Tuesday, December 20, 2022

වැලි මළුව ජලයෙන් යටවූ දෙනා ඇත් වෙහෙරේ යටාල දාගැබ

යටාල විහාරය - වංශ කතා තොරතුරු

සිය පුතු හට රාජ්‍යත්වය ලබාගැනීම උදෙසා දේවානම්පිය තිස්ස රජුගේ දෙවන සහෝදරයා වූ උපරජ මහානාග මැරවීමට රජුගේ මෙහෙසිය අඹ ගෙඩියක විස යොදා ඔහුට යැවූ කල, උපරජු සමග ගොස් සිටි ඇයගේම පුතු අඹ අතර උඩින්ම තිබූ එම විස යෙදූ අඹ ගෙඩිය කා මියගිය පසු, මහානාග උපරජු සිය දේවිය සහ ධනයද ඇත් අස් , රිය හා බළසෙනගද ගෙන තමාගේ ආරක්ෂාව සඳහා රුහුණ බලා පලා යයි. එම ගමනේදී යටාල විහාරයට [යට්ඨාලයවිහාර] පැමිණි විට මහානාග උපරජුගේ දේවිය පුතෙකු ප්‍රසූත කල හෙයින් ඔහුට යටාලතිස්ස යයි නම් තැබූ බව මහාවංශයේ සඳහන් වේ. කෙසේ නමුත් සිංහල ධාතුවංශයේ (සේරුවාවිල තිස්ස මහා විහාරවංශය) සඳහන් වන්නේ යටාල විහාරය මාගම් නුවර විසූ ඉහත විස්තරය හා සම්බන්ධ මහානාග රජුගේ නිර්මාණයක් බවය. 14 වන සියවසේ ලියවුන සද්ධර්මාලංකාරය මහාවංශයේ පැවසෙන ආකාරයෙන්ම මුලින් මහානාග රජුගේ බිසවු අතරමගැ යටාල නම් විහාරයෙකැදී පුතණු කෙනෙකුන් වැදූ බව පවසා, පසු අවස්ථාවක සඳහන් කරන්නේ කාවන්තිස්ස රජු (ඉහත යටාලතිස්ස රජුගේ මුණුපුරු) තැනූ සූසැටක් රජමහ විහාර අතර යටාල වෙහෙරත් වූ බවය. සද්ධර්මාලංකාරයට පාදක වූ පාලි රසවාහිනියේද ඒ ආකාරයෙන්ම යටාල වෙහෙර කාවන්තිස්ස රජු කරවූ බව සඳහන්වේ. මහාවංශයේ එන පුවතට අනුව නම් මහානාග රජු රුහුණට පලායන අවස්ථාවේද එම මාර්ගයේ කිසියම් තැනක යටාල නමින් වෙහෙරක් තිබී ඇත. සිංහල ධාතුවංශයට අනුව එම මහානාග රජුම යටාල නමින් වෙහෙරක් ඉදි කර ඇත. ඒ වෙහෙර පෙර කී යටාල වෙහෙර නොව ඒ නමින්ම ඔහු කරවූ වෙනත් වෙහෙරක් වීමටද  ඉඩ ඇත. රසවාහිනිය සහ සද්ධර්මාලංකාරය අනුව කාවන්තිස්ස රජුද පෙර කී යටාල නමින් යුත් විහාරය හෝ ඒ නමින් යුත් විහාර දෙකින් එකක් හෝ අලුත් වැඩියා කිරීමක් හෝ නවතම වෙහෙරක් යටාල නමින් කරවා ඇත.  

වර්තමානයේ යටාල වෙහෙර නමින් හැඳින්වෙන වෙහෙර සහ ඒ ආශ්‍රිත මැණික් වෙහෙර ආදී වෙනත් නටබුන් දැක්වෙන වීඩියෝව >>


