Sunday, November 13, 2022

පිදුරාගල පුරාණ දළ්හ විහාරයේ විහාර වහලුන් සිටියාද?

පිදුරංගල යනු සීගිරිය තරම්ම ජනප්‍රිය සංචාරක ගමනාන්තයක් වන මුත් පිදුරංගල කඳු මුදුන තරණය කරන බොහෝ දෙනෙක් නොදකින එහෙයින්ම එතරම් අවදානයක් යොමු නොවන පැරණි නටබුන් විහාරාම සංකීර්ණයක් එම පර්වතයට ආසන්නව එයට උතුරු දෙසින් පිහිටා ඇත. පබ්බත විහාර සම්ප්‍රදායට (පබ්බත විහාර පිළිබඳව වැඩිදුර තොරතුරු සඳහා >>) අයත් තවත් එක් විහාරයක් වන මෙය අවම වශයෙන් පළමුවන කාශ්‍යප රජුට [පො. ව.  473-491] පසු රාජ්‍යත්වයට පත්වූ පළමුවන මුගලන් රජුගේ [පො. ව. 491-508] කාලය දක්වා පැරණි එවකට දළ්හ විහාරය ලෙසින් හැඳින්වූ මහායාන සම්ප්‍රදාය පිළිගත් අභයගිරියේ ධම්මරුචික නිකායට අයත් විහාරයක් බවට කරුණු හෙලිවී ඇත. මෙහි ඇති තවත් වැදගත්කමක් වන්නේ මෙරට විහාර වල "විහාර වහලුන්" සිටි බවට හෝ එවැනි විහාර වල වහලුන් බවට පත්වී නැවත මුදල් ගෙවා ඉන් මිදෙන පූජා ක්‍රමයක් ඒවායේ  සිදු කල බවට හැඟෙන "වහරල සෙල්ලිපි" ලෙසින් හැඳින්වෙන සෙල්ලිපි කිහිපයක්ද මෙහි හමුවන හෙයිනි. මෙම පබ්බත විහාරය සහ ඊට දකුණින් පිහිටි පිදුරංගල ලෙන් සහිත ප්‍රදේශය එකම ආරාමයකට අයත්ද නැත්ද යන්න තවමත් පැහැදිලිව පැවසීමට කරුණු නොමැත. එහෙයින් මේ ලිපියෙන් පිදුරංගල පර්වතය පාමුල පිහිටි එම පබ්බත විහාරය සම්බන්ධයෙන් පමණක් කරුණු ඉදිරිපත් කෙරේ.   

පිදුරංගල පබ්බත විහාරය පිළිබඳව වූ කෙටි වීඩියෝව >>

වහරල ලිපි සහ විහාර වහලුන්

පිදුරංගල පබ්බත විහාරයේ පිළිම ගෙයට ඇතුළු වන දොරටුවේ පඩි පෙලේ ඇති වහරල ලිපි

අවම වශයෙන් පොදු වර්ෂ පූර්ව 3 වන සියවසේ අවසාන භාගයේ පමණ සිටවත් මෙරට තුලින් ආදී බ්‍රහ්මී අක්ෂර වලින් ලියැවුණු ශිලා ලේඛන හමුවන බව පොදු පිළිගැනීමයි (එම කාලය ඊට පෙර සියවස් දක්වාද අයත් කල හැකි පුරාවිද්‍යාත්මක සාධක හමුවී ඇති බවද මෙහිදී සිහිපත් කල යුතුය. උදාහරණයක් ලෙසට අනුරාධපුර ඇතුල් නුවර කැනීම් මගින් හමුවූ ඇතැම් බ්‍රාහ්මී අක්ෂර සහිත වලන් කැබලි පොදු වර්ෂ පූර්ව 799-529, 796-520, 770, 767,674,662 වැනි කාල පරාසයන්ට අයත් බව කාල නිර්ණ ක්‍රම මගින් හෙළිවී ඇත. පොදුවේ එම සියළු වලන් කැබලි වල කාල පරාසය පොදු වර්ෂ පූර්ව 500 - 600 කාලයට එනම් පොදු වර්ෂ පූර්ව 6 වන සියවස දක්වා පැරණි යුගයකට අයත් කල හැක.) එතැන් සිට බ්‍රාහ්මි අක්ෂර සහ එහි විකාශනයන් මගින් ලියැවුණු සෙල්ලිපි පොදු වර්ෂ 7 වන සියවස දක්වා පමණ හමුවේ. 7 වන සියවසින් පසු හමුවන සෙල්ලිපි වල අක්ෂර ක්‍රමයෙන් බ්‍රහ්මී අක්ෂර වලින් වර්තමාන සිංහල අක්ෂර බවට පත්වන ආකාරය  දැකගත හැක. කෙසේ නමුත් මුල් කාලයට සහ 7 වන සියවසින් පසු කාලයට සාපේක්ෂව බැලූ කල පොදු වර්ෂ 4 වන සියවසේ සිට 7 වන සියවස දක්වා කාලයේ මෙරට සෙල්ලිපි එතරම් බහුලව හමු නොවේ. එම සෙල්ලිපි අතරින්ද රජවරුන්ගේ නම් සඳහන් සහ ඔවුන් විසින් ප්‍රකාශිත සෙල්ලිපි හමුවන්නේ ඉතාමත්ම ස්වල්පයක් පමණි. තවත් විශේෂ කාරණයක් වන්නේ එම කාලයේ හමුවන සෙල්ලිපි අතරින්ද බහුතරය "වහරල චිදවි" යන වචන දෙක හෝ එම වචන දෙකේ විවිධ ස්වරූපයන් සහිත සෙල්ලිපි වීමය. එමනිසා එම සෙල්ලිපි "වහරල සෙල්ලිපි" ලෙසින් හඳුන්වයි. පොදු වර්ෂ 5 වන සියවසේ සිට 7 වන සියවස දක්වා කාල පරාසයේ මෙම වහරල සෙල්ලිපි හමුවන අතර ඉන්පසු කාලයේදී එම ලිපි හමු නොවේ. මෙම "වහරල චිදවි" යන වචන දෙකට විවිධ විද්වතුන් විසින් විවිධ අර්ථකථන සපයා ඇති අතර ඒ පිළිබඳව නිශ්චිත අදහසකට තවමත් එළඹ නොමැත.

පිදුරංගල පබ්බත විහාරයේ මණ්ඩප ගොඩනැගිල්ලට ඇතුළු වන දොරටුවේ පඩි පෙලේ ඇති වහරල ලිපි

එම අර්ථකථන අතරින් අද වනවිට විද්වතුන් වැඩි දෙනා පිළිගන්න මතය නොවූවත් වඩාත්ම ජනප්‍රිය එමෙන්ම එම සෙල්ලිපි හමුවන ස්ථාන වල පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව විසින් ප්‍රදර්ශනය කරන පුවරු ආදියේ ඇත්තේ මහාචාර්ය සෙනරත් පරණවිතාන මහතා මුලින්ම මේ සම්බන්දයෙන් ඉදිරිපත් කල මතයයි

සෙනරත් පරණවිතාන මහතාගේ මතය - "වහරල චිදවි" යනු වහල් භාවයෙන් (වහරල) මිදීවීය (චිදවි). එනම් මේ කාලයේ මෙරට විහාරස්ථාන වලට වහල් භාවයට පත්වී මුදල් ගෙවා එම වහල් භාවයෙන් මිදීම මෙරට ජනතාව පුණ්‍යකර්මයක් ලෙස සැලකූ බව.

ඒ සම්බන්දව වෙනත් විද්වතුන් විසින් ඉදිරිපත් කල මත කිහිපයක් මෙසේය

1) දැව දඬු කැප්පවීම බව - මහාචාර්ය ඩී. ජේ. විජේරත්න

2) විහාර සලාක සැපයීම බව (මහාචාර්ය සුගතපාලද සිල්වා) හෝ විහාර සලාක කැප්පවීම බව (මහාචාර්ය සිරිමල් රණවැල්ල)

3) විහාර ගෙය සෑදවීම බව (කොටනෙළුවේ චන්දජෝති හිමි ) හෝ විහාර කුටි සෑදවීම බව (මැදඋයන්ගොඩ  විමලකිත්ති හිමි, මහාචාර්ය බන්දුසේන ගුණසේකර සහ ආචාර්ය බෙනිල් ප්‍රියංක) හෝ විහාරයනට ආදාල ගොඩනැගිලි සෑදවීම බව (ආචාර්ය සද්ධාමංගල කරුණාරත්න)

4) විහාර දොරටුවල ගල් පඩි සෑදවීම බව (මොරවක ශ්‍රී සිද්ධාර්ථ හිමි)

5) අනිවාර්ය සේවයෙන් නිදහස් වීම බව (මහාචාර්ය මාලනී ඩයස් සහ මහාචාර්ය කරුණාසේන හෙට්ටිආරච්චි)

ඉහත පරණවිතාන මහතා ඉදිරිපත් කල මතය හෝ ඒ සම්බන්ධව අනෙකුත් විද්වතුන් ඉදිරිපත් කල මත  සාධාරණීකරණය කිරීමට ඔවුන් ගෙනහැර පාන තර්ක සියල්ල පිළිබඳව විස්තර ඉදිරිපත් කිරීමට මෙහිදී අදහස් නොකරන මුත්, පරණවිතාන මහතාගේ මතය සහ එයට විකල්ප ලෙසට මැදඋයන්ගොඩ විමලකිත්ති හිමියන් සහ පසුව වෙනත් විද්වතුන් ඉදිරිපත් කල මතය සම්බන්ධයෙන් මෙහිදී සැකවින් හෝ කරුණු දැක්වීමට බලාපොරොත්තු වෙමි.

පිදුරංගල පබ්බත විහාරයේ මණ්ඩප ගොඩනැගිල්ලට ඇතුළු වන දොරටුවේ පඩි පෙලේ ඇති වහරල ලිපියක කොටසක්

පිදුරංගල පබ්බත විහාරය සම්බන්දයෙන්වූ මෙම ලිපියේදී වහරල ලිපි පිළිබඳව අපට අවධානය යොමු කිරීමට සිදුව ඇත්තේ මෙම පබ්බත විහාරයේ පිළිම ගෙහි ගල් පඩියක සහ මණ්ඩපයේ නැගෙනහිර දොරටුව මත්තෙහි ගල් පඩි වල මෙතෙක් කියවා පළකල සහ නොකළ වහරල ලිපි කිහිපයක්ම හමුවන බැවිනි (ලිපි 10 ක් පමණ හමුවී ඇති අතර ඉන් 6ක් ප්‍රකාශයට පත්වී ඇත.) එසේම පිළිම ගෙයි සඳකඩ පහණකද මැකී ගිය සෙල් ලිපියක් දැකිය හැක. 

එම එක් වහරල ලිපියක පෙළ මෙසේ දැක්වීම හැක.  (ආචාර්ය බෙනිල් ප්‍රියංක මහතාට අනුව)

අය සවලී මහ වසයණ සදය
වහරල වටකට දන එක යහ
ළක ව වි එක මුයුදනක වි

එම ලිපිය මුලින්ම ප්‍රකාශයට පත් කල නලීන් වීරරත්න මහතාට අනුව එහි අදහස  - අය සවලී මහ නම් ස්ථානයේ වාසය කරන........වහරල පවත්වාගෙන යාමට එක් යහළක වී (සහ) එක් අමුණක වී (දෙන ලදී)

"වහරල චිදවි" යනු විහාර කුටි සෑදීම ලෙසින් ගෙන ආචාර්ය බෙනිල් ප්‍රියංක මහතා එහි අදහස මෙසේ ඉදිරිපත් කරයි.

අය සවලී නැමැත්තා විසින් මහ වස් වසනා කාලය තුළ වාසය කිරීම පිණිස විහාර කුටි සෑදීමේ කර්ත්‍යවයට දුන් එක් යහළක වී සහ එක් අමුණක වී.

වහරල ලිපි සමස්තයක් ලෙස ගත් කල ඒ සියල්ලේ හෝ බොහෝමයක දැකිය හැකි පොදු ලක්ෂණ කිහිපයක් මෙසේ පෙල ගැස්විය හැක.

1) සියළුම වහරල ලිපි විහාරාරාම නටබුන් හමුවන ස්ථාන වල හමුවීම
2) සමහර වහරල ලිපි විහාර වලට පිවිසෙන ගල් පඩිපෙලෙහි කොටා තිබීම ( උදා: පිදුරංගල පිළිමගෙය සහ මණ්ඩපයට පිවිසෙන ගල් පඩි.
3) ඇතැම් වහරල ලිපි වල දායකයන් වඩුවන් හෝ ගල් වඩුවන් වීම
4) එම ක්‍රියාව සිදු කර ඇත්තේ පින් ලබා ගැනීම උදෙසා වීම සහ ඇතැම් ලිපි වල එම පින් වෙනත් අය හට අනුමෝදන් කරවීම (තවත් සමහර ලිපි වල එම පින් බලෙන් මතු බුදු බව අත්වේවා ලෙසින් පැතීම් ද සිදු කර ඇත.)
5) මෙම ක්‍රියාව කිරීමේදී බොහෝවිට කහවණු පරිත්‍යාග කිරීම් සිදු කිරීම (බහුතරයක් සෙල්ලිපි වල පරිත්‍යාග කර ඇති මුදල කහවණු 100 ක් වේ. ඉහත පිදුරංගල ලිපියේ සිදුවී ඇත්තේ වී පරිත්‍යාග කිරීමකි.) 
පිදුරංගල පබ්බත විහාරයේ බෝධිඝරය. ඈතින් දිස්වන්නේ පිදුරංගල පර්වතයයි

සංස්කෘත වෘෂල යන වචනයෙන් සිංහල වහල් යන වචනය සෑදුන බව ගයිගර් විසින් පෙන්නා දී ඇත. පරණවිතාන මහතා තර්ක කරන්නේ මෙම ලිපි හමුවන 6 වන සියවස පමණ වන විට වහල් යන සිංහල වචනයට සම්පූර්ණයෙන් පරිවර්තනය නොවුන වහරල යන අතරමැදි ස්වරූපයක් තිබුනා විය හැකි බවයි. ( වෘෂල > වරසල > වරහල > වහරල >  වහල් ලෙසින් ) ඒ අනුව "චිදවි" යන වචනයේ අර්ථය මිදුනා ලෙසින් ගෙන පරණවිතාන මහතා සිය අර්ථකථනය සපයයි. මැදඋයන්ගොඩ විමලකිත්ති හිමියන් පවසන්නේ "වහර" යනු "විහාරය" හෙයින් (මේ යුගයේදී විහාරයට වහර යනුවෙන් පැවසූ බව සෙල්ලිපි කිහිපයකින්ම පැහැදිලිවේ.) ගන්ධකුටි ශබ්දය ගඳොල, ගදෙළ, ගදළ යි සිටියාක් මෙන් විහාර කුටි ශබ්දයත්  වහරල ලෙසින් සිටිය හැකි බවය. විමලකිත්ති හිමියන්ගේ මතය තව දුරටත් සනාථ කිරීමට කරුණු ඉදිරිපත් කරන ආචාර්ය බෙනිල් ප්‍රියංක මහතා 10 වන සියවසට අයත් දඹේගොඩ ටැම් ලිපියෙහි "වෙහෙරල කරව මගුල් පිරිවෙන් කරවා" ලෙසින් එන පාඨයෙන් "විහාර කුටි කරවා මගුල් පිරිවෙන නිමකොට" යන්න කියැවෙන හෙයින් මගුල් පිරිවෙන ගොඩනැගීමට විහාර කුටි රාශියක් සාදා නිම කිරීමට සිදු වූ බව එයින් ගම්‍ය වන බවත්, එහෙයින් "වෙහෙරල" යනු විහාර කුටි බවත් පවසයි. සද්ධාමංගල කරුණාරත්න මහතා වෙනත් 6 වන සියවසට අයත් ලිපියක (එම ලිපිය නැගෙනහිර පළාතේ  කිරිපොකුණුහෙල පියගැට සහිත ගල් තලාවක පසෙක කොටා ඇත.) "පදගඩ චිදවය" ලෙසින් පියගැට සාදන ලදී යන්න අදහස් කර ඇති බවත්, ඒ අනුව "චිදවි" යන්නෙන් සාදන ලදී හෝ සාදන ලද යන තේරුම ගත හැකි බවත් පෙන්නා දෙයි. මෙම දෙවන මතය සාධාරණීකරණය කිරීමට මෙවන් උදාහරණ බොහෝමයක් දිය හැකි බැවින් "වහරල චිදවි" යන්නෙන් විහාර කුටි සෑදීම අදහස් කරන්නට ඇති බව සිතීම වඩාත් තර්කාණුකූල බව පෙනේ. මෙම ඇතැම් වහරල ලිපි ගල් වඩුවන් සහ වඩුවන් විසින් පිහිටුවා තිබීමද මේ මතය සනාථ කිරීමට යොදාගත හැක ( ඔවුන් එම කාර්යය පින් තකා මුදල් අය කිරීමකින් තොරව ඉටු කර ඒ බව ලිපියකින් පවසා ඇත.) අනෙක් අතට ඇතැම් වහරල ලිපි වල එන "දරුයන චිදවි වෙහෙරල" යන්න විහාර කුටි දැවයෙන් සෑදීම ලෙසින් ගත හැක ( පරණවිතාන මහතා පවසන්නෙ ඉන් ලිපිය පිහිටුවන තැනැත්තා සිය දරුවන් මුදල් ගෙවා වහල් කමින් මුදා ගත් බව පැවසෙන බවය.) 

*මෙහිදී පැවසිය යුතු කරුණක් වන්නේ පෙර කල විහාරාරාමයන්හි සේවය කළ සේවකයන් සිටි බවට සාධක ඇති බවය. එහෙත් ඔවුන් සෙල් ලිපි වල හඳුන්වා ඇත්තේ "වෙහෙර් දසුන්" යනුවෙන් විනා "වෙහෙර් වහලුන්" ලෙසින් නොවේ ( 4 වැනි මහින්ද [පො.ව. 956-972] රජුගේ මිහින්තලා පුවරු ලිපිය. තවද පොදු වර්ෂ 2 වැනි සියවසට අයත් අනුරාධපුර ඉළුක්වැව නම් තැනකින් හමුවූ ලිපියක විහාරයක සේවය කල අඹු සැමි යුවලක් දස හා දැසි ලෙසින් හඳුන්වා ඇත.) 

උපෝසථඝරය

පිදුරංගල පබ්බත විහාරය පැරණි දළ්හ විහාරය බව හඳුනාගැනීම

පිදුරංගල පබ්බත විහාරයේ හමුවන එක් වහරල ලිපියක් මෙහිදී වැදගත් වන්නේ එහි මෙම විහාරයේ නම සඳහන් වන බැවිනි. අදාල ලිපිය මේ පරිදි වේ.

මහ කළ වනයල හ ධන එක සයක කහවණ එම මය ධන කපිදළ වහරට  (දෙ) වහරල චිදවය පල සව සතහට.
 
මහගල (වාසය කරන) වනසල සිය ධනයෙන් කහවණු සියය බැගින් දළ්හ විහාරයට (දී එහි) (දෙ) වහරල මුදවිය [ඉහත පැහැදිලි කිරීම අනුව විහාර කුටි දෙකක් කරවීය ලෙස ගත හැක.] (එහි) පළ සියළු සත්වයන්ට (අත්වේවා)

මහාවංශයේ සඳහන් වන්නේ පළමුවන මොග්ගල්ලාන රජු [පො.ව. 491-508] සීගිරියේ දළ්හ නම් විහාරය හා දාඨා කොන්ඩඤ්ඤ විහාරද ධම්මරුචි සහ සාගලිය නිකායවල භික්ෂුන්ට පූජා කල බවය. ඒ අනුව පිදුරංගල පබ්බත විහාරය එම දළ්හ විහාරය ලෙසින් හඳුනාගත හැකි අතර 6-7  සියවස් වලට අයත් ඉහත වහරල ලිපිය පිහිටවූ තැනැත්තා එහි විහාර කුටි දෙකක් එම යුගයේදී තැනීමට කහවණු ලබා දී ඇත. 

මීට අමතරව මෙම පබ්බත විහාර පරිශ්‍රය තුලින් හතරවන දප්පුල රජුගේ [පො.ව. 924-935] කාලයට අයත් අත්තාණි ටැම් ලිපියක කොටසක් හමුවී ඇත.  ලිපියේ නම සඳහන් උදා මහපාණන් වහන්සේ  (මාපා උදය) IV දප්පුල රජු යටතේ එම දූරය දැරූ උදය මාපා ලෙස සැලකේ. උදා මහපාණන් වහන්සේ වදාල හෙයින් රක්සමණන් (Chief Guardian) වන මහලෙ අග්බොයා නියමයෙන් පැමිණි කුඩසලා දෙට් විසින් එම අත්තාණි කණුව පිහිටුවා ඇති බව ලිපියේ ශේෂව ඇති කොටසින් කියැවේ.

ස්තූපය

පිදුරංගල පබ්බත විහාරයේ වර්තමාන නටබුන් 
නැගෙනහිර දිශාවෙන් ප්‍රධාන පිවිසුම සහිතව මංජුශ්‍රී වාස්තුවිද්‍යා ශාස්ත්‍රයෙන් විග්‍රහ කෙරෙන "හස්තයාරාම පංචාවාස" සැලසුමට අනුව මෙම පබ්බත විහාරය ඉදිකර ඇත. මෙහි පූජනීය ගොඩනැගිලි හමුවන ප්‍රධාන සැලැස්මේ ගොඩනැගිලි 5 ක් හඳුනාගත හැක. ස්තූපය, බෝධිඝරය, උපෝසථඝරය හා පිළිම ගෙයට අමතරව සභා ශාලාවක්ද (මණ්ඩපයක්) මෙහි දැකිය හැක. වයඹ සහ ඊසාන දිගින් ශේෂව ඇති ගඩොල් ප්‍රාකාරය නිසා ප්‍රධාන සැලැස්ම සහ වෙනත් ගොඩනැගිලි හමුවන ප්‍රධාන නොවන සැලැස්ම පිදුරංගල පබ්බත විහාරයේ ප්‍රාකාරයක් මගින් වෙන් කර තිබූ බව හඳුනාගෙන ඇත. එහෙත් සමස්ත විහාරය ආවරනය වන ආකාරයේ දිය අගලක් තිබූ බවට සාධක නොමැත. නමුත් ඊසාන දිශාවට පිහිටි වැව  මෙම විහාරයට අයත්ව තිබෙන්නට ඇත. ප්‍රධාන නොවන සැලැස්මේ පොකුරු වශයෙන් අවශේෂ ගොඩනැගිලි 35 ක් පමණ තිබූ බවට සාධක හමුවේ. දෙදෙනෙකුට පමණ වාසය කල හැකි මෙම කුටි 35 පොකුරු 6 ක් ලෙසින් ඉදි කර ඇති අතර ඒ අනුව මෙහි භික්ෂූන් 70 ක් පමණ වාසය කරන්නට ඇති බව අනුමාණ කෙරේ (ඉහත වහරල ලිපි වල දායකයන් ඉදි කර ඇත්තේ මෙම කුටි ලෙස හඳුනා ගත හැක.) කෙසේ නමුත් වෙනත් පබ්බත විහාර වල ප්‍රධාන නොවන සැලැස්මේ දැකිය හැකි දානශාලා, කැසිකිලි, වැසිකිලි ආදිය මෙහි දැකිය නොහැක, නැතහොත් මෙතෙක් හඳුනාගෙන නැත.
මණ්ඩපය

