Showing posts with label Malaya Mandalaya. Show all posts
Showing posts with label Malaya Mandalaya. Show all posts

Sunday, February 17, 2019

පරුමක තිශ පුත බමදත, සිව් දෙසින් පැමිණි නොපැමිණි සංඝයාට, උමා ඔය නිම්නයේ බෝගොඩදි පිදූ ලෙන

මලය රට හෙවත් මලය දේශය යනුවෙන් හැඳින්වූ පැරණි ප්‍රදේශය පිළිබඳව මෙයට පෙරද පලවූ ලිපි දෙකකින් කරුණු ඉදිරිපත් කර ඇත.
පර්වත දුර්ග සහිත සහ චණ්ඩ සත්වයන් ගැවසෙන, අන්‍ය මනුෂ්‍යයන්ගේ සංචාර රහිත වූ එක පදික මාර්ගයකින් (අඩි පාරවල් වලින්) යායුතු වූ, ගැඹුරු ජලයෙන් යුතු මලය දේශය පිළිබඳව එම ලිපි වල උපුටා දැක්වූ කරුණු වලට අමතරව තවත් විශේෂ සඳහනක් පාළි විනය පිටකයට බුද්ධඝෝෂ හිමියන් විසින් මහානාම රජුගේ (ක්‍රි.ව. 406-428) රාජ්‍ය කාලයේ කල ලෙස සැලකෙන සමන්තපාසාදිකා නම් අටුවා ග්‍රන්ථයේ දැක්වේ. පාලි විනය පිටකයේ දැක්වෙන්නේ 'ගාම' යනුවෙන් හැඳින්වෙන්නේ 'කුටි' එකකින් හෝ දෙකකින් හෝ තුන හතරකින් හෝ සමන්විත වූ ප්‍රදේශයක් බවය. එවකට ලියැවී තිබූ හෙළ අටුවා අනුසාරයෙන් බුද්ධඝෝෂ හිමියන් විසින් පෙල බසින් සම්පාදනය කරන සමන්තපාසාදිකාවේ මෙම සඳහන විවරණය කරමින් මෙහි
'කුටි' ලෙසින් හැඳින්වෙන්නේ 'ගෙහ' (සිං: ගෙය) බවත් 'එක් ගෙයකින් පමණක් සමන්විත වූ ගම් මලය ජනපදයේ ඇති බවත්' පවසයි.
සෙල්ලිපිය සහිත ලෙන සහ ඒ තුල ඉදිකර ඇති විහාරගෙය
ඒ අනුව මලය ජනපදය එම යුගය වන විටත් අඩු ජන ඝනත්වයක් සහිත ගම් වලින් යුක්ත වූ බව පෙනේ. එම ගම් පවා එකිනෙක අතර බොහෝ දුරස්ථ ලෙසින් පිහිටා තිබෙන්නට ඇත. පුරාතණ සහ මධ්‍යතන යුගයන් වලට අදාලව මෙරට හමුවන බොහෝ නටබුන් ගොඩනැගිලි හමුවන්නේ පැරණි රජරට සහ රුහුණු රට ලෙස සැලකෙන වියලි තැනිබිම් වලින් විනා කඳුකර ප්‍රදේශ වලින් නොවීම මෙම අදහස තව දුරටත් තහවුරු කිරීම සඳහා සාධක ලෙස ඉදිරිපත් කල හැක. කෙසේ නමුත් මලය රටට අයත් ප්‍රදේශ වල මුල් ඓතිහාසික යුගයේ පටන්ම ජනාවාස තිබූ බවට තොරතුරු මධ්‍ය කඳුකරයට අයත් ප්‍රදේශ වල අතරින් පතර හමුවන කටාරම් කෙටූ ලෙන් වලින් සහ ඒවායෙහි කොටා ඇති මුල් බ්‍රාහ්මී (Early Brahmi Inscriptions) හෝ අපර බ්‍රාහ්මී (Late Brahmi Inscriptions) ලෙන් ලිපි වලින් විද්‍යාමානවේ. බොහෝවිට ගංගා නිම්න හෝ ඒවායේ අතු ගංගා ආශ්‍රිතව හමුවන සාපේක්ෂව තැනිතලා සරුසාර භූමිය මෙම මුල් ජානපදිකයන්ට වාසස්ථාන මෙන්ම ගොවිතැන් කටයුතු උදෙසා අවශ්‍ය පහසුකම් වලින් යුක්ත වූ බව පෙනේ. මහවැලි ගඟට එක්වන අතු ගංගාවක් වන උමා ඔය නිම්නයේ පිහිටි එවන් ලෙන් ලිපියක් ගැන විස්තර ඉදිරිපත් කිරීම කෙරෙහි ප්‍රධාන වශයෙන් මෙම ලිපියෙන් අවධානය යොමුවේ.
ගල්ලන්දා ඔය සහ බෝගොඩ පැරණි ලී පාලම
සුප්‍රසිද්ධ බෝගොඩ පාලම මෙරට බොහෝ දෙනෙකු සංචාරය කර ඇති හෝ අවම වශයෙන් අසා ඇති තැනක් මුත් එම සංචාරකයන්ගෙන් බහුතරය අසල ඇති ලෙන් විහාරයේ කටාරමට පහලින් කොටා ඇති ලිපිය කෙරෙහි එතරම් අවධානයක් යොමු නොකරයි. මෙරට ලෙන් විහාර සියල්ලකම පාහේ පැතිර ඇති, නැතිනම් පතුරවා ඇති වළගම්බා රජු සැඟවී සිටි තවත් එක් ලෙනක් යන ජනකාන්ත මිත්‍යාව පවසන විහාරවාසී භික්ෂූන්වහන්සේ නමකගේ හෝ මාර්ගෝපදේශකයෙකුගේ යාන්හෑලි එයට වඩා ඔවුන්ට ආකර්ෂණීය වන්නා සේය. ඇතැම් විට වළගම්බා රජු මෙම ලෙනේ සිට බණ්ඩාරවෙල- බදුල්ල පාරේ හමුවන දෝව රජමහාවිහාරය දක්වා ගමන් කල උමගේ කටද ඔවුන් ඔබට පෙන්වනු ඇත. එහි අනෙක් කොන එම දෝව රජමහාවිහාරයේදී අසා බලා ගත හැක.

බෝගොඩ ලෙන් ලිපිය
පරුමක තිශ පුත බමදතශ ලෙනෙ අගත අනගත චතුදිශ ශගශ පඩිටිතෙ

මෙහි අර්ථය වනුයේ පරුමකවරයෙකු (එනම් ප්‍රධානියෙකු) වූ තිශ (පාලි: තිස්ස) ගේ පුතු වූ බමදතගේ ( පාලි: බ්‍රහ්මදත්ත) ලෙන එනම් ඔහුට අයත්ව තිබූ ලෙන සිව් දෙසින් පැමිණි සහ නොපැමිණි සංඝයාට පිහිටවූ බවයි.