යටාල විහාරය - සෙල්ලිපි සාධක

යටාල දාගැබේ සලපතල මළුවේ තිබී හමුවූ සිධ අලගමික අල මහ විහරහි භිකු...ලෙසින් සඳහන් පො.ව. 2-3 සියවස් වලට අයත් අකුරින් ලියා ඇති පුවරු ලිපියක් 1995 වර්ෂයේදි පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව විසින් පිටපත් කල බව එම දෙපාර්තමේන්තුවේ වාර්ෂික වාර්තාවේ සඳහන් වේ.  යටාල ස්තූපයට නැගෙනහිර දෙසින් හමුවූ සෙල්ලිපි දෙකක් දැනට කියවා පළකර ඇත. 10 වෙනි ශතවර්ෂයට අයත් එම එක් ලිපියකට අනුව අභා සලමෙවන් නම් රජුගේ (මේ රජු හඳුනාගත නොහැක) රාජ්‍යත්වයෙන් තුන්වැන්නේ වෙසක් මස පුර පක්ෂයෙන් දහ වන දින දෙනා ඇත් වෙහෙර නියම්දෙට් [Chief Executive officer of the Dena At Vehera] නාදළ් ඔහු විසින් ඉදි කල නැටුම් මඩියෙහි [Dancing hall] සිටින නැට්ටුවන් උදෙසා සහ ගුළා දදගේ [Gula flag house] සයිසාකන පූජාව [මෙම පූජාව කුමක්දැයි පැහැදිලි නැත] නොකඩවා පවත්වාගෙන යෑම සඳහා රත්තරන් දස කළඳක් පිරිනමා ඇත. එම ශතවර්ෂයටම අයත් අක්ෂර වලින් ලියා ඇති එක් පැත්තක ඇති අකුරු පමණක් කියවීමට හැකි ටැම් ලිපි කැබැල්ලක් වන අනික් ලිපියෙහි දෙනා ඇත් වෙහෙරට නැගෙනහිරෙන් වූ කුඹුරක්ද ඇතුලත් පස් පයල පමණ වූ ඉඩමක් සම්බන්ද යමක් සඳහන් වේ. ලිපිය අභාසලමෙවන් නම් වූ හඳුනාගත නොහැකි රජ කෙනෙකුගේ රාජ්‍යත්වයෙන් තුන්වැන්නේ වෙසක් මස පුර පක්ෂයෙන් 10 වැනි දින එනම් ඉහත ලිපිය පිහිටවූ දිනම පිහිටුවා ඇත. 1999 දී කල ක්ෂේත්‍ර ගවේෂණයකදී යටාල වෙහෙරෙන් සොයාගත් පුවරු ලිපියක් මහාචාර්ය රාජ් සෝමදේව මහතා සිය ආචාර්ය උපාධි නිබන්දනයේ පල කර ඇත. ලිපියේ අවසානයට ඇති අකුරු 5 ක් හැර ඉතිරි කොටස කියැවිය හැකි එහි සඳහන් වන්නේ කිසියම් ඇලක ජල බද්ද මහා විහාරයේ භික්ෂුන්ට පිරිනැමූ බවකි. මීට අමතරව පූජ්‍ය එල්ලාවල මේධානන්ද හිමියන්ගේ රුහුණේ සෙල්ලිපි සම්බන්ධ ග්‍රන්ථයක කියවා නැති සහ කියැවිය නොහැකි ලිපි අතර යටාල වෙහෙරෙන් හමුවූ ගල් කොටයක ගුතශ මණිය ලෙස කියාතිබෙන බව සඳහන් වේ. 

මෙහිදී ගයිගර් සිය මහාවංශ සංස්කරණයේ සඳහන් කරන කරුණක් පිළිබඳව අවධානය යොමු කිරීම වැදගත් වන්නේ යටාල වෙහෙර යන නම ඒ අනුව ආල විහාර හෙවත් අල මහ විහර ලෙසින් නිරුක්ති ගැන්විය හැකි බැවිනි. ගයිගර් පවසන්නේ යට්ඨාලය යන්නෙහි අර්ථය කැපකරන්නාගේ නිවාසය හෙවත් ආරාමය (Dwelling or temple of the sacrificer) බවය. එය සංස්කෘත යස්ටාර්, පාලි යස්ථාර් සහ සංස්කෘත පාලියේ ආලය ලෙසින් ගත හැකි බව ඔහු පවසයි. මෙය තවදුරටත් අර්ථ දක්වන ආචාර්ය දනන්ජය ගමලත් ඉහත සෙල්ලිපියේ අල මහ විහර යන්නෙන් ඒ අනුව ආල විහාර යන්න කියැවෙන බවත් ඒ අනුව මහානාග රජු අනුරාධපුර රාජ්‍යත්වය හැර දමා මහාගාමයට පැමිණ සිදු කල කැපකිරීම සිහිවීමට සිය පුත්‍රයා උපන් ස්ථානයේ තිබූ විහාරයක් සංවර්ධනය කරවා එයට ආල විහාරය (එනම් යට්ඨාලය විහාර) යැයි නම් තැබුවා විය හැකි බවත් පවසයි. කෙසේ නමුත් පසු කලක එම නම වෙනස් වී 10 වන සියවස වන විට මෙම විහාරය දෙනා ඇත් වෙහෙර ලෙසින් හැඳින්වූ බව ඉහත විස්තර කල අනෙක් සෙල්ලිපි වලට අනුව පෙනේ. 

19 සියවසේ බ්‍රිතාන්‍ය වාර්තා සහ දැගැබ පිළිසකර කිරීමේ මුල් උත්සාහයන්

1834 වර්ෂයේ ජනවාරි මාසයේ මේජර් පෝබ්ස් "යටලතිස්ස දාගැබ" ගැන පවසන්නේ එය අඩි 70 ක් පමණ උස ගඩොල් ගොඩක් බවය. එහි මධ්‍යයෙන් පුපුරා තිබී ඇති අතර ගස් සහ අකුල් වලින් සම්පූර්ණයෙන්ම වැසී තිබී ඇත. මගපෙන්වන්නා විසින් පොර්බ්ස් හට පවසා තිබුනේ එවන් විශාල ගරාවැටීමකට හේතුව පෘතුගීසින් විසින් වෙඩි බෙහෙත් යොදා එය විනාශ  කිරිමට උත්සාහ කිරීම බවය. ගොඩවල් ලෙසින් අඩි 7 ක් පමණ උස ගල් කණු සිය ගානක් දාගැබ වටා විසිරී තිබූ බවත් ඒවා වෙනත් වෙනත් විහාර බවත් ඔහු වැඩි දුරටත් සඳහන් කරයි. 

