Showing posts with label Delgamuwa. Show all posts
Showing posts with label Delgamuwa. Show all posts

Saturday, November 25, 2017

සීතාවකපුර සිට සපරගමුපුරවරට සැවුලා ගිය මග ඔස්සේ

අලගිවන් මුකවෙටි විසින් සීතාවක රාජසිංහ යුගයේ රචනා කල සැවුල් සංදේශය හෙවත් සැවුල් අස්න පිළිබඳව අප සීතාවක බැරැණ්ඩි කෝවිල සම්බන්ධයෙන් වූ පෙර ලිපියේදිද සාකච්චා කලෙමු >>Link. සීතාවක රාජසිංහ රජුට සහ සසුනට සෙත්පතා සීතාවක සිට සැවුලෙකු අත සපරගමුපුරයේ සමන් දෙවොලේ වසන සුමන සුරිඳු වෙත හසුනක් යැවීම එහි අරමුණ විය. එම කාව්‍යයේ එන ගමන් විස්තරය පාදක කර ගනිමින් වර්තමාන අවිස්සාවේල්ල නගරයේ සිට රත්නපුර දක්වා වූ පැරණි මාර්ගය මතු කර ගැණීම මෙම ලිපියේ අරමුණයි.

සීතාවක පුරය
සොඳුරු මෙ පුරවරැ පහ මුදුනත දිමුත
මහරු රුවන් කොත් මුදුන 'තිනි ගිය හොත
නිසරු බවට පැමිණේ දෝ විළි වැ සිත
උතුරු දකුණු වැදැ යන වැන්නැ දියනෙත
සීතාවක ගඟ දෙපස බැරැණ්ඩි කෝවිල සහ රජ මාළිගයේ නටබුන් පිහිටා ඇති ආකාරය
පුරවරයේ මහ විමන් වල මැණික් කොත් වලට ඉහලින් ගියහොත් තමා නිසරු අයකු බවට පත් වේදෝ යන බියෙන් හිරු උතුරටත් දකුණටත් බරවී ඇතින් ගිය බව සඳහන් කරමින් ඉහත පද්‍යයෙන් කවියා වර්ණනා කරන්නේ සීතාවක පුරවරයයි. මේ ආකාරයේ වූ පැදි සැලකිය යුතු ප්‍රමාණයකින් සීතාවක පුරය, එහි පිහිටි රජ මාළිගය, හතර වාසල් දොර හතර වීදී ඉස්මත්තේ පිහිටියා වූ දෙවොල් සතර ආදි විස්තර වලින් අනතුරුව රාජසිංහ රජු, රාජ සභා මණ්ඩපය, සහ එහි රැස්වි සිටි පුරෝහිත බමුණන්, මහ ඇමතිවරු,වහසල මුකවෙට්ටි සමූහය, රාජ සභාවේ කාව්‍යකාරයෝ, සේනානායක මැතිවරු (සෙන්පතියන්), සිටුවරු, සෙනෙවිවරු, ඇපා, මාපා වරු, සහ දහ අටක් වන්නිවල වන්නිවරු ආදී පිරිස් පිළිබඳවද වැනුම් ඉදිරිපත් කර ගඟින් එතෙරව සැවුලාට බයිරව කෝවිලට යන ලෙසට කවියා පවසයි (බයිරව කෝවිල පිළිබඳව වූ වැඩිදුර තොරතුරු සඳහා >> Link )
සීතාවක රජ මාළිගය සහ පසුව ලන්දේසි කොටුව පිහිටි ස්ථානයේ මෑතකදි මතු කරගත් නටබුන්
බයිරව කෝවිල සහ හරඟන විමන එනම් උමයංගනාවගේ දෙවොල වැඳ ගැනිමෙන් අනතුරුව නඩු විසදා තීන්දු දෙන අදිකරණ මහපාය දකිමින් පංච තූර්ය භාණ්ඩ වැයීමේ පුරුදු ඇති පන්සිළු වන් (වීණා වාදනයට දක්ෂ  දෙවියෙක්) බොහෝ නළු පිරිස් වාසය කරන්නා වු මගුල් විදියෙන් යාගන්නා ලෙස සැවුලාට පවසයි. ඉන් අනතුරුව හමුවන්නේ විකුම්සිහ මහ ඇමැතිතුමන් සුවිශාල කෛලාස කූටය හා සමාන වන ලෙසින් කරවූ වසුවල්විටෙහි මහ මඩමයි (එනම් අම්බලමයි).  බොහෝ හස්ති සමූහයා සිටින්නා වූ ඇත්හල යන මාර්ගයේ වම් පසින් අනතුරුව හමුවේ. බයිරව කෝවිල හැරුන විට මේ කිසිදු ස්ථානයක නටබුන් හෝ පිහිටි ස්ථානයක් අප දන්නා තරමට මේ වන විට සොයාගත නොහැක.
බැරැණ්ඩි කෝවිල
ගැටසැත්තේ කඩවත
සයුරත් මෙරත් යුගකෙළ වෙරළ පැනගෙන
වෙතැපත් වෙතත් නවතත් වත් වන බෙලෙන
කඩු කොත් පළඟ දුනු වෙඩි ගත් සෙන් රඳන
යව සිත් ලෙසින් ගැට සැත්තේ කඩවතින.

