Tuesday, November 8, 2022

කළුන්නරු බිම්හි සීගිරි අමුණ බද මාපාගල සහ සීගිරි මහ වැවේ පතුලේ ඉදිවූ සීගිරිය ගම


 මීට පෙර විස්තර ඉදිරිපත් කල රාමකැලේ නටබුන් ප්‍රදේශයට තරමක් නුදුරින් ඉනාමළුව- සීගිරිය මාර්ගයේ දකුණු පස එකිනෙකට ආසන්නව පිහිටි විශාල ගල් කුට්ටි ආධාරයෙන් තැනූ ගල් බැමි සහිත මෙම පර්වත මුදුන් දෙක පොදු ව්‍යවහාරයේ මාපාගල ලෙසින් හැඳින්වේ. ජනප්‍රිය මතය නම් කාශ්‍යප රජු (පො. ව. 473-491) සීගිරිය පර්වතය මුදුනේ සිය මාළිගය තනා ගෙන රාජ්‍යය විචාරන අවදියේ ඔහුගේ යුව රජු හෙවත් මහාදිපාද හෙවත් මාපා සීගිරි පර්වතයට දකුණින් වූ මේ පර්වතය මත වූ සිය මාළිගයේ විසූ බවය.

මාපාගල නටබුන් දැක්වෙන කෙටි වීඩියෝව >>


මාපාගල මතට එහි උතුරු කොටසෙන් පිවිසෙන මාර්ගය
සීගිරිය මහ වැව ලෙසින් හැඳින්වෙන මෙම මාපාගලට නැගෙනහිර දෙසින් වූ වැවේ වැව් බැම්ම සීගිරිය පර්වතය සහ මෙම මාපාගල යා කරමින් තනා ඇත. අද වන විට "මහවැව" ලෙසින් හැඳින්වුවද කුඩා වැවක් බවට පත්වී ඇති "සීගිරිය මහ වැව" පෙර කල මාපාගල සිට තවදුරටත් දකුණු දිශාවට විහිදුනු, අදටත් එහි වැව් බැම්මේ නටබුන් සැතපුම් 5 ක් පමණ දුරකට කණ්ඩලම කඳු පන්තියේ ආසන්නතම කඳු දක්වා නිරිත දිශාවට හමුවන, විශාල වැවක ශේෂ වූ කොටසක් බව සොයාගෙන ඇත. ඇත්ත වශයෙන්ම අද සීගිරිය ගම පිහිටා ඇත්තේ එදා සීගිරිය මහා වැවේ පත්ලේ කීවොත් වඩාත් නිවැරදිය. පැරණි අඟලේ සිතියම් වල මෙම නටබුන් වූ සීගිරිය මහා වැවේ මිණුම් කටයුතු සිදු කල කාලය වන විට තිබූ වපසරිය පැහැදිලිව දක්වා ඇත. එකල සීගිරිය වැවේ ජලය මාපාගල පර්වත වල නැගෙනහිර අන්තය දක්වාම පැතිරි තිබී ඇත. පැරණි සීගිරි මහ වැවේ වාරි පද්ධතියේ වැඩිදුර විස්තර සඳහා මේ සමග ඇති සිතියම සහ එහි සටහන බලන්න.
මෙහි අංක දක්වා ඇති කොල පාට රවුම් වලින් පිලිවෙලින් 1) සීගීරිය පර්වතය, 2) රාමකැලේ ස්තූපය, 3) මාපාගල සහ 4) වර්තමාන සීගිරිය මහ වැව දැක්වේ. ඉහලින්ම තද නිල් පාටින් ඇත්තේ වර්තමාන වැවේ ජල වපසරිය වන අතර ඉන් දකුණට වන්නට වම්පස අදටත් යම් තරමක් අතරින් පතර ඉතිරි වී ඇති සීගිරිය මහ වැවේ එදා තිබුණු වැව් බැම්ම දැක්වේ. ලා නිල් පාටින් මතුකර ඇත්තේ එදා සීගිරි මහ වැවෙන් යටවුනු ප්‍රදේශය අඟලේ සිතියමේ ලකුණු කර ඇති ආකාරයයි. සීගිරි මහ වැවෙන් නැගෙනහිර දෙසට වන්නට වෑවල වැවේ සිට උතුරු දෙසට ජලය ගෙන ගිය පැරණි ඇල මාර්ගයක නටබුන් හමුවේ [සිතියමේ තද නිල් පාටින්]. එම ජලය ඇතැම් විට සීගිරිය වැවට එකතු උනා වන්නට පුළුවන. එසේ වූවා නම් මූලිකව සීගිරි ඔයෙන් පෝෂණය වන සීගිරිය වැවට, වෑවල වැව පෝෂණය කරන කිරි ඔයෙන්ද අමතර ජල ප්‍රමාණයක් රැගෙන විත් ඇත. එම ඇල මාර්ගයට බටහිරෙන් තවත් ඇල මාර්ගයක සලකුණු තිබී ඇති අතර [සිතියමේ ලා නිල් පාටින්] එම බටහිර ඇල මාර්ගය නැගෙනහිර ඇල මාර්ගය සමග එකතු වූ සලකුණු හමු නොවේ [නැගෙනහිර ඇලට බටහිර දෙසින් වූ පෙදෙසේ එකතු වන ජලය -විශේෂයෙන්ම වැසි කාලයේ- නැගෙනහිර ඇලට විශාල වශයෙන් එකතු වී එහි බැමි විනාශ වී යෑම පාලනය උදෙසා මෙම බටහිර ඇල තැනුවා වන්නටද ඉඩ ඇත.] එම ඇල මාර්ගයෙන් එකතු වන ජලය පසුව ස්වභාවික දිය පාරක් ඔස්සේ පොල්ලත්තාව වැවට එක් වී, පොල්ලත්තාව වැව හරහා අවසානයේ සීගිරිය මහ වැවටම එක් වේ. මෙම සිතියමේ සීගිරිය වැවේ වැව් බැම්ම දකුණින් අවසන් වන ස්ථානයේ සිට වෑගොල්ල වැව දක්වා වූ පැරණි ඇල මාර්ගයක නටබුන් හමුවී ඇති අතර [අඟලේ සිතියම් වල එය ලකුණු කර නොමැත. ඒ වෙනුවට බොහෝදුරට එම ඇල මාර්ගයට අනුරූපව තිබූ අඩි පාරක් දක්වා ඇත. ඉහත සිතියමේ එම ඇල මාර්ගය කොළ පාටින් දක්වා ඇත.වෑගොල්ල වැවට තවත් එවන් පැරණි ඇල මාර්ගයක් ඔස්සේ [අඟලේ සිතියමේ Ancient irrigation channel ලෙසින් දක්වා ඇත.] මහා ගෝනා ඔය නිම්නයෙන් රැගෙන එන ජලය අවසානයේ එම ඇල මාර්ගය ඔස්සේ සීගිරිය මහ වැවට එක්වන්නට ඇති බව අනුමාණ කල හැක. අද වන විට මේ බොහෝ පැරණි වාර්මාර්ග නටබුන් ජනාවාස ඉදිවීම, ගොවිතැන් සඳහා ඩෝසර් කිරීම සහ එම ජනතාවගේ යටිතල පහසුකම් උදෙසා ඉදිවූ මාර්ග පමණක් නොව අලුතින් ඇතිවූ වැව් සහ ඇල මාර්ග නිසාද විනාශ වී ගොස්ය. උදාහරණයක් ලෙසට කායන්වල වැව ලෙසින් හැඳින්වෙන වැව අඟලේ සිතියමේ හමු නොවන අතර එය පසුව සීගිරි මහ වැවේ පැරණි බැම්මේ කොටසක්ද උපයෝගී කරගනිමින් අළුතින් තැනූ වැවක් බව පෙනේ.  ඉහත සිතියමේ කොටුවකින් දක්වා ඇති ප්‍රදේශයේ වර්තමාන Google සිතියම පහතින් දක්වා ඇත. එම කොටසේ Google Map විමසා බැලීමෙන්  මෙම කරුණු තවදුරටත් වටහාගත හැක.

