Saturday, April 21, 2018

දඹුලු පර්වත සෙවනේ සැඟවුණු දඹුලු සෝමාවතිය

රංගිරි දඹුලු රජමහා විහාරය යනු දෛනිකව විශාල බැතිමතුන් පිරිසක් මෙන්ම දෙස් විදෙස් සංචාරකයන් අති මහත් ප්‍රමාණයක් පැමිණෙන මෙරට පිහිටි ප්‍රසිද්ධ බෞද්ධ විහාරයකි. එහෙත් එම දඹුලු ලෙන් විහාරය පිහිටි පර්වතයේම පාමුල ලෙන් විහාරයට බටහිර දෙසින් සෝමාවතිය ලෙසින් හැඳින්වෙන තරමක විශාල දාගැබක් සහ පැරණි සංඝාරාමයක සංරක්ෂිත නටබුන් සහිත ඉතාමත් නිස්කලංක ස්ථානයක් ඇති බව අසා ඇති හෝ වරක් හෝ එම ස්ථානයට ගොස් ඇති පිරිස ඔවුන්ගෙන් ඉතාමත්ම අල්ප ප්‍රමාණයක් බව නිසැකය. 

එක් අතකින් එම අඩු සංචාරකයන් ප්‍රමාණය එම ස්ථානයේ වර්තමාන සන්සුන් වටපිටාව තවදුරටත් තබා ගැනීම සඳහා ඉවහල් වන බැවින් අප එය අගය කරමු. මෙවන් ස්ථාන වලට යා යුත්තේ ආගමික භක්තියක් ඇතිව හෝ පැරණි ස්ථාන පිළිබඳව උනන්දුවක් ඇතිව එවන් තැන් කරා යන පිරිස් විනා අවර ගණයේ රූපවාහිනි සංචාරක වැඩසටහන් බලා හැමෝම යන නිසා අපිත් යන්න ඕනේ යන අරමුණින්, නැතහොත් එසේ ගොස්  අපිත් එහෙ ගියා කියා 'Selfie ගසා 'FB Update' නොකලොත් හරිමදි වගේ හිතන පිරිස් නොවේ. එවන් සාතිශය බහුතරයක් දිනපතා මෙරට සංවේදී පාරිසරික කලාප සහ පෞරාණික ස්ථාන වලට කරන හානිය සුලු පටු නොවේ. 
සතරැස් වේදිකාවක් මත ඉදිකල ස්තූපය, පසුබිමේ දිස්වන්නේ දඹුලු පර්වතයයි
දඹුල්ල පබ්බත විහාරාරාමය ලෙසින් පුරාවිද්‍යාඥයන් විසින් හඳුන්වන මෙම ස්ථානයේ ආරම්භය හෝ ඉතිහාසය සම්බන්ධව සෙල්ලිපි හෝ සාහිත්‍ය මූලාශ්‍ර මගින් කිසිදු සඳහනක් සොයාගත නොහැක. එහෙත් දඹුල්ල ලෙන් විහාරය අවට දඹුලු පර්වතයේ හමුවන ගුහා වල ඇති පූර්ව බ්‍රාහ්මි ලිපි වලට අනුව ක්‍රි.පූ. 3 වන සියවසේ සිටම මෙම පර්වතය සහ ඒ අවට ප්‍රදේශය ගුහා ආශ්‍රිත භාවනානුයෝගී භික්ෂුන් උදෙසා වෙන්වූ සංඝාරාමයක්ව තිබූ බව පැහැදිලිය. 'පබ්බත විහාරාරාම' ලෙසින් නූතන විද්වතුන් හඳුන්වන සංඝාරාම ඉදිකිරීම මෙරට ආරම්භ වීමත් සමගම ඒ සඳහා අවැසි වූ ස්තූපය, බෝධිඝරය සහ උපෝසථඝරය එම සංඝාරාමයට එක් වන්නට ඇත. කෙසේ නමුත් පබ්බත විහාරයක අනික් මූලික අංගයක් වන පිළිමගෙය මෙම දඹුලු පබ්බතාරාමයේ දක්නට නොමැත.

