Sunday, October 20, 2019

කුවේණිය ලතෝනිදුන් ගලෙහි දුෂ්ඨගාමිණී පිහිටවූ තුමුල සෙල් ලිපි

මෙරට තෝනිගල ලෙසින් හැඳින්වෙන ස්ථාන කිහිපයක්ම ඇති අතර ඉන් ස්ථාන දෙකකම පැරණි සෙල්ලිපි හමුවේ. මෙරට එකල පැවති බැංකු ක්‍රමය ගැන විස්තර සඳහන් ඉන් එක් සෙල්ලිපියක් වව්නියාව දිස්ත්‍රික්කයේ තිබෙන අතර මේ ලිපියේ ප්‍රස්තුතය වන තෝනිගල සෙල් ලිපි පිහිටා ඇත්තේ පුත්තලම දිස්ත්‍රික්කයේය. එම සෙල්ලිපි වල වීඩියෝවක් සමග කෙටි හැඳින්වීමක් මීට පෙර ලිපියකින් ඉදිරිපත් කල අතර ඒවායෙහි වැඩිදුර විස්තර සහිත මෙම ලිපිය කියවීමට පෙර සෙල්ලිපියේ විශාලත්වය සහ පිහිටි පරිසරය පිළිබඳව අවබෝධයක් ලබාගැනීම උදෙසා එම වීඩියෝව නැරඹීම වැදගත්ය Link >>

මෙම ස්ථානයේ කුඩා වැවක වැව්බැම්ම ඔස්සේ එකිනෙකට මීටර 100 පමණ දුරින්  පිහිටා ඇති ගල්තලා දෙකක් මත විශාල සෙල්ලිපි දෙකක් ඇති අතර ඒවායේ වචනයක් දෙකක් අඩු වැඩි ලෙස එහෙ මෙහෙ වීම නිසා එක් සෙල්ලිපියක පිටපතක් ලෙස අනෙක සැලකිය නොහැකි මුත්, එම සෙල්ලිපි දෙකෙහිම අර්ථය එකක් ලෙස සැලකීමට එය බාධාවක් නොවේ. ඉන් එක් ලිපියක පෙල සහ ලිපි දෙකෙහිම අර්ථ මෙසේ දැක්විය හැක.
සෙල්ලිපිය 1
පරුමක අබය පුත පරුමක තිශහ වපි අචගිරික තිශ පවතහි අගත අනගත චතුදිශ ශගශ දිනෙ දෙවනපිය මහ රක්ධ ගමිණි අබයෙ නියතෙ අචනගරකච තවිරිකිය නගරකච පරුමක අබය පුත පරුමක තිශ නියත පිත රක්ධහ අගත අනගත චතුදිශ ශගශ

ලිපිය 1 අර්ථය - පරුමක අබයගේ පුත්‍රයා වූ පරුමක තිශහගේ වැව අචගිරික තිශ පර්වතයේ පැමිණි නොපැමිණි සිව්දිග සංඝයාට දෙන ලදී. දෙවන පිය මහරජ ගමිණි අබය විසින් දෙන ලදී. අචනගරයද තවිරිකිය නගරයද පරුමක අබයගේ පුත්‍රයා වූ පරුමක තිශ විසින් පැමිණි නොපැමිණි සිව්දිග සංඝයාට දෙන ලදී.

