Showing posts with label Council Chamber of Nissankamalla. Show all posts
Showing posts with label Council Chamber of Nissankamalla. Show all posts

Saturday, October 20, 2018

කාශ්‍යප හිමි වැඩ සිටි ගුරුළු පර්වතය H.C.P. බෙල් සීගිරිය කලාද?

මෙරට නමට සිංහලයන් වන බහුතරය සිංහලයන්ගේ ප්‍රෞඩ ඉතිහාසය බොහෝ දුරට විශ්වාසවන්ත ලෙසින් (අපක්ෂපාති ලෙස නොවේ. අපක්ෂපාති ලෙස ඉතිහාසය සටහන් කරන්නන් ලොව නැත.) ග්‍රන්ථාරූඩ කර ඇති  මහාවංසය කියවා නැත. පාසලේ ඉතිහාසය එහෙන් මෙහෙන් උගන්වන කාලයක සිය මූලික අධ්‍යාපනය ලද පරපුරකට අයත් නම් ඔවුන් ලද ඉතිහාස දැනුම එපමණය. ඉතිහාසය, සාහිත්‍යය කන්නදැයි විමසූ පාලකයන් සිටි අවධියක පාසැල් ගියේ නම් ඒ ටිකද නැත. එවන් ජාතියක් උඹලාගේ ඉතිහාසය මෙන්න මේකයි කියා ඕනෑම ප්‍රබන්ධ කතාවකින් මුලා කරලිය හැක. බුදු හිමි ලංකාවේ සිටි බවත්, සීගිරිය යනු කාශ්‍යප තෙරණුවන් වැඩසිටි කුක්කුට පර්වතය බවත් එහි දැනට පා යුගලක නටබුන් ඇත්තේ කුක්කුට හෙවත් ගුරුලාගේ මිසක (ඇත්ත වශයෙන්ම කුක්කුට යනුද කුකුළා මිසක ගුරුලා නොවේ.) සිංහයකුගේ නොවන බවටත් ආදි වශයෙන් "කතාන්දර" ගොතා එවන් සාතිශය බහුතරයකට ඇඟේ මයිල් කෙලින් වෙන ආකාරයේ අත්භූත ඉතිහාසයක් මවා පෙන්වීම අතිශයෙන්ම සරලය. එමගින් එම "කතාන්දර පප්පලාට" පොරවල් විය හැක. අවශ්‍ය නම් පොතක් දෙකක් පලකර ආර්ථික ප්‍රතිලාභද අත්කර ගත හැක.

සීගිරියේ එහි උතුරු දිශාවෙන් සිංහයෙකුගේ රූපයක් සහිතව ගල මතු පිටට නැගීමට හිණි පෙලක්  තිබූ බවට මහාවංශයෙහි සහ සීගිරි කුරුටු ගී වල කියැවෙන බව මෙයට පෙර පළ කල ලිපියෙන් කරුණු දැක්වූවෙමි. Link>>  එහෙත් සීගිරිය පිළිබඳව වන ඉහත යාන් හෑල්ල ලියූ පුද්ගලයන් සහ පසුව එය ඔසවාගෙන යන අන්ද භක්තිකයන් මතු කරන මේ පිළිබඳව වන ප්‍රධාන සහ එකම කරුණ (Fact) වනුයේ සීගිරියේ දැනට දක්නට ලැබෙන ආකාරයට සිංහ පාදයේ "ප්‍රමුඛව" ඇඟිලි තුනක් පමණක් පිහිටා තිබීමය. එම යාන් හෑල්ලේ ඉතිරි සියල්ලම පොදු ව්‍යවහාරයේ භාවිතා වන ලෙසට නම් "අතේ රෝල්" මිසක අන් යමක් නොවේ.
යාපහුවේ සිංහ රූපය
Panthera leo sinhaleyus
ඓතිහාසික යුගය තුල සිංහයන් මෙරට ස්වභාවික වනාන්තර තුල ජීවත්ව සිටි බවට කිසිදු සාධකයක් හමු වී නැත. එමෙන්ම අශ්වයන් මෙරටට ගෙන්වූ ආකාරයට අසල්වැසි භාරතීය පෙදෙසකින් හෝ වෙනත් එවැනි විදේශ රටකින් සිංහයන් මෙරටට ගෙන ආ බවටද කිසිදු වංශ කතා හෝ සෙල් ලිපි සාධකයක්ද හමු නොවේ. Panthera leo sinhaleyus ලෙසින් නාමකරනය කර ඇති සිංහ විශේෂයක් මෙරට සිටි බවට හමු වී ඇති එකම සාධකය රත්නපුරයේ මැණික් පතලකින් හමු වූ සිංහයෙකුට අයත් බවට P.E.P. දැරණියගල මහතා විසින් හඳුනාගෙන ඇති සිංහ දත පමණි. කුරුවිට ප්‍රදේශයේ පොළව මතු පිට සිට අඩි 19 යටින් ඉල්ලම් පසට උඩින් 1936 වසරේදී හමු වූ මෙම දත ඉල්ලම් පස් සමග මිශ්‍ර වී තිබීම නිසා කාල නිර්ණය කල නොහැකි මුත් Pleistocene යුගයට අයත් බවට අනුමාණ කෙරේ. ( P.E.P. දැරණියගල මහතා කුරුවිට ප්‍රදේශයේම මැණික් පතලකින් අඩි 20 යටින් මෙම සිංහ වීශේෂයටම අයත් තවත් දතක් 1947 වර්ෂයේදී හමුවූ බව පවසා ඇති මුත් කැළුම් මනමේන්ද්‍ර-ආරච්චි මහතා පවසන්නේ මෙම විශේෂය මෙරට සිටි බවට ඇති එකම සාධකය දැනට බ්‍රිතාන්‍යයේ ස්වහාව විද්‍යා කෞතුකාගාරයේ තැන්පත් කර ඇති ඉහත දත පමණක් බවය.)

