Showing posts with label Senkadagalapura. Show all posts
Showing posts with label Senkadagalapura. Show all posts

Thursday, June 8, 2017

දියතිලකපුර හරහා මතුරට සිට සිරිවද්දන පුරවරට...

මග සලකුණ නම් වූ පැරණි පුස්කොල පොතක එන කවි අනුසාරයෙන් බදුල්ලේ සිට මහනුවර දක්වා වූ පැරණි මාර්ගයක් පිළිබඳව වන මෙම ලිපිය එම ලිපි පෙලේ සිව්වන සහ අවසාන ලිපියයි. පෙර ලිපි සඳහා
සැඩ නල එකත් මැඩගෙන මෙර සිඳු දෙරණ
රකින කග පලහ ගෙන ඉදිරියට පැන
නොමින විකුම් යුතු සෙබලුන් මුර කරන
ගමන යෙහෙකි සකි මතුරට කඩවතින

ඉහත කවියේ කියවෙන ලෙසට මග සලකුණ ලිවූ කාලයේ මතුරට සෙබලුන් මුර කරන කඩවතක් තිබී ඇත. පසු කාලයේ ඩේවි මතුරටින් යනවිට එහි තිබී ඇත්තේ ඉංග්‍රිසි යුද භටයන් සිටින බල කොටුවකි. ඉංග්‍රිසින් මෙම මාර්ගයේ උපාය මාර්ගික වැදගත්කමින් යුත් ස්ථාන වල බලකොටු ඉදි කිරීමට ප්‍රථමයෙන් සිංහල රජවරුද එම ස්ථාන වල ඇති වැදගත්කම වටහාගෙන සෙබලුන් රැඳවූ බව පෙනේ (සසදන්න දොඩම්වතුකපල්ල පසුකල විට හමුවන කඩවත සහ පසු කලක එහි පාමුල ඉදි කල මැක්ඩොනල්ඩ් කොටුව සමග)
මතුරට සිට පදියපැලැල්ලට හෙල ඔස්සේ ඇති මාර්ගය
ඩේවිගේ විස්තරයට අනුව මතුරට(Maturatta) කොටුව කුඩා කඳු ගැටයක් මත, මුහුදු මට්ටමේ සිට අඩි 2700 පමණ උසින්  සහ පහල නිම්නයේ සිට අඩි 1000 පමණ ඉහලින් පිහිටා ඇත. කොටුවේ සිට සැතපුම් 2 පමණ දුරින් කන්දක පැත්තකින් (Side of the Mountain) තිබූ වෙඩි ලුනු ගුහාවක් (Nitre Cave) පිළිබඳවද ඩේවි විස්තර කරයි.
මතුරට සිට පදියපැලැල්ලට හෙල ඔස්සේ  ඇති මාර්ගය
මතුරට සිට දියතිලක පුරට
මග සලකුණ විස්තරයට අනුව මතුරට කඩවතින් පසු බෙලිහුල් ඔය සිරි නරඹා පදියපැලැල්ලෙන් ළඳුන් බලා යා ගන්නා ලෙස පවසයි. ඉන්පසු හමුවන කොස්රුප්ප පසු කර ගිය පසු හමුවන මැටිවල අම්බලමේ ඉඳ, එතනින් නික්ම වලුගන්හින්න පසු කර රිකිල්ලගස්කඩින් ගොස් මාදන්වල විහාරය වැඳ මග සලකුණ මගියා පිවිසෙන්නේ දියතිලක පුරයටය.
පදියපැලැල්ලේ සිට රිකිල්ලගස්කඩට මාර්ගය වර්තමාන මාර්ගය ඔස්සේම මෙසේ යොමු වී තිබුණා විය හැක
මෙම ස්ථාන නාම වලින් බෙලිහුල් ඔය, පදියපැලැල්ල, රිකිල්ලගස්කඩ, මාදන්වල විහාරය (මාදන්වල  රජමහා විහාරය ලෙසින්) සහ දියතිලකපුර (වර්තමාන හඟුරන්කෙත) වැඩි අපහසුවක් නැතිව හඳුනාගත හැක. ඒ අනුව පැරණි මාර්ගය මෙම සිතියම් වල දැක්වෙන ආකාරයෙන් තිබුණා විය හැක.
ඩේවි ඒදණ්ඩක් (Singalese Bridge) මතින් බෙලිහුල් ඔයෙන් එතෙර වූ ස්ථානය විය හැකි ස්ථානයේ (පදියපැලැල්ලේ ) අද ඉදිකර ඇති පාලම - Google Street View ඇසුරින්
මතුරට සිට මහනුවරට (Kandy) සැතපුම් 26 ඇති බවද, එම කොටස එතරම් සිත්ගන්නා කොටසක් නොවන බවද, මාර්ගය අධික ලෙස කඳු සහිත දුෂ්කර මාර්ගයක් බවද, එහි සැලකිය යුතු කොටසක වගාවන් ඇති නමුදු වැඩි කොටසක් ඒ වන විටත් නොඋස් වනාන්තර වලින් යුක්තව තිබූ බවද ඩේවි පවසයි. එම මගෙහි දිය කඳුරු කිහිපයකින්ම එගොඩ විය යුතු නමුත් මතුරට නිම්නය හරහා පහලට බසින බෙලිහුල් ඔය (Bilhool Oya) සහ හඟුරන්කෙත (Hangranketty) අසලින් ගලන මහා ඔය (Maha Oya) ඒ අතරින් විශේෂයෙන් සඳහන් කල යුතු බව ඔහු පවසයි. ඒ එම ඔයවල් දෙකම සැලකිය යුතු මට්ටමේ ජල ප්‍රවාහයන්(Both are considerable torrents) වන බැවිනි.මෙයින් මුල් එක එනම් බෙලිහුල් ඔය කලාතුරකින් බැස යා හැකි මට්ටමේ (Fordable) එකක් වන බැවින් ඒ හරහා යා යුත්තේ දිය පහරට අඩි 20 ක් හෝ 30 පමණ උඩින් ඔයෙහි ඉවුරු දෙක හරහා ගසක කඳක් දමා සදා තිබූ සිංහල පාලමක් (Singalese Bridge) මතින් යන බියකරු ගමනකින් බව හෙතෙම සඳහන් කරයි. මහ ඔය ඔහු එහි යන අවස්ථාවට ආසන්න කාලයේ වට වැසි නිසා ඉදිමුණු බවක් තිබුනද එහි ගල් සහිත පත්ල හරහා ඩේවි එතරම් අපහසුවකින් තොරව ඇවිද යයි.

