Tuesday, April 17, 2018

පයිබස්ගේ ගමන් විස්තරය 3 - මහතලා රටින් කන්ද උඩ රටට

ජෝන් පයිබස් නම් ඉංග්‍රිසි පෙරදිග ඉන්දීය සමාගමේ නිලධාරියෙක් ඇතුළු පිරිසක් වර්ෂ 1762 දී කන්ද උඩරට රාජධානියේ පාලකයා වූ කීර්ති ශ්‍රි රාජසිංහ හමුවීමට යෙදුන දූත ගමනක විස්තර, වීශේෂයෙන්ම ඔහුගේ ගමන් මග පිළිබඳව විස්තර මෙයට පෙර ලිපි දෙකකින් විමසා බැලුවෙමු. මේ එම ලිපි පෙලේ අවසාන කොටසයි. පෙර ලිපි කියවීමට>> 
ගෝනවල සිට නාඋල දක්වා පයිබස් ගමන් කල මාර්ගයේ හමු වන ගම්මානයක දර්ශනයක්
එදින පස්වරු 12.30 ට පමණ පයිබස් පොල් ආර් (Pollar) ලෙසින් මගපෙන්වන්නන් ඔහුට හඳුන්වා දුන් මින්නේරි වැවට වැටෙන ගංගාවක අතුගංගාවක් හරහා ගොස් සවස 3 පමණ වනතුරු ඝන වනාන්තරය මැදින් වැටුන ගල් සහිත මාර්ගයක ගමන් කල බව පවසයි.දෙමළ භාෂාවෙන් පැල් ආර් ලෙස හඳුන්වන්නේ කිරි ඔය ලෙස හඳුනාගත හැක. මේ ප්‍රදේශය හරහා ගලා ගොස් මින්නේරිය වැවට වැටෙන්නේ කිරි ඔය පමණි. සවස 3.30 පමණ වන විට පයිබස් ඇතුළු පිරිස සිංහලයන් Negavatowany ලෙසත් මලබාර්වරු (ද්‍රවිඩ ජාතිකයන්) Nawtchytolum ලෙසත් හඳුන්වන බව පයිබස් පවසන චෝලියාර්වරු (මුස්ලිම් ජාතිකයන්) වාසය කරන ගම්මානයකට පැමිණේ. එම ගම්මානයේ නිවාස 7-8 පමණ තිබී ඇත. මේ ගම්මානය නිකවටවන ලෙස හඳුනාගත හැක. ඒ අනුව පෙයික්කුලම් වැවේ සිට පයිබස් ආ ගමන් මග මෙලෙසින් සලකුණු කල හැක.
සිතියම 1 - පෙයික්කුලම් සිට නිකවටවන දක්වා අඟලේ සිතියම්  වල දැක්වෙන පැරණි මාර්ගය රතු පාටින් දක්වා ඇත.
පෙයික්කුලම් වැව අසලින් බටහිර දෙසට ගොස් මකරයාවල සහ පොල්අත්තාව හරහා වැටී  ඇති එම පැරණි මාර්ගය අඟලේ සිතියම් වල පැහැදිලිව ලකුණු කර ඇත. මකරයාවල අසලදී එම මාර්ගය පයිබස් පවසන පරිදි කිරි ඔයේ ශාඛාවක් හරහාද වැටි ඇත. පෙයික්කුලම් වැව සහ එහි සිට වැටී ඇති මාර්ගය අද සීගිරිය අභයභූමියට අයත් ඝන වනාන්තරය තුල පිහිටා ඇත. කෙසේ නමුත් අඩි පාරක් ලෙස පෙයික්කුලම් වැව දෙසින් එන මාර්ගය සිගිරිය සිට වෑවල වැව දෙසට යන ගුරු පාරේ ගිය විට පොල්අත්තාව අසලදී හමුවේ (Google Street View ඡායාරූපය බලන්න). පොල්අත්තාව සිට නිකවටවන දෙසට වූ මාර්ගය පැරණි සිතියමට අනුව මද දුරක් වර්තමානයේ පොල්අත්තාවේ සිට වෑවල වැව දෙසට ඇති ගුරු පාරේ ගොස් මේ වන විට කිසියම් වන වගාවක් ලෙස සංවර්ධනය වූ ඉඩමක් හරහා යන බව පෙනේ. නිකවටන ගම අසලදි එම මාර්ගය වැටී තිබූ ප්‍රදේශය මේ වන විට කුඹුරු ඉඩම් වලට ඉඩදී අතුරුදහන් වී ඇත. පොල්අත්තාවේ සිට නිකවටන ගමට ඇති වර්තමාන මාවත ඇලහැර ඇල ලෙස Google Map වල දැක්වෙන ඇල මාර්ගයකට සමාන්තරව තනා ඇති නව මාවතකි. .
සීගිරිය-වෑවල වැව ගුරු පාරේ සිට පෙයික්කුලම් වැව දක්වා වැටී ඇති මාර්ගය (Google Street View)

