Saturday, May 16, 2020

19 වන සියවසේ උඩ පළාත දිසාවට අයත් පැරණි ගම් සොයා දොලොස්බාගේ සිට ගඟ ඉහල කෝරළයෙන් ගඟ පහල කෝරළයට

1815 දී බ්‍රිතාන්‍ය හිරු නොබසිනවායැයි කී අධිරාජ්‍යයට ගිවිසුමකින් පවරා දීමට පොරොතුව සිංහලේ නමින් හැඳීන්වූ මහනුවර රාජධානියට අයත් ප්‍රදේශ වල තිබූ පළාත් බෙදීම් පිළිබඳව වූ ලිපි පෙලක තුන් වන ලිපිය උඩ පළාත දිසාව පිළිබඳව ඉදිරිපත් කිරීමට බලාපොරොත්තු වෙමි. පෙර ලිපි දෙකකින් උඩ බුලත්ගම ලෙසින් හැඳින්වූ රට පිළිබඳව සාකච්චා කලෙමි. එම ලිපි කියවීමට - 1. >> , 2. >>

ප්‍රධාන වශයෙන් 1896 වසරේ පලවූ ලෝරිගේ වාර්තා වල සඳහන් තොරතුරු ආශ්‍රයෙන් ඉදිරිපත් කෙරෙන මෙම ලිපියට එම යුගය වන විට උඩ පළාත දිසාවට අයත් වූ ප්‍රධාන කෝරළ 4 කින් 2 ක් පිළිබඳව කරුණු ඇතුලත්ය. එනම් ගඟ ඉහල කෝරළය සහ ගඟ පහල කෝරළයයි. මින් ගඟ ඉහල කෝරළයේ උස් කඳු මත පිහිටි ගම් අයත් වන ප්‍රදේශය දොළොස්බාගේ ලෙසින්ද හැඳින්විනි (පහත සිතියම බලන්න). පෙර ලිපි මගින් විස්තර ඉදිරිපත් කල උඩ බුලත්ගම රටට වඩා මෙම ප්‍රදේශ වල ගම් ව්‍යාප්තිය පිළිබඳව දැකිය හැකි කැපී පෙනන වෙනසක් ලෙස පෙන්විය හැක්කේ මෙම කෝරළ දෙකට අයත් මුළු ප්‍රදේශය පුරාම ගම් විසිරී තිබූ බවය. එහෙත් ඒ සෑම ගමක්ම පාහේ ගංගා, ඔය වල නිම්න අවට සමතලා භූමි ප්‍රදේශ වලට සීමා වූ අතර උස් කඳු මුදුන් වන වැස්මෙන් වැසී ආරක්ෂා වී තිබූ බව පෙනේ. එහෙත් කෝපි සහ තේ වතු සඳහා සුදු පාලකයන් එම කැලෑ බිම් හෙලි කෙරීමත් සමග එයින් ඇතිවූ පරිසර හානී වලට අමතරව ගම්මුන් විසින් සිය ගවයන්ගේ ආහාර අවශ්‍යතා සඳහා භාවිතා කල උස් බිම් වල පිහිටි පතන් බිම්ද ඔවුන්ට අහිමි වූ බවට වෙනත් වාර්තා වලින් තොරතුරු ඉදිරිපත් කල හැක. ඒ හේතුව නිසාම ගම්මුන් සහ වතු හිමියන් අතර නොයෙකුත් ගැටුම් ඇතිවී ඇත. තවද එම වන භූමි වල ගැමියන් විසින් සිදු කල හේන් වගාව ඔවුන්ට තවදුරටත් කරගෙන යාමට නොහැකි විය. අද හේන් වගාව පරිසර විනාශයක් ලෙස අර්ථ දක්වා ඇති මුත් එය එසේ නොවන බව ඒ පිළිබඳව සිදු කල අධ්‍යයන වලින් පෙන්වා දිය හැක (ඒ පිළිබඳව කතා කිරීම මෙම ලිපියේ සන්දර්භය ඉක්මවා යෑමක් වන බැවින් සම්පූර්ණ කැලය එලි කර තණකොල ගසක් වත් වැවීමට නොදී සදාකාලිකව පොහොර සහ කෘමිනාශක යොදමින් සිදු කරන තේ වගාවත්, කැලෑ ගිනි තබා (ලොකු ගස් බොහෝ විට විනාශ නොවී ඉතිරි වේ) විවිධ භෝග වවා, එක කන්නයකින් පසු නැවතත් වසර 6 ක් වත් කැලය වැවීමට අතහරින හේන් වගාවත් අතරින් වඩා පරිසර හානියක් සිදුවන්නේ කුමකින්ද යන්න පමණක් සිතා බලන්න)
දොලොස්බාගේ ප්‍රදේශයේ මියන්ගොල්ල සහ බෙරවිල ප්‍රදේශ අතර පිහිටි Pen-Y-Lan තේ වත්ත
19 වන සියවස අවසාන භාගය වන විට උඩ පළාතට අයත් ඉහත කෝරළ දෙකේ සීමාව තුල පිහිටි ගම් වල නොයෙකුත් තොරතුරු මෙතැන් සිට ඉදිරිපත් කරමි. මෙහිදි පෙර සිටි රජවරුන් සහ ප්‍රභූ වරුන් විසින් සිංහල බෞද්ධ ජනයා වැඳුම් පිඳුම් සිදු කල විහාර සහ දේවාල වලට පිරිනැමූ ගම් වලට අයත් ඉඩම් සුදු අධිරාජ්‍යවාදීන් විසින්  අත්පත් කර ගැනීමේ මූලික පියවරක් ලෙස එම ඉඩම් එවැනි ආයතන වලට අයත් ලෙස නොපිලිගත් ආකාරය සහ ඒවා එතෙක් පැවති ලෙසින් රජයට බදු නොගෙවන ඉඩම් ලෙස පිළිගැනීම නැවතූ ආකාරය මෙම ගම් බොහෝමයකදී දැකගත හැක. තවද උඩරට ප්‍රදේශ වලට සංක්‍රමණය වූ ඉස්ලාම් දහම ඇදහූ ජනයා ඔවුන්ගේ ආගමික අනනය්‍යතාවයන්ද පවත්වා ගනිමින් බෞද්ධ විහාර සහ සිංහල බෞද්ධ දෙවිවරුන්ගේ දේවාල ආදියටද සේවා සපයමින් (ඒ වෙනුවෙන් පෙරලා ඔවුන්ට පදිංචියට සහ වගා කිරීමට අවශ්‍ය ඉඩම් ලැබිණි.) සිංහල බෞද්ධ සංස්කෘතිය සමග මුහු වූ හෝ වෙමින් තිබූ ආකාරද හඳුනාගත හැක. (ඉංග්‍රීසි පාලකයන්ගේ විහාර දේවාල වලට අයත් ඉඩම් පවරා ගැනීම සහ ඔවුන් අනුගමනය කල බෙදා වෙන් කර පාලනය කිරීම උදෙසා විවිධ ජන වර්ග වෙනම ජාතීන් ලෙස සලකා ඔවුන්ට කප්පම් දීමේ ක්‍රියා පිළිවෙල නිසා පසුකාලීනව එම ක්‍රියාදාමය ඇන හිටි අතර, සුළු ජන වර්ග, වර්ගවාදය කරා තල්ලු කිරීමද සිදුවිය. එහි  හානිකර ප්‍රථිපල අද දක්වාම දැක ගත හැක.)

