Sunday, October 28, 2018

සීගිරිය සොයා ෆෝර්බ්ස් ගිය ගමන සහ තවත් කතා

"අපි පොළොන්නරුවේ සිට මින්නේරිය සහ පෙයික්කුලම් හරහා එන ගමනේදී මෙතුවක් කල් යුරෝපීයයන් විසින් නොදුටු සීගිරි නම් වූ පැරණි අගනුවර නටබුන් සොයාගැනීම උදෙසා පෙයික්කුලම් (Paecolom) හීදී මාර්ගයෙන් දකුණු දිසාවට යොමු උනෙමු. පෙයික්කුලම් සිට කණ්ඩියක් මතින් කොටසක් සහ ඉතිරිය විශාල වැවක වැව් පිටිය මතින් වැටී තිබූ අපගේ ගමන් මගේ සැතපුම් සතරක් පමණ ගිය විට, උදෑසන මීදුම ක්ෂණිකව පහව ගිය මොහොතක, එහි නිශ්චල මතුපිටින් අවට පිහිටි විශාල වනස්පතීන් සමග මුඩු බෑවුම් පැති සහිත සහ මුදුන වන වදුලින් යුතු වූ සීගිරි ගලේ ප්‍රතිබිම්බය දර්ශණය වන ජල තලාවක අද්දර අප සිටින බව වටහා ගතිමු. ..."
සංරක්ෂිත ජල උද්‍යානයේ පොකුණක දිස්වන සීගිරි ගලේ ප්‍රතිබිම්බය
මෙතුවක් කල් අසා තිබු මුත් කිසිදු ඉංග්‍රිසි ජාතිකයෙකු දෑසින් දැක නොතිබූ සීගිරිය නටබුන් නගරය අසලට වර්ෂ 1831 දී මුලින්ම ලගා වූ ඉංග්‍රිසි ජාතිකයා වූ මේජර් ෆොර්බ්ස් බොහෝවිට සීගිරි වැව අසලදී වැව් තලය මතින් එහි ප්‍රතිබිම්බය දිස් වූ අයුරු සිය සිංහලේ එකොළොස් වසරක් (Eleven Years in Ceylon) නම් වූ චාරිකා විස්තර ඇතුලත් ග්‍රන්ථයේ විස්තර කරන්නේ එලෙසිනි. පොළොන්නරුවේ සිට මින්නේරිය හරහා පෙයික්කුලම් දක්වා ෆෝර්බ්ස් ගමන් කල මාර්ගයේ ජෝන් පයිබස් නම් ඉංග්‍රිසී ජාතිකයා වර්ෂ 1762 දී සිංහලේ රජු හමුවීමට පැමිණි ගමනේ විස්තර මෙයට පෙර ලිපි කිහිපයකින් ඉදිරිපත් කලෙමි. (එම ලිපි කියවීමට >>> 1 2 3 ) ඒ ගමනේදී හබරණ අසලදී පයිබස් වලිඹෙහෙල (Friar's Hoodකඳු මුදුන ලෙස වරදවා වටහා ගන්නට ඇත්තේ සීගිරිය විය හැකි යැයි අනුමාන කල හැක. ඒ අනුව සීගිරිය පර්වතය හබරණ ආදී අවට පිහිටි ඇතැම් උස් ස්ථාන වලදී පැහැදිලිව දිස්වන මුත් ෆෝර්බ්ස් එය අසලටම පැමිණ නැවත සොයාගන්නා තෙක්ම මෙරට සිටි ඉංග්‍රිසි ජාතිකයන් වලිඹෙහෙල ලෙසින් වරදවා හඳුනා ගෙන සිටියාදැයි තව දුරටත් සොයා බැලිය යුතුය.
පොළොන්නරුවේ සිට පෙයික්කුලම් වැව දක්වා මාර්ගය මෙහි කොළ පාටින් දක්වා ඇත. එතැන් සිට ෆොර්බ්ස් ගමන් කරන අඩක් කණ්ඩියක් මතින් වැටී තිබූ සහ ඉතිරිය වැව් පිටියක් තුලින් වූ මාර්ගය මේ සිතියමට අනුව හඳුනාගැනීම දුෂ්කර නොවේ. පැරණි සීගිරිය වැව වර්තමානයට වඩා විශාල ප්‍රදේශයක් පුරා පතිර තිබූ බව හඳුනාගෙන ඇති අතර (මෙම පැරණි අඟලේ සිතියමේ එය මැනවින් දැක ගත හැක) ඒ පිළිබඳව වැඩිදුර තොරතුරු වෙනත් අවස්ථාවකදී ඉදිරිපත් කිරීමට බලාපොරොත්තු වෙමි 
වැඩි දුරටත් තමන් දුටු දෙය විස්තර කරන ෆෝබ්ස් මෙලෙස පවසයි. "අප නැවතුන ස්ථානයේ සිට මා හට පර්වතය පාමුල ගස් අතරින් මතු වී පෙනෙන  යෝධ ගල් බැමි දැකගන්නට ලැබුනි. ඒ අනුව මෙය අප සොයන ස්ථානය බවට මැනවින් පසක් විය. "
සීගිරිය පිට දියගලට ඔබ්බෙන් දිස්වන ගල් බැමි එහි බටහිර දොරටුව අසලදී
සීගිරි යන්නෙහි තේරුම පිළිබඳව ෆොර්බ්ස් පවසන වැදගත් කරුණක් පිළිබඳව මෙහිදි අවධානය යොමු කල යුතුය. ඔහු විශ්වාස කරන්නේ එහි තේරුම කඳුකර බලකොටුව (Mountain-stronghold or Hill-fort) විය යුතු බවය. උගත් ස්වදේශිකයන් සිහ (Lion) සහ ගිරි (Rock) යන්නෙන් එහි තේරුම සෑදි ඇති බව පවසන බවත්, සීගිරි බලකොටුවේ තැන් කිහිපයකම තිබෙන සිංහ පිලිරූ (Lions sculptured on the different parts of the fortress) නිසා එසේ වන බව ඔවුන් විශ්වාස කරන මුත් එය කොතරම් මනඃකල්පිත සහ මෝඩ මතයක්ද යන්න තමන්ට මෙම ගමනේදී කිසිදු සිංහ රූපයක් හමු නොවීමෙන් සනාථ වන බවත් පවසයි. මෙරට එකම සිංහ රූපයක්වත් හමු නොවන ස්වල්පයක් වන ස්ථාන අතරින් මෙයද එකක් වන බවත් ෆොර්බ්ස් වැඩිදුරටත් සඳහන් කරයි. මේ වන විට සීගිරියේ ඉතිරිව තිබූ සිංහ පාද පස් වලින් යටවී තිබූ අතර පසු කලක එය සොයාගැනීමේ ගෞරවය හිමිවන්නේ තවත් ඉංග්‍රිසි ජාතිකයකු වූ H.C.P. බෙල්ටය. 1909 දී පිදුරංගල සිට ගෙන ඇති මේ සමග ලිපියේ මුලින් පලවන ඡායාරූපය බෙල්ගේ වාර්තාවකින් උපුටා ගැනිනි. එහි සිංහ පාදය මතු කරගෙන ඇත.)
පර්වතය පාමුල දකුණු දෙසින් ඇති ගල් බැමි
ෆෝර්බ්ස්ගේ විස්තරයේ දැක්වෙන ලෙසට ඔහු ගැලරිය (Gallery) ලෙසින් හඳුන්වන කැටපත් පවුර සහිත ප්‍රාකාරයට මෙපිටින් පර්වතය දෙසට ඇති කොටසේද මද දුරක් ගිය බව පෙනේ. අධික රශ්මිය සමග ඇතිවූ විඩාව හේතුවෙන් ඔහු අතරමග නවතින මුත් ඔහුගේ මිතුරන් දෙදෙනෙක් එහි සැලකිය යුතු දුරක් ගිය බව පෙනේ (ඔහු කැප්ටන් H සහ B මහතා ලෙසින් ඔවුන්ව හඳුන්වයි.) ඒ වන විට යාර 100 පමණ දුරට එම ගැලරියේ ප්‍රාකාරය විනාශ නොවී ඉතිරි වී තිබී ඇත.) එහි එක් තැනකදි පර්වතය මුදුනේ සිට දැඩි වර්ෂාව සහිත කාල වලදී දිය ඇල්ලක් (Cascade) ලෙසට ජලය ගලා එන බවත් දැනට නැගීමට අපහසු පර්වතය මුදුනේ වැවක් ඇති බවට ස්වදේශිකයන්ගේ ජනශ්‍රිතයේ එන සඳහන ඒ අනුව සත්‍ය විය හැකි බවත් ෆොර්බ්ස් පවසයි.  
පර්වතයේ දකුණු දෙසින් බැලූ විට පෙනෙන කැටපත් පවුරේ ඉතිරි වී ඇති කොටස 
වර්ෂ 1833 දීද ෆොර්බ්ස් නැවතත් සීගිරියට පැමිණෙන අතර පර්වතය වටා එහි ඊසාණ දෙසින් සම බිමේ සහ නැගෙනහිර දෙසින් උන්නත මළුවක (Elevated terrace) පිහිටි ලෙසට ඔහු මුල් සංචාරයේදී හඳුනාගන්නා රාජකීය ගොඩනැගිලි වලට අමතරව පර්වතයට උතුරු දෙසින් 'මාලිගාවට' ඔබ්බෙන් පැරණි සීගිරිය නගරයේ නටබුන් ඇති බවට දැනගන්නට ලැබුණ බව පවසයි. එම කොටසේ ප්‍රාකාර සහ අගල් වල නටබුන් ඔහුට හමුවේ. එහි (එනම් පර්වතයට උතුරු දෙසින්) ඉහලම මළුවට පිවිසි විට පර්වතය මුදුනට යෑමට කුඩා පඩි ඇති බවට ඔහුට අසන්නට ලැබේ. එහෙත් කිසිවෙකුට එහි මුදුනට නැගීම උත්සාහ කර බැලීමටවත් නොහැකි තරමින් ඒවා විනාශ වී ඇතැයිද ෆොර්බ්ස් ඔහුට දැනගැනීමට ලැබුනු ලෙසට පවසයි. ප්‍රදේශවාසීන් ඔහුට පැවසූ පරිදි සීගිරිය පර්වතය අවට වලසුන් සහ කොටියන් බහුල අතර ඒ බවට සලකුණුද ඔහුට දැකගන්නට ලැබී ඇත. තවද ඉහත සඳහන් කල B මහතා ගැලරියේ කඩා වැටුන කොටසක් තුලට දණ ගාගෙන යාමේදීද එහි සිටි කොටියෙකු පහලට පැන වනාන්තරය තුලට සැඟව ගොස් ඇත.
කැටපත් පවුර
දෙවන වර සීගිරියට ගිය අවස්ථාවේ ෆොර්බ්ස් හට  ගැලරියට ඉහලින් පිටතට නෙරා ගිය පර්වත කොටසේ ලගාවිය හැකි කොටසේ වැඩි ප්‍රමාණයක් දීප්තිමත් වර්ණයන්ගෙන් පින්තාරු කර තිබූ බවට ලකුණු දැකගන්නට ලැබේ. ඔහු වැඩිදුරටත් සඳහන් කරන්නේ වැහි වතුර ඇතුළු නොවන කොටස් වල එම චිත්‍ර වල කොටස් තවමත් තිබෙන්නට හැකි බවයි ( සීගිරියේ කාන්තා රූප මේ වන විට සොයා ගෙන නොතිබුනි.)

