Showing posts with label Rayigama. Show all posts
Showing posts with label Rayigama. Show all posts

Saturday, August 5, 2023

හතර වෙනි සියවසේ සිරි මෙකවන අබ මහ රජු කල හොරණ-පොකුණුවිට පිහිටි රබගම කර්ණිකාවේ පචරිය විහාරය

මෙරට දේශගුණික කලාප අනුව ගතහොත් තෙත් කලාපයට අයත් වන, වර්තමාන බෙදීම් අනුව කළුතර දිස්ත්‍රික්කයට අයත් ප්‍රදේශයේ මුල් ඓතිහාසික යුගයට අයත් මානව ක්‍රියාකාරකම් සිදුවූ ප්‍රදේශයක් ලෙසට හඳුනාගත හැකි පුරාවිද්‍යාත්මක සාධක එතරම් හමුවන්නේ නැත. අනුරාධපුර යුගය ලෙස හැඳින්වෙන එම වකවානුවේ මෙරට සිංහල බෞද්ධ ශිෂ්ඨාචාරය මූලිකවම ගොඩනැගුනේ වියලි කලාපයට අයත් එවකට රජරට සහ රුහුණු රට ලෙසින් හැඳින්වූ කලාපයේ ප්‍රධාන ගංගා ද්‍රෝණි කිහිපයක් මුල් කරගෙනය. එහෙත් මලය රට නැතහොත් පසු කාලීනව දක්ඛිණ දේශය හෝ මායා රට ලෙසින් හැඳින්වූ කලාපයට අයත් ප්‍රදේශ වලද කිසියම් මට්ටමකින් හෝ ජනයා එම මුල් ඓතිහාසික යුගයේද  සිටි බවට එම ප්‍රදේශ වල අතරින් පතර හෝ හමුවන සෙල්ලිපි ආදී පුරාවිද්‍යාත්මක සාධක දෙස් දෙයි. එවන් එක් පර්වත ලිපියක් කළුතර දිස්ත්‍රික්කයේ හොරණ නගරයට ආසන්නව පොකුණුවිට මංසන්ධියට නුදුරින් පිහිටි ස්වභාවික කඳු ගැටයක් මුදුනේ ඇති බව ඒ අවට වෙසෙන බොහෝදෙනෙක් පවා නොදන්නා කාරණයකි. 
මහනුවර සම්ප්‍රදායේ සිතුවම් සහිත විහාරගෙයක්ද සහිත පොකුණුවිට කොණ්ඩඤ්ඤාරාමය ලෙසින් හැඳින්වෙන විහාරස්ථානයේ එකී විහාරගෙයට ආසන්නව පිහිටි ගල් තලාවක මෙම සෙල්ලිපිය කොටා ඇත. මහාචාර්ය සෙනරත් පරණවිතාන මහතා 1933 තරම් ඈත කාලයකදී මේ පිළිබඳව සටහනක් Ceylon Journal of Science කලාපයකට සැපයූ ඔහුගේ ලිපියක සඳහන් කර ඇති මුත් ලිපියේ ස්පර්ශ ලාංජනයක් (Estampage)  ගෙන එය කියවා ප්‍රකාශයට පත් කිරීමක් මෑතක් වනතුරුම සිදුකර නොතිබුණි. පරණවිතාන මහතා එහිදී මෙම ලිපියෙන් සිරි මේඝවර්ණ රජුගේ කාලයේදී සිවගේ පුත් දේව නැමැත්තෙකු විසින් විහාරයකට කරන ලද පූජාවක් පිළිබඳව කියැවෙන බව පවසා ඇත. එම කාලයේදීම ගත් ස්පර්ශ ලාංජනයක් පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව සතුව තිබී ඇති මුත් එය පසුකාලීනව සොයාගැනීමට නොහැකි වී ඇත. 1963 වර්ෂයේදී C.W. නිකොලස් මහතාද ඔහුගේ පුරාතන සහ මධ්‍යතන යුගයේ ඓතිහාසික ස්ථාන පිළිබඳව විස්තර ඇතුලත්ව සැකසූ ග්‍රන්ථයේ කැඩී බිඳී ගිය මෙම මේඝවණ්ණාභය රජුගේ කාලයට අයත් සෙල්ලිපිය සම්බන්ධව කෙටි සටහනක් තබා තිබේ.
එදා මෙදා තුර කාලයේදී ලිපියේ අක්ෂර ස්වභාවික සහ මානව ක්‍රියාකාරකම් හේතුවෙන් තව දුරටත් මැකී යෑම සහ ඇතැම් අක්ෂර විනාශ කිරීම සිදුවී ඇත. සුපුරුදු පරිදි මෙවන් අක්ෂර කොටා ඇති ස්ථාන වල ගල තුල නිධන් තැන්පත් කර ඇතැයි යන මිත්‍යාව හේතුවෙන් ඒවා විනාශ කිරීමේ පෙලඹවීමක් ජාතියක් ජම්මයක් නොමැති ඇතැම් වර්තමාන ශ්‍රී ලාංකිකයන් අතර ඇතිවී ඇති බැවින් එහි අනිටු ඵල විපාකයන්ට මුහුණ දීමට මෙම වැදගත් සෙල්ලිපියටද සිදුවී ඇත. ඒ අවට ඇතැම් ගල් පතුරු එවැනි පුද්ගලයන් විසින් ගලවා ඇති අතර සෙල්ලිපිය අසලින්ම වර්තමාන විහාරයේ ඝණ්ටාර කුළුන සිටවීමටද ගල හාරා ඇත. කෙසේ නමුත් මේ සමග පළවන ඡායාරූප වල පෙනෙන පරිදි මෙම සෙල්ලිපියට නිසි ආරක්ෂාවක් මේ වන විට පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව විසින් සපයා ඇත (මෙම ඡායාරූප 2018 වර්ෂයේ ජනවාරි මාසයේදී ලබාගත් ඒවා වේ.)
මහනුවර සම්ප්‍රදායේ මූර්ති සහ සිතුවම් සහිත විහාරගෙය