දොළොස්බාගේ
උඩ පළාත දිසාවට අයත් දොළොස්බාගේ දකුණින් පස්බාගේ කෝරළයෙන්ද, බටහිරෙන් පාත බුලත්ගම රටින්ද, උතුරින් සතර කෝරළය මහ දිසාවට අයත් පරණකුරු කෝරළයෙන්ද මායිම් වේ. එක් බාගයකට ගම් හතර බැගින් වූ බාග 3 කින් සැදි දොළොස්බාගය මේ ආකාරයෙන් සැදී ඇත.
Craighead Junction - Dolosbage
ගිරාඋල්ල හතරබාගේ 
  • ගිරාඋල්ල - ගම්මුන් විසින් සෑදූ විහාරයක් මෙම ගමේ තිබූ බවත් එයට ඔවුන් පිරිනමා තිබූ පෑල 2 ක ( අක්කරයක පමණ) ඉඩම බදු වලින් නිදහස් කිරීම උදෙසා කල ඉල්ලීම විහාර දේවාල ගම් කොමසාරිස්(Temple Lands Commissioner) විසින් ප්‍රතික්ශේප කල බවත් ලෝරි පවසයි. මෙම ගම තුල වූ කරගල නම් වූ ගමේ කෝවිලක් තිබූ බව සඳහන්ය.
  • මීතලාව
  • පොල්මලගම ගල්පාය නම් වූ කුඩා ගමක් (Hamlet) පොල්මලගම තුල තිබී ඇත.
  • තෙලිහුන්න
මැදගන් හතරබාගේ
  • අම්බලන්පිටිය - හකුරු සෑදීමේ රාජකාරියේ නිරත වූ වහුම්පුර කුලයට අයත් ජනයා ජීවත් වූ ගම්මානයකී. පැල්ලේපිටිය නම් වූ කුඩා ගමක්ද අම්බලන්පිටිය ගම්මානයේ තිබී ඇත.
  • අම්පිටිය යටපාන ගම තුල වූ කුඩා ගමක් ලෙසද හඳුන්වා ඇත.
  • වැටකේදෙණිය - යටපාන සහ අම්පිටිය වෙල් විදානේ යටතේම පාලනය වූ ගමකි.
  • යටපාන - අම්පිටිය, පදුවල, තියඹරා අම්බේ සහ පිටකන්ද මෙම ගමෙහි වූ කුඩා ගම් බව සඳහන්ය. යටපාන පත්තිනි දේවාලයට දිගු කාලයක් අයත්ව තිබූ ලාහ කීපයක් වූ ඉඩම්ද බදු වලින් නිදහස් කිරීමට කල ඉල්ලීම ප්‍රතිශ්ෂේප වී ඇත.
උඩුවැල්ල හතරබාගේ
  • බෙරවිල
  • මියනගොල්ල මියනගොල්ල ගම තුල අළුගොල්ල නම් කුඩා ගමක්ද තිබී ඇත.
  • පට්ටිතලාව
  • උඩුවැල්ල - මෙම ගමෙහි පිහිටි උඩුවැල්ලේ විහාරය නම් විහාරයට අයත් විහාරේවත්ත, හසලන්ගේවත්ත, බෝගහමුල අස්වැද්දුම සහ වෙඬරුපිටියේ ලියැද්ද යන ඉඩම් බදු වලින් නිදහස් කරන ලෙස ඉන්දශ්වර උන්නාන්සේ විසින් කල ඉල්ලීම විහාර දේවාල ගම් කොමසාරිස් විසින් 1858 දී ප්‍රතිශ්ෂේප කල බව සඳහන්ය. මෙහි පැරණි විහාරයක් තිබී එය විනාශ වී තිබී ඇත (ප්‍රතිශ්ෂේප වීමට හේතුව විහාරයක් ඒ වන විට නොතිබීමද යන්න පැහැදිලි නැත. කෙසේ වුවත් මෙම ගමේ වෙනත් විහාරයක්ද තිබී ඇත.)
දොලොස්බාගේ 
ලෝරි පවසන ලෙසට 19 සියවසේ අවසාන භාගය වනවිටද දොළොස්බාගේ වැඩි භූමි ප්‍රමාණයක් කෝපි සහ තේ වගාවෙන් යුක්ත විය.1871 වනවිට එහි වතු 28 තිබී ඇති අතර ලෝරි ඒ වනවිට (1896) තිබූ වතු 57 ක ලැයිස්තුවක් ඉදිරිපත්කරයි.
උඩ පලාත දිසාවයට අයත් දැනට හඳුනාගත හැකි 19 ශතවර්ෂය අවසාන කාලයේ තිබූ මෙම ලිපියෙන් විස්තර ඉදිරිපත් කර ඇති කෝරළ තුල පිහිටි ගම් මෙම සිතියමේ ලකුණු කර ඇත. මෙහි නිල් පාටින් දොළොස්බාගේට අයත් ගම්ද. එම යුගය වන විට දොළොස්බාගේද ඇතුලත් කර තිබූ ගඟ ඉහල කෝරළයේ අනෙකුත්ගම් රෝස පාටින්ද, ගඟ පහල කෝරළයේ ගම් කොළ පැහැයෙන්ද පෙන්වා ඇත. මෙම කෝරළ බෙදීම කෙතරම් කඳු පංති සහ ඇල දොළ වල පිහිටීම අදාල කරගෙන සිදු කර ඇත්ද යන්න බලන්න. මෙම සිතියමේ දැක්වෙන ත්‍රිමාන භුවිෂමතාවයන් එකල මේ ආකාරයෙන් දැකගැනීමේ කිසිදු තාක්ෂණික හැකියාවක් නොතිබුනද පැරණි ප්‍රදේශ බෙදීම් එම භූමියේ වූ ලක්ෂණ වලට කෙතරම් අනුකූල ව සිදු කර ඇත්ද යන්න බලන්න. අද මෙරට ඇතැම් බෙදීම් විශේෂයෙන්ම නැගෙනහිර පළාතේ බෙදීම් සිදු කර ඇත්තේ තනි කෙලින් ඉරි ගසා බවට මෙහිදී සිහිපත් කර ගැනීමද වැදගත්ය.
ගඟ ඉහල කෝරළය
උඩ පලාතට අයත් ගඟ ඉහල කෝරළයට දොළොස්බාගේද අයත් වේ. නැගෙනහිරෙන් මහවැලි ගඟෙන්, දකුණින් උඩ බුලත්ගමින්, සතර කෝරළයෙන් බටහිරෙන් සහ ගඟ පහල කෝරලයෙන් උතුරින් එය මායිම් වේ. දොළොස්බාගේ කොටසට අයත් ලෙස ඉහත දැක්වූ ගම්මාන වලට අමතරව පහත විස්තර වන ගම් ගඟ ඉහල කෝරළයේ තිබී ඇත.
  • බෝවතුර - බෙරවා කුලයේ ජනයා වාසය කර ඇත.
  • ගම්පොල වෙලරජ ඇල මගින් වගා කල කුඹුරු සහිත ගමකි. උඩ පලාතට අයත් රජ ඇල විශාල ප්‍රදේශයකට වගාව සඳහා ජලය සැපයූ පැරණි වාරි ව්‍යාපෘතියකි. නටබුන්ව පැවති එහි අමුණ 1855 වසරේදී පානබොක්කේ රටේ මහත්මයාගේ (ජ්‍යෙෂ්ඨ) දැනුම්දීම මත ඉංග්‍රීසි රජය විසින් ප්‍රතිශංස්කරණය කර ඇත. විගුලවත්ත සෙල්ලිපිය මෙම ගම තුල පිහිටා ඇත. විහාරයක් මෙන්ම කළු බණ්ඩාර දෙවියන් උදෙසා වූ කෝවිලක්ද මෙම ගම තුල තිබී ඇත.
  • ගොඩගම - කොටසක් ගඟ ඉහල කෝරලයටද ඉතිරි කොටස ගඟ පහල කෝරලටද අයත් වන ගොඩගම ගම්මානය තුල, අම්බුලුවාව කන්ද පාමුල සිංහයාපිටිය නම් වූ තැනිතලා ප්‍රදේශයේ ගම්පොල රාජධානියේ රජුන්ගේ  පැරණි "නුවර" පිහිටා තිබී ඇත. මෙම ගමේ පිහිටි පොල්වත්තේ විහාරයට රාජපක්ෂ දුරයා නම් පුද්ගලයෙකු විසින් කිසියම් රජකෙනෙකුගේ සමයකදී පිරිනැමූ ඉඩම් සඳහා බදු ගෙවීමෙන් නිදහස් වීමේ ඉල්ලීමද ප්‍රතික්ශේප වී ඇත.
  • හලගම - බෙරවා කුලයේ ජනයා වාසය කල තැඹිලිගල වසමට අයත් ගම්මානයකි.
  • හතුගොඩ - ප්‍රධාන වශයෙන් බෙරවා කුලයේ ජනයා වාසය කර ඇත.
  • හෙරකොල - බෙරවා කුලයේ ජනයා වාසය කර ඇත.
  • කුඩමකේ - තවත් බෙරවා කුලයේ ජනයා වාසය කල ගම්මානයකි. එරෑගොඩ සහ කුරුකුඩේ කුඩමකේ ගම තුල වූ කුඩා ගම් ලෙස සඳහන් කර ඇත.
  • එරෑගොඩ - කුඩා පත්තිනි දේවාලයක් රෝහල අසල කෑලෑව තුල තිබී ඇත.
  • තැඹිලිගල (උඩු ගම සහ පල්ලේ ගම) - පදුවෝ හෙවත් දුරයෝ කුලයට අයත් ජනයා පල්ලේගම කොටසේද, නිලමක්කාරයෝ උඩගම කොටසේද විසූ බව සඳහන්ය. ගම හරහා රජ ඇල වැටී ඇති අතර, අම්බලමක් සහ තැඹිලියගල දේවාලයද මෙම ගම තුල තිබී ඇත.
  • උලපනේ - ජනප්‍රවාදගත තොරතුරු වලට අනුව උලපනේ සීතාවක රාජසිංහ රජු කල හිඟුරුවත්තේ දිසාවට අයත් නින්දගමකි. එහෙත් රාජද්‍රෝහී අපරාදය යටතේ ඔහුව උල හිඳුවා, ඔහුට අයත් ඉඩම් රාජ සන්තක වූ පසු වර්ෂ 1707 දී පමණ නරේන්ද්‍රසිංහ රජු එම ඉඩම් වලින් විශාල ප්‍රමාණයක් හඟුරන්කෙත මහ දේවාලයට පවරා දී ඇත. උලපනේ ගමේ ගම්මුන් සියල්ලම පාහේ හඟුරන්කෙත දේවාලයේ සේවා සිදු කල මුත් විහාර දේවාලගම් කොමසාරිස් විසින් දේවාලයට අයත් ඉඩම් ලෙස පිළිගෙන ඇත්තේ ඉන් අඩකටත් අඩු ප්‍රමාණයකි.
