Showing posts with label Dhatusena. Show all posts
Showing posts with label Dhatusena. Show all posts

Sunday, July 23, 2023

වෙහෙර තුල අසමගියක් වූ විට බත් කවුඩන්ට විසි කල සිහිගිරිබිම්හි පිහිටි දකිණිගිරි රද්මහවෙහෙර

පුරාතන යුගයේ මෙරට සිංහල බෞද්ධ සභ්‍යත්වයේ සමෘද්ධිමත්ම අවදියේ අගනගරයේ මෙන්ම අගනගරයෙන් බැහැර ප්‍රදේශ වලද සංඝ සමාජයේ පැවැත්ම උදෙසා සහ ජනතාවගේ ආගමික අවශ්‍යතාවයන් උදෙසා විවිධ වෙහෙර විහාර ඉදිවිය. ඒ අතරින් පබ්බත විහාර ලෙසින් හැඳින්වෙන විහාරාරාම ගණයේ ස්ථාන කිහිපයක් පිළිබඳව මෙයට පෙරදීත් ලිපි කිහිපයකින්ම මෙහි කරුණු ඉදිරිපත් කර ඇත >> දිවයින පුරාම එම ගණයේ නටබුන් වූ ස්ථාන රාශියක් මේ වන විට හඳුනාගෙන ඇත. පරසතුරු උවදුරු සහ වෙනත් ස්වභාවික උපද්‍රව හේතුවෙන් ශිෂ්ඨාචාරයට වරින් වර විවිධ බාධක එල්ලවීමත් සමගම එම ආගමික ස්ථාන නඩත්තු කල ගම් බිම් වල ජනයා වෙනත් ප්‍රදේශ වලට සංක්‍රමණය වීම හෝ ඔවුන් සමගම එම ගම් බිම් විනාශ වීමත් සමග ඔවුන් මත යැපුන විහාරාරාමත් පරිහාණියට පත්ව අතහැර දැමීම සිදුවේ. පසු කලක වෙනත් ප්‍රදේශයකින් පැමිණි හෝ එම ප්‍රදේශ වලම ඉතිරි වූ ජනයාගේ පසු පරම්පරාවන් වලට එම පූජනීය ස්ථාන වල නාමයන් පවා මතකයෙන් ගිලිහී යාම ස්වභාවිකය. එවන් අවස්ථාවලදී ඒ වන විට වන ප්‍රවාහය මගින් යටපත් කරගත් එවන් ස්ථාන වලට අලුත් නම් පටබැඳීම එම ගැමියන් අතින් සිදුවේ. ඒ අනුව කළු පැහැ වූ ජලය එකතු වූ පොකුණක් තිබීම හේතුවෙන් කළුදිය පොකුණ වූ පැරණි විහාරාරාම වල නටබුන් හමුවන ස්ථාන අවම වශයෙන් දෙකක් හඳුනාගත හැක. මිහින්තලේ පිහිටි මීට පෙර ලිපියකින් කරුණු ඉදිරිපත් කල ස්ථානයට (එම ලිපිය කියවීමට >>) අමතරව මාතලේ දිස්ත්‍රික්කයේ කණ්ඩලම වැවේ සහ එනයින් කලා ඔයේ ඉහල නිම්නයේ ජලපෝෂක ප්‍රදේශයේ එරවලගල කඳුවැටිය පාමුල පිහිටි කළුදිය පොකුණ ලෙසින් හැඳින්වෙන පබ්බත විහාර සංකීර්ණයක් ඇත. මේ ආකාරයෙන් නටබුන් වූ වෙනත් ඇතැම් ස්ථාන මෙන් නොව මෙහිදී අප හට සෙල්ලිපි සහ සාහිත්‍යමය මූලාශ්‍ර ආශ්‍රයෙන් ස්ථානයේ පැරණි නාමය කිසිදු සැකයකින් තොරවම හඳුනාගැනීමට හැකිවීම විශේෂත්වයකි.