මේ අනුව මෙරට සිංහ මූර්ති කැටයම් කල ශිල්පීන් දේශිය පුද්ගලයන් නම් ඔවුනට ජීවමාන සිංහයෙකුගේ හැඩරුව දැක ගැනීමට තිබූ හැකියාව අල්ප බව පෙනේ.
පොළොන්නරුවේ නිශ්ශංකමල්ල රාජ සභා මණ්ඩපයේ දැකිය හැකි සිංහ රූපය
තාත්වික නොවන රජරට සිංහයන්
තවද මෙහිදී පැවසිය යුතු තවත් එක් වැදගත් කරුණක් වනුයේ පුරාණ සහ මධ්‍යතන යුගයට අයත් මෙරට හමුවන සියළුම සිංහ රූප කැටයම් සහ මූර්ති තාත්වික ශෛලයකින් නෙලා නොමැති බවය. සිංහයා ට අමතරව බහුලව හමුවන අනෙක් සිව්පා (ක්ෂීරපායී) සතුන් තිදෙනා වන අශ්වයා, ගවයා සහ අලියා සමග සංසන්දනය කිරීමේදී මෙය කැපී පෙනෙන වෙනසක් වන්නේ බොහෝ විට එම සතුන් සිංහයා මෙන් ශෛලිගතව නොව තාත්වික ශෛලියකින් නෙළා තිබීමය. එම ලක්ෂණය මෙරටට පමණක් නොව අසල්වැසි ඉන්දියාවේ සිට චීනය දක්වා රටවල් වල හමුවන පැරණි සිංහ මූර්ති සහ කැටයම් වලටද බොහෝ දුරට අදාල වේ. මේ සමග පළවන යාපහුවේ සහ පොළොන්නරුවේ නිශ්ශංකමල්ල රාජ සභා මණ්ඩපයේ හමුවන ගලින් කල සිංහ රූප දෙස බැලීමෙන් එම සිංහ රූප ජීවමාන සිංහයකුගේ විලාශය නොදක්වන බව වටහා ගත හැක (එහෙත් එම සිංහ රූප වල ප්‍රමාණයන් [Proportions] බොහෝ දුරට නිවැරදිව නෙළා ඇති බවද මෙහිදි සඳහන් කල යුතුය.)

ශෛලිගත සිංහ රූපයක පා වල ඇඟිලි ප්‍රමාණයන් ආදිය නිවැරදි විය යුතු නැති බවට අමුතුවෙන් පැවසිය යුතු නොවේ.
නිශ්ශංකමල්ල රාජ සභා මණ්ඩපයේ ඇති සිංහයාගේ පාද
පොළොන්නරුවේ සහ යාපහුවේ සිංහයන්ගේ ඇඟිලි ගණන
වෙනත් පැරණි සිංහ රූප වල සිංහයාගේ ඉදිරි පාදයේ ඇති ඇඟිලි පිළිබඳව විමසා බැලූ විට පෙනී යන්නේ පොළොන්නරුවේ නිශ්ශංකමල්ල රාජ සභා මණ්ඩපයේ තිබෙන සිංහයාගේ ඉදිරි පාදයේ ප්‍රමුඛව දැකිය හැක්කේද ඇඟිලි 3 ක් පමණක් වන බවය. මේ සමග ඇති රූපයේ දක්වා ඇති ලෙසට එම සිංහ රූපයේ වම් පාදයේ ඇඟිලි තුනක් පමණක් දැකිය හැකි අතර දකුණු පාදයේ ඉදිරිපසට වන්නට දක්නට ඇත්තේද ඇඟිලි තුනක් පමණි. එහෙත් තරමක් පසු පසට වන්නට තවත් ඇඟිල්ලක් පැහැදිලිව එම දකුණු පාදයේ පමණක් දැකිය හැක (කාලයත් සමග සැලකිය යුතු මට්ටමින් විඛාදනය වී ඇති මෙම පාද එහි මුල් ස්වරූපයෙන් අද දැකිය නොහැක. වම් පාදයේ අමතර ඇඟිල්ල තිබූ කොටස මේ වන විට ගැලවී ගොස් ඇතිවා විය හැක.)

යාපහුවේ සිංහයාගේද පාද එහි මුල් ස්වරූපයට වඩා බෙහෙවින් ගෙවී ගිය ලෙසින් අද දැකිය හැකි මුත් ඇඟිලි හතරක් තිබූ බව විමසිල්ලෙන් බැලූ විට දැක ගත හැක. යාපහුවේ සිංහ රූපයේ ඇඟිලි වල නියපොතු සීගිරියේ සහ පොළොන්නරුව නිශ්ශංකමල්ල රාජ සභා මණ්ඩපයේ සිංහයාගේ මෙන් ඉදිරියට නෙරා ගොස් නොමැති අයුරුන් නෙළා ඇත (සිංහයන්ගේ නිය පූසන්ගේ මෙන් ඇඟිලි අතර සැඟවී ඇති බවත්, එහෙයින් සීගිරියේ පාද සිංහයකුගේ නොව පක්ෂියෙකුගේ බවටත් තර්ක කරන රාවණ බ්‍රෝ ලාගෙන් මෙහිදී ඇසිය යුත්තේ එතකොට පොළොන්නරුවේ සිංහයා පක්ෂියෙක්ද කියාය.)
සීගිරිය දකුණු සිංහ පාදය - වම් කෙලවරේ ඇති පස්වන ඇඟිල්ල බලන්න
ඇත්ත වශයෙන්ම සිංහයෙකුගේ ඉදිරි පාදයේ ඇඟිලි 5 ක් ඇති අතර පසුපස පාද වල ඇත්තේ ඇඟිලි 4 ක් පමණි Link>>. ඉදිරි පාදයේ එක් ඇඟිල්ලක් අනෙක් ඇඟිලි හතර සමග පොළොවට ස්පර්ශ නොවී පාර්ශවිකව මදක් ඉහලින් පිහිටා ඇත (Dewclaw බල්ලෙකුගේ පාද වලද මේ ලක්ෂණය දැකිය හැක.) බොහෝ දෙනෙකුගේ අවධානයට ලක් නොවන මුත් සීගිරියේ සිංහ පාදයේද මෙම 5 වන ඇඟිල්ල දැකිය හැක (මේ සමග පළවන ඡායාරූප බලන්න.) ඒ අනුව මෙහිදී ඉදිරිපස ඇඟිලි තුනක් පමණක් දැනට දැකිය හැක්කේ ඇයිද යන පැණය නැවතත් මතුවේ.
පස්වන ඇඟිල්ල
ඇතැම්විට මුල් නිර්මාණයේ ඇඟිලි තුනක් සහ පාර්ශ්වික ඇඟිල්ල පමණක් තිබුනා වන්නට ඉඩ ඇත. එහෙත් පහත දක්වා ඇති ඡායාරූප දෙස වුවද විමසිල්ලෙන් බැලූ විට පෙනී යන්නේ සිව්වන ඇඟිල්ලක් නෙලීමට අවශ්‍ය ඉඩකඩ එම පාද වල දැනටද දැකිය හැකි බවයි. එසේම ඇතුලට වල ගැසුනු කොටසක් සීගිරියේ සිංහ පාද වල (වම් සහ දකුණු පාද) පිටත පැත්තේ දැකිය හැක.  දකුණු පාදයේ ඉදිරි ඇඟිලි සහ 5 වන ඇඟිල්ල අතර පිටතට නෙරා ගිය ගඩොල් කොටසක්ද දැකිය හැකි බවද මෙහිදි පෙන්වා දිය හැක.ඒ අනුව ඇතැම් විට එම ඇඟිල්ල මුලදී තිබී පසු කලක විනාශ වූවා විය හැක.
සීගිරිය වම් සිංහ පාදය - දකුණු කෙලවරේ ඇති පස්වන ඇඟිල්ල බලන්න
සිංහයා පක්ෂියෙකු කලේ කවුද?
යාන් හෑලි ලියන රාවණ බ්‍රෝලාගේ බයිලා වල කියැවෙන අන්දමට නම් 1890 ඉතා අපහසුවෙන් සිංහ පාදය අසලට නැගගත් H.C.P. බෙල් එය දැක තුෂ්ණිම්භූත වී ඇත. ඇත්ත කතාව නම් එම සිංහ පාද කැනීම් මගින් H.C.P. බෙල් මහතා මතු කර ගන්නේ 1908 දී බවය. එතෙක් එම සිංහ පාද සහ පියගැටපෙල එහි ඉහලින් පිහිටා තිබූ සිංහයාගේ ඉතිරි කොටස සහ වෙනත් ගොඩනැගිලි ආදියේ කඩා වැටීමත් සමග එක්වූ සුන්බුන් වලින් සම්පූර්ණයෙන්ම වැසී ඒවා මත ශාක වැවී තිබී ඇත. දැනට සිංහ පාදය තිබෙන ස්ථානය සහ ඒ අවට තනිකර පස් ගොඩැල්ලක් ලෙසට විනා සිංහ පාදයක් ලෙස දිස්වී නැත.

