Showing posts with label Deduru Oya. Show all posts
Showing posts with label Deduru Oya. Show all posts

Tuesday, September 12, 2023

කොස්පොතු ඔයේ අමුණු බැඳ කුඹුරු අස්වද්දා ලංකාතිලක විහාරයට පිදූ, නම නොදන්නා රජ්ජුරු සාමී

පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව විසින් සහ එම විෂය පිළිබඳව උනන්දුවක් දක්වන වෙනත් ගවේෂකයන් විසින් මේ වන විට ගල් ලෙන් වල, ගල් තලා මත මෙන්ම ශෛලමය ටැම් සහ පුවරු මත කොටා ඇති ඓතිහාසික යුගයට අයත් සෙල්ලිපි අවම වශයෙන් 5000 කට අධික ප්‍රමාණයක් මෙරටින් සොයාගෙන ඇත. එසේම දිවයින පුරා විශේෂයෙන්ම පහත රට වියලි කලාපයට අයත් ප්‍රදේශ වල වනාන්තර වල සැඟවී තවමත් සොයාගෙන නොමැති සෙල්ලිපි සිය ගානක් තව දුරටත් තිබෙනවා විය යුතුය. මක්නිසාද යත් මෙතෙක් වාර්තා නොවූ එවන් අලුත් සෙල්ලිපි පිළිබඳව දිවයිනේ විවිධ ප්‍රදේශ වලින් වරින් වර වාර්තා වන බැවිනි. එහෙත් මෙතෙක් කියවා ඇති මෙවන් කිසිදු සෙල්ලිපියක එම ස්ථානයේ කිසියම් වටිනා දේ සඟවා ඇත වැනි දෙයක් සඳහන්ව නොමැති බව එම විෂය පිළිබඳව අවම හැදෑරිමක් හෝ ඇති ඕනෑම කෙනෙකුට රහසක් නොවේ. ඒ වෙනුවට ඒ බොහෝමයක් ලිපි වල ඇත්තේ කිසියම් බෞද්ධ විහාරස්ථානයකට හෝ සංඝයාට විවිධ යුග වලදී සිදු කල ප්‍රදානයන් පිළිබඳව විස්තරය. එහෙත් මෙරට උගත්/නූගත් නූගතුන් (එක් හෝ වෙනත් ක්ෂේත්‍රයක උගතුන් ලෙස මෙරට සිටින බොහෝමයක් දෙනා එම ක්ෂේත්‍රයෙන් පිට වෙනත් දේ පිළිබඳව නූගතුන්ය. ඔවුන්ගේ ක්ෂේත්‍රය පිළිබඳව වුවද ඔවුන් ඇතැම්  විට යාවත්කාලීන නොවන අතර විභාග සමත්වීමට කට පාඩම් කල දැනුමෙන් කොටසක් මත පමණක් සදාකාලිකව ජීවත්වේ. එබැවින් ඔවුන් උගත් නූගතුන්ය.) සිතන්නේ එවන් අකුරු කොටා ඇති හෝ අකුරු සහිතව හෝ රහිතව වෙනත් සංකේත කොටා ඇති තැන් වල පෙර සිටි රජවරුන් නිධන් සඟවා ඇති බවය. එම මිත්‍යා විශ්වාසය නිසාම පසුගිය සියවස් වල වාර්තා කර තිබූ ඇතැම් සෙල්ලිපි මේ වන විට සම්පූර්ණයෙන්ම හෝ අර්ධ වශයෙන් විනාශ කර දමා ඇත. තව දුරටත් දිනපතා සිදුවෙමින් පවතී. එම විනාශය සිදු කිරීමෙන් ඔවුන් ලැබූ දෙයක් නොවන්නේ වෙනත් ස්ථාන වල කෙසේ වෙතත් මෙවැනි සෙල්ලිපි ඇති ස්ථාන වල ගල් යට නම් කිසිම නිධානයක් තිබීමට නොහැකි බැවිනි. 
කොස්පොතු ඔය නිම්නයේ කුඹුරු යායවල්
මෙම ලිපියේ මාතෘකාවට අදාල දැදුරු ඔයේ ශාඛාවක් වන එහි ඉහල ජලධාරා ප්‍රදේශයේ පිහිටි කොස්පොතු ඔය නිම්නයේ පිහිටි ගිරි ලිපියද කිසියම් කාලයක එවන් ඉරණමකට ලක්ව එහි මුල් පේලි කිහිපයම, විශේෂයෙන්ම ලිපිය පිහිටවූ රජුගේ නම සදහන් කොටසද සදහටම අහිමි වූ, අද පවා තර්ජනයකට ලක්ව ඇති සෙල්ලිපියකි. මෑතකදි එහි ගොස් සෙල්ලිපියේ ඡායාරූපයක් ගැනීමට මද වෙලාවක් අවශ්‍ය ආලෝක තත්වය ලැබෙන තුරු එහි රැඳි සිටි මා සමග කතා බහ කල ගැමියන් දෙදෙනෙකුට අවශ්‍ය වූවේ මා එය සම්පූර්ණයෙන් කියවා එහි සඳහන් දේ දැනගත්තේද යන්න දැනගැනීමටය. මා එය කියවීමට තැත් නොකල බවත්, එම අකුරු කියවීමට හැකි විද්වතුන්  එය කියවා ප්‍රකාශයට පත් කර ඇති බවත්, එහි සඳහන්ව ඇත්තේ කුමක්ද යන්නත්, මා හැකි තරම් සරලව ඔවුනට පහදා දුන් මුත් ඔවුන් එය විශ්වාස කල බවක් නොපෙණුනි (තකහනියක්ම කොළඹ සිට ඡායාරූපයක් ගැනීමට පමණක් එහි ඒමට තරම් පිස්සු පොරවල් මේ වගේ කාලයක සිටිය හැකි බව ඔවුන්ට විශ්වාස කිරීමට නොහැකි වීම සාධාරනය.) ඔවුන් සමග කතා බහ කිරීමේදී ඔවුන් හැඟවූවේ මා එහි ඇති යම් දෙයක් ගැනීමට වෙහෙසෙන්නේ නම් එයට ඔවුන්ගේ අකමැත්තක් නොමැති බවය. එසේම අවශ්‍ය සහයෝගයක් දිය හැකි බවය. තවද මේ සෙල්ලිපියට පහලින් පිහිටි අලවල අමුණ අසල ඇති පැරණි අමුණේ ලී කණු සිටවූ ගල මත වූ කුහර මෙන්ම ඔයේ ගල් තලාවේ ස්වාභාවිකව ඇතිවූ ගල් කුහර පිළිබඳවද ඔවුන්ට දැනගැනීමට අවශ්‍ය විය. එවන් එක් ස්වභාවික ගල් කුහරයක වූ කොළ රොඩු සහ වැලි පස් ආදිය කිසියම් අයෙකු හෝ කිහිප දෙනෙකු ඉතෑම මෑත දිනයකදී හාරා ඉවත් කර ඇති බවත් නිරීක්ෂණය විය. එම ස්වභාවික ගල් කුහර ඇති වන ආකාරය ඔවුන්ට පැහැදිලි කර දුන් විට නම් එය පිළිගත් බව හැඟී ගියේ එය හෑරූ අය හට කිසිවක් නොලැබී ගිය බව ඔවුන් දැනසිටින්නට ඇති බැවින් විය යුතුය. මෙහි පිහිටි නූතන යුගයට අයත් අමුණ ඉදි කල කාලය පිළිබඳව මා හට තොරතුරු සොයාගැනීමට නොහැකි වූ මුත් එය බොහෝවිට ඉංග්‍රීසි පාලන යුගයේ විය යුතු බව පෙනේ. පැරණි අමුණේ වූ ගල් කුහර ඔයේ එක් පසක පමණක් ඇත්තේ ඔය එම ස්ථානයෙන් පමණක් හරස් කර ජලය හරවා යැවූ බැවින්ද නොමැති නම් එහි අනික් පස වූ ගල් තලාවේ ගල් නව අමුණ සෑදීමට කැඩීම නිසා එම කුහරද ඒ සමග විනාශ වූ නිසාද යන්න පැහැදිලි නැත. කෙසේ නමුත් එම කාලයෙන් පසුවද දැනට දැකගැනීමට ඉතිරිව ඇති ගල් කුහර ඇති ස්ථාන වල පතුරු මිනිස් ක්‍රියාකාරකම් මගින් ඉවත් කර ඇති බව පෙනී යයි. නැවතත් අරමුණ ගල යට තිබෙනවායැයි ඔවුන් සිතන වස්තුව සේවීම විනා අන් යමන් විය නොහැක. 