මාදන්වල විහාරය මෙට්‍රික් සිතියම් වල ලකුණු කර ඇති ස්ථානය
රිකිල්ලගස්කඩ සිට මාදන්වල විහාරය හරහා දියතිලකපුරට (හඟුරන්කෙත) මාර්ගය වර්තමාන මාර්ගය ඔස්සේම වූවා විය හැක.
දියතිලක පුර
මග සලකුණේ දියතිලක පුර වර්ණනාව යටතේ දකුණු දෙසින් පෙනෙන පුල්වන් දෙව් රද විමන (එනම් උපුල්වන් දේවාලය) නමැද ඉන්පසු මාර්ගයේ දකුණු දෙසින් පෙනෙන දියතලා කන්ද නරඹා උඩ වීදියට යාගන්නා ලෙසත්, දකුණේ ඇති කොත්මලේ වහල් කඩ දැක, වම් පස ඇති අන්කෙළිහින්නේ බෝ තුර බලා යාගන්නා ලෙසත් පවසයි. මෙම ස්ථාන අතරින් අද වන විට උපුල්වන් දෙව් විමන ලෙසින් හැඳින්වූ වර්තමාන විෂ්ණු දේවාලය පහසුවෙන් හඳුනාගත හැක. අප මෙම ලිපි පෙලේ මුල් ලිපියේ කතරගම දෙවියන් ලෙස වෙනස් වූ මහසෙන් දෙවියන් ගැන පැවසූ පරිද්දෙන්ම මග සලකුණ ලියවෙන කාලය වන විටද සිංහල බෞද්ධ දේව ඇදහිල්ලක් වූ උපුල්වන් දෙවියන් දකුණු ඉන්දියාවෙන් පැමිණි විෂ්ණු දෙවියන්ගෙන් අතික්‍රමනය වී නොතිබුණු බවට මග සලකුණ සාක්කි දරයි.
විෂ්ණු දේවාලය සහ පත්තිනි දේවාලය. මෙහි ඇති පොත්ගුල් විහාරය සෑදීම සඳහා පැරණි රජ මාලිගයේ නටබුන් යොදාගෙන ඇත.

