Showing posts with label Elara. Show all posts
Showing posts with label Elara. Show all posts

Sunday, April 1, 2018

දුටුගැමුණුගේ ආදාහන මලුවේ ඉදි කල එළාරගේ සොහොන - දක්ඛිණ ස්තූපය

අනුරාධපුර පැරණි නගරයේ ශ්‍රි මහා බෝධියේ සිට ඉසුරුමුණිය ලෙසින් හැඳින්වෙන විහාරයට යන මාර්ගයේ දිනපතා මේ මග ගමන් කරන දහස් ගනන් බැතිමතුන්ගේ සහ සංචාරකයන්ගේ අවධානයට එතරම් බඳුන් නොවන ස්තූපයක් දැකිය හැක. මෙයට වසර ගණනාවකට පෙර නම් එය ප්‍රදේශවාසීන් අතර ප්‍රචලිතව තිබුනේ එළාර සොහොන ලෙසය. එහෙත් අද වන විට දක්ඛිණ ස්තූපය ලෙසින් එහි නාමකරණය වෙනස් වී ඇත.

1896 වසර සඳහා වූ පුරාවිද්‍යා ගවේෂණ පිළිබඳ වාර්ෂික වාර්තාවේදි H.C.P. බෙල් මහතා පලමු වරට එවකට වෘක්ෂයන්ගෙන් ආවරණය වූ කුඩා කඳු ගැටයක් ලෙසින් දිස්වූ මෙම ස්ථානය පිළිබඳව කෙටි විස්තරයක් ඉදිරිපත් කරයි. මෙය එවකටද එළාල සොහොන ලෙසින් පොදු ජනතාව හඳුනාගෙන තිබූ මුත් කනිට්ඨ තිස්ස රජු (ක්‍රි.ව. 167-186) විසින් දක්ඛිණාරාමය තුළ ඉදි කරන ලද ස්තූපය මෙය විය හැකි බවට බෙල් අනුමාණ කරන ලදී. බෙල් මහතා ස්තූපයේ නැගෙනහිර සහ උතුරු පාර්ශවයෙහි ඒ වන විටද අගල් දෙකක් කපමින් එහි කැනීමක් ආරම්භ කර තිබුණි. නැවත 1897, 1898 , 1899 සහ 1900 වසර වල පාලන වාර්තා වලද ඔහු එහි ප්‍රගතිය පිළිබඳව විස්තර ඉදිරිපත් කර ඇත. වියදම් අධික බව හේතුවෙන් 1900 වසරේදී එහි කැනීම් නවතින අතර නැවත වර්ෂ 1946 දී  මෙම ස්ථානය සම්බන්ධයෙන් අවධානය යොමු කරවන්නේ මෙරට ප්‍රථම ස්වදේශීය පුරාවිද්‍යා කොමසාරිස්වරයා වූ සෙනරත් පරනවිතාන මහතාය. බෙල් විසින් කනිනු ලැබූ අගල් ඒ වන විට වන ප්‍රවාහයට හසුවී තිබූ අතර ඒවා පරණවිතාන මහතා සඳහන් කරන ආකාරයට මැයි සහ ජූනි මාස වලදි අනුරාධපුරයට පැමිණෙන බැතිමතුන්ගේ පොදු වැසිකිලි බවට පත්ව තිබී ඇත. එපමණක් නොව කඳු වැටිය මුදුනත් ඒ කටයුතු උදෙසාම වෙන්වී තිබී ඇත.
උතුරු ආයකය 
1946 වසරේ පරණවිතාන මහතා ආරම්භ කල කැනීම් මුල් කාලයේ ප්‍රධාන වශයෙන් අරමුණු කර තිබුනේ එහි දකුණු සහ බටහිර ආයක (වාහල්කඩ) සොයාගැනීම උදෙසා විය. H.C.P. බෙල් විසින් සිදු කල උතුරු හා නැගෙනහිර දිශාවන්හි වූ කැනීම් මගින් එම දිශාවන්හී ආයකවල් තිබූ බවට සාධක හමුවි තිබුනි. ඒ වන විට ස්තූපයේ ඉහල කොටස කඩා වැටීම හේතුවෙන් එහි සුන්බුන් වලින් ආයක මෙන්ම දාගැබේ පහල කොටස සහ මළුවද වැසී ගොස් තිබී ඇත. නමුත් එම කැනීම් වලින් සොයාගත හැකි වූවේ එම ආයක ස්තූපයේ ඉහල කොටස් කඩාවැටීමට පොරොතුවම විනාශ කර ඇති බවය. කෙසේ නමුත් දකුණු ආයකහි බටහිර කොටසේ කැටයම් කල ගල්ටැම් දෙකක් සහ වෙනත් අවශේෂ නිදන් හොරුන්ගේ ග්‍රහණයෙන් මිදී සුන්බුන් වලට යටවී තිබී මෙම කැනීමේදී හමුවිය.
උතුරු ආයකයේ කැටයම් ගලක්. මෙහි වෛශ්‍රවණ දේව රුවක් සහ ඔහුට පහලින් කාසි අතුරන මිනිසෙකුගේ රුවක් කැටයම් කර ඇත. 