කළුදිය පොකුණේ නටබුන් දක්වෙන කෙටි වීඩියෝව >>

ලෙනක බිත්තියේ කොටා ඇති ගිරි ලිපිය

මෙම ස්ථානයේ පිහිටි ලෙනක බිත්තියේ කෙටූ සෙල්ලිපියක් සහ පබ්බත විහාරයේ පිළිම ගෙය ලෙසින් අනුමාණ කරන ගොඩනැගිල්ල පිහිටි ස්ථානයේ පිහිටි පුවරු ලිපියක් ස්ථානයේ පැරණි නාමය හඳුනාගැනීම උදෙසා මූලික වශයෙන් උපකාරී වේ. ඒ අතරින්  ලෙනේ පිහිටි ලිපිය සිරිසඟ්බොය් මපුර්මුකා (දොළො)ස්වන්නේ පොසොනැපුර විසෙනි දවස්, එනම් සිරිගඟ්බො නම් රජෙකුගේ රාජ්‍යත්වයෙන් දොළොස්වන වර්ෂයේ පොසොන් මස පුර පක්ෂයේ පස්වෙනි දින දළනා නැමැත්තෙකු  විසින් දකිණිගිරි වෙහෙර මහසඟනට ලහා බත් (Ticket-meals) සඳහා තෙවිසි (23) කළන්දක් වූ රන් ප්‍රදානය කර, එයින්  දිනපතා මහබුන්ද්නෙන් අදමන දෙකක සහ මුත්වනින් සහ පෙරෙබුන්ද්නෙන් අදමන එකක ප්‍රමාණ වූ සහලින් බත් ඉර හඳ පවතින තුරා සැපයීම කලයුතු බවට පවසා පිහිටුවා ඇත. සහල් නොදී බත් ගෙ පිසැ බත් (එනම් මුළුතැන්ගේ  පිසූ බත්) දිය යුතු අතර, වෙහෙර තුල අසමගියක් වී නම් එම බත් කවුඩු (කපුටන්) බල්ලනට විසි කල යුතු වේ. මෙය කඩ කරන කිසිවෙකු හෝ වී නම් මහමෙතෙ සම්මා සම්බුදුන් දොරින් යත් (එනම් මතු බුදු වන මහා මෛත්‍රී බුදුන් එම කෙනාගේ ගේ දොරකඩින් ගියත්) එම බුදුන් හට වැඳීම උදෙසා එම පුද්ගලයා හට අත් එසවීමට හෝ නොහැකි වනු ඇත*. මෙම ප්‍රදානයේදී සීහ නැමැත්තෙකු, කොට්ගම් සීසෙන් වත්හිමි නැමැත්තෙකු, කළි මාඩබියන්,  අග්සුමෙයුර් වත්හිමියන්, කලල්වැලි උදහි, වදුරා අරක්සමණන්ගේ මෑණියන් සහ ඇදුර් වත්හිමියන් යන අය එක් ලහ බතක් බැගින් සැපයීමට දළනා සමග ගිවිස ගෙන ඇත.

සිව්වන කාශ්‍යප රජුගේ කාලයට අයත් ලෙන් ලිපිය

අක්ෂර හැඩය අනුව ලිපිය අයත් වන 10 වන ශත වර්ෂයේ මුල් අර්ධයේ සිරිගඟබෝ යන විරුදය භාවිතා කල රජවරුන් දෙදෙනෙකු හඳුනාගත හැක. ඒ අතරින් සෙනරත් පරණවිතාන මහතාගේ අනුමාණය වූයේ දෙවන සේන රජු (පො. ව. 853-887)  වන අතර සිරිමල් රණවැල්ල මහතාට අනුව කොළඹ කෞතුකාගාරයේ දැනට ඇති සිව්වන කාශ්‍යප රජුගේ කාලයේ පිහිටවූ ලෙසට හඳුනාගත හැකි ටැම් ලිපියක මෙම ලිපියේද  නම සඳහන් වන වදුරා අරක්සමණ ගැන සඳහන් හෙයින්, කළුදිය පොකුණ ගුහා ලිපිය අයත් වන්නේ සිව්වන කාශ්‍යප රජුගේ කාලයටය (පො. ව. 898-914). 

කටාරම් කෙටූ ලෙනක්. මෙහි පූර්ව බ්‍රාහ්මී සෙල්ලිපියක් කොටා ඇත.

පුවරු ලිපිය

කැත්කුල කොත් ඔකාවස් රජ් පරපුරෙන් බට් සුදොනා පරපුරෙන් ආ සලමෙවන් අභා උදා මහරජ්හු හට සහ විදුරා රැජිනට දාව උපන්, අභා සලමෙවන් මහසෙන් රජුගේ රාජ්‍යත්වයෙන් පළමු වර්ෂයේ සිහිගිරිබිම්හි පිහිටි දකිණිගිරි රද්මහවෙහෙරේ සංඝයා සමග සම්මුතියෙන් එකඟව මහපිළිම හැඹූ පහණැ (මහ පිළිමය අඹන ලද ගලෙහි) ලියවා තැබූ කතිකාවතක් පිළිබඳව ඉහත සඳහන් කල අනෙක් ලිපිය වන පුවරු ලිපියේ සඳහන් වේ. 

පුවරු ලිපිය

දහවන සියවසට අයත් සිංහල අක්ෂර වලින් ලියා ඇති මෙම ලිපියේ නම සඳහන් අභා සලමෙවන් මහසෙන් රජු තුන්වන හෝ හතරවන සේන රජු විය හැකි බවට සෙනරත් පරණවිතාන මහතා සඳහන් කරන මුත් (එහෙත් එතුමා එම රජු බොහෝදුරට සිව්වන සේන [පො. ව.  954-956] විය හැකි බවට අනුමාණ කරයි.) සෙනරත් පරණවිතාන මහතාට කියවිය නොහැකි වූ එම රජතුමාගේ පියාගේ නමද විරුදයද සමගින් සම්පූර්ණයෙන් කියවීමට හැකි වීම නිසා සිරිමල් රණවැල්ල මහතා එම පිය රජු දෙවන උදය (පො. ව. 887-898) ලෙසින් සහ එනයින් මෙම පුවරු ලිපිය පිහිටවූ රජු තුන්වන සේන (පො. ව. 938-946) ලෙසින් හඳුනාගනී. 