එයට බලපෑ හේතුව පිළිබඳව ඉදිරිපත්වී ඇති මතය පැහැදිලි කිරීමට පොරොතුව පබ්බත විහාර යන සංකල්පය පිළිබඳව යම් පැහැදිලි කිරීමක් අවශ්‍යය යැයි සිතමි. මෙයට පෙර සාකච්චා වූ මැණික්දෙන පබ්බතාරාමය පිළිබඳව වූ ලිපියේද පබ්බත විහාර යන නම සඳහන් කල මුත් ඒ පිළිබඳව වැඩි යමක් එහිද ඉදිරිපත් නොවිය.
උපෝසථඝරය
පබ්බත විහාර
මෙරට පුරාවිද්‍යා ගවේෂණයේ ආරම්භක යුගයේ සිටම අනුරාධපුර නගරයට පරිබාහිරව නගරයට තරමක ඈතින් වන්නට ඉදි කර තිබූ විජයාරාම, තොලුවිල, පංකුලිය, පුලියන්කුලම වැනි නටබුන් ස්ථාන මෙන්ම මැණික්දෙන, දඹුල්ල කළුදියපොකුණ, සීගීරිය, රාම කැලේවෙස්සගිරිය, ලාහුගල මඟුල්මහා වෙහෙර,  වැනි අගනගරයට දුරස්ථව පිහිටි ඇතැම් ස්ථාන වලද දක්නට ඇති ආරාමික නටබුන් වලට පොදු වූ යම් යම් ලක්ෂණ H.C.P බෙල්, A. M. හොකාර්ට් (A.M. Hocart) සෙනරත් පරනවිතාන වැනි විද්වතුන්ගේ අවධානයට බඳුන්විය. ඒ අතරින් හොකාර්ට් මහතා මෙවැනි බොහෝ ස්ථාන වල ප්‍රධාන ගොඩනැගිලි කිහිපය හෝ/සහ මුළු පරිශ්‍රයම ඇතැම් විට දිය අගලකින් වටවූ බවට සාධක හමුවන හෙයින් ඒවා 'Moated Sites' ලෙසින් වර්ගීකරණයකට ඇතුලත් කලේය. පබ්බත විහාර යන නම එවන් ස්ථාන සඳහා මුල්වරට යොදාගත්තේ සෙනරත් පරණවිතාන මහතාය. සේනක බණ්ඩාරනායක මහතාද එම නාමයම එවන් විහාරාරාම පිළිබඳව විස්තර කිරීම උදෙසා යොදාගන්නා මුත් පසුකාලීනව ලීලානන්ද ප්‍රේමතිලක සහ රෝලන්ඩ් සිල්වා යන විද්වතුන් පංචාවාස යන නාමය  වාස්තුවිද්‍යා ශාස්ත්‍රය පිළිබඳව වූ පැරණි ග්‍රන්ථයක් වන මංජු ශ්‍රී වාස්තුවිද්‍යාශාස්ත්‍ර අනුසාරයෙන් ඒ සඳහා ඉදිරිපත් කරයි. කෙසේ නමුත් බොහෝවිට පබ්බත විහාර යන නමින්ම වර්තමානයේ හැඳින්වෙන මෙම සංඝාරාම වල ආරම්භය 5 - 6 යන සියවස් වල සිදුවූ ලෙස සැලකේ.