19 වන සියවසේ තුන්වන දශකයේ නැවතත් සීගිරිය නූතන ගවේෂකයන්ට එසේ හමුවන තුරු 5 වන සියවසේ සිටි කාශ්‍යප රජුගෙන් (ක්‍රි.ව. 473-491) පසුව වංශ කතා වල පවා සීගිරිය සම්බන්ධයෙන් හමුවන්නේ ඉතාම සුළු තොරතුරු ප්‍රමාණයක් පමණි. කාශ්‍යප රජුගෙන් පසු එහි සංඝාරාමයක් ඇතිවීම පිළිබඳව මෙයට පෙර ලිපියකින් විස්තර කලෙමි (>>Link). ඉන් අනතුරුව සීගිරිය ගැන සඳහනක් හමුවන්නේ දෙවන සංඝතිස්ස රජුගේ (ක්‍රි.ව. 614) පාලන කාලයේදීය. ඒ රජුට විරුද්ධව කැරලි ගසා බලය ලබාගන්නා රුහුණේ විසූ මොග්ගල්ලාන ඉන්පසුව සංඝතිස්ස රජු, ඔහුගේ පුතණුවන් සහ ඇමතිවරයෙකු සීගිරියට (සීහගිරිං) ගෙන ගොස් හිස් ගසා දැමූ සිදුවීම විස්තර කිරීමේදීය. (මෙම සිදුවීම මෙයට පෙර මලය රට සම්බන්ධයෙන් වූ ලිපියක විස්තරාත්මකව ඉදිරිපත් කලෙමි >> Link) දෛවයේ සරදමක් මෙන් තුන්වන මොග්ගල්ලාන රජුද (ක්‍රි.ව. 614 - 619) මලය රජුගේ පුත් අසිග්ගාහක සමග යුධ වැද රජුගේ සේනාව අතිශයින් දුබලව බිඳී පලාගිය කල්හි පැරදී හුදකලාව සීගිරිය අසලින් යන විටකදී අසිග්ගාහක සහ සේනාව පැමිණ මරා දමයි. 
කැටපත් පවුර සහ ගැලරිය ලෙසින් ෆොර්බ්ස් හඳුන්වන කොටස
සීගිරියට සැතපුම් 6 පමණ වයඹ දෙසින් වියඋල්පත ලෙසින් වර්තමානයේ හැඳින්වෙන ප්‍රදේශයකින් සොයාගත් අත්තාණි පිරිනැමීමක් සම්බන්ධ වූ දෙවන සේන රජුගේ (ක්‍රි.ව. 853 - 887) සමයට අයත් ලෙස හඳුනාගෙන ඇති ටැම් ලියයක එහි සිරිසංබොය් මපුර්මකා ලෙසින් හැඳින්වෙන දෙවන සේන රජු සහ මහපා විසින් සිහිගිරි බිමැ පිහිටි සාගුණා පන්හලැ (මෙය වර්තමානයේ විහාරස්ථාන හැඳින්වීම යොදාගන්නා පන්සල යන වචනයේ මුල් ස්වරූපයයි ) ට මුක්තීන් පිදීමක් පිළිබඳව සඳහන් වේ. (මුක්තීන් පිදීම පිළිබඳව කියවීමට >>Linkසීගිරිය පර්වතය පිහිටි මෙම ප්‍රදේශය සිහිගිරි බිම් ලෙසින් එවකට හැඳින්වුන බව ඒ අනුව පැහැදිලි වේ. 
සිහිගිරි බිම්
තම්මැන්න'නුරපුර සීගිරි විජිත පුර
කපුගල් පොළොන්නරු බද පිහිටි පුර වර
පසනූදහස් සිවුලක්සය ගම් පවර
සෑදුණි නොයෙක් කෙත් වත් උයනින් සාර

16 වන ශතවර්ෂයේ රචිත ලෙස සැලකෙන මන්දාරම් පුර පුවත නම් වූ කාව්‍යයයේ පැදි තුනකම එලෙසින් සීගිරි, සීගිරිය  යන ලෙසින් ග්‍රාම නාමයක් ලෙසින් සීගිරිය යන වදන හමුවේ. 