පෙයික්කුලම් වැව සහ එහි සිට සීගිරිය-වෑවල ගුරු පාරට වැටී ඇති පැරණි මාවත

පෙයිකුලම් සිට නිකවටවන දක්වා පොල්අත්තාව හරහා පැරණි මාවත කළු පාටින්ද වර්තමාන මාවත් නිල් පාටින්ද සලකුණු කර ඇත.
මැයි 13 වන දින පස්වරු 2 ට නිකවටවනින් පිටත් වන පයිබස් පස්වරු 3.30 පමණ වන තුරු වනාන්තරය මැදින් ඇති මාර්ගයක ගමන් කර නැවත දෙපසින් සහ ඉදිරියෙන් කඳු වලින් වටවූ විවෘත භූමියකට පැමිණේ. එම කුඩා විවෘත භූමිය අවසානයේ නැවතත් වනාන්තරයට ඇතුළු වී ප.ව. 3.45 ට පමණ ප්‍රධාන පාරින් කුඩා අතු පාරක් ඔස්සේ ගොස් යාර 50-60 පමණ දුරකදී ඔහු වෙනුවෙන් පොල් අතු වලින් තැනූ මඩුවක එදින රැය ගත කරයි. පයිබස් පවසන පරිදි Gonargy නමින් හැඳින්වූ එම ප්‍රදේශයේ වෙනත් වාසස්ථානයක් ඇති බවට කිසිදු සලකුණක් තිබී නොමැත. පසුදිනද එම ස්ථානයේම නැවතී සිටින පයිබස් නැවත ගමන් අරඹන්නේ මැයි 15 වන දිනය.
සිතියම 2
Gonargy ලෙසින් පයිබස් සඳහන් කරන ස්ථානය ගෝනවල ලෙස හඳුනාගත හැක. ඒ අනුව නිකවටවන සිට ගෝනවලට වැටි ඇති පැරණි අඟලේ සිතියම් වල දැක්වෙන මාර්ග දෙකක් ඉහත සිතියම 2 සලකුණු කර ඇත. මේ වන විට වනාන්තරය එලි වී ඇතිමුත් පයිබස් සඳහන් කරන දෙපසින් සහ ඉදිරිපසින් කඳු වලින් වටවූ භූ දර්ශනය විවෘත භූමියකදී මෙම මාවත් දෙකෙහිම යනවිට දැකීමේ හැකියාව ඇත. කෙසේ නමුත් පැරණි මාවත එම මාවත් දෙකටම වඩා තව දුරටත් නැගෙනහිර දෙසට බරව ගෝනවල දෙසට යොමුවී තිබෙන්නට ඇත (සිතියම 3 බලන්න) ජනාවාස වීමත් සමග මෙම ප්‍රදේශයේ මේ වන විට දැකිය හැකි මංමාවත් (පැරණි අඟලේ සිතියම් වල දැක්වෙන මාවත් පවා) පැරණි මාර්ග ලෙස හඳුනාගැනීමට යෑම එතරම් නිවැරදි නොවිය හැක. කෙසේ වෙතත් පයිබස් ගෝනවල ගමට නොගිය බව ඔහුගේ විස්තරයෙන් පෙනෙන බැවින් බොහෝවිට ඉහත දුඹුරු පාටින් සලකුණු කර ඇති මාර්ගයේ ගෝනවලට ආසන්න කිසියම් තැනක ඔහු නවාතැන් ගත් බව අනුමාණ කල හැකිය. එසේම ගමනේ මේ කොටසේදී දිය පාරක් හරහා ගිය බවක් ඔහුගේ විස්තරයේ නොමැති බැවින් එම නිගමනය වඩාත් තහවුරු වේ.
සිතියම 3