  • වල්ලහගොඩ - පෙරදී වනවාසගොඩ හෙවත් වල්වාසගොඩ ලෙසින් හැඳින්වූ ඉතා පැරණි ප්‍රදේශයකි. වල්ලහගොඩ විහාරයට අයත් ඉඩම් පිළිබඳව ඉන්දසාර උන්නාන්සේ දැක්වූ අයිතිය විහාර දේවාලගම් කොමිසම විසින් ප්‍රතික්ශේප කර ඇත්තේ එම හිමිකම ඔප්පු කිරීම උදෙසා ඒ හිමියන් සතුව තල්පතක් නොමැති බව කියමිනි. පෙර ගොඩගම නුවර පිහිටි රජ මාළිගයේ දොරටුව දෙපස තිබූ ශෛලමය සිංහ රූප දෙකින් එකක් වල්ලහගොඩ පිහිටි කතරගම දේවාලයේ තිබූ බව ලෝරි පවසයි (අනෙක් සිංහ රූපය සිංහයාපිටිය අම්බලම අසල එවකට තිබී ඇත.)
  • කැන්දගොල්ල
අම්බුළුවාව කන්ද
ගඟ පහල කෝරළය
නැගෙනහිරෙන් මහවැලි ගඟින්, දකුණින් ගඟ ඉහල කෝරළයෙන්, බටහිරෙන් සතර කෝරළයෙන් සහ උතුරින් උඩුනුවර රටින් වට වූ ගඟ පහල කෝරළය තුල තිබූ ගම් ලෙස පහත ගම් හඳුනාගත හැක.
  • බෝවල -  ගබඩාගමක් ලෙස පැවසෙන මෙම ගම තුල සිංහලේ අවසාන රජුට අයත් පුවක් ගබඩා කර තිබී ඇත. මෙහි තිබූ හපුගස්තැන්නේ විහාරය හෙවත් පාලු විහාරය 1858 ට බොහෝ කලකට පෙර අතහැර දමා තිබූ හෙයින් එම විහාරය උදෙසා ඉදිරිපත් කල බදු වලින් නිදහස් කිරීමේ ඉල්ලීම ප්‍රතික්ෂේප විය. උපාසකගේ නම් වූ පවුලට අයත් ජනයා එහි බෝ මළුව පිරිසිදු කිරීම ආදී සේවාවන් සිදු කරමින් සිට ඇත. පසුව ඒ අසල අලුත් විහාරයක් ඉදි කර ඇත. උඩපලාතේ මාම්පිටියේ රටේ මහත්මයා මෙම ගම්මානයේ ජීවත් වී ඇත. පහත්කුඹුර නම් වූ කුඩා ගමක්ද මෙම ගම තුල තිබී ඇත.
  • ඇල්පිටිය - රත්වත්තේ දිසාව විසින් අස්වැද්දූ රාජකීය කෙත් සහිත ගමකි. ගල්ගෙඩි ඔය මගින් ජලය සපයන රජ ඇල මෙම ගමටද වගාව සඳහා ජලය සපයයි. සැතපුම් 3 දිග එම ඇලේ අමුණ කිරින්දේ ගම තුල පිහිටා ඇත. බොහෝ කලකට පෙර ගම තුල පදිංචි වූ මුස්ලිම්වරු කිහිපදෙනෙක්ද ඇල්පිටිය ගමේ එවකට සිට ඇත. ඔවුන් රජුට ගැල් වලින් බඩු ගෙන ඒමේ සේවාව (මඩිගේ) සිදුකර ඇත. ඉංග්‍රීසීන් විසින් ඉදි කල කොටුවක්ද ගම තුල කන්දක් උඩ තිබී ඇති අතර එය තිබූ කඳු වැටිය ඔස්සේ මහනුවර සිට ගම්පොල දක්වා වූ පැරණි මාර්ගය තිබී ඇති බව පැවසේ. ගනේගොඩ දේවාලයට අයත් ඉඩම් වල විසූ මෙහි සිටි මුස්ලිම් ජනයා එම දේවාලයට ලුනු සැපයීමේ සේවාව ඉටු කර ඇත. ඇල්පිටියේ වලව්ව පානබොක්කේ පරපුරට අයත් වලව්වකි. මෙම ගමේ විහාරය සතු ඉඩම් සඳහාද බදු වලින් නිදහස් කිරීමේ ඉල්ලීම ප්‍රතික්ශේප වී ඇත. 
  • ගම්පොල - ගඟ පහල කෝරලයට මෙන්ම ගඟ ඉහල කෝරලයටද අයත් වූ ගම්පොල ඒ වනවිටද උසාවියක්, පොලීසියක්, ටෙලිග්‍රාප් කාර්යාලයක්, ක්‍රිස්තියානි සහ මුස්ලිම් පල්ලි, හින්දු කෝවිල්, ඉංග්‍රීසි, සිංහල සහ දෙමළ භාෂා පාසැල් , දුම්රිය ස්ථානයක් සහ තානයමක්ද තිබූ නගරයකින්ද යුක්ත විය. මහවැලි ගඟ හරහා එල්ලෙන පාලමක්ද තිබී ඇත.