කල්පාන්තයේ සාගරයත්, මහමෙරත් වෙරළට උඩින් පැන පැමිණියත්, එය වුවද නැවතීමට සමත් කඩු, කොන්ත, දුනු, පලිහ සහ වෙඩි (තුවක්කු?) සහිත බලසෙන් සිටින ගැටසැත්තේ කඩවතින් සැවුලාට 'සිත් සේ' යන ලෙස කවියා පවසන්නේ එම බලසෙන් කුකුලෙකු එම කඩවත හරහා ගමන් කිරීම සැලකිල්ලට නොගන්නා නිසා විය හැකිය. කෙසේ නමුත් සීතාවක නගරයට ඇතුලු වන එක් කඩවතක් මෙම ගැටසැත්ත නම්වූ ස්ථානයේ තිබූ බව මේ අනුව අපට පැහැදිලි වේ. කුඩා කඳු ගැට දෙකක් අතරින් මාර්ගය වැටි ඇති (පහත සිතියම බලන්න)  මෙම ගැටසැත්ත කඩවත නිසැකවම වර්තමාන ගැටහැත්ත මංසන්දියේ හෝ ඒ ආසන්නයේ තිබුනා විය හැක.
ගැටසැත්තේ කඩවත
සීතාවක නගරයේ සිට එම කඩවත දක්වා වූ පැරණි මාර්ගය අඩු වැඩි වශයෙන් වර්තමාන අවිස්සාවේල්ල සිට ගැටහැත්ත දක්වා වූ A4 මාර්ගය ඔස්සේම වූවා විය හැක. කෙසේ නමුත් රජ මාළිගාව පිහිටි ස්ථානයේ සිට සීතාවක ගඟින් එතෙරව බයිරව කෝවිල දෙසට ගිය සැවුලාට ගැටහැත්ත දෙසට පැමිණීමට නම් කිසියම් ස්ථානයකින් නැවතත් එම ගඟින් ආපසු මෙතරට පැමිණිය යුතුය. ඉහත විස්තර වූ පරිදි මාර්ගය සීතාවක නගරයේම වූ තවත් ස්ථාන කිහිපයක් හරහා වැටී තිබූ හෙයින් බයිරව කෝවිලේ සිට මදක් බටහිර දෙසට ගොස් නැවතත් දකුණු දෙසට හැරී ගැටහැත්ත දෙසට යොමු වූවා විය හැක. සැවුල් අස්නේ විස්තර වන අදිකරණ මහපාය වර්තමාන අවිස්සාවේල්ල අධිකරණය පිහිටි පෙදෙසේම වූවාදැයි සාධාරණ සැකයක් මේ අනුව පහල වන්නේ එය බැරැණ්ඩි කෝවිලේ සිට ගඟින් එතෙරව බටහිර දිශාවට ගොස් ගැටහැත්ත දක්වා දකුණු දෙසට විහිදෙන මාර්ගයේ  පිහිටා ඇති බැවිනි (පහත සිතියම බලන්න) පැරණි මාර්ගය වර්තමාන යටියන්තොට මාර්ගය සීතාවක ඔය හරහා යන පාළම පිහිටි ස්ථානයේ වූ පාලමකින් හෝ තොටුපලකින් එතෙරව  ගැටහැත්ත දෙසට යොමුව තිබූ බව මේ අනුව අනුමාණ කල හැක.
සැවුල් සන්දේශ මග වැනුමට අනුව මාර්ගය වැටි තිබූ ආකාරය
ගැටසැත්ත කඩවතේ සිට දෙල්ගමු වෙහෙර දක්වා
ගැටසැත්තේ කඩවතේ සිට මාර්ගය විහිදෙන්නේ රන් රූප වන් වු යෝනන් (යෞවන කාන්තාවන්) සිටින මින්වාන, ගැටදෙල් ගස මඩම (එනම් අම්බලම), රූපත් නොයෙක් කොමළ අඟනන් නිති රඳන බෝපත්ත, ගිරි දේවිය වන් මනා රූ ඇති අඟනන් කෙළි සෙල්ලමේ යෙදී සිටින අස්ගම් මහ සයුර, කරඬු බඳු වූ පිරුණු කෙලින් සිටි පියවුරු ඇති දෙව්ලියන් සරිව පෙනෙන ගැහැණුන් සිටින තලාපිටිය යන පෙදෙස් හරහාය. 

