Saturday, August 25, 2018

පෙම් යුවලක් නොවන "ඉසුරුමුණියේ පෙම් යුවල"

"හේ සුදුය, ලස්සනට කුමාරයෙකු මෙන් හැඳ පැළඳ සිටි. එහෙත් ඇඳුම ඇඟ පෙණෙන කෙටි පාරුපනයකි (Robe). ශෘංගාරාත්මක භාව ලක්ෂණයන්ගෙන් පිරුණු මුව ඇත්තේ වෙයි. අතෙහි කඩුව ඇත්තේය. දකුණත වරද මුද්‍රාවෙන් යුක්තයි. ප්‍රඥා නැමති ශක්තිය (භාර්යාව) සිනාමුසු මුහුණින් රාගනිශ්‍රිතව පසකින් සිටිනීය."

මංජු ශ්‍රී නම් වූ මහායාන බොධිසත්වයන්ගේ අවතාරයක් වූ "ස්ථිර චක්‍ර" ගෙ හැඩරුව භාරතීය බෞද්ධ ප්‍රතිමා ශිල්පයේ එසේ විස්තර වේ. මෙම ලක්ෂණ සහ අප දැනට "ඉසුරුමුණි පෙම් යුවල" ලෙස හඳුන්වන " ඉසුරුමුණිය" ලෙසින් වරදවා ව්‍යවහාර වන විහාරය අසල පිහිටි කෞතුකාගාරයේ තබා ඇති කැටයමේ ලක්ෂණ සමග බොහෝ දුරට එකඟ වන බව බැලූ බැල්මට පෙනේ. එසේ නම් "ඉසුරුමුණි පෙම් යුවල", මංජු ශ්‍රී බෝධිසත්වයන්ගේ "ස්ථිර චක්‍ර" අවතාරයද?

මෙම කැටයමින් නිරූපණය වනුයේ මහායාන අෂ්ට මහා බෝධිසත්වයන්ගෙන් කෙනෙකු වන ඥානයට අධිපති මංජු ශ්‍රී බෝධිසත්වයන්ගේ "ස්ථිර චක්‍ර" වේශය බව මහාචාර්ය සෙස්ටියර් (Prof. P.C. Sestieri) මුල් වරට පෙන්වා දී ඇත. පූජ්‍ය කඹුරුපිටියේ වනරතන හිමිමහාචාර්ය දොහානියන්, මහාචාර්ය චන්ද්‍රා වික්‍රමගමගේ වැනි වියතුන්ද එම මතය සත්‍ය බව පිළිගනී. සාධනමාලා නම් මහායාන කෘතියේ දැක්වෙන ලෙසට මෙම ස්ථිර චක්‍ර වේශයේ සංකේතය කඩුව වන අතර එය වටා රැස් වලල්ලක් යොදා තිබීමෙන් එම කඩුවෙන් නොහොත් ප්‍රඥාවෙන් විහිදෙන ආලෝකයෙන් අවිද්‍යාව නැමැති අන්ධකාරය දුරු කරන බව හැඟවේ.

එහෙත් මෙම මතය දැඩිව විවේචනය කරන මෙරට මහායාන මූර්ති ශිල්පය පිළිබඳව පර්යේෂණ කල විද්වතෙකු වන මහාචාර්ය නන්දසේන මුදියන්සේ මහතා ඉහත සාධනමාලා කෘතියේ දැක්වෙන ලෙසට ස්ථිර චක්‍ර වේශය දරන මංජු ශ්‍රී බෝසතානන් ඔහුගේ එක් අතක කඩුව සහ අනෙක් අතේ 'වරද මුද්‍රාව' දැක්විය යුතු බව පවසයි. එහෙත් ඉසුරුමුණි කැටයමේ වරද මුද්‍රාව එක් අතකින් නොදැක්වෙන අතර කඩුව දැක්වෙන්නේ අනෙක් අතේ නොව උරහිසට පිටුපසින් එහි කොපුව තුල දමා ඇති ලෙසට බවත්, ඒ සමග ඇති රවුම සහ එයින් විහිදෙන ඉරි පලිහක්(Shield) සහ එහි උල් වූ කෙලවරවල් (Pointed edges) බවත් පවසයි.
කඩුව සහ රැස්වලල්ල