පිදුරංගල පබ්බත විහාරය පිළිබඳ අතීත වාර්තා


වර්තමානයේ පිදුරංගල ලෙසින් හැඳින්වෙන පර්වතය 1899 වසරේ සිය වාර්තාවේ H.C.P. බෙල් හඳුන්වන්නේ පිදුරා-ගල ලෙසිනි (පැරණි අඟලේ සිතියම් වල පවා පිදුරාගල ලෙසින් හැඳින්වෙන මෙම ප්‍රදේශයේ සහ පර්වතයේ නාමය මෑත කාලයකදි පිදුරංගල ලෙසින් වෙනස් වී ඇති බව පෙනේ.). පිදුරාගල පර්වතය මත තිබෙන ස්තූප නටබුන් ගැන මෙන්ම එහි එවකටත් ක්‍රියාකාරිව තිබූ "අලුත් විහාරය" සහ සැතපෙන පිළිමයක් සහිත "පැරණි විහාරය" ගැනද ඔහු කෙටි විස්තරයක් ඉදිරිපත් කරන මුත්, මෙම පබ්බත විහාරය ගැන කිසිවක් පවසන්නේ නැත. 1903 වසරේදී නැවතත් ඔහු සීගිරිය පර්වතයෙන් ඊසාන දෙසට වන්නට එහි ප්‍රාකාරයට පිටින් ඒ අසලම වාගේ පිදුරාගල ගමට යන මාර්ගයෙන් මදක් බටහිරට වන්නට වූ හුදකලා නටබුන් ගැන පවසමින්, පඩි කිහිපයක් නැගීමෙන් දකුණු දෙසින් ඇතුලු වීමට තිබූ කණු 36 ක් පමණ සහිත ගොඩනැගිල්ලක් ගැන පවසයි. එහි කණු සැලකිය යුතු ප්‍රමාණයක් ඒ වනවිටද නැති වී ඇති බව පවසන ඔහු එහි සිදු කරන කැනීමකින් පෙන 5 ක් සහිත ශෛලමය නාග රූපයක් සොයාගනී. දිවයිනේ වෙනත් ප්‍රදේශ වල මෙන් බොහෝදුරට එය මුලින් තිබෙන්නට ඇත්තේ සීගිරි වැවේ බිසෝකොටුව අසල විය යුතු බව පවසන බෙල් එම නාග රුව එහි බිසෝකොටුව අසල වැව් බැම්ම මත තැබූ බව පවසයි. ඒ වනවිටත් එය බොහෝසෙයින් ඛාදනය වී තිබූ බවද ඔහු සඳහන් කරයි. (පිදුරංගල පබ්බත විහාරය අසල ඇති කුඩා කෞතුකාගාරයේ තැන්පත් කර ඇත්තේ එම නාග රූපය විය යුතුය. ඉහත රූපය බලන්න.)  ඊට අමතරව එම ස්ථානයෙන්ම සිරිපතුල් ගලක්, වටකුරු පූජාසනයක් සහ පා දෝවන ගල් බේසමක්ද හමුවූ බව එම වාර්තාවේ වැඩිදුරටත් සඳහන් වේ.
පිළිම ගෙය
1950 වර්ෂයේදී "පිදුරාගල පන්සලේ" ගවේෂණයක යෙදෙන සෙනරත් පරණවිතාන මහතා එය සංඝාරාමයක නටබුන් හමුවන ස්ථානයක් ලෙසට හඳුනාගනී. ගඩොල් බැමි, ගල් කණු මෙන්ම දාගැබක් වැනි ගොඩැල්ලක්ද එහි හමුවන බව ඔහු වැඩිදුරටත් සඳහන් කරයි. 1951 වර්ෂයේදී පරණවිතාන මහතා එම ස්තූප ගොඩැල්ල මත තිබූ ගස් සහ සුන්බුන් ඉවත් කර එහි කැනීමක් සිදු කරයි. 

18 වන ශතවර්ෂයේ දැනට පවතින අලුත් විහාරය ඉදි කිරීමේදී මෙම ස්ථානයේ තිබූ ගල් කණු ආදිය පඩි පෙලවල් සහ වෙනත් ඉදිකිරීම් සඳහා රැගෙන යන්නට ඇති බව පරණවිතාන මහතා පවසයි. තවද වර්තමාන විහාරයේ ඇති බදාම යොදා පින්තාරු කර ඇති හුණුගල් හිටි පිළිම දෙක මෙම ස්ථානයේ වූ පිළිම ගෙයි මුලින් තිබෙන්නට ඇති බවටද එතුමා කරුණු දක්වයි. ස්තූපයේ තිබූ ගඩොල් අතර 8 වන සියවසට අයත් අක්ෂර වලින් වඩු ලකුණු යෙදූ ගඩොල් සැලකිය යුතු ප්‍රමාණයක් මෙන්ම ඒ වනවිටත් නිධන් සොයන්නන් විසින් විනාශ කර තිබූ ස්තූපයේ යූප ගලද ගොඩැල්ලේ පසෙක තිබී එතුමා හට හමුවේ. මෙහි ධාතු ගර්භයේ වහලය වෙනත් ස්තූප වල මෙන් ගඩොල් බැමි මත හරහට තබන ලද ගල් පුවරු වලින් නොව පේකඩ සහිතව ගඩොලින් කර තිබූ බවත්,නිදන් හොරුන් විසින් එය විනාශ කර එහි තිබූ බොහෝ දේ රැගෙන ගොස් ඇති මුත්, එහි තිබී හමුවන උස් කොතක් සහිත ස්තූපයක හැඩයෙන් යුත් තඹ ධාතු කරඬුවක කොටස්  ආධාරයෙන් පරණවිතාන මහතා මෙම ස්තූපය ඉදි කල කාලය 8 වන සියවසට අයත් කල හැකි බවට හඳුනාගනී. එම කාලයට වඩා පැරණි යුගයකට අයත් බෙහෙවින් ඛාදනය වූ රෝම කාසියක් සහ සතැරස් තඹ පුරාණ කාසියක් ඊට අමතරව එහි තිබී හමුවේ. තවද මෙම කැනීමේදී ධාතු ගර්භයේ බටහිර බිත්තියේ කුහරයක තිබී කැබලි වූ කිරි ගරුඩ ඵලක තුනක් හමුවේ. ඉන් එකක බුද්ධ රූප තුනක්ද, අනෙක් ඵලකයේ බෝධිසත්ව රූප දෙකක්ද මතු කර ඇත. ඉන් එක් බෝධිසත්ව රූපයක් බොහෝවිට මෛත්‍රී බෝධිසත්වයන් විය හැකි බවද පරණවිතාන මහතා පවසයි. තුන්වන ඵලකයේ බුද්ධ චරිතයේ කිසියම් අවස්තාවක් නිරූපනය වන බවත් කැබලි කිහිපයක් පමණක් හමුවූ බැවින් කුමන අවස්තාවක්ද යන්න නිසැකවම පැවසිය නොහැකි බවත් එතුමා සඳහන් කරයි (* පහතින් ඇති පාද සටහන බලන්න). එම කිරිගරුඬ පාෂාණ අමරාවති සහ නාගර්ජුනකොණ්ඩ කැටයම් සඳහා යොදා ගත් වර්ගයේ ඒවා බවත් එනයින් එම පාෂාණ ආන්ද්‍රා පෙදෙසින් මෙරටට ගෙනාවා විය හැකි බවත්  සඳහන් කරන පරණවිතාන මහතා නමුත් බුද්ධ රූප සහ විශේෂයෙන්ම බෝධිසත්ව රූප මෙරටට ආවේනික ලක්ෂණ පිළිබිඹු කරන බවද සඳහන් කරයි. ශෛලිය අනුව ඒවා 4-5 ශතවර්ෂ වලට අයත් බවය පරණවිතාන මහතාගේ මතය. කිසියම් සුදු කුඩක් මිශ්‍ර මැටි පිරුණු මුට්ටියක්ද මෙම ධාතු ගර්භයේ තිබී හමුවේ. ගඩොල් කැබලි පිරී තිබූ තවත් ධාතු ගර්භයක්ද මෙම ධාතු ගර්භයට යටින් තිබී ඇති අතර පරණවිතාන මහතා අදහස් කරන්නේ එම ධාතු ගර්භය කලින් මෙම ස්තූපය කුඩා ස්තූපයක්ව තිබූ අවදියේ තිබූ ධාතු ගර්භය බවත් ස්තූපය විශාල කිරීමේදි එහි තිබූ පූජා භාණ්ඩ ආදිය එයට උඩින් තැනූ නව ධාතු ගර්භයට ගෙන යන්නට ඇති බවත්ය. පිහිටි පොළොව දක්වාම කැනීම සිදු කිරීමේදි අඟුරු හමුවූ බවත් පොළොවද පිලිස්සි ඇති ලකුණු තිබූ බවත් එනයින් මුල් ස්තූපය කිසියම් ආදාහනයක් සිදු කල ස්ථානයක ඉදි කරන්නට ඇති බවත් ඔහු වැඩි දුරටත් සඳහන් කරයි. මුල් දාගැබේ යොදා ගත් ගඩොල් සීගිරියේ ඉදිකිරීම් වල ගඩොල් වල ප්‍රමාණයම සේ වූ බැවින් මුල් ස්තූපය එම කාලයට අයත් කල හැකි බවත් බොහෝවිට මුල් ධාතු ගර්භයේ තිබූ කාසි සහ ඵලක විය හැකි ඉහත කාසි සහ ඵලක හමුවීම එම අනුමාණය තවත් තහවුරු කරන බවත් පරණවිතාන මහතා සඳහන් කරයි. මේ සාධක මත පරණවිතාන මහතා නිගමනය කරන්නේ මේ පළමුවන කාශ්‍යප රජුගේ [පො. ව.  473-491] ආදාහනය සිදු කල ස්ථානය ලෙසටය. සංරක්ෂණය කල ස්තූපයේ ඡායාරූපයක් 1952 වර්ෂය සඳහා වූ පුරාවිද්‍යා කොමසාරිස් තැනගේ පාලන වාර්තාවේ දක්වා ඇත.

* මෙම ඵලක අතරින් බුද්ධ රූප තුන සහිත ඵලකය ගෞතම බුදුන්ට පෙර සිටි බුදුවරුන් පස් දෙනා නිරූපනණය කරන කැටයමක් බවත්, කැඩී ඇති එහි ඉතිරි බුද්ධ රූප දෙක අස්ථාන ගත වී ඇති බවත් ඔස්මන්ඩ් බෝපේආරච්චි මහතා සඳහන් කරයි. බෝධිසත්ව රූප සහිත ඵලකයේ වම්පස නිරූපනය වන්නේ අවලෝකතේශ්වර බෝධිසත්වයන් සහ දකුණු පසින් ඇත්තේ මෛත්‍රී බෝධිසත්වයන් බවත් පවසන U. von Schroeder මහතා මෙම ඵලක සියල්ල පොදු වර්ෂ 5 වන සියවසේ අවසානයට කාල නීර්ණය කරයි. එය එසේ වන්නේ නම් මෙරට හමුවන පැරණිම මහායාන බෝධිසත්ව රූප ලෙස මෙම ඵලක වල දැක්වෙන බෝධිසත්ව රූප හඳුනාගත හැක.පරණවිතාන මහතාට නිසැක ලෙසින් හඳුනා ගැනීමට නොහැකි වූ ඵලකයේ ඇත්තේ බුදුන් ශ්‍රාවස්තියේදී සිදු කල "යමක ප්‍රාතිහාර්යය" නිරූපණයක් බව U. von Schroeder  සහ ඔස්මන්ඩ් බෝපේආරච්චි හඳුනාගනී. මෙම සියලු ඵලක ඔස්මන්ඩ් බෝපේආරච්චි මහතා හඳුනාගන්නේ ආන්ද්‍රා ප්‍රදේශයේ ශිල්පීන් එරට තුලදී කැටයම් කර මෙරටට ගෙනා හෝ එම ප්‍රදේශයේ සිට මෙරටට ගෙනා දෘඩ හුණුගල් මත මෙරට සිටි ආන්ද්‍රා ශිල්පීන් කැටයම් කල නිර්මාණ ලෙසින්ය.