කෙසේ නමුත් ඉතාම මෑතකදී (2022 වර්ෂයේදී) මෙම ලිපිය කියවා ප්‍රකාශයට පත් කල පුරාවිද්‍යාඥ නාමල් කොඩිතුවක්කු මහතාට අනුව එහි පෙල මේ ආකාරයට වේ. 

සිරි මෙකවන අබ මහ රජ චත ලෙගිතෙක (හි) දස අවනක වසහි (පතය) ම....
සිවයහ පුත දෙවයහ අතනයෙහි තුම පිතහිච පති....(වක රබගම කණියෙ) පචරිය වෙහෙරහි දිනි (බුමි)...

සිරි මෙකවන අබ මහ රජුගේ අභිෂේකයෙන් දසවන වර්ෂයේ සිවගේ පුත් දේවගේ ආස්ථානයෙහි තම පියා සතු කොටසද.. රබගම කර්ණිකාවේ පචරිය විහාරයට දෙන ලදී යන අර්ථය සහිත මෙහි නම සඳහන් සිරි මෙකවන අබ මහ රජු පොදු වර්ෂ 301 සිට 328 දක්වා කාලයේ රාජ්‍යය විචාල කීර්ති ශ්‍රී මේඝවර්ණ හෙවත් කිත්සිරි මෙවන් රජු ලෙස හඳුනාගත හැක. මෙහි සඳහන් සිව හෝ ඔහුගේ පුත් දෙව යන පුද්ගලයන් පිළිබඳව තොරතුරක් මෙම ලිපියේ ඉතිරිව ඇති කොටසින් සොයා ගත නොහැකි මුත් සිරි මෙකවන අබ රජුගේ කාලයටම අයත් එකී නමද සඳහන් වන වව්නියා දිස්ත්‍රික්කයේ පිහිටි තෝනිගල සෙල්ලිපියේ සිවයහ පුත දෙවයහ නම් පිය පුතු දෙපලක් ගැන කියැවේ. සිරි මෙකවන අබ මහ රජුගේ තුන්වන රාජ්‍ය වර්ෂයට අයත් එම තෝනිගල ලිපියේ වැඩිදුරටත් සඳහන් වන්නේ සිව නැමැත්තා කඩුබල නම් ගම්හි වසන අමාත්‍ය මණ්ඩල සාමාජිකයෙකු බවය. මෙම සෙල්ලිපි දෙකෙහිම නම් සඳහන් වන්නේ එකම පිය පුතු දෙපලක් පිළිබඳවය යන්න ඒ අනුව බොහෝදුරට අනුමාණ කිරීමට හැකිය. 