මේ ස්ථාන අතුරින් මින්වාන (මින්නාන ලෙසින්), බෝපත්ත (බෝපැත්ත ලෙසින්) සහ තලාපිටිය (තලාවිටිය ලෙසින්) යන ගම් අද දක්වාම ඒ අයුරින්ම හඳුනාගත හැකිය. අස්ගම් මහ සයුර ලෙසින් හැඳින්වූ පෙදෙසද බොපැත්ත සහ තලාවිටිය අතර අස්ගඟුල ලෙසින් අඟලේ සිතියම් වල ලකුණු කර ඇති ස්ථානය විය හැක. ගැටදෙල් ගස මඩම තිබූ ස්ථානය සිතියම් ආශ්‍රයෙන් හඳුනාගත නොහැකි මුත් ඇතැම් විට එම ප්‍රදේශයේ කරන ගවේෂණයකින් සොයාගත හැකිවනු ඇත. මෙම සියලු ප්‍රදේශ වර්තමාන A4 මාර්ගයට වම් පසින් වූ කඳු පංතියක පාමුලින් එහි නිම්නය ඔස්සේ වයඹ-ගිණිකොණ දිශා ඔස්සේ විහිදී ඇත (පහත සිතියම් 1 සහ 2 බලන්න)
සිතියම 1 
වෙනේ සුපිපි මල් රොන් සහ බිඟුන් සර
ගෙනේ හමන නල විඳැ තුනු ගිමන් හැර
මෙනෙරිපිටියා බැවිලෙන් බැසැ පතර
මෙනේ සතොස සපුරා යාගන් මිතුර

තලාපිටිය පසු කර යන සැවුලාට ඉන්පසු හමුවන්නේ මෙනෙරිපිටියා බැවිලයි එනම් මෙනෙරිපිටිය කැලෑවයි. ඉන්පසු රතු නෙලුමක් වන් මුහුණින් යුතු, දිගු නිල් ඇස් ඇති, හංස පැටියන් වන් පියයුරු ඇති ගම්බද රූමත් ලලනාවන් රති කෙලි කෙලිනා මිලිලවිටිය ගම දැක ගෙන දෙල්ගමු වෙහෙර ලැගුමට එහි ඇතුලු වන ලෙස කවියා සැවුලාට පවසයි.
සිතියම 2
පරකඩුව මංසන්දියට නුදුරින් මෙනේරිපිටිය නම් වූ ගමක් අද දක්වාම එම නමින්ම හඳුනාගත හැක. මේ වන විට බොහෝ දුරට එලි වි ඇති මුත් පැරණි අඟලේ සිතියම් වල 'මූකලාන' ලෙසින් නම් කර ඇති ඇති ඒ අසල වූ කඳු පෙල මෑතක් වන තුරුම වන ගහනයෙන් යුතුව පැවති බව පෙනේ. එම කඳු පෙලේ  නැගෙනහිර බෑවුමේ පාමුල බැවිල නම් වූ ග්‍රාමයක් ද අඟලේ සිතියම් වල ලකුණු කර ඇති අතර මිලිලවිටිය ගමද මිල්ලවිටිය ලෙසින් A4 මාර්ගයට දකුණු පසින් පැහැදිලිව හඳුනාගත හැක.
දෙල්ගමුව වෙහෙර
දෙල්ගමු වෙහෙර
දෙල්ගමුව වෙහෙර සම්බන්ධයෙන් වූ විස්තරාත්මක ලිපියක් මෙයට පෙර ඉදිරිපත් කර ඇති බැවින් ඒ පිළිබඳව මෙහි විස්තර ඉදිරිපත් නොකරමු. එම ලිපිය කියවීම සඳහා Link >>

