Sunday, February 17, 2019

පරුමක තිශ පුත බමදත, සිව් දෙසින් පැමිණි නොපැමිණි සංඝයාට, උමා ඔය නිම්නයේ බෝගොඩදි පිදූ ලෙන

මලය රට හෙවත් මලය දේශය යනුවෙන් හැඳින්වූ පැරණි ප්‍රදේශය පිළිබඳව මෙයට පෙරද පලවූ ලිපි දෙකකින් කරුණු ඉදිරිපත් කර ඇත.
පර්වත දුර්ග සහිත සහ චණ්ඩ සත්වයන් ගැවසෙන, අන්‍ය මනුෂ්‍යයන්ගේ සංචාර රහිත වූ එක පදික මාර්ගයකින් (අඩි පාරවල් වලින්) යායුතු වූ, ගැඹුරු ජලයෙන් යුතු මලය දේශය පිළිබඳව එම ලිපි වල උපුටා දැක්වූ කරුණු වලට අමතරව තවත් විශේෂ සඳහනක් පාළි විනය පිටකයට බුද්ධඝෝෂ හිමියන් විසින් මහානාම රජුගේ (ක්‍රි.ව. 406-428) රාජ්‍ය කාලයේ කල ලෙස සැලකෙන සමන්තපාසාදිකා නම් අටුවා ග්‍රන්ථයේ දැක්වේ. පාලි විනය පිටකයේ දැක්වෙන්නේ 'ගාම' යනුවෙන් හැඳින්වෙන්නේ 'කුටි' එකකින් හෝ දෙකකින් හෝ තුන හතරකින් හෝ සමන්විත වූ ප්‍රදේශයක් බවය. එවකට ලියැවී තිබූ හෙළ අටුවා අනුසාරයෙන් බුද්ධඝෝෂ හිමියන් විසින් පෙල බසින් සම්පාදනය කරන සමන්තපාසාදිකාවේ මෙම සඳහන විවරණය කරමින් මෙහි
'කුටි' ලෙසින් හැඳින්වෙන්නේ 'ගෙහ' (සිං: ගෙය) බවත් 'එක් ගෙයකින් පමණක් සමන්විත වූ ගම් මලය ජනපදයේ ඇති බවත්' පවසයි.
සෙල්ලිපිය සහිත ලෙන සහ ඒ තුල ඉදිකර ඇති විහාරගෙය
ඒ අනුව මලය ජනපදය එම යුගය වන විටත් අඩු ජන ඝනත්වයක් සහිත ගම් වලින් යුක්ත වූ බව පෙනේ. එම ගම් පවා එකිනෙක අතර බොහෝ දුරස්ථ ලෙසින් පිහිටා තිබෙන්නට ඇත. පුරාතණ සහ මධ්‍යතන යුගයන් වලට අදාලව මෙරට හමුවන බොහෝ නටබුන් ගොඩනැගිලි හමුවන්නේ පැරණි රජරට සහ රුහුණු රට ලෙස සැලකෙන වියලි තැනිබිම් වලින් විනා කඳුකර ප්‍රදේශ වලින් නොවීම