
මොරගහකන්ද ව්‍යාපෘතියේම කොටසක් වන
කළු ගඟ ව්‍යාපෘතිය යටතේ
ලග්ගල ප්‍රදේශයේ ඉදිවන
කළු ගඟ ජලාශයේ ජලය පිරවීම සුපුරුදු 'ආඩපාලිය' සමගින් පසුගිය සතියේ ආරම්භ විය. ඉදිරියේදි
ලග්ගල පල්ලේගම නගරය ඇතුළු ඒ අවට ප්‍රදේශ කිහිපයක්ම මෙම ජලාශයේ ජල කඳට යටවෙනු ඇත. එම ප්‍රදේශයේ ජීවත් වූ ජනතාව සිය පාරම්පරික ගම් බිම අතහැර දමා මේ වන විටද අලුතින් ඉදිවන
නව ලග්ගල නගරය වෙත ගොස් ඇත. වර්ෂ 2007 දී ආරම්භ කරමින් ක්‍රමයෙන් ඉදිවෙමින් පැවති මෙම ව්‍යාපෘති දෙකෙහි වැඩ කටයුතු සඳහා අවශ්‍ය ප්‍රතිපාදන සපයා දී දශක ගනණාවක් පුරා නොකෙරෙන දීගයක්ව පැවති මහවැලි මහ සැලැස්මේ අවසාන ජලාශ ව්‍යාපෘතිය ප්‍රායෝගික යථාර්තයක් කිරීමේ ගෞරවය හිමිවිය යුත්තේ පසුගිය මහින්ද රාජපක්ෂ රජයටය (මූලාශ්‍ර -
Moragahakanda>>,
Kaluganga >>). අද වන විට එම සාර්ථක ව්‍යාපෘතියට අයිතිවාසිකම් කීමට අලුතින් පියවරු බිහිව ඇති අතර ඔවුන්ට අනුව සියල්ල සිදු කර ඇත්තේ මෙරට කිසිදු ප්‍රධාන සංවර්ධන ක්‍රියාවලියක් ආරම්භ නොවුන එසේම එතෙක් පැවති බොහෝ එවන් ව්‍යාපෘති අතහැර දැමූ හෝ මන්දගාමීව සිදුවන පසුගිය වසර කිහිපය තුලය.
මොරගහකන්ද ව්‍යාපෘතියේ සැබෑ පියවරු කවුද යන්න පිළිබඳව සාධක සහිතව පෙර ලිපියකින්ද සාකච්චා කලෙමු. (කියවන්න
අඹන් - කළු මිටියාවත් බද පුරාණ වාරිමාර්ග පද්ධතිය සහ ජනාවාස පැතිරීම - 1) මොරගහකන්ද-කළුගඟ ව්‍යාපෘතිය පිළිබඳව එම ලිපියේ වූ පහත ඡේදය නැවත උපුටා දක්වන්නේ ප්‍රස්තුත මාතෘකාව පිළිබඳව විමසා බැලීමට එය පූර්විකාවක් වන බැවිනි.
 |
| උපුටාගැනීම moragahakandakalugangaproject.blogspot.com වෙබ් අඩවියෙනි |
මොරගහකන්ද-කළු ගඟ ව්‍යාපෘතිය
අඹන් ගඟේ පැරණි ඇළහැර අමුණට කිලෝ මිටර් දෙකක් පමණ ඉහළින් බඳින ප්‍රධාන වේල්ලක් සහ තවත් සැදලි වේලි දෙකක් මඟින් වර්ග කිලෝමිටර් 29.5 පුරා පැතිරුණු ඝන මීටර් 521,000,000 ක ජල ධාරිතාවයකින් යුතු මොරගහකන්ද ජලාශය සහ පල්ලෙගම නගරයට කිලෝ මීටර් 4 පමණ උතුරින් කළු ගඟ හරස් කර බඳින ප්‍රධාන වේල්ලක් සහ තවත් සැදලි වේලි දෙකක් මගින් වර්ග කිලෝමිටර 8.4 ක ප්‍රදේශයක් පුරා පැතිරුණු ඝන මීටර් 144, 000, 000 ක ජල ධාරිතාවකින් යුතු කළු ගඟ ජලාශය යන ජලාශ දෙකින් සහ කළු ගඟ සහ මොරගහකන්ද ජලාශ සම්බන්ධ කරන දිගින් කිලෝ මීටර් 9 ක් පමණ වන ඇල මාර්ගයකින් (ඉන් කිලෝ මීටර් 7.85 උමං මාර්ගයක් ලෙස ඉදිවේ ) 'මොරගහකන්ද-කළු ගඟ ව්‍යාපෘතිය' සමන්විත වේ. මෙම ව්‍යාපෘතිය මගින් අනුරාධපුර, පොළොන්නරු, මාතලේ සහ ත්‍රිකුණාමලය යන දිස්ත්‍රික්ක වල පානීය සහ කෘෂිකාර්මික ජල අවශ්‍යතා සපුරාලීමට අමතරව කුඩා විදුලි බලාගාරයක් මගින් මෙගා වොට් 35 ක පමණ බලයක් ජාතික විදුලිබල පද්ධතියට එක් කිරීමටද නියමිතය.