පබ්බතවිහාර පරිශ්‍ර වල මධ්‍යගතව ප්‍රාකාරයකින් සහ දිය අගලකින් වටවූ ආයත චතුරශ්‍රාකාර උස් මලුවක් තුල ප්‍රධාන ආගමික ගොඩනැගිලි හතරක් හෝ ඇතැම්විට 5 දැකිය හැක. එම මළුවට ඇතුළු වීම සඳහා බොහෝ විට ප්‍රාකාරයේ සහ දිය අගලේ එක පසකින් මධ්‍යයෙහි පිහිටි දොරටුවක් හෝ සිව් දිසාවෙන්ම මධ්‍යයෙහි වූ දොරටු හතරක් තිබී ඇත. මළුව තුල වූ ගොඩනැගිලි හතර, ස්තූපය, පාසාද හෙවත් උපෝසථඝරය, පතිමාඝර හෙවත් පිළිම ගෙය සහ බෝධිමළුව හෙවත් බෝධිඝරය ලෙස හඳුනාගෙන ඇත. මෙයට අමතරව මැණික්දෙන සහ පිදුරංගල යන පබ්බත විහාර වල සභාසාලාවක්ද දැකිය හැක. පංචාවාස යන නාමය මෙවන් සංඝාරාම සඳහා යොදාගැනීමේ පදනම එම ගොඩනැගිලි පහයි. කෙසේ නමුත් මෙරට හමුවන බොහෝ පබ්බත විහාර පරිශ්‍ර වල හමුවන්නේ ඉහත මුලින් සඳහන් කල ගොඩනැහිලි සතර පමණි.
මැණික්දෙණ පබ්බත විහාරයේ ප්‍රධාන මලුවේ ගොඩනැගිලි පිහිටා ඇති ආකාරය

මෙම ප්‍රධාන මළුවට බාහිරව පිහිටි භූමියේ භික්ෂූන් වහන්සේගේ වාසස්ථානය සඳහා ඉදිවූ කුටි මෙන්ම උන්වහන්සේලාගේ දෛනික ජීවිකාව සඳහා අවශ්‍ය අනෙකුත් සේවාවන් සැපයීම සඳහා ඉදිවූ භෝජනශාලා, කැසිකිලි, වැසිකිලි, ජන්තාඝර හෙවත් නාන ගෙවල් යනාදිය දැකිය හැක. මේ සියල්ලටම පිටතින් නැවතත් ආයත චතුරශ්‍රාකාර පිට ප්‍රාකාරයක් සහ දිය අගලක් හමුවේ. පරිශ්‍රයට පිවිසීම සඳහා දිය අගල හරහා වූ සපත්තු පාලමක් සහ දොරටුවක් දැකිය හැක.

කෙසේ නමුත් සියළුම පබ්බත විහාර මෙම සියළු අංග වලින් පරිපූර්නයැයි පැවසිය නොහැක. මේ ඇතැම් අංග සමහර පබ්බත විහාර පරිශ්‍ර වල හමු නොවේ. එසේම මෙම අංග වලට වඩා අමතර ගොඩනැගිලි හමුවන ස්ථානද නැතිවා නොවේ. උදාහරණයක් ලෙසට සේනක බණ්ඩාරනායක මහතා පූජනීය සංකිර්ණය (Shrine Complex) ලෙසින් හඳුනාගන්නා මාලකයක් තොළුවිල වැනි පබ්බත විහාර පරිශ්‍ර කිහිපයක හමුවේ. තවද කළුදිය පොකුණ (දඹුල්ල) වැනි පබ්බත විහාර පරිශ්‍ර වල දිය අගල වෙනුවට ස්වභාවික ජල පාරවල්ම උපයෝගි කරගෙන ඇත.