ඉහත ලිපියට පහලින් තවත් ලිපියක මුල් කොටස පමණක් දැකගත හැකි අතර එහි උපසික (එනම් උපාසිකා) යන වචනය පමණක් කියැවිය හැක.
ලෙන් ලිපිය
බ්‍රාහ්මි අක්ෂර
භාරතයේ විවිධ ප්‍රදේශ වලින් හමුවන අශෝක අධිරාජ්‍යාගේ ආඥා ලියාතැබූ සෙල්ලිපි වල භාවිතා වන අක්ෂර මාලාව පුරාවිද්‍යාඥයන් විසින් 'බ්‍රාහ්මි අක්ෂර' ලෙසින් හඳුන්වයි. එම හැඳින්වීම 3 වන ශතවර්ෂයේ පමණ රචිත ලෙස සැලකෙන ලලිතවිස්තර නම් වූ ග්‍රන්ථයක එන විවිධ ආකාරයේ වූ අක්ෂර මාලා පිළිබඳ හැඳින්වීමක දැක්වෙන වචනයක් ආශ්‍රයෙන් ඔවුන් භාවිතයට ගෙන ඇතත්, එම අකුරු භාවිතා වූ ලෙස සැලකෙන ක්‍රි.පූ 3 වන ශතවර්ෂයේ සිට 3 වන සියවස දක්වා වූ මුළු කාලය පුරාම 'බ්‍රාහ්මි අක්ෂර' යන හැඳින්වීම ඒවාට යොදාගත්තේද යන්න පැහැදිලි නැත.
බෝගොඩ අසල උමා ඔය නිම්නයේ හෙල්මලු වී වගාව
මෙරටට 'බ්‍රාහ්මි අක්ෂර' හඳුන්වාදීම මහින්දාගමනයත් සමග බෞද්ධාගම මෙරට පැමිණීමත් සමග සිදුවූ ලෙස පොදු පිළිගැනීම වුවත් එයට පෙර සිටම එම අක්ෂර මෙරට භාවිතා වූ බවට සාධක මෑත කාලයේදී ආචාර්ය සිරාන් දැරණියගල, මහාචාර්ය රාජ් සෝමදේව වැනි පුරාවිද්‍යාඥයන්ගේ පර්යේෂණ තුලින් හමුවී ඇත. කෙසේ නමුත් අපගේ ප්‍රස්තුතයට අදාල සෙල්ලිපිය පැහැදිලිවම බුද්ධාගම මෙරටට හඳුන්වාදීමට පසුව පිහිටවූ බවට එහි අන්තර්ගතය අනුව වටහා ගත හැක. අඩු වැඩි වශයෙන් මෙම යුගයට අයත් බොහෝ ලෙන් ලිපි වල මෙම වචනම උපයෝගි කරගනිමින් කිසියම් පුද්ගලයෙකු සතුව පැවති ලෙනක් සඟ සතු කල බව යන කෙටි සදහන පමණක් හමුවේ. මෙහිදි එම පැවරීම එක් විශේෂිත සංඝයා වහන්සේ කෙනෙකුට නොව සතර දෙසින් පැමිණි සහ නොපැමිණි (එනම් අනාගතයේදී පැමිණීමට ඉඩ ඇති) සංඝයා වහන්සේ වෙත පවරා ඇත. වෙනත් ලෙසකින් පැවසුවහොත් එම පැවරීම සිදු කර ඇත්තේ සංඝ සමාජයට විනා එක් සුවිශේෂි තෙර නමකට නොවේ.
බෝගොඩ අසලදී උමා ඔය
 ඒ අනුව මෙම ප්‍රදේශයේ ක්‍රි.පූ. 3 වන සියවසත් 1 වන සියවසත් අතර කාලයේ පවා ජනාවාස පැවති බවත් ප්‍රභූ සමාජයේ පරුමකවරුන්ට අයත් ලෙන් බුදු සමය පැමිණීමත් සමග භික්ෂුන් වහන්සේගේ වාසය සඳහා පවරා දීම් සිදු වූ බවටත් පැහැදිලි වේ. උමා ඔයට ගලා බසින ගල්ලන්දා ඔය ලෙසින් අද හඳුන්වන ඔය ඉවුරේ ඇති මෙම ලෙන තුල දැනට මහනුවර යුගයේ හෝ ඉන්මෑත යුගයේ ඉදි කල විහාරගෙයක් ඇති අතර ගල්ලන්දා ඔයෙන් එතෙර වීමට තනා ඇති බෝගොඩ පාලමද මහනුවර යුගයේ සිදු කල ඉදිකිරීමක් බව විශ්වාස කරයි. එම පාලම වැටී ඇත්තේ පැරණි බදුල්ල- මහනුවර මාර්ගය ඔස්සේ බවට මෙයට පෙර ලිපියකදී කරුණු ඉදිරිපත් කර ඇත (එම ලිපිය කියවීමට Link>>)

මූලාශ්‍ර
  • Paranavitana s., 1970, Archaeological Survey of Ceylon, Inscriptions of Ceylon Volume 1, Early Brahmi Inscriptions.
  • පාලි සාහිත්‍යය, පොල්වත්තේ ශ්‍රී බුද්ධදත්ත මහා නායක ස්ථවිර, 1966
  • පෞරාණික ස්ථාන සහ ස්මාරක. බදුල්ල දිස්ත්‍රික්කය, නිලන්තිකා ප්‍රියදර්ශනී, ප්‍රියන්ගා ප්‍රියදර්ශනී, 2017
  • Social And Cultural History of Ancient Sri Lanka, S.B. Hettiaratchi, 1988

Sunday, December 2, 2018

පැරණි මාගම රාජධානිය පිහිටියේ ඇලහැරද?