මාතලේ දිස්ත්‍රික්කයේ ඇලහැරින් හමු වී ඇති අඟල් 2 ක් පමණ උස 4-5 සියවස් වලට අයත්  මංජු ශ්‍රී බෝධිසත්ව පිළිමයකද එහි දකුණු අතින් කඩුවක් දරා සිටින ආකාරය නිරූපනය වන බවත්, මංජු ශ්‍රී ලෙස හඳුනාගත් බොහෝ පිළිම වල එසේ දැකිය හැකි බවත් ඒ මහතා පවසයි. එහෙත් එවැනි මංජු ශ්‍රී පිලිරූ වල වමතින් 'ප්‍රඥාපාරමිතා' නම් වූ මහායාන ග්‍රන්ථයේ අත් පිටපත් පෙන්විය යුතු බවට ඉහත සාධනමාලා කෘතියේ විස්තර වන මුත්, මෙම ඇලහැර පිලිමයේ වමත එහි වැලමිටින් නමා ඉඟටිය මත තබා ගෙන ඇත. නන්දසේන මුදියන්සේ මහතාට අනුව එය එම පිළිමය මංජු ශ්‍රී ප්‍රතිමාවක් ලෙස හඳුනාගැනීමට බාධාවක් කරගත යුතු නොවේ. තවද බොහෝ මහායාන බෝධිසත්ව ප්‍රතිමා වල හිස් පලඳනාවේ 'ධ්‍යානි බුදු රුවක්' දැකිය හැකි මුත් ඉසුරුමුණි කැටයමේ එවැන්නක් දක්නට නොමැති බව එය මහායාන බෝධිසත්ව රුවක් නොවන බවට වන ඔහුගේ තර්කය තවත් ශක්තිමත් කරමින් මුදියන්සේ මහතා පෙන්වා දෙයි.

මේ අනුව නන්දසේන මුදියන්සේ මහතාගේ නිගමනය 5 වන සියවසට කාල නිර්ණය කල හැකි මෙම කැටයම, ඒ පිළිබඳව වන ජනප්‍රිය මතයම වන පෙම් යුවලක් නිරූපනය කරන කැටයමක්ය යන්නය. කෙසේ නමුත් සාධනමාලා නම් කෘතිය ඊට පසු කාලීන කෘතියක් බවත් එහි ප්‍රතිමා ලක්ෂණ පිළිබඳව විස්තර වන  විකාශනයන් මෙරටට 5 වන සියවස වන විට පැමිණ නොතිබෙන්නට ඇති බවත් ඒ මහතා පවසයි.

පූජ්‍ය කඹුරුපිටියේ වනරතන හිමියන් පවසන්නේ බොහෝ අවස්ථා වලදී සිංහල නිර්මාණ ශිල්පියා භාරත කැටයම් කලාව අකුරටම අනුගමනය නොකල බවත්, අවස්ථානූකූලව සැලකිය යුතු වෙනස්කම් සිය කැටයම් සහ මූර්ති වල සිදු කල බවත්ය. මේ පිළිබඳව උදාහරන බොහෝ ඇති අතර ඉහත විස්තර වූ ඇලහැරින් හමු වූ මංජු ශ්‍රී ප්‍රතිමාවද එයට එක් නිදසුනක් ලෙස ඉදිරිපත් කල හැක. ඒ අනුව "ඉසුරුමුණි පෙම් යුවලින්ද" මංජු ශ්‍රී බෝධිසත්වයන්ගේ ස්ථිර චක්‍ර අවතාරය හෙවත් වේශය සහ ඔහුගේ 'ප්‍රඥා' නමැති 'ශක්තිය' (කාන්තා රූපයෙන්) නිරූපනය වන බවට වන මතය පිළිගැනීමට එවන් සුළු වෙනස් කම් බාධාවක් කර නොගත යුතු බව හැඟේ.

වැලිගලින් නෙලා ඇති මෙම කැටයම ගුප්ත ශෛලයට අනුව නෙලා ඇති බව A.M. හෝකාර්ට්, සෙනරත් පරණවිතාන වැනි වියතුන් පෙන්වා දී ඇත. ඒ අනුව මෙම කැටයම් 5-6 වන සියවස් වලට කාල නිර්ණය කර ඇත. මේ කැටයමින් නිරූපනය වන යුවල පිළිබඳව ඉදිරිපත් වී ඇති වෙනත් මත අතර J.Ph. වෝගල් (J.Ph. Vogel) ඉදිරිපත් කර ඇති යුද සෙබෙලෙකු සිය පෙම්වතිය සමග සිටින කැටයමක්ය යන මතය සඳහා ඔහු පාදක කරගන්නේ පිරිමි රූපයේ පිටුපසින් දැකිය හැකි කඩුව සහ පලිහ වේ. සෙනරත් පරණවිතාන මහතා ඉදිරිපත් කරන සාලිය-අශෝකමාලා යුවල මෙමගින් නිරූපිත බවට වන මතයද මේ වන විටද ජනප්‍රිය මතය වන මුත් එහි එතරම් විදුහුරු බවක් නොපෙනේ. 

