Sunday, March 4, 2018

බ්‍රිතාන්‍යයන් දුටු තෝපාරේ...

"පොළොන්නරුව සංචාරය මෙතෙක් විස්තර කල සියලු ගවේෂණ වලට වඩා බරපතළ කර්තව්‍යයකි. එබැවින් ඒ සඳහා උත්සාහ කරන්නන් පළමුව අනුරාධපුරයේ රජයේ ඒජන්ත වෙත ලියා මාර්ග තත්වය විමසා බැලිය යුතු බවට මෙන්ම, අවශ්‍ය කරන සැපයුම් ලබා ගැනීමේ හැකියාව රඳා පවතින්නේ ඔවුන්ගේ හොඳහිත මත වන බැවින්, මූලාදෑනින්ගේ උපකාරය ඉල්ලා සිටිය යුතු බවටද තරයේ අවවාද කර සිටිමි. එය මනා සූදානම් වීම සහ විමසුම නොමැතිව නොයා යුතු සංචාරයකි. එසේම කාන්තාවන් සඳහා එය දුෂ්කර ගමනකි.

හබරන තානායම අසලින් බෙදී ගමන් කරන (දඹුල්ලේ සිට ත්‍රිකුණාමලය දක්වා වන කරත්ත පාරේ සැතපුම් 15 ගිය විට) නව කරත්ත පාර දැනට තෝපාරේ හෙවත් තෝපා වැව දක්වා විහිදී ඇත. එය පොළොන්නරුවම වේ. වසරේ බොහෝ මාස වල එය රෝද සහිත වාහන ගමනාගමනයට සුදුසු වේ. මාර්ගය මින්නේරිය වැවේ දිය පැන්නුම් දෙකක් හරහා (හබරන සිට සැතපුම් 15 ගිය තැන) ගමන් කරයි. දෙවැනි දිය පැන්නුම අසලදී සීගිරිය ගලේ මනා දසුනක් නැරඹිය හැක. ..."

බ්‍රිතාන්‍ය පාලන සමයේ මෙරට සිවිල් සේවා නිලධාරියෙකු වූ, එසේම H.C.P. බෙල්ට ප්‍රථම පුරාවිද්‍යා කටයුතු පිළිබඳව අධිකාරය දැරූ  S.M. බරෝස්   (S.M. Burrows) වර්ෂ 1905 මෙරට නටබුන් නගර පිළිබඳව රචිත සිය ග්‍රන්ථයේ පොළොන්නරුවේ නටබුන් ස්ථාන නැරඹීම සඳහා යා යුතු දුෂ්කර ගමන පිළිබඳව ඒ ආකාරයෙන් විස්තර කරන්නේ 1905 ට වසර කිහිපයකට පෙර එහි තිබූ තත්වයයි.
ලංකාතිලක පිළිමගෙය උපුටාගැනීම ෆොබ්ස්ගේ Eleven Years in Ceylon
වසර 250 ක් පමණ මෙරට අගනුවර වූ පොළොන්නරුව නගරය සියවස් හතක් පුරා වන ප්‍රවාහයට ලක්වී විනාශ වෙමින් තිබූ අතර ඒ පිළිබඳව බ්‍රිතාන්‍යයන් පළමුවරට දැනගන්නේ වර්ෂ 1820 දී ලුතිනන් ෆගාන් (Lieut. Fagan) විසින් මෙම නටබුන් නගරයට පැමිණ තමන් දුටු දේ විස්තර කරමින් Accounts of the Ruins of Topary නමින් Ceylon Gazette වෙත සැපයූ ලිපියත් සමගිනි. දෙවන සිලෝන් රෙජිමේන්තුවේ (2nd Ceylon Regiment) නිලධාරියෙකු වූ හෙතෙම 1818 නිදහස් අරගලය කෲර ලෙස මර්ධනය කර දැමූ අලුතම පාහේ  හමුදා අනුඛණ්ඩයකට අණ දෙමින් එවකට තෝපා වැව හෙවත් තෝපාරේ ලෙසින් ඉංග්‍රිසීන් වරදවා හැඳින්වූ පැරණි ගම හරහා යාමේදී මෙම නටබුන් දැක ඇත.