අලවල අමුණේ සහ සෙල්ලිපියේ වීඩියෝ දර්ශන >>


 කුරුණෑගල සිට සැතපුම් 6 ක පමණ දුරින් පිහිටි කොස්පොතු ඔයේ අලවල අමුණ පිහිටි ස්ථානයේ [මියුලර් එම ස්ථානය ගැන කරන සඳහන අනුව පෙනී යන්නේ එම යුගය වන විටත් එහි පැරණි හෝ නව අමුණ තිබී ඇති බවය.] ගඟට ආසන්නව පිහිටි ගල් තලාවක විශාල ප්‍රමාණයේ  නූතන අකුරු වලින් කොටා ඇති සෙල්ලිපියක් ගැන මෙරට සෙල්ලිපි අධ්‍යයනයේ පුරෝගාමියෙකු වන එඩ්වඩ් මියුලර් 1883 වර්ෂයේ පළවූ සිය ග්‍රන්ථයේ කෙටි සටහනක් තබා ඇත. සෙල්ලිපියේ පෙල ඉදිරිපත් නොකරන මුත් එහි සඳහන් වන්නේ ඒ ආසන්නයේ පිහිටි මැදගම විහාරයට දඹදෙණියේ පරාක්‍රමබාහු (එනම් දෙවන පරාක්‍රමබාහු [පො. ව. 1236 - 1270]) විසින් සිදුකල ප්‍රදානයක් පිළිබඳව බව මියුලර් එහි සඳහන් කරයි.
අලවල සෙල්ලිපිය