මෙම කැනීමෙන් හමුවූ වැදගත්ම සොයාගැනීම වනුයේ සියවස් ගනනාවක් ස්තූපයේ සුන්බුන් වලට යටවී සැඟවී තිබූ කළු ගල් පුවරු 17 ක බ්‍රාහ්මි අක්ෂර වලින් සටහන් කර තිබූ දීර්ඝ සෙල් ලිපියයි. දකුණු සහ උතුරු ආයක අතර සලපතල මළුවේ එම ගල් පුවරු හමු වූ අතර, කඩා වැටුන ස්ථූපයේ සුන්බුන් වලින් වැසී යාමට පෙරම සෙල් ලිපිය සටහන්  කල එම ඇතැම් ගල් පුවරු  එම ස්ථානයෙන් කිසියම් වෙනත් තැනකට රැගෙන ගොස් ඇත. ඒවා අද වන විට සොයාගත නොහැක. එම සිදුවීම බොහෝවිට මෙහි ආයක සතරේ ගල් කැටයම් රැගෙන ගිය අවස්ථාවේදීම සිදුවන්නට ඇත (ඇතැම් විට වෙනත් මෙවැනි ඉදිකිරිමක් උදෙසා උපයෝගි කරගැනීමට එම ගල් රැගෙන ගියා විය හැක).. එම නිසා අද අපට ඉතුරුව ඇත්තේ එහි මුල් කොටස සහ අග කොටස නොමැති අසම්පූර්ණ සෙල්ලිපියකි. අකුරු වල හැඩයෙන් සෙල්ලිපිය 3 වන ශතවර්ෂයට පමණ කාල නිර්නය කල හැක. රජවරුන් ඇතුළු විවිධ පුද්ගලයන් විසින් දක්ඛිණ විහාරයේ තිස්ස මහාචේතියට පූජා කරන ලද ගම් බිම් පිළිබඳ ලේඛනයක් ලෙස මෙම සෙල් ලිපිය හඳුනාගෙන ඇත. එම ලිපියේ කිහිප තැනකම දකිණිවිහර යන නම හමුවේ. මපරුමකා ලෙස විරුද නමකින් හැඳින්වෙන රජ කෙනෙකු විසින් දකිණිවිහර තිස මහ චෙත එනම් දක්ඛිණ විහාරයේ තිස්ස මහා චේතිය වෙත පිරිනැමූ කුඹුරු ආදියෙන් එන ආදායම් ආදී දෑ ගැන විස්තරයක් කියවිය හැකි කොටසින් හමුවේ. එම රජතුමාගේ නම් යනාදිය අතුරුදහන් වී ඇති මුල් ගල් පුවරු වල තිබෙන්නට ඇත. එම තිස මහා චෙතිය මපරුමකා ලෙසින් හැඳින්වෙන රජතුමාගේ පිය රජතුමන් විසින් නැවත පිළිසකර කල බවද  එහි වැඩිදුරටත් සඳහන් වේ.
උතුරු ආයකයේ කැටයම් ගලක්.
මහාවංශයේ විස්තර වන ලෙසට කනිට්ඨතිස්ස රජු (ක්‍රි.ව. 167-186) දක්ඛිණ විහාරයේ ස්තූපයට කඤ්චුකයක් (වැස්මක්) කරවීය. එසේම සෙල්ලිපිවල මපරුමකා යන විරුදයෙන් හැඳින්වෙන පළමුවන රජතුමාද එතුමාය. ඒ අනුව ගතහොත් මෙම ස්තූපය පිළිසකර කල රජු කනිට්ඨතිස්ස ලෙසත්  ඔහුට පසුව රජ වූ ඛුජ්ජනාග (ක්‍රි.ව. 186-187) හෝ ඉන් වසර දෙකකට පසු ඔහු මරා රජකම ලබාගත් ඔහුගේ බාල සොහොයුරු කුඤ්චනාග (ක්‍රි.ව. 187-189) මෙම ලිපියේ මපුරුමකා ලෙසින් හැඳින්වෙන රජු ලෙසත් හඳුනාගත හැක. එය තව දුරටත් තහවුරු වනුයේ මෙම ගල් පුවරු වල පළමුවන පුවරුවේ මැකී ගිය කොටසක කියවිය හැකි ..පුත නඛ මහ රජහ යන්නෙන් ..රජුගේ පුත් නඛ මහ රජ යන්න කියවෙන බැවිණි. එනම් නම මැකී ඇති කිසියම් රජෙකුගේ පුතු වන මහා නාග නම් රජෙකු මෙම ලිපියේ පසුව මපරුමකා ලෙසින් පමණක් හැඳින්වෙන රජු බවය. නමුත් කනිට්ඨතිස්ස රජුගේ පුතුන් දෙදෙනාගේම නම් වල නාග (නඛ) යන්න ඇති බැවින් ඉහත සඳහන් කිනම් රජෙකු මෙයින් හැඳින්විනිද යන්න නිශ්චිතවම කිව නොහැක.
දකුණු ආයකයේ කැටයම් ගල්
දක්ඛිණ වෙහෙර පිළිබඳව වූ වංශකතා තොරතුරු