මේ වන විට 100 කට වැඩි පබ්බත විහාර ලෙස හඳුනාගත හැකි ස්ථාන ප්‍රමාණයක් පැරණි සිංහල-බෞද්ධ සභ්‍යත්වය පැතිර තිබූ රජරට සහ රුහුණු රට විවිධ ප්‍රදේශවලින් හමුවී ඇත. එම ප්‍රමාණය අනාගත ගවේශන  තුලින්, විශේෂයෙන් වනාන්තර තුල ඇති නටබුන් ස්ථාන ආශ්‍රිතව සිදුවන ගවේශන සහ කැනීම් මගින් තවදුරටත් වැඩි වනු ඇත.
බෝධිඝරය
දඹුල්ල සෝමාවතිය - පබ්බතාරාමයක් ලෙස
ඉහත විස්තර වූ පබ්බත විහාරයන්හි ප්‍රධාන මළුවේ හමුවන ගොඩනැගිලි සතර අතරින් තුනක් මෙහි දැකිය හැක. නැතහොත් ස්තූපය, බෝධිඝරය සහ උපෝසථඝරය මෙහි දැකිය හැකි අතර පතිමාඝරයක් දක්නට නොමැත. කෙසේ නමුත් මෙම ගොඩනැගිලි හමුවන පරිශ්‍රයට ඉහලින් පර්වතය මුදුනේ මෙම පබ්බතාරාමයේ ගොඩනැගිලි ඉදි වන්නටත් පෙර සිටම පැවැති පිළිමගෙවල් ලෙසට හඳුනාගත හැකි ලෙන් තුනක්ම දැකිය හැක (ප්‍රසිද්ධ රංගිරි දඹුලු ලෙන් විහාරය.). මේ නිසා පිළිමගෙයක අවශ්‍යතාවය සම්පූර්ණ වේ. එසේම වෙනත් පබ්බත විහාර වල එම ගොඩනැගිලි සතර  වටා ඉදිවූ ප්‍රාකාරයද මෙහි දක්නට නොමැත්තේ පිළිමගෙයද සහිතව එය ඉදි කිරීමේ ප්‍රායෝගික අපහසුතාවය නිසා විය නොහැකිද?

තවද වෙනත් පබ්බත විහාර වල ප්‍රධාන මළුවට බැහැරින් එය වටා ඉදි කර ඇති භික්ෂූන්ගේ වාසස්ථානය සඳහා ඉදිවූ කුටි වෙනුවට මෙහි ඇත්තේ පබ්බත විහාරයේ නටබුන් ඇති ස්ථානයට උතුරින් ඒ ආසන්නයේම සහ මදක් නැගෙනහිර දෙසට වන්නට පර්වතයේ බෑවුමේ දැකිය හැකි කටාරම් කෙටූ ලෙන් සමූහයයි. මේ ලෙන් වලින් 30 කට ආසන්න ප්‍රමාණයක ඒවා සඝ සතු කල බවට වූ පූර්ව සහ අපර බ්‍රාහ්මි ලිපි හමුවේ.
බෝධිය රෝපණය කල ස්ථානය සහ වැඩිපුර ජලය ගලා යාමට තැනවූ අගල
මෙම ස්ථූපයේ සිදු කල කැනීම් වලදි අවධි දෙකක ඉදිකිරීම් මතුවූ අතර ඉන් මුල් අවධිය 5-6 සියවස් වලටත් ඉන්පසු 8-10 සියවස් වලටත් පුරාවිද්‍යාඥයන් කාල නිර්ණය කරයි. නිදන් හොරුන්ගේ ග්‍රහණයට සියවස් ගණනාවක් ලක්වීම නිසා එහි ධාතු ගර්භයේ වූ බොහෝ දේ විනාශ වී තිබූ අතර බදාම වලින් සෑදු පද්මාකාර පාදමක්, මැටි බුදු පිළිම ආදිය පමණක් ඉතිරි වි තිබී හමු විය. එසේම ස්තූපයේ ඉහල කොටසේ තිබී විනාශ වූ මැටි රූප වල කොටස්ද මලුවේ සුන් බුන් අතර තිබී හමු විය. මෙම ස්තූපයේ කොරවක්ගල ගඩොලින්ම නිර්මාණය කර තිබීම සුවිශේෂ ලක්ෂණයක් ලෙස හඳුනාගත හැක.

ජනප්‍රවාද ගත තොරතුරු අනුව පැවසෙන මෙම ස්තූපයේ සෝමාදේවියගේ ආභරණ තැන්පත් කර තිබුනාය යන්නෙහි කිසිදු පදනමක් තිබිය නොහැක. කෙසේ නමුත් මෙම ස්තූපයේ පාදමේ සහ පොළොන්නරුවේ ඇති සෝමාවතී ස්තූපයේ පාදමේ ඇති සමානත්වය පිළිබඳව ලක්ෂ්මන් අල්විස් මහතා සිය කැනීම් වාර්තාවේදි අවධානය යොමුකර ඇත.

