Tuesday, January 3, 2023

රජ, බිසෝ, ඇමැතිවරු වැව්, කුඹුරු, ගම් පිදූ මාගම රජ වෙහෙර නොහොත් සඳගිරි විහාරය

 පෙර ලිපියකින් විස්තර ඉදිරිපත් කල හම්බන්තොට දිස්ත්‍රික්කයේ තිස්සමහාරාම - අකුරුගොඩ ප්‍රදේශයේ පිහිටි පැරණි මාගම ඇතුළු නුවර (Citadel) පිහිටි ප්‍රදේශයට දකුණින් මෙන්ම බටහිරින්ද ප්‍රධාන දාගැබ් හතරක් පිහිටා ඇත. බටහිරින් පිහිටි වර්තමානයේ යටාල සහ මැණික් ලෙසින් හැඳින්වෙන ස්තූප සහ ඒ වටා පිහිටි විහාර වලට වඩා ප්‍රමාණයෙන් විශාල දාගැබක් වන්නේ දකුණින් පිහිටි වර්තමානයේ තිස්සමහාරාම දාගැබ ලෙසින් හැඳින්වෙන දාගැබයි. ඒ ආසන්නයේම වාගේ එයට නැගෙනහිරට වන්නට පිහිටා ඇති සඳගිරිය දාගැබ ලෙසින් හැඳින්වෙන පරිශ්‍රයේ ඉහත අනිත් ස්තූප අයත් වන විහාරාරාම වලට වඩා ස්තූපයට අමතරව පිළිමගෙය, බෝධිඝරය, උපෝසථඝරය මෙන්ම  ජන්ථාඝරය ආදී  පැරණි පබ්බත විහාරයක ප්‍රධාන අංග කිහිපයකම නටබුන් යම් තරමින් හෝ විනාශ නොවී මෙන්ම මෑතකාලීන ප්‍රතිශංස්කරණ වලට හසු නොවී ඉතිරි වී ඇත. මේ ලිපියෙන් එම සඳගිරිය ආරාම පරිශ්‍රයේ හමුවන පුරාවිද්‍යාත්මක සාධක අනුසාරයෙන් එහි ආරම්භය සහ පසුකාලීන වැඩිදියුණු කිරීම් පිළිවඳව මෙන්ම එම නටබුන් ස්ථාන සහ හමුවූ කෞතුක භාණ්ඩ සම්බන්ධයෙන් විවිධ විද්වතුන් ඉදිරිපත් කර ඇති අදහස් සම්පිණ්ඩනයක් ඉදිරිපත් කෙරේ. 