ඇසෙළැ පුර දසවක් දවස් එනම් ඇසල මස පුර පක්ෂයේ දසවන දින එක්තැන් සමියෙන් [Supreme Council] වදාළ හෙයින් මෙම කතිකාව සඳහන් පුවරු ලිපිය පිහිටුවීම සඳහා පැමිණෙන්නේ මෙකාප්පර් [Commander of the Bodyguards] සඟ්සෙන් නියමයෙන් ආ සුනගලු රක්ස, කිළින්දිරි සෙන් සහ මහකිලින්ගම කිලිඟ් ලෝකයා, වට්රක් කස්බා රක්සමණන් [Chief Guardian] නියමයෙන් ආ කුඩසලා කිත්දෙවු යන අයය. 

ලිපියේ ඇතැම් කොටස් කියවිය නොහැකි හෙයින් එම කොටස් වල අර්ධ වශයෙන් කියවිය හැකි වචන වලින් පැහැදිලි අදහසක් ගත නොහැකි මුත් පැහැදිලිව කියවිය හැකි කොටස් වල සඳහන් කරුණු අතරින් කිහිපයක් මෙසේ පෙලගැස්විය හැක. වස්  විසීම් දහයක් සිදු කල සහ සතර බණවර සම්පූර්ණ කල සංඝයා හට මෙහි ඇති ආවාස වල විසිය හැක. මෙම පරිශ්‍රය තුල සොළී සහ තුඩි බෙර වාදනය නොකල යුතු අතර, රැහැණ් [Army-whips] නොගැසිය යුතුය, වෙනත් ස්ථාන වලින් පිටමං කර මෙහි පැමිණි ඒත් ඒ බව හෙලි නොකල භික්ෂූන් හට මෙම පරිශ්‍රයේ ආවාස තුල විසීමට ඉඩ නොදිය යුතුය, මහපිරිත් ඉගෙනගැනීම සිදු නොකරන්නන් හට මෙහි පිහිටි ආවාස තුල විසීමට ඉඩ නොදිය යුතුය, මෙහි බණ හදාරන සාමනේර හිමිවරුන් මෙහි මහණ කල හැකි අතර වස් සමය අවසානයේ එය කල යුතුය, මෙහි ළුැනු (Onion) විකිනීම සිදු නොකල යුතුය, මෙහි වසන කැමියන් තමන්ගේ නඩත්තුව සඳහා ඉඩම් (දිවෙල්) බොගමියෙන් සහ මගමින් ගත යුතුය, වෙනත් ගම් වලින් ගෙනා ගෙරි [Cattle], මීවුන් [Buffaloes] සහ දස් මිනිසුන් [Male servants] යොදාගෙන මෙහි ඉඩම් සහ පමුණු ඉඩම් වල ගොවිකම් නොකල යුතුය, පස්මහ වැරදි කල කැමියන් දා [Sacred Relics] ගෙනියන පෙරහැර වලට යොදා නොගත යුතු අතර, කිසියම් වැරදි කල කැමියන් ලවා ඔවුන්ට පැවරූ රාජකාරි ඉටුකරගෙන පසුව ප්‍රදේශයෙන් පිටමන් නොකල යුතුය, වප් මස අව අටවක ලේකම් කිරීමට පෙර [Before the submission of accounts] දිවෙල් [Maintenance Lands] නොගත යුතුය, පෙර සිරිත් ඉටු නොකරන කැමියන් කැමි කමේ තබා නොගත යුතුය, පෙර සිරිත් පරිදි අය කල ප්‍රමාණයට වඩා අඩුවෙන් බදු අය නොකල යුතුය,  මහමන්ඩ්, වලමාල, වැලිපුනගොන සහ සිඹුර් බිම් වල සය කිරියා බිම් ලහබත් කරණු සඳහා වෙන් කර තැබිය යුතුය, මෙම වෙහෙරට අයත් ගම් බිම් වලට තුන් රදොලින් [Three Royal Households] වාරි-පෙරෙනාට්ටියම් නිලධාරීන් ඇතුළු නොවිය යුතු අතර, ගැල්, ගොන් [Oxen], මීවුන් [Buffaloes] වද්ද නොගත යුතුය, බැහැර මිනී කොටා මෙහි පැමිණෙන්නන් එනම් බාහිර ස්ථාන වල මිනීමරා මෙහි පැමිණෙන්නන් විහාරයේ සීමාවන් තුලට වැද්ද නොගත යුතුය, එසේම පරිශ්‍රය තුල සිට මිනී මරන්නන් කැමියන් [Officials] විසින් ඔවුන්ගේ ගෙවල් පවරාගෙන පරිශ්‍රයෙන් පිටත් කල යුතුය. මෙම කතිකාව කඩ කරන මහණුන්, කැමියන් හෝ රදොල් [Officers attached to the royal households] යන කිසිවෙකු හෝ වේවා ඔවුනට මෙතේ බුදුන් දකින්නට නොලැඹෙනු ඇත*.      

