් සමග රාජ්‍ය අනුග්‍රය යටතේ මේ වන විට මෙරට බහුතරයක් එම දහම වැලදගත්තන් වන්නට බොහෝ සෙයින්ම ඉඩ ඇත. මේ යුගයේ දමිල ලෙසින් හැදින්වූවන් වර්තමාන අර්ථයෙන් දකුණු ඉන්දියාවේ තමිල්නාඩුව ලෙස ගැනෙන කොටසින් පැමිණි පුද්ගලයන් බව පොදුවේ පිළිගැනේ. ඔවුන් කිසියම් හෝ රාජ්‍ය වංශයකට අයත් වූවන්ට වඩා මෙරට පැවැති සාපේක්ෂව යුධ ශක්තිය අතින් දුර්වල පාලනයන් පහසුවෙන් අත්පත්කර ගත් තනි පුද්ගලයන් වන්නට ඉඩ වැඩිය. කෙසේ නමුත් ඔවුන් ආගමින් හින්දු වීමට වැඩි ඉඩක් ඇති බැවින් ඔවුන්ගේ පාලන යුග වලදි පෙර පැවැති රාජ්‍ය අනුග්‍රය ඒ අයුරින්ම බුද්ධ ශාසනයට නොලැබී යෑම දුටුගැමුණු රජුගේ සේනා සංවිධානයේදී බෞද්ධ භික්ෂුන්ගේ ප්‍රබල මැදිහත් වීමෙන් වටහාගත හැක. එසේම ජනතාව සටන් සදහා යොමු කිරීමටද පොදුවේ බෞද්ධයන් වූ සිංහලයන්ට එල්ල වූ එම අසාධාරණය ඉවහල් කර ගත් බවක් පෙනී යයි.

මෙවැනි ආකාරයේම වූ තවත් ආක්‍රමණයක් දුටුගැමුණුගේ මරනයෙන් දශක හතරක් ඉක්මවූ තැන ක්‍රි. පූ. 137 දී වට්ටගාමිණි අභය රජුගේ කාලයේදීද සිදුවේ. වංශකතාවේ සදහන් අයුරින් මහාතිත්තයට ගොඩ බසින දමිලයන් සත් දෙනෙක් වට්ටගාමිණි රජුගේ පදවිප්‍රාප්තියෙන් පස් මසක් ගිය තැන ඔහු පලවා හැර බලය අත්පත් කරගනී. තීය නම් වූ බ්‍රාහ්මනයෙකු ඇති කල කැරල්ලක් නිසා මෙරට ඇතිවී තිබූ අස්ථාවරත්වය සහ දුර්භික්ෂය මෙම ආක්‍රමණිකයන්ගේ අරමුණ ඉටුකර ගැනීම පහසු කෙරුවා විය හැක. මෙම දමිලයන් සත් දෙනාගෙන් දෙදෙනෙකු එක් අයෙකු රජුගේ බිසවක් වූ සෝමාදේවිය සහ අනෙකා බුදුන්ගේ පාත්‍රා ධාතුව රැගෙන ඉන් සෑහිමකට පත්වී නැවතත් ඉන්දියාවට නික්මයන අතර සෙස්සන් එකිනෙකා මරාගනිමින් වසර 14 කුත් සත් මසක් මෙරට පාලනය කරන අතර වට්ටගාමිණී රජු සේනා සංවිධානය කර අන්තිමයාගෙන් නැවතත් බලය අත් පත් කර ගනී.

ඉන්දියානු ආක්‍රමණ පුරාණය ගැන තව දුරටත් ඉදිරියේදි විමසා බලමු. 

චිත්‍රය - ඒකාබද්ධ වෘත්තියවේදීන්ගේ සංගමගේ නිර්මාණයකි.

මූලාශ්‍ර
  • The Indian factor in the security perspectives of Sri lanka, A, Liyanagamagea, 1993
  • Mahavamsa The Great Chronicle of Sri Lanka, An Annotated new translation with Prolegomena by Ananda W. P. Guruge, 2005.

Monday, March 14, 2016

දුම්බරින් මතුවන 'අපේ මිනිසා' එනතුරු.....