මූලාශ්‍ර
  • History and Archaeology of Sri Lanka, Volume II, The Art and Archaeology of Sri Lanka 1, CCF, 2007
  • Sinhalese Monastic Architecture, The Viharas of Anuradhapura, Senake Bandaranayake, 2009
  • ශ්‍රි ලංකාවේ පැරණි බෞද්ධ සංඝාරාම, ප්‍රිශාන්ත ගුණවර්ධන, 2010
  • Golden Rock Temple of Dambulla, Anuradha Seneviratna, 1983
  • රංගිරි දඹුලු විහාරය, මහාචාර්ය මංගල ඉලංගසිංහ, 1987
  • Bibliotheca zeylanica series 1, Manjusri Vastuvidyasastra, M.H.F. Jayasuriya, Leelananda Prematilleke, Roland Silva, 1995
  • Memoirs of the Archaeological Survey of Ceylon Volume X - Part II, Environment, Town,Village And Monastic Planning, Roland Silva, 2006
  • Unesco-Sri Lanka Project of the Cultural Triangle, Conservation And Development of Dambulla Caves, First Conservation Project 1983, Lakshman Alwis, 1989
  • Unesco-Sri Lanka Project of the Cultural Triangle, Daambulla Project, Second Conservation Report, , Lakshman Alwis
  • අපේ සංස්කෘතික උරුමය, ද්විතිය කාණ්ඩය, 1998

13 comments:

  1. දඹුලු සෝමාවතිය ගැන මීට ඉස්සර දැනගෙන් හිටියේ නෑ. ස්තුතියි.

    ලංකාවේ පුරාණ ගොඩනැගිලි අවශේෂ අති බහුතරය ආගමික වීමට හේතුව ගැන ඔබේ මතය කුමක්ද? රජ මාලිගා හා සම්බන්ධ ගොඩනැගිලි කීපයක් හැර වෙනත් ආගමික ස්ථාන නොවන ගොඩනැගිලි හඳුනාගෙන තිබෙන්නෙ මොනවාද?

    බටහිර හා මධ්‍ය ආසියා රටවල ආගමික ස්ථාන මෙන්ම රාජකීය / ප්‍රභූ / මිලිටරි බලකොටු , මාලිගා, මුර කපොලු, වෙලඳ, කර්මාන්ත ආදී විශාල පරාසයක නටඹුන් හමුවෙනවා. ඉන්දියාවෙත් එහෙමයි නේද? ලංකාවේ ආගමික හා ආගමික නොවන සංඛ්‍යා අතර පරතරය ඉතා ඉහලයි.

    ගොඩනැගිලි ද්‍රව්‍යවල වෙනස ලොකු හේතුවක් වෙන්න ඇති. හුඟක් ගෙවල් හා අනිත් ගොඩනැගිලි මැටි හා දැව වුන නිසා. ඒත් ගලින් කල ආගමික නොවන රාජකීය, ප්‍රභූ හා මිලිටරි/ආරක්ෂක ගොඩනැගිලි මීට වඩා හමුවෙන්න ඕනෙ නැද්ද?

    යාපහුවෙ වැඩිපුර තියෙන්නේ ආගමික නොවන ගොඩනැගිලිද?

    ReplyDelete
    Replies
    1. අනුරාධපුර, පොළොන්නරු යුග වල පොදු ජනයා වාසය කල නිවාස දුර බැහැර ප්‍රදේශ වල අදද දැකිය හැකි ආකාරයේ වරිච්චි බිත්ති, පිදුරු හෝ පොල් අතු සෙවිලි කල රාත්‍රි කාලයට නිදාගැනීමට පමණක් ඉදි කල ඒවා වීමට ඇති ඉඩ වැඩියි.ප්‍රභූ වරු සිටි නිවාස පවා විශාලත්වය අතින් විනා උපයෝගි කරගත් ද්‍රව්‍ය අතින් එතරම් වෙනසක් වූවා විය නොහැකියි. මහනුවර යුගයේ පවා ප්‍රභූ වරුන් වාසය කල වලව් වලින් අද වන විට නවීකරනය නොවී ඉතිරි වී ඇති ඒවා උනත් එවැනි දිරායන දේවල් තමා වැඩියෙන්ම උපයෝගි කරගෙන සාදා තියෙන්නේ. ගල් කණු ගල් උලුවහු වෙනුවට ලී තමා උපයෝගි කරගෙන තියෙන්නේ. ඉතින් ඒවා අතහැර දැමීමත් සමග විනාශ වී යනවා කිසිදු සලකුණක් ඉතිරි නොකර.