Gampola Athletic & Cricket Club - Gampola
  • කහටපිටිය - වෙල්ලාල  එනම් ගොවි කුලයේ ජනයා, බඩහැල් කුලයේ එනම් මැටි කර්මාන්තයේ නියැලෙන පිරිස් සහ මුස්ලිම් ජනයා වාසය කල ගමකි.  පානබොක්කේ පරම්පරාවට අයත් පැරණි වලව්වක්ද මෙම ගම තුල තිබී ඇත. පානබොක්කේ රටේ මහත්මයාගේ (ජ්‍යෙෂ්ඨ) සොහොන පවා තිබූ උනම්බුවේ පරම්පරාවට අයත් ගම තුල පිහිටි සුසාන භූමියේ ඒ වන විට චර්ච් මිෂණාරි පාසැලක් (A Church Missionary School) ඉදිකර තිබී ඇත. ප්‍රකට මුස්ලිම් පල්ලියක් කහටපිටියේ තිබී ඇති අතර එහි පිහිටි "මක්කම් සොහොන් ගෙය" මක්කම සිට එහි පැමිණි ශාන්තුවරයෙකුගේ බව පැවසේ. 'බේත්ගේ' හෙවත් රජුගේ වෛද්‍ය දෙපාර්තමේන්තුවට අනුයුක්ත මුස්ලිම් වෙද පරපුරක් උඩුනුවර සිට පැමිණ මෙහි පදිංචි වී සිට ඇත. ඇම්බැක්ක, ගඩලාදෙනිය, ලංකාතිලක, වල්ලහගොඩ සහ වේගිරිය දේවාල වල පෙරහැරවල් දියකැපීමේ කාර්යය සිදු කල බෝතලපිටියේ බෝමළුව මෙම ගම තුල පිහිටා තිබූ අතර මහවැලි ගඟේ පිහිටි පෝරුතොට නම් ස්ථානයේ දියකැපීම සිදු කර ඇත. ජනප්‍රවාද වලට අනුව මෙම බෝමළුවේ හෙනකඳ බිසෝ බණ්ඩාර දේවියගේ දේහය ආදාහනය කිරීමද සිදු කර ඇත. නටබුන් තත්වයේ පැවති ගංගාතිලක විහාරයේ 1858 දී කහටපිටියේ රත්නපාල උන්නාන්සේ විහාරාධිපති පදවිය දරා ඇත. උනම්බුවේ මොහොට්ටාල සහ උනම්බුවේ රටේ මහත්මයා ඉල්ලවතුරේ විහාරයට පූජා කල ඉඩම්ද මෙම ගම තුල තිබී ඇත.
ගම්පොල - මාවනැල්ල මාර්ගයට (B279) දිස්වන දොලොස්බාගේ සහ සතර කෝරලය ප්‍රදේශයේ කඳු
  • කිරින්ද - උඩෝවිටකිරින්ද සහ ඇල්පිටිය  කිරින්ද ආරච්චි වසමට අයත් ගම් වේ. කිරින්ද ගමේ ඉඩම් විශාල ප්‍රමාණයක් කිරින්දේ වලව්වට අයත්ව තිබී ඇති අතර එම වලව්වට සේවා සැපයූ වහුම්පුර කුලයේ පිරිස හැරුන විට ගමේ සෙසු පුද්ගලයන් ගොවි කුලයට අයත් පුද්ගලයන්ය. පරාක්‍රමබාහු නම් රජෙකුගේ රාජ්‍ය කාලයේ ලංකාධිකාරි නම් පුද්ගලයෙකු ඉදිකල බව පැවසෙන කිරින්දේ පරණ විහාරය සහ පසු කලක ඉදි කල කිරින්දේ අලුත් විහාරය ලෙසින් විහාර දෙකක් මෙම ගම තුල තිබී ඇත. අලුත් විහාරයේ ඉඩම් ලියාපදිංචියට ඒ වන විටද වසර 23 ක් එම විහාරයේ විහාරාධිපති ධූරය දැරු හලදස්සී උන්නාන්සේ කල ඉල්ලීම 1858 දී ප්‍රතික්ශේප වී ඇත්තේ උන්වහන්සේ සතුව එය තහවුරු කිරීම උදෙසා රජුගෙන් ලද සන්නසක් නොමැති වීම හේතුවෙනි. නමුත් වෙනත් රදලයන් විසින් විහාරයට ඉඩම් පූජා කිරීම් පිළිබඳව වූ සන්නස් 4 ක පරිවර්තන ලෝරි ඉදිරිපත් කර ඇත.
  • කිරපනේ - කිරපනේ මොල්ලිගොඩපිටිය, අගලකුඹුර සහ  ඉල්ලවතුර කිරපනේ ආරච්චි වසමට අයත් ගම් වේ. සිංහයාපිටිය වත්තේ ජෝජ් බර්ඩ් (Mr. George Bird of Sinhayapitiya estate) නම් ඉංග්‍රීසි ජාතිකයෙකු 1834 වසරේදී මෙම් ගමේ කොස් ගසක් මත තිබූ පැලක සිට වන අලි තිදෙනෙකු වෙඩි තැබූ බව ලෝරි පවසයි. එම යුගය වන විටද වන අලි මෙම ප්‍රදේශයේ සැරිසැරූ බව ඔහු එම වෙඩි තැබීම සිදු කලේ වන අලින්ගෙන් ආරක්ෂා වී රාත්‍රිය ගත කිරීම උදෙසා ගම්මුන් විසින් තැනූ පැලක් තුල සිට බව පැවසීමෙන් පැහැදිලි වේ. මහනුවර කතරගම දේවාලයට සහ නියංගම්පාය විහාරයට සේවා ඉටුකල පුද්ගලයන් මෙම ගමේ සිට ඇත.
