Showing posts with label J.P. Lewis. Show all posts
Showing posts with label J.P. Lewis. Show all posts

Sunday, March 26, 2017

පුරන් අප්පු සිහිවීමට (?) සුද්දෙක් කල ස්මාරකය

ඡායාරූපය 1 - ස්මාරකයේ වර්තමාන තත්වය
සමාජ ජාලා (Social media) වලින් මතුවී ඇති "පේස්බුක් දේශප්‍රේමින්" අතර වසරක පමණ කාලයක සිට සැරිසරණ පෝස්ට් එකක් දුටු කල මෙය ලිවීමට සිත්විය. ඊට පෙර කොණ්ඩා රැවුල් වවාගෙන "මහා කළු සිංහලයන්" වීමට දගලන මේ රැල්ලට ගසන් යන "පේස්බුක් දේශප්‍රේමින්" ගැනද යමක් කිව යුතුය. වර්තමාන පාලකයන් විසින් රටට දැයට සහ සමයට කරන ව්‍යසන දෙස නෑසු කන්ව සිටින මේ "පේස්බුක් දේශප්‍රේමින්" ජාතියේ සැබෑ සතුරන් පසක සිටියදී ව්‍යාජ බිල්ලන් මවාගෙන ඒවාට පහරදීමට නම් අතිශයෙන්ම නිර්භීතය. අතරින් පතර රටට දැයට හිතැති සැබෑ දේශප්‍රේමින්ද නොදැනුවත් කමින් මෙවැනි "සිංහලේ", "අපි යක්කු බොලව්" වැනි "පේස්බුක් දේශප්‍රේමින්ගේ" ව්‍යාපාර වලට අසුවන අවස්ථා නැත්තේද නොවේ. ඇතැම් විට දේශද්‍රෝහී පාලකයන්ද සැබෑ දේශප්‍රේමින් නොමග යැවීමට මේ ව්‍යාපාර පසු පස සිටිමින් ඒවා මෙහයවනවා විය හැක (ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ පාලන කාලයේ  බැටලු හම් පොරවාගත් "හෙල කරුමයේ" ජඩයන් යුගයේ ජාතික නායකයාගේ එම රජය පැරදවීමට හලාල් සහ මුස්ලිම් විරෝධය යොදාගත් අකාරයෙන්. )
කෙසේ නමුත් අපගේ ප්‍රස්තුතයට අදාල පෝස්ටුවේ (ඉහත උපුටා දක්වා ඇත) දැක්වෙනුයේ මාර්ගයක කුණු කානුවක් අසල පිහිටුවා තිබෙන ශෛලමය ස්මාරකයක ඡායාරූපයකි. එහි පැවසෙන්නේ එම ස්මාරකය වීර පුරන් අප්පු ඇතුලු විරුවන් මාතලේ කැරල්ල ආරම්භ කල ස්ථානය සිහිවීමට "සුද්දෙකු" විසින් ඉදිකරපු ස්මාරකයක් බවත්, එයට වෙන රටවල මිනිසුන් මෙන් අප රටේ මිනිසුන් ගරු නොකර කුණු කාණුවක් අසල දමා ඇති බවත්ය. 
ඡායාරූපය 2 - 2008 දි ගත් ඡායාරූපය
මෙහි අංක 2 ඡායාරූපයෙන් දැක්වෙනුවේ මහනුවර-යාපනය A 9 මාර්ගයේ පසෙක මාතලේ නගරයට නුදුරින් තිබූ එම ස්මාරකයේ 2008 වර්ෂයේදි මා ගත් ඡායාරූපයකි. ඇත්ත වශයෙන්ම එම කාලයේ එය කිසිවෙකුගේ සැලකිල්ලට භාජනය නොවී මාර්ගයේ පසකින් කැලෑවට යටවී තිබුණි. මහා බැංකුවක් කොල්ලකාගෙන, පරම්පරා ගනනාවකට හම්බ කරගෙන, බොරුවෙන් සහ ප්‍රෝඩාවෙන් රටේ බහුතරයක් වන බත් කන ගව රැල අන්දගෙන, යහතින් වැජඹී නොසිට දශක තුනක ත්‍රස්තවාදී කැරැල්ලක් වසර 3 කින් නිම කරමින්, රට සංවර්ධනය කරමින් සිටි "හොරෙකුගේ" පාලන කාලය වූ එකල එම මාර්ගය පුලුල් කර කාපට් කිරීමට සැලසුම් කෙරෙමින් පැවතුණි. අපගේ අනුමානය වූවේද එම ස්මාරකය සදහටම අතුරුදහන් විය හැකි බව මුත් පසුගිය වසරේ වෙනත් කටයුත්තක් සඳහා ඒ අසලින් යාමේදි නෙත ගැටුනේ පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව විසින් වර්ෂ 2015 වනවිට විශේෂ පීඨිකාවක් මත ආරක්ෂාකාරි ලෙස නැවත පිහිටුවා තිබූ පෙර කී ස්මාරකයයි (ඡායාරූපය 1). 
පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවෙන් දක්වා ඇති විස්තරයේද ස්මාරකය පිළිබඳව නොමග යනව සුළු හැඳින්වීමක් කර ඇති අයුරු
ඒ අනුව "හොරාගේ කාලයේ" අවශ්‍ය නිසි ගෞරවය එයට දී ඇති බැවින් ඉහත පෝස්ටුවේ අදාලත්වයක් මේ වන විට නොමැත. එහෙත් ප්‍රශ්නය වනුයේ සැබැවින්ම එය පෙර කී පරිදි පුරන් අප්පුගේ කැරැල්ල සිහිවීමට "සුද්දෙකු" විසින් කල ස්මාරකයක්ද යන්නය. ඉංග්‍රීසි අකුරින් කොටා ඇති එම ස්මාරකයේ ඇති අකුරු ඉංග්‍රීසි භාෂාව පිලිබඳව සුළු හෝ අවබෝධයක් ඇති ඕනෑම කෙනෙකුට  කියවා තේරුම් ගත හැක. මේ එම වදන් වැලයි. උපුටාගැනීම J. P. ලුවිස් විසින් වර්ෂ 1913 දී පළ කල List of Inscriptions on Tombstones And Monuments in Ceylon නම් ග්‍රන්ථයෙනි.
WARIYAPOLA
REBELS
DISPERSED HERE
BY TROOPS UNDER
CAPTAIN LILLIE, C.R.R.
29 July, 1848
ඒ අනුව කවුරු නමුත් පෙර කී ඒ "සුද්දා" මෙය පිහිටුවා ඇත්තේ කැරලි ගැසූ පුරන් අප්පු සිහිවීමට නොව එම ජාතික විමුක්ති අරගලයේ යෙදුන සිංහල දේශප්‍රේමි කැරලිකරුවන් 1848 ජුලි 29 වන දින සාර්ථක ලෙස විසුරුවාහැරීමට සමත් වූ බ්‍රිතාන්‍ය අධිරාජ්‍යවාදීන්ගේ හමුදාවේ කැප්ටන් ලිලීගේ වික්‍රමය සිහිවීමටය. එම ස්මාරකය වර්ෂ 1909 දී පිහිටවූ "සුද්දාගේ" නමද ලුවිස් සඳහන් කරයි. ඔහු මේ අසල වූ වාරියපොල වතුයායේ වැඩ බලන වතු අධිකාරිවරයා (Acting Superintendent) වූ තෝමස් මැක්ලක්ලන්ය (Thomas Maclachlan)
මේ එම සටන පිළිබඳව J.P. ලුවිස් සඳහන් කරන තොරතුරුය. ජුලි 28 දා රාත්‍රියේ 15 වන රෙජිමේන්තුවේ (15th Regiment) සහ සිලෝන් රයිපල් (Ceylon Rifles) බලකායේ මහනුවර සිට නික්මුන සෙබලුන්ට වාරියපොලදී කැරලිකරුවන් මුන ගැසුනි. කරත්ත පාරට නොදුරින් කෝපි වත්තක සිටිමින් කැරලි කරුවන් සහ ඔවුන්ගේ රජු ප්‍රතිප්‍රහාර එල්ල කරන ලදී. ඒ පිළිබඳව The History of the Rebellion in Ceylon නම් ග්‍රන්ථයේ කැප්ටන් හෙන්ඩර්සන් (Captain Henderson) ඉදිරිපත් කරන විස්තරයේ සංක්ෂිත සිංහල අනුවාදය පහතින් ඉදිරිපත් කරමු. කෙසේ නමුත් එයට පෙර පැවසිය යුත්තේ කවරෙකු සිහිවීමට කවුරුන් විසින් පිහිටුවා ඇති මුත්, මේ ස්මාරකය මේ වන විට පුරාවිද්‍යාත්මක වශයෙන් වැදගත් වටිනා පුරාවස්තුවක් වන බවත්, එය විනාශ නොවී නිසි ආරක්ෂාව ලබා දෙමින් රැක ගැනීම සියලු ශ්‍රි ලාංකිකයන්ගේ වගකීමක් වන බවත්ය.