වට්ටගාමණී (ක්‍රි.පූ. 89-77) නම් රජුගේ (වළගම්බා) යෝධයන් සත් දෙනාගෙන් කෙනෙකු වූ  උත්තිය නමැත්තා නගරයට දකුණු දෙසින් දක්ඛිණ නම් විහාරයක් කරවූ බව මහාවංශයේ දැක්වේ. මෙම වට්ටගාමිණි රජු සමයේම සිදුවූ මෙරට පළමු නිකාය භේදයේදී දක්ඛිණ විහාරයේ උන් භික්ෂුන් අභයගිරිකයන්ගෙන් වෙන් වූ බවද මහාවංශයේ එම පරිච්ඡේදයේම සඳහන්වේ. ආමණ්ඩගාමණී (ක්‍රි.ව. 19-29) නම් රජුගේ කාලයේදී රජු අනුරාධපුරයෙන් දකුණු දෙස මහාගාමෙණ්ඩ වැව කරවා දක්ඛිණ විහාරයට දුන්නේය.  ඉන්පසු ඉහත සඳහන් වූ පරිදි කනිට්ඨතිස්ස රජු (ක්‍රි.ව. 167-186) ඔහුගේ රාජ්‍ය කාලයේදී එම දක්ඛිණ විහාරයේ ස්තූපයට කඤ්චුකයක් කරවීය. තවද මහාමේඝවන උයනෙහි සීමාව මැඩ භක්තසාලාවක්ද (භෝජනශාලාවක්) කරවීය. එපමණක් නොව ඔහු මහාවිහාරයේ ප්‍රාකාරය පැත්තකින් ඉවත් කොට දක්ඛිණ විහාරයට මාර්ගයක්ද ඉදි කලහ.
දකුණු ආයකයේ කල්ප වෘක්ෂ කැටයම් කණුවේ දැක්වෙන රූප
වෝහාරික තිස්ස රජුද (ක්‍රි.ව. 209-231) දක්ඛිණ මූල විහාරය ඇතුළු විහාර අටක ස්තූපයන්ගේ ඡත්‍රකර්ම කරවා දක්ඛිණ විහාරය ඇතුළු තවත් විහාර හයක ප්‍රාකාරද කරවූ බව මහාවංශයේ සඳහන් වේ. දක්ඛිණ මූල සහ දක්ඛිණ විහාර යනු එකම වෙහෙරක් උදෙසා භාවිතා කල නම් දෙකක් විය හැක. ගෝඨාභය රජතුමා (ක්‍රි.ව. 249-262) දක්ඛිණ විහාරයේ උපෝසථාඝරය පිළිසකර කරවීය. නිකාය සංග්‍රහය දක්වන පරිදි ගෝඨාභය රජුගේ සතරවන වර්ෂයේදී අභයගිරිවාසීන් වෛතුල්‍ය වාදය ගත් බැවින් අභයගිරි විහාරයේ ධර්මරුචි නිකායෙන් වෙන්වූ උස්සිලියාතිස්ස නම් මහතෙර නමක් සහ තුන්සීයක පමණ භික්ෂුන් පිරිසක් දකුණුගිරි වෙහෙරට ගොස් වෙන් ව විසූහ. සාගල නම් මහතෙර කෙනෙක් ඔවුන් සමග වෙසෙමින් ආගම ව්‍යාඛාන කල හෙයින් ඔවුන් සාගලිය නම් වූහ.
දකුණු ආයකය
 පළමුවන අග්ගබෝධි රජු (ක්‍රි.ව. 571-604) දක්ඛිණ විහාරයේ මනහර ප්‍රාසාදයක් කරවීය. තුන් වන අග්ගබෝධි රජු (ක්‍රි.ව. 629-639) කල ඔහුගේ යුවරජු වූ කස්සප (ඔහු පසුව දෙවන කස්සප (ක්‍රි.ව. 650-659) ලෙසින් රාජ්‍යත්වයටද පත් වේ ) යුධ වියදම් සඳහා ථූපාරාමය ආදී ස්තූපයන් බිඳවා එහි තිබූ වස්තූන් කොල්ලකෑමේදී දක්ඛිණ විහාරයේ ස්තූපයද බිද වටිනා වස්තුව ගත්බව මහා වංශයේ සඳහන් වේ. අවසාන වරට දක්ඛිණ විහාරය පිළිබඳව හමුවන මහාවංශ විස්තරය එයයි