මෙමගින් නිරූපිත ලෙස අප මෙම ලිපියේ මුලින්ම සඳහන් කල බොහෝ දුරට පිළිගත හැකි මතය වන මංජු ශ්‍රී බෝධිසත්වයන්ගේ ස්ථිර චක්‍ර වේශය නිරූපිත පිලි රූ මෙරටින් පමණක් නොව පැරණි භාරතයෙන්ද සුලභව හමු නොවේ. ඒ අතරින් කල්කටාවේ වහ්ගිය සාහිත්‍ය පරිසද් (Vangiya Sahitya Parisat) නම් ස්ථානයෙන් හමු වී ඇති ප්‍රතිමාව එවැනි ස්ථිර චක්‍ර පිලිරුවක් ලෙස හඳුනාගෙන ඇත ( රූපය >) එහි කඩුව නෙළුම් මලක් මත දක්වා ඇති අතර නෙළුමේ දණ්ඩ බෝධිසත්ව රූපයේ වමතින් දරාගෙන සිටි. දකුණු අතින් වරද මුද්‍රාව දක්වා ඇත. ලලිතාසනයෙන් ඉඳගෙන සිටින ඔහුගේ වම් පසින් ඔහුගේ ශක්ති හෙවත් කාන්තා රූපය දක්වා ඇත. අපගේ ඉසුරුමුණි පෙම් යුවල එම ස්ථිර චක්‍ර නම් වූ මංජු ශ්‍රී බෝධිසත්ව අවතාරය අපටම අනන්‍යය වූ ස්වරූපයකින් දේශිය සිංහල කලාකරුවා ඉදිරිපත් කල ආකාරය විය නොහැකිද? කඩුව වටා තිබෙන වලයාකාර නිරූපනය ඉහත ඉන්දීය පිළිමයේ ආකාරයටම නෙළුම් මලක් මත කඩුව දක්වා ඇති ආකාරය විය නොහැකිද? අතීතයේ බොහෝ විට අපි විවිධ රටවලින් විශේෂයෙන්ම ආසන්න භාරත දේශයෙන් බොහෝ දේ ගත් නමුත්, ඒවා අපටම අනන්‍යය ස්වරූපයක් සහිතව ඉදිරිපත් කල බවට මෙය තවත් එක් උදාහරනයක් නොවන්නේද?

මූලාශ්‍ර
  • The Indian Buddhist Iconography, Mainly based on The Sadhanamala, and Cognate Tantric texts of  Rituals, Bhattacharyya, B. 1958
  • Archaeological Department Centenary (1890-1990) Commemorative series, Volume Four, Sculpture, Editor in Chief Pandit Dr. Nandadeva Wijesekera, 1990
  • University of Ceylon History of Ceylon Volume 1, Part 1, 1959. 
  • History and Archaeology of Sri Lanka, Volume II, The Art and Archaeology of Sri Lanka 1, CCF, 2007
  • අනුරාධපුර නටබුන්, කඹුරුපිටියේ වනරතන හිමි, 1970
  • පැරණි සිංහල ප්‍රතිමා ශිල්පය, නන්දදේව විජේසේකර, 1970
  • Mahayana Monuments in Ceylon, Nandasena Mudiyanse, 1967
  • ඉසුරුමුණිය, මහාචාර්ය චන්ද්‍රා වික්‍රමගමගේ, 2001