දියතලා කන්ද සහ පල්ලේ මළුව වැව. පල්ලේ මළුව වැවට දකුණෙන් රජ මාළිගය පිහිටා තිබී ඇත. (සෙනරත් දිසානායක මහතා පල්ලේ මළුව වැව ලෙස ලකුණු කර ඇති ස්ථානයේ Google Maps අනුව ඇත්තේ ඉහල මළුව වැව ලෙස සඳහන් වන වැවකි )
හඟුරන්කෙත පැරණි නගරයේ නටබුන් වී තිබූ රජ මාලිගාව සහ ඒ සමග වූ විහාරය ගැන ඩේවි මෙසේ පවසයි. "1815 දී අප මෙම ප්‍රදේශ වලට ඇතුළු වනවිටද මාළිගාව සහ විහාරය හොඳ තත්වයේ තිබුණි. එහෙත් මේ වන විට නටබුන් වී ඇති  මාළිගය එය තිබූ තැන සොයාගත නොහැකි මට්ටමටම පත් වී ඇත [පල්ලේමළුව නම් වූ වැවට යාබදව පැරණි රජ මාළිගය පිහිටා තිබූ බව සෙනරත් දිසානායක මහතා සාධක සහිතව පෙන්වා දී තිබේ.] වසර දෙක තුනකින් විහාරයද පොළවටම සමතලා වනු ඇත. පත්තිනි දේවාලයද මේ වනවිට නටබුන් වී ඇති අතර මහා විෂ්ණු දේවාලය නටබුන් වෙමින් පවතී. එහි සියළුම කාමර හිස්වී තිබූ අතර, දොරවල් කඩා බිඳ දමා තිබුණි. ගොඩනැගිල්ලේ වැඩි වශයෙන් වහලය නොමැති තත්වයකි ඇත්තේ. මාළිගය විනාශ කිරිමේ වගකීම ස්වදේශිකයන් විසින්ම භාරගත යුතුය. එය කොල්ලකෑමෙන් පසු ඔවුන් එයට ගිනි තැබූහ. විහාරය නම් විනාශ කලේ අපේ හමුදාවය. කැරැල්ල කාලයේ ඔවුන් ඒ තුල විසූ අතර එක් වරකට වඩා මෙහි විශාල වශයෙන් එකතු වූ සතුරන් හට පහර දීම් සිදුවුනි." (එහෙත් අද වන විට පත්තිනි දේවාලය සහ විෂ්ණු දේවාලය නැවත පිලිසකර කර ප්‍රකට පූජනීය ස්ථාන ලෙසින් පවතී.)

දියතිලක පුර සිට බෝලාපේට
මග සලකුණට අනුව දියතිලක පුර සිට මාර්ගය යොමුවන්නේ රත්මැටිය හරහා ඩේවි ඉහත සඳහන් කරන මහ ඔයෙන් එතෙර වී (මග සලකුණේ එම ඔය සඳහන් වන්නේ මා ඔය ලෙසිනි.) මිලලේ, දෙගල්කඩ කඩවත, මීරුප්පේ, මාරස්සන වෙහෙර හරහා බෝලාපේ ට ලඟා වීමෙනි. හඟුරන්කෙත සිට මා ඔය දක්වා වර්තමානයේ මාර්ග 3ක් යොමුවී ඇත (ඉහත සිතියම බලන්න) මින් කුමන මාර්ගයක් පැරණි මාර්ගය වූවාද යන්න නිශ්චිතව පැවසිය නොහැක. පැරණි විහාරයක් වන අරත්තන විහාරය මේ මාර්ග අතුරින් B413 මාර්ගයේ යනවිට හමුවන බැවින් ඇතැම් විට පැරණි මාර්ගය එය විය හැක (එහෙත් එම විහාරය මග සලකුණේ විස්තර නොවන බැවින් ඉඳුරාම එසේ පැවසීම නිවරදි නොවිය හැක.) මා ඔයෙන් එගොඩ වූ තොටමුණ බොහෝ දුරට වර්තමාන පාළම පවතින ස්ථානය විය හැක
මා ඔය සහ වර්තමාන මාර්ගය ඔය හරහා යන පාළම - Google Street View ඇසුරින්

මා ඔයෙන් එගොඩ වූ පසු මගියාට බිම බටු සුරඟන වන් අඟනන් සිටින මිලලේ පසු කර දෙගල්කඩ කඩවත හරහා මීරුප්පේ සෙවනේ මදක් ගිමන් හැර මාරස්සන වෙහෙර තොසින් වැඳ බෝලාපේ නුදුරින් යා ගන්නා ලෙසට මග සලකුණ කවියා පවසයි. මෙයින් මාරස්සන නමින් හැඳින්වෙන මං සන්දියක් අද දක්වාම පවතින මුත් මෙට්‍රික් සිතියම් වල මී රුප්පේ ලෙසින් ලකුණු කර ඇති ස්ථානය ඇත්තේ එම මං සන්දියට මදක් උතුරිනි. එම නිසා මාරස්සන වෙහෙර එයටත් උතුරු දෙසින් තිබුණා විය හැක. ඒ අනුව පැරණි මාර්ගය මේ ආකාරයෙන් තිබූ ලෙසට පෙන්වා දිය හැක (පහත සිතියම බලන්න). මාරස්සන දක්වා වූ වෙනත් ස්ථාන හඳුනාගත නොහැකි මුත් දෙගල්කඩ කඩවත පහත සිතියමේ දක්වා ඇති කඳු දෙක මැඳින් මාර්ගය වැටී ඇති ස්ථානය විය හැක.
මග සලකුණ විස්තරයේ දැක්වෙන මීරුප්ප වර්තමාන මාරස්සන මංසන්දියට දකුණෙන් වූ ස්ථානයක තිබූ වෙනත් මීරුප්පයක් වී මාර්ගය ඉහත සිතියමේ දෙගල්කඩ කඩවත ලකුණු කර ඇති ස්ථානයේ සිට පහලට යොමු වී ඇති මාර්ගය හරහා වර්තමාන මාරස්සන මං සන්දිය හරහා තිබුණා වීමටද ඉඩ ඇත.

