Friday, June 2, 2017

මග සලකුණ පාර කියන බදුලු මගියාගේ සෙන්කඩගල වන්දනාව

බදුල්ල සේනානායක උද්‍යානයේ පැරණි ඡායාරූපක් - උපුටා ගැනීම https://amazinguva.wordpress.com
මග සලකුණ නම් වූ පැරණි කාව්‍යයක එන තොරතුරු අනුව බදුල්ලේ සිට මහනුවර දක්වා වූ පැරණි මාර්ගයක තොරතුරු සොයා යන මෙම ලිපි පෙලේ පළමුවැන්න අප මෙයට පෙර ඉදිරිපත් කලෙමු (කියවන්න - මග සලකුණ ඔස්සේ බදුලු පුරයේ සිට සෙන්කඩගලට). එහෙත් පසුව හෙළිවූ තොරතුරු අනුව එහි අප ඉදිරිපත් කල මාර්ගයේ යම් කිසි වෙනසක් සිදු කල යුතු බව පෙනේ.
අලුගොල්ල මංසන්දිය - Google Street View ඇසුරින්
බදුලු පුරවරයේ සිට අලුත්වෙලින් පසු කැටවල දක්වා මග සලකුණ ඉදිරිපත් කරන ස්ථාන නාම හඳුනාගැනීමට නොහැකි බව අප පැවසූ මුත් මෙට්‍රික් සිතියම් වල නොමැති එහෙත් Google Map වල ලකුණු කර ඇති ස්ථාන දෙකක් අනුසාරයෙන් අප සිතූ පරිදි කැටවල දක්වා වූ මාර්ගය වැටී ඇත්තේ හාළිඇල හරහා නොව අලුත්වෙල සිට තව දුරටත් උතුරට ගොස් කඳු දුර්ගය මග හැර අලුගොල්ල සහ කොහොවිලකඳුර හරහා යන මාර්ගයක බව පෙනේ. මෙම ස්ථාන දෙක පිළිවෙලින්  අලුගොල්ලේ බැවුල සහ කොහොල්විලේ කඳුර ලෙසින් මග සලකුණ කවියා ඉදිරිපත් කරයි. මෙ අනුව අලුත්වෙලින් පසුව හමුවන මහගල්කඩ, අලුත්වෙල සිට අලුගොල්ල දක්වා ශ්‍රීඝ‍්‍ර නැග්මකින් යුත් දුර්ගය හෝ එහි කිසියම් ස්ථානයක් ලෙසට හඳුනාගත හැක.
කොහොල්විලේ කඳුරෙන් පසු හමුවන ස්ථානයක් ලෙසින් මග සලකුණ දක්වන කහටගහරුප්පේ, කහටරුප්ප ලෙසින් නම් වෙනස් වී අදද ඇති බව මෙහි පළමු ලිපියේ අදහස් පල කර මහත්මයෙකු පැවසූ මුත්, එම කහටරුප්ප බදුල්ල නගරයට ඊසාන දෙසින් වන පෙදෙසක් වන බැවින් අපගේ ගමන් මගට අදාල කර ගත නොහැක (මෙට්‍රික් සිතියම් හෝ Google Map වල නොමැති වුවද අපගේ ගමන් මාර්ගයේද එම නම ඇති ස්ථානයක් දැනටද තිබෙනවා විය හැක.)
කැටවල මංසන්දිය - Google Street View ඇසුරින්
කොහොවිල කඳුරේ සිට කැටවල දක්වා වූ මාර්ගය සිතියමේ ලකුණු කර ඇති පරිදි වර්තමාන අලුගොල්ල - කන්දේගෙදර මාර්ගයේ ගොස් කන්දේගෙදර හන්දියෙන් හැරී කන්දේගෙදර - කැටවල මාර්ගය ඔස්සේ වැටී තිබුනා විය හැක. එසේ නොවන්නේ නම් තරමක් දුෂ්කර කඳු පන්ති මතින් යන මාර්ගයක් වූවා වීමටද ඉඩ ඇත. දැනටද තේ වතු මැදින් වැටී ඇති එවැනි මාර්ග ප්‍රදේශයේ ඇති මුත් ඒවා පැරණි මාර්ග වලට වඩා තේ වතු වල ගමනාගමනය උදෙසා පසුව තැනූ ඒවා බව පෙනේ. 
අද පවතින කන්දේගෙදර හරහා අලුගොල්ලේ සිට කැටවලට මාර්ගය කළු පාටින්ද
 වෙනත් විකල්ප මාර්ග විය හැකි මං පෙත් කොළ පාටින්ද ලකුණු කර ඇත.
බෝගොඩ
නොමින පහඟ රැඳි රන්කොත් රැසිනි තිර
දිලෙන වෙනස නොවැ දිව රෑ එක අයුර
දකුණ සුසැදි සිරිසර බෝගොඩ වෙහෙර
තොසින නැමැද යව ලබනට සැප අමර