ගෝනවල සිට ගමන් මග කඳුකර මගක් වූ බව පයිබස් පවසයි. Wurmavaley (වල්ගම් වැව?)  නම් වූ ගමකට අයත් කුඹුරු යායක් අතරමගදි හමුවේ. එම ගම ඔවුන් ගමන් කල මාර්ගයේම පසෙක කැලය තුල වූ බැවින් ඔහුට දැකගැනීමට හැකි වී නැත. සවස 1.30 ට සහ නැවතත් 2 ට පමණ දිය පාරවල් හරහා ගිය බවත්, ඒවා කඳූ මුදුන් වලින් පටන් ගන්නා බවත් පවසන පයිබස් නැවතත් පස්වරු 3.30 ට පමණ ගල් වලින් සැකසූ බැම්මක් මගින් ජලය රඳවා තැබූ ස්ථානයක වූ දිය කඳුරක් මතින්ද ගමන් කල බව පවසයි. එම ස්ථානයේ වූ අඩි 12 පමණ උස ගල් කණු හතරක් මත සෙවිලි කල වහලයක් ඇතිව ඉදි කල අම්බලමක් පිළිබඳව විස්තර කරමින් පයිබස් පවසන්නේ එවන් ආකාරයේ ගොඩනැගිල්ලක් ඔහු මේ ගමනේදී දුටුවේ පළමුවරට බවය.
ගෝනවල සිට නාඋලට පැරණි මාර්ගය
ගෝනවල පෙදෙසේ සිට වර්තමාන මහනුවර-යාපනය A9 මාර්ගයේ නාඋලට වැටෙන මාර්ගයක් පැරණි අඟලේ සිතියම් වල සලකුණු කර ඇත. 1882 දී Schneider නම් වු ඉංග්‍රිසි මිනින්දෝරුවා පිළියෙල කල සිතියමකද එම මාර්ගය තිබී ඇත. මින්නේරිය වැවේ සිට පෙයික්කුලම් වැව-මකරයාවල-නිකවටවන-ගෝනවල-ඇරෑවුල-කලෝගහඇල වැව- වල්ගම් වැව-නයාකුඹුර-කරවිලහේන හරහා එම මාර්ගය නාඋලට තිබී ඇත. පයිබස් ගමන් කරන මාර්ගයද බොහෝ දුරට මෙම මාර්ගයම බව ඉහත ලිපි වලින්ද පෙන්වා දුන් ස්ථාන නාම සහ මෙම ග්‍රාම නාම ලේඛනය සසදා බැලීමේදි වැටහි යනු ඇත.
නිකවටවන සිට නාඋල දක්වා උපකල්පිත පැරණි මාර්ගය
මේ මාර්ගය ස්ථාන දෙකකදී දඹුළු ඔයේ ශාඛාවන් දෙකක් හරහා යන බැවින් පයිබස් පවසන පැය භාගයක කාලාන්තරයක් තුල ඔහු තරණය කල දිය පාරවල් දෙක ඒවා වීමට පුළුවන. එසේම ඔහු සඳහන් කරන අමුණද දඹුළු ඔයේ කිසියම් ස්ථානයක වූ අමුණක් විය හැක.
ඉහත විස්තර වූ ගෝනවල-නාඋල පැරණි මාර්ගයේ වම් පසින් පිහිටි කඳු පංතිය
නැවත මාර්ගයේ ගිණිකොණ දෙසින් හමුවූ කුඹුරු, නාඋල (Navelly) නම් ගමකට අයත් නමුත් ඒ ගම ඔහුට සිය ගමන් මගේ හමු නොවූ බව පයිබස් පවසයි. වේගයෙන් ගලන ජලය සහිත නාලන්ද ඔය (Nawlundy) නම් වූ ඔයක් හරහා අනතුරුව පයිබස් ගමන් කරයි. එහි දෙපස වූ ගල් වලට අනුව කිසියම් ආකාරයක පාලමක් එහි තිබී ඇති බව ඔහු අනුමාණ කරයි. එතැන් සිට සැතපුම් 1.5 පමණ ගිය විට කඩවත(Cravetty) නම් ගම හමුවේ. එම ගම ගෙවල් සියයකට වඩා ඇති ජනාකිර්න වූ ගමක් ලෙසය පයිබස් හඳුන්වන්නේ.