මූලාශ්‍ර
  • Sigiriya, R.H. de Silva, 1976
  • මහාවංස 2 වෙළුම, ක්‍රි.ව. 303-1815 මාගධී පෙළ සහ සිංහල අනුවාදය, නව සංස්කාරක චන්ද්‍ර වික්‍රමගමගේ, සිංහල අනුවාදය අරුණ තලගල, 2012
  • Nicholas C.W. 1963, Historical Topography of Ancient and Medieval Ceylon, Journal of the Ceylon Branch of the Royal Asiatic Society, New Series, Volume VI, Special Number.
  • University of Ceylon History of Ceylon Volume 1, Part 2, 1960.
  • මන්දාරම් පුර පුවත, ලබුගම ලංකානන්ද මාහිමිපාණන් වහන්සේගේ සංස්කරණය, 1996
  • Eleven years in Ceylon, Major Forbes, 1840
  • Archaeological Survey of Ceylon North-Central, Central Provinces And Western Provinces Annual Report 1909, H.C.P. Bell
  • Archaeological Survey of Ceylon, Inscriptions of Ceylon Volume V, Part I Sirimal. Ranawella, 2001
  • Archaeological survey of ceylon Epigraphia Zeylanica, being lithic and other inscriptions of ceylon, Volume IV, Edited by S.Paranavitana, 1934-1941

Saturday, October 20, 2018

කාශ්‍යප හිමි වැඩ සිටි ගුරුළු පර්වතය H.C.P. බෙල් සීගිරිය කලාද?

මෙරට නමට සිංහලයන් වන බහුතරය සිංහලයන්ගේ ප්‍රෞඩ ඉතිහාසය බොහෝ දුරට විශ්වාසවන්ත ලෙසින් (අපක්ෂපාති ලෙස නොවේ. අපක්ෂපාති ලෙස ඉතිහාසය සටහන් කරන්නන් ලොව නැත.) ග්‍රන්ථාරූඩ කර ඇති  මහාවංසය කියවා නැත. පාසලේ ඉතිහාසය එහෙන් මෙහෙන් උගන්වන කාලයක සිය මූලික අධ්‍යාපනය ලද පරපුරකට අයත් නම් ඔවුන් ලද ඉතිහාස දැනුම එපමණය. ඉතිහාසය, සාහිත්‍යය කන්නදැයි විමසූ පාලකයන් සිටි අවධියක පාසැල් ගියේ නම් ඒ ටිකද නැත. එවන් ජාතියක් උඹලාගේ ඉතිහාසය මෙන්න මේකයි කියා ඕනෑම ප්‍රබන්ධ කතාවකින් මුලා කරලිය හැක. බුදු හිමි ලංකාවේ සිටි බවත්, සීගිරිය යනු කාශ්‍යප තෙරණුවන් වැඩසිටි කුක්කුට පර්වතය බවත් එහි දැනට පා යුගලක නටබුන් ඇත්තේ කුක්කුට හෙවත් ගුරුලාගේ මිසක (ඇත්ත වශයෙන්ම කුක්කුට යනුද කුකුළා මිසක ගුරුලා නොවේ.) සිංහයකුගේ නොවන බවටත් ආදි වශයෙන් "කතාන්දර" ගොතා එවන් සාතිශය බහුතරයකට ඇඟේ මයිල් කෙලින් වෙන ආකාරයේ අත්භූත ඉතිහාසයක් මවා පෙන්වීම අතිශයෙන්ම සරලය. එමගින් එම "කතාන්දර පප්පලාට" පොරවල් විය හැක. අවශ්‍ය නම් පොතක් දෙකක් පලකර ආර්ථික ප්‍රතිලාභද අත්කර ගත හැක.

සීගිරියේ එහි උතුරු දිශාවෙන් සිංහයෙකුගේ රූපයක් සහිතව ගල මතු පිටට නැගීමට හිණි පෙලක්  තිබූ බවට මහාවංශයෙහි සහ සීගිරි කුරුටු ගී වල කියැවෙන බව මෙයට පෙර පළ කල ලිපියෙන් කරුණු දැක්වූවෙමි. Link>>  එහෙත් සීගිරිය පිළිබඳව වන ඉහත යාන් හෑල්ල ලියූ පුද්ගලයන් සහ පසුව එය ඔසවාගෙන යන අන්ද භක්තිකයන් මතු කරන මේ පිළිබඳව වන ප්‍රධාන සහ එකම කරුණ (Fact) වනුයේ සීගිරියේ දැනට දක්නට ලැබෙන ආකාරයට සිංහ පාදයේ "ප්‍රමුඛව" ඇඟිලි තුනක් පමණක් පිහිටා තිබීමය. එම යාන් හෑල්ලේ ඉතිරි සියල්ලම පොදු ව්‍යවහාරයේ භාවිතා වන ලෙසට නම් "අතේ රෝල්" මිසක අන් යමක් නොවේ.
යාපහුවේ සිංහ රූපය
Panthera leo sinhaleyus
ඓතිහාසික යුගය තුල සිංහයන් මෙරට ස්වභාවික වනාන්තර තුල ජීවත්ව සිටි බවට කිසිදු සාධකයක් හමු වී නැත. එමෙන්ම අශ්වයන් මෙරටට ගෙන්වූ ආකාරයට අසල්වැසි භාරතීය පෙදෙසකින් හෝ වෙනත් එවැනි විදේශ රටකින් සිංහයන් මෙරටට ගෙන ආ බවටද කිසිදු වංශ කතා හෝ සෙල් ලිපි සාධකයක්ද හමු නොවේ. Panthera leo sinhaleyus ලෙසින් නාමකරනය කර ඇති සිංහ විශේෂයක් මෙරට සිටි බවට හමු වී ඇති එකම සාධකය රත්නපුරයේ මැණික් පතලකින් හමු වූ සිංහයෙකුට අයත් බවට P.E.P. දැරණියගල මහතා විසින් හඳුනාගෙන ඇති සිංහ දත පමණි. කුරුවිට ප්‍රදේශයේ පොළව මතු පිට සිට අඩි 19 යටින් ඉල්ලම් පසට උඩින් 1936 වසරේදී හමු වූ මෙම දත ඉල්ලම් පස් සමග මිශ්‍ර වී තිබීම නිසා කාල නිර්ණය කල නොහැකි මුත් Pleistocene යුගයට අයත් බවට අනුමාණ කෙරේ. ( P.E.P. දැරණියගල මහතා කුරුවිට ප්‍රදේශයේම මැණික් පතලකින් අඩි 20 යටින් මෙම සිංහ වීශේෂයටම අයත් තවත් දතක් 1947 වර්ෂයේදී හමුවූ බව පවසා ඇති මුත් කැළුම් මනමේන්ද්‍ර-ආරච්චි මහතා පවසන්නේ මෙම විශේෂය මෙරට සිටි බවට ඇති එකම සාධකය දැනට බ්‍රිතාන්‍යයේ ස්වහාව විද්‍යා කෞතුකාගාරයේ තැන්පත් කර ඇති ඉහත දත පමණක් බවය.)