මග සලකුණ මාර්ග විස්තරයට අනුව කැටවලින් පසුව මිලිලගස්රුප්පේ පසුකර පිවිසෙන්නේ බෝගොඩ වෙහෙරටය. මිලිලගස්රුප්පේ හඳුනාගැනීමට නොහැකි වුවද බෝගොඩ වෙහෙර හඳුනා ගත හැක. බෝගොඩ රජමහ වෙහෙර සහ ඒ අසල ඇති ගල්ලන්ද ඔය හරහා නිර්මිත සුප්‍රකට පැරණි බෝගොඩ ලී පාලම අදටද මෙම ස්ථානයේ ඉපැරණි බවට දෙස් දෙයි. මෙම ලී පාලම බදුල්ල - මහනුවර පැරණි මාර්ගයේ ඉදි කර ඇති බවට වන ප්‍රදේශයේ සුපතල ජනප්‍රවාදය මේ අනුව නිවැරදි බව පෙනේ. කැටවල සිට බෝගොඩ දක්වා වූ මාර්ගය වර්තමාන කැටවල - කන්දෙකැටිය මාර්ගය ඔස්සේ ගොස් බෝගොඩ රජමහ විහාරය දක්වා වැටී ඇති අතුරු පාර ඔස්සේ තිබුණා විය හැක. 
බෝගොඩ පාලම
කෙසේ නමුත් මෙහිදි සලකා බැලුය යුතු එක් වැදගත් කාරණයක් වන්නේ අප මුලින් උපකල්පනය කල පරිදි අලුගොල්ලේ සිට කැටවල දක්වා වූ මාර්ගය කන්දේගෙදර දෙසට ගොස් නැවත කැටවල දෙසට එන මාර්ගය විය හැකිද යන්නය . මක් නිසාද යත් කන්දෙගෙදර සිට කැටවලට නොපැමිණ බෝගොඩ දක්වා පහසුවෙන් ලගා විය හැකි බැවිනි (සිතියම බලන්න). ඒ අනුව අප ඉහත සඳහන් කල එක් විකල්ප මාරගයක් අලුගොල්ලේ සිට කැටවල දක්වා වූ පැරණි මාර්ගය වීමට වැඩි සම්භාවිතාවයක් ඇත.
අලුගොල්ලේ සිට බෝගොඩ දක්වා මාර්ගය කළු පාටින් ලකුණු කර ඇත. කන්දේගෙදර සිට බෝගොඩට පහසුවෙන් ලගාවිය හැකි රතු පාටින් ලකුණු කර ඇති මාර්ගය කැටවල හරහා නොයන බැවින් අලුගොල්ලේ සිට කැටවලට පැරණි මාර්ගය කන්දේගෙදර හරහා නොගිය බව පෙනේ.