මෙම අදහස තව දුරටත් තහවුරු කිරීම සඳහා සාධක ලෙස ඉදිරිපත් කල හැක. කෙසේ නමුත් මලය රටට අයත් ප්‍රදේශ වල මුල් ඓතිහාසික යුගයේ පටන්ම ජනාවාස තිබූ බවට තොරතුරු මධ්‍ය කඳුකරයට අයත් ප්‍රදේශ වල අතරින් පතර හමුවන කටාරම් කෙටූ ලෙන් වලින් සහ ඒවායෙහි කොටා ඇති මුල් බ්‍රාහ්මී (Early Brahmi Inscriptions) හෝ අපර බ්‍රාහ්මී (Late Brahmi Inscriptions) ලෙන් ලිපි වලින් විද්‍යාමානවේ. බොහෝවිට ගංගා නිම්න හෝ ඒවායේ අතු ගංගා ආශ්‍රිතව හමුවන සාපේක්ෂව තැනිතලා සරුසාර භූමිය මෙම මුල් ජානපදිකයන්ට වාසස්ථාන මෙන්ම ගොවිතැන් කටයුතු උදෙසා අවශ්‍ය පහසුකම් වලින් යුක්ත වූ බව පෙනේ. මහවැලි ගඟට එක්වන අතු ගංගාවක් වන උමා ඔය නිම්නයේ පිහිටි එවන් ලෙන් ලිපියක් ගැන විස්තර ඉදිරිපත් කිරීම කෙරෙහි ප්‍රධාන වශයෙන් මෙම ලිපියෙන් අවධානය යොමුවේ.
ගල්ලන්දා ඔය සහ බෝගොඩ පැරණි ලී පාලම
සුප්‍රසිද්ධ බෝගොඩ පාලම මෙරට බොහෝ දෙනෙකු සංචාරය කර ඇති හෝ අවම වශයෙන් අසා ඇති තැනක් මුත් එම සංචාරකයන්ගෙන් බහුතරය අසල ඇති ලෙන් විහාරයේ කටාරමට පහලින් කොටා ඇති ලිපිය කෙරෙහි එතරම් අවධානයක් යොමු නොකරයි. මෙරට ලෙන් විහාර සියල්ලකම පාහේ පැතිර ඇති, නැතිනම් පතුරවා ඇති වළගම්බා රජු සැඟවී සිටි තවත් එක් ලෙනක් යන ජනකාන්ත මිත්‍යාව පවසන විහාරවාසී භික්ෂූන්වහන්සේ නමකගේ හෝ මාර්ගෝපදේශකයෙකුගේ යාන්හෑලි එයට වඩා ඔවුන්ට ආකර්ෂණීය වන්නා සේය. ඇතැම් විට වළගම්බා රජු මෙම ලෙනේ සිට බණ්ඩාරවෙල- බදුල්ල පාරේ හමුවන දෝව රජමහාවිහාරය දක්වා ගමන් කල උමගේ කටද ඔවුන් ඔබට පෙන්වනු ඇත. එහි අනෙක් කොන එම දෝව රජමහාවිහාරයේදී අසා බලා ගත හැක.