මාරස්සනදී ඩේවි රාත්‍රිය ගත කිරීමට නැවතේ. එම ස්ථානය මහනුවර සිට සැතපුම් 10 පමණ දුර්න් වූ බව ඔහු සඳහන් කරයි. එහි තිබූ කදිම විහාරය සුදු පැහැති බිත්තියකින් වටවී තිබූ බවත් එය විශිෂ්ට දෙයක් ලෙසත් ඩේවි සඳහන් කරයි (Its neat vihare, enclosed by a white wall, is a conspicuous object). ඒ වන විට එහි බෙන්ගාලි සිපයි ඒකකයක් (Detachment of Bengal Sepoys) නැවතී සිටි බවත් ඔවුන් එහි තිබූ බුදු පිළිමය (Figure of the Boodhoo) ඔවුන්ගේ මහා දෙවියා (Maha Deo) ලෙස සලකා එයට වැඳුම් පිඳුම් කල බවත් ඩේවි වැඩිදුරටත් සඳහන් කරයි. මේ මාරස්සන වෙහෙර අද දක්වාම පවතින්නේද යන්න ගැන නිශ්චිතව කීමට අපට  සාධක කිසිවක් හමු නොවිනි.

බෝලාපේ සිට සිරිවද්දනපුරයට
මාරස්සන වෙහෙරින් පසු බෝලාපේ නුදුරෙන් ගොස් කිවුල් ළිඳේ පාළම නැඟ තළාවතු ඔයෙන් යාගන්නා ලෙසත්, ඉන්පසු රදා ගැහූ පාණ පසු කර අන්පිටියේ බණ මඩුවේ නොරදා, සිහිල් පැන් කඳුර දැක, මී ගොන් අරඹ වෙලට ගොස් වමෙහි පෙනෙන පල්ලේවාහල අටුව දැක, අංගම් පොර අරින සෙබලුන් සිටින අංගම් මැඩිල්ලෙන් ගොස්, පරගහ මුල මළුව බලා දළදාගේ පිහිල්ලට බැස පැන් නාන ලෙසත් මග සලකුණ කවියා මගියාට පවසයි.
මාරස්සන සිට තළාතු ඔය දක්වා ගමන් මග
වර්තමාන වික්ටොරියා ජලාශය අද්දර බෝලාපේ නම් ස්ථානයක් මෙට්‍රික් සිතියම් වල ලකුණු කර ඇත. මාරස්සන සිට එම ස්ථානය හරහා තළාතු ඔය දක්වා යන විට කිවුල්ලිඳ නම් වූ බස් නවත්වන ස්ථානයක් Google Map වල දැකිය හැක. එම ස්ථානයට පෙර වර්තමානයේ වික්ටෝරියා ජලාශයට වැටෙන (ජලාශය සෑදීමට පෙර මහවැලි ගඟට එකතු වූ) කුඩා දිය පාරක් දැකිය හැකි අතර, ඉහත කිවුල් ළිඳේ පාළම මෙම ස්ථානයේ තිබුනා විය හැක. කෙසේ නමුත් මෙට්‍රික් සිතියම් වල කිවුල් ළිඳ ලකුණු කර ඇත්තේ තවදුරටත් තළාතු ඔය දෙසට වන අතර එම ස්ථානයේද කුඩා දිය කඳුරක් හරහා වර්තමාන පාර වැටී ඇත. එබැවින් කිවුල් ළිඳේ පාළම එම දිය කඳුර හරහා තිබූවක් වූවාද විය හැක.  තළාතු ඔයෙන් එතෙර වූ පසු හමුවන අන්පිටිය අම්පිටිය ලෙසින් අද දක්වාම පැවත එන ප්‍රදේශයයි.