සඳගිරි විහාර සංකීර්ණයේ නටබුන් දැක්වෙන වීඩියෝව >>



සඳගිරි ස්තූපය - උතුරු දිග පිවිසුම

සඳගිරිය පරිශ්‍රයේ හමුවන සෙල්ලිපි
සඳගිරිය ආරාම සංකිර්ණයේ පිළිමගෙයට ඇතුළු වන ස්ථානයේ සිටුවා ඇති අටපට්ටම් හැඩැති කුළුනක අපර බ්‍රාහ්මී අක්ෂරයෙන් (Late Brahmi Scripts) රචිත සෙල් ලිපි හතරක් සටහන් කර ඇත. මින් එක් ලිපියකින් කියවෙන්නේ වහබ රජ උපෝසථඝරයේ පහන් දැල්වීමේ මිල සඳහා කරිසක් [එනම් අමුණු 4 ක් වැපිරිය හැකි ඉඩමක් හෙවත් අක්කර 8 - 10 ක් පමණ ] පමණ කුඹුරු ඉඩම් ප්‍රදානය කල බවය. තවත් ලිපියක් කොටා ඇත්තේ රජවිහාර යෙහි උපෝසථඝරය සඳහා මහගම බදබ ඇමැති ඔහු සතුව තිබූ මහ වැව (මහවවි), අබගමක වැව (අබගමක වවි) සහ නම මැකී ඇති තවත් වැවක් ප්‍රදානය කල බවය. මෙහි ඇති තවත් සෙල්ලිපියක සඳහන් වන්නේ ලිපියේ නම මැකී ඇති කිසියම් රැජිනක විසින් රජ විහාරයට සිදු කල ප්‍රදානයක් ගැනය. ලිපියේ වහබ රජ යන නම පැහැදිලිව දෙතැනක සඳහන් ව ඇති බැවින් සහ එහි සන්දර්භය අනුව එම රැජින වහබ රජුගේ බිසව ලෙස අනුමාණ කල හැක. සිදු කල ප්‍රදානයන් අතර දරතිස වවි (දුරතිසා වැව හෙවත් දූර තිස්ස වාපි*)  සහ කලගම කෙත (කලගම කුඹුර) යන නම් කියැවිය හැක.  කිසියම් ඇලක මතර මජිබක බද්දක්   පිළිබඳවද මෙහි සඳහන්ව ඇත. එයින් අදහස් වන්නේ ඇළ මාර්ගයේ මසුන් අල්ලන්නන් ඒ වෙනුවෙන් වැව සහ ඇළ මාර්ගය හිමි විහාරයට ගෙවිය යුතු බද්ද ලෙසින් මහාචාර්ය සෙනරත් පරණවිතාන මහතා හඳුනාගන්නා මුත් එම අදහස සම්බන්ධයෙන් විද්වතුන් අතර ඒකමතික භාවයක් නොමැත (ආචාර්ය බෙනිල් ප්‍රියංක මහතාට අනුව මතර මජිබක යනු වැව් සහ කුඹුරු අතර ජල සම්පාදනයට සම්බන්ධ වූ බද්දක් වේ.) ප්‍රදානයන් සිදු කරන්නේ රජ විහරෙ හි උපෝසථඝරය සඳහාය. සිව්  වන සෙල්ලිපියෙහි ගවිඩගමක වවි (ගවිඩගමක වැව) යන වචනය සඳහන්ය. ගවිඩගමක යන්න නූතන සිංහල ව්‍යවහාරය අනුව නම් දිවුල්ගමුව ලෙස ගත හැක. පාළි භාෂාවෙන් නම් එය කපිත්තගාමක වේ.  ඉහත ලිපි වල නම සඳහන් වහබ රජු පො. ව. 67 සිට 111 දක්වා රාජ්‍ය රාජ්‍ය පාලනය සිදු කල වසභ රජු ලෙස සෙනරත් පරණවිතාණ මහතා හඳුනාගනී.

* මහාවංශයට අනුව සද්ධාතිස්ස රජු (පො. ව. පූර්ව 137 - 119) දූරතිස්ස වැව කරවීය (දූරතිස්සකවාපි) ඉළනාග රජුද (පො. ව.  33 - 43) තිස්ස වාපි සහ දූර වාපි (දූරව්හවාපි) කරවූ බව මහාවංශයේ සඳහන් වේ. දූර වාපි ලෙසින් හැඳින්වූවේ දූර තිස්ස වැවම නම් සද්ධාතිස්ස රජු කරවූ දූරතිස්ස වැව ඉළනාග රජු නැවත ප්‍රතිශංස්කරනය කලා විය හැක. C.W. නිකොලස් මේ දූර හෝ දූරතිසා වැව වර්තමාන යෝධ වැව විය හැකි බව පවසයි.
සඳගිරි ස්තූපය - බටහිර පිවිසුම

ඉහත ලිපි වලට අමතරව මෙම පැති අටක් සහිත ගල් ටැඹේ එක් පැත්තක වැඩි ඉඩක් පුරා විහිදුනු සෙල්ලිපියක් ඇත, ඉහත විස්තර කල  වසභ රජුගේ සෙල්ලිපිය ඇත්තේද එම පැත්තේම පහලින් එතරම් ප්‍රමුඛ නොවන ස්ථානයකය. මේ හේතුව නිසා වසභ රජුගේ සෙල්ලිපියට පෙර කාලයක කල ලෙස සිතිය හැකි එම ලිපියේ සඳහන් වන්නේ දෙවනපිය තිස මහ රජුගේ මුණුබුරු සහ ගමිණි අබ (ගාමිණි අභය) රජුගේ පුතු වූ රොහිණික ගමිණි අබ (රෝහිණික ගාමිණි අභය) තැනූ රජ විහාරයට කිසියම් ගම් දෙකක ආදායම් ප්‍රදානය කල බවය. ලිපියේ ඇතැම් අකුරු පරණවිතාන මහතා 1929 දී Estampage එකක් ගන්නා අවස්ථාව වන විටද විනාශ වී තිබී ඇත (මීට පෙර ලිපියේද නම සඳහන් කල දකුණු පළාතේ සංචාරයක් අතර තුර අකාලයේ තිස්ස වැවේ ගිලී මිය ගිය E.R. අයර්ටන් මහතාද එම සංචාරය අතරතුරදී  1914 දී ගත් Estampage එකක්ද ඒ වන විට පරණවිතාන මහතාට පරිශීලනය කිරීමට තිබී ඇති අතර එහිද එම අකුරු පැහැදිලිව නොතිබෙන්නට ඇත.) එම නිසා ලිපියේ සම්පූර්ණ තොරතුරු ලබා ගැනීමට නොහැකි මුත් මෙම විහාරයේ ආරම්භක රජු පිළිබඳව මෙහි වැදගත් තොරතුරක් ගැබ්ව ඇත. මෙහි තවත් වැදගත් කමක් වන්නේ එහි ඇති 'දෝපති' යන වචනය ලිවීමේදී 'දෝ' එනම් දෙක යන්න අකුරින් නොලියා ඒ වෙනුවට දෙක යන ඉලක්කම ඇඟවීමට එකක් යට එකක් වන පරිදි තිරස් කෙටි ඉරි කැබලි දෙකක් යොදාගෙන තිබීමය. එම පරම්පරා විස්තර අනුව සෙනරත් පරණවිතාන මහතා මෙම රෝහණික ගාමිණි අබ රජුගේ පියා වන ගමිණි  අබ, භාතිකාභය රජු (පො. ව. පූර්ව 22 - පො. ව. 7) ලෙසත් ඔහුගේ සීයා වන දෙවනපිය තිස, කුටකණ්ණතිස්ස (පො. ව. පූර්ව 44 -22) ලෙසත් හඳුනාගනී. ඒ අනුව මෙම සෙල් ලිපිය භාතිකාබය රජුගෙන් පසුව රාජ්‍යත්වයට පත්වූ මහාදාඨිකමහානාග රජුගේ (පො. ව. 7 - 19) හෝ ඔහුගේ අනුප්‍රාප්තිකයා වූ ආමන්ඩගාමිණි අභය රජුගේ (පො. ව. 19 - 29) කාලයේදී කරන්නට ඇති බවත් ලිපියේ නම සඳහන් රෝහණික ගාමිණි අබ බොහෝවිට රෝහණයේ රජ කල ස්වාදීන පාලකයකු විය හැකි බවත් පරණවිතාන මහතා පවසයි (එවකට රට පාලනය කල මහරජු හෙවත් අනුරාධපුර පාලකයාගේ නම ලිපියේ සඳහන් නොවීම නිසා පරණවිතාන මහතා එලෙස සැක කරයි.) එය එසේ නම් ඒ සඳහා වැඩි ඉඩක් ඇත්තේ ආමණ්ඩගාමිණි අභය රජුගෙන් පසු ඇතිවූ රටේ අවුල් වියවුල් වලින් පිරීගිය කාලයේදී විය හැකි බවය පරණවිතාන මහතාගේ අදහස. පරණවිතාන මහතා ලිපියේ විහාරයේ නම සඳහන් නොවන බව පැවසුවත් ඉහත සඳහන් කල මේ කාලයට පසුව ලියැවුණු තවත් සෙල් ලිපි දෙකකම සඳහන් වන රජ වෙහෙර යන්න එතුමන් ඉදිරිපත් කරන එහි පෙල අනුව මෙම ලිපියේත් ඇති බව පෙනේ.  

සඳගිරිය පිළිමගෙය 

සඳගිරි ස්තූපය

සඳගිරි දාගැබේ කල කැනීම් වලදී දාගැබ අවම වශයෙන් අවස්ථා දෙකකදීවත් ඉදි කර ඇති බවටත්, එය පිහිටි මළුව අවස්ථා තුනකදීවත් ඉදි කර ඇති බවටත් සාධක හමුවී ඇත. ඒ අනුව මුල් ගොඩනැගීමෙන් පසු එය විශාල කර ඇති බව පෙනී යයි. දාගැබ් මළුවේ සහ ඒ ආසන්නව සිදු කල කැනීම් වලදී සමාධි හිඳි පිළිමයක්, තවත් හිඳි පිළිමයක යට කොටසක්, බුදු පිළිම හිසක් සහ කවන්ධ හිටි පිළිමයක්ද  හමුවී ඇත. දාගැබ් බඳේ තිබූ පැරණි කපරාරුවේ බදාම කොටස් මෙහි තවමත් තැන් තැන් වල ශේෂ වී ඇත. ස්තූප මළුවට පිවිසීමට සිව් දිශාවෙන්ම පඩිපේලි සහිත දොරටු හතරක් තිබී ඇති අතර නටබුන් වූ වාහල්කඩ හතරක්ද ඒවාට අනුරූපව දැකිය හැක. මෙහි තිබූ පැරණි යූප ස්ථම්භය සහ ජත්‍රය දැනට ස්තූප මලුවේ පසක තැන්පත් කර ඇත. සඳගිරිය ස්තූප මළුවේ ප්‍රතිමාගෘහ දෙකක නටබුන් හමුවන අතර මින් එක් ප්‍රතිමාගෘහයක් සංරක්ෂණය කර ඇත. එහෙත් කිසිදු පිළිමයක් එම පරිශ්‍රයෙන් හමුවී නැත.