බෝධිඝරය

මෑතකදි කල කැනීම් වලින් හෙලිවූ තොරතුරු
මෙම පබ්බත විහාර පරිශ්‍රයේ නැවතත් කැනීම් සහ සංරක්ෂණය කිරීම් 80 දශකයේ අවසාන භාගයේ සිට 2005 වර්ෂය දක්වා පමණ සිදු කර ඇත. මෙහි බෝධිඝරයේ සිදු කල කැනීමේදී ගඩොල්, උළු කැට සහ යකඩ ඇණ හමුවී ඇති බැවින් බෝධිය වටා දැවමය කණු මත කරන ලද උළු සෙවිලි කල වහලයක් තිබූ බවට අනුමාණ කෙරේ. එම පියැස්සට ආධාර වශයෙන් යොදා ගත් ගල් කණු කිහිපයක්ද තවමත් මෙහි ඉතිරි වී ඇත. උපෝසථඝරයේ ඇති ඇතැම් විශාල කණු වල සිදුරු විද ඇත්තේ (මේ සමඟ ඇති වීඩියෝව බලන්න.) ඒවා ශිලාමය පුවරු උපයෝගී කරගනිමින් එකිනෙකට සම්බන්ද කිරීමට බව එහි සිදු කල කැනීමකින් හෙලිවී ඇත. මණ්ඩපයේ කල කැනීමකින් හෙලිවී ඇති අයුරින් මුල් අවස්තාවේ ඉදි කල ගොඩනැගිල්ල බිඳ වැටීමෙන් පසු නැවත එය  ප්‍රතිසංස්කරණය කර ඇත. මෙම මණ්ඩපයේ කල කැනීම් වලින්ද  උළු කැට සහ යකඩ ඇණ බහුලව හමුවී ඇති බැවින් මෙහිද දැවමය පියැස්සක් තිබී ඇති බව පැහැදිලි වේ. කැනීමේදි එතරම් ගඩොල් ප්‍රමාණයක් හමු නොවීම නිසා මණ්ඩපයේ බිත්ති වහල මට්ටම දක්වා නොතිබූ බවට උපකල්පනය කර ඇත. 
පිළිම ගෙය

මූලාශ්‍ර

  • ක්‍රිස්තු වර්ෂ 4, 5, 6, 7 සියවස්හි ලක්දිව සෙල්ලිපි ඇසුරින් සකස් කරන ලද දත්ත, ආචාර්ය බෙනිල් ප්‍රියංක, 2019
  • Sigiriya, city, palace, gardens, monasteries paintings, Senake Bandaranayaka, 2013

  • Sigiriya & Beyond To Dambulla, Habarana, Kekirawa, Galewela. 2016
  • ශ්‍රී ලංකාවේ පැරණි බෞද්ධ සංඝාරාම, ප්‍රිශාන්ත ගුණවර්ධන, 2010
  • ලක්දිව පැරණි සෙල්ලිපිවල බහුලව හමුවන මෙත්ක් නොවිසඳුණ වදන් දෙකක්: වහරල සහ මතෙර මජිබක නව සාධක ඇසුරෙන්, ආචාර්ය බෙනිල් ප්‍රියංක, 2012
  • Archaeological survey of Ceylon Epigraphia Zeylanica, being lithic and other inscriptions of Ceylon, Special Volume, Volume VII, Edited by Saddhamangala KArunaratne 1984
  • Archaeological Survey Department, Inscriptions of Ceylon Vol 2 Part 2 , By S. Paranavitana, Editor Malani Dias, 2001
  • අතීත අභිමන හෙටටත් ඓතිහාසික පිදුරංගල, අයි. ඩී . එම්. විජේබණ්ඩාර, 2011
  • ශීලා ලේඛන සංග්‍රහය - 1, මැද උයන්ගොඩ විමලකිත්ති හිමි, තෙවන මුද්‍රණය, 2004
  • ශ්‍රී ලංකා පුරාවිද්‍යා සංහිතා, වෙළුම 3, 2008
  • Archaeological Guide to Sigiriya, Raja de Silva, 2004
  • Archaeological survey of Ceylon Epigraphia Zeylanica, being lithic and other inscriptions of Sri Lanka, Vol. VI Part 2, Edited by Jayanta Uduwara, 1991
  • ඉසුරුමුණිය හා වෙනත් ලිපි, ඉෂංඛ මල්සිරි, 2013
  • Epigraphical Notes, Nos 1-18, Malani Dias, 1991
  • Environment, Town, Village And Monastic Planning, Roland Silva, 2006
  • බුද්ධ ප්‍රතිමාගෘහයේ අවකාශීය සංවිධානය (අනුරාධපුර සහ පොළොන්නරු යුග ඇසුරෙන්), ආචාර්ය දනන්ජය ගමලත්, 2016
  • ශ්‍රී සුමංගල ශබ්දකොෂය - වැලිවිටියේ සෝරත හිමි, 1999.
  • Archaeological Survey of Ceylon, North-Central and Central Provinces, Annual Report, 1899, H.C.P. Bell, 1904
  • Archaeological Survey of Ceylon, North-Central and Central Provinces, Annual Report, 1903, H.C.P. Bell, 1908
  • Report on the Archaeological Survey of Ceylon for 1950. Dr. S. Paranavitana, 1951
  • Report of the Archaeological Survey of Ceylon for 1951. Dr. S. Paranavitana, 1952
  • Report of the Archaeological Survey of Ceylon for 1951. Dr. S. Paranavitana, 1953
  • Roots of Sri Lankan Art, Osmund Bopearachchi, 2020
  • Bibliotheca zeylanica series 1, Manjusri Vastuvidyasastra, M.H.F. Jayasuriya, Leelananda Prematilleke, Roland Silva, 1995

Tuesday, November 8, 2022

කළුන්නරු බිම්හි සීගිරි අමුණ බද මාපාගල සහ සීගිරි මහ වැවේ පතුලේ ඉදිවූ සීගිරිය ගම


 මීට පෙර විස්තර ඉදිරිපත් කල රාමකැලේ නටබුන් ප්‍රදේශයට තරමක් නුදුරින් ඉනාමළුව- සීගිරිය මාර්ගයේ දකුණු පස එකිනෙකට ආසන්නව පිහිටි විශාල ගල් කුට්ටි ආධාරයෙන් තැනූ ගල් බැමි සහිත මෙම පර්වත මුදුන් දෙක පොදු ව්‍යවහාරයේ මාපාගල ලෙසින් හැඳින්වේ. ජනප්‍රිය මතය නම් කාශ්‍යප රජු (පො. ව. 473-491) සීගිරිය පර්වතය මුදුනේ සිය මාළිගය තනා ගෙන රාජ්‍යය විචාරන අවදියේ ඔහුගේ යුව රජු හෙවත් මහාදිපාද හෙවත් මාපා සීගිරි පර්වතයට දකුණින් වූ මේ පර්වතය මත වූ සිය මාළිගයේ විසූ බවය.

මාපාගල නටබුන් දැක්වෙන කෙටි වීඩියෝව >>


මාපාගල මතට එහි උතුරු කොටසෙන් පිවිසෙන මාර්ගය
සීගිරිය මහ වැව ලෙසින් හැඳින්වෙන මෙම මාපාගලට නැගෙනහිර දෙසින් වූ වැවේ වැව් බැම්ම සීගිරිය පර්වතය සහ මෙම මාපාගල යා කරමින් තනා ඇත. අද වන විට "මහවැව" ලෙසින් හැඳින්වුවද කුඩා වැවක් බවට පත්වී ඇති "සීගිරිය මහ වැව" පෙර කල මාපාගල සිට තවදුරටත් දකුණු දිශාවට විහිදුනු, අදටත් එහි වැව් බැම්මේ නටබුන් සැතපුම් 5 ක් පමණ දුරකට කණ්ඩලම කඳු පන්තියේ ආසන්නතම කඳු දක්වා නිරිත දිශාවට හමුවන, විශාල වැවක ශේෂ වූ කොටසක් බව සොයාගෙන ඇත. ඇත්ත වශයෙන්ම අද සීගිරිය ගම පිහිටා ඇත්තේ එදා සීගිරිය මහා වැවේ පත්ලේ කීවොත් වඩාත් නිවැරදිය. පැරණි අඟලේ සිතියම් වල මෙම නටබුන් වූ සීගිරිය මහා වැවේ මිණුම් කටයුතු සිදු කල කාලය වන විට තිබූ වපසරිය පැහැදිලිව දක්වා ඇත. එකල සීගිරිය වැවේ ජලය මාපාගල පර්වත වල නැගෙනහිර අන්තය දක්වාම පැතිරි තිබී ඇත. පැරණි සීගිරි මහ වැවේ වාරි පද්ධතියේ වැඩිදුර විස්තර සඳහා මේ සමග ඇති සිතියම සහ එහි සටහන බලන්න.
මෙහි අංක දක්වා ඇති කොල පාට රවුම් වලින් පිලිවෙලින් 1) සීගීරිය පර්වතය, 2) රාමකැලේ ස්තූපය, 3) මාපාගල සහ 4) වර්තමාන සීගිරිය මහ වැව දැක්වේ. ඉහලින්ම තද නිල් පාටින් ඇත්තේ වර්තමාන වැවේ ජල වපසරිය වන අතර ඉන් දකුණට වන්නට වම්පස අදටත් යම් තරමක් අතරින් පතර ඉතිරි වී ඇති සීගිරිය මහ වැවේ එදා තිබුණු වැව් බැම්ම දැක්වේ. ලා නිල් පාටින් මතුකර ඇත්තේ එදා සීගිරි මහ වැවෙන් යටවුනු ප්‍රදේශය අඟලේ සිතියමේ ලකුණු කර ඇති ආකාරයයි. සීගිරි මහ වැවෙන් නැගෙනහිර දෙසට වන්නට වෑවල වැවේ සිට උතුරු දෙසට ජලය ගෙන ගිය පැරණි ඇල මාර්ගයක නටබුන් හමුවේ [සිතියමේ තද නිල් පාටින්]. එම ජලය ඇතැම් විට සීගිරිය වැවට එකතු උනා වන්නට පුළුවන. එසේ වූවා නම් මූලිකව සීගිරි ඔයෙන් පෝෂණය වන සීගිරිය වැවට, වෑවල වැව පෝෂණය කරන කිරි ඔයෙන්ද අමතර ජල ප්‍රමාණයක් රැගෙන විත් ඇත. එම ඇල මාර්ගයට බටහිරෙන් තවත් ඇල මාර්ගයක සලකුණු තිබී ඇති අතර [සිතියමේ ලා නිල් පාටින්] එම බටහිර ඇල මාර්ගය නැගෙනහිර ඇල මාර්ගය සමග එකතු වූ සලකුණු හමු නොවේ [නැගෙනහිර ඇලට බටහිර දෙසින් වූ පෙදෙසේ එකතු වන ජලය -විශේෂයෙන්ම වැසි කාලයේ- නැගෙනහිර ඇලට විශාල වශයෙන් එකතු වී එහි බැමි විනාශ වී යෑම පාලනය උදෙසා මෙම බටහිර ඇල තැනුවා වන්නටද ඉඩ ඇත.] එම ඇල මාර්ගයෙන් එකතු වන ජලය පසුව ස්වභාවික දිය පාරක් ඔස්සේ පොල්ලත්තාව වැවට එක් වී, පොල්ලත්තාව වැව හරහා අවසානයේ සීගිරිය මහ වැවටම එක් වේ. මෙම සිතියමේ සීගිරිය වැවේ වැව් බැම්ම දකුණින් අවසන් වන ස්ථානයේ සිට වෑගොල්ල වැව දක්වා වූ පැරණි ඇල මාර්ගයක නටබුන් හමුවී ඇති අතර [අඟලේ සිතියම් වල එය ලකුණු කර නොමැත. ඒ වෙනුවට බොහෝදුරට එම ඇල මාර්ගයට අනුරූපව තිබූ අඩි පාරක් දක්වා ඇත. ඉහත සිතියමේ එම ඇල මාර්ගය කොළ පාටින් දක්වා ඇත.වෑගොල්ල වැවට තවත් එවන් පැරණි ඇල මාර්ගයක් ඔස්සේ [අඟලේ සිතියමේ Ancient irrigation channel ලෙසින් දක්වා ඇත.] මහා ගෝනා ඔය නිම්නයෙන් රැගෙන එන ජලය අවසානයේ එම ඇල මාර්ගය ඔස්සේ සීගිරිය මහ වැවට එක්වන්නට ඇති බව අනුමාණ කල හැක. අද වන විට මේ බොහෝ පැරණි වාර්මාර්ග නටබුන් ජනාවාස ඉදිවීම, ගොවිතැන් සඳහා ඩෝසර් කිරීම සහ එම ජනතාවගේ යටිතල පහසුකම් උදෙසා ඉදිවූ මාර්ග පමණක් නොව අලුතින් ඇතිවූ වැව් සහ ඇල මාර්ග නිසාද විනාශ වී ගොස්ය. උදාහරණයක් ලෙසට කායන්වල වැව ලෙසින් හැඳින්වෙන වැව අඟලේ සිතියමේ හමු නොවන අතර එය පසුව සීගිරි මහ වැවේ පැරණි බැම්මේ කොටසක්ද උපයෝගී කරගනිමින් අළුතින් තැනූ වැවක් බව පෙනේ.  ඉහත සිතියමේ කොටුවකින් දක්වා ඇති ප්‍රදේශයේ වර්තමාන Google සිතියම පහතින් දක්වා ඇත. එම කොටසේ Google Map විමසා බැලීමෙන්  මෙම කරුණු තවදුරටත් වටහාගත හැක.

