Tuesday, September 8, 2015

ජාතික කොඩිය විකෘති නොකරනු! සිංහලේ කොඩිය තහනම් කරනු!!

පසුගිය දින වල හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මැතිතුමාගේ ආධාර කරුවන් අත විවිධ අවස්ථා වලදි ලෙලදුන් අරුම පුදුම 'ජාතික කොඩියක්' මාධ්‍ය වල පුවත් මවන්නට යෙදුනි (1). එය මුල්වරට කරලියට පැමිනියේ මාර්තු 3 වන දින සිංහලේ ජාතික පෙරමුණ සහ ස්වර්ණ හංස පදනම එක්ව මහනුවර මගුල් මඩුව ඉදිරිපස ඔසවා ඇති ජාතික කොඩිය පහත හෙලා මෙම කොඩිය ඔසවන්නට උත්සහ කිරීමත් සමග ඇතිවු සිදුවීමත් සමගය (2). මහින්ද රාජපක්ෂ මැතිතුමන්ට සහ ගෝඨාභය රාජපක්ෂ මැතිතුමන්ට සහය දක්වමින් පැවැත්වූ උද්ඝෝෂණ සහ රැස්විම් අතර තුර මෙම කොඩිය භාවිතය සම්බන්ධ වගකිවයුත්තන් හෙලි නොවු නමුත් එය බොහෝ අවස්ථා වලදි එම ව්‍යාපාරයේ නායකත්ව මට්ටමින් සිදු කල දෙයක් නොවන බව පෙනී ගියේය. කුමක්ද මේ අන් ජාතීන් නියෝජනය කරන ද්වි වර්ණ තීරු නොමැති කොඩිය? ඉහත සංවිධාන විසින් එය හඳුන්වා දුන්නේ 'සිංහලේ කොඩිය' ලෙසය. සැබෑ සිංහලේ කොඩිය මෙයද?

සිංහලේ කලින් කලට පාලනය කල විවිධ රජවරුන් සිංහයා සංකේතකාත්මකව රාජ්‍ය මුද්‍රා ආදියේ යොදාගත් බවට සාධක ඇති මුත් සිංහ ධජය සහ රාජ්‍යත්වය සම්බන්ධ මුල්ම සාධකය හමුවන්නේ දඹුලු  විහාරයේ දුටුගැමුණු - එළාර යුද්ධය නිරූපනය කෙරෙන ගුහා චිත්‍ර වලිනි. මෙහි දුටුගැමුණු රජතුමා අසලින් ලෙලදෙන කොඩියේ කඩුවක් අතින් ගත් සිංහයා සහ එයට උඩින් හිරු සහ සඳු චිත්‍රනය කර ඇත (රූපය බලන්න). මෙම බිතු සිතුවම් 18 වන ශතවර්ෂයේ මැද භාගයේ පමන සිතුවම් කර ඇති බැවින් බොහෝ විට මෙයින් එම යුගයේ තත්වය නිරූපනය වූවා යැයි සිතිය හැක.