ඉහත සඳහන් ස්ථාන නාම වලට අමතරව ලිපියේ අර්ධ වශයෙන් කියවිය හැකි කොටස් වල මහසඟ්වැලි බිමෙහි සුමන්ගලු නුවර කල්ලන්ගමු නවම, පහණ්ගම ..මනලක පිහිටි පවුර් මහපූගම, පනවගම-තම්ම, මහදියමොහොල යන ස්ථාන නාමයන්ද සඳහන්වේ.

* ඉහත සෙල්ලිපි දෙකෙහිම සඳහන් කරුණු කඩකරන්නන් හට මෙතේ බුදුන් දකින්නට නොලැබෙනු ඇත වැනි වැකි සඳහන් කිරීමෙන් පැහැදිලි වන්නේ මේ අවධිය වන විට  මහාවිහාර සම්ප්‍රදායට පරිබාහිරව අභයගිරි, ජේතවණ වැනි පාර්ශවය විසින් ප්‍රචලිත කල මතු බුදු වන මෛත්‍රී බුදුන් සහ බෝධිසත්ව වන්දනය මුල් කරගත් මහායානික ඇදහීම් කොතරම් දිවයිනේ අගනගරයෙන් බැහැර වෙනත් ප්‍රදේශ වලටද පැතිර ගොස් තිබිණිද යන්නය.

සංරක්ෂණය කල ස්තූපය
ඉහත සෙල්ලිපි වල සඳහන් දක්ඛිණ විහාරය පිළිබඳව  වංශ කතා වල හමුවන තොරතුරු

මහාවංශයේ සඳහන් වන පරිදි සද්ධාතිස්ස රජු (පො. ව. පූර්ව 137-119) දක්ඛිණගිරි විහාරය නම් වූ විහාරයක් ඉදිකර ඇත. එහිම (චූලවංශය ලෙසින් හැදින්වූ මහාවංශයේ දෙවන කොටසේ) පසු අවස්ථාවක සඳහන් වන්නේ ධාතුසේන රජුද (පො. ව. 455-473) ථේරවාදී හික්ෂූන් සඳහා ඉදිකල සියළු සම්පත් සපිරි විහාර අතර දක්ඛිණගිරි නමින් වූ විහාරයක්ද තිබූ බවයි. නැවතත් පස්වන කාශ්‍යප රජු (පො. ව. 914-923) පිළිබඳව වූ විස්තරයේදී එහිම සඳහන් වන්නේ එම රජු දක්ඛිණගිරි නම් වූ විහාරයට ගමක් දුන් බවය. දක්ඛිණගිරි දළ්හ නම් වූ විහාරයේ පළමුවන අග්ගබෝධි රජු (පො. ව. 571-604) උපෝසථඝරයක් කරවූ බවටද මහවංශයේ සඳහන්වේ. මෙම දක්ඛිණගිරිදළ්හ විහාරයද ඇතැම් විට පෙර හා පසු අවස්ථාවන්හීදී දක්ඛිණගිරි විහාරය ලෙසින් මහාවංශයේ හැඳින්වෙන විහාරය විය හැක. 
උපෝසථඝරය ලෙස අනුමාණ කරන ගොඩනැගිල්ල

පබ්බත විහාරයක් නැතහොත් පඤ්චාවාස ආරාමික භූමියක් ලෙස හඳුනාගෙන ඇති මෙම පැරණි නටබුන් විහාරයේ ප්‍රධාන මළුවට ඇතුළු වන ප්‍රධාන දොරටුව උතුරු දෙසින් පිහිටා ඇත.  මෙතෙක් මෙහි කැනීම් කර සංරක්ෂණය කර ඇත්තේ ප්‍රධාන මළුව වටා දිවෙන ගඩොල් ප්‍රාකාරයේ කොටසක් සහ ස්තූපය පමණි. එයට අමතරව මෙහි පිහිටි ගල් කණු තුනක් පමණක් මතුපිටින් දිස්වන උස් ගොඩැල්ලක් පිළිම ගෙය ලෙසත්, බොධිඝරය ලෙස මිටි ගල් කණු සහිත ස්ථානයක් සහ උපෝසථඝරය ලෙස උස් ගල් කණු සහිත ස්ථානයක් හඳුනාගෙන ඇත. 