මේ අනුව මෙරට සිංහ මූර්ති කැටයම් කල ශිල්පීන් දේශිය පුද්ගලයන් නම් ඔවුනට ජීවමාන සිංහයෙකුගේ හැඩරුව දැක ගැනීමට තිබූ හැකියාව අල්ප බව පෙනේ.
පොළොන්නරුවේ නිශ්ශංකමල්ල රාජ සභා මණ්ඩපයේ දැකිය හැකි සිංහ රූපය
තාත්වික නොවන රජරට සිංහයන්
තවද මෙහිදී පැවසිය යුතු තවත් එක් වැදගත් කරුණක් වනුයේ පුරාණ සහ මධ්‍යතන යුගයට අයත් මෙරට හමුවන සියළුම සිංහ රූප කැටයම් සහ මූර්ති තාත්වික ශෛලයකින් නෙලා නොමැති බවය. සිංහයා ට අමතරව බහුලව හමුවන අනෙක් සිව්පා (ක්ෂීරපායී) සතුන් තිදෙනා වන අශ්වයා, ගවයා සහ අලියා සමග සංසන්දනය කිරීමේදී මෙය කැපී පෙනෙන වෙනසක් වන්නේ බොහෝ විට එම සතුන් සිංහයා මෙන් ශෛලිගතව නොව තාත්වික ශෛලියකින් නෙළා තිබීමය. එම ලක්ෂණය මෙරටට පමණක් නොව අසල්වැසි ඉන්දියාවේ සිට චීනය දක්වා රටවල් වල හමුවන පැරණි සිංහ මූර්ති සහ කැටයම් වලටද බොහෝ දුරට අදාල වේ. මේ සමග පළවන යාපහුවේ සහ පොළොන්නරුවේ නිශ්ශංකමල්ල රාජ සභා මණ්ඩපයේ හමුවන ගලින් කල සිංහ රූප දෙස බැලීමෙන් එම සිංහ රූප ජීවමාන සිංහයකුගේ විලාශය නොදක්වන බව වටහා ගත හැක (එහෙත් එම සිංහ රූප වල ප්‍රමාණයන් [Proportions] බොහෝ දුරට නිවැරදිව නෙළා ඇති බවද මෙහිදි සඳහන් කල යුතුය.)

ශෛලිගත සිංහ රූපයක පා වල ඇඟිලි ප්‍රමාණයන් ආදිය නිවැරදි විය යුතු නැති බවට අමුතුවෙන් පැවසිය යුතු නොවේ.
නිශ්ශංකමල්ල රාජ සභා මණ්ඩපයේ ඇති සිංහයාගේ පාද
පොළොන්නරුවේ සහ යාපහුවේ සිංහයන්ගේ ඇඟිලි ගණන
වෙනත් පැරණි සිංහ රූප වල සිංහයාගේ ඉදිරි පාදයේ ඇති ඇඟිලි පිළිබඳව විමසා බැලූ විට පෙනී යන්නේ පොළොන්නරුවේ නිශ්ශංකමල්ල රාජ සභා මණ්ඩපයේ තිබෙන සිංහයාගේ ඉදිරි පාදයේ ප්‍රමුඛව දැකිය හැක්කේද ඇඟිලි 3 ක් පමණක් වන බවය. මේ සමග ඇති රූපයේ දක්වා ඇති ලෙසට එම සිංහ රූපයේ වම් පාදයේ ඇඟිලි තුනක් පමණක් දැකිය හැකි අතර දකුණු පාදයේ ඉදිරිපසට වන්නට දක්නට ඇත්තේද ඇඟිලි තුනක් පමණි. එහෙත් තරමක් පසු පසට වන්නට තවත් ඇඟිල්ලක් පැහැදිලිව එම දකුණු පාදයේ පමණක් දැකිය හැක (කාලයත් සමග සැලකිය යුතු මට්ටමින් විඛාදනය වී ඇති මෙම පාද එහි මුල් ස්වරූපයෙන් අද දැකිය නොහැක. වම් පාදයේ අමතර ඇඟිල්ල තිබූ කොටස මේ වන විට ගැලවී ගොස් ඇතිවා විය හැක.)

යාපහුවේ සිංහයාගේද පාද එහි මුල් ස්වරූපයට වඩා බෙහෙවින් ගෙවී ගිය ලෙසින් අද දැකිය හැකි මුත් ඇඟිලි හතරක් තිබූ බව විමසිල්ලෙන් බැලූ විට දැක ගත හැක. යාපහුවේ සිංහ රූපයේ ඇඟිලි වල නියපොතු සීගිරියේ සහ පොළොන්නරුව නිශ්ශංකමල්ල රාජ සභා මණ්ඩපයේ සිංහයාගේ මෙන් ඉදිරියට නෙරා ගොස් නොමැති අයුරුන් නෙළා ඇත (සිංහයන්ගේ නිය පූසන්ගේ මෙන් ඇඟිලි අතර සැඟවී ඇති බවත්, එහෙයින් සීගිරියේ පාද සිංහයකුගේ නොව පක්ෂියෙකුගේ බවටත් තර්ක කරන රාවණ බ්‍රෝ ලාගෙන් මෙහිදී ඇසිය යුත්තේ එතකොට පොළොන්නරුවේ සිංහයා පක්ෂියෙක්ද කියාය.)
සීගිරිය දකුණු සිංහ පාදය - වම් කෙලවරේ ඇති පස්වන ඇඟිල්ල බලන්න
ඇත්ත වශයෙන්ම සිංහයෙකුගේ ඉදිරි පාදයේ ඇඟිලි 5 ක් ඇති අතර පසුපස පාද වල ඇත්තේ ඇඟිලි 4 ක් පමණි Link>>. ඉදිරි පාදයේ එක් ඇඟිල්ලක් අනෙක් ඇඟිලි හතර සමග පොළොවට ස්පර්ශ නොවී පාර්ශවිකව මදක් ඉහලින් පිහිටා ඇත (Dewclaw බල්ලෙකුගේ පාද වලද මේ ලක්ෂණය දැකිය හැක.) බොහෝ දෙනෙකුගේ අවධානයට ලක් නොවන මුත් සීගිරියේ සිංහ පාදයේද මෙම 5 වන ඇඟිල්ල දැකිය හැක (මේ සමග පළවන ඡායාරූප බලන්න.) ඒ අනුව මෙහිදී ඉදිරිපස ඇඟිලි තුනක් පමණක් දැනට දැකිය හැක්කේ ඇයිද යන පැණය නැවතත් මතුවේ.
පස්වන ඇඟිල්ල
ඇතැම්විට මුල් නිර්මාණයේ ඇඟිලි තුනක් සහ පාර්ශ්වික ඇඟිල්ල පමණක් තිබුනා වන්නට ඉඩ ඇත. එහෙත් පහත දක්වා ඇති ඡායාරූප දෙස වුවද විමසිල්ලෙන් බැලූ විට පෙනී යන්නේ සිව්වන ඇඟිල්ලක් නෙලීමට අවශ්‍ය ඉඩකඩ එම පාද වල දැනටද දැකිය හැකි බවයි. එසේම ඇතුලට වල ගැසුනු කොටසක් සීගිරියේ සිංහ පාද වල (වම් සහ දකුණු පාද) පිටත පැත්තේ දැකිය හැක.  දකුණු පාදයේ ඉදිරි ඇඟිලි සහ 5 වන ඇඟිල්ල අතර පිටතට නෙරා ගිය ගඩොල් කොටසක්ද දැකිය හැකි බවද මෙහිදි පෙන්වා දිය හැක.ඒ අනුව ඇතැම් විට එම ඇඟිල්ල මුලදී තිබී පසු කලක විනාශ වූවා විය හැක.
සීගිරිය වම් සිංහ පාදය - දකුණු කෙලවරේ ඇති පස්වන ඇඟිල්ල බලන්න
සිංහයා පක්ෂියෙකු කලේ කවුද?
යාන් හෑලි ලියන රාවණ බ්‍රෝලාගේ බයිලා වල කියැවෙන අන්දමට නම් 1890 ඉතා අපහසුවෙන් සිංහ පාදය අසලට නැගගත් H.C.P. බෙල් එය දැක තුෂ්ණිම්භූත වී ඇත. ඇත්ත කතාව නම් එම සිංහ පාද කැනීම් මගින් H.C.P. බෙල් මහතා මතු කර ගන්නේ 1908 දී බවය. එතෙක් එම සිංහ පාද සහ පියගැටපෙල එහි ඉහලින් පිහිටා තිබූ සිංහයාගේ ඉතිරි කොටස සහ වෙනත් ගොඩනැගිලි ආදියේ කඩා වැටීමත් සමග එක්වූ සුන්බුන් වලින් සම්පූර්ණයෙන්ම වැසී ඒවා මත ශාක වැවී තිබී ඇත. දැනට සිංහ පාදය තිබෙන ස්ථානය සහ ඒ අවට තනිකර පස් ගොඩැල්ලක් ලෙසට විනා සිංහ පාදයක් ලෙස දිස්වී නැත.