ආස්ථානය හෙවත් අතන ලෙසින් මෙම සෙල්ලිපියේ සහ මේ යුගයට අයත් වෙනත් ඇතැම් සෙල්ලිපි වල සඳහන් වන වචනයෙන් වෙළඳපොල, වෙළඳ මධ්‍යස්ථානය හෝ බැංකුව වැනි ආයතන හැඳින්වූ බව යන්නය පොදු පිළිගැනීම වන්නේ. වර්තමාන බැංකුවක සිදුවන ආකාරයට එවන් ස්ථාන වල මුදල් හෝ ධාන්‍ය තැන්පත් කර ඒවායේ පොළියෙන් විහාරවල සිදුවන පිංකම් කටයුතු සහ ඒවායේ නඩත්තු කටයුතු සිදුකිරිම් කල බවට වූ සාධක එවන් සෙල්ලිපි කිහිපයකින්ම හමුවී ඇත. 
මෙහි සඳහන් කණිය යන වචනයෙන් එවකට මෙරට බෙදා තිබූ විවිධ පාලන ප්‍රදේශ හැඳින්වූ බව හඳුනාගෙන ඇත. වර්තමාන දිස්ත්‍රික්කයක් වැනි වූ එවන් ප්‍රදේශයන් කිහිපයක් පිළිබඳවම මේ ආකාරයේ වෙනත් සෙල්ලිපි ගණනාවකම සඳහන් වේ. රබගම කණිය යන්නෙන් මේ ලිපිය පිහිටා ඇති ප්‍රදේශය හෝ ඒ ආසන්න වෙනත් ප්‍රදේශයක් හැඳින්වූවා විය හැක. කෝට්ටේ යුගය වනවිටද මෙම පොකුණුවිට ප්‍රදේශයද අයත් වන ප්‍රදේශය හැඳින්වූ රයිගම යන්න රබගම > රයගම > රයිගම ලෙසින් වෙනස් වූවා විය හැක. නැතහොත් පාළි භාෂාවෙන් රම්බා ලෙසින් හැඳින්වෙන කෙසෙල් යන්නෙන් රබ ලෙස සිංහල භාෂාවට පැමිණි වචනයක් අනුසාරයෙන් කෙසෙල් ගම යන්න රබගම වූවා විය හැක. එයට අදාලව මෙහිදී සඳහන් කල යුතු තවත් කරුණක් වන්නේ දඹදෙණි යුගයේ සිටම පැවතෙන කෙසෙල්සේනා ගම (පූජාවලියේ දඹදෙණි යුගයේ විසූ දෙවැනි පරාක්‍රමබාහු රජුගේ පතිරාජ නම් වූ ඇමැතිවරයා කෙසෙල්සේනාව නම් ගමෙහි පන්සියයක් රියන් දික්වූ මහ හෙයක් [පාලමක්] තැනවූ බව පැවසෙන එම සඳහන මහාවංශයේ පාළියෙන් සඳහන් වන්නේ කදලීසෙනගාමයෙහි රියන් 100 ක් වූ පාලමක් තැනවූ ලෙසින්ය.) නම් වූ ප්‍රදේශයක් වර්තමානයේ කෙසෙල්හේනාව නමින් යුතුව කළුතර දිස්ත්‍රික්කය තුලම ඇති අතර, එහි පැරණි අනුරාධපුර යුගයට අයත් බවට හඳුනාගත් ස්ඵටික හුණුගලින් තැනූ බුදු පිළිමයක්ද ලෙන් විහාරයක් තුල තැන්පත් කර ඇත. 

ලිපියේ සඳහන් පචරිය විහාරය පිළිබඳව සඳහනක් වෙනත් සෙල්ලිපි වල හෝ පැරණි සාහිත්‍යමය මූලාශ්‍ර වල හමු නොවේ. එම විහාරය මෙම ලිපිය පිහිටුවා ඇති කඳුගැටයේ වර්තමාන විහාරය පිහිටි භූමියේ හෝ මේ ආසන්න වෙනත් ස්ථානයක තිබුණා විය හැක. 