  • රත්මලකඩුව - විදාන දුරයා කෙනෙකු යටතේ පාලනය වූ ග්‍රාමයකි. නියංගම්පාය විහාරයට හේවිසි සේවාව සැපයූ ජනයා මෙම ගම තුල සිට ඇත.
ගම්පොල-පුපුරැස්ස මාර්ගයට (B125) දිස්වන අම්බුළුවාව කඳු පංතිය. මෙම කඳු පහල පෙදෙසේ ගඟ ඉහල කෝරළය සහ ගඟ පහල කෝරළයට අයත් ගම් පිහිටයි
  • උනම්බුව- වෙල්ලාල හෙවත් ගොවි කුල ජනයා විසූ ගමකි. තෙන්නකෝන් වාසගම සහිත පරම්පරාවට අයත් උනම්බුවේ වලව්ව මෙම ගමේ පිහිටා තිබී ඇත. සිංහලේ අවසාන රජ සමයේ බත්වඩන නිළමේ ධූරය දැරූ නිළමේ වරයෙකු 1818 දක්වාත් මෙම ගමේ වාසය කර ඇති අතර එම වර්ෂ වල සිදුවූ උඩරට නිදහස් අරගලයේදී කැරලිකරුවන් විසින් ඔහුගේ නිවස ගිනි තබා ඔහුව සිර භාරයට ගෙන ඇත.  කිරින්දේ අලුත් විහාරයට ඔහු තෙවරක්ම ඉඩම් ප්‍රදානය කර ඇත. 1804 ඉංග්‍රීසින් සමග යුද්ධයේදී කල සේවය වෙනුවෙන් මෙම ගමේ විසූ කූණමඩුවේ ලේකම් ධූරය දැරූ උනම්බුවේ රාජකරුණා තෙන්නකෝන් වාහල මුදියන්සේ සන්නසක් ලබා ඇත. 1815 ඉංග්‍රීසීන්  පැමිණීමට ටික කලකට පෙර කොත්මලේ රටේ මහත්මයා වූ උඩපලාතේ උනම්බුවේ මොහොට්ටාල ඉල්ලවතුරේ විහාරය ඉදිකර එයට ඉඩම් ප්‍රදානය කර ඇත. මෙම විහාරයේ ඉඩම්  බදු වලින් නිදහස් වීම උදෙසා කල ඉල්ලීමද ප්‍රතික්ශේප වී ඇත (ලෝරි සඳහන් කරන ආකාරයට ඉල්ලවතුර මුස්ලිම් ගම්මානයකි.) උනම්බුවේ මැද වලව්ව නමින් වූ වලව්වක් පිළිබඳවද ලෝරි සඳන් කර ඇත. උනම්බුවේ ගමේ විසූ මෙවැනි රදල පවුල් වල සාමාජිකයන් විශාල පිරිසකගේ විස්තර ලෝරිගේ වාර්තාවේ ඇතුලත්ය. ඒ අතර මීගමුවේ කොටුවට ප්‍රහාර එල්ලකිරීම පිණිස ශක වර්ෂ 1683 (ක්‍රි.ව. 1761) සිය දේපල දරුවට පවරා ගිය අප්පුහාමි නම් වූ රටේ මහත්මයා පදවිය ලැබූ පුද්ගලයෙකු පිළිබඳවද, එවැනිම දේපල පවරා දඹදිව ගිය (Proceed to the Continent of India) උඩපලාතේ උනම්බුවේ මහන්තගේ පුංචිරාල නම් වූ පුද්ගලයෙකු පිලිබඳවද ආදී වූ සන්නස් සහ තුඩපත් කිහිපයක්ද ලෝරි ඉදිරිපත් කරයි. උනම්බුවේ ගම තුල වූ පැරණි විහාරය කීර්ති ශ්‍රී රාජසිංහ රජු කල ඉදිකර ඇති අතර එයට උනම්බුවේ දිසාව සහ ගම්මුන් ඉඩම් ප්‍රදානය කර ඇත. පැරණි විහාරය අසලම කඳු ගැටයක් මත 1834 දී එවකට උනම්බුවේ උඩපලාතේ දිසාව විසින් අලුත් විහාරය ඉදි කර ඇත.
  • උඩුපිටිය - ගම්පොල පිහිටි කුඩා ගමකි. මුස්ලිම් ජනයා වාසය කර ඇත.
මූලාශ්‍ර
  • A gazetteer of the Central Province of Ceylon (Excluding Walapane), Volume 1, A.C. Lawrie, 1896
  • A gazetteer of the Central Province of Ceylon (Excluding Walapane), Volume 2, A.C. Lawrie, 1898