බෝගොඩ ලෙන් ලිපිය
පරුමක තිශ පුත බමදතශ ලෙනෙ අගත අනගත චතුදිශ ශගශ පඩිටිතෙ

මෙහි අර්ථය වනුයේ පරුමකවරයෙකු (එනම් ප්‍රධානියෙකු) වූ තිශ (පාලි: තිස්ස) ගේ පුතු වූ බමදතගේ ( පාලි: බ්‍රහ්මදත්ත) ලෙන එනම් ඔහුට අයත්ව තිබූ ලෙන සිව් දෙසින් පැමිණි සහ නොපැමිණි සංඝයාට පිහිටවූ බවයි.

ඉහත ලිපියට පහලින් තවත් ලිපියක මුල් කොටස පමණක් දැකගත හැකි අතර එහි උපසික (එනම් උපාසිකා) යන වචනය පමණක් කියැවිය හැක.
ලෙන් ලිපිය
බ්‍රාහ්මි අක්ෂර
භාරතයේ විවිධ ප්‍රදේශ වලින් හමුවන අශෝක අධිරාජ්‍යාගේ ආඥා ලියාතැබූ සෙල්ලිපි වල භාවිතා වන අක්ෂර මාලාව පුරාවිද්‍යාඥයන් විසින් 'බ්‍රාහ්මි අක්ෂර' ලෙසින් හඳුන්වයි. එම හැඳින්වීම 3 වන ශතවර්ෂයේ පමණ රචිත ලෙස සැලකෙන ලලිතවිස්තර නම් වූ ග්‍රන්ථයක එන විවිධ ආකාරයේ වූ අක්ෂර මාලා පිළිබඳ හැඳින්වීමක දැක්වෙන වචනයක් ආශ්‍රයෙන් ඔවුන් භාවිතයට ගෙන ඇතත්, එම අකුරු භාවිතා වූ ලෙස සැලකෙන ක්‍රි.පූ 3 වන ශතවර්ෂයේ සිට 3 වන සියවස දක්වා වූ මුළු කාලය පුරාම 'බ්‍රාහ්මි අක්ෂර' යන හැඳින්වීම ඒවාට යොදාගත්තේද යන්න පැහැදිලි නැත.
බෝගොඩ අසල උමා ඔය නිම්නයේ හෙල්මලු වී වගාව
මෙරටට 'බ්‍රාහ්මි අක්ෂර' හඳුන්වාදීම මහින්දාගමනයත් සමග බෞද්ධාගම මෙරට පැමිණීමත් සමග සිදුවූ ලෙස පොදු පිළිගැනීම වුවත් එයට පෙර සිටම එම අක්ෂර මෙරට භාවිතා වූ බවට සාධක මෑත කාලයේදී ආචාර්ය සිරාන් දැරණියගල, මහාචාර්ය රාජ් සෝමදේව වැනි පුරාවිද්‍යාඥයන්ගේ පර්යේෂණ තුලින් හමුවී ඇත. කෙසේ නමුත් අපගේ ප්‍රස්තුතයට අදාල සෙල්ලිපිය පැහැදිලිවම බුද්ධාගම මෙරටට හඳුන්වාදීමට පසුව පිහිටවූ බවට එහි අන්තර්ගතය අනුව වටහා ගත හැක. අඩු වැඩි වශයෙන් මෙම යුගයට අයත් බොහෝ ලෙන් ලිපි වල මෙම වචනම උපයෝගි කරගනිමින් කිසියම් පුද්ගලයෙකු සතුව පැවති ලෙනක් සඟ සතු කල බව යන කෙටි සදහන පමණක් හමුවේ. මෙහිදි එම පැවරීම එක් විශේෂිත සංඝයා වහන්සේ කෙනෙකුට නොව සතර දෙසින් පැමිණි සහ නොපැමිණි (එනම් අනාගතයේදී පැමිණීමට ඉඩ ඇති) සංඝයා වහන්සේ වෙත පවරා ඇත. වෙනත් ලෙසකින් පැවසුවහොත් එම පැවරීම සිදු කර ඇත්තේ සංඝ සමාජයට විනා එක් සුවිශේෂි තෙර නමකට නොවේ.
බෝගොඩ අසලදී උමා ඔය
 ඒ අනුව මෙම ප්‍රදේශයේ ක්‍රි.පූ. 3 වන සියවසත් 1 වන සියවසත් අතර කාලයේ පවා ජනාවාස පැවති බවත් ප්‍රභූ සමාජයේ පරුමකවරුන්ට අයත් ලෙන් බුදු සමය පැමිණීමත් සමග භික්ෂුන් වහන්සේගේ වාසය සඳහා පවරා දීම් සිදු වූ බවටත් පැහැදිලි වේ. උමා ඔයට ගලා බසින ගල්ලන්දා ඔය ලෙසින් අද හඳුන්වන ඔය ඉවුරේ ඇති මෙම ලෙන තුල දැනට මහනුවර යුගයේ හෝ ඉන්මෑත යුගයේ ඉදි කල විහාරගෙයක් ඇති අතර ගල්ලන්දා ඔයෙන් එතෙර වීමට තනා ඇති බෝගොඩ පාලමද මහනුවර යුගයේ සිදු කල ඉදිකිරීමක් බව විශ්වාස කරයි. එම පාලම වැටී ඇත්තේ පැරණි බදුල්ල- මහනුවර මාර්ගය ඔස්සේ බවට මෙයට පෙර ලිපියකදී කරුණු ඉදිරිපත් කර ඇත (එම ලිපිය කියවීමට Link>>)