දේවානම්පියතිස්ස රජුගේ දෙවන සහෝදරයා උපරජු මහානාග නම් විය. හේ දිනක් වැවක් කරමින් උන් තැනක සිටින විට දේවානම්පියතිස්ස රජුගේ දේවිය උපරජු වෙත අඹ යැව්වේ ඉන් උඩින්ම වූ අඹ ගෙඩියට විෂ යොදා උපරජු මරණ අටියෙනි. මහානාග රජු මැරීමට ඇයට උවමනා වූවේ දේවානම්පියතිස්ස රජුගෙන් පසුව සිය එකම පුත් කුමරාට බලය ලබාගැනීමේ පරමාර්ථයෙන් බව වංශ කතාව අපට පවසයි. මෙකල සම්ප්‍රදාය වූවේ රජුගෙන් පසු ඉන්පසුව සිටින රජුගේ වැඩිමහල් සොහොයුරාට බලය හුවමාරු වන "සහෝදර සමාගමේම" බලය රදවාගැනීමේ සම්ප්‍රදායකි ("සහෝදර සමාගම" වෙනුවට "සමනල් සමාගම" තෝරාගත් වර්තමාන සිංහලයන් වසර තුනකුත් මාස ගණනක්ම මදි නොකියන්න ඉල්ලාගෙන කෑම අතීතය නොදැනීමේ වරදක් විය නොහැකිද?) රජුගේ වැඩිමහල් පුතුට බලය හිමිවන්නේ සියළුම සහෝදරයන් ජීවතුන් අතර නැති විටකදී පමණි. දේවානම්පියතිස්ස රජුට තවත් සහෝදරවරු සිටි බැවින් මහාවංශය පවසන පරිදි උපරජුව මරා දැමීමට රජුගේ දේවියට හේතුවූ කරුණ එලෙසින්ම පිළිගැනීමට මදක් අපහසුය. කෙසේ නමුත් මහානාග උපරජු සමග එම දේවියගේ පුතුද වැව සාදන ස්ථානයට ගොස් සිටි බැවින්  සැබවින්ම සිදුවූවේ එම කුමරු විෂ යෙදු අඹ ගෙඩිය අනුභව කර මරණයට පත්වීමය. මින් බියපත්වූ මහානාග යුවරජු සිය දේවිය, ධනය සහ බල සෙනග ගෙන රුහුණ බලාගොස් එහි අධිපතිව මාගම (මහාගාම) සිට රාජ්‍යය කල බව පැවසේ.
ඇලහැර අමුණේ සිට අඹන් ගගේ ජලය ගිරිතලා, මින්නේරි සහ ගඟතලා (කන්තලේ) වැව් කරා ගෙනයන ඇලහැර යෝධ ඇල. මේ පිළිබඳව වැඩිදුර තොරතුරු සඳහා Link>>
ඉන්පසුවත් වංශ කතාවේ බොහෝවර සඳහන් වන, පැරණි රුහුණු රටේ පිහිටි මාගම හෙවත් පාළියෙන් මහාගාම ලෙසින් හැඳින්වුන "මහ ගම", අද තිස්සමහාරාමය ලෙසින් හැඳින්වෙන ප්‍රදේශය කෙන්ද්‍රකරගනිමින් පැවත තිබූ බව පොදු පිළිගැනීමයි. පසුකාලීනව මාගම රාජධානිය පිහිටියේ තිස්සමහාරාමයේ බව අවිවාදිතව සියළුම ඉතිහාසාඥයන් සහ පුරාවිද්‍යාඥයන් පාහේ පිළිගන්නා මුත් මුල් යුගයේ මහානාග රජු සිය රාජධානිය පිහිටවූ, ඉන්පසු දුටුගැමුණු රජු සිරිලක එක්සේසත් කරන තෙක් පැවති "මහා ගම" නොහොත් මාගම වූ රුහුණේ අගනුවර පිහිටියේ තිස්සමහාරාමයේ නොවන බවට අවම වශයෙන් විද්වතුන් දෙපලක් සාධක සහිතව කරුණු දක්වයි. ඒ අතරින් පූජ්‍ය එල්ලාවල මේධානන්ද හිමියන් රුහුණේ නැගෙනහිර ප්‍රදේශයේ කුඹුක්කන් ඔයට උතුරෙන් වූ ප්‍රදේශයේ දැනටද මාගම ලෙසින් නාම ශේෂ වූ ගම්මානයක් පිහිටි ප්‍රදේශය ආශ්‍රිතව මුල් මහාගාමය පිහිටි බවට කරුණු ඉදිරිපත්කරන අතර, මහාචාර්ය සිරිමල් රණවැල්ල මහතා වර්තමාන ඇලහැර ප්‍රදේශය ආශ්‍රිතව එය පිහිටි බවට තර්ක කරයි. මේ ලිපිය සිය මතය තහවුරු කිරිම උදෙසා රණවැල්ල මහතා ඉදිරිපත් කරන කරුණු දැක්වීම් වලින් කිහිපයක් කෙරෙහි පමණක් අවධානය යොමුකිරීම උදෙසා යොමුවන අතර පැරණි මාගම රාජධානිය පිහිටියේ ඇලහැරද එසේ නොවේනම් තිස්සමහාරාමයේද යන්න පිළිබඳව අවසාන නිගමනයක් සිදු කිරීමට මෙහිදි අදහස් නොකරමි.
යෝධ ඇල අද්දර පිහිටා ඇති කිසියම් පැරණි පූජනිය ස්ථානයක තහවුරු කල නටබුන්

මහාචාර්ය සිරිමල් රණවැල්ල මහතා ඉදිරිපත් කරන එක් සාධකයක් වන්නේ දුටුගැමුණු රජු රජරට බලය අත්පත් කරගැනීම උදෙසා එළාර සමග සටන් වැදීමට, මාගමින් නික්මීමට පෙර මලයෙහි සිට මෙහි (එනම් අනුරාධපුරයට) එන මාර්ගය පිරිසිදු කල බවට මහාවංශයේ එන සඳහනයි. ඒ අනුව ඒ මහතා තර්ක කරන්නේ මාගම පිහිටියේ මලය දේශයේ බවය. මුල් කාලයේදී මලය දේශයද රෝහණ රටට අයත්ව තිබෙන්නට ඇති බවය එතුමාගේ අදහස වනුයේ (මලය දේශයේ සීමා මායිම් පිළිබඳව වූ පෙර ලිපිය කියවීමට >.Link). මේ අදහසම පාළි මහාබෝධි වංශයේද සඳහන් වේ. පසු කාලීනව කුරුණෑගල යුගයේදී ලියැවුණු සිංහල මහාබෝධිවංශයේ මිහිඳු මා හිමියන් විසින් දේවානම්පියතිස්ස රජුට පවසන අනාවැකියක් ලෙසින් එය සඳහන් වන්නේ මෙලෙසිනි. " .....ඒ රජ තෙමේ [දුට්ඨගාමිණී අභය හෙවත් දුටුගැමුණු]......මහා යෝධ වූ කඬොලැතා පිටට නැගී , මලය දේශයෙන් අවුත් එළාර නම් දෙමළ රජ්ජුරුවන් හා යුද්ධ කොට..."  

කෙසේ නමුත් පැරණි රෝහණයේ මලය ග්‍රාමය නමින් ග්‍රාමයක් වූ බවත් ඉහත මහාවංශ පාඨය එම මලය ග්‍රාමය පිළිබඳව විය හැකි බවත් මා මෙයට පෙර අවස්ථාවකදී කරුණු දැක්වූවෙමි (මෙම ලිපීයේ මලය රට සහ මලය ග්‍රාමය කොටස බලන්න >> Link ). ඒ අනුව සිරිමල් රණවැල්ල මහතාගේ අදහස පිළිබඳව යම් සැකයක් මතු වන බව අප සඳහන් කලමුත් පාළි මහාබෝධිවංශය සහ එය අනුසාරයෙන් ලියැවුණු සිංහල බෝධිවංශය සිරිමල් රණවැල්ල මහතාගේ මතයට රුකුලක් ලබා දේ.
අඹන් ගඟට අසල කුමාර ඇල්ල ප්‍රදේශයේ සංරක්ෂිත පැරණි ජන්තාඝරයක්
පාළි රසවාහිනියේ එන දුටුගැමුණු රජුගේ මහානේල නම් යෝධයාගේ කතාවේ පැවසෙන්නේ ඔහු මහගමින් නික්ම උදෑසන දීඝවාපී (දිගාමඩුල්ල ලෙසින් පාළි රසවාහිනියේ සිංහල අනුවාදය වූ සද්ධර්මාලංකාරයේ එයි.) හරහා ගොස් ගංගා නම් නදිය අසල වඩමන්තොට (වඩ්ඪමානක තීර්ථය) නම් ස්ථානයකදී (සද්ධර්මාලංකාරයට අනුව මහවැලි ගඟ වඩමන් නම් තොට) දැහැටි කා මුව සුද්ධ කොටගෙන, ගෙනගිය බත් අනුභව කර, මහාපාලී නම් දන්හල සංඝයාවහන්සේ දහවල් දන් වලදන්නට පෙර අනුරාධපුරයට ගිය බවයි.  

සහස්සවත්ථුප්කරණයේ එන වේළුසුමන කතාවට අනුව විහාරමහා දේවියගේ කුසේ ගැමුණු කුමරු පිළිසිඳගත් විට ඇයට ඇති වූ දොළ සන්සිඳුවීම උදෙසා උදෑසන ආහාර ගන්නා වෙලාවේ මාගමින් පිටත් වූ වේළුසුමන යෝධයා පා ගමනින් ගොස් දීඝවාපියේදී උදේ ආහාරය ගෙන, හිරු අවරට යත්ම වඩමන්තොටට (වඩ්ඪමානක තීර්ථය) ලඟා වී, පසුව හවස් වරුවේම අනුරාධපුරයට පැමිණි බව පැවසේ.
අඹන් ගඟට අසල කුමාර ඇල්ල ප්‍රදේශයේ සංරක්ෂිත පැරණි බෝධිඝරයක්
මේ කරුණු අනුව මාගම අනුරාධපුරයට එතරම් දුරින් නොපිහිටි බවත් එය කිසිසේත්ම එක් දිනකින් හෝ වරුවකින් පා ගමනින් යා නොහැකි තිස්සමහාරාමය නොවන බවටත් තර්ක කල හැකි බව සිරිමල් රණවැල්ල මහතා පවසයි. කෙසේ වුවත් යෝධයන්ගේ වීර ක්‍රියා අතිශයෝක්තියෙන් වර්ණනා කිරීම උදෙසා රචිත කතා ලෙස ඉහත සිදුවීම් දෙකම එකවර බැහැර කල නොහැක්කේ පපංචසූදනී නම් අටුවා ග්‍රන්ථයේ එන පහත කතාවෙන්ද මාගම අනුරාධපුරයට එතරම් දුරින් නොපිහිටි බවට තහවුරු වන බැවිනි. 