බෝගොඩින් පසු මගියාට උමා ඔය හමුවේ. උමා ඔය පිළිබඳව කරන වර්ණනාවකින් පසුව සලාතොට නම් වූ ස්ථානයකින් යන ලෙස පවසයි. බොහෝ විට එය උමා ඔය හරහා එගොඩ වීමට තිබූ තොටුපලක් වූ බව හැඟේ. ඉන්පසු දඹරුප්පේ සිට ගිමන් හරින ලෙස පවසා ඔය අසල වූ ඇතුන් බඳින ඇත්සල නරඹන ලෙසද පවසයි. ඉන්පසු විස්තර වන්නේ තුප්පිටියේ උයන නම් වූ ස්ථානයක් පිළිබඳවය. බෝගොඩ සිට උමා ඔය තරණය කල විට හමුවන තුප්පිටිය නම් වූ කුඩා කඳු ගැටයක් පිහිටි පෙදෙසක් මෙට්‍රික් සිතියම් වල ලකුණු කර ඇත. තුප්පිටිය විහාරය නම් වූ වෙහෙරක්ද මෙම ස්ථානයට නොබෝ දුරකින් Google Maps වල සලකුණු කර ඇත.
බොගෝඩ පාලම පිහිටි ස්ථානයේ සිට උමා ඔය දක්වා වැටී ඇති කුඩා අඩි පාරක් ඇසුරින් පුරාණ මාර්ගය පිළිබඳ අනුමානයක් මේ ආකාරයට ලබා ගත හැක (සිතියම) මෙම අඩි පාර උමා ඔය හමුවන ස්ථානයේ  දැනට කුඩා ඒදණ්ඩක් දැකිය හැක. පැරණි සලාතොට එම ස්ථානයේ  හෝ ඒ අසල වෙනත් තැනක තිබුණා විය හැක.


තුප්පිටිය උයනේ සිට ගමන් අරඹන මගියාට ඉන්පසු හමුවන්නේ වැලිහෙල පිහිටි සරණගොඩය. එය අසීරු නැග්මක් සහිත පෙදෙසක් බවය පහත කවිය අනුව හැඟෙන්නේ.

නේනුව නොම සිතා ලිය මෙ ගම නැණ බල
ගානුව මෙන් රැගෙන පය ලෙඩට ඔසු තෙල
සේනුව හොත් යන ගමනට වෙයි අබල
පේනුව සරණගොඩ නැගපන්න වැලි හෙල

තුප්පිටියට නුදුරින් වූ වැලිහෙල මෙට්‍රික් සිතියම් අනුසාරයෙන් සොයා ගත හැක. සලාතොට සිට තුප්පිටිය හරහා වැලිහෙල දෙසට ලඟා වීමට මාර්ග දෙකක් Gogle Earth ඇසුරින් පෙන්වා දිය හැක. 

1) සලාතොට සිට තුප්පිටිය කන්ද තරණය කර කදු මුදුන් මතින් වැටී ඇති මාවතක් ඔස්සේ වැලිහෙල මුදුනට ලගා වීම.
2) සලාතොට සිට මදක් දකුණට බරව ගමන් කර වැලිහෙල පාමුලට පැමිණ වැලිහෙල නැග එහි මුදුනට ලගා වීම.

නැගපන්න වැලි හෙල ලෙසින් කවියා පවසන බැවින් මෙම මාවත් දෙකින් පැරණි මාවත විය හැක්කේ දෙවෙනි එක බව පෙනේ. එසේම එය වෙල් යායක් මැදින් වැටී ඇති බැවින් ජනාවාස වූ පෙදෙස් මතින් පැරණි මං පෙත් තිබීමේ වැඩි නැඹුරුවක් තිබිය හැකි බව සැලකීමෙන් දෙවෙනි මාවත අපට අවශ්‍ය පැරණි මාවත ලෙසට පහසුවෙන් තෝරා ගත හැක.
උමා ඔය තොටුපලේ සිට වැලිහෙල මුදුන දක්වා ගමන් මාර්ගය - මෙහි වැලි හෙල මෙට්‍රික් සිතියම් වල දක්වා ඇත්තේ වම් පස කොනේ ඇති මුදුන ලෙසය. නමුත් වර්තමාන මාර්ගය එයට මදක් දකුණු පසින් වූ මුදුන හරහා විහිදේ. (ස්ථාන දෙකෙහිම හෙල නැගිය යුතුය)
මග සලකුණ මාර්ග විස්තරයට අනුව එතැන් සිට සිහිල්පැන් කඳුර, කොට්ටාගොඩ යන ස්ථාන පසු කර යෑමේදී මානාවෙල පොර ඇන ගන්න ගවයන් දැකිය හැකිය. ඉන්පසු වැවගෙදර නම් ප්‍රදේශය පසු කර හපුගොල්ලට පිවිසේ. මෙයින් කොට්ටාගොඩ (කෝට්ටේගොඩ ලෙසින්), මානාවෙල සහ හපුගොල්ල (සපුගොල්ල ලෙසින්යන ප්‍රදේශ අදද හඳුනා ගත හැක. ඒ අනුව වැලිහෙල සිට හපුගොල්ල දක්වා පැරණි මාර්ගය පහත සිතියම් වල පෙන්වා ඇති ආකාරයෙන් වූවා විය හැක.