"...ඉහල මාලයට පිටතින් වූ පඩි පේලියක් මගින් ඇතුලු විය හැකි ගබඩාවක් අසලට පැමිණියෙමු. කැරලිකරුවන් එම ගොඩනැගිල්ල සහ අවට කැලෑව තුල සිටින බව වැටහිණි. ...වහාම වෙඩි හුවමාරුව දෙපසින්ම ඇරඹුනි. කැරලිකරුවන් අපට තැබූ උණ්ඩ  අප අසලින්ම ගොස් අපගේ හිස් වලට උඩින් තිබූ ගස් වලට වැදීනි....මා විගසින් පඩිපෙල දිගේ උඩට දිව ගියෙමි. ඒ සමගම මැලේ සොල්දාදුවන් කිහිප දෙනෙකුම දොර කඩා කාමරයට ඇතුලුවිනි. වෙඩි තැබීම් සමගම බයිනෙත්තු මගින් කාමරයේ මැද වූ පල්ලැක්කියට (Palanquin) වේගයෙන් අනින ලදි. අසලට ගිය විට මා හට දැක ගැනීමට හැකි වූවේ ඒ තුල සැඟවුන මිනිසා මිය ගොස් ඇති බවය. මා සිතන ලෙසට මැලේවරුන් සිතුවේ ඔවුන් රාජ ප්‍රතිරූපකයා මරා දැමූ බවය. නමුත් ඔවුන්ට හමුවි තිබුනේ ඔහුගේ පල්ලැක්කිය පමණි. එය ඔවුන් විසින් වහාම කෑලි සියයකට පමණ කඩා දැමුවේය. අප කැරලිකරුවන් විසින් අල්වාගෙන සිටි දරුණු ලෙස සලකා තිබූ එක් යුරෝපියානුවෙකු (ඔහු ඒ වන විට වතු ඕවර්සියර් වරයෙකු ලෙස සේවය කල අස් වූ සොල්දාදුවෙක්ය ) සොයාගෙන ඔහුව නිදහස් කලෙමු. රාජ ප්‍රතිරූපකයා වාරියපොල ගබඩාවේ සිට පැනගොස් තිබූ අතර පසුව ඔහුව සැතපුම් කිහිපයක් එපිටින් වූ  ඇල්කඩුවේදී අල්වාගෙන මහනුවරදි මරණ දඬුවම නියම කරණ ලදී. නමුත් එය පසුව කසපහර 100 කට සහ ජිවිතාන්තය දක්වා පිටුවහල් කිරීමකට වෙනස් විය...."