පිළිමගෙය ලෙස සැලකෙන මෙතෙක් කැනීමක් සිදු නොකල ස්ථානය

කළුදියපොකුණ ආරාම සංකීර්ණයේ පූජනීය ගොඩනැගිලි හමුවන ප්‍රධාන මළුවට දකුණින් සහ ගිණිකොන දෙසින් එයට පිටතින් පොකුරු වශයෙන් පිහිටි ලෙන් 32 ක් හඳුනාගෙන ඇත. මේ අතරින් ලෙන් 18 ක කටාරම කොටා ඇති අතර, ලෙන් 4 ක පූර්ව බ්‍රාහ්මී අක්ෂර වලින් ලිපි කොටා ඇත. ගල් බිත්ති අවශේෂ සහිත ලෙන් 24 ක්ද, ගඩොල් බිත්ති අවශේෂ සහිත ලෙන් 9 ක්ද, සිතුවම් තිබූ බවට සාධක සහිත ලෙනක් සහ මූර්ති තිබූ ලෙනක් ද ඒ අතරින් හඳුනාගෙන ඇත. පූර්ව බ්‍රාහ්මි ලිපි සහිත ලෙන් දෙකකම එම ලිපි වල 'ශඝශ' ලෙසින් සඳහන් වන බැවින් එම අක්ෂර අයත් වන පොදු වර්ෂ පූර්ව තුන් වන සියවසේ සිටම එම ලෙන් සඟසතු කර තිබූ බවත්, එනයින් මෙම ආරාම සංකිර්ණයේ ආරම්භය එම යුගය දක්වාම දිවෙන බවත් පැවසිය හැකිය. පසු කාලීනව පොදු වර්ෂ 6, 7 සියවස් වලදී මෙම ස්ථානය පබ්බත විහාරයක් බවට පරිවර්තනය වූ පසුවද එම ලෙන් භික්ෂු ආවාස ලෙසින් භාවිතා වූ බව සිතිය හැක. මේ ලෙන් වල ඉඩ ප්‍රමාණය අනුව සියළුම ලෙන් වල භික්ෂූවහන්සේලා 106 ක් පමණ වැඩ වාසය කරන්නට ඇති බව මහාචාර්ය ප්‍රිශාන්ත ගුණවර්ධන මහතා ගණනය කරයි.  ලෙන් වලට අමතරව පිහිටි භික්ෂූන් වහන්සේලා අවම වශයෙන් 12 ක් වාසය කළ බවට ගණනය කල හැකි ආවාස කුටිද සැලකිල්ලට ගත් කල මෙම පබ්බත ආරාමයේ භික්ෂූන්වහන්සේලා 118 කට පමණ ඉඩ පහසුකම් තිබූ බවට ඒ මහතා වැඩිදුරටත් සඳහන් කරයි. 

ඉහත සඳහන් සෙල්ලිපි වලට අමතරව පොදු වර්ෂ 5 - 7 සියවස් වලට අදාල අක්ෂර වලින් කොටා ඇති වහරල ලිපි ලෙසින් හඳුන්වන ලිපි කිහිපයක්ද මෙම පුරාවිද්‍යා සංකීර්ණයේ මුරගල්, පියගැට සහ පුවරු වලින් හමුවී ඇත.

සංරක්ෂණය කල ප්‍රධාන මළුවේ පිටත ප්‍රාකාරය

කළුදියපොකුණ ආරාම සංකීර්ණයේ සිදුවූ පුරාවිද්‍යා කැනීම් සහ සංරක්ෂණය කිරීම්

1977 වර්ෂයේදී පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ වැඩ බිමක් මෙම පරිශ්‍රයේ ආරම්භ කරන අතර කුඹුක්කඳන්වල ගම්මානයේ සිට මෙහි ඒමට තිබූ සැතපුමක් පමණ වූ අඩි පාර ජීප්-පාරක් බවට පුළුල් කල බවත්, එහෙත් බෝක්කු කිහිපයක් නොයොදා වාහනයක් වැඩබිම වෙත ගෙන යෑමට නොහැකි බවත් 1970- 1977 වර්ෂ සඳහා වූ පුරාවිද්‍යා කොමසාරිස්තැනගේ පාලන වාර්තාවේ සඳහන් වේ. එම වර්ෂයේම පුරාවිද්‍යා රක්ෂිතය එලිපෙහෙලි කර විවිධ ස්මාරක වෙත යෑමට අඩි පාරවල් යෙදූ බවත් එහි වැඩිදුරටත් සඳහන්ය.  
එරවලගල කඳුවැටිය පාමුල පිහිටි කළුදිය පොකුණ ආරාමයේ සංරක්ෂණය කල ස්තූපය