      කෙසේ නමුත් රජ මාලිගා සහ ආගමික ගොඩනැගිලි වලට අමතරව කඩ පිල් වැනි දේ වල නශ්ඨාවශේෂ හමු වෙලා තියෙනවා. පොළොන්නරුව උතුරු දොරටුවේ සිට ගල් විහාරය දෙසට යන විට මග දෙපස දැකිය හැක්කේ කැනීම් කර සංරක්ෂණය කල එවන් නටබුන්. අනුරාධපුරයෙත් එවැනි වීදී වල දෙපස තිබූ ගොඩනැගිලි හමුවී තිබෙනවා. බලකොටු වල නටබුන් උනත් නැත්තෙම නැහැ. මීට පෙර විජිතපුර බලකොටුව පිළිබඳව මම ලිපියක් ලිව්වා (http://trisinhala.blogspot.com/2017/08/blog-post_23.html). එවන් තවත් ස්ථාන ඇති මෙතෙක් හමු නොවූ.

      බුද්ධාගම ජීවමාන ආගමක් වීම සහ එය අදහන බහුතරයක් සිටින නිසා මුල් යුගයේ සිටම ලෞකික ඉදිකිරීම් වලට වඩා (secular buildings) එවන් ආගමික නටබුන් සංරක්ෂණය කෙරෙහි වැඩි අවධානයක් යොමු උනා. අනෙක් අතට ඒවා සුවිසල් ඉදිකිරීම් නිතැතින්ම අවධානය යොමුවන.

      තවත් දෙයක් තමා ආගමික ඉදිකිරීම් විනාශ කිරීමට අවම වශයෙන් එම ආගම අදහන ජනයාගේ ඇති බිය. වෙනත් ගොඩනැගිලි වල ගල්, ගඩොල් ආදිය කිසි බියක් සැකක් නොමැතිව රැගෙන තමුන්ගේ නිවාස ඉදිකිරීම් සදහා යොදාගත්තත්, නොමැති නම් එම ස්ථාන වලම ඒවා ඉදි කෙරුවත් ආගමික ස්ථානයක එවැනි දෑ කිරීමට වෙනත් ආගමිකයෙක් විනා බෞද්ධයෙක් පෙලඹෙන්නේ නැහැ. එනිසා ඒවාට හානි සිදු වන්නේ බොහෝවිට අක්‍රමනයකදි විතරයි. නමුත් ලෞකික ගොඩනැගිලි වලට එය අදාල වෙන්නේ නැහැ. හොදම උදාහරනය කෝට්ටේ අගනුවර තිබූ නටබුන්. වාර්තා තිබෙනවා එහි තිබූ ගොඩනැගිලි වල ගල් විවිධ දේ සඳහා කරත්ත පිටින් රැගෙන ගිය බවට. අනෙත් අතට හඟුරන්කෙත රජමාලිගයේ නටබුන් ආදිය යොදාගෙන තියෙනවා ආගමික ඉදිකිරීම් සඳහා.