අටපට්ටම් හැඩැති ටැම් ලිපිය

සඳගිරිය ස්තූපය අසලම බටහිර දෙසට වන්නට සඳගිරි ආරාම සංකිර්ණයට අයත්ව තිබූ බෝධිඝරයේ නටබුන් හමුවේ. සඳගිරිය පරිශ්‍රයේ මෙම බෝධිඝරය කැනීමේදී කවන්ද හිටි බුදු පිළිමයක්, එම පිළිමයේ නොවන ඩොලමයිට් පාෂාණයෙන් සෑදූ තවත් බුදු පිළිමයක හිසක් සහ ස්ඵටික හුණුගලින් (Crystalline Limestone) නිමවූ නෙළුම් මල් සහ කොළ වලින් අලංකාර කල පුන් කලසක්ද හමුවී ඇත. එමෙන්ම ස්තූපයට මද දුරක් දකුණට වන්නට එහි ජන්ථාඝරය ලෙස හඳුනාගත් ගොඩනැගිල්ලක අවශේෂ හඳුනාගෙන සංරක්ෂණය කර ඇත. තවද සඳගිරි ස්තූපයේ සිට තරමක දුරකින් එයට දකුණින් මෙම පරිශ්‍රයට අයත්ව තිබූ පිළිමගෙයි නටබුන් දැකිය හැක. ඉහත විස්තර කල සෙල්ලිපි සහිත අටපට්ටම් කුළුන පිහිටා ඇත්තේද ඒ අසලය. එම පිළිමගෙය ආසන්නයේම එයට බටහිරට වන්නට එම අටපට්ටම් හැඩැති කුළුනේ කොටා ඇති සෙල්ලිපි කිහිපයකම සඳහන් වන සඳගිරිය විහාරාරාම සංකීර්ණයට අයත්ව තිබූ උපෝසථඝරය ලෙස හඳුනාගත් ගොඩනැගිල්ලේ නටබුන් දැකිය හැක. වර්තමානය වන විට මේ ඉතිරිවී ඇති ගොඩනැගිලි කිහිපයේ නටබුන් වලට අමතරව මෙහි තිබූ වෙනත් ගොඩනැගිලි වල නටබුන් දැකිය නොහැක්කේ මේ වටා පිහිටි ඉඩම් වල පසුගිය සියවස් වල පදිංචි වූ ජනයාගේ නිවෙස් ඉදිකිරීම් ආදියෙන් ඒවා විනාශ වී යෑම නිසා විය යුතුය. 

ස්තූප මළුවේ ඇති සංරක්ෂිත පිළිමගෙය

සඳගිරිය පිළිමගෙය
මෙම පිළිම ගෙයට පිවිසෙන දෙවන පඩිපේලියේ වම් පස දැකිය හැකි මුරගල තරමක් විශේෂ එකක් ලෙස ඔස්මන්ඩ් බෝපේ ආරච්චි මහතා හඳුනාගනී. ඔහු පවසන ලෙසට බොහෝවිට මෙහි ප්‍රධාන රූපයෙන් අත් සතරක් සහිත කුබේර නිරූපනණය කර ඇත. අසාමාන්‍ය ලෙස උසින් යුත් හිස පළදනාව, අනර්ඝ සළු පිළි ආදිය මෙහි විශේෂ ලක්ෂණ ලෙස හඳුනාගත හැක. ත්‍රිභංග ඉරියව්වෙන් සිටින එම රූපයේ හිසට ඉහලින් නෙළුම් කොලයක හැඩය සහිත චත්‍රයක් ඇති අතර ඔහුගේ දෙපසින් විශාල කාසි මළු දෙකක් දරා සිටින නිධි රූප දෙකක් තිබීම සුවිශේෂ ලක්ෂණයක් ලෙස ඔහු පෙන්වාදෙයි.