පස්වරු 5.45 ට පමණ එම ස්ථානයට පැමිණි බවත් එහි කිසියම් ආකාරයක මුර පොලක් වැනි තැනක් හරහා ගිය බවත්, එහි එක් පසක මඩ වලින් තැනූ බිත්තියක්ද අනිත් පස කුඩා ගෙවල් 2-3 ක්ද තිබූ බවත්, කෙසේ එම ස්ථානයට පැමිණියාදැයි කිව නොහැකි කාලතුවක්කුවක්ද (Iron 3-Pounder) එහි වූ බවත් බොහෝවිට එය පෘතුගීසීන් තෑගි කල එකක් විය හැකි බවත් ඔහු පවසයි. එහි සිටි පුද්ගලයන් පයිබස්ට පවසන්නේ එවන් කාලතුවක්කු තවත් 2 එහි තිබූ බවත් ඒවා ඕලන්දයන් හා සටන් කිරීම පිනිස රැගෙන ගිය බවත්ය.

පයිබස්ගේ ගමන් විස්තරය සංස්කරණය කල රේවන් හාර්ට් මහතාට මෙම කඩවත තිබූ ප්‍රදේශයේ වැසියන් (එම ප්‍රදේශය දැනටද කොටගොඩැල්ල [නිවැරදි වචනය කොටුගොඩැල්ල විය යුතුයි] ලෙසින් හඳුන් වන බව රේවන් හාර්ට් පවසයි.) පවසා ඇත්තේ එම කාලතුවක්කුව මාතලේ උද්‍යානයේ දැනට ඇති බවයි. මාතලේ V.T. නානායක්කාර උද්‍යානයේ ඇති කාලතුවක්කුවේ දැනට එය තබා ඇති සිමෙන්ති පාදමේ 'Nalanda 1762' ලෙස කොටා ඇති මුත් (මේ සමග ඇති ඡායාරූපය බලන්න.) එය ඉහත කී නාලන්ද කොටුවේ තිබී ගෙන ආ කාලතුවක්කුවමදැයි තව දුරටත් විමසා බැලිය යුතුය. 1762 යන වර්ෂය ගැන සැලකීමේදී පෙනී යන්නේ පයිබස්ගේ 1762 වාර්තාව පදනම් කරගෙන එම වර්ෂය කාලතුවක්කුවට ආදේශ කර ඇති බවය.
මාතලේ V.T. නානායක්කාර උද්‍යානයේ ඇති කාලතුවක්කුව. මෙය නාලන්ද කොටුව තිබූ ස්ථානයේ සිට ගෙන ආ බව පැවසේ.
මේ කොටසේදී පයිබස්ගේ ගමන් මග වර්තමාන මහනුවර - යාපනය A9 මාර්ගය ඔස්සේ වැටී ඇති බව පෙනේ. නාලන්ද ඔය පසු කල විට ඔහුට හමුවන්නේ එම මාර්ගයේ පැමිණ කන්ද උඩරටට ඇතුළු වන/පිටවෙන පුද්ගලයන් පිළිබඳව තොරතුරු රැස් කිරීම උදෙසා තිබූ කඩවත බව පැහැදිලිය. එහෙයින්ම එම ප්‍රදේශයේ පිහිටි ගම්මානයද කඩවත යන නමින් හැඳින්වී ඇත. පහත රූපයේ කඳු පිහිටීම අනුව එම ස්ථානයේ ඇති උපායමාර්ගික වැදගත්කම අවබෝධ කරගත හැක.
මැයි 16 වන දින පයිබස්ගේ ගමන යෙදී තිබූ කඩවත සිට ඉදිරියට යන කඳුකර මාර්ගය දෙපස තිබූ ගම් ඔහුට දැකගැනීමට නොහැකි වුවත් එම පෙදෙස් සැලකිය යුතු ලෙසින් ජනාකීර්න බව ඔහුගේ ගමන බැලීමට මග දෙපස එක් රැස් වූ පුද්ගලයන් ප්‍රමාණය ගැන සැලකීමෙන් වටහාගත හැකි බව පයිබස් පවසයි. සවස 4 පමණ වන විට ඔහු කුඹුරු යායක් අසලින් ගලාගිය Pallahput (පලාපත්වල) නම් වූ ගඟක අතු ගංගාවක් පසු කරයි. එම අතු ගංගාව හරහා වහලය සහිත ලී වලින් සෑදු පාලමක් වූ බව පයිබස් සටහන් කර තබයි. නැවත සවස 5 පමණ වන විට Punnamo (පන්නගම) නම් ගමක් පසු කරයි. සවස 5.30 පමණ වන විට නිම්නයක තිබූ කිසියම් වන්දනාමාන කරන ස්ථානයක් අසලින් යෑමේදි ඔහුට දෝලාවෙන් බැස යන ලෙස දැනුම්දුන් බවත් ඔහු කිසි විරෝධයක් නොදක්වා එයට එකඟ වූ බවත් පයිබස් පවසයි. නමුත් එහි විශාල ගස් කිහිපයක් සහ ඒවා යට තබා තිබූ ගල් කැබැලි කිහිපයක් විනා ඔහු බලාපොරොත්තු වූ අන්දමේ කදිම පැගෝඩාවක් (දාගැබක්) හෝ වෙනත් එවැනි ගොඩනැගිල්ලක් දක්නට නොමැති වීමෙන් පයිබස් විශ්මයට පත්වේ. පස්වරු 5.45 ට පමණ ඔවුන් එදින ඔවුන්ගේ නවාතැන වූ Oulang Gamee (හුලංගමුව) වෙත ලගාවේ. හුලංගමුව යනු ජනාකීර්න  කදිම විශාල ගම්මානයක් බව පයිබස් පවසයි.