ෆගාන් සිය විස්තරයේ ගල් විහාරයේ හිටි පිළිමය ඔහු පළමුව දුටු ආකාරය මෙසේ විස්තර කරයි.

"වනය තුල තවත් සැතපුම් භාගයක් පමණ ඉදිරියට ගිය විට අඩි 80 ක් පමණ දිග, මධ්‍යයෙහි අඩි 30 පමණ උස, දෙපසට ක්‍රමයෙන් බෑවුම් වන, එක්වරම විශාල කළු ගලක් ලෙස දිස්වන ස්ථානයකට මා ලගාවිය. පියවර කිහිපයක් ඉදිරියට ගිය විට මට වැටහුනේ මා අඩු තරමින් අඩි 25 ක් වත් උස කාල වර්ණ දැවන්ත මිනිසෙකුගේ රූපයක් යට සිටින බවය. ඒ අවස්ථාවේ මට ඇතිවූ හැඟීම් මට විස්තර කල නොහැක. තව දුරටත් පිරික්සීමේදී මට සොයා ගැනීමට හැකිවූවේ මෙය සිටගෙන සිටින ඉරියව්වෙන් ඇති, මනා මිණුම් වලට සහ ආකෘතියකට අනුව, මා සිතන පරිදි නිතර හමු නොවන ආකාරයේ, සිය අත් සුන්දර ලෙස පපුව හරහා තබා ගත්, සිවුර සිය වම් අත මතින් වැක්කෙරෙන ලෙස තැනූ බුද්ධ රූපයක් බවය. "
ගල් විහාරය - උපුටා ගැනීම එමර්සන් ටෙනන්ට්ගේ Ancient Ceylon
Eleven Years in Ceylon ලෙසින් තම සංචාරක අත්දැකීම් සටහන් කර තැබූ බ්‍රිතාන්‍ය සිවිල් සේවකයෙක් මෙන්ම හමුදා නිලධාරියෙකු වූ මේජර් ජොනතන් ෆෝබ්ස් (Major Jonathan Forbes) මෙරට පැරණි නටබුන් ස්ථාන බොහෝමයකම ඇවිද එවකට එම ස්ථාන වල වූ තත්වය ඉදිරිපත් කර ඇත. ඔහු 78 වන හයිලන්ඩර්ස් (78th Highlanders) නම් ස්කොට්ලන්ත සෙබලුන්ගෙන් සමන්විත හමුදා රෙජිමේන්තුවේ අණදෙන්නා ලෙසින් එම රෙජිමේන්තුවත් සමගම වර්ෂ 1826 මෙරටට පැමිණ පසුව වර්ෂ 1829 දී පමණ මාතලේ දිසාවේ රජයේ ඒජන්ත තනතුර ලැබූහ.

'දළදා මාළිගාව' ලෙසින් එවකට වැරදියට හඳුනාගෙන තිබූ පසුව අංක 1 ශිව දේවාලය (එම ශිව දේවාලය පිළිබඳව වූ ලිපිය කියවීමට Link>>) ලෙස නම් කල ගොඩනැගිල්ල නැරඹීමට යාමේදි ඔහුගේ අත්දැකිම් ෆොබ්ස් විස්තර කරන්නේ මෙලෙසිනි. ෆොර්බ්ස් සිය ග්‍රන්ථය මුල් වරට ප්‍රකාශයට පත් කරන්නේ වර්ෂ 1840 දීය.

