Saturday, February 4, 2017

නැගෙනහිර බොදු උරුමය 5 - බුදුන් විසූ රජගහනුවර අම්පාරේ රජගලද?

මෙරට ජනයා තරම් මිත්‍යාව හිස් මුදුනින් පිළිගන්නා ජාතියක් ලොව කවර නම් වූ රටකවත් නොසිටිනවා ඇත. ඕනෑම බොරු කාරයෙකුට මෙරටදි 'හිට්' වෙන පන්නයේ ඉතිහාස කතාවක් ගොතා ගත හැකි නම් ඔහුට ඉතා ඉක්මනින් ජනප්‍රිය විය හැකි අතර සැලකිය යුතු ආදායමක්ද ඉන් උපයා ගත හැක. කලකට පෙර 'රාවණා බ්‍රදර්ස්ලා' සහ ඔවුන්ට කතා ගොතා දුන් සූරිය ගුණසේකරලාද, අරිසෙන් අහුබුදුලාද, මිරැන්ඩෝලාද මෙරට රාවණා රැල්ලක් මැවීය. ඇසින් දුටුව පරිදි රාවණා කල සූර වීර ක්‍රියා පත්තර පිටු ගනන් පුරා පළවිය, පොත් දුසිම් ගණනින් පලවී උණු කැවුම් මෙන් විකුණුනි. මෙවැනිම රැල්ලක් බුදුන් මෙරට උපන් බව පවසමින් එක් හිමි නමක් විසින් ඇති කල අතර ඒ හිමියන්ට අනුව රජගල යනු මාගධයේ අගනුවර ලෙස බෞද්ධ සාහිත්‍යයෙහි සඳහන් වන රජගහ නුවරය. අද වන විට මේ මිත්‍යාව කොතරම් දුර ගොස් ඇත්ද යත් වන්දනා නඩ රැගෙන රජගහ නුවර ස්ථාන පෙන්වමින් යන 'ගයිඩ්ලා' අසරණ ජනතාවගේ මුදල් කොල්ලකමින් රජගල පෙදෙසේ නිබදව සැරිසරයි. රජගල යනු රජගහනුවරද? මේ රජගල පිළිබඳව එම ස්ථානයේ ඇති සෙල්ලිපි සහ වංශකතා ඇසුරින් කෙරෙන විමසුමකි.
සංරක්ෂණය වෙමින් පවතින ස්ථූපයක්
 රජගල හෙවත් රාස්සහෙළ ලෙස වර්තමානයේ හැඳින්වෙන යුග කිහිපයකටම අයත් ආරාම නටබුන් හමුවන මේම ස්ථානය පිළිබඳව අප මෙයට පෙරද කතා කලෙමු.
අඩක් නිමවන ලද හිටි පිළිමයක්
මේ ස්ථානයේ ඇති ගල් පර්වතයක කොටා ඇති සෙල් ලිපි රැසක් සෙනරත් පරණවිතාන මහතා විසින් කියවා ප්‍රකාශයට පත් කර ඇත. ඉන් එක් ලිපියකින් කියවෙන්නේ ඈපා දළ්සිව ගේ නියෝගයෙන් මාළත්තෙ, ගුළවැල්ලැ, මීවන්ගමු යන තැන්හී පිහිටි ඉඩම් අරිත්තාරා වෙහෙර වාසි හිමියන්ට පිරිනැමූ බවය. එම නියෝගය සහිත සෙල්ලිපිය ලියවා ඇත්තේ එහිම කියවෙන පරිදි ලම්ජනවු වාසි දය් විසිනි.  ඒ ආසන්නයේම දැකිය හැකි අක්ෂර රටාව අනුව එම කාලයටම අයත් තවත් ගිරි ලිපියකින් කියවෙන්නේ වීරාංකුරා ගේ නියෝගය පරිදි අරිත්තාරා වෙහෙර වසන හිමියන්ට සිව්පසය උදෙසා සරට්වැග පිහිටි මහාවැගණ ඉඩම් පවරා දුන් බවය. ලම්ජනවු හී වීරාංකුරා විසින් ලියැවූ තවත් සෙල්ලිපියක් මගින් කියවෙන්නේ සෙන් ගේ නියෝග පරිදි අරිත්තාරා වෙහෙර වාසී හිමියන්ගේ සිව්පසය උදෙසා ගළ්හොය දකුණු දිග පිහිටි දිගැ(පිඩු)ල්ලෙ සොරුයුර් හා ලම්ජනවු හි කලල්වැලි හි පිහිටි ඉඩම් පවරා දුන් බවය.
තහවුරු කල ගොඩනැගිල්ලක්
මෙහි සඳහන් වන පුද්ගල නාම අතුරින් ඈපා දළ්සිව යන නාමය මහාවංශයේ සදහන් වන ආදිපාද දාඨාශිව ලෙස පහසුවෙන් හඳුනාගත හැක. පළමුවන උදය (ක්‍රි.ව. 797-801) රජතුමාගේ කාලයේ රුහුණු රට ආදායම් පාලකයා ලෙස ඔහු ගැන සඳහන් වේ. මහාවංශයේ සඳහන් වන ලෙසට මෙම ආදිපාද  දාඨාශිව ගෙ පුත් වූ මහින්ද කුමරුවා රජරට සිටි පාලකයා වූ පළමුවන උදය රජු සමග මිතුරුව ඔහුගේ දියණිය වූ දේවා ද සරණ පාවා ගෙන  බල සෙන් ගෙන රුහුණට ගොස් සිය පියා දඹදිවට පලවා හැර රුහුණේ බලය පැහැර ගත්හ. මෙම සිදුවීම වන්නේ වංශ කතාවට අනුව වසර පහක් පමණක් සිහසුන හෙබවූ පළමුවන උදය රජතුමාගේ කාලයේ බැවින් ආදිපාද දාඨාශිව මෙම ඉඩම් ප්‍රදානය කරන්නට ඇත්තේ පළමුවන උදය රජුට පෙර සිටි පාලකයා වන දෙවන මහින්ද (ක්‍රි.ව. 777-797) රජුගේ කාලයේ විය හැකි බවට පරණවිතාන මහතා විශ්වාස කරයි. කෙසේ නමුත් අක්ෂර රටාව අනුව මෙම ලිපිය 8 වන ශතවර්ෂයේ දෙවන භාගයට ස්ථිරවම අයත් බව ඔහු වැඩිදුරටත් සඳහන් කරයි. ඒ අනුව අපිට පැහැදිලි වන්නේ 8 වන ශතවර්ෂයේ මෙම ස්ථානය අරිත්තාරා වෙහෙර ලෙසින් හැඳින්වූ බවය.
වතුර රැස් කිරීමට සෑදූ විශාල ගල් පාත්‍රයක්