මෙහි පිහිටි ස්තූපයේ තිබූ ගස් ඉවත් කර එහි දකුණු දිශාවෙන් කැනීමක් 1979 වර්ෂයේ මාර්තු මාසයේදී ආරම්භ වේ. එම වසර අවසාන වන විට එහි දකුණු හා නැගෙනහිර දිශාවෙන් සහ බටහිර දිශාවෙන් මද දුරක්ද කැනීම් කර දාගැබේ මාලකය මතුකර ගැනීමට හැකිවී ඇත. දකුණු දිශාවෙන් වූ පඩිපෙල සහ මුරගල්ද මතුකරගැනීමට හැකිවී ඇති අතර පඩිපෙලේ පලමු පඩියේ කොටා තිබූ අනුරාධපුර යුගයේ පසුකාලයට අයත් සෙල්ලිපියක්ද එම යුගයටම අයත් අකුරු කොටා තිබූ රවුම් හැඩැති ගඩොල්ද මෙහිදී හමුවී ඇත. මෙහි පිහිටි ස්තූපය සහ ප්‍රධාන මළුවේ පිටත ප්‍රාකාරයේ කොටසක් පමණක් 90 දශකයේදී සංරක්ෂණය කර ඇත.
බෝධිඝරය
මූලාශ්‍
  • Archaeological Survey of Ceylon, Inscriptions of Ceylon Vol 5 Part 1 , Sirimal Ranawella, 2001
  • Archaeological Survey of Ceylon, Inscriptions of Ceylon Vol 5 Part 2 , Sirimal Ranawella, 2004
  • Archaeological Survey of Ceylon Epigraphia Zeylanica, Volume III (1928 - 1933), 1989
  • බුද්ධ ප්‍රතිමාගෘහයේ අවකාශීය සංවිධානය (අනුරාධපුර සහ පොළොන්නරු යුග ඇසුරෙන්) - ආචාර්ය දනන්ජය ගමලත්, 2016
  • මහාවංස 1 වෙළුම, මාගධී පෙළ සහ සිංහල අනුවාදය, නව සංස්කාරක චන්ද්‍ර වික්‍රමගමගේ, සිංහල අනුවාදය අරුණ තලගල, 2012
  • මහාවංස 2 වෙළුම, ක්‍රි.ව. 303-1815 මාගධී පෙළ සහ සිංහල අනුවාදය, නව සංස්කාරක චන්ද්‍ර වික්‍රමගමගේ, සිංහල අනුවාදය අරුණ තලගල, 2012
  • Sigiriya & Beyond To Dambulla, Habarana, Kekirawa, Galewela. 2016
  • Bibliotheca zeylanica series 1, Manjusri Vastuvidyasastra, M.H.F. Jayasuriya, Leelananda Prematilleke, Roland Silva, 1995
  • Environment, Town, Village And Monastic Planning, Roland Silva, 2006
  • Nicholas C.W. 1963, Historical Topography of Ancient and Medieval Ceylon, Journal of the Ceylon Branch of the Royal Asiatic Society, New Series, Volume VI, Special Number. 
  • ශ්‍රී ලංකාවේ පැරණි බෞද්ධ සංඝාරාම, ප්‍රිශාන්ත ගුණවර්ධන, 2010
  • ශීලා ලේඛන සංග්‍රහය - 1, මැද උයන්ගොඩ විමලකිත්ති හිමි, තෙවන මුද්‍රණය, 2004
  • Further studies in the settlement archaeology of the Sigiriya-Dambulla region, Senake Bandaranayaka & Mats Mogren et.all, 1994
  • Administration Report of the Director-General of Archaeology for the year 1998, S.U. Deraniyagala
  • Administration Report of the Director-General of Archaeology for the year 1997, S.U. Deraniyagala
  • Administration Report of the Director-General of Archaeology for the year 1996, S.U. Deraniyagala
  • Administration Report of the Director-General of Archaeology for the year 1995, S.U. Deraniyagala
  • Administration Report of the Director-General of Archaeology for the year 1994, S.U. Deraniyagala
  • Administration Report of the Director-General of Archaeology for the year 1993, S.U. Deraniyagala
  • Administration Report of the Director-General of Archaeology for the year 1970-1977, R.H. de Silva
  • Administration Report of the Director-General of Archaeology for the year 1979, R.H. de Silva, W.S. Karunawatne 
  • Historic Matale, 1984
  • History of Ceylon, Volume 1, Part 2, 1960

Saturday, September 10, 2016

නැගෙනහිර බොදු උරුමය 3 - දාපුලු රජ කැරවූ, පැරකුම්බා දෙබෑ රජ දරුවන් හට අගමෙහෙසුන් වූ විහාරමහා දේවිය පිළිසකර කරවූ ලාහුගල රූණු මහ වෙහෙර