දීඝභාණක අභය නම් වූ තෙර නමක් අරියවංස ප්‍රතිපදාව වදාළ අවස්ථාවේ මාගම සියළු ජනතෙම එය ඇසීමට පැමිණි බවත්, එහෙයින් තෙරුන් වහන්සේට මහත් සත්කාර උපන් බවත් මෙය ඉවසිය නොහුණු එක්තරා මහතෙර කෙනෙක් දේශනාව අවසානයේ දෙදෙනා වහන්සේම තම තමන්ගේ විහාර වලට යාමේදී,  දීඝභානක අභය තෙර සමග ගව්වක් පමණ දුර යනතුරා, එම දීඝභාණක අභයතෙරුන්ට ආක්‍රෝෂ  කළ බවත් පැවසේ. මාගම සිට එම තෙරුන් වහන්සේලා පා ගමනින්ම ගව්වක් දුර වැඩ, එතැන් සිට ඔවුනොවුන්ගේ විහාර වලට වෙනම මගකින් ගිය බැව් එම කතාවෙන් පැහැදිලි වේ. සිරිමල් රණවැල්ල මහතා පවසන්නේ දීඝභාණක අභය තෙරුන් වැඩ සිටියේ චේතියපබ්බත විහාරයේ බවත් (එනම් වර්තමාන මිහින්තලයේ) එබැවින් මාගම සිට එක රැයින්ම ඒ හිමියන් සිය විහාරයට වැඩම කල බව පෙනෙන හෙයින් මාගම මිහින්තලයට එතරම් දුර නොවූ ස්ථානයක තිබිය යුතු බවත්ය. කෙසේ නමුත් පපංචසූදනියේ සිංහල පරිවර්තනයේ  ඉහත කතාව ඇතුලත් කොටසේ දීඝභාණක අභය හිමියන් ඒ තෙරණුවන්ගේ විහාරයට වැඩි බව විනා විශේෂයෙන් චෙතියපබ්බතයට වැඩම කල බව සඳහන් නොවේ. ඒ හිමියන් චෙතියපබ්බතයේ වැඩ සිටි බවට සඳහන් වන්නේ අත්ථසාලිනී නම් වූ වෙනත් අටුවා ග්‍රන්ථයක එන වෙනත් කතාවක් ඉදිරිපත් කිරීමේදීය. එසේම අරියවංශ දේශනාවට මාගම ජනයා පැමිණි බව විනා එය මාගමදී දේශනා කල බව පපංචසූදනී සිංහල පරිවර්තනයේ පැහැදිලිව සඳහන් නොවේ.
ටොලමිගේ ලංකා සිතියම
ක්‍රි.ව. දෙවැනි ශතවර්ෂයට අයත් ටොලමිගේ (Ptolemy) තැප්‍රොබේන් (Taprobane) ලෙසින් හැඳින්වෙන  ලංකා සිතියමේ Maagrammon ලෙසින් අනුරාධපුරයට (Anourogrammon) ගිණිකොන දෙසින් සැතපුම් 35-40 පමණ දුරකින් මාගම සලකුණු කර තිබීමද මාගම අනුරාධපුරයට එතරම් දුර නොවන ස්ථානයක තිබූ බවට තවත් එක් සාධකයක් ලෙස සිරිමල් රණවැල්ල මහතා දක්වයි.