 ඉහත සෙල්ලිපි වල සඳහන් වන ස්ථාන නාම හඳුනාගැනීමේ උත්සාහයක් දරන C.W. නිකොලස් මහතා ලම්ජනව්හි කලල්වැලි යනු වර්තමාන දිවුලාන අවට ප්‍රදේශය ලෙසත් බොහෝවිට එම ප්‍රදේශය උහණ දක්වාම පැතිර තිබෙන්නට ඇති බවත් පවසයි. වර්තමානයේ අම්පාර නගරයට දකුණින් පිහිටි මුවන්ගොමුව එක් සෙල්ලිපියක සඳහන් වන මීවන්ගමු විය හැකි බවත් ගළ්හොය යනු වර්තමානයේද ගල් ඔය ලෙස හැඳින්වෙන ගංගාව බවත් ඔහු වැඩිදුරටත් සඳහන් කරයි. මෙම සෙල්ලිපි අයත් දෙවන මහින්දගේ කාලයේ සිදුවූ එක් වැදගත් සිදුවීමක්ද ගල් ඔය ගංගාව හා සම්බන්ධිතය. මෙතෙක් රුහුණු සහ රජරට අතර සීමාව ලෙස පැවති මහවැලි ගඟ වෙනුවට ගාළ්හ හොය එහි උතුරු සීමාව බවට පත්වී පෙර රුහුණු රටට අයත් භූමියෙන් කොටසක් රජරටට අයත් වන්නේද දෙවන මහින්ද විසින් රෝහණය ආක්‍රමණය කර එහි මාර පව්වේ කඳවුරු බැඳගැනීමත් සමගය.
තහවුරු කල ගොඩනැගිල්ලක්
ඉහත දෙවන මහින්ද රජුගේ ලිපි වලට පෙර යුග වලට අයත් ගිරි ලිපි කිහිපයක්ම මෙම ගල් පර්වතයේම ඇති අතර ඒ අතුරින් දෙවනපිය මහරජුගේ මුනුබුරු වූ පුටකණ ගමිණි අබහ නම් වූ උප රජ කෙනෙකුගේ ඔහු උපරජ ධූරයට පත්වූ දින මෙම විහාරයට පිරිනැමූ සවති සහ අටුසබ යන ගම් වර පිළිබඳව වූ සෙල් ලිපිය වැදගත් වේ. මෙහි සඳහන් උප රජ පසුව කූටකණ්ණ තිස්ස (ක්‍රි.පූ. 44-22) නමින් රජ වූ රජු බව පරණවිතාන මහතා හඳුනාගනී. එහෙත් මෙම ලිපියේ ස්ථානයේ නම සඳහන්ව නැත.
මුරගලක්
ඉන් මෑත යුගයකට අයත් කුටකණගමිණි තිස ගේ පුත් වූ නාග නම් වූ වෙනත් උපරජ කෙනෙක් ලජක රජුට අයත් කබඩුක නම් වූ වැව කුබිලපිතිස පර්වතයෙහි වූ විහාරයට පිරිනැමූ බව සඳහන් ලිපියක්ද මෙම ගල් පර්වතයෙහිම හමුවේ. මෙහි සඳහන් නාග නම් වූ උප රජු මහාදාඨික මහානාග (ක්‍රි.ව. 7-19) ලෙස වංශ කතා වල සඳහන් වන කූටකණ්ණ තිස්ස රජුගේ බාල පුත් බව පරණවිතාන මහතා හඳුනාගනී. ඒ අනුව මෙම පිරිනැමීම සිදු කරන කාලයේ ඔහු රෝහණයේ උප රජ ලෙස සිට ඇති බවත් ලජක රජ ලෙස හැඳින්වෙන්නේ එවකට මහ රජු වූ භාතික තිස්ස (ක්‍රි.පූ. 22 - ක්‍රි.ව. 7) රජු විය හැකි බවත් එතුමා වැඩිදුරටත් සඳහන් කරයි.