ගොවියෙකුගේ පුතෙක් රජෙක් කරන්න ගොස් පොහොර සහනාධාරයත් නැතිකරගෙන වී වලට මෑත ඉතිහාසයේ ලද අවම මිලත් ලබා ගෙන පොලවේ පස් කන, පස්ස බිම ඇනගත් ගොය්යෙකුගේ විලාපය මෑතකදි අසන්නට ලැබුන විට මට සිහිවූවේ 2015 'ආප්ප විප්ලවය' සහ හරියටම ඉන් වසර 200 කට පෙර 1815 සිදුවූ එවැනිම පාවාදීම අතර සමානකම් පෙන්වමින් මීට පෙර මා ලිව් සටහනය. (සිංහලේ මහා පාවාදීම් - එදා (1815) මොල්ලිගොඩලා සහ මෙදා (2015) මොල්ලි-සේනලා). මේ සිදුවීම සහ මේ වන විට ඇටි කෙහෙල් කෑ උගුඩුවන් බවට පත්වී ඇති 62 ලක්ෂයේ  අමන රැල කොතරම් අසරණ වී ඇත්ද යන්න තැන් තැන් වලින් මතුවන මෙවැනි අදෝනාවන්ගෙන් මැනවින් පැහැදිලි වේ. වර්ෂ 1815 දීද ජනතාවගේ සෘජු මැදිහත්වීමක් නොමැති වුවද රදල ප්‍රභූවරුන්, ශ්‍රී වික්‍රමරාජසිංහට වඩා 'යහපාලනයක්' අපෙක්ෂාවෙන් හිරු නොබසිනවායැයි කිවූ අධිරාජ්‍යයෙන් පැමිණි කපටි රැලකට බන්දේසියක තබා රටේ පාලනය භාර කලහ. හරියටම ඉන් වසර 200 කට පසුව සිදුවූවේද එවැනිම සිදුවීම් දාමයකි. මෙවර බලය හුවමාරු වූවේ සාපෙක්ෂව ජනතාවාදි ජාතික බලවේගයකින් ඉන්දියන් සහ බටහිර අධිරාජ්‍යවාදයේ සුවච කීකරු හුරතලුන් රැලකටය. වෙනස එපමනය. සිදුවීම් සිදුවන්නේ බොහෝදුරට 1815 ආකාරයටමය. රටේ ණය ප්‍රමානය පමනක් පසුගිය වසරේ ඊට පෙර වසර 9 ටම ගත් ණය වලට වඩා 4.5 ගුණයකින් පමණ වැඩිය (මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමා වසර 9 ටම සියලු සංවර්ධන ක්‍රියාදාමයන් සඳහා ගත් මුළු ණය ප්‍රමාණය ඩො.මි. 1400 වන අතර. වර්තමාන පාලකයන් කිසිදු සංවර්ධන ව්‍යාපෘතියක් සිදු නොකර එදා වේල කැමට පමණක් ගත් මුළු ණය ප්‍රමාණය ඩො. මි. 6361 කි. සනීපයි නේද වෙනස ? ) අප නැවතත් ආරථික වශයෙන් විදේශයන්ගේ යටත්විජිතයක් වෙමින් යන බවට එම කරුනම ප්‍රමාණවත්ය. ඉන්දියාවට මෙරට සේවා අංශයේ දොරටු විවර කරමින් ETCA ද අත්සන් කල පසු ඉතිරියද ඉටුවනු ඇත.

මෙදා මේ ලතෝනි දෙන ගොවියාට මෙන් එදාද සුද්දන්ගෙන් බැට කෑ පොදු ජනයාටද බලාපොරොත්තුවක් තිබුණි. ඒ බලාපොරොත්තුව එදා නම් බලාපොරොත්තුවක්ම පමණක් විය.

උඩරට සිංහල ජනයාගේ ඉඩම් කොල්ලකමින් යුරෝපීයන්ගේ තේ වතු වලට පාරවල් තැනීමට පැමිණි කර්නල් වොට්සන්ට (Colonel Watson)  1844 දී මුහුන පෑමට සිදුවූ මේ සිදුවීම ඉංග්‍රීසීන්ට යටත්වීමෙන් වසර ගණනාවකට පසුවද එදා ඒ ගැමි ජනයාගේ තිබූ බලාපොරොත්තුව සහ කැකෑරෙන විරෝධය මැනවින් පෙන්නුම් කරයි. මේ කර්නල් වොට්සන් එය විස්තර කල අයුරුයි.