 |
| කළු ගඟ ජලාශයට යටවීමට නියමිත කළු ගං නිම්නය, ඡායාරූපය - 2018/07/20 |
ඒ අනුව කළු ගඟ ජලාශයේ ප්‍රධාන අරමුණ කළු ගඟේ අතිරික්ත ජලය එක් රැස් කර මොරගහකන්ද ජලාශයට ගෙනයෑමය. එමගින් මොරගහකන්ද ජලාශයේ ජල සැපයුම ඉහළ නැංවීමටය. වෙනත් ලෙසකින් පැවසුවහොත් එමගින් මහවැලි ගඟේ අතු ගංගාවන් දෙකක් වන කළු ගඟ සහ අඹන් ගඟ කෘතිමව එක් කිරීමක් සිදුවේ (කළු ගඟ අඹන් ගඟට එක්වීම ස්වභාවිකව සිදුවන්නේ මොරගහකන්ද ජලාශයේ සිට තව දුරටත් නැගෙනහිර දෙසට වන්නට පිහිටි ඇලහැර නගරයද පසු කර යන විට හමුවන කුමාර ඇල්ල ප්‍රදේශයේදීය. සිතියම 2 බලන්න)
 |
| නුදුරු දිනකදි ජලයෙන් යටවීමට නියමිත අතහැර දැමූ ලග්ගල පල්ලේගම මධ්‍ය මහා විද්‍යාලය - ඡායාරූපය - 2018/07/20 |
නූතන වාරි ඉංජිනේරුවන් කළු ගඟේ ජලය ඇල මාර්ගයක් සහ උමගක් මගින් අඹන් ගං නිම්නයේ ඉදි කල ජලාශයකට රැගෙන එන අයුරින්ම, පැරණි සිංහලයන්ද කළු ගඟේ ජලය අමුණක් මගින් හරවා ඇල මාර්ගයක් මගින් අඹන් ගඟ දක්වා ගෙන ගිය බවට සාධක හමුවන බව අද බොහෝ දෙනෙක් නොදන්නා කරුණකි. ඒ රජරට ප්‍රදේශයේ කෙත් වතු ගම්බිම් සරුසාර කිරීම උදෙසා ඇලහැර ප්‍රදේශයේදි අඹන් ගඟේ ඉදි කල අමුණක් මගින් මින්නේරිය, ගිරිතලේ, කවුඩුල්ල, කන්තලේ වැව් වලට ජලය ගෙනයන ඇලහැර යෝධ ඇලට (ඇලහැර යෝධ ඇල සම්බන්ධව වූ පෙර ලිපිය කියවීමට>> අඹන් ගඟේ දියවර මින්නේරිය වැවට ගෙනගිය පුරාණ යෝධ ඇල) අමතර ජලය සපයාගැනීමටය. මේ ලිපිය ඒ පිළිබඳව තොරතුරු විමසා බැලීම සඳහා වෙන්වේ.