 අද සිංහ පාදයේ දක්නට ඇති කපරාරුව සහ එයින් පැහැදිලිව මතු කර ඇති නිය පසු කාලීන සංරක්ෂණ ක්‍රියාදාමයන්හි ප්‍රතිඵල විනා ඒවායේ මුල් ස්වරූපය නොවන බව පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ 125 වන සංවත්සරය වෙනුවෙන් එම දෙපාර්තමේන්තුව මගින් පළකල ඔවුන් සතුව ඇති පැරණි ඡායාරූප එකතුවේ දැක්වෙන ඡායාරූපයකින්ද පැහැදිලි වේ. (නීතිමය හේතුන් මත එම ඡායාරූපය මෙහි පළකල නොහැකි බව සලකන්න.) දකුණු පාදයේ පියගැටපෙල දෙසට වන්නට පිහිටි නිය කොටසේ සුළු පෙදෙසක කපරාරුව හැරෙන්නට එම ඡායාරූපයට අනුව සිංහ පාදයේ ඉතිරි කොටස් වල දැකිය හැක්කේ මතුවී පෙනෙන ගඩොල් කොටස් පමණි. ඒ අනුව ඒ වන විට විනාශවී තිබූ සිව්වන පාදයේ කොටස් කැනීමේදී ඉවත් වී සංරක්ෂණ කාර්යයේදී අවධානයෙන් ගිලිහුනා වීමටද ඉඩ ඇත. දැනට දක්නට ඇති පසු කාලීනව එකතු කල කපරාරුව සහ එයින් මතු කල ඇඟිලි 3 (සහ 5 වන ඇඟිල්ල) සහිත සිංහ පාදයේ හැඩයට යටවී සදහටම වැලලී ගොස් ඇතුවා විය හැක. තවදුරටත් පැරණි ඡායාරූප සහ පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ කැනීම් සහ සංරක්ෂණ වාර්තා (ඒවා විනාශ නොවී තවමත් දෙපාර්තමේන්තුව සතුව කොහේ හෝ ඇත්නම්) විමසා බැලීමෙන් ඒ පිළිබඳව යමක් පැවසිය හැක. කෙසේ නමුත් සීගිරියේ දැකිය හැක්කේ සිංහයකුගේ පාද බවට නිගමනය කිරීමට නම් මේ කිසිවක් බාධාවක් නොවේ.
සීගිරි පර්වතයේ නැගෙනහිර දිශාවෙන් ගත් මෙම ඡායාරූපයට ඉදිරියෙන් සිංහ රූපයක මුහුණක් මවා ගත් විට කොතරම් අපූරුවට ලැග සිටින සිංහයකු නිර්මාණය වේදැයි සිතා බලන්න.
ඇතැම්විට බෙල් හෝ බෙල්ට පසුව මෙහි සංරක්ෂණ කාර්යයන් සිදු කල පුරාවිද්‍යාඥයන් අතින් එම සිව්වන ඇඟිල්ලේ තරමක් හෝ ඉතිරිව තිබූ කොටස් විනාශ වී ගියේ නම් හෝ කපරාරුව නිසා එම කොටස් සැඟවී ගියේ නම් සිංහයකු සිටි සීගිරිය, "ඇඟිලි තුනේ ගුරුලෙකු" කිරීමේ වගකීම ඔවුන් බාරගත යුතුය.(රාවණ බ්‍රෝලා මෙරට කීර්තිමත් පුරාවිද්‍යාඥයින්ට සහ ඉතිහාසඥයන්ට චෝදනා කරන ලෙසින් එසේ සිදු වූවා නම් එය ඔවුන් හිතාමතා කල දෙයක් නොව අතපසු වීමක් බවද මෙහිදී සඳහන් කල යුතුය. සංරක්ෂණ සහ කැනීම් ක්‍රියාදාමයන්හිදී එවැනි දේ සිදුවීම වැලැක්විය නොහැකි අතර අවම කරගැනීම පමණක් සිදු කල හැක.)