තළාතුඔය සිට මහනුවර දක්වා අම්පිටිය හරහා යන මාර්ගය
සෙන්කඩගලපුර තුල දළදා ගේ පිහිල්ලෙන් පැන් නාගත් පසු, ගල් පඩි පෙළින් මහ මළුවට නැගගන්නා ලෙසත්, ඉන්පසු නාත සුර විමන, වම් පසින් ඇති යකරුහල ( යකඩ කරුවන්ගේ ශාලාව හෙවත් කම්මලක්) දකුණෙන් පෙනෙන මහවාසල් දොර ආදිය දැකගන්නා ලෙසත් සිරිවද්දනපුරය පිළිබඳ නගර වර්ණනාවකින් පසු දළදා මාළිගයට පිවිසෙන ලෙසත් පවසා මග සලකුණ සිය ගමන් විස්තරය නිම කරයි. මේ අතුරින් නාථ දේවාලය (නාත සුර විමන), මහා වාසල සහ දළදා මාළිගය පිහිටි ස්ථාන පහසුවෙන් හඳුනාගත හැක.
මූලාශ්‍ර
  • මග සලකුණ (බදුල්ලේ සිට මහනුවර දක්වා මාර්ග විස්තරයකි) - දේව ධර්මාචාර්ය අතිගරු එඩ්මන්ඩ් පීරිස්, 2009
  • The Maga Salakuna, Rev Dr. Edmund Pieris, 1947  Journal of the Royal Asiatic Society, Ceylon Branch, Volume XXXVII, No 104.
  • An Account of the Interior of Ceylon and of its Inhabitants with Travels in that Island, John Davy, 1821
  • Kandy Past and Present, Nihal Karunaratna, 1999
  • Kandy, Anuradha Seneviratna,1983
  • Heritage of Kandurata, Dr. H.A.P. Abeyawardana, 2004
  • දියතිලක නුවර, පැරණි ස්මාරක සහ ස්ථාන, සෙනරත් බණ්ඩාර දිසානායක, 1997

Monday, May 29, 2017

මග සලකුණ ඔස්සේ බදුලු පුරයේ සිට සෙන්කඩගලට

බදුල්ල නගරය
මග සලකුණ
හියු නෙවිල් මහතා විසින් එකතු කල පුස්කොළ පොත් එකතුවේ තිබූ පත් ඉරු 17 කින් සහ කවි 203 කින් යුතු පුස්කොළ පොතක් දේව ධර්මාචාර්ය එඩ්මන්ඩ් පීරිස් හලාවත රදගුරුතුමන් විසින් වර්ෂ 1936 දී බ්‍රිතාන්‍ය කෞතුකාගාරයේ තිබී සොයාගෙන 'මග සලකුණ' ලෙසින් සංස්කරණය කර පළ කර ඇත. එහි කර්තෘ හෝ ලිවූ කාලය පිළිබඳව කිසිම සඳහනක් නොමැති මුත් එහි විස්තර වන බදුලු පුරවරයේ, දියතිලක පුරයේ සහ සෙන්කඩගල පිළිබඳව විස්තර ඇසුරින් සහ එම පුරයන් පරසතුරු ආක්‍රමණ වලින් විනාශ වූ සහ අතහැරදැමූ කාලයන් පිළිබඳව විශ්ලේශනය කරමින් එඩ්මන්ඩ් පීරිස් පියතුමා මෙම කාව්‍යය වර්ෂ 1612 ත් 1629 ත් අතර රචිත වූ ලෙස අනුමාන කරයි.
බදුල්ල - 1821 දී ජෝන් ඩේවි දුටු සැටි 
බදුලු පුරයේ සිට සෙන්කඩගලපුර (එනම් වර්තමාන මහනුවර) පිහිටි දළදා මාළිගාව වන්දනා කිරීමට එන පුද්ගලයෙකුට මග පවසන මෙම කාව්‍යය අදටද යම් පමණකින් එම මාර්ගය මතු කරගැනීමට අවැසි තොරතුරු වලින් සමන්විතය. ඒ සඳහා එඩ්මන්ඩ් පීරිස් පියතුමා යම් උත්සාහයක් දරා ඇති අතර, මෑතදි අප අතරින් වියෝ වූ දිවයින ඉරිදා සංග්‍රහයේ හිටපු කතුවරයෙකු සහ ප්‍රවීණ පුවත්පත්කලාවේදියෙකු වූ කරුණාදාස සූරියාරච්චි (කසුරි) මහතා කලකට පෙර මෙම මාර්ගයේ ගමන් කර ඒ පිළිබඳව ලිපි පෙලකින් සිය අත්දැකීම් පාඨකයන් හා බෙදාගත් ආකාරය අපට මතකය.

අපගේ උත්සාහය මෙට්‍රික් සිතියම් සහ Google Earth ඇසුරින් මෙම මාර්ගය මතු කරගැනීම වන අතර ඒ සඳහා එඩ්මන්ඩ් පිරිස් පියතුමන් රාජකීය ආසියාතික සංගමයේ සඟරාවට සැපයූ ලිපියක් සහ ඔහුගේ මග සලකුණ සංස්කරණයත්, එම මාර්ගයේ වර්ෂ 1819 දී ගමන් කල ජෝන් ඩේවි මහතාගේ මාර්ග විස්තරයත් ඉවහල් කර ගනිමු.