ලිපිය 2 අර්ථය - පරුමක අබයගේ පුත්‍රයා වූ පරුමක තිශ විසින් මේ වැව අචගිරික තිශ පවතහි පැමිණි නොපැමිණි සිව්දිග සංඝයාට දෙන ලදී. දෙවනපිය මහරජ ගමිණි අබය විසින් දෙන ලදී අචනගරයද, තව්රකිය නගරයද අචගිරික තිශ පවතහි පැමිණි නොපැමිණි සිව්දිග සංඝයාට පරුමක අබයගේ පුත්‍ර පරුමක තිශගේ විහාරයද දෙන ලදී.
සෙල්ලිපිය 2
ඒ අනුව මෙම සෙල්ලිපි දෙකින්ම කියැවෙන්නේ අචගිරික තිශපවත නම් වූ විහාරයට වැවක් සහ නගර දෙකක් පිදීම පිළිබඳවය. එක් ලිපියක "මේ වැව" ලෙසින්ම සඳහන් වන බැවින් එම විහාරයට පූජා කල වැව මෙම ලිපි දෙක පිහිටා ඇති ගල්තලා මතින් එහි වැව් බැම්ම වැටී ඇති දැනට තෝනිගල වැව ලෙසින් හැඳින්වෙන වැව ලෙස හඳුනාගත හැක. මෙම සෙල්ලිපි පිළිබඳව වර්ෂ 1909 දී සිය Ancient Ceylon ග්‍රන්ථයේ සඳහනක් කරන හෙන්රි පාර්කර් එකල එම වැවට භාවිතා වූ නම ලෙස සඳහන් කරන්නේ ගල් වැව හෝ ගලේ වැවය (Galawaewa, the Rock tank). එයටත් පෙර කලක වර්ෂ 1883 දී එඩ්වඩ් මියුලර් එය කුඩා වැව ලෙස හඳුන්වයි. (කෙසේ නමුත් මියුලර් ලිපි වල සඳහන් වැව රෝහණයේ දූරතිස්ස වැව විය හැකි බව පවසයි.)
අඩියක් පමණ විශාලව අඟලක් පමණ ගැඹුරට ගලේ කොටා ඇති සෙල්ලිපි අක්ෂර
මෙම ලිපි වල සඳහන් දෙවනපිය මහරජ ගමිණි අබය ලෙසින් හැඳින්වෙන රජු හඳුනාගැනීම පිළිබඳව සඳහන් කරමින් මියුලර් සඳහන් කරන්නේ එම රජු දුට්ඨගාමිණී (දුටුගැමුණු) හෝ වට්ඨගාමිණී (වලගම්බා) විය හැකි බවය (ගාමිණි අබය නම් සහිත රජවරුන් ලෙස මෙම යුගයේ අපට හමුවන්නේ ඉහත නම් සඳහන් රජවරුන් දෙදෙනා පමණි). ඒ අතරින් 'දෙවනපිය' විරුදාවලිය නිසා හෙතෙම වට්ඨගාමිණි වීමට වැඩි ඉඩක් ඇති බව ඔහු පවසයි. හෙන්රි පාර්කර් එම රජු දුට්ඨගාමිණි ලෙස නිසැකවම පවසයි. කෙසේ නමුත් මෙම සෙල්ලිපි වල අක්ෂර අයත් යුගයේ මෙරට පාලනය කල රජවරුන් අතරින් වට්ඨගාමිණී රජුගේ (ක්‍රි.පූ. 103 සහ නැවත ක්‍රි.පූ. 89 - 77) ලෙසින් හඳුනාගත් වෙනත් සෙල්ලිපි වල හමුවන ඔහු භාවිතා කල විරුදය වනුයේ 'දෙවනපිය' විරුදය නොව 'පිතිමහරජ' යන්නය (මහාවංශයේ සහ අට්ඨකථා වලද පිතුරාජ ලෙසින් ඔහුව හඳුන්වා ඇත.) එම හේතුව මත මෙම ලිපි වල සඳහන් රජු දුට්ඨගාමිණි (ක්‍රි.පූ. 161 - 137) ලෙසින් හඳුනාගන්නා එල්ලාවල මේධානන්ද හිමියන්ගේ හඳුනාගැනීම වඩාත් නිවැරදි බව පෙනේ. C.W. නිකොලස් මහතාද එම රජු බොහෝවිට දුට්ඨගාමිණි අභය රජු විය යුතු බව පවසයි.
