Sunday, January 22, 2017

මුල් ගල් ඉදිරීම, අනුන්ගේ දරුවන්ට උප්පැන්න දීම සහ නිශ්ශංකමල්ලගේ ගල් ආසන සෙල්ලිපියක්


එදා මෙදා තුර විවිධ ආකාරයේ පාලකයන් මේ ලක්දිව සිංහාසනාරූඩව සිට ඇති අතර ඔවුන්ගෙන් රටට, ජාතියට සහ සාසනයට සිදුවූ සේවය වංශ කතා, සෙල් ලිපි සහ වෙනත් පුරාවිද්‍යාත්මක ගවේශන ඔස්සේ අද අපට විමසා බැලිය හැක. ඒ අනුව ඉතිහාසයේ සිටි ඇතැම් රජවරුන් ශ්‍රේෂ්ඨ නරපතියන් ලෙස වර්තමානයේ සිටින අප පොදුවේ පිලිගන්නා මුත් ඇතමුන් සම්බන්ධව මෙරට ජාතියක් ලෙස සිතන බහුතරයකට ඇත්තේ එතරම් හොඳ ප්‍රතිරූපයක් නොවේ. උදාහරණයක් ලෙස දේවානම්පියතිස්ස, දුටුගැමුණු, වළගම්බා, ධාතුසේන, 1 වන විජයබාහු, මහා පරාක්‍රමබාහු, 6 වන පරාක්‍රමබාහු, 1 වන විමලධර්මසූරිය, වැන්නන් මින් පලමු ගණයට අයත් වන අතර, කෝට්ටේ යුගයේ සිටි දොන් ජුවන් ධර්මපාල මෙරට සිටි බෙලහීනම රට ජාතිය පාවාදෙන්නෙකු ලෙස ඉතිහාස ගතවී ඇත. මේ වර්ග කිරීම උපතින් අවජාතක, ජාතිය විජාතික නව පරපුරු සහ ඊණියා හිවල් සමාජ වල නපුංසක ගෝත්‍රිකයන්ට වෙනත් ආකාරයකට පෙනෙනවා ඇත. නමුත් එය අපට අදාල කාරණයක් නොවේ.

එදා මෙන්ම අදත් රට පරසතුරන්ගෙන් මුදවාගත් පාලකයන් මෙන්ම රටේ කැබැලි බාහිර සහ අභ්‍යන්තර සතුරන්ගේ ඕනෑ එපෑකම් පිරිමැසීමට ඔවුන්ට පවරා දීමට ගිවිසුම් ගැසූ දොන් ජුවන් ධර්මපාලලාද මෙරට සිටියහ. රටේ බත් කන ජාතියක් ජම්මයක් ඇති සුජාත පුත්‍රයන්ගේ කරුමයකට තණකොළ බුදින බහුතරයකගේ කැමැත්තෙන් එවන් දොන් ජුවන් ධර්මපාලලා ඇතැම් විට නැවතත් සිංහාසනාරූඩ වීමද ලොවේ කොහේ සිදු නොවූවත් මේ රටේ නම් නැවත නැවතත් සිදුවෙමින් පවතී. එවන් දොන් ජුවන් ලාට ඔවුන්ව බලයට ගෙන ඒමට අත හිත දුන් 'අල්ලපු රට වල හොටබරි' සහ 'බටහිර නරි' පිනවීම විනා ජනතාවගේ හිත සුව උදෙසා කල යුතු සංවර්ධන වැඩකටයුතු කිරීමේ උවමනාවක් කොහෙත්ම ඇත්තේ නැත. එහෙත් ඔවුන් අනුන් කල දේවලට බෝඩ් ගසා ගැනීම සහ ඒවා තමුන්ගේ සංකල්ප බව පුන පුනා දෙසා බෑම නම් අනවරතයෙන් සිදු කරයි. නෙලුම් පොකුණට, අධිවේගි මාර්ග වලට, මාගම්පුර ස්විමින් පූල් එකට, මත්තල වී ගබඩාවට තාත්තලා බාප්පලා මදිවාට අත්තනගල්ල පැත්තේ පිස්සු අම්මණ්ඩිලාද අයිතිය ඉල්ලති. කොළඹ නගරය අවට සිදුවූ නගර සංවර්ධන වැඩකටයුතු වල මුල් 'මුල් ගල්' ඉදීරී අලුතින් මුල්ගල් සහ අවසන් කිරීමේ ගල් පමණක් පැලවී උත්සව ශ්‍රීයෙන් විවෘත වී ඇති බව සීතාවක උද්භීද උද්‍යානය, බැද්දගාන ජෛවවිවිධත්ව උද්‍යානය පමණක් නොව කොට්ටාව - කඩවත වට රවුම් පාරේ සැරිසරන විටද බලාගත හැක. නම් වශයෙන් සඳහන් නොකලද ලොකු කුඩා එවන් තවත් තැන් එමටය.

