Sunday, May 6, 2018

විශ්වකර්මයාගේ අසමාන නිර්මාණයක් බඳු වූ පුළත්ථි නගරයෙහි වෛජයන්ත ප්‍රාසාදය

"ඉක්බිති සියලු රජවරුන්ට අග්‍ර වූ රජු, කාමර දහසකින් යුක්ත වූ නොයෙක් සියගණනින් විසිතුරු කණුවලින් අලංකාර වූ කෛලාශකූටය බඳු කුළු ගෙවල් සියයකින් යුක්ත වූ, නොයෙක් ආකාරයේ ලියකමින් සහ මල්කමින් බබලන, රනින් කළ මහා දොරවල්, කුඩා දොරවල් හා කවුළු  ද ඇති මනාව වෙන් කළ බිත්ති වලින් හා හිණිපෙළවලින් යුතු, සියලු සෘතුවල සුව එලවන්නා වූ, රනින් සහ ඇත්දළින් කළ, බොහෝ වටිනා ඇතිරිළිවලින් යුක්ත, නොයෙක් ඇඳන් දහසකින් අලංකාර වූ ආකාශ ගංගාවෙහි ශෝභාවට සිනාසෙන්නාක් බඳු කැළුම් ඇති, සඳරැස් සේ සුදු වූ සිව් කොණෙහි එල්ලෙන මහත්වූ මුතු වලින් නිතර අතිශයින් ශෝභන වූ, ස්වර්ණමය මහා ප්‍රදීප මාලාවෙන් අලංකාර වූ , මලින් හා දුමෙන් නිතර සුවඳවත් වූ, උතුම් සිරියහන් ගැබෙන් යුක්ත වූ , පසඟතුරුගොස හා සමාන හඬ නගන, නොයෙක් පින්වල ආනුභාව පවසන්නාක් බඳු, ඒ ඒ තැන එල්ලෙන රන්මුවා කිංකිණිදැලින් යුත් විශ්වකර්මයාගේ අසමාන නිර්මාණයක් බඳු වූ වෛජයන්ත නම් වූ, ප්‍රසාදය දනවන උසස් ප්‍රාසාදයක් කරවීය"
නැගෙනහිර දොරටුවේ සිට රජ මාළිගය දිස්වන අයුරු
පරාක්‍රමබාහු රජු ඒ වන විට නමට පමණක් ඉතිරිව තිබූ පුළත්ථි නගරයෙහි එනම් පොළොන්නරුව පුරවරයෙහි පවුරු ප්‍රාකාර ඉදිකරමින් නගරය රමණිය සහ විශාල කිරීමේ කාර්යයෙහිදි ඉදිකල රජ මාළිගය පිළිබඳව මහාවංශය විස්තර කරන්නේ ඒ ආකාරයටය. බැලූ බැල්මට අතිශයෝක්තියට නගා ඇති බව පෙනුනත් පොළොන්නරුවේ පැරණි නගරයේ නටබුන් අතර සුවිසල් බිත්ති වලින් යුක්තව ඉතිරි වී ඇති එම මාළිගයේ අවශේෂ එම විස්තරය හුදෙක් වංශ කතා කරුගේ කාව්‍යමය අතිශයෝක්තියක් නොවන බවට දෙස් දෙයි.