මාපාගල මුදුනට දිස්වන වර්තමාන "සීගිරිය මහ වැව"
1908 වර්ෂයේදී මාපාගල පිළිබඳව ගවේෂණාත්මක විස්තරයක් ඉදිරිපත් කරන H.C.P. බෙල් අනුමාණ කරන්නේ මෙම ගල් බැමි "සීගිරි නුවර" පැවති 5 වන සියවසට වඩා පරණ විය නොහැකි බවය. උතුරු දිශාවට වන්නට පිහිටි විශාල පර්වත කොටස සහ එයට දකුණින් පිහිටි කුඩා පර්වත කොටස වෙන් කරන පටු දොරුව කෙතරම් පටුද යත් ඉතාමත් පහසුවෙන් ඒ දෙක යා කරන පාලමක්  ඉදි කල හැකි බව පවසන හෙතෙම, දකුණින් පිහිටි කුඩා පර්වතයේ මතුපිට සමතලා පෙදෙසේ මධ්‍යයට වන්නට ගල් බැම්මකින් වට වූ විශාල ගඩොල් ඉදිකිරීමක නටබුන් පවතින බව පවසයි. එහෙත් ඒ වනවිටත් එහි ඉතිරිව ඇත්තේ ගොඩනැගිල්ලේ හැඩරුව හෝ අරමුණ හඳුනාගැනීමටවත් නොහැකි තරම් අල්ප වු නශ්ඨාවශේෂ ප්‍රමාණයක් පමණක් බව ඔහු වැඩිදුරටත් සඳහන් කරයි.  එහෙත් එය කාමර, පෙත්මන් සහ ආලින්ද වලින් යුත් සීගිරියේ ශීත මාළිගා වල සේ භූමි සැලැස්මක් සහිත ඉඩකඩ සහිත ගොඩනැගිල්ලක් බවත්, කැනීම් මගින් එහි බිම සැමතැනකම පාහේ ගඩොල් අතුරා තිබූ බව පැහැදිලි වූ බවත් පවසයි. එහි දකුණු අන්තයේ පහලට වන්නට මළුවක් තිබූ බවටත් බෙල් හට සාධක හමුවේ. ඊට අමතරව කැනීමෙන් ඔහුට වෙනත් කිසිදු වැදගත් දෙයක් හමු නොවූ බවද බෙල් විශේෂයෙන්ම අවදාරනය කරයි.
පහල ගල් බැමි වලට ඉහලින් පිහිටි ගල් බැමි සහ ගල මතු පිට වූ කිසියම් ගොඩනැගිල්ලක කුළුණු පිහිටුවීමට ගලේ කපා ඇති සතැරස් සිදුරු
මාපාගල ගල් බැමි තැනීමට සීගිරියේ ගල් බැමි සඳහා යොදාගත් ගල් කුට්ටි වලට වඩා විශාල ගල් කුට්ටි යොදාගෙන ඇත. මාපාගල පර්වතය වටා කුඩා ගල් ගුහා 6 ක් පමණ හඳුනාගෙන ඇති අතර ඉන් ඇතැම් ගුහා වල කටාරම් දැකිය හැකි මුත් සෙල් ලිපි හමුවී නැත. බෙල් සඳහන් කරන දකුණින් වූ කුඩා පර්වතය මත පමණක් නොව උතුරු පර්වතය මතද ගඩොල් කැබැලි සහ නටබුන් වූ කුඩා ගල් වැටියක කොටස් හඳුනාගත හැක. එසේම කාල-රක්ත වර්ණ වලන් කැබලි, උළු කැබලි මෙන්ම විශාල වශයෙන් තිරිවාණ ගල් කැබැලි අතර පූර්ව ඓතිහාසික යුගයට අයත් ගල් ආයුදද මෙම පර්වත මත හමුවේ. මේ ආසන්නයේ වූ පෙතන්ගල ලෙසින් හැඳින්වෙන පර්වතය මතද කිසියම් ගොඩනැගිල්ලක් තිබූ බවට සාධක එහි ඉතිරි වී ඇති ගල් පාදමක නටබුන් මගින් හඳුනාගත හැක. තවද මේ සමග පලවන ඡායාරූප වල සහ වීඩියෝ දර්ශන වල දැක්වෙන ආකාරයට ගොඩනැගිලි වල කුළුණු රැඳවීම උදෙසා ගල් මතු පිට හෑරු සිදුරු තැන් කිහිපයකම හමුවේ.  බෙල් අනුමාන කල උතුරු - දකුණු පර්වත යා කල පාලමක සාධකද  80 දශකයේ මෙහි ගවේෂණයක යෙදුන පුරාවිද්‍යාඥයන් හට හමුවී ඇත.
මාපාගල උතුරු සීමාවේ පිහිටි විශාල ගල් කුට්ටි අනුසාරයෙන් තැනු ගල් බැම්මක කොටසක්