මූලාශ්‍ර
  • අභිලේඛන සංග්‍රහය - 1, පුරාවිද්‍යාඥ නාමල් කොඩිතුවක්කු, 2022
  • Archaeological survey of Ceylon Epigraphia Zeylanica, being lithic and other inscriptions of ceylon, Volume III, 1933
  • Nicholas C.W. 1963, Historical Topography of Ancient and Medieval Ceylon, Journal of the Ceylon Branch of the Royal Asiatic Society, New Series, Volume VI, Special Number. 
  • මහාවංස 2 වෙළුම, ක්‍රි.ව. 303-1815 මාගධී පෙළ සහ සිංහල අනුවාදය, නව සංස්කාරක චන්ද්‍ර වික්‍රමගමගේ, සිංහල අනුවාදය අරුණ තලගල, 2015 
  • පූජාවලිය. පණ්ඩිත වේරගොඩ අමරමෝලි නා හිමියන්ගේ සංස්කරණය, 1953.

Sunday, December 3, 2017

මියුරිඳුසඳ දුටු අලගක්කෝනාර ප්‍රභූරාජයාගේ පතහවත්තේ රයිගම් රාජධානිය


බණ්ඩාරගම- හොරණ මාර්ගයේ කොතලාවල හන්දියෙන් දකුණට ඇති පාරේ මද දුරක් ගිය විට කබොක්  ගලින් නිර්මිත වට පවුරකින් වටවූ ශ්‍රී පුෂ්කරාරාමය නම් විහාරයක් හමුවේ. එම විහාර භූමියේ මෑතකදි පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව මගින් පිළිසකර කල විශාල පොකුණක්ද දැකිය හැක. මේ ලිපිය එම භූමියේ ඓතිහාසිකත්වය විමසා බැලෙන කෙටි සටහනකි. 

මයුර සන්දේශය
ගම්පොළ පස්වන බුවනෙකබාහු ( ක්‍රි.ව. 1371 - 1408 ) රජ සමයේ රජුට, රජ පවුලට සහ රාජ්‍යභාර සෙන්පතියන්ට උපුල්වන් දෙවියන්ගේ ආරක්ෂාව ලබාදෙන ලෙස ඉල්ලා ගඟසිරිපුර (ගම්පොළ) සිට දෙව්නුවර උපුල්වන් දේවාලය දක්වා මොණරෙකු අත යවන සන්දේශයක් මයුර සන්දේශ කාව්‍යයට විෂය වේ. මයුර සන්දේශය ලිවූ කවියා කවරෙක්ද යන්න බොහෝ පිටපත් වල සඳහන් නොවන මුත් ඇතැම් පිටපත් වල සඳහන් වන්නේ ගුරුළුගෝමින්ගේ මුණුබුරු වූ කවිශ්වර නම් කෙනෙකු එය රචනා කල බවයි. එය ලිවූ කාලය ක්‍රි.ව. 1385 ත් 1391 අතර විය හැකි බව පුංචිබණ්ඩාර සන්නස්ගල මහතා අනුමාණ කරයි.

ගඟසිරිපුර සිට දෙව්නුවරට මයුරා යන මග එවකට අලගක්කෝනාර ප්‍රභූ රාජයා විසූ රයිගම් පුරවරය පසුකර ගමන් කරයි. මයුර සන්දේශ කවියා එම රයිගම්පුරය මෙසේ වර්ණනා කරයි.

ලෙස තෙවිකුම් රුපු නොතැකුම් විකුම් කොට
තුඟු තුරුගුම් බල සැලසුම් සෙන් පිහිට
ලොව සිරිතුම් ඇම පැවතුම් කළ දිගට
නිති මනරම් වදු රයිගම් පුරවරට

ත්‍රිවික්‍රමයා (එනම් විෂ්ණු) මෙන් සතුරන් නොතැකීම වික්‍රමය කරගත්, බල සේනා පෙලගැස්වීමට තූර්ය ඝෝෂාව පදනම් වූ, ලෝකයේ උතුම් හැසීරීම දිගටම පවත්වාගත්, නිතර සිත් පිනවන උතුම් රයිගම්පුරවරයට පිවිසෙන ලෙස කවියා එම කවියෙන් මයුරාට ආරාධනා කරයි.
ප්‍රාකාරය
එපුර වොරැඳි පිළිමිණි උර පිරි දියෙනි
ඉතිර සපිරි ලෙළ පිරි ඒ මිණිබිතෙනි
පැතිර ඔබින් ඔබ දිසි සේයා කෙවැනි
ගැඹර තර උනුන් එදෙදෙන බලන වැනි

පළිඟු මැණික්  පවුරෙහි ඡායාව දිය අගළෙහි පෙනෙයි. දිය අගළෙහි ඡායාව පළිඟු මැණික් පවුරෙහි පෙනෙයි. ඒ කෙසේද යත් පළිඟු මැණික් පවුර සහ දිය අගළ යන දෙදෙනා ඔවුනොවුන්ගේ ගැඹුර සහ මහත විමසා බලනු වැන්න.