මූලාශ්‍ර
  • Sigiriya, City palace gardens monasteries paintings, Senaka Bandaranayake, 2013
  • Archaeological Guide to Sigiriya, Raja de Silva, 2004
  • Sigiriya, R.H. de Silva, 1976
  • උරුමයක අරුණ එදා අද, 2015
  • The Pleistocene of Ceylon, P.E.P. Deraniyagala, 1958
  • අනුරාධපුර ජෛවවිවිධත්වය සහ වර්තමාන ජෛවවිවිධත්වය, කැලුම් නලින්ද මනමේන්ද්‍ර-ආරච්චි, ගාමිණී අධිකාරි, 2014
  • Srinimal Lakdusinghe Felicitation Volume, Gunawardhana et.al., 2010

Saturday, August 11, 2018

ශිව දෙවියාගේ ජටාමඩුල්ල හා සමාන රාජවෙශ්‍යභූජංග මණ්ඩපය

"අනතුරුව ඔහු මිහිබට සුධර්මා දිව්‍ය සභාව බඳු වූ, සියලු ලෝකයන්හී සිරිත් එක්තැන් කළාක් වූ, තුන්මහළකින් යුක්ත වූ, විසිතුරු සිතුවමින් අලංකාර කරන ලද, සිත් අලවන වේදිකා සමූහයකින් වටකරන ලද, ගායකාදීන්ට පැතූ සම්පත් ගෙනදෙන, කප්රුක යට කරවන ලද වටිනා අසුනකින් අලංකාර වූ, යුද්ධයෙහිදී සිය බාහු බලයෙන් ලබාගත් ලකඟනගේ නොයෙක් මැණික් වලින් බබලන ඔටුන්න හා සමාන ශිව දෙවියාගේ ජටාමඩුල්ල හා සමාන වූ රජවෙශ්‍යභූජංග නම් රමණීය මණ්ඩපයක් කරවීය." - මහාවංශය 71 වන පරිච්ඡේදය

පළමුවැනි පරාක්‍රමබාහු රජතුමා (ක්‍රි.ව. 1153-1186) පොළොන්නරුවේ ඉදි කල ගොඩනැගිලි පිළිබඳව වූ විස්තරයේදී මහාවංශය එසේ විස්තර කරන ගොඩනැගිල්ල මේ වන විට පරාක්‍රමබාහු මාළිගයෙන් ඊසාන දෙසට වන්නට පිහිටා ඇති ශෛලමය මණ්ඩපය ලෙස හඳුනාගෙන ඇත. එම නටබුන් ගොඩනැගිල්ල රාජවෙශ්‍යභූජංග මණ්ඩපය ලෙසින් පළමු වරට අනුමාන ලෙසින් හඳුනාගනු ලැබුවේ 1922 වසරේ සිට 1927 දක්වා පුරාවිද්‍යා කොමසාරිස් ධූරය දැරූ A.M. හෝකාර්ට් මහතා විසිනි. පසුව ඒ බව තහවුරු කිරීම සඳහා එම ගොඩනැගිල්ලට පිවිසෙන පඩි පෙලේ දෙවෙනි පඩිපෙළ මුදුනේ ඇති ගල් පුවරුවේ 'රාජවේශ්‍යාභූජඟමණ්ඩපය' ලෙස දොළොස්වන සියවසට අයත් අකුරින් කොටා ඇති බව සොයා ගැනීම උපකාරී විය. 
1932 වසරේ සිට පොළොන්නරුවේ ඇතුළු නුවර පරාක්‍රමබාහු මාළිගය සහ ඒ අවට පිහිටි ගොඩනැගිලි වල සිදු කල කැනීම් වලදී මේ ගල් පුවරුව සොයාගැනිණි. එම කැනීම් වලදි පැහැදිලි වූ තවත් කරුණක් වූවේ වර්තමාන මණ්ඩපය ඉදිකර ඇත්තේ පළමුවන පරාක්‍රමබාහු රජුගේ කාලයේ සිට පැවතෙන ගොඩනැගිලි වල නටබුන් මත බවය. එසේම මෙම ගොඩනැගිල්ලේ ඉහල පස් තට්ටුවේ තිබී හමුවූ 13 වැනි සියවසේ අවසාන කාලයට අයත් චීන කාසි කිහිපයක් නිසාද, වර්තමාන ගොඩනැගිල්ල එම යුගයේ විසූ දෙවැනි පරාක්‍රමබාහු රජුගේ (ක්‍රි.ව. 1236-1270) රාජ්‍ය කාලයේ පශ්චිම භාගයේ, එහි මුල් ස්ථානයේ සිට තරමක් ඈතට වන්නට නැවත ඉදි කර ඇති බව පරණවිතාන මහතා අනුමාන කරයි. මහාවංශය විස්තර කරන ලෙසටද දඹදෙනියේ සිට රාජ්‍ය විචාල දෙවන පරාක්‍රමබාහු රජුගේ සමයේදී ඔහු පුත් සිව්වන විජයබාහු රජු (ක්‍රි.ව. 1270-1272) නටබුන්ව පැවති පොළොන්නරුව පැරණි නගරයේ ගොඩනැගිලි, පොකුණු, වීදි ආදිය පිලිසකර කර " උතුම් පොළොන්නරුව පෙර පැවති සේ" තනවා ඇත. 
මහාවංශයේ මහල් තුනකින් යුක්තව තනා ඇති බව පැවසෙන මෙම මණ්ඩපය එසේ හැඳින්වෙන්නේ ගොඩනැගිල්ලේ පදනම ලෙස යෙදෙන එකිනෙක මත පිහිටි වේදිකා තුන නිසා බව පැහැදිලිය. එම පහලම වේදිකාවේ විවිධ ඉරියව්වෙන් යුත් ඇත් රූපද, එය මත පිහිටි දෙවැනි වේදිකාවේ සිංහ රූපද ඉහලින්ම පිහිටි වේදිකාවේ වාමන රූපද කැටයම් කර ඇත. ගොඩනැගිල්ලේ ගෙබිම මත පේළි සතරකට සිටවූ කැටයම් කළ ගල් කණු 48 ඇති අතර ඒ මත දැවයෙන් කර උළු සෙවිලි කල වහලය තිබෙන්නට ඇත. 
මණ්ඩපයට පිවිසීමට ඇති පියගැට පෙල කොටස් දෙකකට ඉදි කර ඇති අතර එහි  ආරම්භයේ සහ මැදට වන්නට සඳකඩපහණ දෙකක් දක්නට ඇත. මණ්ඩපයට පිවිසෙන ස්ථානයේ ගල් පුවරුවක ඉහත විස්තර වූ සෙල් ලිපිය ඇති අතර එය දෙපස අලංකාර සිංහ රූ දෙකක් දක්නට ඇත. පියගැට පෙලේ කොටස් දෙක දෙපස කැටයම් කල කොරවක්ගල් දෙකක් පිහිටුවා ඇත. මෙහි මැද පිහිටි සඳකඩපහණ නිශ්ශංකමල්ල රජුගේ රාජ සභා මණ්ඩපයේ සිට ගෙනවුත් මෙහි සවි කර ඇත්තේ H.C.P. බෙල් මහතා විසින් බවට විශ්‍රාම ලත් පුරාවිද්‍යා දෙපාර්තමේන්තු සේවකයෙකු විසින් පැවසු බවට ජයසිංහ බාලසූරිය මහතා සිය පොළොන්නරුව පිළිබඳව වූ ග්‍රන්ථයක පවසන සඳහන සත්‍යක්ද යන්න තවදුරටත් විමසා බැලිය යුතුය. පරාක්‍රමබාහු රජුගේ ලෙස හඳුනාගන්නා වෙනත් ගොඩනැගිලි අසල ඇති සඳකඩපහණ වල සිංහ රුව දැකිය නොමැති මුත් මෙහි සිංහ රූප දක්නට ලැබීම එම කරුණ සත්‍ය විය හැකියැයි දැක්වීම සඳහා ඒ මහතා උපයෝගී කරගනී. 
'රජ මාළිගාව' ලෙසින් එවකට වැරදියට හඳුනාගෙන තිබූ මෙම මණ්ඩපය පිළිබඳව විස්තරයක් බෙල් සිය 1905 වසර සඳහා වූ පුරාවිද්‍යා කොමසාරිස්ගේ පාලන වාර්තාවේ ඉදිරිපත් කරයි. බෙල්ගේ විස්තරයේ ඉහත සඳකඩපහණ දෙකම මෙම ස්ථානයේ තිබූ බවට විස්තර වන අතර සිංහ රූප සහිත සඳකඩපහණේ විශේෂත්වය පිළිබඳවද ඔහු කරුණු සඳහන් කරයි. එනම් පොළොන්නරු යුගයට අයත් බොහෝ සඳකඩපහණ වල සිංහ රූප නොමැති මුත් මෙම සඳකඩපහණේ සහ හැටදාගෙය ලෙසින් හැඳින්වෙන ගොඩනැගිල්ලේ ඇති සඳකඩපහණ වල සිංහයා දැකිය හැකි වීමය. පහතින්ම ඇති සඳකඩපහණේ සිංහ රූප නොමැති වීම ගැනද සඳහනක් බෙල්ගේ විස්තරයේ අඩංගුය. (මෙම සඳකඩපහණ දෙකෙහිම ගවයා සුපුරුදු පරිදි පොළොන්නරු යුගයට අයත් වෙනත් සඳකඩපහණ වල ලෙසම දැකිය නොහැක.) වසර ගනණාවකට පෙර පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ සේවය කල හෝ එසේ සේවය කල ලෙස පවසන ගැමියන්ගේ 'යාන් හෑලි' සත්‍යය ලෙස සලකා පොත්පත් වල සඳහන් කර ඒවා 'පරම සත්‍යය' ලෙස සමාජගත වූ අවස්ථා මෑත කාලයේද නිබඳව අසන්නට ලැබුණි. ඉහත ජයසිංහ බාලසූරිය මහතා පවසන කරුණද එවන් තවත් එක් ඊණියා ජනප්‍රවාදයක් පමණක්ම බව ඒ අනුව පැහැදිලි වේ.