කැනීම් සිදු කෙරෙමින් පවතින ගොඩනැගිල්ලක්
ඉහත ගිරිලිපියට අනුව මෙම යුගයේ රජගල පර්වතය කුබිලපිතිස පවත (පර්වතය) ලෙස හඳුන්වා ඇති බව පෙනේ. මහාවංශයේ එන සඳහනකට අනුව ලඤ්ජතිස්ස (ක්‍රි.පූ. 119-109) රජු ගිරිකුම්භීල විහාර පූජාවේදී සැට දහසක් භික්ෂුන්ට තුන් සිවුරු පිරි නැමූ බව පැවසේ. ගිරිකුම්භීල ලෙස පෙළ බසට පෙරලෙන්නේ කුබිලපි පවත බවත් බොහෝවිට සද්ධාතිස්ස (ක්‍රි.පූ. 137-119) රජුට ගෞරව පිණිස හෝ සිය නම වන තිස යන්න එක්කරගනිමින් හෝ එය කුබිලපිතිස පවත ලෙස හැඳින්වෙන්නට ඇති බවත් සෙනරත් පරණවිතාන මහතා පවසයි. ඒ අනුව මේ විහාරයේ නිර්මාතෘ ලඤ්ජිතිස්ස බවට මෙයින් සාධක හමුවේ. ලජකතිස රජුගේ පුතෙකු වූද දෙවනපිය ගමිණි අබ මහ රජුගේ මුනුබුරු වූද ගමිණි අබය විය හැකි (එම නම සදහන් අකුරු බෙහෙවින් ගෙවී ඇත) කුමරුවකු විසින් සිදු කල මගුල් ලකුණක් ගැන වූ ගිරි ලිපියක්ද මෙම ස්ථානයේම හමුවන මුත් එම මගුල් ලකුණ කුමක්දැයි හඳුනාගෙන නැත. එය බොහෝ විට සිරිපතුල් ගලක් විය හැක.
වන ප්‍රවාහයට හසුවූ ගොඩනැගිල්ලක ගල් කණු
මහාසේන (ක්‍රි.ව. 274-301) රජු කුබලව සහ අරිය-අකර විහාරද ඇතුළු සියලු විහාර වල සිටින සංඝයා සමගි කර ධර්මයේ සුභසිද්ධිය උදෙසා සියක් කහවනු පිරිනැමූ බව පැවසෙන ගිරි ලිපියක්ද මේ ස්ථානයේම ඇත. මෙම විහාර දෙකම හෝ එකක් මේ ස්ථානයේ වූවා විය හැක. කුබලව යන්න මෙම ස්ථානයේ මූල් කාලීන නාමය වූ කුබිලපිතිස පවත යන්න හා සමගත් අරිය-අකර යන්න පසු කාලීන නාමය වූ අරිත්තාරා වෙහෙර යන්න සමගත් යම් සාම්‍යත්වයක් ඇති බව පෙනේ.
ලිපියේ සාකච්චා වන සෙල් ලිපි පිහිටි ගල්තලාව
ඉහත පුටකණ ගමිණි අබහ උපරජුගේ සෙල්ලිපිය ආසන්නයේම ඇති එහෙත් එහි කාලයට වඩා අවම වශයෙන් සියවසකටවත් පසු කාලයකට අයත් වන දිග-අව (දිඝාවාපිය) අසල වඩමනය (වඩ්ධමානක) යෙහි වසන කබකඩර නකගේ(නාග) පුත් අශ්වරෝහක නක (නාග) විසින් පිහිටවූ තවත් ගිරි ලිපියක සඳහන් වන්නේ ඔහු විසින් ගිරිකබල හෙවත් තිසමහාවිහාරයට අරියවස උත්සවයේ වියදම් සඳහා යොදාගැනීමට කහවනු සියයක් දුන් බවය. එම මුදල් වල පොලිය ඒ සඳහා යොදාගන්න ලෙස එහි සඳහන් වේ. පළමුවන හෝ දෙවන ශතවර්ෂයට අයත් තවත් ගිරි ලිපියකට අනුව රඛකල කුබලවි(තිස)පවත විහාරයට මජ(ග)මක නම් වූ පුද්ගලයකු සංඝයාගේ ලහ බත් සඳහා කහවනු 1000 පිදූ බව සඳහන් වේ. පසු කාලීනව රජගල බවට පරිවර්තනය වූ රාක්ෂගල යන්නෙහි මුල් ස්වරූපයේ මෙහි රඛකල යන්නෙහි ඇත.
ස්තූපයක් අසල ඇති සිරිපතුල් ගලක්
ගිරිකුම්භීල හෙවත් කිඹුල්ගල යන නාමය මුල් කාලයේදී මෙම පර්වතයට යෙදෙන්න ඇත්තේ එය දුර සිට බලන විට කිඹුලෙකුගේ හැඩයට පෙනෙන නිසා විය හැක. කිසියම් කලක එය රාක්ෂගල හෙවත් රඛකල ලෙසින් වෙනස් වී වර්තමානයේ රජගල බවට පත් වී ඇත. මේ අනුව මෙහි පිහිටියේ ගිරිකුම්භීල, කුබිලවිතිස පවත, අරිත්තාරා වෙහෙර, ගිරිකබල, තිසමහාවෙහෙර වැනි නම් වලින් එක් එක් කාලයේ හැඳින්වූ විහාරයක් විනා මාගධයේ අගනුවර වූ රජගහ නුවර නොවේ.