 අද සිංහ පාදයේ දක්නට ඇති කපරාරුව සහ එයින් පැහැදිලිව මතු කර ඇති නිය පසු කාලීන සංරක්ෂණ ක්‍රියාදාමයන්හි ප්‍රතිඵල විනා ඒවායේ මුල් ස්වරූපය නොවන බව පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ 125 වන සංවත්සරය වෙනුවෙන් එම දෙපාර්තමේන්තුව මගින් පළකල ඔවුන් සතුව ඇති පැරණි ඡායාරූප එකතුවේ දැක්වෙන ඡායාරූපයකින්ද පැහැදිලි වේ. (නීතිමය හේතුන් මත එම ඡායාරූපය මෙහි පළකල නොහැකි බව සලකන්න.) දකුණු පාදයේ පියගැටපෙල දෙසට වන්නට පිහිටි නිය කොටසේ සුළු පෙදෙසක කපරාරුව හැරෙන්නට එම ඡායාරූපයට අනුව සිංහ පාදයේ ඉතිරි කොටස් වල දැකිය හැක්කේ මතුවී පෙනෙන ගඩොල් කොටස් පමණි. ඒ අනුව ඒ වන විට විනාශවී තිබූ සිව්වන පාදයේ කොටස් කැනීමේදී ඉවත් වී සංරක්ෂණ කාර්යයේදී අවධානයෙන් ගිලිහුනා වීමටද ඉඩ ඇත. දැනට දක්නට ඇති පසු කාලීනව එකතු කල කපරාරුව සහ එයින් මතු කල ඇඟිලි 3 (සහ 5 වන ඇඟිල්ල) සහිත සිංහ පාදයේ හැඩයට යටවී සදහටම වැලලී ගොස් ඇතුවා විය හැක. තවදුරටත් පැරණි ඡායාරූප සහ පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ කැනීම් සහ සංරක්ෂණ වාර්තා (ඒවා විනාශ නොවී තවමත් දෙපාර්තමේන්තුව සතුව කොහේ හෝ ඇත්නම්) විමසා බැලීමෙන් ඒ පිළිබඳව යමක් පැවසිය හැක. කෙසේ නමුත් සීගිරියේ දැකිය හැක්කේ සිංහයකුගේ පාද බවට නිගමනය කිරීමට නම් මේ කිසිවක් බාධාවක් නොවේ.
සීගිරි පර්වතයේ නැගෙනහිර දිශාවෙන් ගත් මෙම ඡායාරූපයට ඉදිරියෙන් සිංහ රූපයක මුහුණක් මවා ගත් විට කොතරම් අපූරුවට ලැග සිටින සිංහයකු නිර්මාණය වේදැයි සිතා බලන්න.
ඇතැම්විට බෙල් හෝ බෙල්ට පසුව මෙහි සංරක්ෂණ කාර්යයන් සිදු කල පුරාවිද්‍යාඥයන් අතින් එම සිව්වන ඇඟිල්ලේ තරමක් හෝ ඉතිරිව තිබූ කොටස් විනාශ වී ගියේ නම් හෝ කපරාරුව නිසා එම කොටස් සැඟවී ගියේ නම් සිංහයකු සිටි සීගිරිය, "ඇඟිලි තුනේ ගුරුලෙකු" කිරීමේ වගකීම ඔවුන් බාරගත යුතුය.(රාවණ බ්‍රෝලා මෙරට කීර්තිමත් පුරාවිද්‍යාඥයින්ට සහ ඉතිහාසඥයන්ට චෝදනා කරන ලෙසින් එසේ සිදු වූවා නම් එය ඔවුන් හිතාමතා කල දෙයක් නොව අතපසු වීමක් බවද මෙහිදී සඳහන් කල යුතුය. සංරක්ෂණ සහ කැනීම් ක්‍රියාදාමයන්හිදී එවැනි දේ සිදුවීම වැලැක්විය නොහැකි අතර අවම කරගැනීම පමණක් සිදු කල හැක.)

මූලාශ්‍ර
  • Sigiriya, City palace gardens monasteries paintings, Senaka Bandaranayake, 2013
  • Archaeological Guide to Sigiriya, Raja de Silva, 2004
  • Sigiriya, R.H. de Silva, 1976
  • උරුමයක අරුණ එදා අද, 2015
  • The Pleistocene of Ceylon, P.E.P. Deraniyagala, 1958
  • අනුරාධපුර ජෛවවිවිධත්වය සහ වර්තමාන ජෛවවිවිධත්වය, කැලුම් නලින්ද මනමේන්ද්‍ර-ආරච්චි, ගාමිණී අධිකාරි, 2014
  • Srinimal Lakdusinghe Felicitation Volume, Gunawardhana et.al., 2010