Saturday, August 18, 2018

සිලාපොක්ඛරණී - කුමාර පොකුණ වූ පරාක්‍රමබාහු රජුගේ ගල් පොකුණ

පොළොන්නරුවේ ඇතුළු නුවර මෙයට පෙර ලිපියෙන් විස්තර වූ පරාක්‍රමබාහු රජුගේ වැටුම්මඩුව පිහිටි ස්ථානයේ සිට ගිණිකොන දෙසින් 'ඇතුළු කොටුබැම්මෙන්' පහතට බැසීමට පඩිපෙලක් ඇත. එම පඩිපෙල බැස ගිය විට දැනට කුමාර පොකුණ ලෙසින් හැඳින්වෙන ශෛලමය පොකුණක් සහ ඒ අසලම දකුණු දිශාවට වන්නට පිහිටි තවත් මණ්ඩපයක් දැකිය හැක. පරාක්‍රම සමුද්‍රයේ සිට ජලය බැස යන ඇල මාර්ගයද මේ අසලින්ම වාගේ ගමන් කරයි. දැනට මේ ශෛලමය පොකුණට භාවිතා වන කුමාර පොකුණ යන්න පැහැදිලිවම එහි පැරණි නම නොවන මුත් H.C.P. බෙල් 1911-12 වසර සඳහා වූ පුරාවිද්‍යා කොමසාරිස්වරයාගේ පාලන වාර්තාවේ පවා එම නම භාවිතා කරන බැවින් ඒ වනවිටද පොදු ජනතාව අතර එම නම භාවිතයේ වූ බව පෙනේ.
මහාවංශයේ මහා පරාක්‍රමබාහු රජු පොළොන්නරුව නගරය තුල ඉදි කල වෛජයන්ත ප්‍රාසාදය, රාජවෙශ්‍යභූජංග මණ්ඩපය ආදි ගොඩනැගිලි පිළිබඳව වූ විස්තරයෙන් අනතුරුව මාළිගාව අසල ප්‍රදේශයේ කරවූ ගෙඋයන පිළිබඳව විස්තරයක් ඉදිරිපත් කරයි. කොඳවැලින් වෙළුණු රුක් වලින් යුක්ත, නොයෙක් මල් රොන් රස විඳින මත් බඹර හඬ ඇසෙන, සපු, අශෝක, මදටිය, පුවක්, වැටකේ, සල්, පලොල්, කොළොම්, අඹ, දඹ, මූනමල්, පොල්, කෙළිඳ ගස් වලින්ද, කෙම්වැල්, මාලතීවැල්, මල්ලිකාවැල්, තමලුවැල්, සත්පෙති, දෑසමන් වැල් වලින්ද යුක්ත නන්දන උයන මෙන් අලංකාර වූ එම උයන එහි යන්නවුන්ගේ සිත් සතුටු කරන බව එහි විස්තර වේ.
මණ්ඩපය
මොනරුන්ගේ රාවයෙන්ද, කොවුලන්ගේ කූජනයෙන්ද, යුක්ත වූ එම උයනේ පියුම් උපුල් වලින් ගැවසුණු විල්ළිහිණියන්ගේ රාවයෙන් යුතු, මනා ඉවුරු ඇති විල්; ඇත් දළින් නිමවුණු බොහෝ රූපයන්ගෙන් බබලන කුළුණු වලින් ශක්තිමත් වූ, යන්ත්‍ර මාර්ගයෙන් ජලනලයෙන් විසිරුණු වැසිවසින මේකුළු බඳු අලංකාර දිය දහරින් යුතු,  නෙත් පැහැරගන්නා වූ ධාරාඝරයකින්ද සැරසිණ. එම උයන සඳුන් දැවයෙන් කළ බොහෝ කුළුණු වලින් අලංකාර වූ පොළෝතලයට අලංකාරයක් වූ, අසමාන වූ, බබලන්නාවූ විමානයකින්ද, අෂ්ටාස්‍රාකාර මණ්ඩපයකින් හා වෘත්තාකාර මණ්ඩපයකින්ද, සිත් සතුටු කරන නාගදරණයක සිරිය උසුලන විශාල මණ්ඩපයකින්ද යුක්ත විය
මණ්ඩපය
බොහෝ මිනිසුන්ගේ සිත් සතුටු කළ මෙම උයනෙහි ගල් පොකුණ (සිලාපොක්ඛරණී), රජුන් අතර ප්‍රධාන වූ පරාක්‍රමබාහු රජුගේ සිත් සතුටු කල බව මහාවංශයේ එන ගාථා වලින් විස්තර වේ. එසේම හැමවිටම බොහෝ සෙයින් රමණීය වූ මංගල පොකුණ (මංගලපොක්ඛරණී) තිබූ උයන, නන්දා නැමැති පොකුණෙන් යුත් නන්දන උයන ලෙස හැඟේ. සුවඳවත් දියෙන් පිරුණු උතුම් පුණ්ණා නම් පොකුණ (පුණ්ණා පොක්ඛරණී ) රජු නැමැති සඳ සතුටු කරමින් බබලයි. වසන්ත නම් ගුහාවකින් හා පොකුණුවලින් යුක්ත එම උයන සැමදා බොහෝ අලංකාරයෙන් හා සෞභාග්‍යයෙන් යුක්තව පෙනුන බවද මහාවංශය තව දුරටත් විස්තර කරයි.
ඉහත විස්තරයෙහි එන විවිධ පොකුණු සහ අනෙකුත් මණ්ඩප, ධාරාඝර ආදී ඉදි කිරීම අතරින් සිලාපොක්ඛරණි ලෙසින් හැඳින්වුන පොකුණ අද ජන ව්‍යවහාරයේ කුමාර පොකුණ ලෙසින් හැඳින්වෙන පොකුණ ලෙස හඳුනාගෙන ඇත. රජ මාළිගාව අසල නටබුන් අතර හමුවන එකම ශෛලමය (සිලා) පොකුණ එය වන බැවින් මෙම හඳුනාගැනීම නිවැරදි විය යුතුය.