හපුගොල්ලෙන් පසු හාල්තොට නම් වූ තොටමුණකින් එගොඩ වන මගියා ඉන්පසු පිවිසෙන්නේ පරණගමටය. ඉන්පසු යොනුන් (එනම් කාන්තාවන්) විසින් පාවලන් (පා + වලන් - පාත්‍ර හා වලං හෝ පබළු) කරවල, ලුණු ආදිය විකුණන තවලන් පළ දැක යා ගන් මිතුර ලෙසින් කවියා පවසයි.  මෙයින් පරණගම සහ තවලන් පළ යන ස්ථාන දෙකම මෙට්‍රික් සිතියම් වල දැක ගත හැක. හාල්තොට සලකුණු කර නොමැතිමුත් හපුගොල්ලේ සිට පරණගම දක්වා පාර තරමක දිය පාරක් හරහා වැටී ඇත. නිසැකවම හාල්තොට එම තොටමුණ විය යුතුය.



 කඩින් කඩ තිබෙන ගිරිකුළු මත පතර
විඩින් විඩ රඟන සෙබඩුන් මැද මොනර
ඉඩන් නැත බලා ඉඳිනට මහ වගුර
දොඩන් වතු කපල්ලෙන් යා කර මිතුර

තවලන් පළ පසු කල පසු මග සලකුණ මාර්ග විස්තරයට අනුව හමුවන්නේ දොඩන්වතු කපල්ල නම් වූ ස්ථානයකි. එම ස්ථානයේ සිට බැලු විට මොනරුන් සමග සෙබඩන් රඟන මහා වගුරක් දිස්වන බවද ඉහත කවිය අනුව අවබෝධ වේ. මෙට්‍රික් සිතියම අනුව යමින් ඉහත රූපයේ අප තවලන් පළ ලකුණු කල ස්ථානය හරහා යන මග වැටී ඇත්තේ කඳු දෙකක් මැදිනි.මේ වන විට පොදුවේ එම ප්‍රදේශයටම තවලන් පළ යන නම ව්‍යවහාර වුවත් මග සලකුණේ විස්තර වන තවලන් පළ තිබෙන්නට ඇත්තේ ඇතැම් විට පරණගමට කිට්ටුව සම බිමක වීමට බෙහෙවින්ම ඉඩ ඇත. ඒ අනුව එය පසු කර යෑමේදී හමුවන දොඩන්වතු කපල්ල මෙම කඳු දෙක මැදින් වැටී ඇති කපොල්ල බව පැහැදිලිය.
අද වන විට දෙපස පිහිටි කඳු මුදුන් වල කැලය එලි වී ජනාවාස ඇතිවි ඇති නමුදු මෙම ප්‍රදේශයේ කඳු වැටි දෙක අතර පහත් බිම් ප්‍රදේශය පෙර කල ජලය රඳන වගුරක් ව තිබූ බවට මෙට්‍රික් සිතියමේ කුඩා වගුරු ප්‍රදේශයක් සලකුණු කර තිබීමෙන්ද පැහැදිලි වේ (එම ප්‍රදේශයද ඇතුළුව සියලුම බිම් මේ වන විට වෙල් යායකින් සහ ජනාවාස වලින් ප්‍රතිස්ථාපනනය වී ඇත.) 
මෙනේ තොසින් ගොඩ නැග කැරකී එවිට
මිණේ ඉඳු අයුරු දෙනෙතින් බැලු කලට
අනේ වතු ගෙවතු වෙල් යා සැදි අවට
පෙනේ ඌවතුන්කිඳ අතැඹුල ලෙසට