ඉහත හඳුනාගැනීම අනුව තවදුරටත් පයිබස් ගමන් කරන්නේ වර්තමාන A9 මාර්ගය ඔස්සේ එවකට තිබූ මාවතක බව පැහැදිලි වනු ඇත. පන්නගම සහ හුලංගමුව වර්තමාන මාතලේ නගරයට බටහිර දෙසින් වූ ප්‍රදේශ වේ. මාතලේ නොහොත් මහතලා ලෙසින් එවකට හැඳින්වූයේ රටක් හෙවත් විශාල ප්‍රදේශයක් විනා නගරයක් නොවේ. වර්තමාන මාතලේ නගරය පසු කාලයකදි ඉදි වී ඇත.
මැයි 17 වන දින පෙ.ව. 10.20 ට හුලංගමුවෙන් පිටත් වන පයිබස් සැතපුමක පමණ දුරකදි සරුසාර කුඹුරු යායක් පසු කර, Pulang Gamee නම් වූ ගඟක ශාඛාවක්ද පසු කරයි. පැහැදිලිවම Pulang Gamee යනු හුලංගමු යන නම ඇති ඔයක් විය යුතුය. එම ඔය හරහා කැටයම් කපා තිබූ ලී පාලමක් තිබී ඇත. පෙර මෙන්ම වැසියන්ගේ නිවාස මග දෙපස වූ ගස් වලට මුවා වී සැඟවී තිබුනද මෙම ප්‍රදේශයද බෙහෙවින් ජනාකීර්න බව ඔහුගේ ගමන බැලීමට මග දෙපස රැස්වූ ජනතාව දෙස බැලූ විට වටහා ගත හැකි බව පයිබස් පවසයි. කඳුකර මගක් වූ බැවින් මෙම ගමනේදී බොහෝවිට පයිබස්ට දෝලාවෙන් බැස පා ගමනින් යෑමට සිදුවී ඇත. අතරමගදී ඔහුට පාරේ නැගෙනහිර දෙසින් සැතපුම් 10 පමණ ඈත තිබෙන සුන්දර දියඇල්ලක් දැකගැනීමට හැකිවේ. මධ්‍යහ්න 12 පමණ වන විට ගමනේ බෑවුම් අධිකම කන්ද තරණය කල බවත් ඇවිදිනවාට වඩා එය දණගාගෙන යාමක් වූ බවත් පයිබස් පවසයි. කෙසේ නමුත් 12.30 පමණ වන විට එහි මුදුනට ලගාවීමට ඔහුට හැකිවේ. එම කඳු මුදුනින් මහතලා දිස්ත්‍රික්කය (Mathili District) සහ හාරිස්පත්තු දිස්ත්‍රික්කය (Hawseput District) වෙන්වන බව ඔහුට දැනගැනීමට හැකිවේ. ප.ව. 3.45 ට පමණ ඔහු එදින ගමනාන්තය කරා ලඟාවේ. එහි ඔහු වෙනුවෙන් 200 දෙනෙකුට වුවද නවාතැන් ගැනීමට හැකි පරිදි ඔහුට සහ ඔහුගේ සේවකයන්ට සිටීමට සහ ගමන් මළු තැබීම සඳහා වෙන වෙනම කාමර සහිත ගොඩනැගිල්ලක් තාවකාලිකව තනා තිබී ඇත. එම නිවස ඔහු වෙනුවෙන් සෑදීම සඳහා මහනුවර සිට රජු එවා තිබූ නිලධාරියාද ඔහුට එහිදී හමුවේ. ඔහු එදින නවාතැන් ගත් එම ස්ථානය Canvetty ලෙසින් හැඳින්වුන බව පයිබස් පවසයි.
මැයි 18 වන දින පෙ.ව. 11.40 ට ගමන් අරඹන පයිබස් හට එතැන් සිට යෑමට සිදුවූ මාර්ගය බෙහෙවින්ම කඳු පල්ලම් සහිත බවත්, දෝලාවෙන් යාම බෙහෙවින්ම දුෂ්කර වූ බවත් ඔහු සිය ගමන් විස්තරයේ සටහන් කර ඇත. මෙම මග බොහෝ කඳු මුදුන් වල වන ආවරණය ඉවත් කර ඇති බවත්, ඒවා  හරකුන්ට කෑම සඳහා අවශ්‍ය තණකොල වලින් වැසී ඇති බවත් හෙතෙම සඳහන් කරයි (මෙම ප්‍රදේශයේ ඇති පතන් බිම් පිළිබඳ පයිබස් මෙහිදි අදහස් කරන බව පෙනේ.). එසේම නිම්න භූමි සරුසාර ලෙස වගා කර ඇති බවද ඔහු වැඩි දුරටත් සඳහන් කරයි. සවස 2 පමණ වන විට ඔහු ගං ඉවුර අසලට ලඟාවේ. එහිදි ශාක වැස්ම නැවතත් ගනව වැවී ඇති බවත්, එතැන් සිට තව දුරටත් ගමන් කර අවසානයේ ප.ව. 3 පමණ වන විට බෙහෙවින් බෑවුම සහ  ගල් සහිත කන්දක් (Steep Stoney Hill) තරණය කල විට එහි අනික් පස ජෙනරාල් (දිසාවේ වරයෙකු) ඔහු හමුවීම සඳහා පැමිණ තිබූ බවත් පයිබස් සඳහන් කරයි. ඉක්බිති ඔහුව ගඟේ සිට යාර 100 ක පමණ දුරින් ගන්නොරුවේ (Gunnoor) වූ ඔහුට රජු හමුවීම සඳහා අවසර ලැබෙන තෙක් සිටීමට වෙන් කර තිබූ නිවස වෙත රැගෙන යයි.