දෙල්ගමු වෙහෙර සිට සමන් දේවාලය දක්වා මාර්ගය
හිරුහට මඳක් බිම හිය නොමදී දීළෙන
තුරුයට සුපිරිසුදු සුදු වැලි තල සොබන
දුරුකොට තුනු ගිමන් සැතැපී ඉඳැ යෙහෙන
කුරුවිට ගඟැ දෙගොඩ බල සකි ගුණ නඳන
කුරු ගඟ
කුරුවිට ගඟ ලෙස සැවුල් අස්නේ හැඳින්වෙන්නේ දෙල්ගමු වෙහෙර අසලින් ගලන කුරු ගඟයි. මාර්ගයේ ඉන්පසු හමුවන කුරුවිට මුකළාන අද නැති මුත් කුරුවිට යන නාමය ග්‍රාම නාමයක් ලෙසින් සහ A4 මාර්ගයේ හමුවන ප්‍රධාන නගරයක් ලෙසින් ඉතිරිව ඇත.

කුරුවිට මුකලාන පසු කල පසු සැවුලාට හමුවන්නේ ගස් උඩ පැන පැන යන වඳුරන් දැකිය හැකි කොස්ගොඩ ගමය. ඉන්පසු අනවතප්ත විලේ ජලය මෙන් ඉතා නිර්මල පැහැ ඇති ජලයේ මසුන් විශාල සමූහයන් දැකිය හැකි බෙලිඅත්තේ වළය. අනතුරුව මාර්ගය දෙපස පිහිටි කඳු පර්වත උඩ පිල් විහිදා නටන මොණරුන් ඇති බමුණාවත්තය. බොහෝ දික්වූ නිල් කෙස් කලඹේ මල් කැටි ගවසාගෙන දිව්‍යාංගනාවන්ගේ මානය යටපත් කල හැකි ආකාරයේ අඟනන් සිටින ගණේගොඩය අනතුරුව පසු කල යුත්තේ. ගණේගොඩින් පසුව සපරගමු පුරවරය හමුවේ.
ඉහත සඳහන් ස්ථාන අතුරින් කොස්ගොඩ අඟලේ සිතියම් ආශ්‍රයෙන් හඳුනාගත හැක. බෙළිඅත්තේ වල, බමුණාවත්ත සහ ගණේගොඩ සිතියම් වල හමු නොවන මුත් තවමත් ග්‍රාම නාම ලෙසින් හෝ ස්ථානීය නාම ලෙසින් හමුවනවා විය හැක. කෙසේ නමුත් දෙල්ගමු වෙහෙරේ සිට සමන් දේවාලය දක්වා වූ පැරණි මාර්ගය වර්තමාන A4 මාර්ගයට දකුණු පසින් තිබූ බවට ඉහත සිතියම් වල දක්වා ඇති ආකාරයට පහසුවෙන් හඳුනාගත හැක.
සපරගමුවේ සමන් දේවාලය
තඹර කරේ කිර්ණෙ'වි දිගතැ පැතිරෙන
අඳුර දුරේ කළ පහ මිණි කොත් රැසින
අමර පුරේ ලෙස සව් සිරි පිරි නොමින
සපරපුරේ තෙමහල් පහ තුරු රඳන

සමන් කෙනෙකු නු වූ බඹ සුර නරතුරෙන
සමන් බදුරු සිරි පද ලස නමදිමින
සමන් ගිර නිවෙස් කරැ නිරතුරු වසන
සමන් සුරිඳු දැකැ මෙ හසුන් දෙව් බැතින

සැවුල් අස්නේ විස්තර වන තෙමහල් පහයක් වූ එම සමන් සුරිඳු වැඩ සිටි දෙවොල අද දැකිය නොහැකි මුත් පෘතුගීසින් විනාශ කල එම දෙවොල පිහිටි ස්ථානයේ පසු කලක ඉදි කල පෘතුගීසි බලකොටුව අතහැරීමෙන් පසු තැනවූ දේවාලය රත්නපුර පුරවරයේ ප්‍රධාන ආගමික මධ්‍යස්ථානයක් ලෙසින් සිංහල බෞද්ධ ජනතාවගේ ඉමහත් ගෞරවයට පාත්‍ර වෙමින් අදද දැක ගත හැක. ඒ පිළිබඳව වැඩිදුර තොරතුරු ඉදිරි ලිපි මගින් සාකච්චා කරමු.