මියුලර්ට පසුව වර්ෂ 1931 දී මෙම සෙල්ලිපියේ පිටපතක් ගැනීම උදෙසා මෙම ස්ථානයට යන සෙනරත් පරණවිතාන මහතා හට ප්‍රදේශවාසීන් පවසා ඇත්තේද මියුලර් සිය ග්‍රන්ථයේ සඳහන් කල මැදගම විහාරය සහ දඹදෙනියේ විසූ පරාක්‍රමබාහු පිළිබඳව වූ කතාවම වීම නිසා (අදට වඩා එදා සිටි ගැමියන් මෙහි සඳහන් වන්නේ කිසියම් හෝ විහාරයකට රජ කෙනෙකු විසින් පිරිනැමූ ප්‍රදානයක් බව අවබෝධ කරගැනීමට තරම් බුද්ධිමත් වූ බව පෙනේ.) පරණවිතාන මහතා සැක කරන්නේ මියුලර් සඳහන් කරන විස්තරයද ඔහු එම ලිපිය කියවා පවසන්නකට වඩා ප්‍රදේශවාසීන්ගෙන් ලද තොරතුරු ඒ ආකාරයෙන්ම ඉදිරිපත් කිරීමක් විය යුතු බවය. සෙනරත් පරණවිතාන මහතා එහි යන සමය වන විටත් ලිපියේ මුල් පේලි දහයේ කොටස් මෙහි නිධන් සෙවූ අමනයන් දරුණු ලෙස විනාශ කර තිබී ඇති අතර, ලිපිය පිහිටවූ රජුගේ නම සඳහන් වන සිව්වන පේලියේ අකුරු ඔවුන් විසින් සදහටම නැති කර දමා ඇත (ගිරි ලිපියේ මුල් කොටස විනාශ කර දමා ඇති ආකාරය මෙම ලිපියේ පළමු ඡායාරූපයෙන් දැකගත හැක) එහෙත් එතුමා වැඩිදුරටත් සඳහන් කරන්නේ මියුලර් මෙහි ආ කාලයේදී ඇතැම්විට එම විනාශය සිදු වී නොතිබෙන්නට ඇති බවත්, පරාක්‍රමබාහු යන වචන එමනිසා ලිපියේ ඇති බව ඔහු බොහෝවිට දකින්නට ඇති බවත්, එනිසාම ඔහුට මෙන්ම මියුලර්ටද ප්‍රදේශවාසීන් පැවසූ දේ මියුලර් විශ්වාස කරන්නට ඇති බවත්ය. 

අලවල සෙල්ලිපිය

ලංකා විශ්ව විද්‍යාලය විසින් පළකල University of Ceylon Review සඟරාවට 1960 වර්ෂයේදී  Lankatilaka Inscription යන මැයෙන් දීර්ඝ ලිපියක් ඉදිරිපත් කරමින් මෙම සෙල්ලිපියේ පෙළ සහ එහි ඉංග්‍රීසි පරිවර්තනයක් මුල් වරට ලංකාතිලක විහාරය පිහිටි පරිශ්‍රයේ පිහිටි වෙනත් සිංහල සෙල්ලිපි කිහිපයක් සහ දෙමළ සෙල්ලිපියක්ද එම විහාරය සතු තඹ සන්නසක්ද සමගින් පල කරන පරණවිතාන මහතා එම අනෙකුත් සෙල්ලිපි වල සඳහන් කරුණු මෙම සෙල්ලිපියේ කරුණු සමග සසදමින් පවසන්නේ මෙම සෙල්ලිපිය අනිවාර්යෙන් සිව්වන බුවනෙකබාහු [පො. ව. 1341 - 1351] හෝ පස්වන පරාක්‍රමබාහු [පො. ව. 1344 - 1359] විසින් පිහිටවූවක් බවය. ඒ අතරින්ද ඒ සඳහා වැඩි ඉඩක් ඇත්තේ පස්වන පරාක්‍රමබාහු වීමට බව ඔහු පවසයි (ඒ මන්දැයි මේ ලිපියේ ඉදිරියේදී කරුණු ඉදිරිපත් කර ඇත.) 

නූතන යුගයේදී ඉදි කල අමුණට පහලින් ගල් තලාවේ ඇති පැරණි අමුණක සාධක. 

මෙම සෙල්ලිපියේ සඳහන් කරුණු සහ එම කරුණු ඉදිරිපත් කර ඇති භාෂා විලාශය සහ වචන පවා අඩු වැඩි වශයෙන් ලංකාතිලක විහාර පරිශ්‍රයේ පිහිටි එම අනෙකුත් සෙල්ලිපි සහ තඹ සන්නස  සමග සමාන වේ. එහෙත් එම අනෙකුත් සෙල්ලිපි වල සඳහන් වන ආකාරයට පරණ බදලගොඩකසඹිලියාගොඩනාරංගොඩඅලුත් බදලගොඩ යන ප්‍රදේශ වලින් ලංකාතිලක විහාරයට පිරිනමා ඇති කුඹුරු වල මුළු වපසරිය යාළ් 14 ක් පමණ වේ. එහෙත් මෙම අලවල අමුණ සෙල්ලිපියේ එම ප්‍රමාණය යාළ් 90 ක් ලෙසින් සඳහන් වේ. මෙම නොගැලපීම විස්තර කරමින් පරණවිතාන මහතා පවසන්නේ ලංකාතිලක විහාරය ඉදිකර මුලින් එම ස්ථානයේ පිහිටවූ සෙල්ලිපි වල එවන් අඩු ඉඩම් ප්‍රමාණයක් සඳහන් කලද, ඊට පසු කාලයකදී එම ඉඩම් පිහිටි ගම් අයත් ප්‍රදේශයේ පිහිටවූ මෙම සෙල්ලිපිය පිහිටවන අවස්ථාව වන විට මුලින් තිබුනාට වඩා වැඩි ප්‍රදේශයක් අස්වද්දා එම කුඹුරු වල ආදායමද ලංකාතිලක විහාරයට පිරිනමන්නට ඇති බවත්, ලංකාතිලක විහාරයේ ඇති සෙල්ලිපි පිහිටවීමට පසුව කාලයකදී මෙම සෙල්ලිපිය පිහිටවූ බවට ඒ අනුව සිතිය හැකි බවත්ය. එනයින් අලවල අමුණ සෙල්ලිපිය පිහිටවා එම ප්‍රදානයන් සිදු කල රජු පස්වන පරාක්‍රමබාහු වීමට වැඩි ඉඩක් ඇති බව පරණවිතාන මහතා සඳහන් කරයි.