      ඉංග්‍රිසීන් පාරවල් සෑදිමේදිත් අනුරාධපුරය පොළොන්නරුව වැනි ප්‍රදේශ වලදී නටබුන් වල ගල් පතුරු, කණු ආදිය යොදාගත්තා. මෑතකදි පොළොන්නරුවේ මාර්ග අලුත්වැඩියාවකදිත් එවැනි දේ මතු උනා. එසේම පැරණි ආගමික ගොඩනැගිලි පුරාවිද්‍යාඥයන් නොවන පිරිස් අතින් නැවත පිලිසකර කිරිම් සිදු වී තිබෙනවා. රුවන්වැලිසෑය පවා එලෙසයි සිදු උනේ. එවිට ඒ අවට තිබෙන වෙනත් ගොඩනැගිලි අවශේෂ ඒ සඳහා යොදාගෙන තිබෙනවා. එවන් දේ නිසාත් ආගමික මෙන්ම ආගමික නොවන පැරණි ඉදිකිරීම් විනාශ වෙන්න ඇති. අද ඉසුරුමුනිය ලෙසින් හඳුන්වන විහාරය එතරම් ඈත නොවන කාලයකදි ඒ අසල ඇති රන්මසු උයන ලෙසින් හැඳින්වෙන රාජකීය උයනේ නටබුන් දෑ එකතු කර සෑදු බවට සාධක තියෙනවා.
      යාපහුවේ ඇති ආගමික ගොඩනගිලි පැහැදිලිව වෙන් කරගන්න පුලුවන් උනාට ආගමික නොවන ගොඩනැගිලි ඇතැම් විට ආගමික ඒවා ලෙසත් සමහරු මත ඉදිරිපත් කරලා තියෙනවා. උදාරරනයක් ලෙසට සුප්‍රසිද්ද පියගැටපෙල මුදුනේ ඇති ගොඩනැගිල්ල දලදා මාලිගය ලෙසින් මෙන්ම රාජකීය ගොඩනැගිල්ලක් ලෙසද හඳුන්වනව. නමුත් පොළොන්නරු, පඪුවස්නුවර වැනි මාලිග වල සැලැස්මටම ඉදි කල මාලිගයක නටබුන් පර්වතය මුදුනේ හඳුනාගෙන තිබෙනවා. එය මේ වන විට නැවතත් කැලෑවෙන් වැසිලා

      Delete
    2. හොද පැහැදිලි කිරිමක්. යාපහුව ගැන පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ අවධානය අඩුවෙලාද මේ වෙනකොට?

      පොළොන්න්රැවේ රාජමාළිගා නටබුන් හමුඋනාද අනුරාධපුර මාළිගා නටබුන් හමු වෙන්න නැත්තෙ ඇයි? අවුරැදු 1500 වඩා අගනුවරක් උන අනුරාධපුර නගරයේ රාජමාලිගා සංකීර්ණයක් අනිවාර්යෙන්ම පවතින්නට උවමනායි නේද?

      Delete
    3. අනුරාධපුර ඇතුළු නුවර විජයබාහු මාළිගය නමින් හැඳින්වෙන මාළිගාවක නටබුන් තියෙනවා. එය 1 වන විජයබාහුගේ ලෙසයි හඳුනාගෙන තියෙන්නෙ. ඒ ආසන්නයේ වෙනත් ගොඩනැගිලි කිහිපයක නටබුන් ඉතිරි වී තිබෙනවා. ඉදිරියේදී ඒවා ගැන ලියන්නම් ජනාවාස වලට ඇතුළු නුවර ඇතැම් ප්‍රදේශ යටවෙලා. නමුත් කැනීම් මගින් තව බොහෝ දේ ඉදිරියට සොයාගනීවි. පොළොන්නරුවේ පරාක්‍රමබාහු සහ නිශ්ශංකමල්ල රජවරුන්ගේ මාලිගා වල නටබුන් තිබෙනවා. නිශ්ශංකමල්ල රාජ සභාව ගැන මෙයට පෙර ලිපියක් පලකලා(http://trisinhala.blogspot.com/2018/01/blog-post_22.html)

      යාපහුවේ උඩ ඉතිරි වී ඇත්තේ මාලිගාවේ සුළු නටබුන් ප්‍රමාණයක් පමණයි. යාපහුවේ පහල ප්‍රදේශයේ නටබුන් වලට යහපත් අවධානයක් තියෙනවා. දැනටත් ඇතැම් කැනීම් සිද්දවෙනවා.