පළිඟු මැණික් පවුරක් ලෙස කවියා වර්ණනා කරන එම ප්‍රාකාරය වර්තමානයේ පතහවත්ත ලෙසින් හැඳින්වෙන ඉඩම වටා අදද  දක්නට ඇත. කබොක් ගල් වලින් නිර්මිත එම ප්‍රාකාරය පුරාණයේ කපරාරු කර සුදු පිරියම් කර තිබෙන්නට ඇත. එනිසාය ඒ වටා තිබූ දිය අගලේ ඡායාව කැටපතක් බඳු ප්‍රාකාරයෙන් දිස්වූවේ. දිය අගල අද දක්නට නැති අතර ප්‍රාකාරයේ එක් පසක කුඩා පාරක්ද වෙනත් ස්ථාන වල පෞද්ගලික ඉඩම්ද දක්නට ඇත. දිය අගළ පසුව ගොඩ කර හෝ ස්වභාවිකව ගොඩවූ පසු  එම මාර්ගය සහ නිවාස ඉදිකර ඇතිවා විය හැක.
පතහ (පොකුණ)
රයිගම්පුර පිළිබඳව වූ මයුර සන්දේශ වර්ණනාවේ තව දුරටත් සඳහන් වනුයේ එපුර වෙළෙන්දන් උස් ප්‍රාසාදයන්ගේ සල්පිල් පවත්වාගෙන ගිය බවත්, රත්න කාන්තිය විහිදෙන බොහෝ විමන් ඒ නුවර වූ බවත්, එහි විදී වල නිතර මැණික් ඇල්ලු පොරොදු (සන්නාහ) බැඳ ඇතුන් සැරිසැරූ බවත්ය.

එම පුරයට අධිපතිව මහේෂ්වරයාගේ මිත්‍ර වූ (මහේශ්වර එනම් ශිව දෙවියාගේ මිත්‍රයා වනුයේ කුවේරයි ) අලකේශ්වර ප්‍රභූරාජයා (කවියා ඔහුගේ නමෙහි එම සංස්කෘත රූපය මෙන්ම සිංහල ශබ්දය වන අලගක්කෝනාර යන්නද භාවිතා කරයි.) සහ ඔහුගේ සොහොවුරු මන්ත්‍රීශ්වරයා විසූ බව මයුර සන්දේශ කවියා ඔවුන්ගේ දීර්ඝ ගුණ වැණුමක්ද සමගින් පවසයි.

අලගක්කෝනාර හෙවත් අලකේශ්වර සම්බන්ධව ඉහත මයුර සන්දේශ තොරතුරු සනාථ කරමින් රාජාවලිය පවසන්නේ මහාජීනේ දොස් රජු මායම් කර විජයබාහු රජුව මහාජීනයට (චීනයට) අල්වාගෙන ගිය පසු (චීන මායම ගැන කියවීමට Link >>) ලංකාවේ රජුන් නැති හෙයින් අලකේශ්වර මන්ත්‍රියා රයිගම් නුවර විසූ බවත් පරාක්‍රමබාහු බෑනා ගම්පල නුවර උන් බවත් යාපාපටුනේ ආර්ය චක්‍රවර්ති රජ උන් බවත්ය.
ශෛලමය ඇත් රුවක්
පැරකුම්බා සිරිත
උතුම් ගුණයුත් මෙ පැරැකුම්බා නිරිඳු රයිගම් නම් පුරා
බරණ සූසැට සිද්ද වොටුනුත් පැලඳැ විලසින් පුරඳරා
වෙළෙඳ ගොවිකුල වන්නි නිරිඳුන් නොදැන කළ නොසිරිත් වරා
බබුළුවා ලෝසසුන හෙබවී සරසමින් කුල දිවයුරා