බදුලු පුරවරය තුන් පසෙකින්ම වටවී ඇත්තේ බදුලු ඔයෙනි
බදුලු පුරය
තඹර කර කුලග උතුමන් හට පවර
නොහැර ඉසුරු විඳිනට සිතසෙ අවසර
පතර දෙරණ බට සුරසෙන් සහ එවර
අමරපුර අසිරිසිරි වර බදුලු පුර

බදුලු පුරය පිළිබඳව මග සලකුණ විස්තරයේදී මුතියංගණ විහාරය, පල්ලේ වීදිය, කුමාරසිංහ සිංහාසනය, මහාසේන දේවාලය, පල්ලේවාහල අටුව, හඳගල වීදිය, හඳගල සහ නයිකඳ පිහිල්ල යන තැන් පිළිබඳව විස්තර වේ. එසේම මාළිගා උයන සහ තවත් උයනක් පිළිබඳවද විස්තර වර්ණනාවක් එහි ඇතුලත්ය. මෙයින් මුතියංගණ වෙහෙර අද දක්වාම එම නමින් හැඳින්වෙන සෑහෙන දුරකට මෑත කාලින ඉදිකිරීම් වලින් සහ නවීකරණය වූ පැරණි ගොඩනැගිලි වලින් සමන්විත වුවද පැරණි විහාරයක සාධක දැකිය හැකි ස්ථානය ලෙස පහසුවෙන් හඳුනාගත හැක. මහසෙන් දේවාලය අද කතරගම දේවාලය ලෙසට වෙනස් වී ඇති නගර මධ්‍යයේ පිහිටි දේවාලයයි. සිංහල බෞද්ධ දෙවි කෙනෙකු වූ මහසෙන් දෙවියන් ඉතිහාසයේ යම් කාලයකදි බොහෝ විට දකුණු ඉන්දීය බලපෑම් නිසා කතරගම දෙවියන් ලෙසින් නාමකරන වෙනසකට බඳුන් වී ඇති බවට සාධක ඇත. එඩ්මන්ඩ් පීරිස් පියතුමාගේ කාල නිර්ණය පිළිගන්නේ නම් 17 වන සියවස දක්වාත් මහසෙන් දෙවියන් ලෙසින් එම දේව ඇදහිල්ල තිබූ බවට මග සලකුණ සාක්කි දරයි.
මහසෙන් දෙව් මැදුර සහ මුතියංගණ රජමහා විහාරය
කුමාරසිංහ සිංහාසනය පිළිබඳව Herbert White විසින් 1893 දී පළකල Manual of the Province of Uva උපුටා දක්වමින් එඩ්මන්ඩ් පීරිස් පියතුමා සඳහනක් ඉදිරිපත් කරයි. ඒ අනුව 'සිංහාසනය' හෙවත් 'රාජාසනය' නමින් හැඳින්වෙන කුඩා ගොඩනැගිල්ලක් කතරගම දේවාලය අසල පහළ වීදියේ පිහිටා තිබී ඇති අතර, එය ඒ වන විට දේවාලයේම කොටසක් ලෙස තිබී ඇත. මෙහි සඳහන් වන කුමාරසිංහ යනු පළමුවන විමලධර්මසූරිය රජුගේ (ක්‍රි.ව. 1591- 1604) සහ දෝන කතරිනා ලෙස හැඳින්වූ කුසුමාසන දේවියගේ පුත්‍රයාය. හෙතෙම කුමාරසිංහ අස්ථාන ලෙසින් ප්‍රකටය. එම දෝන කතරිනා බිසව පසුව විමලධර්මසූරිය රජුගේ අභාවයෙන් පසු ඔහුගේ සහෝදරයා වූ සෙනරත් රජු (ක්‍රි.ව. 1604 - 1635) හා විවාහ වන අතර ඔවුන් දෙපලට ලැබූ පුත් කුමරුවා හට සෙනරත් රජුගේ අභාවයෙන් පසු රජකම හිමි විය. හේ දෙවන රාජසිංහ (ක්‍රි.ව.. 1635 - 1687) නමින් ප්‍රකට රජතුමාය. එම දෙවන රාජසිංහ රජු විසින් කුමාරසිංහ අස්ථාන වස දී මරා දැමූ බව පැවසේ. සෙනරත් රජුගේ පාලන කාලයේදී බදුලු පුරවරය අයත් වන ඌව රට පාලනය භාර කෙරුනේ කුමාරසිංහ අස්ථාන හටය. එමර්සන් ටෙනන්ට් සඳහන් කරන පරිදි බදුලු පුරවරයේ ඌවේ කුමාරයාගේ වාසල පිහිටි තැන පසුකාලීනව බ්‍රිතාන්‍යයන් විසින් බලකොටුවක් ඉදිකර ඇත.
ස්වභාවික ගිරි දුර්ග සහ ජල දුර්ග මගින් ආරක්ෂිත බදුලු පුරවරය.
පූජ්‍ය නාවුල්ලේ ධම්මානන්ද හිමියන් විසින් වර්ෂ 1945 දී රචිත ඌව ඉතිහාසය ග්‍රන්ථයේ එන ජන කවියක් උපුටා දක්වමින් එඩ්මන්ඩ් පීරිස් පියතුමා නයිකඳ පිහිල්ල නමින් මග සලකුණ කාව්‍යයේ හැඳින්වෙන ස්ථානය එම ජනකවියේ නයිකට පිහිල්ල ලෙසින් හැඳින්වෙන ස්ථානය ලෙස හඳුනාගනී. එමර්සන් ටෙනන්ට් මහතාද සිය ග්‍රන්ථයේ (Ceylon) දුම් කට ළිඳ (The smoked-mouthed well) ලෙස හඳුන්වන්නේ මෙම ස්ථානය විය හැකි බවය එඩ්මන්ඩ් පීරිස් පියතුමාගේ අදහස. එම දොළ බෞද්ධයන් හින්දුන් මෙන්ම ඉස්ලාම් භක්තිකයන්ද මහත් ගෞරවයෙන් සලකන ස්ථානයක් ලෙස ටෙනන්ට් මහතා දක්වයි. කොටුවට ඉහලින් පහල බදුල්ල පාරේ නයිකට පිහිල්ල තිබූ බවට Manual of the Province of Uva හි දැක්වේ. හඳගල වීදිය අද වන විට හඳුනාගැනීමට නොහැකි මුත් වර්තමාන රෝමානු කතෝලික දේවස්ථානයට නුදුරින් හඳගල කුඹුර නම් වු වෙල් යායක් ඇත.