නැගෙනහිර පළාතේ අම්පාර දිස්ත්‍රික්කයේ පානම පත්තුවේ ලාහුගල පිහිටා ඇති වර්තමානයේ මගුල් මහා විහාරය ලෙසින් හැඳින්වෙන නටබුන් විහාර සංකිර්ණය කාවන්තිස්ස රජතුමාගේ සහ විහාර මහා දේවියගේ විවාහ උත්සවය පැවත්වූ මණ්ඩපය පිහිටි භූමිය ලෙස එහි යන නරඹන්නන් දැනුවත් කරන මාර්ගෝපදේශකයන් සහ ගැමියන් ඔබට පවසනු ඇත. එම මංගල උත්සවය සිදු කල ශෛලමය මගුල් පෝරුව පවා ඔවුන් ඔබට පෙන්වනු ඇත. එහෙත් මෙයද   ඊලාම්වාදීන්ගෙ පුහු තර්ක ඇසුරින් නිර්මිත ඊණියා ඉතිහාසය බොරු කරන, මේ බිමේ පැරණි සිංහල බෞද්ධ උරුමය විදහාපාන, පැරණි රෝහණ රාජ්‍යයේ සිංහල බෞද්ධ නරපතියන් කරවූ අති විශාල විහාර ආරාම අතරින් තවත් එක් නිර්මාණයක් බව සාධක සහිතව පෙන්වා දිය හැක. 
14 වන සියවසේ පමණ සිංහල අකුරු වලින් ලියැවුන මෙම ස්ථානයෙන් හමුවන පුවරු ලිපියක සහ ටැම් ලිපියක සදහන් වන්නේ දාසෙන්කැලි රජ දරුවන් විසින් කරවූ රූණු මහ වෙහෙර නම් වූ මෙම ස්ථානය වල්වැදි තිබෙනු දැක, සොලී සේනාව මැඩ රූණු රට රජ කරන පැරකුම්බා දෙබෑයන්ගේ අගමෙහෙසිය වූ විහාරමහා දේවිය විසින් නැවත ප්‍රතිසංස්කරණය කර ස්ථානයේ නඩත්තුව සදහා ගම්වර ප්‍රදානය කල බවයි. එසේම විහාරදේවි පිරිවෙන ද එතුමිය විසින් සාදා මෙම ස්ථානයට පිරිනැමූ බවයි.
කැබැලි වලට කැඩුන බුදු පිළිමයක්
මහාවංශයට අනුව අනුරාධපුරයේ ක්‍රි.ව. 659 දී පමණ සුළු කාලයක් රජකම් කර පසුව රෝහණයේ රාජ්‍ය පාලකයා වූ පළවෙනි දප්පුල රජතුමන් විසින් රෝහණ විහාරය යනුවෙන් වෙහෙරක් පාෂාණදීප (වෙහෙර )වාසී මහා තෙරණුවන් ගැන පැහැදී ඒ හිමියන් වෙනුවෙන් තනවා පුජා කරන ලදී. පූජාවලියට අනුව දාපුලු නම් රජ රුහුණින් පැමිණ අනුරාධපුර නුවර ඉඳ  රුහුණු වෙහෙර ආදි එකුන් විස්සක් පමණ විහාර කරවා තුන් අවුරුදු තුන් මසක් රාජ්‍ය කලහ. රාජාවලිය පවසනුයේ දාපුලු රජ රුහුණින් ගොඩනැගී අනුරාධපුර නුවරට ගොසින් එහි තිබූ සුන් බුන් වැඩ කරවා නැවත රුහුණට ගොස් රූණු වෙහෙර කරවා... දස අවුරුද්දක් රාජ්ජය කල බවය.
බෝධිඝරය
ඉහත සඳහන් විහාර මහා දේවිය සිටි යුගයට සියවසකට පමණ පෙර ලියවුනු මහාවංශයේ මේ යුගයට අදාල කොටස මෙන්ම පූජාවලියද පසුකාලින සෙල් ලිපියට වඩා විශ්වාසනීය බැවින් සෙල් ලිපියේ දාසෙන්කැලි යනුවෙන් ධාතුසේන රජතුමා (ක්‍රි.ව. 455 - 473) කල බව පවසන රෝහන වෙහෙර (පාලි) හෙවත් රූණු වෙහෙර (සිංහල) ඉදිකලේ ධාතුසේන රජු නොව පළවෙනි දප්පුල විය හැකි බව පරණවිතාන මහතා පවසයි. සිංහල මූලාශ්‍ර වල දාපුලුසෙන් ලෙස හැඳින්වෙන දප්පුල රජතුමන් වචනයේ සාම්‍යත්වය නිසා පසුකාලීනව දාසෙන්කැලි සමග පටලවා ගැනීමක් සිදුවන්නට ඇති බවට ඒ මහතා අනුමාණ කරයි.