තෝනිගල වැව
එම රජු විසින් ඉහත ලිපි වල සඳහන් වන පරිදි අචනගරය සහ තවිරිකිය නගරය ලෙසින් හැඳින්වෙන නගර දෙකක් අචගිරික තිශපවත විහාරයට පූජා කර ඇත.  එම නගර දෙක හෝ විහාරය නිසැකව හඳුනාගැනීමට සාධක නොමැති මුත් මෙම ලිපි වල සඳහන් පරුමක අබයගේ පුත් වූ පරුමක තිශ විසින් කරවූ ලෙන් ලිපි 3 ක්ම මේ අසලම පිහිටි දැනට පරමාකන්ද විහාරය ලෙසින් හැඳින්වෙන ගල් ලෙන් පිහිටි කඳු ගැටයක හමුවේ. ඉන් ලිපි දෙකකම පැවසෙන පරිදි ඔහු දුතනවිකහ/දුටකණයතහ නම් තනතුරක් දරා ඇති බව පෙනේ. එහි අදහස තානාපති සේවයේ යෙදුන නාවිකයෙක් යන්නය (Envoy-.mariner). මෙ අනුව පරුමක තිශ අපගේ හඳුනාගැනීම නිවැරදි නම් දුටුගැමුණු රජු යටතේ නාවික තානාපති සේවයේ යෙදී සිටි ප්‍රභූවරයෙකු ලෙස හඳුනාගත හැක.
තෝනිගල සිට දිස්වන පරමාකන්ද 
අචගිරික තිශපවත විහාරය (අච්ඡගිරි තිස්ස පබ්බත) යන්නෙහි 'අචගිරික' යන්නෙහි අර්ථය වලස්ගල ලෙසින් ගත හැක. මෙම විහාරයට බොහෝ පූජාවන් කල පරුමක තිශ නැමැත්තාගේ නමින් එය 'තිශපවත' වූවා විය හැක. එම විහාරය මෙම ස්ථානයෙන් ඈතක පිහිටි වෙනත් විහාරයක් ලෙස හඳුනාගන්නවාට වඩා ඉහත පරුමක තිශගේ වෙනත් ලිපිද හමුවන පරමාකන්ද විහාරය ලෙසින් දැනට හැඳින්වෙන විහාරය ලෙසින් සැලකීම නිවැරදි බව පෙනේ. එම විහාරය පුරාණයේ මෙම ස්ථානය දක්වාම පැතිර තිබෙන්නට ඇති බවට වූ සාධකයක් ලෙස කඩගලින් කල ස්ථූපයක නටබුන් මෙහි තිබී දැනට විනාශ වී ගොස් ඇති බවට පරනවිතාන මහතා 1972 දී පැරණි ස්ථාන නාමාවලියේ කරන සඳහන උපයෝගි කරගත හැක.
පරමාකන්ද  ගල් ලෙන්
මහාවංශයේ සඳහන් වන පරිදි සූරතිස්ස රජු නැගෙනහිර අච්ඡගල්ලක විහාරය නමින් විහාරයක් කරවීය. නැගෙනහිර අච්ඡගල්ලක විහාරය ලෙසින් එය හැඳින්වෙන බැවින් අනුරාධපුරයට නිරිත දිගින් පිහිටි මෙම විහාරය සූරතිස්ස රජු තැනවූ විහාරය විය නොහැක. නැගෙනහිර අච්ඡගල්ලක විහාරය නමින් සූරතිස්ස රජු තැනවූ විහාරය හඳුන්වන්නට ඇත්තේ අච්ඡගල්ලක නමින් වෙනත් විහාරයක්ද ඒ වන විට තිබූ නිසා විය හැක. එය අනුරාධපුරයට නිරිත දිගින් පිහිටි මෙම විහාරය විය නොහැකිද? කෙසේ නමුත් මෙම මහාවංශ ගාථාවේ අර්ථය පහදන වංසත්ථප්පකාසිනී නම් මහාවංශ ටීකාව දේවානම්පියතිස්ස රජු (ක්‍රි.