විදේශීය කෞතුකාගාර වල තැන්පත් කර ඇති මෙරටින් ගෙනගිය කෞතුක වස්තු රැසක් පිළිබදව අගනා ග්‍රන්ථයක් කල කොළඹ කෞතුකාගාරයේ අධ්‍යක්ෂක වරයෙකු ලෙස සේවය කල P.H.D.H de. සිල්වා මහතාගේ A Catalogue of Antiquities And Other Cultural Objects From Sri Lanka (Ceylon) Abroad නම් ග්‍රන්ථයේ ලන්ඩන් නුවර චෙල්සියා රාජකීය රෝහලේ (Chelsea Royal Hospital) තැන්පත් කර තිබූ සිංහලේ අවසාන රජුට අයිති ධජ තුනක් පිලිබද රූප සටහන්ද සමගින් විස්තරයක් එයි. එහි සදහන් වන අයුරින්  1803 දී ශ්‍රි වික්‍රම රාජසිංහ රජුගෙන් අල්ලා ගත් මෙම ධජ ත්‍රිත්වය පෙරදිග ඉන්දියානු සමාගම(East India Company) මගින් 4 වන විලියම් රජුගේ අනුමැතිය ඇතිව ආරක්ෂාකාරිව තැබීම සදහා මෙම රාජකීය රෝහලට එවා ඇත.  වසර ගනනාවක් එම රෝහලේ එල්ලා තිබූ එම ධජ ස්වභාවික හේතුන් මත දරුනු ලෙස දිරාපත් වීම හේතුවෙන් "The King's war standard" වශයෙන් හැඳින්වූ එක් කොඩියක් 1934 දී විනාශ කර දමා ඇති අතර (එම ධජය 51 වන රෙජිමේන්තුවේ කැප්ටන් පොලොක් (Capt. William Pollock) විසින් 1803 සැප්තැම්බර් 13 වන දින අල්ලා ගත් බව සදහන් වේ. මෙහි සිංහ රූපයක් නොමැති අතර විවිධ ආයුද වල රූප සටහන් වලින් නිර්මාණය කර ඇත.) අන් කොඩි දෙක ඒ වන විට කොටස් එකතු කර මසා තිබී ඇත. 1870 දී මෙම කොඩි සමග වෙනත් දේ එල්ලා තිබූ ශාලාවේ ගත් ජායාරූපයකද වැරහැලි වූ මෙම කොඩි තුන සටහන් වී තිබුනි. P.H.D.H de. සිල්වා මහතා සිය ග්‍රන්ථයේ විස්තර සදහා යොදා ගන්නේ එම කොඩි තුන ආශ්‍රයෙන් කැප්ටන් J. ෆොර්ඩ් (J. Ford) විසින් 1841 දී සිය "The War Flags at the Chelsea Hospital" නම් පොත සඳහා පිලියෙල කල සිතුවම් වන අතර එම පොත වික්ටොරියා රැජිනට පිරිනමා මේ වන විට වින්ඩ්සර් මාලිගාවේ(Windsor Castle) තැන්පත් කර ඇත. එම මුල් පිටපතට අමතරව තවත් පිටපත් දෙකක් පසුකාලීනව පිලියෙල කර ඇති අතර ඉන් එක් පිටපතක් චෙල්සියා  රෝහල් බලධාරීන් සන්තකව තිබේ.

ඉහත ධජයන් අතුරින් සිංහලේ කොඩිය ලෙසට සැලකිය හැකි කොඩි දෙක රතු පසුබිමේ පිලිවෙලින් වමතින් කසයක් සහ කඩුවක් වැනි යමක් ගත් අඳුරු නිල් පැහැති සිංහ රූප සහිත The Secretary At - Hand Flag සහ The King's Civil Standardලෙසින් හදුන්වන කොඩි වන අතර, එම කොඩි දෙකෙහිම කොන් වල වටාපත් වල ඉහල කොටස වැනි කොත් කැරැල්ලක ස්වරූපයේ සලකුනු ඇත (වර්තමාන ජාතික කොඩියේ බෝ කොල පිහිටන අයුරින් ). කහ තීරුවක් කොඩිය වටා යයි.

මේ අනුව ඉහත සදහන් කොඩි කිසිවක් වර්තමානයේ සිංහලේ කොඩිය නමින් හැදින්වෙන කොඩිය සමග තත්වාකාරයෙන් සමාන නොවූවත් බොහෝ දුරට වර්තමාන කොඩිය මෙම කොඩි අනුසාරයේන් නිර්මිත බව පෙනි යයි . එය සිදුවූවේ කෙසේද ? සිංහලේ කොඩිය එසවීම ජාතික කොඩිය විකෘති කිරීමක්ද? එනිසා සිංහලේ කොඩිය තහනම් කල යුතුද? ඒ පිලිබදව මතුවට සාකච්චා කරමු.

(1)  Sinhale Flag Raised At UPFA Meeting : Journalist 'Detained'

        Controversy Over Flag At Demo

(2) Police Launch Investigations On Hoisting Of 'Sinhale' Flag At Dalada Maligawa


No comments:

Post a Comment