මිට පෙර අප කතා කල පඬුවස්නුවර රජ මාළිගයට පිවිසීමේදිද පූර්ව කාලයේ විසූ පාලකයෙකුගේ ගලේ කෙටූ අකුරු පෙලක් අපට බලා ගත හැක. ඔහු අන් කවරෙකුවත් නොව පොළොන්නරු යුගයේ වසර 9 ක් රට පාලනය කල නිශ්ශංකමල්ලය. නිශ්ශංකමල්ල (ක්‍රි.ව. 1187-1196) වනාහී මෙරට වැඩිම සෙල් ලිපි ගණනාවක් පිහිටවූ පාලකයා විය හැක. දැනට කියවා පලකර ඇති එතුමන්ගේ සෙල්ලිපි ප්‍රමාණය 64 පමණ වේ. බොහෝවිට එකම කාරණා නැවත නැවතත් කියන මෙම ලිපි වලින් ඔහුගේ අතිශයෝක්තියට නැගූ වීර ක්‍රියා වලට අමතරව ජනතාවගේ සුභ සිද්ධිය උදෙසා ඔහු ඉටු කල ඇතැම් දේද නැතුවා නොවේ (ඒ අතින් නම් ඔහු වර්තමාන වික්කම+මල්ලලාට වඩා ශ්‍රේෂ්ඨය.)