පූ. 250 - 210) විසින් 'දකුණු දිග' කරවන ලද අච්ඡවිහාරයෙන් වෙන්කොට දක්වනු පිණිස සූරතිස්ස රජු විසින් අනුරාධපුරයට නැගෙනහිරෙන් රහගල්ලක සමීපයේ කරවන ලද විහාරය එසේ හැඳින්වූ බව පහදා දෙයි. නිවැරදි දිශාව නිරිත දෙසින් වුවත් අනුරාධපුරයට සැලකිය යුතු දුරකින් දකුණට වන්නට පිහිටි පරමාකන්ද, එම දේවානම්පියතිස්ස රජු කරවූ අච්ඡවිහාරය ලෙසින් හඳුනාගැනීමද එතරම් වැරදි නොවන බව අපට හැඟේ. මෙහිදි මහාවංශ ටීකාව මුල් කාලයේ අනුරාධපුරයට දකුණින් කලා වැවෙන් සීමා වූ ලෙස පැවති රෝහණ රාජ්‍යය (මහාචාර්ය සිරිමල් රණවැල්ල මතය) මෙහිදී 'දකුණු දිග' ලෙස හැඳින්වූවා විය හැක. මහාවංශයේම පසුව එන සඳහනකට අනුව වට්ඨගාමිණි අභය රජු දමිළයන් සමඟ යුද වැදී පරාජය වී සැඟවී  සේනා සංවිධානය කරමින් සිටි සමයේ කුපික්කලමහාතිස්ස තෙරුන් හමුවී අච්ඡගල්ල විහාරයේ බුද්ධපූජාවක් කරවීය. වට්ඨගාමිණි අභය රජු සැඟවී සිටි ප්‍රදේශයෙහිම පිහිටි මෙම විහාරය බොහෝවිට එම අච්ඡගල්ල විහාරය විය හැක.
පරමාකන්ද  ගල් ලෙන්
ඒ අනුව දුටුගැමුණු රජු ඔහුට පෙර සිටි දේවානම්පියතිස්ස රජු කරවූ අච්ඡවිහාරයට නගර දෙකක් පූජා කරමින්ද, රජුගේ තානාපති සේවයේ යෙදී සිටි නාවිකයෙක් වන පරුමක තිශ වැවක් පුදමින්ද, එම විස්තර සඳහන් කරමින් එම තිශ සමග එක්වී මෙම ස්ථානයේ මෙරට විශාලම අකුරින් රචිත දිගම සෙල්ලිපි ද්වය පිහිටුවා ඇති බවට අනුමාන කල හැක. මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමන් වසර ගනනාවක් ඉදිරිය ගැන සැලසුම් කරමින් ඉදිකල මාගම්පුර වරායට ලෝකයේ ලොකුම ස්විමින් පූල් එක ලෙස ගැරහූ රතු අලි ලප කුමාරලා එකල සිටියා නම් මොනවා නොකියන්න ඇත්ද? මෙරට උසම ගොඩනැගිල්ල වන නෙළුම් කුළුන සැදුවේ පැනලා මැරෙන්නදැයි ඇසුවේද ඔහුගේම සගයා Till Win ය. ගාමිණි දුෂ්ඨයා ලොකුම අකුරින් දිගම සෙල්ලිපිය කලේ හඳේ හාවාට පේන්නදැයි "රතු-කොළ අලි" එකල සිටියා නම් දුටුගැමුණුගෙන් අහනවා සිකුරුය.