ක්‍රි.ව. 1450 ත් 1460 අතර රචිත ලෙස සැලකෙන කොට්ටේ සවැනි පැරකුම්බා (1411 - 1461) රජුගේ ගුණ වැයුමට කිසියම් කවියෙකු විසින් කල ප්‍රශස්ති කාව්‍යයක් වන පැරකුම්බා සිරිතේ එන ඉහත පද්‍යයෙන් කියවෙන පරිදි පැරකුම්බා නිරිඳු රයිගම් පුරවරයේ සූසැට බරණින් සහ සිද්ද ඔටුනු පැළැඳ, ලෝ සසුන බබුළුවමින් සූර්ය වංශය සරහමින් ශක්‍ර දේවෙන්ද්‍රයා මෙන් වාසය කර ඇත. ඔහු කෝට්ටේ පුරවරය සිය අගනුවර කරගැනීමට පොරොතුව මෙසේ රයිගම විසුවා විය හැක. ඒ බව තහවුරු කරමින් රාජාවලිය පවසන්නේ බුධවර්ෂයෙන් එක්වාදහස් නවසිය සුසාළිස් අවුරුද්දක් ගිය සඳ ශ්‍රී පරාක්‍රමබාහු රජු තුන් අවුරුද්දක් රයිගන් නුවර වැඩ හිඳ පසුව ජයවර්ධන කෝට්ටයට වැඩමවූ බවයි. 
පතහ සහ පතහවත්ත
විජයබා කොල්ලය සහ රයිගම් බණ්ඩාර
රාජාවලියේ 'විජයබා කොල්ලය' ලෙසින් හැඳින්වෙන හය වැනි විජයබාහු රජු (ක්‍රි.ව. 1513 - 1521) මරා ඔහුගේ පුතුන් තිදෙනෙකු වන මායාදුන්නේ, රයිගම් බණ්ඩාර සහ භුවනෙකබාහු රාජ්‍ය පැහැර ගැනීමේ මාළිගා කුමන්ත්‍රණයෙන් පසු හත්වන භුවනෙකබාහු රජු (ක්‍රි.ව. 1521 -1551)  ජයවර්ධනපුර අගනුවර කර ගනිමින් මුළු රටේම පාලකයා ලෙස කිරුළු පළදින අතර, රයිගම් බණ්ඩාර රයිගම් නුවරද (පාලි - රයිගාමපුරෙ) මායාදුන්නේ තමන් විසින්ම කළ සීතාවක නුවරද ප්‍රදේශ රාජ්‍යය කළ බව මහාවංශයේ සඳහන් වේ.
පතහ (පොකුණ) සංරක්ෂණයට පෙර 2005 වසරේදී
රාජාවලියේ රයිගම සිටි කුමරාගේ නම සඳහන් නොවූවත් රාජාවලිය ලිවීමට පාදක වූ ලෙස හඳුනාගන්නා 'අලකේශ්වර යුද්දයේ' හෙතෙම පරරාජසිංහ ලෙස හඳුන්වයි. කෙසේ නමුත් රාජාවලියේ පසුව එන සඳහනකට අනුව රයිගම් බණ්ඩාර, මාපිටිගම සිට මියයන අතර, එම පුවතම වාර්තා කරන අලකේශ්වර යුද්දය මාපිටිගම සිටියදී එහිදීම මිය ගියේ රයිගම රජු වන පරරාජසිංහ බව පවසයි. අලකේශ්වර යුද්දයේ විජයබා කොල්ලය සිදුවීමට පෙර එන සඳහනකට අනුව හය වැනි විජයබාහු රජුට එක් බිසවකට දාව රාජාවලිය පවස්න පරිදි පුතුන් තිදෙනෙකු නොව සිව්දෙනෙකු සිට ඇති අතර ඔවුන් අතරින් වැඩිමහළු මහාරයිගම් බණ්ඩාර තරුණ අවදියේ මිය යන අතර, අනෙක් තිදෙනා පරරාජසිංහ, භුවනෙකබාහු සහ මායාදුන්නේ වෙයි. ඇතැම් විට මහාරයිගම් බණ්ඩාර මියගිය පසු රයිගම පාලනය කල හෙයින් පරරාජසිංහ රජු, රයිගම් බණ්ඩාර ලෙස හැඳින්වූවා විය හැක.