සීතාවකපුර සිට සපරගමු පුර දක්වා සැවුල් සන්දේශයේ විස්තර වන හඳුනාගත හැකි ස්ථාන
මූලාශ්‍ර
සැවුල් සංදේශය
පැරණි අඟලේ සිතියම්

Wednesday, June 28, 2017

කෝට්ටේ කලාලේ දත මැදගන්න රාළේ - කුරහන් ගලක දළදාව සැගවූ අඳුරු යුගයක කතාව

දෙල්ගමුව රජමහා විහාරය - 2017 වසරේදි ගත් ඡායාරූපයක්
කිරවැල්ලේ හිරිපිටියේ දිව නිලමේ (දිය වඩන නිලමේ) කෝට්ටේ රාජධානියට පෘතුගීසීන් පහර දීමට පෙර දින මෙවන් සිහිනයක් දුටුවේලු. තමන් වෙත සිහිනයෙන් පිරිවැජි වෙසකින් පැමිණි එක්තරා පුද්ගලයෙක් "කෝට්ටේ කළාලේ කිසිල්ලේ - දත මැද ගන්න රාළේ." යැයි කීවේලු. එසැනින්ම නින්දෙන් පිබිද එහි අදහස කල්පනා කල ඔහුට හැඟුනේ කෝට්ටේත්, කළාලයත්  (පැදුර) කිසිල්ලට ගෙන දත මැද ගන්න යන අරුතට වඩා යමක් එහි ඇති බවය. එනිසා සිහිනයෙන් කී පරිදි දත් මැද කොට්ටය සහ පැදුර කිහිල්ලේ ගසා නොගත් හෙතෙම නුවණින් වැඩිදුරටත් විමසා සිහිනයේ අරුත මෙසේ වටහා ගත්තේලු. " රාළේ! කෝට්ටේට කළ ආලයෙන් කිසිම පලයක් නැත, දන්ත ධාතුන් වහන්සේ මධ්‍ය රාජධානියට ගෙන යන්න". ඉක්බිති හිරිපිටියේ දියවඩන නිලමේ නොපමාව ඇත් දතින් දළදා වහන්සේට සමානව සාදා තිබූ අනුරුවක් රන් කරඬුවේ තබා නියම ධාතුන්වහන්සේ සිරියේ (පිහිය) කොපුවේ සඟවාගෙන කැළණි ගඟේ දිවස්නා තොටින් රාත්‍රියේම එතෙරව සීතාවකට ගොස් එහි සිටි මායාදුන්නේ රජුට (ක්‍රි.ව. 1521 - 1581) දළදාව භාරදුන්නේලු. ජනප්‍රවාදගත තොරතුරු අනුව සහ ක්‍රි. ව. 1773 දී පමණ රචිත ලෙස සැලකෙන සුළු රාජාවලියට අනුව කෝට්ටේ රාජධානියට අයත්ව තිබූ දළදාව සබරගමුව පළාතට අයත් දෙල්ගමු වෙහෙරට පැමිණියේ ඒ ආකාරයටය.
දෙල්ගමුව රජමහා විහාරය - 2005 වසරේදි ගත් ඡායාරූපයක්
පෘතුගීසීන්ගේ කොතෙකුත් අපවාද, ගැරහුම් ලබමින් සහ සීතාවක රාජධානිය කරගනිමින් විසූ සිය සොයුරු  මායාදුන්නේ සමගද  නිරන්තරයෙන් යුද වදිමින්, කෝට්ටේ අගනුවර කරගනිමින් තුන් සිංහලේ පාලකයා ලෙස විසූ හත්වෙනි භුවනෙකබාහු (ක්‍රි.ව. 1521 -1551) ප්‍රතිකාල් සොල්දාදුවෙකු තැබූ වෙඩි පහරකින් මරුමුවට පත්විමට පෙර, සිය මුණිබුරු වූ ධර්මපාල කුමරුගේ පිළිරුවක් පෘතුගාලයේ රජතුමා (Dom Joao III) වෙත යවා පෘතුගාල් රජුගේ යටත් රජෙකු ලෙස ඔහුගෙන් පසු රාජ්‍යය හිමිවන ලෙසට එම පිළිරුවට කිරුළු පලන්දවන ලදී. භුවනෙකබාහුගෙන් පසු රාජ්‍යත්වය පත්වූ එම ධර්මපාල කුමරු (ක්‍රි.