මාපාගල මුදුනට දිස්වන වර්තමාන "සීගිරිය මහ වැව"
1908 වර්ෂයේදී මාපාගල පිළිබඳව ගවේෂණාත්මක විස්තරයක් ඉදිරිපත් කරන H.C.P. බෙල් අනුමාණ කරන්නේ මෙම ගල් බැමි "සීගිරි නුවර" පැවති 5 වන සියවසට වඩා පරණ විය නොහැකි බවය. උතුරු දිශාවට වන්නට පිහිටි විශාල පර්වත කොටස සහ එයට දකුණින් පිහිටි කුඩා පර්වත කොටස වෙන් කරන පටු දොරුව කෙතරම් පටුද යත් ඉතාමත් පහසුවෙන් ඒ දෙක යා කරන පාලමක්  ඉදි කල හැකි බව පවසන හෙතෙම, දකුණින් පිහිටි කුඩා පර්වතයේ මතුපිට සමතලා පෙදෙසේ මධ්‍යයට වන්නට ගල් බැම්මකින් වට වූ විශාල ගඩොල් ඉදිකිරීමක නටබුන් පවතින බව පවසයි. එහෙත් ඒ වනවිටත් එහි ඉතිරිව ඇත්තේ ගොඩනැගිල්ලේ හැඩරුව හෝ අරමුණ හඳුනාගැනීමටවත් නොහැකි තරම් අල්ප වු නශ්ඨාවශේෂ ප්‍රමාණයක් පමණක් බව ඔහු වැඩිදුරටත් සඳහන් කරයි.  එහෙත් එය කාමර, පෙත්මන් සහ ආලින්ද වලින් යුත් සීගිරියේ ශීත මාළිගා වල සේ භූමි සැලැස්මක් සහිත ඉඩකඩ සහිත ගොඩනැගිල්ලක් බවත්, කැනීම් මගින් එහි බිම සැමතැනකම පාහේ ගඩොල් අතුරා තිබූ බව පැහැදිලි වූ බවත් පවසයි. එහි දකුණු අන්තයේ පහලට වන්නට මළුවක් තිබූ බවටත් බෙල් හට සාධක හමුවේ. ඊට අමතරව කැනීමෙන් ඔහුට වෙනත් කිසිදු වැදගත් දෙයක් හමු නොවූ බවද බෙල් විශේෂයෙන්ම අවදාරනය කරයි.
පහල ගල් බැමි වලට ඉහලින් පිහිටි ගල් බැමි සහ ගල මතු පිට වූ කිසියම් ගොඩනැගිල්ලක කුළුණු පිහිටුවීමට ගලේ කපා ඇති සතැරස් සිදුරු
මාපාගල ගල් බැමි තැනීමට සීගිරියේ ගල් බැමි සඳහා යොදාගත් ගල් කුට්ටි වලට වඩා විශාල ගල් කුට්ටි යොදාගෙන ඇත. මාපාගල පර්වතය වටා කුඩා ගල් ගුහා 6 ක් පමණ හඳුනාගෙන ඇති අතර ඉන් ඇතැම් ගුහා වල කටාරම් දැකිය හැකි මුත් සෙල් ලිපි හමුවී නැත. බෙල් සඳහන් කරන දකුණින් වූ කුඩා පර්වතය මත පමණක් නොව උතුරු පර්වතය මතද ගඩොල් කැබැලි සහ නටබුන් වූ කුඩා ගල් වැටියක කොටස් හඳුනාගත හැක. එසේම කාල-රක්ත වර්ණ වලන් කැබලි, උළු කැබලි මෙන්ම විශාල වශයෙන් තිරිවාණ ගල් කැබැලි අතර පූර්ව ඓතිහාසික යුගයට අයත් ගල් ආයුදද මෙම පර්වත මත හමුවේ. මේ ආසන්නයේ වූ පෙතන්ගල ලෙසින් හැඳින්වෙන පර්වතය මතද කිසියම් ගොඩනැගිල්ලක් තිබූ බවට සාධක එහි ඉතිරි වී ඇති ගල් පාදමක නටබුන් මගින් හඳුනාගත හැක. තවද මේ සමග පලවන ඡායාරූප වල සහ වීඩියෝ දර්ශන වල දැක්වෙන ආකාරයට ගොඩනැගිලි වල කුළුණු රැඳවීම උදෙසා ගල් මතු පිට හෑරු සිදුරු තැන් කිහිපයකම හමුවේ.  බෙල් අනුමාන කල උතුරු - දකුණු පර්වත යා කල පාලමක සාධකද  80 දශකයේ මෙහි ගවේෂණයක යෙදුන පුරාවිද්‍යාඥයන් හට හමුවී ඇත.
මාපාගල උතුරු සීමාවේ පිහිටි විශාල ගල් කුට්ටි අනුසාරයෙන් තැනු ගල් බැම්මක කොටසක්
මාපාගල අවට ප්‍රදේශයෙන් හමුවූ ටැම් ලිපි කිහිපයක්ම ඇති අතර එම ලිපි වලින් හතරක් පිළිබඳව දීර්ඝ විස්තර කිරීමක් රාමකැලේ නටබුන් පිළිබඳව වූ ලිපියේ අඩංගු වූ අතර බෙල් හට 1897 දී හමු වූ එහි සැකෙවින් කරුණු දක්වූ අනෙත් ලිපියේද  සඳහන් වන්නේ කසුබ් මහපාණන් වහන්සේ විසින් සිදුකල අත්තාණි ප්‍රදානයක් සම්බන්දයෙනි. එම අත්තාණි ප්‍රදානය සිදු කර ඇත්තේද සිරිසඟ්බෝ නම් විරුදය සහිත රජෙකුගේ රාජ්‍යත්වයෙන් දෙවෙනි වර්ෂයේ දුරුතු මස පුර පක්ෂයේ සත් වෙනි දිනදීය. බෙල් මහතා මෙම සිරිසඟ්බෝ නම් රජු දෙවෙනි සේන රජු (පො. ව. 853-887) ලෙස වරදවා හඳුනාගන්නා මුත් මෙහි සඳහන් සිරිසඟ්බෝ  මපුර්මුකාද [මහා පරුමක එනම් මහ රජු] පෙර ලිපි පිහිටවූ කාලයේද රාජ්‍යය විචාල  සිව්වන කාශ්‍යප (පො. ව. 894-914) ලෙස සිරිමල් රණවල්ල මහතා නිවැරදිව හඳුනාගනි. මෙහි සඳහන් වන කසුබ් මහපාණන්ද පෙර ලිපියේ සඳහන් රාමකැලේ සහ මාපාගල මෙන්ම කිඹිස්ස ප්‍රදේශයෙන්ද හමුවූ ටැම් ලිපි හතරේම සඳහන් වන පසුව පස්වන කාශ්‍යප (පො. ව. 914-923) ලෙසින් රාජ්‍යත්වයට පත්වූ මාපා වරයා ලෙස හඳුනාගෙන ඇත. 
මාපාගල බටහිර සීමාවේ පිහිටි විශාල ගල් කුට්ටි අනුසාරයෙන් තැනු ගල් බැම්මක කොටසක්
කැබැලි කිහිපයක් ලෙසින් හමුවූ ඉහත ලිපියේ අකුරු බෙහෙවින් මැකී ගොස් ඇති මුත් මෙම ලිපියේම පිටපතක් ලෙස හඳුනාගත හැකි පොළොන්නරුව කිරිවෙහෙර ටැම් ලිපියේ සඳහන් වන ලෙසට රාජකීය ගෘහයට අයත් කළුන්නරු බිම්හි සිහිගිර අමුණ අසබඩ අමුණුදොර්-පලුදොර්දිග මහවතු බිම් ඇතුළුව නම අපැහැදිලි කිසියම් පිරිවෙනකට [මාපාගලින් හමුවූ ලිපියේ මෙන්ම පොළොන්නරුවේ කිරි වෙහෙරට යාර 50 ක් පමණ නැගෙනහිර දෙසින් හමුවූ ලිපියේද පිරිවෙනේ නම සඳහන් කොටස මැකී ඇත. එම පිරිවෙන බොහෝවිට පොළොන්නරුවේ කිරිවෙහෙර ස්තූපය පිහිටි විහාරයට අයත් පිරිවෙනක් විය හැක.]  අයත් 'හේන් බිම්' දොළහකට අදාල අත්තාණි ප්‍රදානයන් පිරිනැමීම මෙම අත්තාණි කුළුණු ලිපිය මගින් ප්‍රකාශයට පත් කර ඇත. කසුබ් මහාපාණන් වහන්සේ වදාළ හෙයින් අත්තාණි ප්‍රදානය සඳහා පැමිණි පුද්ගලයන් වන්නේ පඬිරද් සලයා ගේ නියමයෙන් මෙකාප්පර් සඟින් මිහින්ද් සහ කාමාදෑ කලියා ද, රක්සමණන් (Chief Guardian) වන අග්බෝයා ගේ නියමයෙන් කුඩසලා දෙව් යන තිදෙනාය. 
මාපාගල මතට දිස්වන එහි බටහිර දෙසින් වූ කායන්වල ප්‍රදේශය
මෙම ටැම් ලිපියට අනුව කුලී එකතු කරන්නන්, මෙලාස්සි බදු එකතු කරන්නන්, රද්කොල් කැමියන් (Officials attached to the royal households) දෙකම්තැන් (Officials of the two secretariats), දෙරුවන (Officials of the two treasuries) , මගිව සහ පියගිව නිලධාරීන් මෙම දොළොස් හේන් වලට ඇතුළු නොවිය යුතුය. තවද ගැල්, මීවුන් (Buffaloes) සහ වැරි (Domesticated elephants) මෙහෙයන් (Free service) සඳහා නොගෙනා යුතුය. හිදොළු (Palanquin bearers), මහසත් (Canopy bearers) සහ සොළී බෙර ගසන්නන් නොපැමිණිය යුතුය. (වෙනත් තැන් වල) මිනී මරා මේ බිම් වලට පැමිනෙන්නන් අත් අඩංගුවට ගැනීමට නිලධාරින් නොපැමිණිය යුතුය. මෙම නියමයන් කඩකරන්නන් කවුඩු [කපුටු], ගෙරි[ගව] සහ බලු වෙත්වා ලෙසින් ලිපිය අවසන් වේ. 
මාපාගල මතට සීගිරිය පර්වතය දිස්වන ආකාරය
අක්ෂර වල හැඩයන්ට අනුව 9-10 සියවස් වලට කාල නිර්ණය කල හැකි තවත් කැබලි වූ පුවරු ලිපියක් මාපාගල අවටින් හමුවී ඇති අතර එය කුමන රජකෙනෙකුගේ කාලයට අයත්ද යන්න එම කොටසේ අකුරු මැකී ඇති හෙයින් හඳුනාගත නොහැක.
මාපාගල මතට සීගිරිය පර්වතය දිස්වන ආකාරය
මෙම උතුරු පර්වතය මුදුනේ ස්ථාන දෙකක සිදු කල පරික්ෂණ කැනීම් වලවල් මගින් පූර්ව ඓතිහාසික යුගයන්ට අයත් ක්ෂුද්‍ර ගල් ආයුධ (Microlithic implements belonging to the Mesolithic culture), මූල ඓතිහාසික අවදියට (Protohistoric) අයත් කාල රක්ත වර්ණ වලන් කැබැලි (Black-and-Red Ware pottery) මෙන්ම සුළු වශයෙන් ඓතිහාසික යුගයන්ට අයත් අවශේෂද හමුවී ඇත. මාපාගල දකුණු පර්වතයට දකුණින් වැව් බැම්මේ කල වෙනත් කැනීමක් මගින් පැහැදිලිවී ඇත්තේ වැව් බැම්ම තැනීමට පෙර කාලයකදී මාපාගල ගල් බැමි තනා ඇති බවය (ගල් බැමි ඉදිකල කාලය පොදු වර්ෂ 306-517 කාලයෙන් පසුව සහ පොදු වර්ෂ 432-550 කාලයට පෙර විය යුතු බවට මෙම කැනීම් මගින් අනාවරණය කරගෙන ඇත.) මාපාගල අවට විශේෂයෙන් එහි බටහිරදෙසට වන්නට යබොර කොටස්ද බහුලව හමුවන හෙයින් යකඩ කර්මාන්තයද මේ අවට සිදුවූ බවට පැහැදිලි වේ. මාපාගල පාමුල එහි බටහිර කොටසේ 80 දශකයේ සිදු කල කැනීමකදී උළු කැබලි හමුවීම නිසා මෙම ගල් බැමි මත වහලයක් සහිත කිසියම් ගොඩනැගිල්ලක් තිබෙන්නට ඇති බවටද පුරාවිද්‍යාඥයන් අනුමාණ කරයි. මෙම උළු කැබැලි හමුවන පාෂාණ ස්ථරයේ වැඩි වශයෙන් රක්ත වර්ණ වලන් (Red Ware pottery) කැබැලි සහ අඩුවෙන් කාල-රක්ත වර්ණ වලන් කැබැලි හමුවන අතර කාබන් කාල නිර්ණය මගින් එම යුගය කාශ්‍යප අවදියට (5 වන සියවස) කාල නිර්ණය කර ඇත. මෙම යුගයෙන් පසුව කිසියම් කාලයක් මෙම ප්‍රදේශයේ මානව ක්‍රියාකාරකම් සිදු නොවූ බවක් පෙනී යන අතර නැවත අවම වශයෙන් 10 වන සියවසේ පමණ යලි ගල් බැමි පිලිසකර කල බවක් හඳුනාගෙන ඇත. නැවතත් ගල් බැමි විනාශ කල බවක් කැනීමේදි ප්‍රධාන බැම්මෙන් පහලට වැටුන ගල් කුට්ටි මගින් පෙනී යන අතර ඉන් පසු කාලයේ ජනාවාසකරණයකට වඩා සංඝාරාමයකට අයත් අවශේෂ හමුවී ඇත. 
ගල මතු පිට වූ කිසියම් ගොඩනැගිල්ලක කුළුණු පිහිටුවීමට ගලේ කපා ඇති සතැරස් සිදුරු
මෙම සියළු කරුණු එක්ව ගත් කල මාපාගල පූර්ව ඓතිහාසික යුගයේ සිටම මානව ක්‍රියාකාරකම් පැවැති පෙදෙසක් බව අවබෝධ වේ. ඓතිහාසික යුගයේ ගල් බැමි තැනීම සහ මුල්ම මානව ක්‍රියාකාරකම් තුන් වන සියවසේ සිට පස්වන සියවසේ පසු භාගය දක්වා පමණ සිදුවූ බව පෙනී යයි. එය බලකොටුවක් ලෙසද නැතිනම් මාපාවරයෙකුගේ හෝ කිසියම් වෙනත් එවන් ප්‍රභූ වරයෙකුගේ මාළිගයක් ලෙසින්ද යන්න පැහැදිලි නැත. 9 වන සියවසේ අග භාගයට සහ 10 වන සියවසේ මුල් භාගයට අයත් සිව්වන කාශ්‍යප රජුගේ කාලයේ ඔහුගේ මාපාවරයා ලෙසින් සිටි කසුබ් මහපාණන් මහානාග පබ්බත විහාරයට අයත් ඉඩම් සඳහා පිරිනැමූ අත්තාණි ප්‍රදානයක් දැක්වෙන ටැම් ලිපි සහ ඔහුම සිදු  කල වෙනත් අත්තාණි ප්‍රදානයක් පිළිබඳව ලිපියක් මේ අවටින් හමුවන හෙයින් අවම වශයෙන් ඔහුගේ මාළිගය මෙහි තිබූ බවට යමෙකුට තර්ක කල හැක. එහෙත් ඔහු එම අත්තාණි ප්‍රදානය සිදු කරන්නේ මේ අසලම වූ මහානාග පබ්බත විහාරයට හෙයින් එම ටැම් ලිපිය එම විහාරයට අයත් භූමියේ පිහිටවීමට වැඩි ඉඩක් ඇති බව සැලකිය යුතුය. එනයින් මාපාගල අවට ප්‍රදේශය සහ ඇතැම් විට ඒ මත පිහිටි ගොඩනැගිලිද එම මහානාපව් වෙහෙරටම අයත් වූවා විය හැක. අනෙක් අතට ඔහු විසින් සිදුකල කිසියම් වෙනත් විහාරයකට වීමට බොහෝදුරට ඉඩ ඇති අත්තාණි ප්‍රදානයක් පිළිබඳව ටැම් ලිපියක් මේ අවටින් හමුවේ. එම ලිපියේම පිටපතක් පොළොන්නරුවේ කිරි වෙහෙර අසබඩ තැනක හමුවන හෙයින් දැනට කිරිවෙහෙර ලෙසින් හැඳින්වෙන විහාරයේ එවක වූ පිරිවෙනකට අයත් මෙම ප්‍රදේශයේ පැවති හේන් බිම් සඳහා එම අත්තාණි ප්‍රදානය පිරිනැමූ බව පෙනේ. ඒ ලිපියේ අන්තර්ගතය අනුව පෙනී යන්නේ රාජකීය ගෘහයට අයත් කළුන්නරු බිම්හී සීගිරි අමුණ අසබඩ හේන් බිම් වලටද එම ප්‍රදානය වලංගු බවය. එම බිම් ඒ වන විට අදාල විහාරයට අයත්ද යන්න ලිපියේ පැහැදිලිව සඳහන් නොවේ. කෙසේ නමුත් මෙහි කළුන්නරු බිම්හී සීගිරි අමුණ ලෙසින් හැඳින්වෙන්නේ අප ඉහතින් විස්තර කල සීගිරිය මහ වැවේ බැම්ම ලෙස අනුමාණ කල හැක. ඒ අසබඩ වූ බිම් මෙම මාපාගල අවට සහ රාම කැලේ ප්‍රදේශයේ ඉඩම්ය. රාජකීය ගෘයට අයත් ඉඩම් වූවේ මාපාගල සහ ඒ අවට ඉඩම් නම් මාපාගල මත රාජකීය ගෘහයක් තිබුනා විය නොහැකිද? එය අනිවාර්යයෙන්ම මාපා වරයාට අයත් විය යුතුද නැත. අනික් අතට බෙල් සඳහන් කරන මාපාගල මත පිහිටි ගොඩනැගිල්ලේ භූමි සැලැස්ම සීගිරියේ ශීත මාළිගා ලෙසින් හඳුනාගන්නා ගොඩනැගිලි වල භූමි සැලැස්මට සමාන වූයේ නම් එම ගොඩනැගිල්ල ඇතැම් විට පළමුවන කාශ්‍යප අවදියේ ඔහුගේ තවත් එක් ශීත මාළිගයක් ලෙසට පැවතියේද? කැනීම් මගින් හෙලිවී ඇත්තේ 10 වන සියවසෙන් පසුව නිශ්චිතවම කාලය නිර්ණය කර නොමැති අවදියකදි මාපාගල පාමුල ප්‍රදේශයේ සංඝාරමයකට අයත් අවශේෂ හමුවන බවය. එසේ නම් පසුව නැවතත් සියවස් ගණනකට අතහැර දැමීමට පොරොතුව මාපාගල සංඝයා හට අයත්ව තිබූ බවටද අනුමාණ කල හැක. ඉදිරි කාලයේ මෙම මාපාගල පරිශ්‍රය සහ ඒ අවට ප්‍රදේශයේ සිදුවන පුරාවිදු පර්යේෂණ මගින් පමණක් මේ පිළිබඳව ඇතැම්විට තව බොහෝ කරුණු හෙළිකර ගැනීමට හැකි වනු ඇත.
පහල ගල් බැමි වලට ඉහලින් බටහිර දෙසට වන්නට පිහිටි ගල් බැමි