මග සලකුණෙහි දැක්වෙන ගමන් විස්තරයේ ස්ථාන දැක්වෙන පිළිවෙල අනුව මාර්ගය වැටී ඇත්තේ දකුණු දෙස පිහිටි මුතියංගණ විහාරයේ සිට උතුරු දෙසට බව පෙනී යයි. මේ එම ස්ථාන දැක්වෙන පිළිවෙලයි. මුතියංගණය > පල්ලේ වීදීය > සිංහාසනය > මහසෙන් දෙව් රද විමන > පවුරු වලින් වටවූ උයන > පල්ලේ වාහල අටුව > හඳගල වීදිය > හඳගල > නයිකඳ පිහිල්ල > මාලිගා උයන.
බදුල්ල - 1859 දී එමර්සන් ටෙනන්ට් දුටු සැටි 
බදුලු පුරවරයේ සිට කැටවල දක්වා ගමන් මාර්ගය
බදුලු පුරවරයෙන් නික්මෙන මගියාට ඉන්පසු හමුවන්නේ මැදවෙල නම් ස්ථානයකි එය පසු කර ගිය විට අලුත්වෙල නම් වූ ස්ථානයක් හමුවේ. බදුල්ල නගරයට උතුරු දෙසින් අලුත්වෙල ලෙසින් වූ ප්‍රදේශයක් මෙට්‍රික් සිතියම් වල ලකුණු කර ඇත (සිතියම බලන්න). මාර්ගය වැටී ඇත්තේ උතුරු දෙසට බැවින් මෙම ස්ථානය මග සලකුණේ සඳහන් වන ස්ථානය වීමට බොහෝ සෙයින් ඉඩ ඇත.
අලුත්වෙල
වර්තමානයෙ මෙම ස්ථානයේ කුඩා වෙලක් ඉතිරි වී ඇති අතර පෙර කල එම ප්‍රදේශය පුරාම තිබූ වෙල් යායක් නාගරිකරණය සමග කෙමෙන් ගොඩවී ඇති බව පෙනේ. මැදවෙල ලෙසින් හැඳින්වූ ප්‍රදේශය මෙම ප්‍රදේශයට නැගෙනහිර දෙසින් බදුල්ල නගරය ආසන්නව දැකිය හැකි වෙල් වීමට ඉඩ ඇත. අලුත්වෙලින් පසු වර්තමානය වන විට නාමය ශේෂ වී ඇති ස්ථානයකට මග සලකුණේ දැක්වෙන මාර්ග විස්තරයේ හමුවන්නේ කැටවල ප්‍රදේශයයි. 
දිට නිල පුල වට අඳුනැඳ දුලා දළ
පිට තිල කෙක ළ තනහස පිලා තුල
කට නිල ලිය සෙ රුසිරෙන් නෙතු ලොලා කල
කැටවල සිටින ළඳ අඟනන් බලා පල > කියා කවියා පවසයි.