* මෙහි සඳහන් වාරියපොල යනු අදද වාරියපොල වත්ත ලෙස හැඳින්වෙන මාතලේ නගරයට දකුණින් එවකට තිබූ කෝපි වතු යායකි. එය කුරුණෑගල දිස්ත්‍රික්කයේ ඇති වාරියපොල පෙදෙස නොවේ.

*ඇල්කඩුවේදි ගුහාවක් තුල සැගවී සිටිද්දි මැලේ සොල්දාදුවන් පිරිසක් විසින් පසුව අල්වාගත් රාජ ප්‍රතිරූපකයා වනුයේ ගොන්ගල්ලේගොඩ බණ්ඩාය.

මූලාශ්‍ර
  • Letters on Ceylon 1846-50, The Administration of viscount Torrington And The 'Rebellion' of 1848, Edited by K.M. De Silva, 1965
  • List of Inscriptions on Tombstones And Monuments in Ceylon of Historical or Local Interest with an obituary of persons uncommemorated by, J. Penry Lewis, C.M.G., 1913.



Monday, October 12, 2015

වෙඩි අරසන් කෝට්ටෙයි - ඩෙල්ෆ්ට් දූපතෙන් මතුවන ඉපැරණි බොදු උරුමය


ඩෙල්ෆ්ට් හෙවත් නෙදුන්තිව් යනුවෙන් හැදින්වෙන දූපතේ වයඹ දිශාවේ වෙරලාසන්නයේ පිහිටි නටබුන් වූ බලකොටුවක් පිළිබද පලමුවරට සදහන් වෙන්නේ Penn යන නමින් කිසියම් පුද්ගලයකු Colombo Journal පුවත්පතට 1832 දී ලියූ ලිපියකය. Fire King's Fort යනුවෙන් එය හඳුන්වන ඔහු යාර 62 ක පරිධියෙන් සහ අඩි 20 ක පමණ උසින් යුත් එහි නැගෙනහිරින් සහ බටහිරින් පිහිටා තිබූ පඩි පේලි දෙකක නටබුන් එවකට දැකිය හැකිව තිබූ බවද පවසයි. එහි බාහිරින් හුණු පිරියම් කර තිබූ බවද සදහන් කරන හෙතෙම මෙය ඔහු දැක ඇති අනෙකුත් බලකොටු වලට කිසිදු සමාන කමක් නොමැති මුත් උඩරට ප්‍රදේශවල ඇති දාගැබ් වැනි (Dagoba's in the Kandyan territory) බව පවසයි. මෙම විශාල ගොඩැල්ලට අමතරව එයට ආසන්නයේ පිහිටි වෙනත් කුඩා දාගැබ් (Temple) හතරක වෘත්තාකාර පාදම් ගැනද ඔහු සදහන් කරයි. ඒවාද හුනු පිරියම් කර තිබූ ඝාණ්ඨාකාර (Bell-shaped) හැඩැති බව ඔහු පවසන මුත් පාදම් වලින් පමණක් එහි ඝාණ්ඨාකාර හැඩය පැවසුවේ කෙසේද යන්න පැහැදිලි නැත.  