එවකට සම්පූර්ණයෙන් කඩාවැටීමට ලක්විය හැකි මට්ටමින් කැලෑව වැවි තිබූ මෙහි වැදගත්කම වටහාගත් H.C.P. බෙල් එය මතු දිනක නිසියාකාරව තහවුරු කරන තෙක් ඒ මත සහ වටා පිහිටි අවශේෂ ඉවත් කර ගොඩනැගිල්ල පැහැදිලිව දිස්වන සේ මතු කරගැනීමක් සිදු කරයි. 10 වන සියවසට අයත් බෙහෙවින් ගෙවී ගිය සෙල්ලිපියක කොටසක් හමුවන්නේද මෙම අවස්ථාවේදීය.
කෙසේ නමුත් මෙම මණ්ඩපය පසුව විවිධ කොටස් එකතු කර නිමවූවක් බව තහවුරු වන තවත් සාධකයක්  වනුයේ මෙහි නටබුන් අතර දසවන සහ දොළොස්වන සියවස් වලට අයත් සෙල්ලිපි දෙකක් දක්නට ලැබීමය. මින් එක් ලිපියක් පළමුවන වික්‍රමබාහු රජුගේ (ක්‍රි.ව. 1111-1132) බිසවක වන සුන්දරමහා දේවීය විසින් පිහිටුවා ඇත. මහාවංශයේ විස්තර වන විසිතුරු සිත්තම් හෝ කප්රුක අද දක්නට නොමැති මුත් එම කප්රුක ලෙස අනුමාණ කල හැකි කැටයම් කල ගල් ටැඹක් අටදාගෙය ලෙස හැඳින්වෙන ගොඩනැගිල්ල තුල දක්නට ඇති බව පූජ්‍ය කඹුරුපිටියේ වනරතන හිමියන් සිය 'පොළොන්නරු නටබුන්' නම් වූ කෘතියේ සඳහන් කරයි. මෙහි ඇති කැටයම් කල පුවරුද එම ආකාරයේම මණ්ඩපයක් වූ නිශ්ශංකමල්ල රජුගේ රාජ සභා මණ්ඩපයේ සිට රැගෙන විත් ඇති බවටද අදහස් ඉදිරිපත් වී ඇත. දැනටද එහි ඉතිරි වී ඇති ඇත් සහ සිංහ රූ සහිත කැටයම් පුවරු කිහිපය එම මතය සත්‍යය විය හැකි බවට සාක්ෂ්‍ය සපයයි. (එම කැටයම් පුවරු වල ඡායාරූප මිට පෙර ලිපියක දක්වා ඇත.>>)
මෙම මණ්ඩපය සඳහා ව්‍යවහාර වූ 'රාජවෙශ්‍යභූජංග' යන වදන රජවරුන් උදෙසා භාවිතා වූ විරුද නාමයක් ලෙස හඳුනාගත හැක. පැරකුම්බා සිරිත කාව්‍යයෙහි එන "දින පැරකුම්බුජ රජහිමි රාජවේශ්‍යාබූජංග" යන පද්‍ය කොටසින් එය පැහැදිලි වේ. පොළොන්නරුවේ උප නගරයක්ද රාජවේශීභූජංග පුර ලෙසින් මහාවංශයේ  හඳුන්වා ඇත. මෙවන් ආකාරයේ ගොඩනැගිලි සඳහා සිංහල භාෂාවෙන් ව්‍යවහාර වූ 'වැටුම් මඩුව' යන වදන කව්සිළුමිණ වැනි පැරණි ග්‍රන්ථ වල හමුවේ. එලෙසින් හැඳින්වූවේ රාජ සභාව පවත්වන මණ්ඩපය බව පූජ්‍ය වැලිවිටියේ සොරත හිමියන් පවසයි. 'සිංහ ද්වාර' ලෙස සංස්කෘත සාහිත්‍යයේ රජුගේ රාජ සභාවට පිවිසෙන පිවිසුම හැඳින්වේ. එහෙයින් දෙපස සිංහ රූප දෙකක් සහිත මෙම මණ්ඩපය එසේ හඳුනාගැනීම නිවැරදි බව පරණවිතාන මහතාද පැහැදිලි කරයි.
මූලාශ්‍ර
  • History and Archaeology of Sri Lanka, Volume II, The Art and Archaeology of Sri Lanka 1, CCF, 2007
  • Archaeological Department Centenary (1890-1990) Commemorative series, Volume Three, Architecture, Editor in Chief Pandit Dr. Nandadeva Wijesekera, 1990
  • The Polonnaruva Period, A Special issue of The Ceylon Historical Journal, Edited by S.D. Saparamadu
  • University of Ceylon History of Ceylon Volume 1, Part 2, 1960.
  • Archaeological Department Centenary (1890-1990) Commemorative series, Volume one, History of the Department of Archaeology, Editor in Chief Pandit Dr. Nandadeva Wijesekera, 1990
  • Polonnaruva, Issued by the Archaeological Commissioner, 1970
  • The Glory of Ancient Polonnaruva, Jayasinghe Balasooriya, 1999.
  • අසිරිමත් පොළොන්නරුව, ආචාර්ය සෙනරත් දිසානායක, 2009
  • පුරාවිදු පරියේසණ, සෙනරත් පරණවිතාන, 1972
  • Heritage of Rajarata, Chandra Wickramagamage, 2004
  • Nicholas C.W. 1963, Historical Topography of Ancient and Medieval Ceylon, Journal of the Ceylon Branch of the Royal Asiatic Society, New Series, Volume VI, Special Number.
  • Bell H.C.P., 1909, Archaeological Survey of Ceylon, North Central, Central And Northern Provinces, Annual Report 1905
  • පොළොන්නරු නටබුන්, කඹුරුපිටියේ වනරතන හිමි, 1962
  • ශ්‍රී සුමංගල ශබ්දකොෂය ප්‍රථම භාගය සහ ද්වීතීය භාගය- වැලිවිටියේ සෝරත හිමි, 1999
  • කව් සිළුමිණ හෙවත් කුසදාවත, මහාචාර්ය ඇම්. බී ආරියපාල සංස්කරණය, 2012
  • මහාවංස 2 වෙළුම, ක්‍රි.ව. 303-1815 මාගධී පෙළ සහ සිංහල අනුවාදය, නව සංස්කාරක චන්ද්‍ර වික්‍රමගමගේ, සිංහල අනුවාදය අරුණ තලගල, 2015
  • පැරණි ස්මාරක නාමාවලිය, සංස්කෘතික අමාත්‍යාංශය 1972
  • පැරකුම්බා සිරිත, පොදු සංස්කරණය - මහාචාර්ය රෝහිණි පරනවිතාන, 1997
  • Polonnaruwa, Medieval Capital of Sri Lanka, Anuradha Seneviratna, 1998