මාපාගල අවට ප්‍රදේශයෙන් හමුවූ ටැම් ලිපි කිහිපයක්ම ඇති අතර එම ලිපි වලින් හතරක් පිළිබඳව දීර්ඝ විස්තර කිරීමක් රාමකැලේ නටබුන් පිළිබඳව වූ ලිපියේ අඩංගු වූ අතර බෙල් හට 1897 දී හමු වූ එහි සැකෙවින් කරුණු දක්වූ අනෙත් ලිපියේද  සඳහන් වන්නේ කසුබ් මහපාණන් වහන්සේ විසින් සිදුකල අත්තාණි ප්‍රදානයක් සම්බන්දයෙනි. එම අත්තාණි ප්‍රදානය සිදු කර ඇත්තේද සිරිසඟ්බෝ නම් විරුදය සහිත රජෙකුගේ රාජ්‍යත්වයෙන් දෙවෙනි වර්ෂයේ දුරුතු මස පුර පක්ෂයේ සත් වෙනි දිනදීය. බෙල් මහතා මෙම සිරිසඟ්බෝ නම් රජු දෙවෙනි සේන රජු (පො. ව. 853-887) ලෙස වරදවා හඳුනාගන්නා මුත් මෙහි සඳහන් සිරිසඟ්බෝ  මපුර්මුකාද [මහා පරුමක එනම් මහ රජු] පෙර ලිපි පිහිටවූ කාලයේද රාජ්‍යය විචාල  සිව්වන කාශ්‍යප (පො. ව. 894-914) ලෙස සිරිමල් රණවල්ල මහතා නිවැරදිව හඳුනාගනි. මෙහි සඳහන් වන කසුබ් මහපාණන්ද පෙර ලිපියේ සඳහන් රාමකැලේ සහ මාපාගල මෙන්ම කිඹිස්ස ප්‍රදේශයෙන්ද හමුවූ ටැම් ලිපි හතරේම සඳහන් වන පසුව පස්වන කාශ්‍යප (පො. ව. 914-923) ලෙසින් රාජ්‍යත්වයට පත්වූ මාපා වරයා ලෙස හඳුනාගෙන ඇත. 
මාපාගල බටහිර සීමාවේ පිහිටි විශාල ගල් කුට්ටි අනුසාරයෙන් තැනු ගල් බැම්මක කොටසක්
කැබැලි කිහිපයක් ලෙසින් හමුවූ ඉහත ලිපියේ අකුරු බෙහෙවින් මැකී ගොස් ඇති මුත් මෙම ලිපියේම පිටපතක් ලෙස හඳුනාගත හැකි පොළොන්නරුව කිරිවෙහෙර ටැම් ලිපියේ සඳහන් වන ලෙසට රාජකීය ගෘහයට අයත් කළුන්නරු බිම්හි සිහිගිර අමුණ අසබඩ අමුණුදොර්-පලුදොර්දිග මහවතු බිම් ඇතුළුව නම අපැහැදිලි කිසියම් පිරිවෙනකට [මාපාගලින් හමුවූ ලිපියේ මෙන්ම පොළොන්නරුවේ කිරි වෙහෙරට යාර 50 ක් පමණ නැගෙනහිර දෙසින් හමුවූ ලිපියේද පිරිවෙනේ නම සඳහන් කොටස මැකී ඇත. එම පිරිවෙන බොහෝවිට පොළොන්නරුවේ කිරිවෙහෙර ස්තූපය පිහිටි විහාරයට අයත් පිරිවෙනක් විය හැක.]  අයත් 'හේන් බිම්' දොළහකට අදාල අත්තාණි ප්‍රදානයන් පිරිනැමීම මෙම අත්තාණි කුළුණු ලිපිය මගින් ප්‍රකාශයට පත් කර ඇත. කසුබ් මහාපාණන් වහන්සේ වදාළ හෙයින් අත්තාණි ප්‍රදානය සඳහා පැමිණි පුද්ගලයන් වන්නේ පඬිරද් සලයා ගේ නියමයෙන් මෙකාප්පර් සඟින් මිහින්ද් සහ කාමාදෑ කලියා ද, රක්සමණන් (Chief Guardian) වන අග්බෝයා ගේ නියමයෙන් කුඩසලා දෙව් යන තිදෙනාය. 
මාපාගල මතට දිස්වන එහි බටහිර දෙසින් වූ කායන්වල ප්‍රදේශය
මෙම ටැම් ලිපියට අනුව කුලී එකතු කරන්නන්, මෙලාස්සි බදු එකතු කරන්නන්, රද්කොල් කැමියන් (Officials attached to the royal households) දෙකම්තැන් (Officials of the two secretariats), දෙරුවන (Officials of the two treasuries) , මගිව සහ පියගිව නිලධාරීන් මෙම දොළොස් හේන් වලට ඇතුළු නොවිය යුතුය. තවද ගැල්, මීවුන් (Buffaloes) සහ වැරි (Domesticated elephants) මෙහෙයන් (Free service) සඳහා නොගෙනා යුතුය. හිදොළු (Palanquin bearers), මහසත් (Canopy bearers) සහ සොළී බෙර ගසන්නන් නොපැමිණිය යුතුය. (වෙනත් තැන් වල) මිනී මරා මේ බිම් වලට පැමිනෙන්නන් අත් අඩංගුවට ගැනීමට නිලධාරින් නොපැමිණිය යුතුය. මෙම නියමයන් කඩකරන්නන් කවුඩු [කපුටු], ගෙරි[ගව] සහ බලු වෙත්වා ලෙසින් ලිපිය අවසන් වේ. 