මූලාශ්‍ර
  • Nicholas C.W. 1963, Historical Topography of Ancient and Medieval Ceylon, Journal of the Ceylon Branch of the Royal Asiatic Society, New Series, Volume VI, Special Number. 
  • Mahavamsa The Great Chronicle of Sri Lanka, An Annotated new translation with Prolegomena by Ananda W. P. Guruge, 2005.
  • Chulavamsa, Being the more recent part of the Mahavamsa, Translated by Wilhelm Geiger And from the German into English by C. Mabel Rickmers, 1929
  • මහාවංශය සිංහල - බෞද්ධ සංස්කෘතික මධ්‍යස්ථානය.
  • Archaeological survey of Ceylon, Inscription of Ceylon Volume II, Part I, Late Brahmi Inscriptions, Paranavitana S., 1983
  • Archaeological survey of Ceylon, Inscription of Ceylon Volume II, Part II, Late Brahmi Inscriptions, Paranavitana S., 2001
  • Archaeological survey of Ceylon Epigraphia Zeylanica, being lithic and other inscriptions of Ceylon, Volume IV, 1934-1941 Edited by S. Paranavitana, 1943
  • රුහුණේ යටගියාව සහ සෙල්ලිපි, එල්ලාවල මේධානන්ද හිමි, 2013
  • බුදු සසුන බැබළුණු පැරණි පුදබිම්, එල්ලාවල මේධානන්ද හිමි, 2000
  • පාචීන පස්ස -උත්තර පස්ස නැගෙනහිර පළාත හා උතුරු පළාතේ සිංහල බෞද්ධ උරුමය,  එල්ලාවල මේධානන්ද ස්ථවිර., 