පයිබස් ඉහත විස්තර කරන තොරතුරු අනුව හුලංගමුවේ සිට ඔහුගේ ගමන් මග වැටී තිබූ වෙල් යාය මාතලේ නගරයට දකුණින් සහ නිරිත දෙසින් අදද දැකිය හැකි වෙල් යාය විය යුතුය. හුලංගමු ඔය ලෙසින් ඔහු හඳුන්වන්නේ මේ ප්‍රදේශය හරහා ගලා බසින සුදු ගඟේ ශාඛාව වේ. ඉන්පසු ඔහු අපහසුවෙන් තරණය කරන දුර්ගය බලකඩුව දුර්ගයයි. ඉන්පසු ගං ඉවුර අසලට පැමිණි බව පවසන්නේ කටුගස්තොට අසලදි මහවැලි ගඟ අසලට පැමිණීමයි. අතර මගදී ඔහු වෙනුවෙන් ඉදි කල විශාල නිවස පිහිටි Canvetty හඳුනාගත නොහැක. කහවත්ත ලෙසින් රේවන් හාර්ට් මහතා එය කියවන මුත් ඔහුම පවසන පරිදි එවන් ගමක් අද පවතින්නේ මාතලේ-මහනුවර මාර්ගයට බටහිරට වන්නට පිහිටි වෙනත් මාර්ගයකය. කටුගස්තොට සිට ගන්නෝරුව දක්වා යාමේදී පයිබස් හට හමුවන බෙහෙවින් බෑවුම් සහිත ගල් සහිත කන්ද හල්ඔලුව කන්ද විය හැක.