Monday, January 22, 2018

නිශ්ශංකමල්ල රාජ සභා මණ්ඩපය සහ කටුගෙට ගොස් යලි පැමිණි සිංහයා

පොළොන්නරුවේ පරාක්‍රමසමුද්‍රයේ වැව් බැම්මට නැගෙනහිර දෙසින් තානායම අසල පිහිටි පැරණි නටබුන් ගොඩනැගිලි සහ දීප උයන නමින් හැඳින්වෙන පැරණි උද්‍යානයේ නෂ්ටාවශේෂ අතර ඇති නටබුන් වූ පාදම, පියගැටපෙලවල් සහ විශාල ගල් කණු පේලි සතරකින් යුත් චතුරශ්‍රාකාර ගොඩනැගිල්ල නිශ්ශංකමල්ල රජුගේ රාජ සභා මණ්ඩපය ලෙසින් හඳුනාගෙන ඇත. එම ගොඩනැගිල්ලේ උතුරු දෙසින් එයට පිවිසීමට ඇති ප්‍රධාන පියගැටපෙල ඇති අතර බටහිර දෙසින්ද කුඩා පිවිසුමක් ඇත. ගොඩනැගිල්ලේ පාදම මාලක දෙකකින් යුක්තවන අතර එම පහලම මාලකය විවිධ ඉරියව් වලින් සිටින ශෛලමය ඇත් රූප වලින් අලංකාර කර තිබූ බව සහ ඉහල මාලකය ශෛලමය සිංහ රූප වලින් ඒ අයුරින්ම සරසා තිබූ බව බටහිර සහ උතුරු දෙස පාදම් වල අතරින් පතර ඉතිරි වී ඇති එවන් රූප වලින් පැහැදිලි වේ. 
බටහිර දෙසින් වූ කුඩා පිවිසුම
මෙම ගොඩනැගිල්ලේ  වහලයට ආධාරක වූ ගල් කුළුණු පේලි අතරින් ඇතුල්පස වූ ඇතැම් ගල් කුළුණු වල සෙල්ලිපි කොටා ඇති අතර එම සෙල්ලිපි වලින් රාජ සභාවේ එම ස්ථාන වෙන්කර තැබූ පුද්ගලයන් පිළිබඳව වැදගත් තොරතුරු හෙලිවේ. යුවරජවැ සිටි (මහපාණ) න් වහන්සේ හිඳින ස්ථානය, පොත්වරුන් ඇතුළු වූ කායස්ථයන්ට ස්ථානය, ප්‍රධානයන්ට ස්ථානය, සෙනෙවිරදුන්ට ස්ථානය, ඈපාවරුන් හිඳින ස්ථානය, අඝම්පඩි භාරක මඬලිකවරුන්ට ස්ථානය, චෞරාසිවරුන්ට ස්ථානය සහ ඩගෝෂ්ටියෙහි ඇත්තවුන්ට ස්ථානය ලෙසින් ඒවා නම් කර ඇත. 
දකුණු පසින් රාජ සභා මණ්ඩපය දිස්වන ආකාරය. වම්පසින් දැක්වෙන්නේ බටහිර දෙසින් වූ පිවිසුමයි.
එම තනතුරු ලත් පුද්ගලයන් සභා ශාලාවේ සිටි ආකාරය පහත රූප සටහනින් වඩාත් පැහැදිලිව පෙන්වා දිය හැක.
යුවරජවැ සිටි (මහපාණ) න් වහන්සේ (Heir apparent)
යුවරජවැ සිටි (මහපාණ) න් වහන්සේ හිඳින ස්ථානය ලෙස සලකුණු කර ඇත්තේ ඉහත රූපයේ 5 ලෙසින් දැක්වෙන කුළුණ අසලය. (රජු) සිංහාසනයේ වැඩහුන් කල යුවරජ 'හිඳින' ස්ථානය ලෙසින් එය එම ලිපියේ හඳුන්වා ඇත. මෙම ගොඩනැගිල්ලේ නටබුන් අතරම තිබී හමුවූ යුවරජ තැන්පත් නිශ්ශංකමල්ල රජුගේ පුත් වූ වීරබාහුගේ ගල් ආසනය ලෙසින් සටහන් කල ශෛලමය ආසනයද මුලින් මෙම ස්ථානයේ තිබුනා විය හැක.