4 comments:

  1. අතිශය ඉහළින් අගය කරමි.

    ReplyDelete
    Replies
    1. බෙහෙවින්ම ස්තූතියි

      Delete
  2. බුදු පියාණන් වහන්සේ ලංකාවේ ඉපදුන එක හිස් මුදුනින් පිළිගන්න එවුන් දැක්කම
    මේ රටේ සාක්ෂරතාවය ගැන කියන කතා සම්බන්දයෙන් පුදුම සැකයක් තියෙන්නේ.
    වැස්සකට හරි ඉස්කෝලේ ගිය එකෙක් දන්නවා ඉන්දියාව තුල කොයි තරම් පුරා විද්‍යාත්මක සහ
    අනෙකුත් සාක්ෂි තියෙනවද කියල.
    එහෙම දෙයක් ඇත්තටම ලංකාවේ උනා නම් අපි බොහොම ශ්‍රේෂ්ටත්වයෙන් අදහන දුටු ගැමුණු රජ තුමා හෝ
    පාරක් ගානේ සෙල්ලිපි ලියපු නිස්සංක මල්ල රජතුමාට මග හැරෙන්නේ කොහොමද ?

    ReplyDelete
    Replies
    1. කියලා වැඩක් නැහැ. මේ රටේ තරම් ඕනෙම බොරුවක් කියලා ලේසියෙන් අන්දන්න පුළුවන් මිනිස්සු ලෝකේ කොහෙවත් නැතිව ඇති.

      Delete