ප්‍රධාන චෛත්‍ය ගොඩැල්ල
වර්ෂ 1909 දී රාජකීය ආසියාතික සංගමයේ සඟරාවට ඩෙල්ප්ට් දිවයින සම්බන්ධයෙන් ලිපියක් සපයන J. P. ලුවිස් (J.P. Lewis), Penn යන නමින් ලියූ ඉහත ලේඛකයාගේ ලිපියේ කොටස්ද උපුටා දක්වමින් පවසන්නේ ඔහු Fire King's Fort යනුවෙන් මෙම කොටුව හඳුවන මුත් ඔහු එයින් අදහස් කරන්නට ඇත්තේ වෙඩි අරසන් එනම් Hunter King වියයුතු බවය. 1903 ඔක්තෝබර් මාසයේදී ඔහු එහි නටබුන් පිරික්සා බැලූ බවත්, දූපත්වාසින් මෙය වෙඩි අරසන් නම් වූ මුක්කුවා රජුගේ බලකොටුවක් (Vedi Arasan's Fort) බව විශ්වාස කරන බවත්, වර්තමානයේ කොරල් ගල් ගොඩක් මුත් කලකට පෙර එය සතරැස් කොටුවක්ව තිබෙන්නට ඇති බවත් පවසයි. පඩි පේලි ඇතුලු මුලින් කී ලේඛකයා සදහන් කරන කිසිවක් දැන් නොමැති බවත්, එම විස්තරයට අනුව මෙය කිසිදු ලෙසකින් පෘතිගීසි කොටුවක් විය නොහැකි බවත්, කොටුව තුල පන්සල් තිබීමෙන් පෙනී යන්නේ එය ස්වදේශිකන්ගේ බලකොටුවක් බවත් ලුවිස් වැඩිදුරටත් සදහන් කරයි.

කුඩා චෛත්‍යක නටබුන්
ඉහල - මැටි පහනක්?, පහල - පාදම් ගලක්


















ඉන්පසු 1949 ජුලි 15 වෙනි දින D.T. දේවේන්ද්‍ර මහතා පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ නිලධාරියෙකු වශයෙන් මෙම නටබුන් වල නිරීක්ෂණ චාරිකාවක යෙදීමෙන් අනතුරුව රාජකීය ආසියාතික සංගමයේ 1969 කලාපයට ලිපියක් සපයමින් පවසන්නේ වෙඩි අරසන් කෝට්ටෙයි (Vedi Arasan Kottai) එවකට අඩි 8ක් උස ගොඩැල්ලක් බවත් එය ආසන්නයේ වෘත්තාකාර වෙනත් ගොඩැල්ලක්ද දුටු  බවත් ලූනු වගාවක් එය ආසන්නයට පැතිරෙමින් තිබූ බැවින් නුදුරේදිම රජයට අයත් මෙම ස්ථානය එමගින් ආක්‍රමණය විය හැකි බවත්ය. එම ගොඩැලි වල තිබූ කැටයම් කල කොරල් ගල්, මැටි උළු, ගඩොල්, පහන්, සහ සියල්ලටම වඩා වැදගත් ලෙස සැලකිය හැකි කොත් කැරැල්ලක කොටසක් මගින් මෙය අනිවාර්යෙන්ම දාගැබක නටබුන් විය යුතු බව එතුමා පවසයි. පසුව එවකට පුරාවිද්‍යා කොමසාරිස් වූ සෙනරත් පරණවිතාන මහතාද ඔහුගේ මෙම හඳුනාගැනීම තහවුරු කරයි.

මේ සමග පලවෙන්නේ එම ස්ථානයේදි අප විසින් වර්ෂ 2010 දි ගත් ඡායාරූපය. උතුරු නැගෙනහිර ඉපැරණි බොදු උරුමය මතු කරන තවමත් විද්‍යාමාන මෙවන් සාධක වල වර්තමාන ඉරනම කුමක්ද?


මූලාශ්‍ර

  • Notes & Queries - A Ruined Dagaba in Delft,  Devendra D.T., Journal of the Ceylon Branch of the Royal Asiatic Society, New Series, Volume XIII, 1969.
  • Notes on Delft, Lewis J.P., Journal of the Ceylon Branch of the Royal Asiatic Society, Volume XXI, 62, 1909