නැගෙනහිර දිශාවෙන් ප්‍රධාන පිවිසුම සහිතව ඉදිකර ඇති මෙම මාළිගයද අනුරාධපුර, පඬුවස්නුවර ආදි එම යුගයට අයත් වෙනත් රජ මාළිගා ඉදි කිරීම සඳහා උපයෝගි කරගත් එකම බිම් සටහන (Ground Plan) අනුව ඉදි කර ඇත. එහි ප්‍රධාන පිවිසුමෙන් ඇතුළු වන්නේ දැව කණු උපයෝගී කරගනිමින් ඉදි කර තිබූ බවට, ශේෂ වී ඇති ශෛලමය කණු පාදම් මගින් පැහැදිලි වන ශාලාවකටය (පහත සැලසුමේ B ලෙස ලකුණු කර ඇති ස්ථානය). එවන් කණු පාදම් ගල් 36 පමණ මේ වන විට දැකිය හැක. එම කණු දැව වලින් සාදා තිබෙන්නට ඇති බව මේ වන විට එම කණු වල කිසිදු සලකුණක් ඉතිරි වි නොමැති හෙයින් අනුමාන කල හැක.
දැව කණු උපයෝගි කරගනිමින් ඉදිකල ශාලාව තිබූ ප්‍රදේශය සහ ඉන් අනතුරුව ඇති ප්‍රධාන ගොඩනැගිල්ලේ බිත්ති නැගෙනහිර දෙසින් පෙනෙන ආකාරය
ඉන්පසු පිවිසෙන්නේ ප්‍රධාන ගොඩනැගිල්ලටයි (පහත සැලසුමේ C ලෙස ලකුණු කර ඇති ස්ථානය.) එය විශාල බිත්ති වලින් යුක්තව ඉදිකර ඇති අතර දැනට දක්නට ඇති ආකාරයට අවම වශයෙන් මහල් තුනකින්  යුක්තව ඉදි කර ඇත. එහි දෙවැනි මහලට පිවිසීම උදෙසා ඉදි කල ශෛලමය පියගැටපෙලක් දැකිය හැකි අතර (සැලසුමේ A) බිත්ති වල විශාලත්වය සහ ඒ සමග තිබූ බවට සාධක ඇති දැව කණු වලට අනුව දෙවන මහලින් ඉහලටද තවත් මහල් තිබූ බව පැහැදිලිය. ඒවා ප්‍රධාන වශයෙන් දැව උපයෝගි කරගෙන ඉදි කරන්නට ඇත. වංශ කතාව පවසන මහල් සතක් තිබූ යන්න ඒ අනුව ප්‍රලාපයක් විය නොහැක.
දෙවැනි මහලට පිවිසීම උදෙසා ඉදි කල ශෛලමය පියගැටපෙල
ප්‍රධාන ගොඩනැගිල්ල සහ ඉදිරිපස පිහිටි ශාලාව වටා දැනට කුඩා කුටි 50 කට වඩා දක්නට ඇති අතර ඉහල මහල් සහ රජ මාළිගය වටා පිහිටි වෙනත් ගොඩනැගිලි වල කුටිද එක්ව ගත් කල මෙම මාළිගය වංශ කතාව පවසන පරිදි කාමර දහසකින් යුක්තව තිබුනා විය හැක. අලංකාර කුළු ගෙවල් (කූටාගාර) සියයකින් වෛජයන්ත ප්‍රාසාදය යුක්ත වූ බව ඉහත විස්තරයේ කියැවේ. එක් කැණිමඩුල්ලක් යොදා සෑදු වටගෙය කූටාගාරය ලෙස අර්ථ දක්වා ඇත. වංශ කතා කරුවා අදහස් කල කූටාගාර යන්නෙන් වර්තමානයේ ඉතිරි වී ඇති නටබුන් අතරින් කුමන කොටසක් අදහස් කලාද යන්න අපැහැදිලිය. ඇතැම් විට ඉහත දැක්වූ ප්‍රධාන ගොඩනැගිල්ල වටා පිහිටි කුටීර එමගින් අදහස් කලා විය හැක.
ප්‍රධාන ගොඩනැගිල්ල වටා පිහිටි කුටි
මුල් බදාමය ඉතිරි වි ඇති බිත්ති කොටස්

මාළිගයේ සැලසුම 
මෙම මාළිගයේ ඇතැම් බිත්ති කොටස් වල මුල් බදාම තට්ටු තවමත් ඉතිරි වී ඇති අතර බටහිර දෙසට වූ කොරවක් ගල සහිත පියගැට පෙලද සැලකිය යුතු මට්ටමින් විනාශ නොවී මුල් ස්වරූපයෙන්ම දැකිය හැක (සැලසුමේ D). ඇතැම් ස්ථාන වල බිත්ති කොටස් අඩි 30 පමණ උසට විනාශ නොවී පවතී. බිත්ති වල දැකිය හැකි සිරස් කට්ට හෙවත් හාරන ලද පීලි (Vertical grooves) ඉහල මහල් වල තට්ටුව (Floor board) උදෙසා යොදාගත් දැව කණු සඳහා බිත්ති වල ඇතුලතින් සහ පිටතින් සාදා ඇත. මාළිගා ගොඩනැගිල්ල තුල වැසිකිලියක අවශේෂද හමුවේ.
වැසිකිලිය

බටහිර දෙසට වූ කොරවක් ගල සහිත පියගැට පෙල

බටහිර දෙසින් රජ මාළිගය දිස්වන ආකාරය
වෛජයන්ත ප්‍රාසාදයට අමතරව ඒ අවට ඉදි කල වෙනත් මන්දිර පිළිබඳව වූ විස්තරයක්ද මහාවංශයේ දැක්වේ. ඒ පිළිබඳව සහ ඒවායේ වර්තමානය වන විට දැකිය හැකි නටබුන් පිළිබඳව විස්තර ඉදිරි ලිපියකින් විමසා බලමු.