11 comments:

  1. දොළොස්බාගේ ඉඳලා තරමක් පටු කඳුකර පාරක ඇවිත් අවිස්සාවේල්ලට ආවා, අහබෙන්. ඉතාම රමණීය දසුන් පෙළක්ම ඇස ගැටුනා. ඇත්තටම මාතලේ රිවර්ස්ටන් පාර, හපුතලේ දඹේතැන්න පාර වගේම හිතේ රැඳුනා. මේකේ විශේෂත්වය වඩාත් දුර නොවීම...

    ආයෙම යන්න හිතුනා, මේ ලිපියත් තුන්-හතර පාරක්ම කියවලා- ඔළුවේ ගබඩා කරගෙන.

    ReplyDelete
    Replies
    1. ඔබ එන්න ඇත්තේ දේදුගල, බුලත්කොහුපිටිය හරහා කරවනැල්ලට. මමත් ඒ පාරේ බුලත්කොහුපිටියේ සිට ඇවිත් තියෙනවා. ඔබ සඳහන් කල පාරවල් වගේම ලස්සනයි, හැබැයි වෙනස් ලස්සනක් තියෙන්නේ.

      Delete
  2. මොකද්ද මේ ගම් තුළ ගම් කතාව?

    ReplyDelete
  3. Hamlet ලෙසින් තමා එම ගම් හඳුන්වලා තියෙන්නේ. උදාහරණයක් වශයෙන් Kurukude is a hamlet of Kudamake. භූගෝලිය සහ සමාජීය වශයෙන් එක ගමක් තුල වෙනම පිහිටි පවුල් කිහිපයක් ( සමහර විට 3-4 වගේ අඩු සංඛ්‍යාවක්) සිටි පෙදෙසක් එසේ හඳුන්වපු බව තමා පේන්නේ. උදාහරණයක් වශයෙන් කුල ක්‍රමය අනුව ගොවි කුලයට අයත් පවුල් බහු ලව වසන ගමක ඔවුන්ට සේවාවන් සැපයූ වහුම්පුර හෝ රදවා කුලයේ ජනයා එම ගමේම කොනක පවුල් කිහිපයක් ලෙස වෙනම නමකින් යුත් ගමක් ලෙස උන්න අවස්තාවක්, එහෙම නැතිනම් ගමේ වැඩි පවුල් සංඛ්‍යාවක් වෙසෙන ප්‍රදෙශයට ඉහලින් වූ කන්දක් මත හුදකලා වූ පවුල් කිහිපයක් වෙසේ නම් එම කොටසට වෙනම නමක් ව්‍යවහාර උනා. හැබැයි එම ගමත් පෙර කී ගමටම තමා අයත් වන්නේ. කොහොම නමුත් අද වෙනකොට මේ ගම් එක්කෝ හඳුනාගත නොහැකි ලෙස ප්‍රදාන ගමටම මුහු වෙලා එහෙම නැත්නම් වෙනත්ම විශාල ගමක් බවට පත් වෙලා කියලා ඇතැම් තැන් වලදි පේන්න තිබ්බා

    ReplyDelete
  4. මාත් හිතන්නෙ නෑ. ඒකාලෙ හේන් ගොවිතැනෙන් ලොකු පරිසර හානියක් වුනයි කියලා. ඒවා කොහොමත් කෝපි තේ වගේ මහාපරිමාණ වාණිජ වගා වගේ විශාල වපසරියක් එකපාර එලිකරන ඒවා නෙමෙයි. හැබැයි හේන්වලින් විනාශයක් නොවීමට ජනගහනයේ අඩුබවත් බලපෑවා නේද? ඉස්සර හේන් කැලයට යාමට අතහැර දාන්න පුලුවන්කම තිබුනා. දැන්වගේ හැමතැනම ගෙවල් හදන්න වුනෙත් නෑ.

    ඉතිහාසය කොහොමවුනත් බූෂණ හිතන්නෙ නැද්ද දැන් ලංකාවෙ සිරස් අතට සංවර්ධනය vertical growth(තට්ටු නිවාස ) හෝ නිවාස සංකීර්ණ කොළඹින් පිටතත් ගෙනියන්න ඕනෙ කියල?
    මට යුරෝපීය රටවල විදිහට හැමතිස්සෙම පෙනෙන striking දෙයක් තමයි කොයිතරම් උද්‍යාන වෝකින් පාත්ස් වගේ මහජන ස්ථාන, ගංගා හා ජලාශ අද්දර රිසර්වේශන්, විශාල තෘණ භූමි, විවෘත් ගොවිභූමි, ලොකු කුඩා නේචර් රිසර්ව්ස්, පාර්ක්ස් කොයිතරම් තියනවද කියන එක. ඒ රට විශාල නිසාම නෙමෙයි. ඒවායේ විශාල ජනගහණත් ඉන්නවා. open public spaces ඕනෙ තරම් හැමතැනම තියනවා. හේතුව නිවාස එකතැනකට concentrate කරලා තියන එක නේද? හැමතැනම තමන්ට ඕනෙ විදිහට ගෙවල් හදන්න බෑ