නූතන යුගයේදී ඉදි කල අමුණට පහලින් ගල් තලාවේ ඇති පැරණි අමුණක සාධක. 

ඉහත සඳහන් කල පරිදි කිසියම් කාලයක විනාශ කල ලිපියේ මුල් පේලි වලින් කියැවෙන්නේ ලංකාතිලක විහාරය උභය වාසයෙහි මහා සංඝයා (ආරණ්‍ය වාසී සහ ග්‍රාමවාසී) විසින් ඉදි කල බවත්, මහල් සතරකින් යුත් එහි එක් එක් මහල් ඉදි කල පුද්ගලයන් සහ ඒවායේ වූ පිළිම සහ අනෙකුත් පූජනීය දේ පිළිබඳවත්ය. එම විස්තර ලංකාතිලක විහාර පරිශ්‍රයේ ඇති සෙල්ලිපි වලද කියැවෙන බැවින් මෙම ලිපිය විනාශ කලා වුවත් එම තොරතුරු එහි සුරැකිව ඉතිරි වී ඇත. එහි පළමුවන මහල තුන් රජයේ (රුහුණු, මායා, පිහිටි) සේනාව සමග එක්ව සෙනාලංකා අධිකාරයන් කරවූ බවත් එහි වජ්‍රාසනයේ සාමීන්ද (විදුරසුන් මත වූ බුදු පිළිමයක්) වෙනත් පිළිම දහසකින්ද ( ඒ අතරින් දෙදහසක් පන්සිය පනස් ජාතක කතා නිරූපනය කරමින් අඹා ඇත.) බ්‍රහ්ම, විෂ්ණු, මහෙශ්වර, සතර වරම්, කිහිරැළි උපුල්වන්, සමන් , විභීෂණ, ගණපති, කන්දකුමාර ආදී ලෝකපාල දෙවියන්ගෙන්ද බබලන්නා වූ බව ලිපියේ විනාශ නොකල කොටසින් සම්පූර්ණ ලෙස කියවිය හැක.

අලවල අමුණ

ඉහත කී ආකාරයෙන් ලංකාතිලක විහාරය රන් තුන් කෙළ සැට ලක්ෂයක් (මිලියන 36 ක්) දී කරවා, උභය වාසයේ සංඝාරාම කරවා (එනම් නිකාය දෙකේ භික්ෂූන්ට සංඝාරාමද කරවා) මතු පවත්නා ලෙස භූමි දානයක් ඇත මැනැවැයි සිතා, යම් යම් කෙනෙකුන් සන්තක ගමක් බිමක් උදුරා පිදුවහොත් මතු නොපවතී කියා ප්‍රධාන ගණා හා සේනාව (රාජ්‍යයේ ප්‍රධානීන් සහ සේනාව) රැගෙන රජ්ජුරු සාමි මෙම තැනැට වැද වදාරා අමුතුව ඇළ අමුණු බන්දවා* වෙල් වල් කප්පා තනා (අලුතින් ඇළවල් සහ අමුණු බැඳ, කැලෑ කපා වෙල් තනා) ගොවීන්, එඩේරන් වහල් [වහලුන්], සරක් [හරක්] පුදා මතු ඇතිවන රජ, යුවරජ මහාමාත්‍යාදීන් නූගුලුවන ලෙස ඉර සඳ ඉම් පමුණු කොට (එනම් ඉර හඳ පවතින තුරා අනාගතයේදී පැමිණෙන රජවරු , යුවරජවරු හෝ මහ ඇමැති ආදීන් විසින් අහිමි නොකරන පරිදි) ලෙසින් සඳහන් කරමින් පහත දැක්වෙන ලෙසට කුඹුරු විහාරයට ප්‍රදානය කර ඇත.

* මෙම ස්ථානයේ ඇති ඉහත විස්තර කල පැරණි අමුණේ සාධක බොහෝවිට මෙසේ ඉදි කල අමුණක නටබුන් විය හැක.