මූලාශ්‍ර
  • History and Archaeology of Sri Lanka, Volume II, The Art and Archaeology of Sri Lanka 1, CCF, 2007
  • මහාවංස 2 වෙළුම, ක්‍රි.ව. 303-1815 මාගධී පෙළ සහ සිංහල අනුවාදය, නව සංස්කාරක චන්ද්‍ර වික්‍රමගමගේ, සිංහල අනුවාදය අරුණ තලගල, 2012
  • University of Ceylon History of Ceylon Volume 1, Part 2, 1960.
  • Polonnaruwa, Medieval Capital of Sri Lanka, Anuradha Seneviratna, 1998



15 comments:

  1. මාළිගාවේ, වත්මන් මහා මාර්ගය දෙසට යොමු වී ඇති පැත්තේ, හුණු බදාම තට්ටුව පමණක් නොව ඒ මත වර්ණ ආලේප කරන ලද ස්ථාන ද දැකිය හැකියි.(skirting එක වැනි වූ, බිත්තියේ පහල ම තීරය.) හුණු බදාමයෙන්ම සකසන ලද බොරදම් වැනි කැටයම් ද බිත්තියේ සමහර තැන්වල දැක ගැනීමට තිබෙනවා. එසේ ම මේ ගොඩනැගිල්ල ගිනි තබා විනාශ කරන ලද්දක් බව කියවෙනවා නේද?.මෙහි කැනීම්වලදී අඟුරු විශාල ප්‍රමාණයක් හමු වූ බව එහි ඇති විස්තර ඵලකයේ සඳහන් කර තිබෙනවා. සමහර බිත්තිවල ගඩොල් ද දැඩි සේ දැවී ගිය සළකුනු පෙන්වනවා. එසේ ම, බාල්ක සවි කර තිබූ සිදුරුවල ස්වභාවයෙන් පෙනෙන්නේ ද, බාල්ක ගිනිගෙන දැවීම නිසා බදාම පදාස කඩා වැටී ඇති ආකාරයක් නේද?

    මෙහි ඇති ආකාරයේ ම හුණු බදාමය මත වර්ණ ගැන්වීම් හා හුණු බදාමය මගින් මතු කළ බොරදම්, වැව සහ නිශ්ශංක මල්ලගේ රාජ සභා මණ්ඩපය අසල ඇති ධවලාගාරය නම් හඳුනා නොගත් ගොඩනැගිල්ලෙහි ද තිබෙනවා.

    ReplyDelete
    Replies
    1. ඔව් වර්ණ ආලේපිත බදාම කොටස් මෙන්ම හුණු බදාමයෙන් සකසන ලද බොරදම් කැටයම්ද ඉතිරි වී ඇති තැන් තියෙනවා. ඒවායේ ඡායාරූපයක් මම ඉදිරි ලිපියකදි පල කරන්නම්. එවැනිම දේවල් ධවලාගාරය ලෙස හැඳින්වෙන ගොඩනැගිල්ලේද දක්නට පුළුවන්. ගිනි ගැනීමෙන් විනාශ වීම සම්බන්ධ විස්තර මට හමු උනේ නැහැ. කැනීම් වාර්තා වල හෝ එමකැනීම් සිදු කල වර්ෂ වල පුරාවිද්‍යා පාලන වාර්තා වල ඒ සම්බන්ධ තොරතුරු ඇති. මේ ලිපිය ලිවීමේදි ඒවා පරිශීලනය කරන්නට හැකි උනේ නැහැ. රජ මාළිගය සම්බන්ධ ප්‍රකාශිත වෙනත් ප්‍රකාශන වල නම් එවැන්නක් හමු උනේ නැහැ.

      Delete
  2. //කාමර දහසකින් යුක්ත වූ නොයෙක් සියගණනින් විසිතුරු කණුවලින් අලංකාර වූ කෛලාශකූටය බඳු කුළු ගෙවල් සියයකින් යුක්ත වූ//
    ඔය කෑල්ල අතිශයෝක්තියක් වුනත් අනිත් විස්තර වැඩි වශයෙන් සත්‍ය වෙන්න පුලුවන්. දැව වගේම, මැටි හා වරිච්චි, නොපිලිස්සූ මැටි ගඩොල් ආදියත් පරිවාරක ගොඩනැගිලි සහ හෝ ඇතුල් බිත්තිවලට යොදා ගන්න ඇතිනේද ?