---මා සමග කතාවට පැමිණි පෙර කල ආරච්චිවරයෙකුට (ගම් ප්‍රධානියෙක්) ඔහුට සහ අවට ගම්මාන වලට පාරක් සැදීමෙන් සිදුවන වාසි පැහැදිලි කලෙමි. බෙහෙවින් කලබල වූ ඔහු ගරුසරු නැති ලීලාවෙන් මෙසේ පැවසූහ. "කවුද ඔබ වැනි සුදු මිනිසුන් මෙහෙට එව්වේ? ඔබලා නැතිව අපි කිසි අඩු පාඩුවක් නොමැතිව මෙහෙ සිටියා. අර බලන්න ( කෝපි වත්තක් පෙන්වමින් ) ඒ කැලෑව මගේ". නැවතත් උක් වගාවක් පෙන්වමින් "අරකත් මගේ", නැවතත් රජයට අයත් ගවයන් තණ කමින් සිටි විවෘත බිමක් පෙන්වමින් "ඒත් මගේ ඉඩමක්". ඔබ අපගේ කැලෑ කැපුවා, අපගේ හේන් බිම් කොල්ලකෑවා. දැන් අපේ කුඹුරු උඩින් පාරවල් හදනවා. නමුත් අපේ මිනිහෙක් අර කන්දේ ඉන්නවා ( සැතපුම් 12 පමණ එපිටින් පිහිටි නකල්ස් කඳුකරය පෙන්වමින් ) ඔහු ඉක්මනින්ම ඔබගේ කරදරයෙන් අපව මුදවාවි. (කුරුරු හිනාවක් ඇතිව ඔහුගේ අත බෙල්ල වටා යවමින්) ඔබ සියලු දෙනාගේ හිස් ගසා දාවි."  ආරච්චිගේ මේ වදන් මගින් උඩරට ජනයාගේ හඬ සහ හැගීම් පොදුවේ එළිදරවු කරන ලදී.---උපුටාගැනීම - Colonialism in Sri Lanka, Asoka Bandarage, 1950

දුම්බර කඳුවැටියෙන් (නකල්ස් කඳුකරය) පැමිණ ඔවුන්ව මුදාගැනීමට එදා නම් කිසිදු 'අපේ මිනිහෙකුට' නොහැකි විය. මතුවූ අරගලද කුරුරු ලෙස මර්ධනය කිරීමට සුදු අධිරාජ්‍යවාදීන්ට හැකිවිය. සිංහලේ මුදාගැනීමට තැත් දැරූ එවන්  'අපේ මිනිසුන්' සිය දහස් ගණනාවක් අමු අමුවේ මරා දැමූහ. ඔවුන් එතරම්ම කුරිරුය, කපටිය, බලවත්ය. ඒ එදාය. මෙදා? එය අනාගතයට භාරය. මේ සිංහලේ අවසාන අවධියද (Last phase) ? එයද අනාගතය විසින් තීරණය කරනු ඇත. කෙසේ නමුත් එම සුදු අධිරාජ්‍යවාදීන්ගේ කලු නියෝජිතයන්ද ඔවුන් මෙන්ම කපටිය, බලවත්ය, කුරිරුය. ඔවුන්ට දවස ගානේ වීදි බසින ගොවියන් දහස් ගණන පෙනෙන්නේ නැත. නිදහස් චතුරශ්‍රයේ රති කෙලියට අවසර ඉල්ලන පඟරනැට්ටන්  10-15 නම් එසැනින්ම පෙනෙනවාය.

සුනිල් එදිරිසිංහයන් වරක් මෙසේ ගැයූහ... මහත්වරුණි පේනවාද අදත් එනවා රට කරන්න....