 |
| කළු ගඟ හරහා ලග්ගල නගරයට ආසන්නව B312 මාර්ගයේ හමුවන පාලම. මෙම ප්‍රදේශයද කළු ගඟ ජලාශයට යට වේ. - ඡායාරූපය - 2018/07/20 |
ඇලහැර ප්‍රදේශයේදී ඇලහැර අමුණ මගින් පැරණි යෝධ ඇලට අඹන් ගඟින් ජලය හැරවූ බවට පෙනෙන්නට තිබුනද පරම්පරාගත කතා වලින් මීට විරුද්ධ මතයක් ප්‍රකාශ වන බව මෙරට පැරණි වාරි තාක්ෂණය පිළිබඳව අගනා ග්‍රන්ථයක් කල මිනින්දෝරුවෙකු වූ R.L. බ්‍රෝහියර් පවසයි. එම කතා වලට අනුව ඇලේ ආරම්භය ඇලහැර නොව එයට සැතපුම් 15 පමණ දකුණින් කළු ගඟේ බැම්මක් බැඳි ස්ථානයක බවත් එහි සිට සැතපුම් 30-35 පමණ දිග ඇල මාර්ගයක් මගින් ඇලහැරට වතුර ගෙන ආ බවත් පැවසේ. වර්ෂ 1856 දී මෙම කතාව කන්දේපොල සිටි භික්ෂුන් වහන්සේ නමකගෙන් අසා දැනගන්නා ඇලෙක්ස් යන්ග් ඇඩැම්ස් (Alex Young Adams) නම් පුද්ගලයෙක් ඒ පිළිබඳව වැඩිදුරටත් සොයා බැලීමට පටන් ගනී. ගංගාවල් දෙකම අමුණු වලින් සිරකොට ඒ අතර තුර පිහිටි විෂම ප්‍රදේශය තුල ජලය ගෙන යෑම මනුෂ්‍යයෙකුට කල නොහැකි වැඩක් ලෙස සැලකීම ස්වභාවික වන හෙයින් "යෝධයා බැඳි ඇල" ලෙසින් හැඳින්වූ මෙම වාරි ව්‍යාපෘතියේ සලකුණු පළමුකොට ඔහුට හමුවූවේ ඇලහැරට සැතපුම් 12ක් හෝ 14 ඈතින් පිහිටි අතහැර දැමූ ගමක බව ඇඩම්ස් පවසයි.
 |
| ඉහත පාලම අසලින් තවමත් සුපුරුදු ලෙසින් ගලා යන කළු ගඟ - ඡායාරූපය - 2018/07/20 |
එම ස්ථානයේ සිට සැතපුම් 2 පමණ ඇල දිගේ ඉහළට යන ඇඩම්ස් එතැන් සිට ඝණ කැලෑව හෙයින් එම උත්සාහය අතහැර දමා තැනින් තැන ඇල හරහා වැටී තිබූ අලින් ගමන් කල මාර්ගයක් ඔස්සේ ගොස් අවසානයේ කළු ගඟේ පිහිටි ඇලේ ආරම්භය වන ගල් බැම්මක් සොයාගනී. එය ගඟ හරහා වූ ගල් තලාවක් හරහා ඉදි කර තිබී ඇත. හත්තොට අමුණ ලෙසින් හැඳින්වූ එම අමුණ මගින් කළු ගඟේ වතුර ඉහත ඇල මාර්ගයට හරවනු ලැබේ.
 |
| කළු ගංග ජලාශයේ ප්‍රධාන වේල්ලට මදක් උතුරට වන්නට ඇති පැරණි හත්තොට අමුණ |
 |
| ඉදිවෙමින් පවතින කළු ගඟ ජලාශයේ ප්‍රධාන වේල්ල (දකුණු පස) සහ එයට පහලින් දිස්වන කළු ගඟ. පැරණි හත්තොට අමුණ මෙයට මද දුරක් ගඟ පහලට ගිය විට හමුවේ. |
1858 දී
කළු ගඟේ අමුණ සහ
යෝධයා බැඳි ඇල පරික්ෂා කර බැලූ
බ්‍රෝඩ් (Brodie) මහතාද ඒ පිළිබඳව වාර්තා තබා ඇත. ඔහු පවසන පරිදි අමුණ සෑදීම සඳහා සුදුසුම ස්ථානය මැනවින් තෝරාගෙන ඇත. බොහෝ ගල් තලා ඇති, ගං ඉවුරු දෙකම උස් එමෙන්ම ඉවුරු වලද ගල් සහිත ස්ථානයක එය තනා ඇත. බැම්ම මුල් ආකාරයෙන් ශේෂ වී ඇත්තේ කුඩා කොටසක පමණි. සමහර ගල් පෙරලි ගොස් ඒ අසලම රැදී ඇත. ඇල දිගේද මිණුම් කටයුතු කල ඔහුට එහි බොහෝ තැන් වල දෙපැත්තේ පිහිටි විශාල ඇලකණ්ඩි දක්නට ලැබී ඇත. එහෙත් සමහර ස්ථාන වලදී එය ඔයවල් වලින් සේදී ගොස් ඇත. ඇල දිගේ සිදු කල මිණුම් කටයුතු වලදි ඔහු පළමු කොටම
දහස්ගිරියටද නැවත
හිඹුටුවලටද සාදා තිබූ අතුරු ඇලවල් දිගේද ගමන් කරයි. ඉන්පසු ඇලේ සාධක හමු නොවන හෙයින් එය
ඇලහැර දක්වාම තිබිණිද යන්න පිළිබඳව
බ්‍රොඩ් සැක පල කරයි. තව දුරටත් කරන්නට යෙදුන ගවේෂණයේදී ඔහුට
හුණුකොටුව ලෙසින් හැඳින්වූ ස්ථානයකදි විශාල බැම්මක් හමුවේ. එය ඇලේ වතුර
හිබොටුවල දෙසට යෑම වැලක්වීමට සෑදුවක් ලෙසට ඔහු කල්පනා කරයි. එතැන් සිට
කන්දෙපිටිවලට ගොස් තවත් සැතපුම් 1/2 පමණ කැලය දෙසට ගොස්
යක්කඳවල නම් ස්ථානයකදි කඳු දෙකක් යා කර තනා තිබූ එවැනිම බැම්මක් ඔහු දැක ගනී.