    ReplyDelete
    Replies
    1. Pra ...බොහෝ විට හත, දහස, සියය වැනි අගයන් තමා අපේ පැරණි සාහිත්‍යයේ ප්‍රමාණයන් පිළිබඳව සඳහන් කිරීමේදි යොදා ගන්නේ. දහස යන්නෙන් අනිවාර්යෙන් දහසක් තිබිය යුතු වන්නේ නැහැ. 100 කට වැඩි 1000 කට ආසන්න විශාල අගයක් යන්න ඉන් අදහස් උනා වෙන්න පුළුවන් කියල තමා මට හිතේන්නේ. අනික් අතට දැනට මාලිගය සහ ඒ අවට දක්නට ඇති නටබුන් අනුව ඒ අගය ඇතැම්විට අතිශයෝක්තියක් නොවන්නට පවා ඉඩ තියෙනවා. ප්‍රධාන වශයෙන් පිලිස්සූ ගඩොල් තමා පොළොන්නරු යුගයේ ඉදිකිරීම් සඳහා වැඩියෙන්ම යොදාගෙන තිබෙන්නේ. වරිච්චි සහ නොපිලිස්සු ගඩොල් යොදාගෙන තිබුනාද යන්න පිළිබඳව කිසිවක් කිව නොහැකියි. ඒ පිළිබඳව යමක් මේ ස්ථානයේ සිදු කල කැනීම් මගින් මතු කරගන්නට පුලුවන් උනාද යන්න මා දන්නේ නැහැ. තව දුරටත් සොයා බැලිය යුතුයි.

      Delete
    2. Aren't these archaeological excavations ended in Polonnaruwa? Are their many more to explore?

      Delete
    3. Excavations and conservation of most of the prominent monuments were done. But there are several more places to be explored. Even in already conserved sites there are some untouched areas. As a example recent excavations near So called Kumara Pokuna unearthed a small stone bridge (http://divaina.com/daily/index.php/pradeshiya-puwath/8045-2018-02-27-13-18-5)

      Delete
  3. වෙනදා වගේම අපුරු ලිපියක් භූෂණ...

    ReplyDelete
  4. Dear Bushana
    Thank you for very interesting article. (Please excuse me for using English, because I am a very poor in typing using a Sinhala Keyboard). As a person with an engineering back ground, I found that you have not adequately emphasis and described the toilet arrangement except to mention that there is a toilet inside the Palace, I think you should describe more on the massive, brick lined Soakage pit, constructed just adjoining to it, but on the outside of the palace, to which the urine and waste water (or perhaps even night soil after it was washed off with water) was allowed to flow, and collected.
    This is the genius of our ancient engineers, where more than thousand years ago they have marveled the word by using the proper sanitary disposal of Human waste almost similar to the present day techniques. I think they would have used the same techniques by filling this pit with layers of sand, charcoal etc, similar to the exhibit at the Anuradhapura Archeological Museum, where an assembly of large pots kept one top of the other. Or perhaps they would have used a degradable material such as paddy husk or saw dust etc to cover daily usage, to avoid foul smell.
    Even outside the palace at the lower ground levels there are some toilets and deep collector wells. Also are wells lined with large cylindrical burnt clay rings. What are the purposes of these?
    Did you had any opportunity to study these aspects? If so please write on that in your future article

    I tried to attach two photos of the two types, but it didn't appear on comments, if necessarily I could sent you them as an E-mail etc

    ReplyDelete
    Replies
    1. Dear Tilak
      Thanks for your valuable comment.
      I admit that I have not mentioned in depth about toilets of the Parakramabahu palace. Not only toilets but there are lot more things to talk about this magnificent palace complex those I had omitted in above post . I think it is not out of context here if I would tell you bit about style and purpose of my blog posts. My intention of posting these stuffs is to reach as much as possible to the people those who are not much aware of our great heritage especially of the Rajarata civilization. There are enough fabricated bullshits calling our great history widely circulating in cyberspace especially within social media misleading the public especially new generation. Purpose of these posts is to reach them and educate them with real facts (I don’t say true history since no one knows by now what actually happened those days ) As a fact it is a known truth that new generation is not used to read lengthy articles. Not only new generation but also the generations before the so called millennium generation are also not in a position to spend much time these days on something those are not economically benefitted to themselves. So I used to write these posts as short as possible so that to reach my intended reader base. So my tactic is to write several posts on a certain site or a building or any such archeological monument with different aspects of said monument. Perhalf a separate article on toilets of Parakramabahu Palace or generally of ancient sanitary facilities of Sinhalese would be a reality sooner or later on this blog. Thanks for giving me that idea. Regarding pictures I may already have those pictures you mentioned since I usually cover each and every minor thing I come across whenever I visit a certain site. But posting pictures on blog post comments is not possible it seems. But please send me those if it ok with you so that I can get a better idea of what you meant above by going through them.

      Delete
  5. Dear Bushana
    Thanks, I appreciate your feedback greatly. I myself is interested and fascinated with the creativity of our Ancients . Their buildings.Water Gardens, Engineering aspects, irrigation. tank buildings.etc. I would like to know how to contact you in person as a friend in if you could list your E-mail. I wish to get some benefit from your vast knowledge and share some experiences with you personally, if you don't mind. I could convey to you some things I witnessed during my carrier in State service, if that serves any interest to you

    ReplyDelete
    Replies
    1. You can contact me via bushana.kalhara@gmail.com. Yes please write to me. I would like to hear it.

      Delete