අලවල අමුණ

පරණ බදලගොඩ, කසඹිලියාගොඩ, නාරංගොඩ, අලුත් බදලගොඩ යන ගම් සතරින් සතර දිගින් යොත්නකින් කුඹුරු බිජුවට අනූ යාළක්, එනම් ඉහත කී ගම් වල පිහිටි (බොහෝවිට ලිපිය පිහිටවූ ස්ථානයේ සිට සතර දෙසින් යොදුනක් දුරට වූ) කුඹුරු යාළ් අනූවක්, සිගුරුවාණෙන්, සිද්දාවුල්ල, ගොන්වණකේ, කිරිවවුල, ගොඩවෙල ඇතුළු වූ තෙනින් කුඹුරු බිජුවට තුන් යාළක් එනම් සිගුරුවාණේ පිහිටි ඉහත කී ගම් සතරින් යාළ් තුනක් පමණ වූ කුඹුරු සහ සැදැ ඇත්තන් නොයෙක් තැන් වලින් පිදූ කුඹුරු බිජුවට සත් යාළක් (එනම් සැදැහැවතුන් විසින් නොයෙකුත් ස්ථාන වලින් පූජා කල කුඹුරු යාළ් සතක්) ඇතුළුව කුඹුරු බිජුවට සියක් යාළක් මෙම ලිපියේ කියැවෙන ලෙසට ලංකාතිලක විහාරයට පිරිනමා ඇත. 

අලවල අමුණට ඉහලින් කොස්පොතු ඔය

සෙල් ලිපියේ තව දුරටත් සඳහන් වන ලෙසට මේ කුඹුරු වලින් ලැබෙන දේ කොටස් පහකට බෙදා ඉන් කොටස් තුනක් තුණුරුවනට, එක් කොටසක් දේවාල පහට සහ ඉතිරි කොටස විහාරය මතු පවත්වන (එනම් ඉදිරියට විහාරයේ කටයුතු පරිපාලනය කරන) සේනාලංකා අධිකාර නම් මන්ත්‍රීහුගේ බන්ධූන්ට (එනම් සේනාලංකා අධිකාර නම් මන්ත්‍රීවරයාගේ ඥාතීන්ට) ලැබිය යුතුය.  

මෙම ලිපිය පිහිටවූ තැනට රජු පැමිණ ඉහත විදානයන් ලියවා වදාළ බව එහි අවසානයේ සඳහන් වේ. තවද ඉහත සඳහන් භූමින්ට භයකින් වන් කෙනෙකුන්ට අභය දානය ලැබෙන බවත්, එහි සඳහන් විදානයන් කඩ කරන පුද්ගලයන් පංච චණ්ඩාලයන්ටත් අන්තව  කවුඩන්ට බල්ලන්ටත් පුත් වන බවත්, නරකාදියේ වැටෙන බවත්, එම විදානයන්ට බසකින් හෝ සහයෝගය දක්වන උත්තමයන් මෙම කුසලෙන් කොටසක් ලැබ දිව සැපත්, නිවන් සැපත් ලබන බවත් සඳහන් වේ. 

මූලාශ්‍ර

  • Ancient Inscriptions in Ceylon collected and published for the government by Dr. Edward Muller, 1883
  • Archaeological Survey of Ceylon, Inscriptions of Ceylon Vol 7 , Sirimal Ranawella, 2014
  • University of Ceylon Review, Vol XVIII Nos. 1 & 2, 1960
  • University of Ceylon History of Ceylon Volume 1, Part 2, 1960.
  • Friday, March 22, 2019

    බතලගොඩ වැව අසල "පරණ නුවර", කල්‍යාණවතී රැජිනගේ බදලගොඩ පුවරු ලිපිය සහ බදලත්ථල ගාමය

    බදලත්ථල ගාමය/බදලගොඩ නුවර පිළිබඳව වංශ කතා තොරතුරු
    • චෝළ බලසෙන් මැඩ සිරිලක එක්සේසත් කිරීම උදෙසා රුහුණේ සිට සටන් වැදුනු විජයබාහු රජු සටන් පෙරමුණු දෙකකින් රජරට යටත් කරගැනීම උදෙසා බලසෙන් මෙහෙයවීය. ඉන් එක් සේනාවක් ඇමැතිවරු දෙදෙනෙකුගේ නායකත්වයෙන් නැගෙනහිර වෙරළ මාර්ගයේ යැවූ අතර දක්ඛිණපස්සයට යැවූ තවත් ඇමැතිවරු දෙදෙනෙකුගේ මෙහෙයවීම යටතේ වූ බල සෙන් මුහුන්නරුගම දුර්ගය (හෙට්ටිපොල අසල නුවරකැලේ), බදලත්ථල, වාපිනගර (කුරුණෑගල අසල වේනරු), බුද්ධගාම (මැණික්දෙන), තිලගුල්ල (තලගල්ලේ ඇල), මහාගල්ල (මාගල්ල/නිකවැරටිය), මණ්ඩගල්ල (පොල්පිතිගම අසල මහාමඩගල ) හා අනුරාධපුර බලකොටු අල්ලාගෙන ක්‍රමයෙන් මහාතිත්ථයට පැමිණියහ. දකුණු ඉන්දියාවෙන් පොළොන්නරුව දෙසට සහායක බල ඇණි පැමිණීම වලක්වාලීම මේ ආකාරයෙන් මහාතිත්ථයේ (වර්තමාන මන්නාරම අසල මාන්තායි ලෙසින් හැඳින්වෙන පැරණි වරාය පිහිටි ස්ථානය)  බලය තහවුරු කර ගැනීමේ අරමුණ වූ බව පෙනේ. [විවිධ විද්වතුන් විසින් ඉහත ස්ථාන හඳුනාගැනිම පිළිබඳව දක්වා ඇති අදහස් අනුව සැකසූ පහත සිතියම බලන්න.]