1911-1912 වර්ෂ සඳහා වී සිය පාලන වාර්තාවේ මෙම 'කුමාර පොකුණ' පිළිබඳව විස්තරයක් ඉදිරිපත් කරන H.C.P. බෙල් මෙම පොකුණ තුල තිබී ගනේෂ රූපයක්, හිස සුන් කුඩා නන්දි ගවයාගේ රූපයක්, විශාල සිංහ රූපයක හිස සහ ශරීරයේ කැබලි, පිරිමි සිංහ රූප තුනක් (ඔහුගේ විස්තරයට අනුව මෙසේ හඳුන්වන්නේ ඉහත රූපයේ දැක්වෙන පොකුණට ගලා එන වතුර එයට වැක්කිරීම සිදුවන පිලී බව පෙනේ.). සහ විශාල රවුම් පද්මාසන පාදස්ථලයක් (මේ වර්තමානයේ පොකුණේ හරි මැද තබා ඇති පහත රූපයේ දැක්වෙන ගල් ආසනය ලෙසට හඳුනාගත හැක. මෙය පිළිමයක පාදස්ථලයක් [Massive 'Padmasana' pedestal of some image, in double flexure moulding, circular...] ලෙසට බෙල් වැරදියට හඳුනාගනී.) හමු වූ බව පවසයි. මෙම ගල් ආසනය ජල ක්‍රීඩා අතරතුරේදී විවේක ගැනීම උදෙසා ඉදි කරන්නට ඇත.
බෙල් විහාරයක් ලෙස හඳුනා ගන්නා මේ අසලම පිහිටි එහි  දෙපසින්ම පිවිසීමට පියගැට පෙලවල් සහිත මණ්ඩපය ඇඳුම් මාරු කිරීම උදෙසා වූ කාමරය (සළු මණ්ඩප) ලෙස ඇතැම් විද්වතුන් විසින් හඳුනාගෙන ඇත. මහාවංශයේ විස්තර වන නාග දරණයක සිරිය උසුලන මණ්ඩපය මෙය විය නොහැකිද?

අසල පිහිටි ඇල මාර්ගයේ සිට භූගත නල පද්ධතියක් මගින් මෙම පොකුණට ගෙන එන ජලය මකර රූප සහිත පීලි ඔස්සේ (පොකුණේ බටහිර පැත්තේ එවැනි පිලී 2 සහ අනෙක් පැති වල එක බැගින් පීලි 5 තිබී ඇත.) පොකුණට වැටෙන අතර එම ජලය පිටවීම සඳහා වූ භූගත කාණුවක් පොකුණ තුල දැකිය හැක. අවශ්‍ය අවස්ථා වලදී ජලය පිටවීම පාලනය සඳහා වූ සොරොව් දොර ලී වලින් තනා තිබෙන්නට ඇත. එය ඇතුළු කල විවරය පහත රූපයේ ලකුණු කර පෙන්වා ඇත.
මූලාශ්‍ර

  • History and Archaeology of Sri Lanka, Volume II, The Art and Archaeology of Sri Lanka 1, CCF, 2007 
  • The Polonnaruva Period, A Special issue of The Ceylon Historical Journal, Edited by S.D. Saparamadu 
  • University of Ceylon History of Ceylon Volume 1, Part 2, 1960. 
  • Heritage of Rajarata, Chandra Wickramagamage, 2004 
  • Nicholas C.W. 1963, Historical Topography of Ancient and Medieval Ceylon, Journal of the Ceylon Branch of the Royal Asiatic Society, New Series, Volume VI, Special Number. 
  • Bell H.C.P., 1915, Archaeological Survey of Ceylon, North Central, Central And Northern Provinces, Annual Report 1911-1912 
  • පොළොන්නරු නටබුන්, කඹුරුපිටියේ වනරතන හිමි, 1962 
  • පොළොන්නරු පැරණි නගරය, චාල්ස් ගොඩකුඹුරේ, 1967 
  • මහාවංස 2 වෙළුම, ක්‍රි.ව. 303-1815 මාගධී පෙළ සහ සිංහල අනුවාදය, නව සංස්කාරක චන්ද්‍ර වික්‍රමගමගේ, සිංහල අනුවාදය අරුණ තලගල, 2015 
  • Polonnaruwa, Medieval Capital of Sri Lanka, Anuradha Seneviratna, 1998

Saturday, August 11, 2018

ශිව දෙවියාගේ ජටාමඩුල්ල හා සමාන රාජවෙශ්‍යභූජංග මණ්ඩපය

"අනතුරුව ඔහු මිහිබට සුධර්මා දිව්‍ය සභාව බඳු වූ, සියලු ලෝකයන්හී සිරිත් එක්තැන් කළාක් වූ, තුන්මහළකින් යුක්ත වූ, විසිතුරු සිතුවමින් අලංකාර කරන ලද, සිත් අලවන වේදිකා සමූහයකින් වටකරන ලද, ගායකාදීන්ට පැතූ සම්පත් ගෙනදෙන, කප්රුක යට කරවන ලද වටිනා අසුනකින් අලංකාර වූ, යුද්ධයෙහිදී සිය බාහු බලයෙන් ලබාගත් ලකඟනගේ නොයෙක් මැණික් වලින් බබලන ඔටුන්න හා සමාන ශිව දෙවියාගේ ජටාමඩුල්ල හා සමාන වූ රජවෙශ්‍යභූජංග නම් රමණීය මණ්ඩපයක් කරවීය." - මහාවංශය 71 වන පරිච්ඡේදය