Monday, October 15, 2018

සීගිරියේ කිසිවෙකු නුදුටු අලුත්ම පුදුමය - ගුරුළු පාදය

මේ වන විට තරමක් යටපත් වී ඇතත් මෑත කාලයේදී මෙරට සමාජ මාධ්‍ය සහ ඇතැම් "බෝතල් පත්තරකාරයන්ගේ ජනමාධ්‍ය" වලින්ද සැලකිය යුතු ප්‍රචාරයක් ලද පට්ටපල් අතේරෝලක් ගැන කතා කිරීම මෙම ලිපියේ අරමුණයි. අන්තර්ජාලයේ පහසුවෙන් සිංහල අකුරු ලිවීමේ හැකියාව ලැබීමත් සමග මේ රටේ සිටින ඕනෑම උන්මන්තකයෙකුට තමුන්ට හිතෙන ඕනෑම කුණුහරුපයක් ලියා ඒවාට සැලකිය යුතු ප්‍රචාරයක්ද ලබාගැනීමේ ඉඩකඩ මැනවින් විවර වී ඇත. ඒවා පසු පස යන අන්ධ අනුගාමිකයන් පිරිසක්ද ඊටත් වඩා පහසුවෙන් ඇති කරගැනීමටද එමගින් අවස්ථාව ලැබේ. මෙරට ඉතිහාසය නොදන්නා ජාතියක් ජම්මයක්, සභ්‍යත්වයක් නොමැති, පිදුරංගලට නැග සීගිරි අප්සරාවන්ට තමුන් නපුංසක බව පෙන්වා, මුහුණු පොතේ රටට පස්ස පෙන්නන අවජාතකයන් බිහිවන්නේ එවන් වටපිටාවකය. අනෙක් අතට "පොලවෙන් උපන් පඹයෙකු" ඉදිරියට දමාගෙන "බටලන්දේ බැංකු හොරෙකු" සහ "චෞර රැජිනක්" නැවත රජ කරවන්නට බටහිර සහ අසල්වැසි රටක තානාපති කාර්යාල බුද්ධි මෙහෙයුම් මගින් කඩේ යැවිය හැකි "කුර වංශයේ" ලක්ෂ 62 ක්ම සිටින රටක මෙවැනි අතේරෝල් බ්ලොග් කාරයන්ට, රාවණ බ්‍රදස්ලාට සහ මීවනපලානේලාට බුදුන් පමණක් නොව අවැසි නම් ජේසුතුමාවද ලංකාවේ අලුතින් ඉපැද්දවිය හැකිය. කෙසේ නමුත් අපගේ මෙම ලිපියේ ප්‍රස්තුතය සීගිරියේ සිංහයාය.
සිංහ පාදය

සීගිරියේ සිංහ පාදය අසලට ගොස් බැලූ විට එක්වරම ප්‍රමුඛව දිස්වන්නේ සිංහයාගේ එක් පාදයක ඇඟිලි තුනක් පමණි. මෙම කාරණය දුටු එක්තරා "රාවණා බ්ලොගෙකුට" අපූරුම අදහසක් ඇති වී ඇත. එතැන් සිට ඔහූ එය පදනම් කරගෙන අමුතුම කතාවක් ගොතාගෙන යයි. එම සම්පූර්ණ කතාවේ සාරාංශයක් හෝ මෙහි ඉදිරිපත් නොකරන්නේ එමගින් හෝ ඔවුන්ගේ මනස්ගාත අදහස් වලට ප්‍රචාරයක් නොදිය යුතු බැවිනි. අනෙක් අතට එම අදහස් ඕනෑවාටත් වඩා මේ රටේ ඉවක් බවක් නොමැතිව ජනප්‍රිය වන ඕනෑම කුණුගොඩක් වැලඳගන්නා අවිචාරවත් පරපුර අතරට ගොස් ඇත. කෙසේ නමුත් එම ඇඟිලි තුන සහ එහි ඇති උල් හැඩයෙන් යුතු නියපොතු නිසා කතන්දරය ගොතන්නේ සීගිරියේ සිට ඇත්තේ සිංහයකු නොව පක්ෂියෙකු නැතහොත් ගුරුලෙකු බවය. කතාව තවත් රසවත් කිරීමට සුද්දෙකුද දුෂ්ඨයකු කල යුතුය. එවිට මෙරට රැල්ලට යන "ජාති ආල පොරවල්ගේ" බොක්කටම කතාව ගිලා බසී. ඒ සඳහා මෙතැනදී දුෂ්ඨයා වන්නේ H.C.P. බෙල් ය. (රැල්ලට යන ජාති ආල පොරවල් ගැන මම මෙයට පෙර ලියූ සිංහලේ ලිපියේ Link>> මතු කල සැකය මේ වන විට සාධක සහිතව ඔප්පු වී ඇත. මේ වන විට හෙළිවන තොරතුරු අනුව "සිංහ - ලේ" ලෙසින් රැල්ලක් නිර්මාණය කල ප්‍රධාන චරිත සියල්ලම පොලිස් ඔත්තු කරුවන්ය. පාලකයන්ගේ දේශද්‍රොහී ගමනට එරෙහිව සැබෑ ජාතික විමුක්ති අරගලයක් බිහිවීම වැලැක්වීම හෝ එවන් සැබෑ අරගල වලට නිසි ප්‍රචාරය නොලැබීමට සැලැස්වීම සඳහා මෙවන් පුහු වීර චරිත මවන "ඩෑන් ලා සහ චෑන් ලා" වැනි ඊණියා දේශප්‍රේමින් කපටි පාලකයන්ට අවැසිය.  කිසියම් පැහැදිලි නැති හේතු සාධක මත ඔවුන් අතර මේ වන විට අරගලයක් මතු වී ඇත [හෝ අපට එසේ පෙන්වයි].  ඒ ඔස්සේ මේ කරුණු හෙලිවෙමින් පවතින බව පෙනේ. )

පෙර ලිපියකින්ද Link>> උපුටා දැක්වූ පරිදි සීගිරියේ සිංහයෙකු පිළිබඳව මුල්ම සඳහන හමු වන්නේ අපගේ ප්‍රධානම ඓතිහාසික මූලාශ්‍රය වන මහාවංශයෙනි. එය නැවතත් උපුටා දක්වමි.

":ඉක්බිති ඒ පාපී වූ කස්සප නමැති රජු....බියවී සීගිරියට ගියේය. මිනිසුන් විසින් අපහසුවෙන් නැගිය යුතු එය හාත්පසින් පිරිසිදු කරවා, ප්‍රාකාරයකින් වට කොට ඉණිමං සහිත ගෙවල් සිංහයකුගේ ආකාරයෙන් කරවීය. එහෙයින් සීගිරි (සීහගිරිං) නම් විය. 


කැටපත් පවුර
කාශ්‍යප රජුගෙන් පසුව හෝ එම ස්ථානයේ පැවති බවට ඇතැම් වියතුන් අනුමාන කරන මහායාන සංඝාරාමයේ පරිහාණි කාලයෙන් අනතුරුව සීගිරිය නැරඹීමට පැමිණි තත් කාලීන නරඹන්නන් තබා ගිය සීගිරි ගී වලින් හෙලිවන තොරතුරු එහි සිංහ රුවක් තිබූ බවට අනතුරුව හමුවන ප්‍රබලම සාධක වේ. මේ එම ගී සහ ඒවායේ අර්ථයයි.

1) අවුද් මුළු වෙ ගිරිහී යන වි අප මුළු විසිරි
    සිහිඳුන් සෙය හැඟැ අප සිහි වන්නට් සිහිගිරි

මෙහි පැමිණ මිනිසුන් එක්වී ගල මත ඒකරාශී වේ. සිංහ රජු මෙය වටහාගෙන මෙහි සිටින්නේ, අපට එම ඒකරාශී වීමෙන් වෙන්වී ඈතට යෑමට මෙනි. එසේම සිහිගිරි ය අපගේ මතකයට කාවැද්දීමටය. 

යුගය - 9 වන සියවසේ අවසාන භාගයේ හෝ 10 වන සියවසේ මුල් කාලය.