      Delete
    4. අනුරාධපුර යුගයේ මාළිගා සංකීර්ණයේ කිසිම නටබුමක් හොයාගන්නට නැති වීම හරි අමුතුයි. මේ පිලිබද විද්වතුගේ මතය මොකක්ද?

      Delete
    5. Shenal - අනුරාධපුර මාලිගා සංකීර්ණයේ නටබුන් නැත්තේ නැහැ තියෙනවා. එහි අවසාන වරට මාළිගයක් හදන්නේ වංශ කතාව අනුව විජයබාහු. පැහැදිලිවම එය ඉදිවන්නට ඇත්තේ කලින් සිටි රජවරුන්ගේ මාළිගා තිබූ ස්ථානයේ. එහි නටබුන් තමා අද දක්නට හැක්කේ. ඉදිරියේදී මේ ගැන වැඩි විස්තර ඉදිරිපත් කරන්නම්

      Delete
  2. මමත් කලින් මේ ගැන අහල තිබුනේ නැහැ...

    බුෂණ, මේ බ්ලොග් එක සින්ඩි වල නැද්ද...
    මේ වගේ වැදගත් ලිපි වැඩි පිරිසක් අතරට යනවනම් හොඳයි...

    ReplyDelete
    Replies
    1. මාතලන්ගේ සහ අජිත් කුමාරගේ සින්ඩි වල තියෙනවා.

      Delete
  3. https://gadyanohothkavi.blogspot.com/2018/04/blog-post_504.html

    ReplyDelete
  4. භූෂණ, ගොඩක් ස්තුතියි. කොපමණ සංචාරය කළත් මඟ හැරුණු තැනක් ගැන ඔබෙ අනගි පොස්ටුවෙන් තමා දැකගත්තේ. අනිවා, එහාට යනවා, එතන වනසලා එන්න නෙවෙයි. නරඹලා එන්න. දඹුල්ල කිට්ටුවම, ඉනාමලුව අසල එඬේරගල ආරණ්‍ය සේනාසනයට ගිහින් තියෙනවාද? යන්න වටිනවා.

    ඔයා ගොඩක් දන්නා බව පෙනෙන නිසායි අහන්නේ. රජගල කැනීම් නැවත් පටන් ගන්න ලකුණක්වත් නැහැ නේද. සල්ලි ඉවර බවක් දැනගත්තා.

    මම ත්‍රිසිංහලේට පාර දැක්කෙත් මාතලන්ගේ පත්තරෙන්.

    තුති!

    ReplyDelete
    Replies
    1. එඩේරගල තාම මට යන්න නොහැකි වූ තැනක්. රජගල කැනීම් පසුගිය සතියේ නැවත පටන් ගත්ත බවට පුවත්පත් වාර්තාවක් දැක්කා. එහි සඳහන් විස්තර අනුව පූර්ව ඓතිහාසික තොරතුරු සොයා බැලීමට ගුහාවක කරන කැනීමක් තමා පටන් ගත්ත බව .ඓතිහාසික යුගයේ ඉදිකිරීම් කැනීම සහ සංරක්ෂණය නැවත පටන් ගත්තද නැත්ද යන්න අපැහැදිලියි. මේ තියෙන්නේ එම වාර්තාව - http://www.lankadeepa.lk/main_picture/%E0%B6%BB%E0%B6%A2%E0%B6%9C%E0%B6%BD-%E0%B6%B4%E0%B7%94%E0%B6%BB%E0%B7%8F%E0%B7%80%E0%B7%92%E0%B6%AF%E0%B7%8A%E2%80%8D%E0%B6%BA%E0%B7%8F-%E0%B6%B7%E0%B7%96%E0%B6%B8%E0%B7%92%E0%B6%BA%E0%B7%9A-%E0%B6%9A%E0%B7%90%E0%B6%AB%E0%B7%93%E0%B6%B8%E0%B7%8A-%E0%B6%BA%E0%B7%85%E0%B7%92-%E0%B6%87%E0%B6%BB%E0%B6%B9%E0%B7%99%E0%B6%BA%E0%B7%92/11-529950

      Delete
  5. ස්තුතියි භූෂණ.

    ReplyDelete