නිශ්ශංකමල්ල රජතුමාගේ නව වන රාජ්‍ය වර්ෂයේ පිහිටවූ මෙම ශිලා ලිපිය මගින් ඔහු ලක්දිව ගම් නියම්ගම්, රාජධානි, ප්‍රසිද්ධ ස්ථාන, ගිරි දුර්ග, වනදුර්ග, ජල දුර්ග වල තුන් වරක් සැරිසැරූ බවද, රට පුරා නීතිය හා සාමය කොතරම් දුරට ඇති කලේද යත් කාන්තාවකට පවා අගනා ආභරණ පැලද කිසිවෙකුගෙන් හිරිහැරයක් නොවී යා හැකි වූ බවද පවසා සිටී.  එසේම හෙතෙම සිරිලක එක්සත් කල බවද (ෆෙඩරල් කලේ නැත), අනාථයන් හට රන් රුවන් ආදී බොහෝ වස්තු දී අවුරුදු පතා පස්තුලාභාරක් ත්‍යාග දුන් වගද (දුප්පතාගේ පිං පඩියටද කෙලියේ නැත), ගොවියන්ගේ දුක්ඛිත ජීවිත ගැන සලකා කැති-අඩ සහ ජල බද්දද අත්හිටවූ බවද (බදු ගෙවමු - රට හදමු කීවේද නැත) වැඩිදුරටත් මෙම ලිපියෙහි සඳහන් කරයි.
ඉන්පසු සුපුරුදු පරිදි හෙතෙම පාඬි රටේ දෙවරක් සිදු කල ආක්‍රමණ ගැන පවසා බියෙන් තැතිගත් පාණ්ඩ්‍ය රජු රාජ කන්‍යාවන් සහ ඇත් අස් ආදි වස්තු එවූ බවද සොළී රටින්ද පඬුරු ලත් බවද පවසා සිටී. එසේම නිශ්ශංකේශපුර නම් දෙවොලක් එහි ඉදි කර නැවත ලක්දිව පැමිණි බවද පවසයි. මෙරට තුන් රජයෙහි (රුහුණු,මායා, පිහිටි) පමණක් නොව කාලිංග, පාණ්ඩ්‍ය සහ සොළි රටවලද දාන ශාලා පිහිටවූ බවත්, එවායෙහි දිලින්දන්ට දන් දුන් බවත් පවසා සිටි. ඔහුගේ නව වන වර්ෂයේ නවම් පොහෝදින සමනොල කඳු නැගි බවත් එහි විසිතුරු පට සලු නංවා රන් රිදී මාලා වලින් සහ නව රත්නයෙන් මලුව සැරසූ බවත් ඉන් පසු මෙහි පැමිණ රාජ ආභරණ සහ ඔටුනු පැලද මෙම ගල් ආසනයේ සිට ගීත වාදන ආදි නොයෙක් ක්‍රීඩා බලා වැඩසිටි බවත් පවසා ලිපිය නිම කරයි. එහෙත් ඔහු අන් තැන් වලදි කල ආකාරයෙන් මෙම මාළිගයද ඔහුගේ නිර්මාණයක් බව නොපැවසීමට පරිස්සම් වන්නේ වර්තමාන පාලකයන්ට වඩා ලැජ්ජා බය දෙක ඔහු හඳුනා සිටි බැවින් විය හැක. වෙනත් තැන් වල වුවද නිශ්ශංකමල්ල රජු ඔහුගේ 'වැඩක්' ලෙස පවසන්නේ නිකම්ම අනුන් කල දෙයකට බෝඩ් ගසා ගැනීමකට වඩා යම් ප්‍රතිසංස්කරණයක් හෝ නවීකරණයක් කල දෙයකට බව පෙනෙන්නට ඇත. එසේම ඔහුගේම නිර්මාණ ලෙසට හඳුනාගත් ඇතැම් ස්ථානද නැතිවා නොවේ. ඒ අතින් නම් ඔහු ශ්‍රේෂ්ඨය ගරු කල යුතුය.

මූලාශ්‍ර

Archaeological survey of Ceylon, Inscription of Ceylon, Volume VI, Ranawella G.S. 2007

2 comments:

  1. අශෝක රජතුමන්ට වඩා ටැම් පිහිටැවූ රජ කෙනෙකුන් වී නම් ඒ ලංකාද්වීපයේ ශ්‍රී ප්‍රේමදාස රණසිංහ නරෝත්තම තෙමේ පමණි. අශෝක තෙමේ නිකංම ස්ථම්භ පිහිටැවූ මුත් අපේ නරනින්දා පිහිටැවූයේ හෝරා ස්ථම්භයෝ යැ. එසේම, නිස්සංකමල්ල රජුට වඩා සෙල් ලිපි ටැම් ලිපි පිහිටැවූ රජ කෙනෙකුන් මෙරට වී නම් ඒ ශ්‍රී ප්‍රේමදාස රණසිංහ නරෝත්තම තෙමේ පමණි. එතුමෝ අකල්හි පරලෝ වැඩියේ අපේ අවාසනාවටමැයි.

    ReplyDelete
  2. //පාණ්ඩ්‍ය රජු රාජ කන්‍යාවන් සහ ඇත් අස් ආදි වස්තු එවූ බවද// එ කාලෙනෙ ඉන්න තිබ්බෙ බන්

    ReplyDelete