මාපාගල මතට සීගිරිය පර්වතය දිස්වන ආකාරය
අක්ෂර වල හැඩයන්ට අනුව 9-10 සියවස් වලට කාල නිර්ණය කල හැකි තවත් කැබලි වූ පුවරු ලිපියක් මාපාගල අවටින් හමුවී ඇති අතර එය කුමන රජකෙනෙකුගේ කාලයට අයත්ද යන්න එම කොටසේ අකුරු මැකී ඇති හෙයින් හඳුනාගත නොහැක.
මාපාගල මතට සීගිරිය පර්වතය දිස්වන ආකාරය
මෙම උතුරු පර්වතය මුදුනේ ස්ථාන දෙකක සිදු කල පරික්ෂණ කැනීම් වලවල් මගින් පූර්ව ඓතිහාසික යුගයන්ට අයත් ක්ෂුද්‍ර ගල් ආයුධ (Microlithic implements belonging to the Mesolithic culture), මූල ඓතිහාසික අවදියට (Protohistoric) අයත් කාල රක්ත වර්ණ වලන් කැබැලි (Black-and-Red Ware pottery) මෙන්ම සුළු වශයෙන් ඓතිහාසික යුගයන්ට අයත් අවශේෂද හමුවී ඇත. මාපාගල දකුණු පර්වතයට දකුණින් වැව් බැම්මේ කල වෙනත් කැනීමක් මගින් පැහැදිලිවී ඇත්තේ වැව් බැම්ම තැනීමට පෙර කාලයකදී මාපාගල ගල් බැමි තනා ඇති බවය (ගල් බැමි ඉදිකල කාලය පොදු වර්ෂ 306-517 කාලයෙන් පසුව සහ පොදු වර්ෂ 432-550 කාලයට පෙර විය යුතු බවට මෙම කැනීම් මගින් අනාවරණය කරගෙන ඇත.) මාපාගල අවට විශේෂයෙන් එහි බටහිරදෙසට වන්නට යබොර කොටස්ද බහුලව හමුවන හෙයින් යකඩ කර්මාන්තයද මේ අවට සිදුවූ බවට පැහැදිලි වේ. මාපාගල පාමුල එහි බටහිර කොටසේ 80 දශකයේ සිදු කල කැනීමකදී උළු කැබලි හමුවීම නිසා මෙම ගල් බැමි මත වහලයක් සහිත කිසියම් ගොඩනැගිල්ලක් තිබෙන්නට ඇති බවටද පුරාවිද්‍යාඥයන් අනුමාණ කරයි. මෙම උළු කැබැලි හමුවන පාෂාණ ස්ථරයේ වැඩි වශයෙන් රක්ත වර්ණ වලන් (Red Ware pottery) කැබැලි සහ අඩුවෙන් කාල-රක්ත වර්ණ වලන් කැබැලි හමුවන අතර කාබන් කාල නිර්ණය මගින් එම යුගය කාශ්‍යප අවදියට (5 වන සියවස) කාල නිර්ණය කර ඇත. මෙම යුගයෙන් පසුව කිසියම් කාලයක් මෙම ප්‍රදේශයේ මානව ක්‍රියාකාරකම් සිදු නොවූ බවක් පෙනී යන අතර නැවත අවම වශයෙන් 10 වන සියවසේ පමණ යලි ගල් බැමි පිලිසකර කල බවක් හඳුනාගෙන ඇත. නැවතත් ගල් බැමි විනාශ කල බවක් කැනීමේදි ප්‍රධාන බැම්මෙන් පහලට වැටුන ගල් කුට්ටි මගින් පෙනී යන අතර ඉන් පසු කාලයේ ජනාවාසකරණයකට වඩා සංඝාරාමයකට අයත් අවශේෂ හමුවී ඇත. 
ගල මතු පිට වූ කිසියම් ගොඩනැගිල්ලක කුළුණු පිහිටුවීමට ගලේ කපා ඇති සතැරස් සිදුරු