 
මූලාශ්‍ර
  • Archaeological Survey of Ceylon, North-central and Central Provinces, Annual Report. 1908, H.C.P. Bell.
  • Further studies in the settlement archaeology of the Sigiriya-Dambulla region, Senake Bandaranayaka & Mats Mogren et.all, 1994
  • Archaeological Survey of Ceylon, Inscriptions of Ceylon Vol 5 Part 3 , Sirimal Ranawella, 2005
  • Archaeological Survey of Ceylon, Inscriptions of Ceylon Vol 5 Part 1 , Sirimal Ranawella, 2001
  • Archaeological Survey of Ceylon, Epigraphia Zeylanica being Lithic and other inscriptions of Ceylon, Edited by S. Paranavitana, C.E Godakumbura Vol 5 , Part 2, 1963  
  • Sigiriya & Beyond To Dambulla, Habarana, Kekirawa, Galewela. 2016








Thursday, November 3, 2022

රාම කැලේ පිහිටි පස්මහ වැරදි කර යා හැකි/නොහැකි මහනාපවු වෙහෙර

 දඹුල්ල-හබරන A6 මාර්ගයේ හමුවන ඉනාමළුව හන්දියේ සිට සීගිරිය දෙසට විහිදෙන ඉනාමළුව- සීගීරිය මාර්ගයේ සීගිරිය පර්වතය දෙසට නොයා කිඹිස්ස කඩමණ්ඩියද පසු කර මද දුරක් යෑමේදී, පාරේ දකුණු පස පාරට තරමක් ඈතින් දිස්වන කුඩා දාගැබ කෙරෙහි දිනපතා සීගිරිය නැරඹීමට පැමිණෙන සංචාරකයන් බහුතරයකගේ එතරම් අවදානයක් යොමු නොවේ. මෙහි පහත විස්තර වන ලෙසට බ්‍රිතාන්‍ය පාලන යුගයේ සිටි එක් පුරාවිද්‍යා කොමසාරිස්වරයෙකු විසින් මාර්ගයේ සිට මෙම ස්තූපය දක්වා ඇති වනාන්තරය එලි පෙහෙලි කිරීම සිදු නොවන්නට අදටත් එය ඒ අවට ඇති අනෙකුත් ගොඩනැගිලි අවශේෂ ලෙසින්ම අලි ඇතුන්, ඌරන් වැනි අපා දෙපා, සිව්පා සතුන් ගහණ වනාන්තරයේ  සැඟවී තිබෙන්නට බොහෝසෙයින්ම ඉඩ ඇත. හතරවන සියවසේ පමණ ඉදිකරන්නට ඇතැයි සැලකෙන පබ්බත විහාරයක් ලෙසින් හඳුනා ගත හැකි මහානාපව් වෙහෙර ලෙසින් හැඳින්වූ ලොකු කුඩා ගොඩනැගිලි සියයකට වඩා වැඩි ප්‍රමාණයකින් සමන්විත භික්ෂූන් 300 කට අධික ප්‍රමාණයක් වාසය කරන්නට ඇතැයි සැලකෙන එම විහාරය වර්තමානයේ රාම කැලේ ලෙසින් හැඳින්වෙන වනාන්තරයෙන් වැසුන පුරාවිද්‍යා රක්ෂිතයකි. මෙම ලිපිය ප්‍රථම පුරාවිද්‍යා කොමසාරිස් H.C.P. බෙල්ගේ සිට වර්තමානය දක්වා මෙම පබ්බත විහාර පරිශ්‍රයේ ඉතිහාසය සහ පුරාවිද්‍යාත්මක වටිනාකම පිළිබඳව සොයාගත් කරුණු සම්පිණ්ඩනය කිරීමට ගන්නා උත්සාහයකි. 