වජ්‍රබෝධී නම් භාරත භික්ෂූන්වහන්සේ නමකගේ මෙරට සිදු කල චාරිකාවක චීන බසින් ඇති වාර්තාවකට අනුව ක්‍රි.ව. 718 දී කාංචිපුර (Kien-tchi) සිට මෙරටට පැමිණි ඒ හිමියන් අනුරාධපුර අභයගිරි විහාරයේ (Abhaya-raja-vihara) සිට ගිණිකොන දෙසින් ලංකා පර්වතයේ (Lanka-Parvata) පිහිටි සිරිපා සටහනක් වන්දනා කිරීමට යාමේදී රෝහණයේ (Lou-ho-no) පාලකයා හමු වූ බවත්, ඔහුට මහායානය දේශනා කල බවත් සඳහන් වේ. ලංකා පර්වතය අනුරාධපුරයට ගිණිකොන දෙසින් ඇලහැරට දකුණින් පිහිටි ලකේගල ලෙස හඳුනාගතහොත් වර්තමාන ඇලහැර ප්‍රදේශය පැරණි රෝහණයේ පාලකයා විසූ අගනුවර වන මාගම ලෙස පහසුවෙන් හඳුනාගත හැකි බව පෙනේ. එහෙත් ලකේගල මුදුනේ සිරිපතුලක් මේ වන විට දැකිය නොහැක. 
ලකේගල
තවද මාගම රාජධානිය ආරම්භ කල මහානාග යුවරජු පිළිබඳව ලලාට ධාතුවංශයේ එන සඳහනකට අනුව එකල මහාදේව තෙරුන් දඹදිව කොසඹෑ නුවර ඝෝසිතාරමයේ ගන්ධකුටියේ තැන්පත් කොට තිබූ බුදුන්ගේ ලලාට ධාතුව ලක්දිවට ගෙනවිත් ලක්දිව හත්ථොට්ඨ නම් ජනපදයට රැගෙන විත් ඇත. මහාකාල නම් කෙළඹි පුත්‍රයාගේ මග පෙන්වීම මත මහානාග යුවරජ හත්ථොට්ඨ ජනපදයට ගොස් එම ලලාට ධාතුන්වහන්සේ මාගමට රැගෙන විත් ඇත. මහානාග යුවරජු හත්තොට්ඨ ජනපදයේ ලලාටධාතුව ඇති බව දැනගන්නේ 'අපගේ සම්මා සම්බුදු රජාණන් වහන්සේ ගේ ධාතුන් වහන්සේ ගෙන ආ කෙනෙකුන්ට බොහෝ සැපත් දෙමි' යැයි නුවර [එනම් මහාගාමය තුල] බෙර ලැවූ කල්හි, හත්තොට්ඨ ජනපදයේ විසූ මහාකාල කෙළඹි පුත්‍රයාට එය දැන ගැනීමට හැකිවීමෙනි. මේ අනුව හත්තොට්ඨ ජනපදය මාගමට ආසන්නව තිබිය යුතු බවට උපකල්පනය කල හැක. ලග්ගල සහ ඇලහැර අතර දැනටද හත්තොට ලෙසින් හැඳින්වෙන ප්‍රදේශය පුරාණ හත්තොට්ඨ ජනපදය ලෙස හඳුනාගන්නා බැවින් මාගම ඇලහැරට ආසන්නව වූ බවට වන ඉහත මතයට එයද තවත් එක් සාධකයක් ලෙස ගත හැකිවේ.
ටොලමිගේ සිතියමේ මාගම ලකුණු කර ඇත්තේ Ganges ලෙසින් හැඳින්වෙන ගඟක වම් ඉවුරේය. 10 වන ශතවර්ෂයට අයත් පොළොන්නරුවේ පරාක්‍රම සමුද්‍රය අසලින් සොයාගත් ටැම් ලිපියක අඹන් ගඟ හඳුන්වා ඇත්තේ මහා ගංගා ලෙසිනි. ඒ අනුව අනුරාධපුර යුගයේ මහා ගංගා ලෙසින් හඳුන්වා ඇත්තේ අඹන් ගඟ ලෙස පවසන සිරිමල් රණවැල්ල මහතා අඹන් ගඟේ වම් ඉවුරේ වර්තමාන ඇලහැර ප්‍රදේශයේ පැරණි මාගම තිබිය යුතු බවට නිගමනය කරයි. අනුරාධපුර අවසාන භාගයට හෝ පොළොන්නරු යුගයට අයත් විය හැකි  අත්තරගල්ලෑව, ඔරුබැඳි සියඹලාව, මළුවේ යාය යන ස්ථාන වල ඇති නටබුන්ද, තවමත් මතු කර නොගත් ඇලහැර අසල වනාන්තරයේ ඇති පැරණි නගරයක නශ්ඨාවශේෂද එම පැරණි මාගම නගරයේ පසුකාලීන නටබුන් විය හැකි බවය ඒ මහතාගේ අදහස.
ඇලහැර අවට අඹන් ගඟ දෑලේ නටබුන් ස්ථාන කිහිපයක්
මූලාශ්‍ර
  • රෝහණ රාජ්‍යයේ ඉතිහාසය, මහාචාර්ය සිරිමල් රණවැල්ල, 2003
  • Memoirs of the Archaeological Survey of Ceylon, Vlume XI, History of the Kindom of Rohana (From the Earliest times to 1500 A.C. )
  • Chino-Sinhalese relations in the early and middle ages (Translated from M. Sylvain Levi's Article in the Journal Asiatique) Journal of Ceylon Branch of Royal Asiatic Society. Vol XXIV No 68, 1915-16
  • පපඤච සූදනී නම් වූ මජ්ජිමනිකායට්ඨකථා 1 (සිංහල පරිවර්තනය) රාජකීය පණ්ඩිත ආඳාවල දේවසිරි මහා ස්ථවිරර 2008
  • සිංහල ධාතුවංශය (සේරුවාවිල තිස්ස මහා විහාරවංශය ) M.W. විමල් විජේරත්න සංස්කරණය, 2012
  • Nicholas C.W. 1963, Historical Topography of Ancient and Medieval Ceylon, Journal of the Ceylon Branch of the Royal Asiatic Society, New Series, Volume VI, Special Number. 
  • Early History of the Buddhism in Ceylon, E.W. Adikaram, 2009
  • සහස්සවත්ථුප්පකරණය,  සංස්කාරක වෑගම පියරතන හිමි, 1999
  • මහාවංස 1 වෙළුම, මහානාම අනුවාදයේ මොග්ගල්ලාන සංස්කරණය, නව සංස්කරණය මාගධී පෙළ ස්සහ සිංහල අනුවාදය, නව සංස්කාරක චන්ද්‍ර වික්‍රමගමගේ, සිංහල අනුවාදය අරුණ තලගල, 2012
  • මහාවංස 2 වෙළුම, ක්‍රි.ව. 303-1815 මාගධී පෙළ සහ සිංහල අනුවාදය, නව සංස්කාරක චන්ද්‍ර වික්‍රමගමගේ, සිංහල අනුවාදය අරුණ තලගල, 2012
  • විල්ගම්මුළ මාහිමියන්ගේ සිංහල බෝධිවංසය, මහාචාර්ය සුචරිත ගම්ලත් සහ දර්ශනපති ඊ. ඒ. වික්‍රමසිංහ සංස්කරණය, 1996
  • මාගම රාජධානිය, පූජ්‍ය එල්ලාවල මේධානන්ද හිමි, 
  • සද්ධර්මාලංකාරය
  • අත්ථසාලිනී නම් වූ ධම්මසංගණිප්පකරණට්ඨ කථා (සිංහල පරිවර්තනය ) සෝමරත්න ගම්ලත් වෙලගෙදර, 2008

Thursday, October 12, 2017

මලය රට ෆෙඩරල්ද?

ඊනියා යහපාලනයක් සෙවූ අමන රැලකගේ ඔළමොට්ටල කමට පින්සිදුවන්නට ජඩපාලනය විසින් රට බෙදන ව්‍යවස්ථාවේ මූලික සැකිල්ල එළියට දමා ඇත. ඒ අනුව ලෝකයේ අන්තර්ජාතිකව පිළිනොගන්නා ඉංග්‍රිසි භාෂාවේ නොමැති වචන වන සිංහල 'ඒකිය' සහ දෙමළ 'ඔරුමිත්ත නාඩු' (සන්ධිය යන තේරුම ඇති) යන වචන ඉංග්‍රිසි පිටපතේ මෙතෙක් තිබූ 'Unitary State' යන්න වෙනුවට යොදා ගනිමින් අනාගත රටවල් දෙකකට මූලික නීතිමය අඩිතාලම දමා ඇත (Sri Lanka (Ceylon) is a free, sovereign and independent Republic which is an aekiya rajyaya / orumiththa nadu). ජනවාර්ගික වශයෙන් ජනතාව බෙදමින් ඉන්දියානු දෙමළ, ශ්‍රි ලංකා දෙමළ සහ මුස්ලිම් උප ජනාධිපතිවරු තිදෙනෙක් ඇතිකිරීම, උතුර සහ නැගෙනහිර නැවත එක් කිරීම, පාර්ලිමේන්තුවේ ජනවාර්ගික අනුපාතය අනුව සමන්විත වන දෙවන මන්ත්‍රි මණ්ඩලයක්, ඔලුවිල් වලට වෙනම මුස්ලිම් කලාපයක්, ප්‍රාන්ත වලට උපරිම ලෙස බලය බෙදීම, සිංහල සහ දෙමළ ජාතික ගී දෙකක් ආදි නොයෙකුත් හානිකර වගන්ති වලින්ද එය සමන්විතය. කුමන අයුරින් හෝ ජනවාර්ගික වශයෙන්  රටේ කොටස් බෙදා ඒවාට ක්‍රමයෙන් විවිධ බලතල එක් කිරීම යනු අනාගත වෙනම රාජ්‍යන් සඳහා මග එලි පෙහෙලි කර දීමක් බව අමුතුවෙන් කිව යුතු නොවේ.