ව. 1551 - 1597) වචනයේ පරිසමාප්ත අර්ථයෙන්ම ප්‍රතිකාල්වරුන්ගේ රූකඩයක් විය. ඔහු වර්ෂ 1557 දී කතෝලික දහම වැලඳ ගෙන දොන් ජුවන් ධර්මපාල (පෘතුගීසි මූලාශ්‍ර සහ රාජාවලියට අනුව Dom Joao Periya Pandar සහ දොන් ජීවන් පෙරියපන්දාර) නමින් බෞතිස්ම ලදහ. ඉන්පසු  කැළණි විහාරය සහ කෝට්ටේ දළදා මැදුර ඇතුළු සියළු බෞද්ධාගමික වෙහෙර විහාර වලට අයත් නින්දගම් ප්‍රැන්සිස්කන් නිකායේ පූජකයන්ට පිරිනැමූහ. මෙවන් වාතාවරනයක් යටතේ කෝට්ටේ නුවර සිටි සංඝයා සීතාවකට සහ කන්ද උඩරටට ගිය බව රාජාවලිය පවසයි. දළදා වහන්සේද මෙම කාලයේම පාහේ ඉහත ජනප්‍රවාදයේ එන ආකාරයට හෝ වෙනත් ක්‍රමයකට සීතාවක රාජධානියට අයත් වන්නට ඇත.
දළදා වහන්සේ සඟවා තැබූවයි පැවසෙන කුරහන් ගල - 2005 වසරේදි ගත් ඡායාරූපයක්
හිරිපිටියේ නිලමේ සීතාවක රාජධානියට ගෙන ගිය දළදා වහන්සේ ඉන්පසු එම රාජධානියේ එවකට පාලකයා වූ මායාදුන්නේ හට ලබාදුන්නා විය හැක. හෙතම වැඩි ආරක්ෂාව පතා සීතාවක සිට තවදුරටත් රට ඇතුලට වන්නට පිහිටි දෙල්ගමුවේ ඒ වනවිටත් පැවති වෙහෙරක හෝ අලුතින් සෑදු වෙහෙරක දළදා ගෙයක් සාදා දළදා වහන්සේ තැන්පත් කල බව පෙනේ. ජනප්‍රවාද ගත තොරතුරු වලට අනුව දෙල්ගමු වෙහෙරේ දළදාව තැන්පත් කර තිබුනේ සාමාන්‍ය කුරහන් ගලකට වඩා විශාල ප්‍රමාණයෙන් සෑදු කුරහන් ගලක් තුල තිබූ රහසිගත කුහරයකය. අදද එම වෙහෙරේ දැකිය හැකි මෙම කුරහන් ගල තුල යටි ගලේ කුහර දෙකක් ඇත. උඩ සිදුර අඟල් 4 ක් පමණ පහතට කොටා යටම සිදුර ඊටත් මහත් ලෙස සම සතරැස්ව සාරා තිබේ. ඒ තුල දළදා කරඬුව ආරක්ෂිතව තිබූ ලෙස පැවසේ. ප්‍රතිකාල් ආදී පරසතුරු උවදුරු මෙන්ම කෝට්ටේ, සීතාවක, සෙණ්කඩගලපුර ආදී ප්‍රාදේශිය රාජ්‍ය අතරද නිබදවම යුද ගැටුම් නොඅඩුව පැවති මෙම අවදියේ රාජ්‍යයේ සංකේතය වූ දළදා වහන්සේ රැක ගැනීම දේශපාලනිකව කෙතරම් වැදගත් වූවේද යන්න මින් පෙන්නුම් කෙරේ.
ගල් ආසනය
රත්නපුර සමන් දේවාලයේ ඇති පැරණි ලේකම් මිටිය උපුටා දක්වමින් කිරිඇල්ලේ ඤාණවිමල හිමියන් පවසන්නේ සීතාවක රාජසිංහයන් (ක්‍රි.ව. 1581 - 1593) විසින් දෙල්ගමුවේ වැඩසිටි දළදා වහන්සේට දෙල්ගමුව, හඳගිරිය, මස් ඉඹුල, කුට්ටාපිටිය, පැල්මඩුල්ල හා ගනේගොඩ  යන ගම් සය සහ නෙළුම්දෙණිය නව අමුණ පූජා කල බවය.
දළදා වහන්සේ සඟවා තැබූවයි පැවසෙන කුරහන් ගල
එම සීතාවක පළවෙනි රාජසිංහ රජු කල අලගියවන්න මුකවෙටි විසින් රචනා කරන ලද සැවුල් අස්න හෙවත් සැවුල් සංදේශය (ක්‍රි.ව. 1581 - 1585 ) දෙල්ගමු වෙහෙර සහ එහි තිබූ දළදා මාලිගය පිළිබඳ කවි කිහිපයකින්ම වර්ණනා කරයි.