    බතලගොඩ පුවරු ලිපිය - පරණවිතාන මහතා දකින විට වැව් සොරොව්වට ඔබ්බෙන් බෝක්කුවක තාප්පයට සවිකර තිබූ පුවරු ලිපිය මේ වන විට වැව් කණ්ඩිය මත ආරක්ෂිත වැටක්ද සහිතව වහලයක් සහිත කුඩා කුටියක තැන්පත් කර ඇත.

    • කිත්සිරිමේඝ රජු දක්ඛිණ දේශය පාලනය කරන අවධියේ දක්ඛිණ දේශය සහ රජරට පාලනය කල 2 ගජබාහු රජුගේ සීමාවේ පිහිටි බදලත්ථිලි නම් ගමට තරුණ පරාක්‍රමබාහු කුමරා පැමිණි බව මහාවංශයේ සඳහන් වේ. එවකට එම සීමා ගමෙහි ආරක්ෂාව කිත්සිරිමේඝ රජු විසින් සංඛ නම් සෙන්පතියා හට පවරා ඔහුව එහි නවතා ඇත. (මහා විජයබාහුගෙන් පසු ලංකාද්වීපයේ ප්‍රදේශ රජ කුමරුවන් අතර බෙදී ගිය ආකාරය පිළිබඳව වැඩි විස්තර සහිත පෙර ලිපිය කියවීමට  Link>> ) පරාක්‍රමබාහු කුමරාගේ උපනයනය කිරීමේ උත්සවයද පවත්වන ලද්දේ බදලත්ථිලි ගාමයේදීය 
    • දක්ඛිණ දේශය පාලනය කල කිත්සිරිමේඝ රජුගේ අගනුවර වූවේ සංඛනායකත්ථලි නමින් හැඳින්වූ ගමයි. මෙය වර්තමාන කෑගල්ල දිස්ත්‍රික්කයේ පිහිටි දැදිගමට සැතපුම් 5 පමණ ඊසාන දෙසින් වූ හත්නාගොඩ (හත්නාගොඩ යන්නෙහි පාලි සංඛනායකත්ථලි යන අර්ථය ඇතඅසල පේරාදෙණි නුවර ලෙසින් හැඳින්වෙන පෙදෙස ලෙසින් පරණවිතාන මහතා හඳුනාගෙන ඇත. පරාක්‍රමබාහු කුමරු සංඛනාථත්ථලි (සංඛනායකත්ථලි යන්නෙහිම වෙනත් ස්වරූපයක්) සිට පස් ගව්වක් (සැතපුම් 15) පමණ මග ගෙවා තවත් වරක බදලත්ථලි නම් පෙදෙසට නොදුරු පිලිංවත්ථු  ගමට පැමිණි බව මහාවංශයේ තවත් ගාථාවක සඳහන් වේ. එහිම එන විස්තරයකට අනුව සංඛනාථත්ථලි සහ බදලත්ථලි අතර පදවාරසුඤ්ඤඤ්ඩ නම් වූ ස්ථානයක්ද තිබී ඇත (මෙම ස්ථාන දෙකම දැනට හඳුනාගත නොහැක). මෙම ගමනේදී පරාක්‍රමබාහු කුමරු විසින් සංඛ සෙන්පතියාව ඔහුගේ බලකොටුවේදීම මරා දමයි.