මූලාශ්‍ර
  • The Pybus Embassy to kandy, 1762, Transcribed with notes by R. Raven-Hart, Editor, P.E.P. Deraniyagala, Reprinted 2001

11 comments:

  1. ඔබේ විස්තරය මං කියවල තියන හොඳම retracing of an old route එකක්. මං හිතන්නෙ ලංකාවෙ මේ දෙය කරන ඉතිහාසඥයන් ඉතා විරලයි.
    https://www.theguardian.com/world/2017/apr/15/modern-pilgrims-retracing-britain-ancient-routes-christians-atheists
    https://trove.nla.gov.au/work/33556584
    http://britishpilgrimage.org/

    සමහර රටවල ඒවාට පහසුකම්, මූලාශ්‍ර විශාල වශයෙන් තිබෙනවා මෙන්ම මේවා කිරීමට හුඟක් වැදගත් වෙන enthusiastලා ඉන්නවා. ලංකාවෙ ඒවා ඉතා සීමිත වගේම ලොකු ජනගහණයක් ඉන්න කුඩා රටක්. ජනගහණ වර්ධනයත් එක්ක ඉක්මනට landscape වෙනස් වෙනවා.

    " කඩවත්" කියන වචනයේ මූලය හා හරි තේරුම (origin and exact meaning/application ) කුමක්ද?
    Also, what exactly are Gravets?

    P.S. මට පොඩි වැඩකට පානම/ලේනම/බගුර/ඔකඳ/කුඩුම්බිගල ප්‍රදේශය ගැන ලියවුන පරණ තොරතුරු අවශ්‍ය වෙනවා. ඔබට කියන්න පුලුවන්ද මොන මූලාශවල සෙවිය හැකිද කියලා? I'm thinking of looking at GA's reports in the National Archives. The new wing there has all, right? What would be the relevant district during British times? Hambantota or Batticaloa? Would there be DRO's reports as well? Any other sources?

    Actually, I would like to tell you why I need this, if I have means of contacting you. Do you mind giving an email address?


    ReplyDelete
    Replies
    1. ස්තූතියි ප්‍රා ... මන් හිතන්නේ පැරණි මාර්ග නැවත සොයා යෑම සම්බන්ධයෙන් පර්යේෂණ කරන පුරාවිද්‍යාඥයන් කිහිප දෙනෙක් හෝ මෙරට ඉන්නවා/සිටියා. ඒ අතරින් කොඩ්රිංටන් නිකොලොස්, රේවන් හාර්ට්, පරණවිතාන මහතා වැනි අය යම් වැඩකොටසක් කරලා තියෙනවා. මෑත කාලයේදි නම් පී. විදානපතිරණ මහත්මිය සැලකිය යුතු වැඩ කොටසක් කරලා තියෙනවා. ඇයගේ ප්‍රකාශන සහ පර්යේෂණ පත්‍රිකා කිහිපයක්ම ප්‍රකාශයට පත් වෙල තියෙනවා. මා මෙහිදි මූලික වශයෙන් සිතියම් ගූගල් මැප් සහ ප්‍රකාශයට පත්වී ඇති විස්තර පමණක් යොදාගෙන තමා මේ මතු කරගැනීම කරන්න උත්සහ කරන්නේ. නිවැරදි ලෙස නම් මේ පාරවල් ඔස්සේ ගොස් සොයාබැලීමත් කරන්න ඕනේ. එමගින් මෙයට වඩා නිවැරදි තොරතුරු ලබාගන්න පුළුවන්.

      සුමංගල ශබ්දකෝෂයට අනුව කඩවත් යන්නෙහි අදහස නුවර දොරටුව යන්නයි. එසේම පළාතක සීමාවෙහි හෝ නගද්වාරයෙහි ප්‍රාකාර ආදියෙන් ආවාරනය කල මුරගෙය ලෙසත් විස්තර කරනවා. රාජාවලිය, සැවුල් සන්දීශය වැනි පැරණි මූලාශ්‍ර වල එම වචනය එම අර්ථයෙන් යොදාගෙන තිබෙනවා. Gravet is a corruption of Sinhalese word කඩවත.

      During British period Panama (Written as Panao) belong to the Batticola district. Yes you might find lot of old information by going through DRO reports etc. Those are available at national archives. Modliar Cassie Chitti in his Ceylon Gazetteer in 1834 mentioned that Panao province contains only 14 villages and number of inhabitants is not more than 700

      You can contact me via bushana.kalhara@gmail.com.