මෙම සියළු කරුණු එක්ව ගත් කල මාපාගල පූර්ව ඓතිහාසික යුගයේ සිටම මානව ක්‍රියාකාරකම් පැවැති පෙදෙසක් බව අවබෝධ වේ. ඓතිහාසික යුගයේ ගල් බැමි තැනීම සහ මුල්ම මානව ක්‍රියාකාරකම් තුන් වන සියවසේ සිට පස්වන සියවසේ පසු භාගය දක්වා පමණ සිදුවූ බව පෙනී යයි. එය බලකොටුවක් ලෙසද නැතිනම් මාපාවරයෙකුගේ හෝ කිසියම් වෙනත් එවන් ප්‍රභූ වරයෙකුගේ මාළිගයක් ලෙසින්ද යන්න පැහැදිලි නැත. 9 වන සියවසේ අග භාගයට සහ 10 වන සියවසේ මුල් භාගයට අයත් සිව්වන කාශ්‍යප රජුගේ කාලයේ ඔහුගේ මාපාවරයා ලෙසින් සිටි කසුබ් මහපාණන් මහානාග පබ්බත විහාරයට අයත් ඉඩම් සඳහා පිරිනැමූ අත්තාණි ප්‍රදානයක් දැක්වෙන ටැම් ලිපි සහ ඔහුම සිදු  කල වෙනත් අත්තාණි ප්‍රදානයක් පිළිබඳව ලිපියක් මේ අවටින් හමුවන හෙයින් අවම වශයෙන් ඔහුගේ මාළිගය මෙහි තිබූ බවට යමෙකුට තර්ක කල හැක. එහෙත් ඔහු එම අත්තාණි ප්‍රදානය සිදු කරන්නේ මේ අසලම වූ මහානාග පබ්බත විහාරයට හෙයින් එම ටැම් ලිපිය එම විහාරයට අයත් භූමියේ පිහිටවීමට වැඩි ඉඩක් ඇති බව සැලකිය යුතුය. එනයින් මාපාගල අවට ප්‍රදේශය සහ ඇතැම් විට ඒ මත පිහිටි ගොඩනැගිලිද එම මහානාපව් වෙහෙරටම අයත් වූවා විය හැක. අනෙක් අතට ඔහු විසින් සිදුකල කිසියම් වෙනත් විහාරයකට වීමට බොහෝදුරට ඉඩ ඇති අත්තාණි ප්‍රදානයක් පිළිබඳව ටැම් ලිපියක් මේ අවටින් හමුවේ. එම ලිපියේම පිටපතක් පොළොන්නරුවේ කිරි වෙහෙර අසබඩ තැනක හමුවන හෙයින් දැනට කිරිවෙහෙර ලෙසින් හැඳින්වෙන විහාරයේ එවක වූ පිරිවෙනකට අයත් මෙම ප්‍රදේශයේ පැවති හේන් බිම් සඳහා එම අත්තාණි ප්‍රදානය පිරිනැමූ බව පෙනේ. ඒ ලිපියේ අන්තර්ගතය අනුව පෙනී යන්නේ රාජකීය ගෘහයට අයත් කළුන්නරු බිම්හී සීගිරි අමුණ අසබඩ හේන් බිම් වලටද එම ප්‍රදානය වලංගු බවය. එම බිම් ඒ වන විට අදාල විහාරයට අයත්ද යන්න ලිපියේ පැහැදිලිව සඳහන් නොවේ. කෙසේ නමුත් මෙහි කළුන්නරු බිම්හී සීගිරි අමුණ ලෙසින් හැඳින්වෙන්නේ අප ඉහතින් විස්තර කල සීගිරිය මහ වැවේ බැම්ම ලෙස අනුමාණ කල හැක. ඒ අසබඩ වූ බිම් මෙම මාපාගල අවට සහ රාම කැලේ ප්‍රදේශයේ ඉඩම්ය. රාජකීය ගෘයට අයත් ඉඩම් වූවේ මාපාගල සහ ඒ අවට ඉඩම් නම් මාපාගල මත රාජකීය ගෘහයක් තිබුනා විය නොහැකිද? එය අනිවාර්යයෙන්ම මාපා වරයාට අයත් විය යුතුද නැත. අනික් අතට බෙල් සඳහන් කරන මාපාගල මත පිහිටි ගොඩනැගිල්ලේ භූමි සැලැස්ම සීගිරියේ ශීත මාළිගා ලෙසින් හඳුනාගන්නා ගොඩනැගිලි වල භූමි සැලැස්මට සමාන වූයේ නම් එම ගොඩනැගිල්ල ඇතැම් විට පළමුවන කාශ්‍යප අවදියේ ඔහුගේ තවත් එක් ශීත මාළිගයක් ලෙසට පැවතියේද? කැනීම් මගින් හෙලිවී ඇත්තේ 10 වන සියවසෙන් පසුව නිශ්චිතවම කාලය නිර්ණය කර නොමැති අවදියකදි මාපාගල පාමුල ප්‍රදේශයේ සංඝාරමයකට අයත් අවශේෂ හමුවන බවය. එසේ නම් පසුව නැවතත් සියවස් ගණනකට අතහැර දැමීමට පොරොතුව මාපාගල සංඝයා හට අයත්ව තිබූ බවටද අනුමාණ කල හැක. ඉදිරි කාලයේ මෙම මාපාගල පරිශ්‍රය සහ ඒ අවට ප්‍රදේශයේ සිදුවන පුරාවිදු පර්යේෂණ මගින් පමණක් මේ පිළිබඳව ඇතැම්විට තව බොහෝ කරුණු හෙළිකර ගැනීමට හැකි වනු ඇත.
පහල ගල් බැමි වලට ඉහලින් බටහිර දෙසට වන්නට පිහිටි ගල් බැමි