පළමුවැනි පරාක්‍රමබාහු රජතුමා (ක්‍රි.ව. 1153-1186) පොළොන්නරුවේ ඉදි කල ගොඩනැගිලි පිළිබඳව වූ විස්තරයේදී මහාවංශය එසේ විස්තර කරන ගොඩනැගිල්ල මේ වන විට පරාක්‍රමබාහු මාළිගයෙන් ඊසාන දෙසට වන්නට පිහිටා ඇති ශෛලමය මණ්ඩපය ලෙස හඳුනාගෙන ඇත. එම නටබුන් ගොඩනැගිල්ල රාජවෙශ්‍යභූජංග මණ්ඩපය ලෙසින් පළමු වරට අනුමාන ලෙසින් හඳුනාගනු ලැබුවේ 1922 වසරේ සිට 1927 දක්වා පුරාවිද්‍යා කොමසාරිස් ධූරය දැරූ A.M. හෝකාර්ට් මහතා විසිනි. පසුව ඒ බව තහවුරු කිරීම සඳහා එම ගොඩනැගිල්ලට පිවිසෙන පඩි පෙලේ දෙවෙනි පඩිපෙළ මුදුනේ ඇති ගල් පුවරුවේ 'රාජවේශ්‍යාභූජඟමණ්ඩපය' ලෙස දොළොස්වන සියවසට අයත් අකුරින් කොටා ඇති බව සොයා ගැනීම උපකාරී විය. 
1932 වසරේ සිට පොළොන්නරුවේ ඇතුළු නුවර පරාක්‍රමබාහු මාළිගය සහ ඒ අවට පිහිටි ගොඩනැගිලි වල සිදු කල කැනීම් වලදී මේ ගල් පුවරුව සොයාගැනිණි. එම කැනීම් වලදි පැහැදිලි වූ තවත් කරුණක් වූවේ වර්තමාන මණ්ඩපය ඉදිකර ඇත්තේ පළමුවන පරාක්‍රමබාහු රජුගේ කාලයේ සිට පැවතෙන ගොඩනැගිලි වල නටබුන් මත බවය. එසේම මෙම ගොඩනැගිල්ලේ ඉහල පස් තට්ටුවේ තිබී හමුවූ 13 වැනි සියවසේ අවසාන කාලයට අයත් චීන කාසි කිහිපයක් නිසාද, වර්තමාන ගොඩනැගිල්ල එම යුගයේ විසූ දෙවැනි පරාක්‍රමබාහු රජුගේ (ක්‍රි.ව. 1236-1270) රාජ්‍ය කාලයේ පශ්චිම භාගයේ, එහි මුල් ස්ථානයේ සිට තරමක් ඈතට වන්නට නැවත ඉදි කර ඇති බව පරණවිතාන මහතා අනුමාන කරයි. මහාවංශය විස්තර කරන ලෙසටද දඹදෙනියේ සිට රාජ්‍ය විචාල දෙවන පරාක්‍රමබාහු රජුගේ සමයේදී ඔහු පුත් සිව්වන විජයබාහු රජු (ක්‍රි.ව. 1270-1272) නටබුන්ව පැවති පොළොන්නරුව පැරණි නගරයේ ගොඩනැගිලි, පොකුණු, වීදි ආදිය පිලිසකර කර " උතුම් පොළොන්නරුව පෙර පැවති සේ" තනවා ඇත. 
මහාවංශයේ මහල් තුනකින් යුක්තව තනා ඇති බව පැවසෙන මෙම මණ්ඩපය එසේ හැඳින්වෙන්නේ ගොඩනැගිල්ලේ පදනම ලෙස යෙදෙන එකිනෙක මත පිහිටි වේදිකා තුන නිසා බව පැහැදිලිය. එම පහලම වේදිකාවේ විවිධ ඉරියව්වෙන් යුත් ඇත් රූපද, එය මත පිහිටි දෙවැනි වේදිකාවේ සිංහ රූපද ඉහලින්ම පිහිටි වේදිකාවේ වාමන රූපද කැටයම් කර ඇත. ගොඩනැගිල්ලේ ගෙබිම මත පේළි සතරකට සිටවූ කැටයම් කළ ගල් කණු 48 ඇති අතර ඒ මත දැවයෙන් කර උළු සෙවිලි කල වහලය තිබෙන්නට ඇත. 