      Delete
    2. Machan is it possible to make a detailed report on who lived in North and East around 1800s. There are lot of rumors going around. There needs to be some solid evidences for these things.

      Delete
    3. Shenal .I have already written bit about that topic in some of my previous posts. Out of them this post is about one of the best reliable source on that matter- https://trisinhala.blogspot.com/2016/02/blog-post_23.html
      Also read
      1) https://trisinhala.blogspot.com/2016/02/blog-post_18.html
      2) https://trisinhala.blogspot.com/2016/02/blog-post_27.html
      This one is also related to the same topic - https://trisinhala.blogspot.com/2017/06/blog-post_21.html
      But here we have to consider two different aspects of this subject. Who lived there and who ruled that area are two different issues which we should not mix up with each other. As a example it is a known truth that it was South Indian Nayakkar kings who ruled the country before British intrigue (or if we say Kandyan provinces or Sinhale as that part of the country was referred in the 1815 kandyan convention). But because of that we don't say that Kandyan provinces had a Tamil kingdom before 1815, since it is also a known truth that majority if not almost all there were Sinhalese and Nayakkar rulers were actually protectors and guardians of the the Sinhalese Buddhist tradition. Same theory is valid for North and East provinces. There are evidences that lot of recent south Indian migrants were there especially Muslims and Tamils during 1800s (No doubt there were some early settlers among them as well.) But same time those areas were not devoid of Sinhalese. With regards who ruled that area - except Kingdom of Jaffna (Northern part of the country i.e. current Jaffna Peninsula and part of the Kilinochchi] all other northern and Eastern parts of the country had provincial rulers who were vassalage to the Kandyan king. Kingdom of Jaffna was under Arya Chakravarthi rulers, starting from may be after Polonnaruwa period until Portuguese invasion. There are couple of theories of the origin and race of the Arya Chakravarthies. Which I think better discuss with a separate post in future.

      Delete
    4. Bushana,

      I found this about Gravets. I was a bit apprehensive about quoting this source for obvious reasons ( :-) )but, at least regarding this, it seems to be quite accurate.
      https://www.tamilnet.com/art.html?catid=98&artid=38020

      About the population: I think Ceylon Administration reports (available from 1860's) are quite informative. There were quite a lot of immigrants from India even in mid/late 1800s, both Dravidian and Moor. Some (especially, on the west coast) have become assimilated to the Sinhala race, too.

      Delete
    5. Bushana,

      Please make separate post. This matter needs further discussion.

      Delete
  2. ඉතිහාසය හැදෑරීම සම්බන්ධව වැදගත් මෙහෙවරක් කර තිබෙනවා. පැහැදිලිවන එක් කරුණක් තිබෙනවා . ත්‍රිකුණා මලයෙ සිට මහනුවරට පැමිණීම සඳහා මීට වඩා පහසු මාර්ගයක් මේ යුගයේ තිබුණා. එය පරංගියාවාඩිය, මරදන්කල්ල යකල්ල රිටිගල හරහා දඹුල්ලට පැමිණ නාවුල හරහා මාතලේට ගමන් කිරීම. ඒත් ෆයිබර් අරන් යන වට රව් පාර දිහා බලද්දි පැහැදිලි වන්නෙ, පරංගියා කෝට්ටෙ ට අරන් ගියා සේම ෆයිබත් වටරව්ම් පාරක අරන් ගිය බවයි.

    ReplyDelete
    Replies
    1. අදහස් දැක්වීමට ඔබ වහන්සේට නමස්කාර පූර්වක ස්තූතිය. මේ කියන යුගයේ එවැනි මාර්ගයක් තිබුනාද යන්න සොයා බැලිය යුතුයි තව දුරටත්. ඩේවි මේ ප්‍රදේශ වල සංචාරය කරන විට නම් දඹුල්ල හරහා වැටී තිබුන මාර්ගය තිබුන බවට පැහැදිලි වෙනවා. කෙසේ වෙතත් දුර අනුව ගතහොත් එතරම් දුර අඩුවීමක් නම් එම මාර්ගය නිසා ඇති වන බවක් පේන්න නැහැ. කෙසේ වෙතත් ඒ ගැන තව සොයා බැලිය යුතුයි. ඇතැම් විට වට පාරක් රැගෙන ගියා වන්නටත් පුළුවන්.

      Delete