2) නැගී ඇති බලනට බැලිමි සිහිමියන් සිහිගිරි
    මනදොළ පුරය් ඇති බලනරිසි නොවෙ බෙයන්ද් රන්වන්

එහි ඇත්තේ කුමක්දැයි බැලීමට සිහිගිරි නැග්ගෙමි. සිංහ රාජයන් දැකීමෙන් මාගේ මනදොළ පිරිගියේය. ගුහාවේ සිටින රන්වන් ලියන් දැකීමට ආසාවක් නොවේ. 

යුගය - 9 වන සියවස

3) සීරජු යසස සිරී තුබූ මුළුලොව් පැතිරී
   නිලුපුල් ඇසුන් අසිරී බැලුමො සිහිගිරී

අපි සිහිගිරියේ ඔහුගේ යසස සහ විභූතිය මුළු ලොව පැතිරවූ සිංහ රජුද,  නිල් උපුල් වන් ඇස් ඇති අප්සරාවන්ගේ අසිරියද දුටිමු.

යුගය - 8 වන සියවස

4) දිගැස් ගිරිහිසැ හිඳි ඇවිද් මෙ ගල බැලුමො
බලමනා තක් ඇවිද් බැලුමො සි සිහිගිරී

මේ ගලට පැමිණ එහි මුදුනේ සිටින දිගැසියන් බැලුවෙමු. අප මෙහි පැමිණ සිහිගිරියේ සිංහයා බැලුවෙමු. ඒ සියල්ල බැලීමට වටිනවාය. 

යුගය - 9 වන සියවස

5) අතින් මල් ගත් කලූ මෙ දුට පවහි සිරෙ වෙයි
සිහිමියන් තමන් දුට නොවන්නෙ යි සිහි තමහට

අතින් මල් ගත් මේ අප්සරාව දුටු කල යමෙකු ගල මත සිර වේ. සිංහ රජු දුටුවද සිංහයා මතකයේ නොරැඳේ. 

යුගය - 8 - 9 සියවස්.
කැටපත් පවුරේ ගීයක්
මෙම සීගිරි ගී වලට අනුව අවම වශයෙන් 9 සියවස හෝ ඇතැම් විට 10 වන සියවසේ මුල් කාලය දක්වාම සිංහයෙකුගේ විශාල රූපයක් සීගිරියේ තිබී ඇත. මෙම ගී වලට අමතරව තවත් සීගිරි ගී කිහිපයකම මෙහි තිබූ සිංහ රූපයක් පිළිබඳව වර්ණනා දැක්වෙන මුත් පක්ෂියෙකු හෝ ගුරුලෙකුගේ රුවක් පිළිබඳව එකදු සඳහනක් වත් මේ දක්වා කියවා ඇති කිසිදු සීගිරි ගීයකින් හමු නොවේ. 

සීගිරියේ දක්නට ලැබෙන්නේ සිංහ පාද යුගලයක් බව ස්ඵූට කිරීමට මේ සාධක ඉහටත් උඩින් ප්‍රමාණවත් නමුත් එහි සිංහයාගේ ඇඟිලි තුනක් පමණක් දක්නට ලැබෙන්නේ ඇයිද යන්න පිළිබඳවද යමක් පැවසිය යුතුය. ලිපිය දිග වැඩිවන බවින් ඒ පිළිබඳව පසුව අවධානය යොමු කරමු. 

මූලාශ්‍ර
  • Sigiri Graffiti, S. Paranavitana, Vol 1 & 2, 1956
  • මහාවංස 2 වෙළුම, ක්‍රි.ව. 303-1815 මාගධී පෙළ සහ සිංහල අනුවාදය, නව සංස්කාරක චන්ද්‍ර වික්‍රමගමගේ, සිංහල අනුවාදය අරුණ තලගල, 2012
  • Sigiriya, City palace gardens monastries paintings, Senaka Bandaranayake, 2013


Tuesday, October 9, 2018

ආලකමන්දාවක සැඟවුණු පබ්බත විහාරය

":ඉක්බිති ඒ පාපී වූ කස්සප නමැති රජු....බියවී සීගිරියට ගියේය. මිනිසුන් විසින් අපහසුවෙන් නැගිය යුතු එය හාත්පසින් පිරිසිදු කරවා, ප්‍රාකාරයකින් වට කොට ඉණිමං සහිත ගෙවල් සිංහයකුගේ ආකාරයෙන් කරවීය. එහෙයින් සීගිරි (සීහගිරිං) නම් විය. ......දර්ශනීය වූ මනරම් වූ, දෙවන ආලකමන්දාවක් වැනි වූ රජගෙයක් කරවා කුවේර මෙන් එහි විසුවේය."

 පළමුවන කාශ්‍යප රජු විසින් සීගිරියේ ආලකමන්දාව වන් වූ රජගෙයක් සහ සිංහයකුගේ ආකාරයෙන් කල ඉණිමං සහිත ගෙවල් පිළිබඳව එලෙස විස්තර කරන මහාවංශය ඉන් අනතුරුව පවසන්නේ කාශ්‍යප රජු සීගිරි පර්වතය අසල උයනෙහි විහාරයක්ද කර වූ බවයි. එම විහාරය ඔහුගේ නමින් හැඳින්වූ බවද, සිව්පසයෙන් යුත් එම විහාරයද , උතුරු දෙසින් වූ උයනද , ඔහු ධම්මරුචි භීක්ෂූන්ට පූජා කල බවද එහි සඳහන් වේ. තවද එම පළමුවන කාශ්‍යප රජුට පසුව රාජ්‍යත්වයට පත්වන ඔහුගේ සොයුරු මොග්ගල්ලාන සීගිරියේ දළ්හ නම් විහාරය හා දාඨා කොණ්ඩඤ්ඤ විහාරය ධම්මරුචි හා සාගලිය නිකායවල භික්ෂූන්ට පූජා කල බව මහාවංශයේ පසුව එන ගාථා වලින් පැවසේ. එපමනකින් නොනැවතුන මොග්ගල්ලාන රජු සීගිරි පර්වතය විහාරයක් කොට, දීඝසන්ද විහාරයෙහි මහානාම තෙරුන්ට පිදු බවද මහාවංශයේ වැඩිදුරටත් සඳහන් වේ.
පිළිමගෙය
මෙයට පෙර ලිපියකින් අප විස්තර ඉදිරිපත් කල පබ්බත විහාර ලෙස වර්තමානයේ පුරාවිද්‍යාඥයන් හඳුන්වන පැරණි බෞද්ධ විහාර වර්ගයේ විහාරයක නටබුන් සීගිරියේ ජල උද්‍යානය (Water garden) පසු කර පර්වත උද්‍යානය (Boulder Garden) දෙසට යන විට දකුණු පසින් හමුවේ. ස්තූපයක, බෝධිඝරයක, පිළිමගෙයක සහ පොහොය ගෙයක නටබුන් මෙම පරිශ්‍රයේ හඳුනාගත හැක. 