ඈපාවරුන් (Heir presumptives)
ඈපාවරුන් සිටින ස්ථානය ලෙසින් සලකුණු කර ඇත්තේ ඉහත රූපයේ 4 ලෙසින් දැක්වෙන කුළුණ අසලය. (රජු) සිංහාසනයේ වැඩහුන් කල ඈපාවරුන් 'හිඳින' ස්ථානය ලෙසින් එය නම් කර ඇත.
පාදමේ පහල මාලකයේ ඉතිරි වී ඇති ඇත් රුවක්
සෙනෙවිරදුන් (Commander-in-Chief)
(රජු) සිංහාසනයේ වැඩහුන් කල සෙනෙවිරදුන්ට ස්ථානය ලෙසින් අකුරු කොටා ඇත්තේ ඉහත රූපයේ 3 ලෙසින් දැක්වෙන කුළුන අසලය.

ප්‍රධානයන් (Principal dignitaries)
(රජු) සිංහාසනයේ වැඩ හුන් කල ප්‍රධානයන්ට ස්ථානය ලෙසින් අකුරු කෙටු ලිපියක් ඉහත 2 ලෙසින් හැඳින්වෙන කුළුනේ ඇත. ප්‍රධානයන්ට ස්ථානය ලෙසින් විනා ප්‍රධානයන් හිඳින ස්ථානය ලෙසින් එය හඳුන්වා නොමැති බව පෙනේ. ඉහත සෙනෙවිරදුන් සඳහා වෙන් කල ස්ථානයේද 'හිඳින' යන්න නොමැත. එහෙත් යුවරජ සහා ඈපාවරුන් සඳහා පමණක් එසේ යොදා තිබීම අවධානය බඳුන්විය යුතු යැයි සිතේ.
පාදමේ ඉහල මාලකයේ ඉතිරි වී ඇති සිංහ රූප
පොත්වරුන් ඇතුළු වූ කායස්ථයන්
(රජු) සිංහාසනයේ වැඩ හුන් කල පොත්වරුන් ඇතුළු වූ කායස්ථයන් ලෙසින් හැඳින්වෙන පිරිසකට වෙන් කල ස්ථානය, අසල කුළුණේ ඇති ලිපියට අනුව ඉහත 1 ලෙසින් ලකුණු කල ස්ථානයයි. එලෙස හැඳින්වෙන්නේ පොත් තබන්නන් සහ ගණකාධිකාරවරුන් (Bookkeepers & Accountants) ලෙස සිරිමල් රණවැල්ල මහතා එම ලිපියේ ඉංග්‍රිසි පරිවර්තනයේ සඳහන් කරයි.

ඉහත සඳහන් සියළු පුද්ගලයන් ගොඩනැගිල්ලේ ප්‍රධාන පිවිසුමේ සිට බැලූ කල දකුණු පසින් එනම් බටහිර දිසාවෙන් වූ ස්ථාන වල තිබූ ආසන වල හිඳගෙන (හෝ සිටගෙන) රාජ සභාවේ කාර්යයන්ට සහභාගි වී ඇත.
සිංහාසනයේ තිබූ විශාල සිංහ රූපයේ පහලින් ඇති සෙල්ලිපිය
ගොඩනැගිල්ලේ ප්‍රධාන පිවිසුමේ සිට බැලූ කල වම් පසින් එනම් නැගෙනහිර දිසාවෙන් වූ ස්ථාන වල ඇති කුළුණු 3 ක සෙල් ලිපි වලට අනුව එම ස්ථාන වල සිට රාජ සභාවේ කාර්යයන්ට සහභාගි වූ පුද්ගලයන් මේ ආකාරයෙන් දැක්විය හැක.

අඝම්පඩි භාරක මඬලිකවරුන්
ඉහත සටහනේ අංක 6 ලෙසින් දැක්වෙන ස්ථානය වෙන්කර ඇත්තේ අඝම්පඩි භාරක මඬලිකවරුන්ටය. (රජු) සිංහාසනයේ වැඩ හුන් කල අඝම්පඩි භාරක මඬලිකවරුන් එනම් අගම්පඩි හෙවත් කුලී හේවායන්ගේ හමුදාවේ මණ්ඩලික ප්‍රධානියන්ට (Mandalikas in charge of the Agampadi unit of the Army [Mercenary army])වෙන් කල ස්ථානයයි.
රාජ සභා මණ්ඩපයේ දකුණු පස සිට බැලූ විට සිංහ රුව වර්තමානයේ පිහිටුවා ඇති ආකාරය.
චෞරාසිවරුන්
චෞරාසිවරුන් ලෙස හැඳින්වෙන පිරිසකට ඉහත සටහනේ අංක 7 ලෙසින් දැක්වෙන ස්ථානය වෙන් කර තිබූ බව ඒ අසල ඇති කුළුනේ කොටා ඇති සෙල් ලිපියන් කියැවේ. චෞරාසිවරුන් යනු ප්‍රාදේශිය පාලකයන් හඳුන්වන ඉන්දියානු සම්භවයක් ඇති වදනකි. ප්‍රදේශ 84 ක පාලකයා යන්න එහි නිරුක්තියයි (Office-in-Charge of 84 districts). Lesser regional administrators ලෙසින් රණවැල්ල මහතා සිය Inscription of Ceylon Volume 6 ග්‍රන්ථයේ ඉහත ලිපියේ ඉංග්‍රිසි පරිවර්තනයේ එම තනතුර හඳුන්වන මුත් රාජා ද සිල්වා මහතා ඉහත ඉන්දියානු ප්‍රාදෙශිය පාලකයන්ගේ නම සිය Distortion in history. The dossier on Nissamka Malla, Prince in India, King of Lanka (1187-1196) නම් වූ පර්යේෂණ කෘතියේ ඉදිරිපත් කරයි.
ප්‍රධාන පිවිසුම ඉහල සිට
ඩගෝෂ්ටියෙහි ඇත්තවුන්
රජු සිංහාසනයේ වැඩ හුන් කල ඩඝෝෂ්ටියෙහි ඇත්තන්ට වෙන් කර ඇත්තේ ඉහත අංක 8 ලෙසින් දක්වා ඇති කුළුන අසල ස්ථානයයි. එනම් වානිජ්‍ය ප්‍රජාව නියෝජනය කරන පුද්ගලයන් (Members of the mercantile cooperation) රාජ සභාව රැස්වූ විට එම ස්ථානයේ සිට ඇත.