පසු කාලීන ඉදිකිරීම් වලින් විනාස වී නොමැති නම් දක්ඛිණ විහාරයේ ඉහත රජවරුන් ඉදි කල ගොඩනැගිලි වල නටබුන් තවමත් මෙම ස්තූපය අවට පුරා විද්‍යා රක්ෂිත භූමියේ පොළව යට සැඟවී තිබෙනවා විය හැක.

එළාරගෙ සොහොන ලෙසින් ප්‍රචලිතව තිබූ මෙම ස්තූපය සැබැවින්ම ඔහුගේ ප්‍රතිවාදියා වූ දුටුගැමුණුගේ ආදාහනය සිදු කල ස්ථානයේ ඉදි කර ඇති බව සෙනරත් පරනවිතාන මහතා මතයක් ඉදිරිපත් කර ඇත. ඔහුට ඒ සඳහා පාදක වූ සාධක එදා පටන් අද දක්වාම විද්වතුන් අතර විවාදයට බඳුන් වෙමින් පවති. පරණවිතාන මහතාගේ මතය විවේචනය කරමින් දක්ඛිණ ස්තූපය එළාර සොහොන බවට රාජා ද සිල්වා, ජේම්ස් ටී. රත්නම් වැනි වියතුන් තර්ක ඉදිරිපත් කර ඇති අතර මෑතකදි ඉෂංඛ මල්සිරි මහතා සිය 'දුටුගැමුණුගේ හෘද සාක්ෂියට පිළිතුරක්' නම් කෘතියෙන් එම බොහෝ තර්ක වල දුර්වල බව මැනවින් පෙන්වා දී ඇත. කෙසේ නමුත් දක්ඛිණ ස්තූපය ඉදි කරන්නේ දුටුගැමුණු ආදාහනය කල ස්ථානයේය යන මතයද අවිවාදිතව පිළිගැනීමට තරම් ප්‍රබල සාක්ෂ්‍ය ඉදිරිපත් වී නැති බව කිව යුතුය. මේ විවාදය සම්බන්ධ ඇතැම් තොරතුරු ඉදිරි ලිපි මගින් විමසා බලමු.