මෙම උස් ස්ථානයේ සිට බැලූ විට ඌවතුන්කිඳ ප්‍රදේශයේම වතු ගෙවතු සහ වෙල් යායවල් පෙනෙන බව ඉහත කවියෙන් පැවසේ. මෙහි ඌවතුන්කිඳ යනු උඩ කිඳ, මැද කිඳ සහ යටි කිඳ යන ඌව රටට අයත් පෙදෙස්ය. දොඩන්වතු කපල්ලෙන් පසු මාර්ගය යොමුවන්නේ අඩයටි සහ කඟ (තෝමර සහ කඩු) රැගත් සෙබලුන් මුර කරන කඩවතටය. ඉහත මෙට්‍රික් සිතියමේ පෙන්වා ඇති ආකාරයට අදටද එම පෙදෙස කඩවත ලෙසින් සලකුණු කර ඇත. 
කඩවත සහ ඒ වෙත යොමුවන මාර්ගය පහත සිතියම් වල ලෙසට තිබුණා විය හැක. මෙම කඩවත පසුකිරීමත් සමග දැනට පවතින පළාත් බෙදීම් අනුව ඌව පළාතේ බදුල්ල දිස්ත්‍රික්කයේ සිට මධ්‍යම පළාතේ නුවරඑළිය දිස්ත්‍රික්කය වෙත අපගේ ගමන් මාර්ගය යොමුවේ. එතැන් සිට සෙන්කඩගල පුර දක්වා ගමන් මග ඉදිරි ලිපියකින් විමසා බලමු.
මූලාශ්‍ර
  • මග සලකුණ (බදුල්ලේ සිට මහනුවර දක්වා මාර්ග විස්තරයකි) - දේව ධර්මාචාර්ය අතිගරු එඩ්මන්ඩ් පීරිස්, 2009
  • The Maga Salakuna, Rev Dr. Edmund Pieris, 1947  Journal of the Royal Asiatic Society, Ceylon Branch, Volume XXXVII, No 104.

10 comments:

  1. සුපිරි විස්තරයක්නෙ ......එල

    ReplyDelete
  2. සලාතොට කියලා හැඳින්වුනේ වර්ථමාන හලබ පාළම ආශ්‍රිත ස්ථානය වෙන්ට බැරි ද?

    ReplyDelete
    Replies
    1. ඔව් එම ස්ථානය තිබෙන්නේ මා මෙහි සලාතොට පාලම ලකුණු කල ස්ථානය ආසන්නයේම මද දුරක් උමා ඔයේ ඉහලින්. ඇත්ත වශයෙන්ම මේ හලබ පාලම කියන ස්ථානය සම්බන්ධව මා දැන සිටියේ නැහැ. මුහුණු පොතේ මෙම ලිපිය පල කල පසු මා මිතුරෙක් තමා මේ සම්බන්ධව මුලින්ම අදහස් පල කලේ (දිනිත් ඉන්දික හෑගොඩ). ඔහු කියන ලෙසට ප්‍රදේශයෙ ජනප්‍රවාදයකුත් තියෙනවලු එම හලබ පාලම හලාවතට ගෙනියන්න තිබූ එකක් වැරදිලා මෙම ස්ථානයේ ගෙනත් සවි කල බවට. පාලම ඉංග්‍රිසි යුගයේ ඉදි කල එකක්. ඉහත ජනප්‍රවාදය ප්‍රදේශයේ ගැමියන්ගේ යාන් හෑල්ලක් වුවත් එහි යමක් තිබෙනවා. එනම් මෙම ස්ථානය සලාතොට හෝ හලාතොට (හෝ ඇතැම් විට හලාවත ) ලෙසින් කිසියම් කාලයකදී හැඳින්වූ බව

      Delete
    2. සළාවැටුම කියන්නෙ දියසුළි ගහන ප්‍රචණ්ඩ වතුරකට නේ ද? භූරිදත්ත ජාතකයේ කියැවෙන්නෙ විත්‍රශූල නම් කැස්බෑවා ගංගානම් ගඟේ සළාවැටුමකට දැම්මා කියලා.. වර්ථමාන හලාවතට ඒ නම වැටුනෙත් ඒ හරියේ මුහුද ප්‍රචණ්ඩ නිසා කියලයි අහලා තියෙන්නෙ.. උමා ඔයේ මේ හලබ පාළම ආශ්‍රිත ප්‍රදේශයත් ගල්කුළු ගහන, වැහි කාලයේ ප්‍රචණ්ඩ වතුර පාරක් ගලන තැනක්.. ඒ අයුරින් බැලුවොත් අපට හිතන්ට පුළුවන් මෙතැනත් අතීතයේ සළා+තොට නමින් හැඳින්වුනාය කියලා..