උදු ළිය සඳ කිරණ මිහි පිට හුණු ලෙසට
සුදු වැලි අතුළ වැලි මළුයෙන් සැදි සුමට
රුදු නත දරණ යුරු පවුරෙනි යුතු අවට
වදු ම මිතුර දෙල්ගමු වෙහෙර ලැගුමට

ලොවැනොමදින් පිරි ගනඳුරු දමා දුර
සිය කිරණින් හිරු පැමිණෙත උදා ගිර
ලැගි නිවෙසින් නැඟැ තෙරුවන් මෙනේ කැර
මිතුර වඩින් දළදා ගෙට මනෝහර

මෙම දළදා මැදුරේ රුවන් කරඬුවක් තුළ දළදා වහන්සේ තැන්පත් කර තිබූ බව මින් පසු එන පැදි වලින් විස්තර වේ. මෙහි එන තවත් කවකින් කියැවෙන්නේ දෙල්ගමු වෙහෙරේ සධාතුක දාගැබක්, බුදු පිළිමයක් සහ බෝ ගසක්ද තිබූ බවයි. එසේම එහි එවකට විහාරාධිපති ලෙස වැඩ විසූ මිහිඳු ලකර තෙර හිමියන් (එනම් මහින්දාලංකාර මහා ස්ථවිරයන් ) ගැනද දස පද සැහැල්ලකින් විස්තර කෙරේ.
වර්තමානයේ ඉහත කුරහන් ගල තබා තිබෙන කුඩා විහාර ගෙය
මේ යුගයේදී දළදාව පිළිබඳව මහාවංශයේ සඳහන් වන්නේ කන්ද උඩරට පළමුවන විමලධර්මසූරිය රජු (ක්‍රි.ව. 1591 - 1604) පිළිබඳව එන විස්තරයේදීය. එතුමා මුලින් පෘතුගීසීන් සමග සිට, ගෝවට ගොස් කොනප්පු බණ්ඩාර නමින් කතෝලික ආගම වැලැඳ බෞතිස්ම ලැබූහ. පසුව කන්ද උඩරට අල්ලා ගත් පෘතුගීසින් එහි තැබූ රූකඩ පාලකයා වන යමසිංහ බණ්ඩාර මරා කොනප්පු බණ්ඩාර නැවතත් බෞද්ධාගම වැලඳ පළමුවන විමලධර්මසූරිය නමින් රජවී, වැටී සිටි සිංහල ජාතියට ශක්තිමත් නායකත්වයක් සැපයීහ. මහාවංශයේ විස්තර වන පරිදි නගරයේ ආරක්ෂක කටයුතු ශක්තිමත් කිරීමෙන් පසු එතුමා සර්වඥයන්වහන්සේගේ දන්ත ධාතූන් කොහිදැයි විචාරා එය ලබුජගාම විහාරයේ ආරක්ෂිතව ඇති බව දැන, බෙහෙවින් සතුටු වී, සපරගමු දිසාවේ ලබුජගාමයේ සිට තමන්ගේ පුරවරයට දන්ත ධාතුව වඩා ගෙන්වා එහි දෙමහල් පහයක තබා වඳිනටද, වත් පිළිවෙත් කරන්නටද වූහ. එම ලබුජගාම යන්න පෙල බසට පෙරළු සිංහල දෙල්ගමු යන්න බව පෙනේ.
දෙල්ගමුව විහාරගෙය - 2017 වසරේදි ගත් ඡායාරූපයක්
1593 දී සිදුවූ පළමුවන රාජසිංහයන්ගේ මරණයත් සමග සීතාවක රාජධානියට අයත් ප්‍රදේශ පෘතුගීසීන් යටතට පත්විය. ඒ ආසන්න කාලයකදී සිදුවු දෙල්ගමුවේ සිට දළදාව සෙන්කඩගලපුරට ගෙන ඒමත් සමගම දෙල්ගමුව විහාරය සහ දළදා මාලිගය ඇතැම්විට පෘතුගීසි කොල්ලකෑම් වලට ලක්වන්නට ඇත. ඉහත විස්තර වූ කුරහන් ගල සහ ගල් ආසනයක් පමණක් පැරණි දේ ලෙසට දැනට මෙම ස්ථානයේ ඉතිරි වී ඇත. මෙම ස්ථානයේ පෘතුගීසි බලකොටුවක් තිබූ බව කිරිඇල්ලේ ඤාණවිමල හිමියන් පවසන මුත් ඒ කුමන මූලාශ්‍රයක් පදනම් කරගෙනද යන්න පැහැදිලි නැත. ස්ථානය වල් බිහිවී ගිය පසු එම ස්ථානයට පැමිණි කොළඹ සද්ධාතිස්ස නම් භික්ෂුන්වහන්සේ නමක් වර්තමාන විහාරය ආරම්භ කල බව පැවසේ.