Sunday, March 6, 2016

මැකෝලිගේ Half-baked රොබෝ-අප්පුහාමිලා

මෙම බ්ලොග් අඩවියේ ඔහු කියනා අයුරින් "සංවාදයකට පැමිණි" එක්තරා අවිචාරකයෙක් ඔහුගේ මතයට එරෙහිව  මා ඇසූ ප්‍රශ්න වලට පිළිතුරු නොදී ඔහුගේ මහන්තත්වය ගැන වැල්වටාරම් පවසන්නට ගොස් ඒවා පලනොවූ තැන එම පල නොවූ ඒවායැයි කියමින් වෙනත් කරුණුද පවසමින් වෙනත් තැනක මට සහ මෙම බ්ලොග් අඩවියට මඩ ප්‍රහාර එල්ලකරමින් ඔහුගේ විජාතික නඩය සමග බැන අඩගසාගනීමින් ඔහුගේ හීනමානය සංසිඳුවාගත් බව දුටිමි. (බලන්න මෙහි කොමන්ටු  - සිංහල බෞද්ධයනට යුද්ධය අකැපද?
  සහ සුද්දෝ එනකොට තිබූ දෙමළ රාජ්‍ය ගැන සුද්දෙක් කතා කරයි ) ඔහු මෙන් නිකමෙකු නොවන මට ඒවාට පිළිතුරු දීමට අව්ශ්‍යතාවයක් හෝ කාලයක් නොමැති අතර ඔහුට කරුණු කාරනා කියාදීමට ගිය වැදගත් මහත්මයෙකු (ලොකු පුතා) කියන දේද තේරුම් ගැනීමට තරම් නිවහල් මනසක් අනුකාරකයෙකු සහ පරයන්ගේ වහලෙකු වන ඔහුට නොමැති බව එම කොමන්ටු කියවන සිහි බුද්ධිය ඇති ඕනෑම කෙනෙකුට දැක ගත හැක. කෙසේ නමුත් ඒ මගින් ඔහු මගේ බ්ලොග් අඩවියට දුන් ප්‍රචාරය සම්බන්ධයෙන් මා ඔහුට අවංකවම ස්තුතිවන්ත වන අතර පෙරලා කලගුණ සැලකීමක් අවශ්‍ය නොවන්නේ ඔහුගේ අරමුණ එය නොවූ බැවිනි. එබැවින් අදාල පෝස්ටුවට ලින්ක් එක  මෙහි පල නොකරමි. ඔහුට අනුව ඉතිහාසය සම්බන්ධ තොරතුරු අඩංගු මෙවැනි බ්ලොග් අනවශ්‍යය. මක් නිසාද යත් ඉතිහාසය හා පුරාවිද්‍යාව සම්බන්ධ උපාධියක් කල ඔහුගේ දියණියගෙන් ඔහු ඒවා අහගන්නා බැවිනි (සිනා නොවන්න..ඔහුට අනුකම්පා කරන්න ). කෙසේ නමුත් ඔහුට දියණියගෙන් ඔහු වැනි විජාතික අනුකාරකයන් මෙරට බිහිවූ ආකාරය අසාගැනීමට හැකි වේවායැයි පතන අතර මේ ඒ සම්බන්ධයෙන්  වූ කෙටි සටහනකි. පැවසිය යුතු තවත් වැදගත් කරුණක් වන්නේ ඔහු හෝ ඔහුගේ බත් බැලයෙකු නිර්නාමිකව අමු කුණුහරුප කොමන්ටු කිහිපයක්ද මට එවා ඇති අතර එයින් ඔවුන්ගේ පහත් මානසිකත්වය එලිකල හැකි මුත් එම සක්කිලියන්ගේ තත්වයට  වැටීමට මා අකමැති බැවින් ඒවාද පල නොකර වාරණය කර තබමි.

1835 දී ඉංග්‍රීසීන්ගේ යටත් විජිතයක්ව පැවති ඉන්දියාවට නව අධ්‍යාපන ප්‍රතිශංස්කරණ ඉදිරිපත් කරමින් මැකෝලි (Thomas Babington Macaulay) එම ප්‍රතිශංස්කරණ වල අරමුණ මෙසේ පැහැදිලි කලහ.

"එනම් ලේ වලින් සහ පැහැයෙන් ඉන්දියානු වූ අභිරුචියෙන්, මතවාදයෙන්, සදාචාරයෙන් සහ බුද්ධියෙන් ඉංග්‍රීසි වූ, රජය සහ පොදු ජනතාව අතර සන්නිවේදනය පවත්වාගතහැකි, දේශිය දේවල් ශුද්ධ කරමින් බටහිර හැදෑරීම් පෘථුල ලෙස ව්‍යප්ත කල හැකි පන්තියක් බිහිකිරීමයි."