මෙම නටබුන් අතර ඇති ගඩොලින් නිර්මිත මැද සතරැස් කොටුවකින් (එම සතරැස් කොටුව තුල බෝධි වෘක්ෂය රෝපණය කර තිබෙන්නට ඇත.) සහ උතුරු සහ නැගෙනහිර දිශාවෙන් දොරටු සහිත වෘත්තාකාර ශෛලමය බැම්මකින් වටවුණු නටබුන් ගොඩනැගිල්ල බෝධිඝරයක් ලෙස හඳුනාගෙන ඇත. මෑත කාලයේදී නැවතත් මධ්‍යම සංස්කෘතික අරමුදල මගින් කැනීම් කොට සංරක්ෂණය කිරීමට පෙර H.C.P. බෙල් මහතා  මෙම ස්ථානයේ කැනීමක් කර එම නටබුන් වටදාගෙයක බව පවසමින් 1899 පුරාවිද්‍යා පාලන වාර්තාවට විස්තර ඉදිරිපත් කර ඇත.
 බෝධිඝරය
ක්‍රි.පූ. 2 වන හෝ 3 වන සියවස් වල අක්ෂර වලින් ලියූ සෙල්ලිපියක් මගින් භික්ෂූන් උදෙසා පිරිනැමූ කටාරම් කොටන ලද මේ අසලම ඇති ලෙනක් පසු කාලීනව පිළිම ගෙයක් ලෙසට පරිවර්තනය කර ඇති බව එහි තිබී හමුවූ දෙඅත් රහිත කවන්ධ හුණු ගල් බුදු පිළිමයෙන් තහවුරු වේ (දැනට එම පිළිමය සීගිරිය කෞතුකාගාරයේ තැන්පත් කර ඇත.) එම ලෙනෙහි ඉදිරිපස ගඩොලින් කල බිත්තියක නටබුන් ඉතිරි වී ඇති අතර, ගුහාවේ ඇතුලත කුටීර තුනකට වෙන්කර, ඒවාට පිවිසීමට වෙන වෙනම දොරවල් තුනක්ද තිබී ඇත. බුදු පිළිමය හමු වී ඇත්තේ විශාල මැද කුටීරය තුලිනි. ලෙනෙහි වියන හුණු පිරියම් කර සිතුවම් ඇඳ තිබූ බවට තැනින් තැන ඉතිරි වී ඇති සිතුවම් වල ශේෂ වලින් හඳුනාගත හැක. 

ඉහත විස්තර කල පිළිම ගෙයට ඉදිරි පසින් ගල් පර්වතයක් මත ඉදි කල නටබුන් වූ ස්තූපයක අවශේෂ දැක ගත හැක. උපෝසථඝරයේ නටබුන් පිළිම ගෙය අසල ගල් පර්වතය මුදුනේ පිහිටා ඇත.
ස්තූපය
මෑත කාලීන කැනීම් මගින් තහවුරු වී ඇති ආකාරයට මෙම පබ්බත විහාරයේ නටබුන් ක්‍රි.ව. 5-6 සියවස් වල සිට ක්‍රි.ව. 12-13 සියවස් දක්වාම ඉදි කල ඉදිකිරීම් වලින් සමන්විත වේ. එසේම මෙය පබ්බත විහාර වර්ගයේ සංඝාරාම අතරින් මුල් අවධියේම ඉදි වූවක් බවටද හඳුනාගෙන ඇත. ඉහත විස්තර වූ මහාවංශ උපුටාගැනීම් අනුව ඇතැම් වියතුන් මෙම පබ්බත විහාරය මොග්ගල්ලාන රජු විසින් ඉදි කර මහානාම හිමියන්ට පිරිණැමූ දික්සඳ (දීඝසන්ද) පිරිවෙන විය හැකි බව පවසති. කෙසේ නමුත් කාශ්‍යප රාජ්‍ය සමයේම එම රජතුමන් විසින් සීගිරිය පර්වතය අසල උයනෙහි විහාරයක් කරවා එම විහාරයද, එයට උතුරින් වූ උයනද ධම්මරුචි නිකායේ භික්ෂූන්ට පූජා කල බව පවසන බැවින් මෙම ස්ථානයේ පිහිටීම අනුව මෙම පබ්බත විහාරය කාශ්‍යප රජු ඉදි කල එම විහාරය වීමට බෙහෙවින්ම ඉඩ ඇති බව පෙනේ. දැනට සීගිරිය පර්වතය පාමුලට වන්නට පිහිටි පර්වත උද්‍යානය ලෙස හැඳින්වෙන මෙම උයනේ පබ්බත විහාරයේ නටබුන් වලට ඉහලින් මෙන්ම උතුරු දෙසින්ද බෞද්ධ විහාරයකට අයත් බවට හඳුනාගත හැකි තවත් නටබුන් හමුවන බැවින් එම හඳුනාගැනීම වඩාත් නිවැරදි බව හැඟේ. කෙසේ නමුත් මහාවංශයේ ගෛගර් සංස්කරණයේ එම අදහස හැඟෙවෙන ගාථා වල පරිවර්තනය පසුකාලීන පූජ්‍ය හික්කඩුවේ ශ්‍රී සුමංගල හිමි/බටුවන්තුඩාවේ පඬිතුමන් සහ අරුණ තලගල පරිවර්තනයන්ට වඩා වෙනස් හෙයින් මේ පිළිබඳව විමසා බැලූ වියතුන්ට කාශ්‍යප ඉදි කල එම විහාරය පිළිබඳව වූ මහාවංශ සඳහන මගහැරෙන්නට ඇත. විල්හෙල්ම් ගෛගර් මහතා  එය සඳහන් කරන්නේ මේ ආකාරයෙනි.

In the same way he built a vihara in the Niyyanti-garden near the mountain, which then bore their name. He granted this vihara equipped with the four necessaries to the Dhammaruci's and in addition a garden lying to the north of it. 

අදාල පාළි ගාථා මේ ආකාරයෙනි. 

තථා නිය්‍යන්තිඋය්‍යානෙ සමීපෙ පබ්බතස්ස සො
කාරාපෙසි විහාරං, සො තෙසං නාමො තතො අහු.

අදා ධම්මරුචීනං තං සම්පන්නචතුපච්චයං
විහාරඤ්චෙ'ච උය්‍යානං දිසාභාගම්හි උත්තරෙ
ස්තූපය
සීගිරියේ පබ්බත විහාරය පිළිබඳව වූ කෙටි වීඩියෝව නැරඹීමට Link>>
මූලාශ්‍ර
  • මහාවංස 2 වෙළුම, ක්‍රි.ව. 303-1815 මාගධී පෙළ සහ සිංහල අනුවාදය, නව සංස්කාරක චන්ද්‍ර වික්‍රමගමගේ, සිංහල අනුවාදය අරුණ තලගල, 2012
  • ශ්‍රි ලංකාවේ පැරණි බෞද්ධ සංඝාරාම, ප්‍රිශාන්ත ගුණවර්ධන, 2010
  • Chulavamsa, Being the more recent part of the Mahavamsa, Translated by Wilhelm Geiger And from the German into English by C. Mabel Rickmers, 1929
  • මහාවංශය සිංහල - බෞද්ධ සංස්කෘතික මධ්‍යස්ථානය.
  • Magnificent Sigiriya, Prof. Senarath Dissanayaka, 2013
  • Archaeological Guide to Sigiriya, Raja de Silva, 2004
  • Sigiriya, R.H. de Silva, 1976
  • Sigiriya, City palace gardens monastries paintings, Senaka Bandaranayake, 2013
  • Sigiriya Project, 3rd Progress Report Excavation at Sigiriya (January - June 1983), Senaka bandaranayake, 1989
  • සීගිරිය ව්‍යාපෘතිය, සීගිරියේ සිව්වන පුරාවිද්‍යාත්මක කැණීම් (1983 ජූලි-දෙසැම්බර්) සේනක බණ්ඩාරනායක, 1993
  • Sigiriya & Beyond To Dambulla, Habarana, Kekirawa, Galewela. 2016