    ReplyDelete
    Replies
    1. ඔව් හේන් ගොවිතැනින් හානියක් සිදු නොවෙන්න ප්‍රධානම හේතුවක් තමා අඩු ජනගහනය සහ අධි පාරිභෝගික නොවන සරල ජීවන රටාව. අද තත්වය එක්ක ගත්තම කිසිසේත්ම හේන් ගොවිතැන සඳහා කැලෑ එලි කිරීම අනුමත කරන්න බැහැ. විශේෂයෙන් තෙත් කලාපයේ සහ කඳුකරයේ වනාන්තර සහ වෙනත් පරිසර පද්ධති (පතන් බිම් වගේ.) එකක් පසු කාලීන ආර්තික භෝග වගාවන්ට සහ ශ්‍රීඝ්‍රයෙන් සිදුවූ ජනගහන වර්දනයට සාපේක්ෂව නිවාස තැනීම වැනි වෙනත් අවශ්‍යතාවයන් සඳහා ඒ යුගයේ තිබූ වන වැස්මෙන් විශාල ප්‍රමාණයක් මේ වන විට නැතිවෙලා අනික අද භෝග වහා කරන්නේ තමුන්ගේ පරිභෝජනයට සුළු ප්‍රමාණයක් නෙමේ විකීනීමට මහා පරිමාණයෙන්. එදා එක කන්නයකදි හේනක් කලාම ආයෙමත් වසර 6 ක් හෝ වැඩි කාලයක් කැලය වැවෙන්න අතහැර දමනවා. ඒ වෙනුවට වෙනත් තැනක තමා ඊලග හේන කරන්නේ. ඒකයි මන් කිව්වේ මුලින් තිබ්බ නොයිදුල් වනාන්තරය (එහෙම එකක් තිබ්බා නම් කලින් හේන් වගා සඳහා එලි නොවී ) නොවුනත් මේ කාලය තුල නැවතත් වනාන්තරය සැලකිය යුතු මට්ටමෙන් හොඳ තත්වයකට එනවා ඒ කාලේ හේන් වගා කල විදිහට. තේ කෝපි වගාවන්ට වනාන්තර එලි කලාට පසු කිසිම දිනක එම බිම් නැවත මේ තත්වයට එන්නේ නැහැ. සියවස් ගනනකට පසු අතහැර දැම්මත් එම බිම් වල නැවැත ස්වභාවික වනාන්තර වැවීමට අවශ්‍ය බීජ පසේ නැහැ. වෙනත් තැනකින් එන්නවත් අසල වනාන්තර නැහැ. ආවත් පොලව නිසරුයි වැවෙන්නේ නැහැ.

      අනිවාර්යයෙන්ම ලංකාවේ ඉදිරියට නිවාස ඉදිකිරීම් පෙට්ටි ගෙවල් වෙනුවට නිවාස සංකීර්න බවට පත්විය යුතුයි. ඒක ප්‍රදාන නගර සහ අනෙකුත් නගර වල පමණක් නොවේ ගම් වලටත් ව්‍යාප්ත විය යුතුයි. අනික් අතට ඒවා පුද්ගලික හිමිකම් වෙනුවට රජයට හෝ වෙනත් පෞද්ගලික සමාගම් වලට අයත් පදිංචි වන පුද්ගලයක් මාසිකව ගානක් (rent) ගෙවා සිටින Apartments විය යුතුයි. පරම්පරා ගානකට ඉන්න ගෙවල් හදන මානසිකත්වයෙන් අපි ඈත් විය යුතුයි. කොහොමත් අද කාලේ හදන ගෙයක් අවුරුදු 50 ක්වත් තියෙන්නේ නැහැ හරියට. යුරෝපීය රටවල ඒවා ක්‍රියාත්මක වන විදිහෙන් අපිට ගොඩක් දේවල් ඉගෙන ගන්න පුලුවන් ඔබ කිව්වා වගේ.

      Delete
  5. දොලොස්බාගේන් මෙපිට,ගගවරලිය,දේදුගල ,බුලත්කොහුපිටිය ආසන්නයට ජනාවාස බිහිවුනේ කොයි කාලෙදිද???සිංහල ජනාවාස තිබිලද??නොඑසේනම් තේ වතු අශ්ශ්‍රිතව පසුව ජනාවාස බිහිවෙලාද??

    ReplyDelete
    Replies
    1. නම් වලිනුත් පෙනෙන විදිහට පැරණි සතර කෝරළයට අයත් පෙදෙසේ පිහිටන එම ගම් පැරණි ගම් විය යුතුයි. මෙම ලිපි පෙලට මූලාශ්‍ර වූ ලෝරිගේ ගැසටියර් වල එම ප්‍රදේශ ගැන නැහැ. නමුත් කඩයිම් පොත් සහ ලේකම්මිටි වල තියෙන්න ඕනේ. ඒවා බලලා ඉදිරියේදි ඒ ගැන ලියන්න බලන්නම්

      Delete
    2. බොහොම ස්තුති.මේ ප්‍රදෙශයේ හොයාබලන්න එනවනම් මගේ resort එකේ නතරවෙලා ඒ දේවල් කරන්න.අපිට පුලුවන් සහයෝගය අපි දෙන්නම්

      Delete
  6. ගොඩගම දකුණ ප්‍රදේශයේ ඉතිහාසය

    ReplyDelete