 
මූලාශ්‍ර
  • Archaeological Survey of Ceylon, North-central and Central Provinces, Annual Report. 1908, H.C.P. Bell.
  • Further studies in the settlement archaeology of the Sigiriya-Dambulla region, Senake Bandaranayaka & Mats Mogren et.all, 1994
  • Archaeological Survey of Ceylon, Inscriptions of Ceylon Vol 5 Part 3 , Sirimal Ranawella, 2005
  • Archaeological Survey of Ceylon, Inscriptions of Ceylon Vol 5 Part 1 , Sirimal Ranawella, 2001
  • Archaeological Survey of Ceylon, Epigraphia Zeylanica being Lithic and other inscriptions of Ceylon, Edited by S. Paranavitana, C.E Godakumbura Vol 5 , Part 2, 1963  
  • Sigiriya & Beyond To Dambulla, Habarana, Kekirawa, Galewela. 2016








7 comments:

  1. ඔය කාලවලදී රාජ්‍ය පාලන නිලයන් (යුව රජ, මාපා, ඈපා .................. )ගැන විස්තරයක් කරන්න පුලුවන්ද?
    ඒවා Royal Duke, Duke, Marquess, Earl, Baron........ට දළ වශයෙන් සමාන කරන්න පුලුවන්ද?
    ඒවා වෙනස් වෙලා අධිකාරම්, දිසාව වගේ නිලයන් ආවෙ කොයි කාලෙද?