ස්තූපය
මේ අනුව පැරකුම්බා දෙබෑයන් හට අගමෙහෙසිය වූ විහාරමහා දේවිය සදහන් කරන රූණු වෙහෙර සහ වංශ කතා වල සදහන් රූණු වෙහෙර යනු බොහෝවිට එකම විහාරයක් බව පිළිගත හැක. එය මුලින්ම ඉදි කිරීමේ ගෞරවය බොහෝවිට හිමිවිය යුත්තේ පළවෙනි දප්පුල රජුට බවද පැහැදිලිය. එසේ නම් එය නැවත පිළිසකර කරවූ සෙල්ලිපි වල සදහන් විහාරමහා දේවිය යනු කවරෙකුද යන්න ඉන්පසු මතුවන ගැටලුවයි. මේ පිළිබඳව අදහස් දක්වන පරණවිතාන මහතා මෙහි සඳහන් පරාක්‍රමබාහු නම් ගම්පොල රාජධානිය කරගනිමින් සිරිලක රාජ්‍ය විචාල පස් වන පරාක්‍රමබාහු සහ ඔහුගේ සහෝදරයකු වන හතරවන බුවනෙකබාහු විය හැකි බව පවසයි. ක්‍රි.ව. 1341 සිට 1351 දක්වා හතරවන බුවනෙකබාහු ගම්පොල සිට රට පාලනය කල අතර එම කාලයේ පස්වන පරාක්‍රමබාහු දැදිගම ප්‍රදේශය ආශ්‍රිතව ස්වාධීන පාලකයෙකු ලෙස විසීය. නැවත ක්‍රි.ව. 1351 න් පසු ක්‍රි.ව. 1359 දක්වා හෙතෙම ගම්පොල පාලකයා බවට පත්විය.
ස්තූපය
කෙසේ නමුත් පසුව තම මතය සම්බන්ධයෙන් සැක පල කරන පරණවිතාන මහතා බුවනෙකබාහු යන නම මෙම ස්ථානයෙන් හමුවන සෙල්ලිපි වල නැති බැවින් සහ එම දෙබෑයන් රුහුණේ පමණක් පාලකයන් බව සෙල්ලිපි වල පැහැදිලිව සඳහන් වන බැවින් (පෙර කී රජවරුන් දෙදෙනම ඔවුන් මුළු දිවයිනටම අධිපති වූ බව පවසයි ) ඔවුන් දෙදෙනා වංශ කතා මූලාශ්‍ර වල සදහන් නොවන ප්‍රදේශිය පාලකයන් දෙපලක් විය හැකි බව පවසයි. එම සෙල්ලිපි වල සදහන් වන චෝල ආක්‍රමණය සම්බන්ධවද වෙනත් මූලාශ්‍ර වලින් කරුණු හමු නොවේ.
හතරැස් වේදිකාවක ඉදි කර ඇති පැරණි ස්තූපයක්, බුදු මැදුරු, පධානඝර, සහ කාවන්තිස්ස සහ විහාර මහා දේවියගේ මගුල් පෝරුව ලෙස වරදවා හඳුනා ගන්නා බෝධිඝරයක නටබුන් ඇතුලු තවත් ගොඩනැගිලි කිහිපයකම නටබුන් මෙහි ඇත.
පූජ්‍ය එල්ලාවල මේධානන්ද හිමියන් කලකට පෙර මේ ස්ථානය ගැන ලියූ සටහනක් අවසන් කරන්නේ මෙසේය .
 "එදා ආක්‍රමණික ද්‍රවිඩ බලයට එරෙහිව රෝහණය නිදහස් කරගත් මේ වීරෝධාර සිංහල දූපුතුන් ජනිත භූමියෙහි අද ජාතිවාදි ත්‍රස්තවාදී ද්‍රවිඩයන්ගේ හොල්මන්වලට ඉඩදී තිබීම නම් වර්තමාන රුහුණු දූ පුතුනට කිසිසේත් තරම් නොවේ."
 එම ත්‍රස්තවාදි බලවේග එවන් රුහුණු පුතෙකුගේ බල මහිමයෙන් මර්ධනය කලද වර්තමානය වන විට නැවතත් රටට සතුරු විජාතික බලවේග වල නියෝජිතයන් වූ පිරිසක් අතට රටේ බලය හුවමාරු වී ඇති මොහොතක ජාතිවාදි බලවේග වෙනදාටත් වඩා ශක්තිමත්ව සිය අරමුණු කරා යන බවක් දිස්වේ. එම නිසා මද සංශෝධන සහිතව ඉහත සටහන අදටද වලංගුය.

ආශ්‍රිත පෙර ලිපි
මූලාශ්‍ර
  • මහාවංශය සිංහල - බෞද්ධ සංස්කෘතික මධ්‍යස්ථානය.
  • Nicholas C.W. 1963, Historical Topography of Ancient and Medieval Ceylon, Journal of the Ceylon Branch of the Royal Asiatic Society, New Series, Volume VI, Special Number. 
  • Mahavamsa The Great Chronicle of Sri Lanka, An Annotated new translation with Prolegomena by Ananda W. P. Guruge, 2005.
  • පාචීන් පස්ස -උත්තර පස්ස නැගෙනහිර පළාත හා උතුරු පළාතේ සිංහල බෞද්ධ උරුමය,  එල්ලාවල මේධානන්ද ස්ථවිර., 
  • පැරණි ස්මාරක නාමාවලිය, සංස්කෘතික අමාත්‍යාංශය 1972
  • රාජාවලිය - ඒ වී සුරවීර සංස්කරණය, 1976.
  • පූජාවලිය. පණ්ඩිත වේරගොඩ අමරමෝලි නා හිමියන්ගේ සංස්කරණය, 1953.
  • History of Sri Lanka, W.I. Siriweera, 2012
  • Chulavamsa, Being the more recent part of the Mahavamsa, Translated by Wilhelm Geiger And from the German into English by C. Mabel Rickmers, 1929
  • Archaeological survey of ceylon Epigraphia Zeylanica, being lithic and other inscriptions of ceylon, Volume IV, Edited by S.Paranavitana, 1934-1941