නටබුන්ව පැවති මෙම රාජ සභා මණ්ඩපය අසලම තිබි හමුවූ විශාල සෙල්මුවා සිංහ රුවක් එහි පහතින් දෙපැත්තේම කොටා ඇති සෙල්ලිපි මගින් පැහැදිලිව දැක්වෙන ආකාරයට නිශ්ශංකමල්ල රජුගේ සිංහාසනය හෝ එයට ආධාරකයක් වූ බව පෙනේ.ඇතැම් විට සිංහාසනය දෙපසින් මෙවන් තවත් සිංහ රුවක් තිබුණා විය හැක. දෙවෙනි සිංහ රුව කොළඹ කෞතුකාගාරයේ ඇති ලෙසට මහාචාර්ය ආරිය ලගමුව මහතා සිය කෘතියේ පවසන මුත් එම ප්‍රකාශයේ විශ්වාසනීයත්වය තහවුරු කිරිමට වෙනත් කිසිදු මූලාශ්‍රයක් හමු නොවේ.  සෙල්ලිපියේ සඳහන් වනුයේ එය 'ශ්‍රී විරිදුරාජ වීරවෙශ්‍යා භූජග නිස්සංක ලංකේශ්වර කාලිඟ චක්‍රවර්ති ස්වාමින් වහන්සේ වැඩැ හුන් වීර සිංහාසනය 'බවයි. එම සිංහ රුව වර්ෂ 1876 දී කොළඹ කෞතුකාගාරය වෙත රැගෙන ආ මුත් නැවතත් වර්ෂ 1965 සැප්තැම්බර් මස 2 වෙනි දින එය මුලින් පිහිටි නිශ්ශංක රාජ සභා මණ්ඩපය අසලට ගෙනගොස් පසුව ඉහත රූපයේ C ලෙසින් සලකුණු කර ඇති ස්ථානයේ පිහිටුවා ඇත.
නිශ්ශංකමල්ල රජුගේ සිංහාසනය තිබූ නිවැරදි ස්ථානය එයද යන්න පිළිබඳ විවිධ මත පවතී.  H.C.P. බෙල් සහ රිස් ඩේවිඩ්ස්  මහතුන්ගේ මතය වනුයේ එය ඉහත රූපයේ B ලෙස ලකුණු කර ඇති ස්ථානයේ තිබුනා විය හැකි බවයි. මෙම රාජ සභා මණ්ඩපය පරාක්‍රමබාහු රජුගේ ලෙස වැරදියට හඳුනාගන්නා මුත් රිස් ඩේවිඩ්ස්  මහතා වර්ෂ 1873 Indian Antiquary Vol 2 සඟරාවට ඉදිරිපත් කරන ලිපියකින් පවසන්නේ ඉහත A සහ B ලෙසින් සලකුණු කර ඇති ස්ථාන වලින් එවකට පිළිගත් ස්ථානය වූ A හි නොව B ස්ථානයේ සිංහාසනය තිබුනා විය හැකි බවයි. ඔහු පවසන පරිදි B ස්ථානයේ රජු අසුන් ගත් විට රාජ සභාවේ ඉහල නිල දරන්නන් ඔහු ඉදිරියෙනුත් යුවරජ සහ ඈපාවරුන් ඔහුගේ දකුණු (?) පසිනුත් පහල නිලදරන්නන් ඔහුගේ පිටුපසිනුත් සිටින බවයි. එසේ නොමැතිව සිංහාසනය ඉහත A ලෙස දැක්වෙන ස්ථානයේ තැබුවහොත් වානිජ ප්‍රජාවට ප්‍රධාන තැනක් ලැබෙන බැවින් එය විය නොහැකි බවයි. එම අදහසම අනුමත කරන රාජා ද සිල්වා මහතාද එය වර්තමානයේ පිහිටුවා ඇති ස්ථානය නිවැරදි නොවන බවට තර්ක කරයි. කෙසේ නමුත් වර්තමාන C ස්ථානයද ඉහත රිස් ඩේවිඩ්ස්  සහ රාජා ද සිල්වා මහතුන් ඉදිරිපත් කරන ආකාරයටම රාජ සභා සාමාජිකයන් රජු ඉදිරියේ ස්ථාන ගතවන ස්ථානයක් ලෙසින් හඳුනාගත හැක. එබැවින් සිංහාසනය එම ස්ථානයේ හෝ එයට මදක් ඉදිරියෙන් ඔවුන් පවසන පරිදි B ස්ථානයේ තිබුණා විය හැක.
ගල් කණු මත කොටා ඇති සෙල්ලිපියක් සහ වීරබාහු යුවරජුගේ ආසනය
මූලාශ්‍ර

  • Distortion in history. The dossier on Nissamka Malla, Prince in India, King of Lanka (1187-1196), Raja de Silva, 2016
  • Polonnaruva, Issued by the Archaeological Commissioner, 1970
  • Archaeological Survey of Ceylon, Inscriptions of Ceylon Vol 6 , G.S. Ranawella, 2007
  • Polonnaruwa, Medieval Capital of Sri Lanka, Anuradha Seneviratna, 1998
  • අසිරිමත් පොළොන්නරුව, ආචාර්ය සෙනරත් දිසානායක, 2009
  • Heritage of Rajarata, Chandra Wickramagamage, 2004
  • මධ්‍යකාලීන රාජධානිය, පොළොන්නරුව, ඓතිහාසික, පුරාවිද්‍යාත්මක හා වාස්තු විද්‍යාත්මක අධ්‍යයනයකි, මහාචාර්ය ආරිය ලගමුව, 1999
  • Nicholas C.W. 1963, Historical Topography of Ancient and Medieval Ceylon, Journal of the Ceylon Branch of the Royal Asiatic Society, New Series, Volume VI, Special Number.
  • පැරණි ස්මාරක නාමාවලිය, සංස්කෘතික අමාත්‍යාංශය 1972
  • Archaeological Department Centenary (1890-1990) Commemorative series, Volume one, History of the Department of Archaelogy, Editor in Chief Pandit Dr. Nandadeva Wijesekera, 1990
  • Inscription at the audience hall of Parakramabahu, Pulastipura, Rhys Davids, Ceylon. Indian Antiquary Vol 2, 1873