රාම කැලේ නටබුන් දැක්වෙන කෙටි වීඩියෝව >> 

"සීගිරිය - ඉනාමළුව පාරෙන් දකුණට වන්නට පිහිටි හුදකලා ආරාමයෙන් බටහිරට වන්නට අමතර නටබුන් කිහිපයක් සොයාගැනීමට හැකිවිය. බොහෝදුරට අවට වනාන්තරයේ තවත් බොහෝ නටබුන් තිබිය හැකි අතර ඒ සියල්ල එකම සංඝාරාමයක කොටස් විය හැක. ඒ අවට ස්ථානයකින් මහනා-පව් වෙහෙරට සම්බන්ද 10 වන ශතවර්ෂයට අයත් අකුරු කෙටූ කොට ගල් කණුවක්ද සොයා ගත හැකිවිය". - H.C.P. බෙල්, සිංහලේ පුරාවිද්‍යා ගවේශන පිළිබඳව වූ  වාර්ෂික වාර්තාව, 1899 [Archaeological Survey of Ceylon -Annual Report, 1899]. බෙල් මහතා වැඩි දුරටත් සඳහන් කරන්නේ එම ලිපිය සහිත ගල් ටැඹ සහ තවත් පෙර වාර්තාවක සඳහන් කල දෙවන සේන රජුට අයත් ටැම් ලිපියක් සීගිරියේ තානායමට රැගෙන ගොස් එහි සිටවූ බවයි* (එම දෙවන ටැම් ලිපිය මෙම ස්ථානයට නුදුරින් වූ මාපාගල අසලින් සොයා ගත් බව 1897 සිංහලේ පුරාවිද්‍යා ගවේශන පිළිබඳව වූ  වාර්ෂික වාර්තාවේ සඳහන් වේ.)

* පසුව 1967-68 වර්ෂ සඳහා වූ පුරාවිද්‍යා කොමසාරිස් තැනගේ පාලන වාර්තාවේ සඳහන් වන්නේ සීගිරියේ තානායම ඉදිරිපස තිබූ ටැම් ලිපි සහිත කණු දෙක කටුගේ ගොඩනැගිල්ලේ මැද මිදුලේ සිටවූ බවය. 

ස්තූපය

ඔහුගේම 1911-12 වර්ෂයන් සඳහා වූ වාර්තාවේ නැවතත් එම ටැම් ලිපිය සම්බන්දයෙන් විස්තර හමුවේ. ඉහලින් 'කලස' සහිත කොටස බිඳී ගිය සතැරස් ටැම් ලිපිය "ඉනාමළුව පාරේ කැනීම් සිදු කල දාගැබ සහ විහාරය සහිත ආරාමයට අයත් නටබුන්" සහ සීගිරිය කුඩා-ඇල අතර ප්‍රදේශයේදි හමුවූ බැවින් එය එම ආරාමයටම ඇතැම් විට අයත් විය හැකි බව බෙල් අනුමාන කරයි. එම වාර්තාවේ ඔහු එහි පෙළ සිංහල අකුරින් දක්වා එහි ඉංග්‍රීසි පරිවර්තනයක්ද ඉදිරිපත් කරයි. 

ස්තූපයෙන් බටහිර දෙසට වන්නට වනාන්තරය තුල පිහිටි පොකුණක්

C.E. ගොඩකුඹුර මහතා Epigraphia Zeylanica  පස්වන වෙළුමේ තුන්වන කොටසේ මෙම ලිපිය නැවතත් කියවා පලකර ඇත. සිරිසඟ්බෝ විරුදය ලත් රජෙකුගේ පස් වන රාජ්‍ය වර්ෂයේ කස්බල් නම් මහපාණන් (එනම් යුව රජු හෙවත්, මහාදිපාද හෙවත් මාපා) විසින් මහනාපව් වෙහෙරට සිදු කල අත්තානි ප්‍රදානයක් පිළිබඳව මෙම ලිපියේ සඳහන් වේ. ගොඩකුඹුර මහතා මෙම කස්බල් නම් මාපා පසුව පොදු වර්ෂ 914 සිට 923 දක්වා රාජ්‍යත්වයට පත් වූ පස්වන කාශ්‍යප (සිංහල: කසුප්/කසුබ්) ලෙස හඳුනා ගනී. තවද අභසලමෙවන් නම් වූ විරුදය සහිතව පසුව රාජ්‍යත්වයට පත් වූ ඔහු මාපා වරයෙකු ලෙස සිටියේ සිරිසඟ්බෝ නම් විරුදය සහිතව පොදු වර්ෂ 898-914 කාලයේ රජ කල සිව්වන කාශ්‍යපගේ කාලයේ බව එතුමා වැඩිදුරටත් සඳහන් කරයි. එම ලිපියම නැවතත් සංස්කරණය කර Inscriptions of Ceylon පස්වන වෙළුමේ පළමුවන කොටසේ පළකරන සිරිමල් රණවැල්ල මහතාද එම හඳුනාගැනීම සමග එකඟ වේ. 

ස්තූපයෙන් බටහිර දෙසට වන්නට වනාන්තරය තුල පිහිටි  ශිලා පුවරුවක් සහිත ගොඩනැගිල්ලක නටබුන්. මෙම ගොඩනැගිල්ල පිළිබඳව මූලාශ්‍ර වල කරුණු සඳහන් නොවේ. බෝධිඝරයක් විය හැක

මෙම අත්තාණි ප්‍රදානය සිදු කර ඇති දිනය ලෙස ලිපියේ සඳහන් වන්නේ වෙසක් මස පුරපක්ෂයෙන් දසවන දිනය. එය පිහිටවූ වර්ෂය ලෙස සඳහන් වන්නේ සිව්වන කාශ්‍යප රජුගේ පස්වන රාජ්‍ය වර්ෂයේදි බැවින් එම දිනය වර්තමාන දින දර්ශනය අනුව පොදු වර්ෂ 903 අප්‍රියෙල් හෝ මැයි මාසයේ දිනයක් ලෙසින් හඳුනාගත හැක.   

ස්තූපයෙන් බටහිර දෙසට වන්නට වනාන්තරය තුල පිහිටි  ශිලා පුවරුවක් සහිත ගොඩනැගිල්ලක නටබුන්. මෙම ගොඩනැගිල්ල පිළිබඳව මූලාශ්‍ර වල කරුණු සඳහන් නොවේ. බෝධිඝරයක් විය හැක

මෙම ලිපියේ අපට වඩාත් වැදගත් වන කොටස නම් එය පිහිටවූ ස්ථානය ලෙස සඳහන් වන මහනාපව් වෙහෙරයි. එම වෙහෙරට අයත් භූමියේ බලපවත්නා යම් යම් මුක්තීන් සම්බන්දයෙන් ලිපියේ කරුණු දැක්වේ. ඒ අනුව පෙරෙනාට්ටුන් (Perenattu officials) එම භූමියට නොවැද්ද යුතුය, දුනුමඩිලන් (Members of the Archery unit) නොපැමිණිය යුතුය, දොළොස් මහවැව්, ඒවා කැඩී ගියා වුවද (ප්‍රතිශංස්කරණ කටයුතු සඳහා විය හැක) වැරියන්  (Tusk-less domesticated elephants) නොගෙනා යුතුය. එසේම එම වැව් වල වැව් පිටියට හෝ බැම්ම මතටද වැරියන් නොගත යුතුය. ගැල්, මීවුන් සහ ගම් ගොන් ද (Carts, buffaloes and village oxen) නොගත යුතුය,පස් මහ වැරදි කර වෙහෙරට පැමිණෙන පුද්ගලයන්ව එම පරිශ්‍රය තුලදි අත් අඩංගුවට නොගත යුතුය, හෙළ්කුලී, දෙමෙළ්කුලී නම් වූ බදු එකතු කරන්නන් ඇතුලු නොවිය යුතුය. මහනාපව් වෙහෙරට සිදුකල  අත්තාණි ප්‍රදානය සඳහන් කර කුළුණ පිහිටවූ ලිපියේ නම් සඳහන් පුද්ගලයන් තිදෙනා*  සඳහන් කරන මෙම නියෝග කඩ කරන පුද්ගලයන්ට දඩුවම් නොකරන කිසියම් වූ රද්දරු (Any royal prince) කෙනෙක් වෙතොත් ඔහු බලු හා කවුඩු [කපුටු] වෙත්වා ලෙසින් ලිපිය අවසන් වේ. 

* (කස්බල් මහපාණන් සහ එක්තැන් සමියෙන් [Supreme Council] වදාළ හෙයින් මහනාපව් වෙහෙරේ අත්තාණි කුළුණු පිහිටුවීමට පැමිණේන්නේ පඩිරද් සලයාගේ නියමයෙන් මෙකාප්පර් දම්නෑ බල්දෙව් සහ කැළිදෙව්කඩු කුමාන් කිත් ද, අරක්සැමි [Chief guardian] සහ මහලෙ [Chief Scribe] කොලොමු ලොකයාගේ නියමයෙන් කුඩසලා අග්බෝ ද යන තිදෙනාය)

මෙම ලිපියටම අඩු වැඩි වශයෙන් සමාන මහනාපව් වෙහෙරට ඉහත කී පුද්ගලයන් විසින්ම සිදු කල අත්තාණි ප්‍රදානය පිළිබඳව වූ තවත් ටැම් ලිපි දෙකක් රාමකැලේ සහ මාපාගල අතර ප්‍රදේශයෙන් හමුවී ඇත.

ස්තූපයට දකුණින් තරමක් වනාන්තරය තුලට වන්නට පිහිටි පබ්බත විහාරයේ උපෝසථඝරය ලෙස අනුමාන කරන ගොඩනැගිල්ල

ටැම් ලිපිය 1 -  දැනට සීගිරිය පුරාවිද්‍යා කෞතුකාගාරයේ සෙල් ලිපි දෙකක් ලෙසින් තබා තිබෙන මෙම ලිපිය කැබලි දෙකක් ලෙස බෙල් හට හමුවන්නේ මාපාගල ප්‍රදේශයේදීය. ඉහත ලිපියේ සඳහන් වන පස්මහ වැරදි කර වෙහෙරට පැමිණෙන පුද්ගලයන් අත් අඩංගුවට නොගත යුතුය යන්න මෙහි සඳහන් වන්නේ එවැන්නන් වෙහෙරේ පිරිවෙනට නොගත යුතු ලෙසින්ය. 

ටැම් ලිපිය 2 - 1991 වර්ෂයේදී මාපාගල අසල ප්‍රදේශයෙන් කැබැලි දෙකක් ලෙස හමුවී, දැනට සීගිරිය පුරාවිද්‍යා කෞතුකාගාරයේ තැන්පත් කර ඇත. අන්තර්ගතය අතින් ඉහත ලිපි දෙකේ අන්තර්ගතයට බොහෝසෙයින් සමාන වන අතර එම ලිපි දෙකටම වඩා අකුරු වලට අඩුවෙන් හානි වී ඇති බැවින් සම්පූර්ණ අදහසක් ගත හැක. ඉහත කරුණු වලට අමතරව මෙහි රට්ලදු මහමල් බැළයන් (Mercenary soldiers attached to the army unit of Mahamal ), කොල්පාට්ටින් (Lance-bearers), වෙල් බැදි (Agriculture officers), රට්ලදු සේවායන් (Soldiers employed under the Governors of Districts), ඇත් ගොව්, අස් ගොව්, වැරි, කුඩසලයන් (Attendants looking after domesticated elephants) මෙන්ම මගිව සහ පියගිව නිලධාරීන්ද මහනාපව් වෙහෙරට අයත් භූමියට නොපැමිණිය යුතු බව පවසයි.

ස්තූපයට දකුණින් තරමක් වනාන්තරය තුලට වන්නට පිහිටි පබ්බත විහාරයේ උපෝසථඝරය ලෙස අනුමාන කරන ගොඩනැගිල්ල

ටැම් ලිපිය 3 - තවද කිඹිස්ස ප්‍රදේශයෙන් හමුවී දැනට සීගිරිය පුරාවිද්‍යා කෞතුකාගාරයේ තබා තිබෙන කැබලි වූ ටැම් ලිපියක්ද ඉහත අත්තාණි ලිපි වලම පිටපතක් ලෙස හඳුනාගෙන ඇත. අඩු වැඩි වශයෙන් එහි අන්තර්ගතයද ඉහත ලිපි වලටම සමාන වන අතර මෙහිද පස්මහ වැරදි කලවුන් විහාරයේ පිරිවෙනට වැද්ද නොගත යුතු බව පවසයි. 