 |
| කළු ගඟ ජලාශයට යටවන හෙයින් අතහැර දැමූ ලග්ගල පල්ලේගම විහාරය - ඡායාරූපය - 2018/07/20 |
කඳු දෙකක් අතර සාදා තිබූ තුන්වන බැම්මක් ගැනද බ්‍රෝඩි තොරතුරු ඉදිරිපත් කරයි. එය ප්‍රපාතය මුදුනේම සමතලා බිමට බටහිරින් සාදා තිබී ඇත. එම බැම්මේ අරමුණ පැහැදිලි නැති බව ඔහු පවසයි. ඉන්පසු හමු වූ සුවිසල් බැම්මක්, ගල් වානක් සහ ටැම් ලිපියක් පිළිබඳව ඔහු ඉදිරිපත් කරන විස්තරය බොහෝවිට ඇලහැර බැම්ම සහ ඒ අසල ඇති සෙල් ලිපිය ගැන විය හැක.
මෙම අමුණ සහ ඇල මාර්ගය පැරණි අඟලේ සිතියම් වල සලකුණු කර ඇති මුත් නූතන මෙට්‍රික් සිතියම් වලින් ඇල මාර්ගය අතුරුදහන් වී අත. එහෙත් Google Map වල දැනටද ඇල මාර්ගයේ සලකුණු හඳුනාගත හැක. මා ඔය ලෙසින් හැඳින්වෙන කළු ගඟට එහි වම් ඉවුරෙන් එක්වන අතු ගංගාවක් දක්වා අඟලේ සිතියම් වල එය ලකුණු කර ඇත. එතැන් සිට ඇලහැර දක්වා ජලය රැගෙන ගියේද? එසේ වූවා නම් ඒ කෙලෙසකද යන්න පැහැදිලි නැත. එහෙත් ස්වභාවික ඔයක් වන මා ඔය ඔස්සේ ඔය ඉහලට ජලය ගමන් කරවා, එහි නිම්න භූමි ඔස්සේ ඇලහැර අමුණ දක්වාම ජලය ගෙන යා හැකි බව එම ප්‍රදේශයේ භූ විෂමතාවය විමසා බැලීමේදී පැහැදිලි වේ. ඉහත බ්‍රොඩ් සඳහන් කරන විශාල ගල් බැමි ඇලේ ජල මට්ටම ඉහල නංවා මෙම කාර්යයය ඉටු කරගැනීම උදෙසා නිම වූවා විය හැක. ඇලහැර අමුණ හේතුවෙන් එම නිම්නයේ අමුණට ඉහලින් ජල මට්ටම ඉහල යන බැවින් කඳු වැටියෙන් අනෙත් පස යෝධයා බැඳි ඇලේ ජල මට්ටමද ගල් බැමි ආධාරයෙන් ඉහල නැංවිය හැකි නම් මෙය සිදු කල හැකි බව පෙනේ. බ්‍රෝඩි සදහන් කරන ඔහුට තේරුම් ගත නොහැකි ගල් බැම්ම මෙම කාර්යය සඳහා තැනුවා විය නොහැකිද? එහෙත් ඒ පිළිබඳව නිවරදි මතයක් පුරාවිද්‍යාත්මක සහ ඉංජිනේරුමය දැනුමක් ඇති විද්වතුන් විසින් ක්ෂේත්‍ර ගවේෂණ සිදු කර ඉදිරියේදි ඉදිරිපත් කල යුත්තකි. ඒ පිළිබඳව බ්‍රෝහියර්ට පසු කිසියම් ගවේෂණාත්මක විමසා බැලීමක් සිදුවී ඇති බවක් නොපෙනේ.