ව්‍යවස්ථා කෙටුම්පතේ හානිකර කරුණු පිළිබඳව දැනුවත් වීම සඳහා Link>>

මෙවන් තත්වයක් යටතේ පැරණි ලක්දිව පාලන ඒකක බෙදී තිබූ ආකාරය පිළිබඳව අවධානය යොමු කිරීම වැදගත් බව පෙනේ. මක් නිසාද යත් ඉංග්‍රිසින් මෙරට පාලනය ලබාගන්නා තෙක්ම 'ජන වාර්ගික වශයෙන්' බෙදී තිබූ ප්‍රදේශිය පාලන ප්‍රදේශ මෙරට නොතිබූ බව ඉන් පෙන්වා දිය හැකි බැවිනි. උතුරේ ආර්ය චක්‍රවර්ති පාලනය යටතේ මෙන්ම වන්නියාර් වරු යටතේ වන්නි බල ප්‍රදේශ වලද සිටියේ මේ රටේ භූමිපුත්‍රයන් වන සිංහලයන්ය (සිංහල යනු ජනවර්ගයක් නොව ජාතියකි). දෙමළ, මුස්ලිම් ආදී විවිධ සංක්‍රමණික මෙන්ම ස්ථිරව වාසස්ථාන ඇතිකරගත් ජන වර්ග උතුරේ මෙන්ම රටේ අනෙක් ප්‍රදේශ වලද සිටි අතර ඔවුන් ක්‍රමයෙන් කුල ක්‍රමය යටතේ සිංහල ජාතිය තුලට අවශෝෂණය වූහ. (එසේ නොවූ අවස්ථාද නැතිවා නොවේ.)  මෙ සියලු කරුණු ඉදිරියට විස්තාරාත්මකව සාකච්චා කරන්නට බලාපොරොත්තු වෙමි. පෙර ඉදිරිපත් කල පහත දැක්වෙන ලිපි වලද ඒ පිළිබඳව ඇතැම් කරුණු ඉදිරිපත් කර ඇත. Link>>
දුම්බර කඳුකරය
මලය රට පිළිබඳව අප පෙර ලිපියකින්ද විස්තර සාකාච්චා කලෙමු. කියවන්න >>  මලය රට සොයා සමනොළගිරෙන් දුම්බරට

මලය රටේ ඉතිහාසය (දුටුගැමුණුගේ සිට මහසෙන් දක්වා)

දමිළයන් සහ යුද වැදීමට ගඟෙන් එතෙර යාමට අවසර නොදුන් බැවින් සිය පියා වූ කාකවණ්ණතිස්ස රජු සමග අරගල කල ගාමණී කුමාරයා  මාගමින් නික්ම මලය රටට පලා ගිය බවත්, පියා කෙරෙහි දුෂ්ඨ වූ බැවින් මහජනයා ඔහු දුෂ්ඨගාමණී නමින් හැඳින්වූ වගත් මහාවංශයේ විස්තර වේ. කාකවණ්ණගේ මරණින් පසු රජකම ලැබූ එම දුෂ්ඨගාමණී රජු (ක්‍රි.පූ. 161 - 137), එළාර සමග සටනට යාම සඳහා මාගමින් නික්මීමට පෙර මලයෙහි සිට එන මාර්ගය පිරිසිදු කරවූ බව එහිම සඳහන් වේ.

ඉළනාග රජු (ක්‍රි.ව. 33 - 43) කල රජුට එරෙහිව කැරලි ගැසූ ලම්බකර්ණ වංශිකයන් රජු අල්ලා රජගෙයිම සිර කොට තැබූ කල, රජුගේ මගුලැතු සිරගෙය කඩා රජු ඉන් මුදවාගෙන ඔහුව සිය පිටමත හිඳුවාගෙන මහාතිත්ථයට (අද මන්නරාම අසල ඇති මාන්තායි) ගෙන ගොස් නැවක නැංවූ බවත්, ඉන්පසු ඇතු බටහිර වෙරළ ඔස්සේ මලය රටට ගිය බවත් මහාවංශය පවසයි. එම පුවතේ සත්‍ය අසත්‍ය තාවය කෙසේ වුවත් බටහිර වෙරළ ඔස්සේද මලය රටට යා හැකිව තිබූ බව එමගින් අපට පැහැදිලි වේ.

නැවත වෝහාරික තිස්ස රජු (ක්‍රි.ව. 209 -231) කල ඔහුගේ බාල සොහොයුරු අභයනාග බොහෝ දමිළයන් රැගෙන පරතෙර සිට පැමිණ රජු හා යුද වැදීමට නගරය සමීපයට පැමිණි කල රජු දේවිය සමග අසෙකු පිට නැගී මලයරටට පලා ගියහ. ඔහු ලුහුබඳින අභයනාග , මලයරටේදී රජු මරා දේවියද ගෙන නගරයට පැමිණ රාජ්‍යය ලබාගත් බව පැවසේ.

 එසේම මහසෙන් රජු (ක්‍රි.ව. 274 - 301) කල මහාවිහාරවාසී භික්ෂුන්ට රජුගෙන් උවදුරු පැමිණි කල්හී එම භික්ෂූන් මහාවිහාරය හැරදමා මලයට සහ රුහුණට ගිය බව පැවසේ. රජුගේ මෙම ක්‍රියාදාමය කෙරේ කිපුණු මේඝවණ්ණාභය ඇමැති මලයරටට ගොස් මහත් සේනා ගෙන රජු හා සටනට දූරතිස්ස වැව අසල කඳවුරු බැඳගත් නමුත්, රාත්‍රියේදී මිහිරි පානයක් සහ මස් මලය රටින් ලැබ ඒවාද රැගෙන ඔහු හා සටන් වැදීමට කඳවුරු බැඳ සිටි රජු හමුවීමට තනිවම ගොස්, රජු සමග එම මස් හා පානය වළදා, සටන් අතහැර සාකච්චා මාර්ගයෙන් ගැටලුව විසදා ගත් බවත් වංශ කතාව අපට පවසයි.
දුම්බර කඳුකරය
මලය රට සහ මලය ග්‍රාමය
දුෂ්ඨගාමණි රජුගේ මරණ මංචකයේදී ඔහු කල කුසල් සටහන් කර තැබූ 'පින්පොත' කියවන අවස්ථාවේදී 'අක්ඛක්ඛලි' නම් වු දුර්භික්ෂයේදී රුහුණු ජනපදයෙහි මලය ග්‍රාමයෙහිදී රජු සිය කුණ්ඩලාභරණ දෙක දී තණහාල් නැළියක් ගෙන, ඇඹුල්කැඳ පිස, සිය කුසගින්න අතහැර එම ඇඹුල්කැඳ රහතන්වහන්සේලා පස්නමකට දුන් බව සඳහන් වේ. ඒ අනුව මලය නමින් වූ 'ග්‍රාමයක්' රුහුණෙහි වූ බව පෙනේ. එළාර සමඟ යුද වැදීමට නික්මෙන ගාමණි කුමරු මලයෙහි සිට එන මාර්ගය පිරිසිදු කල බව ඉහත උපුටා දැක්වූ මහාවංශ සඳහන එම මලය ග්‍රාමය සම්බන්ධයෙන් වූවා විය නොහැකිද? ඒ අනුව මලය ග්‍රාමය පැහැදිලිවම රුහුණු රටට අයත් බව වංශ කතාව පවසන බැවින් මලය රට හා එහි සම්බන්ධයක් නොමැති බව පෙනේ. පැරණි මාගම රාජධානිය රුහුණෙහි නොව මලය රටේ වර්තමාන ඇලහැර ප්‍රදේශයේ වූ බවට වූ මහාචාර්ය සිරිමල් රණවැල්ල මහතාගේ මතයට මෙම සඳහනද (මලයෙහි සිට එන මාර්ගය පිරිසිදු කල බව) උපයෝගි කරගන්නා බැවින් ඒ පිළිබඳව යලි සලකා බැලිය යුතු බව අපට හැඟේ. කෙසේ නමුත් රුහුණු ජනපදයෙහි පිහිටි මලය ග්‍රාමයේදී මෙම සිදුවීම වූ බවට වූ මහාවංශ ගාථාව හමුවන්නේ එහි මොග්ගල්ලාන සංස්කරණයේ පමණි මහානාම හිමියන් කල සංස්කරණයේදී එය සිදු වූ බව පැවසෙන්නේ කොට්ට නම් වූ පව්වෙහිය (එය රුහුණු ජනපදයෙහි වූ බව වංසත්ථප්පකාසිනිය පැහැදිලි කරයි.)
කඳුකර ගංගාවක් - කුරු ගඟ (ශ්‍රීපාද අඩවිය)
මලය රටේ ඉතිහාසය (මහසෙන් සිට 1 පරාක්‍රමබාහු දක්වා)
දෙවන උපතිස්ස (ක්‍රි.ව. 517 - 518) රජු රාජ්‍ය විචාරන අවධියේ සිළාකාළ නම් වූ ලම්බකර්ණ වංශිකයෙක් දකුණු මලය රටට ගොස් මහත් බළසෙන් රැස් කොට නගරය ගැනීමට ආ කල, කස්සප නම් වූ රජුගේ පුත්‍රයෙකු ඔහු හා සටන් වැද මුලදී ඔහුව පැරදූ මුත් හෙතෙම උපායෙන් නැගෙනහිර සහ බටහිර පෙදෙස් අත්පත් කර ගෙන නැවත පැමිණ සත් දිනක් නගරය අවහිර කරයි. එම අවස්ථාවේ ඔහු හා යුද නොවැදී කස්සප මහළු වූ සිය පිය රජු හා පිරිවර සමග රාත්‍රියේ මලයට යෑමට නික්මුණ මුත් ඔවුන් මග නොදැන අතරමං වේ (මලය රටට යාමට තිබූ මාර්ගය රජුට සහ පිරිවරට පවා සොයාගත නොහැකි වූ බව කීමෙන් හැඟෙන්නේ එය නිතර භාවිතා වූ ජනාකිර්න මාවතක් නොව කුඩා අඩි පාරක් වැන්නක් බවය. පෙර ලිපියේ ගෙනහැර දැක්වූ මහාවංශ පාඨයද කියවන්න.Link >>). මෙහිදි සිළාකාල පැමිණ ඔවුන් හා දරුණු යුද කර රාජ්‍යය අත්පත් කරගනී. ඉක්බිති එම සිළාකාල රජු (ක්‍රි.ව. 518 - 531) සිය පුතුන් තිදෙනාගෙන් මධ්‍යම පුත්‍රයා (දාඨාපභුති) හට මලයරජ තනතුරද, දක්ෂිණ දේශයද  දී මුහුද රැකීම සඳහා ඔහු යෙදවීය.
කඳුකර වන මංපෙතක් - දුම්බර කඳුකරය