මණ්ඩපයට පිවිසීමට ඇති පියගැට පෙල කොටස් දෙකකට ඉදි කර ඇති අතර එහි  ආරම්භයේ සහ මැදට වන්නට සඳකඩපහණ දෙකක් දක්නට ඇත. මණ්ඩපයට පිවිසෙන ස්ථානයේ ගල් පුවරුවක ඉහත විස්තර වූ සෙල් ලිපිය ඇති අතර එය දෙපස අලංකාර සිංහ රූ දෙකක් දක්නට ඇත. පියගැට පෙලේ කොටස් දෙක දෙපස කැටයම් කල කොරවක්ගල් දෙකක් පිහිටුවා ඇත. මෙහි මැද පිහිටි සඳකඩපහණ නිශ්ශංකමල්ල රජුගේ රාජ සභා මණ්ඩපයේ සිට ගෙනවුත් මෙහි සවි කර ඇත්තේ H.C.P. බෙල් මහතා විසින් බවට විශ්‍රාම ලත් පුරාවිද්‍යා දෙපාර්තමේන්තු සේවකයෙකු විසින් පැවසු බවට ජයසිංහ බාලසූරිය මහතා සිය පොළොන්නරුව පිළිබඳව වූ ග්‍රන්ථයක පවසන සඳහන සත්‍යක්ද යන්න තවදුරටත් විමසා බැලිය යුතුය. පරාක්‍රමබාහු රජුගේ ලෙස හඳුනාගන්නා වෙනත් ගොඩනැගිලි අසල ඇති සඳකඩපහණ වල සිංහ රුව දැකිය නොමැති මුත් මෙහි සිංහ රූප දක්නට ලැබීම එම කරුණ සත්‍ය විය හැකියැයි දැක්වීම සඳහා ඒ මහතා උපයෝගී කරගනී. 
'රජ මාළිගාව' ලෙසින් එවකට වැරදියට හඳුනාගෙන තිබූ මෙම මණ්ඩපය පිළිබඳව විස්තරයක් බෙල් සිය 1905 වසර සඳහා වූ පුරාවිද්‍යා කොමසාරිස්ගේ පාලන වාර්තාවේ ඉදිරිපත් කරයි. බෙල්ගේ විස්තරයේ ඉහත සඳකඩපහණ දෙකම මෙම ස්ථානයේ තිබූ බවට විස්තර වන අතර සිංහ රූප සහිත සඳකඩපහණේ විශේෂත්වය පිළිබඳවද ඔහු කරුණු සඳහන් කරයි. එනම් පොළොන්නරු යුගයට අයත් බොහෝ සඳකඩපහණ වල සිංහ රූප නොමැති මුත් මෙම සඳකඩපහණේ සහ හැටදාගෙය ලෙසින් හැඳින්වෙන ගොඩනැගිල්ලේ ඇති සඳකඩපහණ වල සිංහයා දැකිය හැකි වීමය. පහතින්ම ඇති සඳකඩපහණේ සිංහ රූප නොමැති වීම ගැනද සඳහනක් බෙල්ගේ විස්තරයේ අඩංගුය. (මෙම සඳකඩපහණ දෙකෙහිම ගවයා සුපුරුදු පරිදි පොළොන්නරු යුගයට අයත් වෙනත් සඳකඩපහණ වල ලෙසම දැකිය නොහැක.) වසර ගනණාවකට පෙර පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ සේවය කල හෝ එසේ සේවය කල ලෙස පවසන ගැමියන්ගේ 'යාන් හෑලි' සත්‍යය ලෙස සලකා පොත්පත් වල සඳහන් කර ඒවා 'පරම සත්‍යය' ලෙස සමාජගත වූ අවස්ථා මෑත කාලයේද නිබඳව අසන්නට ලැබුණි. ඉහත ජයසිංහ බාලසූරිය මහතා පවසන කරුණද එවන් තවත් එක් ඊණියා ජනප්‍රවාදයක් පමණක්ම බව ඒ අනුව පැහැදිලි වේ.