    බතලගොඩ පුවරු ලිපිය 
    • පූජාවලියේ දැක්වෙන ලෙසට දඹදෙනියේ සිට රාජ්‍යය විචාල දෙවන පරාක්‍රමබාහු රජ සමයේ රජුගේ වඩිමහල් පුත්‍රයා වූ විජයබාහු කුමරා කුරුණෑගල නගරයේ ආරක්ෂිත පවුරු වාසල් ආදිය බඳවා, විහාර පිරිවෙන් ආදියද කරවා එම නුවර ආරක්ෂාවට බදලගොඩ නුවර බද මනුෂ්‍යයන් යෙදවීය.
    • ගම්පොල සිට රාජ්‍යය විචාල සිව්වන බුවනෙකබාහු යුගයේ පිහිටවූ ලංකාතිලක සෙල් ලිපියේ සඳහන් වන ලෙසට අලුත් බදලගොඩින් සහ පරණ බදලගොඩින් එම විහාරයට කුඹුරු පිරිනමා ඇත.
    බතලගොඩ වැව සහ පරණ නුවර
    මෙරට සෙල්ලිපි ගවේෂණයේ පුරෝගාමියෙකු වූ මුලර් (Edward Muller) මහතා සිය ග්‍රන්ථයේ Batalagodaluwa ලෙසින් කුරුණෑගල සිට දඹුල්ල පාරේ සැතපුම් 8 ක දුරුන් පිහිටි දෙහෙල්ගමුව (Dehelgomuwa) නම් ගමක සිට සැතපුමක් පමණ නැගෙනහිර දෙසට වන්නට පිහිටි පැරණි වැවක් සහ එහි යාමට හරි හමන් අඩි පාරක්වත් නොමැති ඝන කැලෑවට යටවූ ස්ථානයක පිහිටි ගල් කණු සහ සෙල්ලිපියක් සහිත ගලක කොටසක් පිළිබඳව සඳහන් කරයි. සෙල්ලිපියේ අකුරු 15 වන සියවසට අයත් බව ඔහු පවසයි (එය නිවැරදි නොවේ)
    ලිපියේ සඳහන් වන දැනට හඳුනාගෙන ඇති සමහර පැරණි ස්ථාන
    කුරුණෑගල - දඹුල්ල පාරේ බතලගොඩ නමින් හැඳින්වෙන වැවක් හෙන්රි පාකර් මහතාගේ අධීක්ෂණය යටතේ බ්‍රිතාන්‍ය පාලන සමයේදී පිලිසකර කර ඇත. වර්ෂ 1890 දී එහි පිලිසකර කිරීමේ කටයුතු ආරම්භ කල බව පාර්කර් සඳහන් කරයි. එම වැවට සැතපුමක පමණ දුරින් දැදුරු ඔය අසබඩ "පරණ නුවර" ලෙසින් හැඳින්වූ නටබුන් සහිත පෙදෙසක් තිබී ඇති අතර පාර්කර් පවසන පරිදි බලකොටුවක ලක්ෂණ විද්‍යාමාන කරමින් එම ස්ථානය තුන් පැත්තකින් උස් පස් බැමි වලින් වටවී තිබී ඇති අතර පුලුල් දිය අගල්ද ඒ වන විටත් ඔහුට දැකගැනීමට හැකිවී ඇත. දැදුරු ඔයේ බෑවුම් සහිත ඉවුර එහි අනෙක් සීමාව ලෙස ස්වභාවිකවම ආරක්ෂාව සපයා ඇති බැවින් බටහිර දෙසින් එක් බැම්මක් පමණක් තිබී ඇත. බලකොටුවට දකුණු දෙසින් ඔය ඉවුරේ තිබූ කුඩා විහාරයක් සහ දාගැබක් පිළිබඳවද ඔහු පවසයි.  

    මෙම ස්ථානයේ වූ එක් ටැම් ලිපියක් සහ ඉහත මුලර් ද සඳහන් කරන පුවරු ලිපිය ගැනද පාර්කර් කරුණු ඉදිරිපත් කරයි. එම ටැම් ලිපිය 10 වන ශතවර්ෂයට අයත් බෙහෙවින්ම ගෙවී ගිය අක්ෂර වලින් ලියා තිබූ බව හෙතෙම සඳහන් කරයි. එහෙත් නැවත වර්ෂ 1931 දී එම ස්ථානයට ගිය පරණවිතාන මහතාට මෙම ලිපිය හමුවී නැති අතර ඔහුට කිසිවෙකු පවසා තිබුනේ එය වැව පත්ලේ ඇති බවත්, වැවේ වතුර අඩු වන කාලයට පමණක් එය දැකගැනීමට හැකි බවත්ය .
    දනට බතලගොඩ වැවෙන් වගා කෙරෙන කුඹුරු ඉඩම්
    පුවරු ලිපියේ අන්තර්ගතය සම්බන්ධව පාර්කර් පවසන ඇතැම් කරුණු නිවැරදි නොවන බව එය මුල් වරට කියවා ප්‍රකාශයට පත් කල H.C.P. බෙල් මහතා සහ සෙනරත් පරණවිතාන මහතාගේ ලිපි වලින් තහවුරු වේ. පරනවිතාන මහතාගේ සහ මෑතකදි නැවත වරක් එය ප්‍රකාශයට පත් කල සිරිමල් රනවැල්ල මහතාගේ කියැවීම් වලට අනුව අභා සලමෙවන් කල්‍යාණවතී ලෙසින් හැඳින්වෙන නිශ්ශංකමල්ල රජතුමාගේ බිසවක වූ පසුව ක්‍රි.ව. 1202 දී පොළොන්නරුවේ රාජ්‍යත්වයට පත් කල්‍යාණවති රැජිනගේ පස්වන රාජ්‍ය වර්ෂයේදී චූඩාමණී නමැති අධිකාරිවරයා විසින් ඔහුගේ බල ප්‍රදේශය වූ මායා රාජ්‍යයේ මධ්‍ය දේශයට අයත් බදලගොඩ හෙවත් මංගල පුර වැව පිලිසකර කරවීම සහ ඒ අසල වූ ලක්විජය සං සිඟු සෙනෙවි විසින් කරවා ඒ වන විට අබලන් වී අතහැර දමා තිබූ සෙනෙවිරත් පිරිවෙනෙහි පිළිමගෙය කරවා, දාගැබද බඳවා සංඝාරාමයද පිලිසකර කර එහි වැසිකිලි සහ පැන්පැල් ද කරවා නැවත මහා සංඝයාට පවරා දීම පිළිබඳව විස්තර සටහන් කර එම ලිපිය කරවා ඇත. තවද එම විහාරයේ කටයුතු උදෙසා සොතෙමුණින් (දැනට හඳුනාගත නොහැක.) අමුණු සතරක ඉඩම්ද පිරිනමා ඇත.
    කැබැලි කිහිපයකට කැඩී තිබූ මෙම ලිපියේ ඇතැම් කොටස් සොයා ගත නොහැක. සොයාගත හැකි වූ කැබැලි සිමෙන්ති දමා එකතු කර ඇත[පරණවිතාන මහතා සිතන ලෙසට හෙන්රි පාර්කර් විසින්] . එපමණක් නොව එම ලිපියේ අඩු අකුරු [බොහෝවිට පාර්කර් විසින්ම] සම්පූර්ණ කිරීමටද උත්සහා දරා ඇත. පරණවිතාන මහතා එම ක්‍රියාව එතරම් හොඳ දෙයක් ලෙස නොසලකයි. ඔහුගේ කියවීමේදි එම එකතු කල අකුරු නොසලකා හැර ඇත.
    ඒ අනුව වර්තමාන බතලගොඩ වැව පිහිටි ප්‍රදේශය පොළොන්නරු යුගය වන විටද බදලගොඩ ලෙසින් හඳුන්වා ඇති බව පෙනේ. මහාවංශයේ බදලත්ථල, බදලත්ථිලි ආදි පාලි ස්වරූප වලින් කිහිප වරක්ම සඳහන් කරන ස්ථානයද මෙම බතලගොඩ වැව අසල ප්‍රදේශයම බව මෙම ලිපියේ මුලින් සඳහන් කල එම විස්තර සමග ඉදිරිපත් කරන අනෙකුත් ස්ථාන වල පිහිටීමට සාපේක්ෂව කරුණු විමසා බැලීමේදී පැහැදිලි වේ. දඹදෙනි යුගය වනවිටද බදලගොඩ නුවර ලෙසින්ම පැවති එම නුවර ගම්පොල යුගය වන විට අලුත් බදලගොඩ සහ පරණ බදලගොඩ ලෙසින් ප්‍රදේශ දෙකක් බවට පත්වී තිබෙන බව නොහොත් අලුත් බදලගොඩක්ද ඇතිවී ඇති බව ඉහත පූජාවලි සහ ලංකාතිලක සෙල්ලිපි වල එන සඳහන් වලින් පැහැදිලි වේ.