පළමුවන අග්ගබෝධි (ක්‍රි.ව. 571 - 604) රජු සිය බෑනා හට තම දියණිය විවාහ කරදී ඔහුව මලයරජ තනතුරේ පිහිටුවීය.

අසිග්ගාහක සංඝතිස්ස රජු (ක්‍රි.ව. 614) රජවූ කල ඔහු හා යුද වැදුන මොග්ගලාන නම් වූ රුහුණේ සිට පැමිණි සෙන්පතියා ඔහු පරදා බලය ලබාගත් බැවින් රජු මේරුමජ්ජර වනයට පලා ගිය බවත්, රජුගේ එක් පුත්‍රයකු වූ ජෙට්ඨතිස්ස මලය දේශයේ මේරුකන්දර නම් වූ ස්ථානයට ගිය බවත් මහාවංශයේ දෙවන කොටසින් විස්තර වේ. ඉන්පසු රජු, පුතු (ජෙට්ඨතිස්ස නොවේ) සහ ඔවුනට හිතවත් ඇමතියෙකු වේළුවන විහාරයට ගොස් භික්ෂු වෙස් ගෙන රුහුණට යන අදහසින් මණිහීරයට (මින්නේරිය) පැමිණි මුත් එහිදී ඔවුන් හඳුනාගන්නා රාජපුරුෂයන් රජ අණ පරිදි ඔවුන්ව සීගිරියට ගෙන ගොස් හිස ගසා මරා දමනු ලබයි. සංඝතිස්ස රජු මොග්ගල්ලාන සමග සටන් වැදීමට යාමේදී ඔහු හා එක් නොවී ගිලන් වූවෙකු ලෙස හඟවා නගරයේ නැවතී පසුව පිටුපස සිට රජුට පහරදී මොග්ගල්ලනට සහය දුන් රජුගේ සෙන්පතියාට මොග්ගල්ලාන (ක්‍රි.ව. 614 - 619) රජවූ පසු මලය රජකම දුන් බව වංශ කතාව පවසයි.

කෙසේ නමුත් කිසියම් හේතුවක් නිසා පසු කලක එම මලයරජ හා කිපුණු මොග්ගල්ලාන රජු ඔහු උපායකින් ගෙන්වාගෙන අත්පා සින්ඳවයි. මලය රජකම ලැබූ සෙන්පතියාගේ පුතුට මොග්ගල්ලාන රජු අසිග්ගාහක තනතුර ලබා දී තිබුණි. සිය පියාගේ අත් පා සින්දවූ බව දැනගත් ඔහු සිය පුතුද සමගින් රුහුණට පලාගොස් එහි සිට ජනපද රට අල්ලා ගනිමින්, මලය රටෙහි සැඟවි සිටි ජෙට්ඨතිස්ස හමුවී ඔහු සමග එක්ව දෝළ්හ පබ්බතයේ කඳවුරු බැඳ මොග්ගල්ලාන රජුට එරෙහිව යුද වදී. එහෙත් පසුව ඔහු හා යුද වැදීම සඳහා පැමිණි රජුගේ මිනිසුන් උණ රෝගයකින්  මියයෑම නිසා සටන් කල නොහැකිව පලා යන රජුව සීගිරිය අසලදි අල්ලගෙන මරා දමයි. පසුව අසිග්ගාහක ඔවුන් සමග නොගිය ජෙට්ඨතිස්සද මරාදැමීම සඳහා 'පැමිණ රජවන' ලෙස පවසා ඔහුට හසුනක් යැවූ මුත් ඔහුගේ උපාය වටහා ගත් හෙතෙම නැවතත් මලය දේශයට පලායයි. අසිග්ගාහක සිලාමේඝවණ්ණ (ක්‍රි.ව. 619 - 698) නමින් අනුරාධපුරයට ගොස් රජවි ලක්දිව අණසක පතුරවයි.

මලය රටේ සැඟවී සිටි ජෙට්ඨතිස්ස නැවත මතුවන්නේ සිළාමේඝවණ්ණ රජුගේ පුත් වූ තුන්වන අග්ගබෝධී රජුගේ (ක්‍රි.ව. 628) රාජ්‍ය කාලයේය. ඔහු  මලය රටේ සිට අරිට්ඨ (රිටිගල) පර්වතයට පැමිණ ජනයා රැස් කර අග්ගබෝධි රජ දඹදිවට පලවාහැර රාජ්‍ය ලබාගනී.

සිරිසංඝබෝධි නමින් රජවූ සිව්වන අග්ගබෝධි රජුගේ (ක්‍රි.ව. 667 - 683) රාජ්‍ය කාලයේ 'මහත් දනවත් වූ මලය රජු', මණ්ඩලගිරි විහාරයේ ස්ථූපයට වටිනා දා ගෙයක් කරවූ බවත් ලෝහප්‍රාසාදයේ (ලෝවාමහපායේ) මැද කුළුගෙයි පියස්සද කරවූ බවත් පැවසේ. (මේ අනුව මලය රජු සිය බල ප්‍රදේශයෙන් පිටත රජරට ප්‍රදේශයේ පවා වෙහෙර විහාර ඉදි කල බව පෙනේ.)