පිළිම ගෙයට පිවිසෙන දෙවන පඩිපේලියේ වම් පස දැකිය හැකි මුරගල

සඳගිරි ආරාම සංකීර්ණයේ පිළිම ගෙයි තැන්පත් කර ඇති දෘඪ හුණුගලින් (Hard Limestone/ කිරිගරුඬ) කල අමරාවතී සහ නාගර්ජුනකොණ්ඩ ප්‍රතිමා සම්ප්‍රදායට අයත් හිටි පිළිමය වෙනත් කුඩා බෝධිසත්ව පිළිම දෙකක් සමගින් අහම්බයෙන් සඳගිරි දාගැබට නුදුරු ස්ථානයක වූ පෞද්ගලික ඉඩමක තිබී 2001 වසරේ දී හමුවී ඇත. එය ආන්ද්‍රා ප්‍රදේශයේදී නිමවා මෙරටට ගෙනා පිළිමයක් ලෙස ඔස්මන්ඩ් බෝපේ ආරච්චි මහතා පවසයි. ඒ සමග හමුවූ බෝධිසත්ව පිළිම මෙම සම්ප්‍රදායට අයත් නොවන 8 වන සියවසෙන් පසු මෙරට ජනප්‍රිය වූ මහායාන සම්ප්‍රදායට අයත් බවය ඒ මහතාගේ අදහස. ඒවා හමුවූ ආකාරයෙන් පෙනී යන්නේ කිසියම් නොදන්නා හේතුවක් නිසා ඒවා මුලින් තිබූ ස්ථානයෙන් රැගෙන ගොස් එම ස්ථානයේ සඟවා තබන්නට ඇති බවයැයි පවසන ඒ මහතා බොහෝදුරට එම මුල් ස්ථානය මෙම පිළිම ගෙය විය හැකි බව පවසයි. එහෙත් ආචාර්ය දනන්ජය ගමලත් මහතා පවසන්නේ මීටර 2.2 ක් උස මෙම පිළිමය එම ප්‍රතිමා ගෘහයේ ගල් කණු වල උසට  සමානුපාතික නොවන හෙයින් එය මෙම ස්ථානයට අයත් නොවන බවය. දැනට මෙම පිළිමය තැන්පත් කර ඇත්තේ මුල් පද්මාසනය පිහිටුවා තිබූ ගල් පුවරුව මත සංරක්ෂණ ක්‍රියාවලියේදී මෑතකදි තැනූ පද්මාසනයක් තබා එය මතය.  පිළිමයේ දකුණු අත වැළමිටට මදක් පහලින් විනාශ වී ඇති අතර එහි බොහෝවිට 'අභය මුද්‍රාව' දක්වා තිබෙන්නට ඇති අතර වමතින් චීවරය දරා සිටී. ආචාර්ය දනන්ජය ගමලත් මහතා පවසන්නේ මෙම ප්‍රතිමාගෘහය 5 - 7 සියවස් වලට අයත් විය යුතු බවය. 