** මෙම ලිපියෙහි මාතෘකාවට පාදක වූ ජන කතා පිළිබඳව විස්තර සඳහා පෙර ලිපියේ (Link>>) පරිකථන (Comments)  කියවන්න.

මූලාශ්‍ර

  • Paranavitana S., 1970, Archaeological Survey of Ceylon, Inscriptions of Ceylon Volume 1, Early Brahmi Inscriptions.
  • Ancient Ceylon, H. Parker, 1909
  • Ancient Inscriptions in Ceylon, Edward Muller, 1883
  • ජාතික උරුමය පණගන්වන ගලේ කෙටූ අකුරු - 1, එල්ලාවල මේධානන්ද හිමි, 2016
  • Nicholas C.W. 1963, Historical Topography of Ancient and Medieval Ceylon, Journal of the Ceylon Branch of the Royal Asiatic Society, New Series, Volume VI, Special Number.
  • පැරණි ස්මාරක නාමාවලිය, සංස්කෘතික අමාත්‍යාංශය 1972
  • මහාවංස 1 වෙළුම, මහානාම අනුවාදයේ මොග්ගල්ලාන සංස්කරණය, මාගධී පෙළ සහ සිංහල අනුවාදය, නව සංස්කාරක චන්ද්‍ර වික්‍රමගමගේ, සිංහල අනුවාදය අරුණ තලගල, 2012
  • වංසථප්පකාසිනිය, මහාවංශ ටීකාව, අකුරටියේ අමරවංශ නාහිමි සහ හේමචන්ද්‍ර දිසානායක සිංහල අනුවාදය, 2001

Sunday, October 13, 2019

පොල්ගෙඩි අකුරින් වලස්ගල වෙහෙරට වැවක් පිදූ පරුමක තිශගේ තෝනිගල පිහිටි මෙරට විශාලම සෙල්ලිපිය



ඔරුවක හැඩය (දෙමළ තෝනි) සහිත ගල යන තේරුම දෙන තෝනිගල නමින් යුත් ගල් පර්වත සහිත ස්ථානයක් පුත්තලම දිස්ත්‍රික්කයේ ආනමඩුව නගරයට තරමක් උතුරට වන්නට එනමින්ම වර්තමානයේ හැඳින්වෙන වැවක් අසල පිහිටා ඇත. මෙහි අඩු වැඩි වශයෙන් එකම අර්ථය සහිත සෙල් ලිපි දෙකක් එකිනෙකට ආසන්නව හමුවේ. පරුමක අබයගේ පුත් වූ පරුමක තිශ නම් පුද්ගලයෙක් ඔහුට අයත් වැවක් අචගිරික තිශ පර්වතයේ සිව් දෙසින් පැමිණි නොපැමිණි සංඝයාට පූජා කල බව එම ලිපි වල සඳහන් වේ. එම අචගිරික තිශ විහාරය (අචගිරික යන්නෙහි සිංහල තේරුම වලස්ගල ලෙස ගත හැක.) මේ ආසන්නයේම පිහිටි පූර්ව බ්‍රාහ්මි අක්ෂර වලින් ලිපි කොටා ඇති කටාරම් සහිත ලෙන් හමුවන වර්තමානයේ පරමාකන්ද ලෙසින් හැඳින්වෙන පුරාණ සංඝාරාමය විය හැක.  තවද දෙවනපි යන විරුදය ලත් මහරජ ගමිණි අබය නම් රජෙකු විසින් අචනගර සහ තවිරිකියනගර නම් ප්‍රදේශද එම විහාරයට පිරිනැමූ බව එම ලිපි වල සඳහන් වේ. එම ප්‍රදේශ ස්ථිර ලෙසින් හඳුනාගත නොහැකි වුවත් ලිපියේ සඳහන් රජු දුටුගැමුණු හෝ වලගම්බා  යන රජවරුන්ගෙන් කෙනෙකු බවට විවිධ විද්වතුන් මත ඉදිරිපත් කර ඇත. එක් එක් ලිපි අඩි 100 පමණ දිගින් යුත් මෙම සෙල්ලිපි වල අක්ෂර අඩියක් පමණ විශාල වේ. එම අකුරු අඟලක් පමණ ගැඹුරට ගල මතු පිට කොටා ඇත. මෙතරම් දිගින් සහ විශාල අකුරු වලින් යුත් වෙනත් ලිපි මෙරටින් හමුවී නැත.

**තෝනිගල සෙල්ලිපිය පිළිබඳව සවිස්තරාත්මක ලිපියක් ඉදිරියේදී බලාපොරොත්තු වන්න.