පළමුවන මහින්ද රජුගෙන් (ක්‍රි.ව. 730 - 733) පසු අග්ගබෝධී නමින් වූ ඔහුගේ පුතුන් දෙදෙනෙකුගෙන් එක් අයෙකු සිලාමේඝ නමින් රජවී (ක්‍රි.ව. 733 - 772) අනෙක් අග්ගබෝධි කුමරුවා යුව රජ තනතුරේ තැබූහ. කලකදි වෙනත් අයගේ කේලම් බස් අසා ඔවුනොවුන් කෙරෙහි සැක ඉපදී ඔවුන් අතර යුද ගැටුම් පැණ නැගුන අතර යුව රජ තනතුර දැරූ අග්ගබෝධි කුමරුවා සටනින් පැරදී මලය දේශයට පැනගිය මුත්, පසුව රජු තනිවම මලය දේශයට ගොස් නැවතත් සිය සොහොයුරා නුවරට රැගෙන එයි.

තුන්වන සේන (ක්‍රි.ව. 938 - 946) රජුගේ රාජ්‍ය කාලයේ අග්ගබෝධි නම් වූ ඇමතිවරයෙක් මලය රජ තනතුර දැරූ බවත් සේන රජු එම මලය රජු විසින් කරවන ලද නාගසාලා පිරිවෙණ දැක එයට ගමක් දුන් බවත් පැවසේ.

අනුරාධපුර රාජධානිය චෝළ ආධිපත්‍යට නතුව තිබූ අවධියේ මලය පර්වත ප්‍රාන්තයේ බුද්ධරාජ නම් වූ මහා බල ඇති වීරයෙක් වූ බව වංශ කතාව පවසයි. ඔහු කිර්ති කුමාරයා හා එක්වේ (පසු කලක චෝළ බලමුළු පරදවා 1 විජයබාහු (ක්‍රි.ව. 1055 - 1110) නමින් වූයේ එම කීර්ති කුමාරයාය). වංශ කතාව අනුව සොළීන් හා සටන් වැදීමට පොරොතුව මූලසාල ගමෙහි සිටි කිර්ති කුමරා ඉන් නික්ම සරීවග්ගපිට්ඨි ගමට ගොස් විරුද්ධවාදීන් සිටි බෝධිවාල නම් ගම ජයගෙන, එහි සිට චුණ්ණසාල ජනපදයට ගොස් එහි වසමින්, ලෝකෙශ්වර නම් වූ සෙන්පතිවරයා හා සටන් වැද සියළු මලය මණ්ඩලය ඔහු යටතට ගනී.

එම විජයබාහු රජුගේ රාජ්‍ය කාලයේ රජුට විරුද්ධ වී දඹදිවට පලාගිය සහෝදරයන් තිදෙනෙකු රජුගේ 19 වන රාජ්‍ය වර්ෂයේදී නැවත ලක්දිව පැමිණ රුහුණු රටද, මලය මණ්ඩලයද, සියළු දක්ඛිණ පස්සයද පෙරලාදැමූ බව මහාවංශයේ එන සඳහන අනුව පැහැදිලි වන්නේ පොළොන්නරු යුගයේ මුල් කාලයේදීද දක්ඛිණ පස්ස සහ මලය මණ්ඩලය ලෙස කලාප දෙකක් රුහුණු සහ පිහිටි රටට අමතරව වූ බවය.
දුම්බර කඳුකරය
මලය රට පිළිබඳව ඉහත විස්තර කල ප්‍රධාන වශයෙන්ම මහාවංශයේ ඇතුලත් කරුණු අනුව පෙනී යන්නේ එහි පාලනය හැම විටම පාහේ අනුරාධපුරයේ සිටි මහ රජතුමා තමුනට අවනත පුද්ගලයෙකු යටතේ පවත්වාගෙන ගිය බවය. එසේම මලය රජු ලෙසින් හැඳින්වූ එහි පාලකයා ඇතැම් කාල වලදී රජරටට අයත් ප්‍රදේශ වලද ඇතැම් ආගමික ඉදිකිරිම් කර ඇති බැවින් (එසේම ඇතැම් අවස්තා වලදී මලය රජු ඉදි කල ආගමික ඉදිකිරීම් වලට අවශ්‍ය ගම් ප්‍රධානය කර ඇත්තේ රජරට සිටි මහ රජතුමාය) අපට පෙනී යන්නේ ඔහු රජ පවුලටම සම්බන්ධ හෝ මහ රජුට විශ්වාසී මලය රට යනුවෙන් හැඳින්වූ ප්‍රදේශයේ පාලන කටයුතු මෙහෙයවූ සහ රජු වෙනුවෙන් එහි ආදායම් එකතු කල නායකයෙකු විනා එම මලය ප්‍රදේශය පමණක් භුක්ති විදීම සඳහා පත් කල 'ෆෙඩරල්' කලාපයක නායකයෙකු නොවන බවය. තවත් වැදගත් කරුණක් වන්නේ වනදුර්ග, ගිරි දුර්ග ජලදුර්ග ආදියෙන් සමන්විත මලය රට, කෙන්ද්‍රිය රජරට පාලකයාට එරෙහිව කැරලි ගැසූ ඇතැම් ජන නායකයින්ට ආරක්ෂාව සඳහා සැඟවී සිටීමට කදිම ක්ෂේම භූමියක් වූ බවය (එමෙන්ම ඇතැම් අවස්ථා වලදී බලය හෙබවූ රජුද කැරලිකරුවන්ගෙන් බේරි පලායාමට මලය මණ්ඩලය තෝරාගෙන ඇත.). තවද බොහෝ අවස්ථා වලදි රජරට පාලනය විදේශීය සොළි ආදී ආක්‍රමණිකයන්ට නතු වූ විට ආක්‍රමණිකයන්ගෙන් බේරී  දිවි රැකගත් රාජකීයන්ට රුහුණ මෙන්ම මලය රටද සැඟවී සිටීමට මෙන්ම නැවත සේනා සංවිධානය කරමින් ආක්‍රමණිකයා පලවා හැරීම සඳහා අවශ්‍ය ක්‍රියාමාර්ග ගැනීමට අවශ්‍ය රැකවරනය සහ සම්පත්ද සැපයීහ.

මූලාශ්‍ර
  • මහාවංස 1 වෙළුම, මහානාම අනුවාදයේ මොග්ගල්ලාන සංස්කරණය, නව සංස්කරණය මාගධී පෙළ ස්සහ සිංහල අනුවාදය, නව සංස්කාරක චන්ද්‍ර වික්‍රමගමගේ, සිංහල අනුවාදය අරුණ තලගල, 2012
  • මහාවංස 2 වෙළුම, ක්‍රි.ව. 303-1815 මාගධී පෙළ සහ සිංහල අනුවාදය, නව සංස්කාරක චන්ද්‍ර වික්‍රමගමගේ, සිංහල අනුවාදය අරුණ තලගල, 2012
  • The Mahavamsa or The Great Chronicle of Ceylon, Translated into English by Wilhelm Geiger, 1950
  • Mahavamsa The Great Chronicle of Sri Lanka, An Annotated new translation with Prolegomena by Ananda W. P. Guruge, 2005.
  • මායා රට ඉතිහාසය, සිරිමල් රණවැල්ල, 2016
  • Nicholas C.W. 1963, Historical Topography of Ancient and Medieval Ceylon, Journal of the Ceylon Branch of the Royal Asiatic Society, New Series, Volume VI, Special Number. 
  • Chulavamsa, Being the more recent part of the Mahavamsa, Translated by Wilhelm Geiger And from the German into English by C. Mabel Rickmers, 1929
  • වංසත්ථප්පකාසිනිය, මහාවංශ ටීකාව - සිංහල අනුවාදය, අකුරැටියේ අමරවංශ නාහිමි සහ හේමචන්ද්‍ර දිසානායක , 1994