මූලාශ්‍ර
  • Paranavitana s., 1970, Archaeological Survey of Ceylon, Inscriptions of Ceylon Volume 1, Early Brahmi Inscriptions.
  • පාලි සාහිත්‍යය, පොල්වත්තේ ශ්‍රී බුද්ධදත්ත මහා නායක ස්ථවිර, 1966
  • පෞරාණික ස්ථාන සහ ස්මාරක. බදුල්ල දිස්ත්‍රික්කය, නිලන්තිකා ප්‍රියදර්ශනී, ප්‍රියන්ගා ප්‍රියදර්ශනී, 2017
  • Social And Cultural History of Ancient Sri Lanka, S.B. Hettiaratchi, 1988

4 comments:

  1. //ගල්ලන්දා ඔයෙන් එතෙර වීමට තනා ඇති බෝගොඩ පාලමද මහනුවර යුගයේ සිදු කල ඉදිකිරීමක් බව විශ්වාස කරයි//
    දඹදෙණිය යුගයේ කියලත් කියනව නේද?

    මේ පෝස්ට් එකට සම්බන්ධ නෑ. ඒත් මට ප්‍රෙහෙලිකාවක් වෙන දෙයක් අහන්න කැමතියි. ස්කොට්ලන්තයේ රොබර්ට් බෲස් සහ මකුළුවාගේ කතාව ( උත්සාහය අතනොහැරීම ගැන ) වලගම්බාහුටත් අදාල වුනේ කොහොමද? බ්‍රිතාන්‍ය යුගයේ කතා පොතකින් අපේ ලමයින්ට ලියවුන සිංහල ඉතිහාස කතාවකට ගත්තද? ප්‍රාග් අයිතිහාසික ඉන්දු යුරෝපීය ගෝත්‍රික කතාවක ශේෂද?
    කොහෙද වලගම්බාහු ගැන ඕක ලියවිලා තියෙන්නෙ? මම අහලා තියනවා විතරයි. Robert the Bruce ගැන නම් කියවලා තියනවා

    ReplyDelete
  2. Pra ..එහි කාලනිර්ණය කොහොම කලාද කියලා සොයා බලන්න ඕනේ. බෝගොඩ පාලම ගැනම වූ ඉදිරි ලිපියකින් යමක් සොයාගත හැකි වුවහොත් ඉදිරිපත් කරන්නම්.


    වළගම්බා රජතුමා ගැන ප්‍රසිද්ධ වී ඇති ගල් ගුහා වල සැඟවී ජීවත් උනා කියන කතාවේ කිසි පදනමක් නැහැ. ඔය වළගම්බා රජතුමා සහ ගල් ලෙන් වල හැන්ගුන කතා ගැන වෙනමම ලියන්න බලාපොරොත්තු වෙනවා. මහාවංශයේ එන එක් සිද්ධියක් මෙරට සියළුම ලෙන් වලට පසු කාලයේ ආදේශ වීමක් තමා වෙලා තියෙන්නේ. එවැනිම දෙයක් තමා මේ දින වල වෙමින් යන්නෙත් රාවණා සම්බන්ධ කරලා. තව අවුරුදු 50 විතර යනවිට මෙරට අනුරාදපුර - පොළොන්නරු යුගයේ ඉදිවු බොහෝ දේ රාවණාගේ Account එකට වැටිලා තියෙයි.

    ReplyDelete
  3. වළගම්බා රජු සහා ඔය ගුහාවල හැංගිලා හිටියා කියලා කියන කථා ගැන ලිපියක් ලියන්නකෝ....

    ReplyDelete
    Replies
    1. ඔව් Maduka Pathum ඒ ගැන නුදුරු දිනයකදීම ලියන්නම්

      Delete