මූලාශ්‍ර
  • මහාවංස 1 වෙළුම, මහානාම අනුවාදයේ මොග්ගල්ලාන සංස්කරණය, මාගධී පෙළ සහ සිංහල අනුවාදය, නව සංස්කාරක චන්ද්‍ර වික්‍රමගමගේ, සිංහල අනුවාදය අරුණ තලගල, 2012
  • මහාවංස 2 වෙළුම, ක්‍රි.ව. 303-1815 මාගධී පෙළ සහ සිංහල අනුවාදය, නව සංස්කාරක චන්ද්‍ර වික්‍රමගමගේ, සිංහල අනුවාදය අරුණ තලගල, 2012
  • Mahavamsa The Great Chronicle of Sri Lanka, An Annotated new translation with Prolegomena by Ananda W. P. Guruge, 2005.
  • Nicholas C.W. 1963, Historical Topography of Ancient and Medieval Ceylon, Journal of the Ceylon Branch of the Royal Asiatic Society, New Series, Volume VI, Special Number. 
  • Chulavamsa, Being the more recent part of the Mahavamsa, Translated by Wilhelm Geiger And from the German into English by C. Mabel Rickmers, 1929
  • දුටුගැමුණුගේ හෘද සාක්ෂියට පිළිතුරක්, ඉෂංඛ මල්සිරි, 2016
  • The Tomb of Elara at Anuradhapura, අනුරාධපුරයේ එළාර සොහොන් ගැබ, ආචාර්ය ජේම්ස්. ටී රත්නම්, පරිවර්තනය සේපාල විජේසේකර, 2015
  • වංසථප්පකාසිනිය, මහාවංශ ටීකාව, අකුරටියේ අමරවංශ නාහිමි සහ හේමචන්ද්‍ර දිසානායක සිංහල අනුවාදය, 2001
  • නිකාය සංග්‍රහය, බෞද්ධ සංස්කෘතික මධ්‍යස්ථානය , 1997
  • Digging Into The Past, Essays of Antiquity, Raja de Silva, 2005
  • The Mahavamsa or The Great Chronicle of Ceylon, Translated into English by Wilhelm Geiger, 1950
  • පුරාවිදු පරියේසණ, සෙනරත් පරණවිතාන, 1972
  • Archaeological survey of Ceylon, Inscription of Ceylon Volume II, Part II, Late Brahmi Inscriptions, Paranavitana S., 2001
  • A tourist guide, Art And Architectural Remains, Anuradhapura, Sri Lanka, Chandra wikramagamage, 2012
  • Bell H.C.P., 1904, Archaeological Survey of Ceylon, North Central, Sabaragamuwa, And Central Provinces, Annual Report 1896.
  • Bell H.C.P., 1904, Archaeological Survey of Ceylon, North Central, Central And Eastern Provinces, Annual Report 1897.
  • Bell H.C.P., 1904, Archaeological Survey of Ceylon, North Central, And Central Provinces, Annual Report 1898


Sunday, March 27, 2016

ඉන්දියානු ආක්‍රමණ පුරාණය

ඇතමුන් පිලිගැනීමට මැලි වුවද අද මේ රටේ ආන්ඩු කෙරෙන්නේ අසල්වැසි ලොකු අය්යාට ඕනේ විදිහටය. විපක්ෂයේ මන්ත්‍රීවරු කල යුතු රාජකාරිය පවා නිර්ණය කරන්නේ ලොකු අය්යාගේ මෙරට නියෝජිත සිංහාය. - Prof. Peiris: Are we back to Viceroy Dixit era of overlordship? මොන කතා කීවද වරාය නගරයේ චීන ඉදිකිරීම් වලට ඉන්දියාවේ එකඟතාවය නොමැති හෙයින් එහි ඉදිකිරීම් නැවතීමට ඉන්දියානු රූකඩ පාලකයනට සිදුවිය. අපට හැම අතින්ම අහිතකර ETCA ගිවිසුම මගින් මෙරට සේවා අංශය ඉන්දියානුවන්ට විවර කිරීම කවුරු විරුද්ධ වුවද කරන බව රූකඩ ආන්ඩුවේ අගමැති සපථ කර හමාරය. ඉන්දියානු ගිලන් රථ සේවය මගින් RAW නියෝජිතයන් රට පුරා ඕනෑම තැනක සැනෙකින් ස්ථාන ගත කිරීමේ ව්‍යාපෘතියද ක්‍රියාත්මක වීමට රජය අවසර දී ඇත. 