 |
| සිතියම 1 - හත්තොට අමුණේ ඇලහැර අමුණ දක්වා පැරණි වාරි නටබුන්. යෝධයා බැඳි ඇල දම් පාටින් සලකුණු කර ඇති අතර නිල් පාටින් දැක්වෙන්නේ ස්වභාවික ඔයවල්ය. |
යෝජිත මොරගහකන්ද සහ කළු ගඟ ජලාශ එක් කරන ඇල මාර්ගය සහ උමං මාර්ගය මෙම පැරණි යෝධයා බැඳි ඇලට බටහිර දෙසින් ඉදිරියේදී ඉදිවනු ඇත. පහත දැක්වෙන සිතියමේ ඉහත විස්තර වූ සියළුම පැරණි වාරි පද්ධතිය මෙන්ම දැනට ඉදිකර ඇති සහ ඉදිරියේදී ඉදීවීමට නියමිත නූතන වාරි මාර්ග පද්ධතියද දක්වා ඇත (සිතියම 2 බලන්න) අපේ පැරන්නන් එවකට ඔවුන් සතුව පැවති දැනුම් පද්ධතීන් උපයෝගි කරගනිමින් භූමියේ විෂමතාවයන් සැලකිල්ලට ගනිමින් ඉදි කල එම විශිෂ්ඨ ඉංජිනේරුමය නිර්මාණයන් කෙතරම් අනර්ගද යන්න පැහැදිලි වන්නේ නූතන චන්ද්‍රිකා ඡායාරූප හෝ සමොච්ඡ රේඛා දැක්වෙන සිතියම් නොමැති යුගයක ඒවා ඉදි කර ඇති බැවිනි.
 |
| සිතියම 2 - මෙහි දම් පාටින් පැරණි යෝධයා බැඳි ඇලද තද කොල පාටින් මා ඔයේ සිට ඇලහැර අමුණ දක්වා එහි උපකල්පිත ගමන් මගද දක්වා ඇත. ලා කොල පාටින් ඉදිරියේදී ඉදිවීමට නියමිත කළු ගඟ සහ මොරගහකන්ද ජලාශ යා කරන ඇල මාර්ගය සහ තද දුඹුරු පැහැයෙන් එහි උමං මාර්ගය දක්වා ඇත. |
පැරණි
යෝධයා බැඳි ඇල කිනම් කලක ඉදි කර ඇත්ද යන්න අවිනිශ්චිතය. ඇතැම් විට විට එය
ඇලහැර අමුණෙන් යෝධ ඇලට ජලය හැරවීමට පෙර කලක සිදු වූවා විය හැක (
ඇලහැර අමුණේ සහ ඇලෙහි කාල නීර්නය ගැන වැඩිදුර තොරතුරු සඳහා
>>) ඇතැම් විට
ඇලහැර ඇල මාර්ගය ඉදිකිරීමෙන් පසු එයට වැඩි ජල ප්‍රමානයක් එක් කර ගැනීම උදෙසා ඉන්පසුව ගොඩනැගුවාද විය හැක. කෙසේ නමුත්
මහා පරාක්‍රමබාහු රජු පරාක්‍රම සාගරයට ජලය ගෙන යෑමට
කාර ගඟ හරස් කර
ගොඩවාරි ඇල කැපූ බවට මහාවංශයේ එන සඳහන පාදක කරගනිමින් '
කාර' සහ '
කළු' යන වචන වල සමානත්වය පිළිබඳව අවධානය යොමු කර
ගොඩවාරි ඇල යනු අප මෙහිදි විමසා බැලෙන
යෝධයා බැඳි ඇල විය හැකිය යන මතයක්ද ඉදිරිපත් වී ඇත (අප පෙර ලිපියෙහිදි
කාර ගඟ යනු
අඹන් ගඟ ලෙසත්
ගොඩවාරි ඇල ඇලහැර ඇල ලෙසත් සැලකෙන ප්‍රකට මතය ගැන සාකාච්චා කලෙමු
>> ).
 |
| ජලාශයට යටවීමට නියමිත් ප්‍රදේශයට දිස්වන ලකේගල කඳු මුදුන - ඡායාරූපය - 2018/07/20 |
මූලාශ්‍ර
- Ancient Irrigation Works in Ceylon, Part One, R.L. Brohier, 1934
- ලක්දිව පුරාතන වාරිමාර්ග, ආර්. එල්. බ්‍රෝහියර්, පරිවර්තනය එල්. පියසේන, 2001
- කළු ගඟ ජලාශය සහ කෘෂිකර්ම ව්‍යාප්ත ව්‍යාපෘතියේ පාරිසරික බලපෑම් තක්සේරු වාර්තාව. 2008