කැටවල ප්‍රදේශයට වර්තමානයේදී බදුල්ලේ සිට වැටී ඇති මාර්ගය විහිදෙන්නේ බදුලු ඔයේ වම් ඉවුර ඔස්සේ වැටී ඇති A5 මාර්ගය ඔස්සේ හාළිඇල දක්වා ගොස් එතැන් සිට බදුලු ඔයට උතුරු දෙසින් එක්වන කුඩා දොළක වම්  ඉවුර  ඔස්සේ උතුරු දෙසට ගමන් කිරීමෙනි.බොහෝවිට පැරණි මාර්ගයත් මෙයම වීමට වැඩි ඉඩක් ඇත. මක් නිසාද යත් නැතහොත් කැටවල දෙසට යාමට සිදුවන්නේ කඳු පන්ති කිහිපයක් තරණය කල යුතු දුෂ්කර මාර්ගයක් ඔස්සේ බැවිනි. එසේම මෙරට පැරණි මාර්ග බොහෝවිට ගංගා නිම්න වල ඉවුරු ඔස්සේ වැටී තිබූ බැවින් අපගේ උපකල්පනය නිවැරදි වීමට වැඩි ඉඩක් පවතී. තවද ඉංග්‍රීසි පාලන කාලයේ මෙරට මාර්ග ඉදිවීමේදි ඒවා බොහෝවිට ඒ වන විටත් අඩි පාරවල් ලෙස පැවති පැරණි මාර්ග ඔස්සේම කරත්ත පාරවල් ලෙස පුලුල් වි ක්‍රමයෙන් අද පවතින මහාමාර්ග දක්වා වෙනස් වූ බවට දිවයිනේ වෙනත් ස්ථාන වලින් සාධක හමුවේ. එය මෙම ප්‍රදේශයටද පොදු වූවා විය හැක. අඩු දුෂ්කරතාවයකින් යා හැකි තවත් මාර්ගයක් සිතියමේ කොල පාටින් දක්වා ඇත.  බදුල්ල නගරයට බටහිර දෙසින් වූ කඳු පන්තියේ අනිත් පස ඔස්සේ ගොස් වර්තමාන හාළිඇල - කැටවල මාර්ගයට එක්වෙන මෙම මාර්ගයද පැරණි මාර්ගය වීමට ඉඩ නැතිවා නොවේ. එහෙත් පෙර කී මාර්ගයේ මෙන් ජල පහසුව නොමැතිවීම මෙය භාවිතයට යොමුවීමේ අඩු සම්භාවිතාවක් දක්වයි.
බදුල්ලේ සිට කැටවලට මාර්ගය රතු පාටින් දක්වා ඇත. කොළ පාටින් දක්වා ඇති මාර්ගයද පැරණි මාර්ගයක් වීමට ඉඩ ඇත.
කැටවල දක්වා පසු කල යුතු අනිත් ස්ථාන ලෙස පිළිවෙලින් මහගල්කඩ > අලුගොල්ලේ බැවුල > කොහොල්විලේ කඳුර > කහටගහරුප්පේ > රන් ආවුද ගල්පොත්ත යන ස්ථාන දැක්වෙයි. මේ වන විට තේ වගාවට යටවී ඇති මෙම කඳු පන්ති අතර තිබූ මෙම පැරණි සිංහල නම් අභාවයට ගොස් ඇතිවා හෝ මෙට්‍රික් සිතියම් වල නොදැක්වෙන මුත් ප්‍රදේශයේ ගැමියන් අතර තවමත් භාවිතයේ පවතිනවා විය හැක.

කැටවල සිට සෙන්කඩගල පුර දක්වා මාර්ගය පිළිබඳව විස්තර ඉදිරි ලිපියකින් විමසා බලමු.

මූලාශ්‍ර
  • මග සලකුණ (බදුල්ලේ සිට මහනුවර දක්වා මාර්ග විස්තරයකි ) - දේව ධර්මාචාර්ය අතිගරු එඩ්මන්ඩ් පීරිස්, 2009
  • Ceylon, An Account of the island Physical, Historical and Topographical with notices of its natural history, antiquities and productions Vol 1 and 2 , Sir James Emerson Tennent, 1859
  • The Maga Salakuna, Rev Dr. Edmund Pieris, 1947  Journal of the Royal Asiatic Society, Ceylon Branch, Volume XXXVII, No 104.
  • An Account of the Interior of Ceylon and of its Inhabitants with Travels in that Island, John Davy, 1821