ඉන්දියානු අර්ධද්විපයට ආසන්නව පිහිටි භූ දේශපාලනය පිහිටීම නිසාම ක්‍රිස්තු පූර්ව යුගයේ පටන්ම මෙරට සංස්කෘතික, ආගමික සාමාජීය සහ දේශපාලන තත්වයන්ට ඉන්දියානු බලපෑම නොවැලැක්විය හැකි සාධකයක්ව පැවැතුනි. මෙරට වංශ කතාවල දැක්වෙන ආකාරයට එදා පටන්ම අප මෙරට ස්වාධීනත්වය සදහා ඉන්දියානු භූමියේ විවිධ කොටස් වල බලය පතුරාගෙන සිටි චෝල, පාණ්ඩ්‍ය, කේරල ආදී කොටස් සමග නිරන්තර අරගලයක යෙදී සිටියෙමු. වරක ඔවුන් අප රටේ ස්වාධීනත්වය ඩැහැ ගන්නා අතර මේ බිමේ සුජාත දූ පුතුන්ගේ ජීවිත පරිත්‍යාගයන් මතින් නැවතත් නිවහල් ජාතියක් ලෙස නැගි සිටියෙමු. මෙම සදාතනික අරගලය අදද නොයෙක් ස්වරූපයන්ගෙන් එලෙසම පවතින අතර වර්තමානයේ මේ ක්‍රියාත්මක වන්නේද එයමය. නිවට පාලකයන් සිටිනතාක් කල් අප ඔවුන්ගේ යටත්වැසියන් ලෙසට සැලකීම ඔවුන් සිදුකරනු ඇත. ඔවුන්ට විරුද්ධ වන පාලකයන් 2015 ජනවාරි සිදු කල අයුරින් කුමන්ත්‍රණ මගින් පලවා හරිනු ඇත. මේ වංශකතා වල සදහන් එවන් ඉන්දියානු ආක්‍රමණ ගැන විවරණයකි.

ලිඛිත ඉතිහාසයේ සදහන් වන පලමු ඉන්දියානු ආක්‍රමණය සිදු කරන්නේ සූරතිස්ස රජු සමයේ ඉන්දියාවේ සිට පැමිණි සේන සහ ගුත්තික නම් දමිලයන් දෙදෙනෙකි. ඔවුන් අශ්වයන් වෙළදාමේ පැමිණි නාවිකයකුගේ පුතුන් දෙදෙනෙකු බව මහාවංශය සදහන් කරයි. ඔවුන් වසර 22 මෙරට පාලනය කල බව එහි වැඩිදුරටත් සදහන් වේ. අසේල නම් සිංහල රජු නැවතත් ඔවුන්ගෙන් බලය අත්පත්කරගන්නා නමුත් ඔහුට වසර 10 ක්වත් පාලනය කිරීමට නොහැකි වන්නේ දෙවෙනි ඉන්දියානු ආක්‍රමණයද එළාර නම් චෝල රට සිට පැමිණි දමිලයෙකු ක්‍රියාත්මක කිරීමත් සමගය. ඔහු එතැන් සිට වසර 44 ක් මෙරට රාජ්‍යය පාලනය කරයි. මෙම ආක්‍රමණයන් සිදුවූ කාලය පිළිබද නිශ්චිත සාධක නොමැති හෙයින් ඒවා ක්‍රි. පූ. 250 ත් ක්‍රි.පූ. 161 ත් අතර සිදුවූ ලෙස අනුමාන වශයෙන් පිළිගැනේ. වංශ කතා වල සදහන් වන අයුරින් මේ ආක්‍රමණිකයන් සියලු දෙනාම දැහැමින් රට පාලනය කර ඇත. කුඩා ප්‍රමානයක් වූ ඔවුන්ගේ බලය මෙරට බහුතරයක් වූ ස්වදේශිකයන් එකමුතු වුවහොත් පහසුවෙන්ම අතික්‍රමණය කල හැකි බැවින් එවැනි හැසීරීමක් අනිවාර්ය බව පැහැදිලිය. කෙසේ නමුත් රජරට ප්‍රදේශයට පමනක් සීමා වූ මේ ආක්‍රමණිකයන්ගේ බලය දකුණේ රෝහණ දේශය යටත් කරගැනීම දක්වා පැතිරීමක් සිදු නොවූ බැවින් රෝහණයේ සිට සේනා සංවිධානය කල කාවන්තිස්ස රජුගේ උත්සාහය මල්ඵල දරමින් ඔහු පුත් දුටුගැමුණු විසින් මෙරට නැවතත් එක්සේසත් කලහ. එළාරගේ මරණයෙන් පසු ඔහුගේ බෑනා වූ භල්ලුක නම් තැනැත්තෙක්ද මෙරටට සේනාවක් සහිතව පැමිණෙන මුත් ඔහුවද පැරදවීමට දුටුගැමුණු සමත්වේ. මෙය තුන්වැනි ඉන්දියානු ආක්‍රමණය ලෙස ගත හැක.