".....විශාල වශයෙන් වලසුන් මෙම නටබුන් සිය වාසස්ථාන ලෙස තෝරාගෙන ඇත. මෙම 'අභයභූමිය' ඔවුන්ගෙන් කිහිප දෙනෙකු හැරගොස් ඇත්තේ අපගේ පැමිණීමත් සමග ඇසුන ශබ්දය ඇසීමෙන් අනතුරුවය. පොරෝ වලින් සන්නද්ධව සිටියද මග පෙන්වන්නන් පිවිසුම වෙත ලඟාවීමේදි නිතරම බොහෝ උනන්දු ඇතිව වට පිට බලා අපගේ තුවක්කු සූදානම් කර තබාගෙන සිටින ලෙස ඉල්ලා සිටියහ. ගොඩනැගිල්ලට ඇතුළු වීමට පොරොතුව මගපෙන්වන්නා දොරකඩ එක් පසක සිටගෙන ඔහුගේ හිස ඇතුලට දමා හයියෙන් කෑ ගසා, කිසියම් 'සහෝදර වලසෙකු' ඇතුලත සිටී නම්  කැඳවීමට ඔහුට පිළිතුරු දීමට හෝ ඉදිරියට පැමිණ ඉදිරිපත් වීමට ප්‍රමාණවත් කාලයක් ලබාදී අපට ඇතුලු වීමට අවසර ලබාදේ."

අංක 1 ශිව දේවාලය
වලසුන් ගැවසුන පොළොන්නරුව පැරණි නගරයේ බොහෝ නටබුන් අද වන විට පුරාවිද්‍යාඥයන් විසින් කැනීම් කර සංරක්ෂණය කර ඇත. රක්ෂිත වන උද්‍යාන කිහිපයකට පමණක් සීමා වූ වලසා පොළොන්නරුවට ආසන්නම වස්ගමුවේද මේ වන විට කලාතුරකින් දැකිය හැකි දුර්ලභ සතෙක් බවට පත්වී ඇත. තෝපාවැව පැරණි ගම්මානය අද වන විට ලංකා සිතියමින් මැකී ගොස්ය. ජනාකීර්ණ පොළොන්නරුව නව නගරය ඒ වෙනුවට ඉදිවී ඇත. බරෝස් සඳහන් කරන යෑමට අපහසු හබරන- තෝපාවැව කරත්ත පාර අද වන විට කාර්පට් කල නවීන මාර්ගයකි. කොළඹ සිට පැය කිහිපයකින් සුඛෝපභෝගී මෝටර් රථයක නැගී අවශ්‍ය නම් මෑත කාලයේදී එම මාර්ග නැවත කාර්පට් අතුරා ඉදිකල ජන නායකයාට "ඌ හොරා පේනවද පාරවල් හදලා හොරකන් කල හැටි" කියා බැන වදිමින් පහසුවෙන් ලඟා විය හැක.

මූලාශ්‍ර
  • Archaeological Survey of Ceylon North-Central Northern And Central Provinces, Annual Report 1907, H.C.P. Bell, 1911
  • Ceylon, An account of the island physical, historical and topographical with notices of its natural history, antiquities and productions, Sir James Emerson Tennent, 1859
  • Eleven years in Ceylon, Major Forbes, 1840
  • Authors of Books on Sri Lanka. 1796-1948, C.G. Uragoda, 2011
  • The Buried Cities of Ceylon, A Guide book to Anuradhapura And Polonaruwa S.M. Burrows, 1906

2 comments:

  1. තමන්කඩුව කියල මුලු ප්‍රදේශයම නම් කලේ බ්‍රිතාන්‍ය සිවිල් පාලනය සඳහාද? පොලොන්නරුව කියල ආයිත් නම් කලාද? පොලොන්නරුව නව නගරය ඇත්තටම කදුරුවෙලද?