කෙසේ නමුත් පෘතුගීසි ලේඛක කූතෝ පවසන්නේ රයිගම විසූ රයිගම් බණ්ඩාර  (Reigao Pandar) සිය ප්‍රාදේශිය රාජ්‍යය ගෙන යාමට පුතෙකු නොමැතිව මිය ගිය විට, එම ප්‍රදේශය නීත්‍යානුකූලව කෝට්ටේ (Cota) රාජධානියට අයත් විය යුතු වුවත්, එම රාජධානියේ අගනුවර වූ රයිගම් කෝරලයට (Reigao Corle) කඩිනමින් ඇතුළු වූ මායාදුන්නේ (Madune) එහි බලය සහ සිය මිය ගිය සොහොයුරාගේ ධනය අත්පත් කරගත් බවත්, එමගින් ඔහු කෝට්ටේ රජුට වඩා බලවත් වූ බවත්ය.
පතහ (පොකුණ)
එවන් වූ ඉතිහාසයක් ඇති රයිගම් පුරවරයේ නශ්ඨාවශේෂ ලෙස ප්‍රාකාරයකින් වටවූ ඉහත පතහවත්ත නමින් හැඳින්වෙන අක්කර 4.5 ක පමණ වපසරියකින් යුතු ඉඩමේ මෑතකදි සංරක්ෂණය කර ඇති විශාල පොකුණක් සහ අඩි 8 පමණ උස අඩි 6 පමණ පළල ප්‍රාකාරයක් නටබුන් ලෙස ඉතිරිව ඇත. 'පතහ' යන්නෙන් විශාල පොකුණක් හැඟවෙන අතර 'පතහවත්ත' නම එම ඉහත විස්තර වූ පොකුණ නිසා එම ඉඩමට ව්‍යවහාර වන බව පෙනේ. මේ වන විට එම ඉඩමේ නූතන යුගයට අයත් ශ්‍රි පුෂ්කරාරාම විහාරය ඉදි කර ඇති අතර එම පරිශ්‍රය පුරා වැසිකිලි ගල්, ඇත් රූප, පාදම් ගල් වැනි විවිධ නටබුන් හමු වී ඇත. ඒවා අලකේශ්වර ප්‍රභූ රාජයගේ හෝ  ඉන්පසුව එහි විසූ සවැනි පරාක්‍රමබාහු, රයිගම් බණ්ඩාර (පරරාජසිංහ) වැනි රජවරුන්ගේ මාළිගා වල නටබුන් විය හැකි වන අතර පොකුණ (පතහ) පැරණි රාජකීය පොකුණ ලෙස හඳුනාගත හැක.
ශෛලමය වැසිකිලි ගලක්
මූලාශ්‍ර
  • රයිගම්පුර වංශකතා, සංස්කරණය රාජකීය පණ්ඩිත ආචාර්ය හොරණ වජිරඤාණ නාහිමි, 2002
  • පැරකුම්බා සිරිත, පොදු සංස්කරණය - මහාචාර්ය රෝහිණි පරනවිතාන, 1997
  • මයුර සන්දේශය සංස්කරණය - සිරි තිලකසිරි, 2000
  • රාජාවලිය - ඒ වී සුරවීර සංස්කරණය, 1997
  • The Rajavaliya, A Comprehensive Account of the Rulers of Sri lanka, And the first ever translation of the Alakesvara Yuddhaya, A.V. Suraweera, 2000
  • සිංහල සාහිත්‍ය වංශය - පුංචිබණ්ඩාර සන්නස්ගල, 1994
  • මහාවංස 2 වෙළුම, ක්‍රි.ව. 303-1815 මාගධී පෙළ සහ සිංහල අනුවාදය, නව සංස්කාරක චන්ද්‍ර වික්‍රමගමගේ, සිංහල අනුවාදය අරුණ තලගල, 2012
  • University of Ceylon, History of Ceylon Volume I Part II, 1960
  • University of Peradeniya, History of Sri Lanka, Volume II (c1500 to c1800), Editor K.M. de Silva  1995
  • The History of Ceylon from the Earliest Times to 1600 A.D. As related bu Joao de barros and Diogo do Couto, Translated and Edited by Donald Ferguson, 1993