සඳගිරිය පිළිමගෙය තුල තැන්පත් කර ඇති වෙනත් ස්ථානයකින් හමුවූ හිටි පිළිමය


සඳගිරිය බෝධිඝරය

සඳගිරි දාගැබ යන නාමය මෙම මෙම පරිශ්‍රයේ දැකිය හැකි ස්ථූපයට අවම වශයෙන් මේජර් ෆොර්බ්ස් මෙම ස්ථානයේ සංචාරය කල 1834 පමණ අවධියේ සිටවත් ව්‍යවහාර වූ බව ඔහු ඒ සම්බන්ධයෙන් සිය ගමන් විස්තරයේ කරන සඳහන අනුව පෙනී යයි. මහාවංශයේ මහා විජයබාහු රජු (පො. ව. 1055 - 1110) ප්‍රතිශංස්කරණය කල විහාර ගැන සඳහන් කිරීමේදී චන්දගිරි නම් විහාරයක් ගැනද පැවසේ. පාළි ධාතුවංශයේ (සන්ඳගිරි විහාර ලෙසින්) සහ සිංහල ධාතුවංශයේ (සඳගිරි විහාරය ලෙසින්) මහානාග රජු කරවූ විහාරයක් ලෙසින් සඳගිරි නම් විහාරයක් ගැන සඳහන් වේ. එහෙත් පූජාවලියේ සහ සද්ධර්මාලංකාරයේ සඳහන් වන්නේ සඳගිරි විහාරය කාවන්තිස්ස රජු විසින් කරවන ලද්දක් බවය.  කෙසේ නමුත් මේ කිසිදු සඳහනක් වර්තමානයේ සඳගිරි විහාරය හෝ දාගැබ ලෙසින් හඳුන්වන ස්ථානයට අදාල බවට නිශ්චිතව කීමට කිසිදු පිළිගත හැකි සාධකයක් මෙතෙක් හමුවී නැත. එහෙත් රජ විහාරය ලෙසින් මෙම ස්ථානය අවම වශයෙන් වසභ රජුගේ රාජ්‍ය සමය දක්වාවත් (පො. ව. 67 - 111) හැඳින්වූ බවත් එය මුලින්ම ඉදි කල ලෙස පැවසෙන වංශකතා වල හමු නොවන රුහුණේ පාලකයකු වූ රෝහණික ගාමිණි අභය රජු කල සිටම එය එලෙස  හැඳින්වූ බවටත් සෙල්ලිපි සාධක අනුව පැවසිය හැක. 
සඳගිරිය උපෝසථඝරය

මූලාශ්‍ර
  • Buddhist Monasteries Towards Urbanism in Southern Sri Lanka, Prishanta Gunawardhana, 2009
  • බුද්ධ ප්‍රතිමාගෘහයේ අවකාශීය සංවිධානය (අනුරාධපුර සහ පොළොන්නරු යුග ඇසුරෙන්), ආචාර්ය දනන්ජය ගමලත්, 2016
  • අපේ උරුමයන් මගේ ඇසින්, පුරාතන ලංකාවේ බුද්ධ සහ බෝධිසත්ත්ව ප්‍රතිමා, වෛද්‍ය රුවන් මාරසිංහ, 2021
  • Roots of Sri Lankan Art, Osmund Bopearachchi, 2020
  • රුහුණේ යටගියාව සහ සෙල්ලිපි, පූජ්‍ය එල්ලාවල මේධානන්ද හිමි, 2013
  • Nicholas C.W. 1963, Historical Topography of Ancient and Medieval Ceylon, Journal of the Ceylon Branch of the Royal Asiatic Society, New Series, Volume VI, Special Number. 
  • මහාවංස 1 වෙළුම, මාගධී පෙළ සහ සිංහල අනුවාදය, නව සංස්කාරක චන්ද්‍ර වික්‍රමගමගේ, සිංහල අනුවාදය අරුණ තලගල, 2012
  • පුරාවිද්‍යා ස්ථාන නාමාවලිය, හම්බන්තොට දිස්ත්‍රික්කය, පළමු වෙළුම, 2019
  • Administration Report of the Archaeological commissioner for the years 1970 - 1977, R.H. de Silva
  • Ancient Inscriptions in Ceylon collected and published for the government by Dr. Edward Muller, 1883
  • පූජාවලිය. පණ්ඩිත වේරගොඩ අමරමෝලි නා හිමියන්ගේ සංස්කරණය, 1953.
  • සිංහල ධාතුවංශය (සේරුවාවිල තිස්ස මහා විහාරවංශය ) M.W. විමල් විජේරත්න සංස්කරණය, 2012
  • සද්ධර්මාලංකාරය
  • Eleven years in Ceylon, Major Forbes, 1840
  • ලක්දිව පැරණි සෙල්ලිපිවල බහුලව හමුවන මෙත්ක් නොවිසඳුණ වදන් දෙකක්: වහරල සහ මතෙර මජිබක නව සාධක ඇසුරෙන්, ආචාර්ය බෙනිල් ප්‍රියංක, 2012
  • Inscriptions of Ceylon Vol II, Part I. Late Brahmi Inscriptions, Containing rock and other inscriptions from the reign of Kutakanna Abhaya (41 B.C. - 19 B.C.) to Bhathiya II (140-164 A.D). Senarat Paranavitana, 1983


1 comment:

  1. කොතරම් තියෙනවද අභිමානෙට හේතු
    එව්වා කළේ ඉස්සර හිටි පින්වත්තු
    දැන් ඉන්නේ ඉතිං 'නොට්ටිලගේ පුත්තු'
    රට විකුණන්න හොයනව හොඳ- හොඳ හේතු

    ReplyDelete