    තම තමන්ගේ දේශපාලන අවශ්‍යතා , දෘෂ්ඨි, නොදැනුවත්කම හෝ වයිරය නිසා පාලකයින් කල දේවල තමන්ට අවශ්‍යදේ පමණක් දැකීම හෝ අර්ධ හෝ සම්පූර්ණ විකෘති කිරීම කරන්නෙ. බ්‍රිතාන්‍ය පාලනයෙත් වැරදි ( ඇත්ත වැරදි හා හිතළු වැරදි ) විතරක් පේන අය ඉන්නවා. ඒ වගේම රාවණාවාදීන් තම මතයන් සනාථ කිරීමට පුරා විද්‍යා සාධක නොමැති නිසා ඒවා බෙල් හෝ වෙනත් විදේශිකයන් විනාශ/හොරකම්/ සැඟවූ බව කියල විහිළු කතා කියන්නෙ

    ReplyDelete
  2. නැවත පොළොන්නරුව ලෙස නම් වීම ඉබේම වෙන්න ඇති කියලයි මට හිතෙන්නේ. මෙ නටබුන් එම පැරණි නගරයේ බවට සොයාගැනීමත් සමග එය වෙන්න. ඇති. ඒ පිළිබඳව වැඩිදුර සොයා බැලිය යුතුයි. තමන්කඩුව නම් පැරණි නමක් කියලයි මට මතක. කඩයිම් පොත් වල එම නම කෝරලය විදිහට තියෙනවා ( සොයා බලා තහවුරු කරන්නම් ). මෙවැනි ස්ථාන නැවත කැලෑවෙන් මතු කරගෙන පැරණි දේ පැරණි ලෙසම ඉදිරි පරපුරට දැක ගැනීමට සැලැස්වීමට ඉංග්‍රිසීන් ඉටු කල මෙහෙවර අගය කල යුතුයි. එයින් කියවෙන්නේ නැහැ ඉංග්‍රිසීන්ට මේ රට යටත් නොවුනා නම් ඒවා කැලෑවටම යන්න තිබුණා කියලා. ඒත් ඉංග්‍රීසින්ට රට යටත් වීම සිදුවූ පසු ඒ ගැන කතා කරලා වැඩක් නැහැ. ඊට පසු අප දන්නා පරිදි සිදුවූ දේ තමා ඔවුන් තුල වූ කුතුහලය නිසාම ඒ පිළිබඳව සොයමින් ඔවුන් වෙහෙසුනා. එයින් වර්තමානය වන විට අපට ඒ දේවල් ඒ ලෙස දැක ගැනීමට ඉඩ විවර වී තියෙනවා. එසේ නොවුනා නම් එම පැරණි සභ්‍යත්වය සදහටම වැලලී යන්න ඉඩ තිබුණා. රාවණවාදී මොලේ අමාරුකාරයන්ගේ විකාර කතා ගැන කතා කිරිමත් කාලය අපතේ යැවීමක්. ඒත් ඔවුන් සැලකිය යුතු අනුගාමිකයන් පිරිසක් ඇති කරගෙන තියෙනවා ඒ කතා වලින්. ජාතියක් විදිහට් අපේ පැරණ්නන් ඇත්තටම කල දේවල් ගැන ඕනේ තරම් තොරතුරු තියෙද්දී සුරංගනා කතා ගොතා අපි තමා මුලින්ම න්‍යෂ්ථික අවි භාවිතා කලේ වගේ අතේ රෝල් දැම්මම ඒවට වශී වන පිරිසක් මේ සමාජේ ඉන්නවා. ඒ ප්‍රමාණය සුළු නැහැ. ඔවුන් රාවණවාදීන්ට පහසුවෙන් අහුවෙනවා. ඔවුන් තමන්ගේ මතයන් තහවුරු කරන්න සුද්දා ඒවා විනාශ කලා කිව්වම අර කණ්ඩායමට තවත් ආර්තල්. ඒ වගේම ඔවුන්ගෙ අමතයට විශ්වාශනීයත්වයක් ඇති වෙනවා. (පැරණි ස්ථාන තහවුරු කිරීමේදි නොදැනවත්වම සිදුවූ වැරදීම් නිසා විකෘති වීම් වෙනයි. එවැනි දේ අදත් සිදුවෙනවා. )

    ReplyDelete