මෙසේ ඔවුන්ගේ අරමුණ කෙලින්ම පැවසීමක් සිදුනොවූ මුත් කෝල්බෘක් 1833 මෙරටදී දී සිදුකල ප්‍රතිශංස්කරණ වල අරමුණද එයම විය . එසේම එවන් පරපුරක් මෙරට එදා සිට අද දක්වාම අනුකාරක අධ්‍යාපනය මගින් බිහි කරමින් පවතී. අද මෙරට සිංහලකම හෝ බෞදධ කම ගැන කතාකරන්නන් ජාතිවාදීන් ලෙස දකිමින් දෙමළ ජනවර්ගයට හා මුස්ලිම් ජනවර්ගයට වෙනම කලාප වෙනම රටවල් ලබාදෙන්නට කතා කරන්නන් විමුක්තිවාදීන් ලෙස දකින්නේ එම මැකෝලිගේ Half-baked රොබෝ-අප්පුහාමිලා
. දළදා මාලිගාව අසල පාර විවෘත කිරීමට කැසකවන්නේ, වසරේ එක දිනක පෙරහැරවල අලි ගමන් කිරීම ගැන මහා හඬ නගමින් හබරණ, ගිරිතලේ පැත්තෙ සංචාරක හෝටල් වල දිනපතා කිලෝ ගනනක් බරැති යකඩ රාමුවක් සමග මිනිසුන් 10-12 ඔසවාගෙන වද විදින අලි ඇතුන් ගැන මුනිවත රකින්නේ එම අනුකාරක අධ්‍යාපන ක්‍රමයෙන් බිහිවූ විජාතික පන්තියේ Half-baked රොබෝ-අප්පුහාමිලා. නමුත් අන් ආගම්වල සිද්ධස්ථානයකට හෝ එම ජනවර්ග වලට අයත් පුද්ගලයෙකුට ඇතැම් අන්තවාදී සිංහලයෙකුගෙන් සුළු හෝ වරදක් වුවහොත් මොවුන් අවි අමෝරාගෙන සටනට බසිති. මොවුන්ට සිංහල බෞද්ධ සංස්කෘතිය අරහංය එය නැති කර දැමිය යුතු දෙයක්ය.  මොවුන් පොරවල් වෙන්නේ මෙරට සංස්කෘතිය වන සිංහල බෞද්ධ සංස්කෘතියට බැනවැදීමෙන්ය. ඔවුන්ට අනුව සියළු ජනවර්ග එකම රටේ සමගියෙන් ජීවත් වීමට යෝජනා කරන්නන් ජාතිවාදීන්ය, ජනවර්ග අනුව කෑලි කඩාගනිමින් වෙන්ව යන්නට ඉල්ලන්නන් ඉල්ලන්නේ ඔවුන්ගේ සාධාරණ ඉල්ලීම්ය. 

ඉහතින් සඳහන් කලේ මැකෝලි බිහිකල Half-baked  රොබෝ-අප්පුහාමිලා හඳුනාගැනීමේ සරල ක්‍රම කිහිපයකි. මෙම Half-baked රොබෝ-අප්පුහාමිලා සිතන්නේ තමුන් මහා ලොකු ජාත්‍යන්තරවාදීන් ලෙසය. නමුත් සැබැවින්ම ඔවුන් සංස්කෘතියෙන් බටහිරෙන් විසි කරන කුනුකන්දල් කරගහගෙන පොරවල් වීමට දඟලන අනුකාරකවාදීන්ය. අවම වශයෙන් බටහිර බිහිවන දැනුම කෙලින්ම ලබාගැනීමට අවශ්‍ය ඉංග්‍රීසි දැනුම පවා නොමැති මින් ඇතැමුන් ඒවා අහුලාගන්නේද එහෙන් මෙහන්ය, බාගෙටය. විශ්වවිද්‍යාලවල කලා අංශයන්ගෙන් මෙවැන්නන් වැඩි වශයෙන් බිහිවන අතර ස්වභාවිකවම තම හීනමානය වසා ගැනීමට ඔවුන් මෙරට සම්ප්‍රදායයන්ට ගැසීම අවියක් කරගනී. බෙදුම්වාදි දෙමළ ජාතිවාදය මර්ධනයට යුධ මෙහෙයුම් පැවති කාලයේ එයට එරෙහිව කලා නිර්මාණයැයි ඔවුන් පවසන කසි කබල් චිත්‍රපට සහ නාට්‍ය නිර්මානය කලේද මෙම මැකෝලිගේ බාගෙට නිෂ්පාදිත  රොබෝ-අප්පුහාමිලා

සිංහල බ්ලොග්කරුවන් අතරද මට දකින්නට ලැබෙන ආකාරයට  මෙවන් මැකෝලිගේ Half-baked  රොබෝ-අප්පුහාමිලා විරල නොවේ. එවැන්නන්ට මෙහි පලවන අදහස් ජාතිවාදිය. නමුත් ජාතිවාදය යනු කුමක්ද මේවා ජාතිවාදිවන්නේ කෙසේදැයි ඇසූ විට ඔවුන්ගේ දත කට පූට්ටු වේ. (බලන්න මෙහි කොමන්ටු -
සුද්දෝ එනකොට තිබූ දෙමළ රාජ්‍ය ගැන සුද්දෙක් කතා කරයි )

මැකෝලිගේ සඳහන උපුටාගැනීම - Colonialism in Sri Lanka, Asoka Bandarage, 1950