එවකට සම්පූර්ණයෙන් කඩාවැටීමට ලක්විය හැකි මට්ටමින් කැලෑව වැවි තිබූ මෙහි වැදගත්කම වටහාගත් H.C.P. බෙල් එය මතු දිනක නිසියාකාරව තහවුරු කරන තෙක් ඒ මත සහ වටා පිහිටි අවශේෂ ඉවත් කර ගොඩනැගිල්ල පැහැදිලිව දිස්වන සේ මතු කරගැනීමක් සිදු කරයි. 10 වන සියවසට අයත් බෙහෙවින් ගෙවී ගිය සෙල්ලිපියක කොටසක් හමුවන්නේද මෙම අවස්ථාවේදීය.
කෙසේ නමුත් මෙම මණ්ඩපය පසුව විවිධ කොටස් එකතු කර නිමවූවක් බව තහවුරු වන තවත් සාධකයක්  වනුයේ මෙහි නටබුන් අතර දසවන සහ දොළොස්වන සියවස් වලට අයත් සෙල්ලිපි දෙකක් දක්නට ලැබීමය. මින් එක් ලිපියක් පළමුවන වික්‍රමබාහු රජුගේ (ක්‍රි.ව. 1111-1132) බිසවක වන සුන්දරමහා දේවීය විසින් පිහිටුවා ඇත. මහාවංශයේ විස්තර වන විසිතුරු සිත්තම් හෝ කප්රුක අද දක්නට නොමැති මුත් එම කප්රුක ලෙස අනුමාණ කල හැකි කැටයම් කල ගල් ටැඹක් අටදාගෙය ලෙස හැඳින්වෙන ගොඩනැගිල්ල තුල දක්නට ඇති බව පූජ්‍ය කඹුරුපිටියේ වනරතන හිමියන් සිය 'පොළොන්නරු නටබුන්' නම් වූ කෘතියේ සඳහන් කරයි. මෙහි ඇති කැටයම් කල පුවරුද එම ආකාරයේම මණ්ඩපයක් වූ නිශ්ශංකමල්ල රජුගේ රාජ සභා මණ්ඩපයේ සිට රැගෙන විත් ඇති බවටද අදහස් ඉදිරිපත් වී ඇත. දැනටද එහි ඉතිරි වී ඇති ඇත් සහ සිංහ රූ සහිත කැටයම් පුවරු කිහිපය එම මතය සත්‍යය විය හැකි බවට සාක්ෂ්‍ය සපයයි. (එම කැටයම් පුවරු වල ඡායාරූප මිට පෙර ලිපියක දක්වා ඇත.>>)
මෙම මණ්ඩපය සඳහා ව්‍යවහාර වූ 'රාජවෙශ්‍යභූජංග' යන වදන රජවරුන් උදෙසා භාවිතා වූ විරුද නාමයක් ලෙස හඳුනාගත හැක. පැරකුම්බා සිරිත කාව්‍යයෙහි එන "දින පැරකුම්බුජ රජහිමි රාජවේශ්‍යාබූජංග" යන පද්‍ය කොටසින් එය පැහැදිලි වේ. පොළොන්නරුවේ උප නගරයක්ද රාජවේශීභූජංග පුර ලෙසින් මහාවංශයේ  හඳුන්වා ඇත. මෙවන් ආකාරයේ ගොඩනැගිලි සඳහා සිංහල භාෂාවෙන් ව්‍යවහාර වූ 'වැටුම් මඩුව' යන වදන කව්සිළුමිණ වැනි පැරණි ග්‍රන්ථ වල හමුවේ. එලෙසින් හැඳින්වූවේ රාජ සභාව පවත්වන මණ්ඩපය බව පූජ්‍ය වැලිවිටියේ සොරත හිමියන් පවසයි. 'සිංහ ද්වාර' ලෙස සංස්කෘත සාහිත්‍යයේ රජුගේ රාජ සභාවට පිවිසෙන පිවිසුම හැඳින්වේ. එහෙයින් දෙපස සිංහ රූප දෙකක් සහිත මෙම මණ්ඩපය එසේ හඳුනාගැනීම නිවැරදි බව පරණවිතාන මහතාද පැහැදිලි කරයි.
මූලාශ්‍ර
  • History and Archaeology of Sri Lanka, Volume II, The Art and Archaeology of Sri Lanka 1, CCF, 2007
  • Archaeological Department Centenary (1890-1990) Commemorative series, Volume Three, Architecture, Editor in Chief Pandit Dr. Nandadeva Wijesekera, 1990
  • The Polonnaruva Period, A Special issue of The Ceylon Historical Journal, Edited by S.D. Saparamadu
  • University of Ceylon History of Ceylon Volume 1, Part 2, 1960.
  • Archaeological Department Centenary (1890-1990) Commemorative series, Volume one, History of the Department of Archaeology, Editor in Chief Pandit Dr. Nandadeva Wijesekera, 1990
  • Polonnaruva, Issued by the Archaeological Commissioner, 1970
  • The Glory of Ancient Polonnaruva, Jayasinghe Balasooriya, 1999.
  • අසිරිමත් පොළොන්නරුව, ආචාර්ය සෙනරත් දිසානායක, 2009
  • පුරාවිදු පරියේසණ, සෙනරත් පරණවිතාන, 1972
  • Heritage of Rajarata, Chandra Wickramagamage, 2004
  • Nicholas C.W. 1963, Historical Topography of Ancient and Medieval Ceylon, Journal of the Ceylon Branch of the Royal Asiatic Society, New Series, Volume VI, Special Number.
  • Bell H.C.P., 1909, Archaeological Survey of Ceylon, North Central, Central And Northern Provinces, Annual Report 1905
  • පොළොන්නරු නටබුන්, කඹුරුපිටියේ වනරතන හිමි, 1962
  • ශ්‍රී සුමංගල ශබ්දකොෂය ප්‍රථම භාගය සහ ද්වීතීය භාගය- වැලිවිටියේ සෝරත හිමි, 1999
  • කව් සිළුමිණ හෙවත් කුසදාවත, මහාචාර්ය ඇම්. බී ආරියපාල සංස්කරණය, 2012
  • මහාවංස 2 වෙළුම, ක්‍රි.ව. 303-1815 මාගධී පෙළ සහ සිංහල අනුවාදය, නව සංස්කාරක චන්ද්‍ර වික්‍රමගමගේ, සිංහල අනුවාදය අරුණ තලගල, 2015
  • පැරණි ස්මාරක නාමාවලිය, සංස්කෘතික අමාත්‍යාංශය 1972
  • පැරකුම්බා සිරිත, පොදු සංස්කරණය - මහාචාර්ය රෝහිණි පරනවිතාන, 1997
  • Polonnaruwa, Medieval Capital of Sri Lanka, Anuradha Seneviratna, 1998