| තොටගමුව විහාරයේ බිතුසිතුවමක් |
"රුහුනු, මායා, පිහිටි තුන් රටින් සුසැදි "සිංහලේ" 1815 මාර්තු 2 වෙනිදායින් අවසන් උනිද? "සිංහලේ" යනු කුමක්ද? 1815 මාර්තු වලින් හරියටම වසර 200 කට පසු නැවත අධිරජ්‍යවාදි බලයට මෙරට දරුනු ලෙස නතු වී ඇති මොහොතක "සිංහලේ" පිලිබද ආවර්ජනයක ඇරඹුම අපගේ අරමුනයි. ඉදිරියේදි විවිධ දිශානතීන් ඔස්සේ එය ඇදෙනු ඇත. "
වැඩිදුර කියවීමට > සිංහලේ - The Last Phase
වරින් වර 'සිංහලේ' නම විවිධ අවස්තා වලදී යොදාගත් මුත් ඒ පිළිබඳව විස්තාරත්මක විවරණයක් කිසි විටක ඉදිරිපත් නොකලේ ඒ පිළිබඳ විස්තර සියලු ලිපි තුලින් වරින් වර සමස්තයක් ලෙස ඉදිරිපත් වනු ඇතැයි සිතූ බැවිනි. එහෙත් 'සිංහ-ලේ' නමින් එක්තරා ආකාරය රැල්ලක් හෝ ඔවුන් කියන ලෙසට කැරැල්ලක් සමාජය සිසාරා හමා යන මොහොතක සිංහලේ පිළිබඳ යමක් පැවැසීම උචිතයැයි සිතුණි. මෙය සිංහලේ පිළිබඳව විනා සිංහ-ලේ පිළිබඳව නොවේ. සිංහ-ලේ පිළිබඳ මේ වන විට මා ඇසූ වඩාත්ම සාධනීය විවරණය මේ සමඟ ඉදිරිපත් කරන්නේ ඒ පිළිබඳ මගේ මතයද අඩු වැඩි වශයෙන් එයම වන බැවිනි. සවන්දෙමු උදය ගම්මන්පිල මහතාට.
පොළොන්නරු යුගයේ ගුරුළුගෝමින් විසින් රචිත පාලි බෝධිවංශ පරිකථාව හෙවත් පාළි බොධිවංශයට කල ගැට පදයේ එනම් ධර්මප්‍රදීපිකාවේ සිංහළභාෂා නම් කවරැ යත්? යන පැහැදිලි කිරිමේ මෙසේ සඳහන් වේ.
"යම්සේ ශක්‍රයහට නිවාසභූමි වූ පුරය 'ශක්‍රපුර' වීද, එසෙයින් මැ සිංහළයනට නිවාසභූමිය වූ ද්වීපය 'සිංහළද්වීප' නම් විය. යම්සේ මඤ්චස්ථ වූ ජනයො මඤ්ච ශබ්දයෙන් කියනු ලැබෙද් ද, එසෙයින් මැ සිංහළ දේශස්ථ වූ ජනයෝ සිංහළ ශබ්දයෙන් කියනු ලැබෙත්. ඔවුන්ගේ භාෂා 'සිංහළභාෂා' නම් වේ."
එසේම කෝට්ටේ යුගයේ 6 වැනි පරාක්‍රමබාහු රජුගේ සත්වන රාජ්‍ය වර්ෂයේ එනම් ක්‍රි.ව. 1417 දී ධම්මදින්නාචාර්ය විමලකිත්ති හිමියන් 'හෙලුබසින්' සද්ධර්මරත්නාකරය රචනා කරනුයේ බුදුන් වහන්සේ දේශනා කල "සද්ධර්මය මාගධික භාෂාවෙහි නො හසළ සිංහලද්වීපවාසීන්ට විශේෂයෙන් නො දැනෙන හෙයින් " ය.