 උපෝසථඝරය ලෙස අනුමාන කරන ගොඩනැගිල්ලේ ප්‍රධාන පිවිසුම. එහි පියගැටපෙල කොරවක් ගල් සහ කඩා බිඳ දමා ඇති මුරගල්

බෙල් හට මාපාගල අවටින් හමුවන ටැම් ලිපි තුනම (ඉන් දෙකක මහනාපව් වෙහෙරට සිදු කල අත්තාණි ප්‍රදානය ගැන සඳහන්වේ.) හමුවන ප්‍රදේශය දැනට පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවට අයත් වාසස්ථාන සහ සංචාරක බංගලාව පිහිටි ප්‍රදේශය ලෙස ගොඩකුඹුර මහතා අනුමාණ කරයි. එම ප්‍රදේශය වර්තමාන රාමකැලේ නටබුන් සහිත ප්‍රදේශය සහ මාපාගල අතර පිහිටයි. ඒ අනුව දැනට රාමකැලේ ලෙසින් හැඳින්වෙන පැරණි ආරාමික සංකීර්ණය අවට ප්‍රදේශයෙන් හමුවී ඇති ඉහත අත්තාණි  ප්‍රදානයක් ගැන සඳහන් වන ටැම් ලිපි සතරකින්ම එම නටබුන් සහිත ආරාම සංකීර්ණය පැරණි මහනාපව් වෙහෙර  [පාළි: මහානාගපබ්බත විහාරය] ලෙසින් හඳුනාගත හැක.

මහාවංශයෙහි පළමුවන අග්ගබෝධි රජු (පො.ව. 571-604) පිළිබඳව සඳහන් කිරීමේදී ඔහු මහානාග රජුට (පො.ව. 569-571) පින් පිණිස ඔහුගේ නමින් විහාරයක් කරවූ බව කියැවේ. එය මහානාග පබ්බත විහාරයද යන්න පැහැදිලි නොවන මුත් එම සඳහනට පසුව එන ගාථාවකින් කියවෙන්නේ පළමුවන අග්ගබෝධි රජු මහානාග පබ්බතයේ සහ කාළවාපි විහාරයේ උපෝසථඝර කරවූ බවය. එම සඳහන බොහෝවිට මෙම මහනාපව් වෙහෙර නොහොත් මහානාග පබ්බත විහාරය පිළිබඳව විය හැක.

මීට අමතරව සීගිරි ගී දෙකකම මහනාපව් වෙහෙර ගැන කියැවේ. මහනාපවවෙහෙරැ වසන දළමෙය සහ මහනාපවුවෙහෙරැ දළමෙය් බත ලෙසින් ආරම්භ වන එම ගී දෙකම බොහෝවිට එකම පුද්ගලයකු විය හැකි එම වෙහෙරේ වසන දළමෙය හා දළමෙය් බත විසින් රචිත බව එම ගී වලම කියැවේ. 


ස්තූපයේ නැගෙනහිර පිවිසුම

රාමකැලේ නටබුන් ගොඩනැගිලි පබ්බත විහාරාරාමයක් ලෙස හඳුනාගෙන ඇත (පබ්බත විහාරරාම පිළිබඳව වැඩිදුර තොරතුරු සඳහා කියවන්න >> ) නමුත් වෙනත් පබ්බත විහාරාරාම වල හමුවන පූජණීය ගොඩනැගිලි හමුවන ප්‍රධාන සැලැස්ම හෙවත් ඇතුළු මළුව සහ වෙනත් ගොඩනැගිලි සහිත පිටමළුව මෙහි පැහැදිලිව ප්‍රාකාරයක් සහ දිය අගලක් මගින් වෙන් කර නැත. එසේම පරිශ්‍රයේ උතුරු දිශාවට වන්නට පිහිටි ස්තූපය සහ එයට දකුණින් පිහිටි උපෝසථඝරය හැරෙන්නට ප්‍රධාන සැලැස්මට අයත් වෙනත් ගොඩනැගිලි මෙහි මෙතෙක් හමුවී නොමැත (ඉහත ඡායාරූප වල දැක්වෙන විශාල ශෛලමය පුවරුවක් සහිතව හමුවන ගොඩනැගිල්ල බෝධිඝරය විය නොහැකිද?). ඊට අමතරව ප්‍රධාන නොවන සැලැස්මට අයත් විවිධ ප්‍රමාණයේ කුඩා ගොඩනැගිලි 127 ක නටබුන් ස්තූපයට දකුණු දෙසින් වනාන්තරය තුල සොයාගෙන ඇති අතර ඒවා විහාරාරාමයේ වැඩ විසූ භික්ෂූන්ගේ ආවාස ගොඩනැගිලි ලෙස හඳුනාගෙන ඇත. භෝජනශාලාවක් සහ වැසිකිලිද එකව ගත් කල මෙහි ගොඩනැගිලි 131 හඳුනාගත හැක. ඊට අමතරව ලොකු කුඩා පොකුණු කිහිපයක්ද ඇති අතර ඒවා එහි වැඩ වාසය කල භික්ෂූන් ගේ ජල අවශ්‍යතා සඳහා යොදාගන්නට ඇත. එම ලොකු කුඩා විවිධ ප්‍රමාණයන්ගෙන් යුක්ත ගොඩනැගිලි වල විශාලත්වයන් අනුසාරයෙන් මෙහි භික්ෂූන් 350 ක් පමණ වාසය කරන්නට ඇති බව මහාචාර්ය ප්‍රිශාන්ත ගුණවර්ධන මහතා අනුමාන කරයි.

සීගිරිය- ඉනාමළුව මාර්ගයේ සිට ස්තූපය දෙසට යාමේදී වම් පසින් දැකිය හැකි විශාල පොකුණ

මෙම පුරාවිද්‍යා පරිශ්‍රයේ පිහිටි සිව් දිසාවෙන්ම පඩි පෙලවල් සහිත ප්‍රවේශ සහිතව චතුරශ්‍රාකාර මළුවක් මත ඉදිකර ඇති  ස්තූපයෙහි H.C.P. බෙල් විසින් 1910 දී අර්ධ වශයෙන් කැනීමක් සිදු කර ඇත. එම කැනීමේදි ස්තූපයේ ධාතු ගර්භයේ හමුවූ මෑත රෝම අධිරාජ්‍ය යුගයට අයත් කාසි මගින් එය ඉදිකල කාලය පොදු වර්ෂ හතරවන සියවසට අයත්බවට අනුමාණ කල හැක. මෙහි එකක් මතු පිට එකක් ලෙස ධාතු ගර්භ තුනක් තිබී ඇති අතර ඉන් ඉහලින්ම පිහිටි ධාතු ගර්භය නිධන් හොරුන් විසින් සම්පූර්ණයෙන්ම විනාශ කර ඇත. දෙවෙනි ධාතු ගර්භයේ කුහර 25 ක යන්ත්‍ර ගලක් හමුවී ඇති අතර පහලින්ම පිහිටි ධාතු ගර්භයේ ගඩොලින් කල බිත්ති වල තිබූ කුහර වලින් තුනකම "අමරාවතී කිරිගරුඩ පාෂාණ" ඵලක වල මතු කල නාග රූප තිබී ඇත. එම ගර්භය මධ්‍යයේ කිරිගරුඬ පාෂාණයෙන්ම කල මහාමෙරු පර්වතයේ නිරූපණයක් ඩොලමයිට් පුවරුවක් මත තබා එය මතුපිට සිරිපතුල් ගලක් තබා තිබී ඇත.භාරතීය සංකල්ප වලට අනුව මහමේරුව යනු විශ්වයේ මධ්‍යය වන අතර මෙම ස්තූපයෙන් හමුවූ මහමේරු ගල වෙනත් මෙරට ස්තූප තුලදි හමුවූ මහමේරු ගල් වලට වඩා සුවිශේෂ කැටයම් වලින් යුක්ත විචිත්‍ර එකක් වේ. 

එවකට පුරාවිද්‍යා කොමසාරිස් ධූරය හෙබවූ A.H. Longhurst විසින් 1939 දී දාගැබ මත තිබූ සුන්බුන් මුලුමනින්ම ඉවත් කර එය සහ ප්‍රධාන මාර්ගය අතර තිබූ වන වැස්මද මුලුමනින්ම ඉවත් කර ඇත. 1947 දී පරණවිතාන මහතා සඳහන් කරන්නේ එම ක්‍රියාවලියෙන් පසු වසරක් ගතවීමටත් පෙර එය සම්පූර්ණයෙන්ම ශාක මගින් වැසී ගිය බවත්, කැනීමෙන් පසු සංරක්ෂණයක් සිදු නොකල හෙයින් මඩ බදාමයකින් බැඳ තිබූ ගඩොල්  ගරා වැටීමකට ලක්වී ඇති බවත්ය. ඔහු විසින් එම වර්ෂයේදී එම ශාක වැස්ම ඉවත් කර එවන් බදාමයෙන් බැඳ ඇති ගඩොල් ඉදිකිරීම් සංරක්ෂණයේදී උපයෝගී කරගන්නා ක්‍රියා මාර්ග සිදු කර ඇත. තවද ස්තූපයට දකුණු දෙසින් පිහිටි මුරගල්, කොරවක්ගල් සහ සඳකඩ පහනක් සහිත චතුරශ්‍රාකාර අසාමාන්‍ය ආකාරයේ  බිම් සැලැස්මක් සහිත ගොඩනැගිල්ල (උපෝසථඝරය) පිළිබඳව කෙටි විස්තරයක් පරණවිතාන මහතා 1956 දී ඉදිරිපත් කර ඇත.

මූලාශ්‍ර

  • Archaeological Survey of Ceylon Annual Report , H.C.P. Bell, 1897
  • Archaeological Survey of Ceylon Annual Report , H.C.P. Bell, 1899
  • Archaeological Survey of Ceylon, North Central, Central and North WesternProvinces, Annual Report, H.C.P. Bell, 1911- 12
  • Archaeological Survey of Ceylon, Inscriptions of Ceylon Vol 5 Part 1 , Sirimal Ranawella, 2001
  • Archaeological Survey of Ceylon, Inscriptions of Ceylon Vol 5 Part 3 , Sirimal Ranawella, 2005
  • Archaeological Survey of Ceylon, Epigraphia Zeylanica being Lithic and other inscriptions of Ceylon, Edited by S. Paranavitana, C.E Godakumbura Vol 5 , Part 2, 1963  
  • Further studies in the settlement archaeology of the Sigiriya-Dambulla region, Senake Bandaranayaka & Mats Mogren et.all, 1994
  • Sigiriya & Beyond To Dambulla, Habarana, Kekirawa, Galewela. 2016
  • 1967-68 මුදල් වර්ෂය සඳහා වූ පුරාවිද්‍යා කොමසාරිස් තැනගේ පාලන වාර්තාව. ආර්. එච්. ද සිල්වා මහතා, 1970 
  • Report on the Archaeological Survey of Ceylon for 1940-45, Dr. S. Paranavitana, 1947
  • Archaeological Survey of Ceylon, Annual Report for 1939, A.H. Longhurst, 1940
  • Report of the Archaeological Survey of Ceylon for 1955, Dr. S. Paranavitana, 1956
  • Memoirs of the Archaeological Survey of Ceylon, Volume 5 The Stupa in Ceylon, Paranavitana, 1988
  • ස්තූප, චන්ද්‍ර වික්‍රමගමගේ, 2000 
  • මහාවංස 2 වෙළුම, ක්‍රි.ව. 303-1815 මාගධී පෙළ සහ සිංහල අනුවාදය, නව සංස්කාරක චන්ද්‍ර වික්‍රමගමගේ, සිංහල අනුවාදය අරුණ තලගල, 2012
  • ශ්‍රී ලංකාවේ පැරණි බෞද්ධ සංඝාරාම, ප්‍රිශාන්ත ගුණවර්ධන, 2010
  • Sigiri Graffiti, S. Paranavitana, Vol 1 & 2, 1956