      ඔබ කියන ඔය ප්‍රවාදය මාත් අහලා තියෙනවා.. මම පුංචි කාලෙ අපේ ගෙදර කට්ටිය, යාළුවො හෙම ගියා ඔය හලබ පාළම බලන්ට.. ඒ කාලෙත් මට හිතුන දෙයක් තමා සුද්දන්ට පිස්සුද මේ කැලේ මැද්දෙ මෙච්චර විශාල පාළමක් ගහන්ට කියලා.. දැන් වැටහෙනවා මෙතැන ඒ කාලෙ ප්‍රධාන මාර්ගයක් තියෙන්ට ඇතියි කියන එක..

      Delete
    3. ඔව් සලා කියන්නේ සුලිය නැතහොත් රැල්ල සුමංගල ශබ්දකෝෂයට අනුව සළාවැටුම කියන වචනය සද්ධර්මාලංකාරයේ ඒනවා. ශබ්දකෝෂයේ දී ඇති පිටු අංක මා සතු සද්ධර්මාලංකාර පිටපතේ පිටු අංක සමග නොගැලපෙන නිසා එය යෙදෙන තැන සෙවීම අපහසුයි. නමුත් එයින් දිය සුලි වැටෙන තැනක් වැනි අදහසක් ගන්න පුලුවන් වගේ.

      Delete
  3. කොන්ස්ටන්ටීනෝ ඩි සා ඩි නොරොඥ්ඥා ගේ දෙවනි උඩරට ආක්‍රමණයේදී පෘතුගීසින් සාමාන්‍යයෙන් යන බලන මාර්ගය වෙනුවට ඉදල්ගස්හින්න හරහා බදුල්ලට ගිහින් එහෙන් මහනුවරට යන්න තැත් කලා. ඒ කන්දකැටිය පාරෙන් වෙන්න පුලුවන්ද එහෙම නැත්නම් වලපනේ පැත්තෙන්ද?
    අවසන් සටන නම් ඇතිවුනේ දෙමෝදරින් බැහැලා වැල්ලවාය රන්දෙනිවෙලේ දි.

    ලන්දේසිත් බදුල්ලට ගියානෙ

    ReplyDelete
    Replies
    1. එම මාර්ගය ඔබ කිවූ පරිදි ඉදල්ගස්හින්න ප්‍රදේශයෙන් තමා යන්නේ. ඒ පිළිබඳව ගැස්ටන් සිල්වා මහතා යම් හැදෑරීමක් කර කලකට පෙර ලිපියක් පල කලා. එය කියවා ඉදිරියේදී ඇතැම්විට වෙනත් පෝස්ට් එකක් මගින්ම අදහස් ඉදිරිපත් කරන්න බලන්නම්. එය අඩු හෝ වැඩි වශයෙන් වර්තමාන A4 මාර්ගය ඔස්සේ වැටී තිබෙන බවක් තමා මට මතක.

      Delete
    2. බදුල්ලෙ ඉඳල මහනුවර යන පුරාණ මාර්ගය මොකක් වෙන්න ඇද්ද?

      Delete
    3. සා ගේ ගමන් මග සම්බන්ධව ගැස්ටන් සිල්වා මහතා ඉදිරිපත් කරන මාර්ගය මේ වගේ(Kandy Fights the Portuguess, A military history of kandyan resistance, C. gaston Perera) . හංවැල්ල > අවිස්සාවේල්ල > රත්නපුර > බෙරගල > ඉදල්ගස් හින්න > එතැන් සිට බදුලු ඔයේ දිය කඳුරු දිගේ බදුල්ලට යන්න ඇති කියා තමා ඔහු අදහස් කරන්නේ. Baduluoya branch කියා Google Map වල ලකුණු කර ඇති මානතිල්ලා ඔය දිගේ උමා ඔය දක්වා ගොස් එතැන් සිට බදුලු ඔය නිම්නය දක්වා ගොස් යන්නට ඇති කියන එක තමා ඔහු ඉදිරිපත් කරන අදහස. කෙසේ නමුත් ඉදල්ගස්හින්නේ සිට මාර්ගය පිළිබඳව තොරතුරු මඳ බවයි හැගෙන්නේ. ඒ පිළිබඳව වෙනම සෙවිය යුතුයි පෘතුගීසි මූලාශ්‍ර ඇසුරින්

      Delete