මේ අනුව පුරාණ ගද්‍ය සාහිත්‍යයේ ඇතැම් අවස්තා වලදී සිංහල දේශය නැතහොත් සිංහල ද්වීපය යන නම මේ දිවයින හැදින්වීමට යොදාගෙන ඇති බව පැහැදිලි වේ (පරණවිතාන මහතා පවසන්නේ පුරාණ සංස්කෘත පොත් වලද මේ රට සිංහලද්වීපය ලෙසින් හඳුන්වන බවය*.). එයට හේතු වූවේ රටේ ශිෂ්ඨාචාරය පිහිටවූ එහි ජීවත් වූ ජාතිය ('ප්‍රධාන ජාතිය' නොව 'ජාතිය' ) සිංහලයන් වූ බැවිනි. වරින් වර මෙරටට සංක්‍රමණය වූ බොහෝවිට දකුණු ඉන්දීය ජන කොටස් කුල ක්‍රමය යටතේ සිය අනන්‍යතාවය හා උප සංස්කෘතිය පවත්වා ගනිමින්ම 'සිංහල ජාතිය' තුලට ඇතුලත් වූවා මිසක ඔවුන් තමන් වෙනත් ජාතියක් ලෙස වෙනම අනන්‍යතාවයක් ඇතිව රටේ කොටස් වෙන් කර ගත්තා නොවේ. උදාහරණයක් වශයෙන් මෙරට බටහිර මුහුදු තීරයේ කරාව, සලාගම, දුරාව වැනි කුල යටතේ අද සිංහල වී ඇත්තේ 14-15 ශතවර්ෂ වලදී දකුණු ඉන්දියාවෙන් පැමිණි (බොහෝවිට දකුණු ඉන්දියාවට එවකට මුහුන දීමට සිදුවූ මුස්ලිම් ආක්‍රමණ මීට හේතු වන්නට ඇත.) එවකට ද්‍රාවිඩ භාෂා කතා කල ජනයාය.
ටොලමි මේ රට හැඳින්වීමට යොදා ගන්නා සාලිකේ (Salike) යන්නද සිංහල හෝ සිහල යන්න නාවිකයන්ගේ කට වහරෙහිදි සිදුවූ වෙනස් වීමකින් ඇති වූවක් බවට මත පලවී ඇත. එසේම සිංහල ද්වීප > සිලන් ද්වීප > සෙරෙන් දිව ලෙසින් වෙනස් වෙමින් ගොස් අරාබි වෙළෙන්දුන් මෙරට හැඳින්වීමට භාවිතා කල සෙරෙන්ඩිබ් (Serendib) ඇතිවූ බවටද පොදු පිළිගැනීමක් ඇත. පෘතුගීසීන් ට සෙයිලාන් (Zeilan) වන්නේත් නැවත ලන්දේසීන් සෙලාන් (Ceylan) කරන්නේත් අවසානයේ ඉංග්‍රීසීන් සිලෝන් (Ceylon) කරන්නේත් එම සිංහල ද්වීපය නොහොත් සිංහල ශබ්දයේ විකෘති වූ ව්‍යවහාරයන්මය. 1972 ජනරජ ව්‍යවස්ථාවෙන් වෙනස් වන තුරුම මේ රට අන් දේශයන්ට සිලෝන් (Ceylon) විය. සිංහලෙන් කියනවා නම් මේ රට 1972 වන තුරුම සිංහල ද්වීපය විය. කට වහරේදී නම් සිංහලේ විය.
ඊලාම් යනු සිංහලේද? ඒ පිළිබඳව සහ සිංහලේ පිළිබඳ තවත් තොරතුරු මතුවට විමසා බලමු.
මූලාශ්‍ර
* සිංහලයෝ, සෙනරත් පරණවිතාන, 1969
- ධර්මප්‍රදීපිකාව, ගුරුළුගෝමින්
- සද්ධර්මරත්නාකරය, ධම්මදින්නාචාර්ය විමලකීර්තී හිමි
- Ceylon, An account of the island physical, historical and topographical with notices of its natural history, antiquities and productions, Sir James Emerson Tennent, 1859