     පාර්කර් සඳහන් කරන බලකොටුව පිහිටි ස්ථානය පරණවිතාන මහතා එම ස්ථානයට යන විටද පෞද්ගලික හිමිකරුවෙකුට අයත් පොල් වගාවක් බවට පත්වී ඇති අතර, පැරණි අඟලේ සිතියම් වලට අනුව පරණගම්පිටිය ලෙසින් එම පෙදෙස හඳුන්වා ඇත. දිය අගල් සහ එහි සීමාව දක්වන පස් බැමි ලෙස හඳුනාගත හැකි තැන් දැනටද එම ස්ථානයේ Google Map පරික්ෂා කල විට දැක ගත හැකි අතර දිය අගලේ සලකුණුද ස්ථානයේ තවමත් හමුවේ. පාර්කර් සඳහන් කරන අවශේෂ නෂ්ඨාවශේෂ වල මේ වන විට තත්වය පැහැදිලි නැත. එය දැනටද පෞද්ගලික අයිතිය ඇති පොල් වගාවක් වන බැවිනි (එම හේතුව නිසාම එම ස්ථානය මේ ලිපියේ සිතියම් වල සලකුණු කිරීමේන් වැලකී සිටිමි.)
    මූලාශ්‍ර
    • මහාවංස 2 වෙළුම, ක්‍රි.ව. 303-1815 මාගධී පෙළ සහ සිංහල අනුවාදය, නව සංස්කාරක චන්ද්‍ර වික්‍රමගමගේ, සිංහල අනුවාදය අරුණ තලගල, 2012
    • Nicholas C.W. 1963, Historical Topography of Ancient and Medieval Ceylon, Journal of the Ceylon Branch of the Royal Asiatic Society, New Series, Volume VI, Special Number. 
    • Ancient Inscriptions in Ceylon, Edward Muller, 1883
    • University of Ceylon History of Ceylon Volume 1, Part 2, 1960.
    • Notes on Ceylon Topography in the Twelfth Century, H.W. Codrington,  Journal of the Ceylon Branch of the Royal Asiatic Society, Vol XXIX, No 75, 1922
    • Notes on Ceylon Topography in the Twelfth Century II, H.W. Codrington,  Journal of the Ceylon Branch of the Royal Asiatic Society, Vol XXX, No 78, 1925\
    • Chulavamsa, Being the more recent part of the Mahavamsa, Translated by Wilhelm Geiger And from the German into English by C. Mabel Rickmers, 1929
    • පූජාවලිය. පණ්ඩිත වේරගොඩ අමරමෝලි නා හිමියන්ගේ සංස්කරණය, 1953.
    • Archaeological Survey of Ceylon, Inscriptions of Ceylon Volume VI Sirimal. Ranawella, 2007
    • Archaeological Survey of Ceylon, Inscriptions of Ceylon Volume VII Sirimal. Ranawella, 2014
    • Ancient Ceylon, H. Parker, 1909
    • Archaeological Survey of Ceylon Epigraphia Zeylanica, Volume IV (1934 - 1941), 1943