අද ඇතැම් විජාතික මනසින් යුත් මනස්ගාතකරුවන් අර්ථනිරූපනක කිරීමට වලිකන අයුරින් මෙම සටන් කිසිදු ලෙසකින් එකල මෙරට විසූ ජනවර්ග දෙකක් අතර පැවැති වාර්ගික යුද්ධ ලෙස සැලකීමට සාධක නොමැති අතර බෞද්ධ ආගම මෙරටට හදුන්වාදීමත් සමග රාජ්‍ය අනුග්‍රය යටතේ මේ වන විට මෙරට බහුතරයක් එම දහම වැලදගත්තන් වන්නට බොහෝ සෙයින්ම ඉඩ ඇත. මේ යුගයේ දමිල ලෙසින් හැදින්වූවන් වර්තමාන අර්ථයෙන් දකුණු ඉන්දියාවේ තමිල්නාඩුව ලෙස ගැනෙන කොටසින් පැමිණි පුද්ගලයන් බව පොදුවේ පිළිගැනේ. ඔවුන් කිසියම් හෝ රාජ්‍ය වංශයකට අයත් වූවන්ට වඩා මෙරට පැවැති සාපේක්ෂව යුධ ශක්තිය අතින් දුර්වල පාලනයන් පහසුවෙන් අත්පත්කර ගත් තනි පුද්ගලයන් වන්නට ඉඩ වැඩිය. කෙසේ නමුත් ඔවුන් ආගමින් හින්දු වීමට වැඩි ඉඩක් ඇති බැවින් ඔවුන්ගේ පාලන යුග වලදි පෙර පැවැති රාජ්‍ය අනුග්‍රය ඒ අයුරින්ම බුද්ධ ශාසනයට නොලැබී යෑම දුටුගැමුණු රජුගේ සේනා සංවිධානයේදී බෞද්ධ භික්ෂුන්ගේ ප්‍රබල මැදිහත් වීමෙන් වටහාගත හැක. එසේම ජනතාව සටන් සදහා යොමු කිරීමටද පොදුවේ බෞද්ධයන් වූ සිංහලයන්ට එල්ල වූ එම අසාධාරණය ඉවහල් කර ගත් බවක් පෙනී යයි.

මෙවැනි ආකාරයේම වූ තවත් ආක්‍රමණයක් දුටුගැමුණුගේ මරනයෙන් දශක හතරක් ඉක්මවූ තැන ක්‍රි. පූ. 137 දී වට්ටගාමිණි අභය රජුගේ කාලයේදීද සිදුවේ. වංශකතාවේ සදහන් අයුරින් මහාතිත්තයට ගොඩ බසින දමිලයන් සත් දෙනෙක් වට්ටගාමිණි රජුගේ පදවිප්‍රාප්තියෙන් පස් මසක් ගිය තැන ඔහු පලවා හැර බලය අත්පත් කරගනී. තීය නම් වූ බ්‍රාහ්මනයෙකු ඇති කල කැරල්ලක් නිසා මෙරට ඇතිවී තිබූ අස්ථාවරත්වය සහ දුර්භික්ෂය මෙම ආක්‍රමණිකයන්ගේ අරමුණ ඉටුකර ගැනීම පහසු කෙරුවා විය හැක. මෙම දමිලයන් සත් දෙනාගෙන් දෙදෙනෙකු එක් අයෙකු රජුගේ බිසවක් වූ සෝමාදේවිය සහ අනෙකා බුදුන්ගේ පාත්‍රා ධාතුව රැගෙන ඉන් සෑහිමකට පත්වී නැවතත් ඉන්දියාවට නික්මයන අතර සෙස්සන් එකිනෙකා මරාගනිමින් වසර 14 කුත් සත් මසක් මෙරට පාලනය කරන අතර වට්ටගාමිණී රජු සේනා සංවිධානය කර අන්තිමයාගෙන් නැවතත් බලය අත් පත් කර ගනී.

ඉන්දියානු ආක්‍රමණ පුරාණය ගැන තව දුරටත් ඉදිරියේදි විමසා බලමු. 

චිත්‍රය - ඒකාබද්ධ වෘත්තියවේදීන්ගේ සංගමගේ නිර්මාණයකි.

මූලාශ්‍ර
  • The Indian factor in the security perspectives of Sri lanka, A, Liyanagamagea, 1993
  • Mahavamsa The Great Chronicle of Sri Lanka, An Annotated new translation with Prolegomena by Ananda W. P. Guruge, 2005.