දෙල්ගමුව විහාරගෙය - 2005 වසරේදි ගත් ඡායාරූපයක්
එදා සිංහල ජාතියට සහ බෞද්ධාගමට තිබූ තර්ජනයම අඩු වැඩි ආකාරයෙන් අදද නැවතත් සියවස් ගණනාවකට පසු ඇතිවී ඇත. '1948 නිදහසින්' පසු ප්‍රථම වතාවට අන්තර්ජාතික මංකොල්ලකරුවන් පිරිසකට මේ රට ජාතිය සහ සමය ජාතියක් ජම්මයක් නැති මහා ජනතාව විසින්ම සිය කැමැත්තෙන් භාරදී තෙවසරක් ගෙවී යමින් තිබේ. රටේ ආර්ථිකයේ හදවත බඳු මහා බැංකුව මංකොල්ලකෑමෙන් නොනැවතී දඹුලු පන්සලේ පිංකැටයටද කෙල හලන බහිරවයන් පිරිසක් මේ වනවිට බිහිවී ඇත. එම බහිරවයන් පිරිස නුදුරේම දළදා මාළිගයටද අත තබනු ඇත. පෘතුගීසින්ට හපන් කොල්ලකරුවන් වන මේ අමන රැල දොන් ජුවන් ධර්මපාලටද වඩා බෞද්ධ විරෝධිය, දේශද්‍රෝහිය. මේ නිසා දොන් ජුවන් ධර්මපාලගෙන් දළදාව බේරාගත් හිරිපිටියේ නිලමෙලා මේ රටට වැඩි වැඩියෙන් අවැසි මොහොතකි මේ. දොන් ජුවන් වික්කමසිංහලා සහ දොන් ජුවන් හිටංලා වෙනුවට විමලධර්මසූරිය, මායාදුන්නේ, රාජසිංහ වැනි ශ්‍රේෂ්ඨ නරපතියෙකුද මියැදෙන ජාතිය ඉල්ලා සිටී.
දළදා වහන්සේ සඟවා තැබූවයි පැවසෙන කුරහන් ගල - 2017 වසරේදි ගත් ඡායාරූපයක්
මූලාශ්‍ර
  • රාජාවලිය - ඒ වී සුරවීර සංස්කරණය
  • සිංහල සාහිත්‍ය වංශය - පුංචිබණ්ඩාර සන්නස්ගල, 1994
  • සපරගමුවේ පැරණි ලියවිලි, කිරිඇල්ලේ ඤාණවිමල හිමි, 1942
  • සපරගමු දර්ශන, කිරිඇල්ලේ ඤාණවිමල හිමි, 1967
  • සැවුල් සංදේශය
  • සපරගමු වංශකතාව, 2 වෙළුම, 2003
  • Ceylon the Portuguese Era , Paul E. Pieris, Vol 1 & 2, 1913
  • Portuguese Rule in Ceylon 1594-1612, Tikiri Abeyasinghe, 1966
  • The Catholic Church in Sri Lanka, The Portuguese Period Volume 1 1505 - 1565, V. Perniola S.J. 1989
  • මහාවංශය සිංහල - බෞද්ධ සංස්කෘතික මධ්‍යස්ථානය.
  • Chulavamsa, Being the more recent part of the Mahavamsa, Translated by Wilhelm Geiger And from the German into English by C. Mabel Rickmers, 1929
  • දේව පුරාණය සමන් දෙවිඳු හා සමන් දෙවොල, මඩලගම වජිරබුද්ධි හිමි, 2007
  • දළදා ඉතිහාසය සහ සංස්කෘතිය, කුඹුරුගමුවේ වජිර ස්ථවිර, 2008