    ReplyDelete
    Replies
    1. ඔව් ප්‍රා ඉදිරියේදී ඒ ගැනත් ලියන්න බලාපොරොත්තු වෙනවා.

      Delete
  2. බැලුමෝ සිහිගිරි
    නොදිටිමු මෙ අසිරි
    ගොහින් බලන්නයි
    ගැහෙන්නෙ හරි-බරි

    එක සැරෙන්ම සකලයෝ දෙතුන් දෙනෙක් අඹා ගත්තැකි වගේනෙ. ඒ ළඟම තව තැන් තියෙයි වගේ. තරහ නතිව ඒවා ගැනත් දැන්ම ලියනවද?

    ReplyDelete
    Replies
    1. ඔව් පිදුරන්ගල තිබේ. පිදුරන්ගලත් ගල උඩට විතරක් නගින අය වැඩියේ නොදකින දේවල් තියෙනවා. ඒ ගැන ලියන්නම් ඊලග ලිපියෙන්.

      Delete
  3. සම්පූර්ණ විස්තරයක් භූෂණ. විඩියෝවත් ඉතා ම උසස්. ගොහින් බැලුවා වාගේ අත්දැකීමක් ලැබුණා... මේ විස්තර පොතක් ගැහුවානම් ඉතා ම වටිනා වැඩක්.

    ReplyDelete
    Replies
    1. ස්තූතියි ඩ්‍රැකී. පොතක් සම්බන්දයෙන් මගේ අදහස නම්...මන් හිතන්නේ මගේ මාධ්‍යය අන්තර්ජාලය කියලා. පොතකට වියදම් කරලා විකුණාගන්න බැරුව ගොඩ ගහන් ඉන්නවට වඩා මේවා මේකේ දැම්මම බලන කෙනෙක් හරි බලයිනේ. මේ ක්ෂේත්‍රයේ ප්‍රවීන වියතුන්ගේ බොහෝම වැදගත් කරුණු අඩංගු පොත් පවා මම දන්නවා විකිණෙන්නේ නැහැ ( මෑත කාලයේ එහෙම නොවුන එකක් තමා මහාචාර්ය රාජ් සෝමදේව මහතාගේ යක්ෂී කියන පොත. සාපේක්ශව ඉතාම ඉහල මිලක් සහිතව උනත් මේ වගේ කාලෙක ඒ පොතේ මුල් මුද්‍රණය දවස් කිහිපයකින්ම ඉවර උනා. එතෙන්දී එතුමා ගුවන් විදුලි නාලිකා, සහ වෙනත් බහු විද මාධ්‍ය ඔස්සේ ලබා තිබූ ජනප්‍රියතාවය ඒකට හේතු උනා ). හැබැයි එහෙම නොවන ජනප්‍රිය මාතෘකා වන රාවණ,බුදුන් ලංකාවේ උපන්නා වගේ ඒවා ගැන ලිව්වොත් නම් උණු කැවුම් වගේ විකිනෙන්නේ ( දැන් නම් උණු කැවුම් එහෙම විකිණෙන්නෙන් නැහැ. ඒ ඉස්සර කාලේ වෙන්න ඕනේ පීසා බර්ගර්, රයිස්, අරවා මේවා එහෙම එන්න කලින් ) අනික් අතට ඉතින් පොතකට දාන්න තරම් මගේ ලිපි වල අලුත් දේවල් නැහැනේ. මේ බොහෝදුරට මේ පිළිබඳව වියතුන් ඉදිරිපත් කරලා තියෙන දේවල සම්පිණ්ඩනයක් සහ ඇතැම් විට ඒවාට "මේ ක්ෂෙත්‍රයේ වෘත්තිකයෙක් හෝ ඒ පිළිබඳව කිසිම විධිමත් අධ්‍යාපනයක් නොලැඹූ මගේ" අර්ථකථන විතරනේ.

      Delete