යටාල දාගැබ ප්‍රතිසංස්කරණය සඳහා සැලසුම් පිළියෙල කිරීමට කැණීමක් 1962-63 වර්ෂ වලදී සිදු කර ඇති අතර මෙහිදි පළමුවරට ගල් ඇතුරූ සලපතල මළුවට යටින් ගඩොල් ඇතුරූ මලුවක් හමුවේ. ගඩොලින් කල මළුවේ මතුපිට අඟල් 3 ක් පමණ ඝනකම හුණු බදාමයක් තිබී ඇති බවටද සාධක මෙහිදී සොයාගෙන ඇත. දගැබේ උතුරු දිශාවෙන් සිදු කල කැනීමකදි දැනට පිහිටි පොළවේ සිට අඩි 3 ක් යටින් ප්‍රාකාරයක පාදම හමුවී ඇති අතර එම අඩිතාලමට බොරදම් සහිත ගඩොල් යොදා ඇති බව නිරීක්ෂණය වී ඇත. එම ප්‍රාකාරයට පිටින් තවත් ප්‍රාකාරයක් ඇති බවත් එහි ඇති අඩි 3 ක් පමණ උස කණු ඇත් පවුරක අවශේෂයන් විය හැකි බවත් එම කැනීම පිළිබඳව විස්තර ඉහත වර්ෂ සඳහා වූ පුරාවිද්‍යා කොමසාරිස්තැනගේ පාලන වාර්තාවේ ඉදිරිපත් කරන C.E. ගොඩකුඹුර මහතා සඳහන් කරයි (එම ඇත් පවුර පසුව කරන කැනීම් වලදී සොයාගනී. මෙහි පහත විස්තරය බලන්න.) ඔහු එහි වැඩි දුරටත් සඳහන් කරන්නේ ඉහත සඳහන් ප්‍රාකාර බැමි සියල්ල වසා මෑත කාලයේදී දාගැබ සහ මළුව විශාල කර ඇති බව අවට ඇති ගල් කණු වලින් පෙනෙන බවය. 

යටාල දාගැබේ සංරක්ෂණය කල ඇත් පවුර සහ ජලයෙන් යටවූ පිට මළුව හෙවත් වැලි මළුව
ස්ථානයේ සිදු කරන මූලික කැනීමකින් අනතුරුව එය ප්‍රතිස්ථාපනය කිරීමේ සැලසුමක් පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව මගින් 1972 දී පිලියෙල කරන අතර එහිදි හෙලිවූ කරුණු අනුව මුල් දාගැබ පො.ව. පූර්ව 1 වැනි සියවසට අයත් බවත් පො.ව. 4 වන සියවසේ හෝ පසුව සිදුවූ එහි විශාල කිරීමක් පිළිබඳවත් 1970-1977 වර්ෂ සඳහා වූ පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ වාර්ෂික වාර්තාවේ සඳහන් වේ. 1975 වර්ෂයේදී ස්තූපයේ සංරක්ෂණය පිළිබඳව එකඟතාවයක් දෙපාර්තමේන්තුව සහ යටාල වෙහෙර ප්‍රතිස්ථාපන සමිතිය අතර අත්සන් කරන අතර ඉක්බිති මුල් කාර්යය ලෙස සිදු කර ඇත්තේ 1883 වර්ෂයේ එකල තිබූ ප්‍රතිස්ථාපන සමිතිය මගින් ස්තූපයට එකතුකල ගඩොල් කබොළ ගලවා ඉවත් කිරීමයි. එම ප්‍රතිස්ථාපන උත්සාහය අතරතුරදි මුලදී එක් පේසාවක් පමණක් තිබූ ස්ථූපයට පේසා තුනක් එකතු කර ඇත. 1975 පෙබරවාරි මස 26 දින සිදුවූ මුල්ගල් තැබීමේ උත්සවයෙන් අනතුරුව ස්තූපයේ ගිණිකොණ දිග සහ ඊසාන දිග කොටස් වල පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ අධීක්ෂණය යටතේ ඉහත කී සමිතිය මගින් එම කටයුතු ආරම්භ කර ඇත. ඇතුළු මළුවට පිටතින් මෙහි පැරණි ගඩොල් මුවා ඇත් රූප සහිත හස්තිප්‍රාකාරය එහි ඇතැම් තැන් වල  හුණු බදාමද සුළුවෙන් හෝ ඉතිරිව ආරක්ෂාවී තිබී ඇති අතර, ඒවා සංරක්ෂණය කිරීමද මෙහිදී සිදු කර ඇත. ඇත් රූප වල සැලකිය යුතු මට්ටමේ ප්‍රතිස්ථාපනයක් මෙහිදී සිදු කර ඇති බව සඳහන්ය. ස්තූපයේ පේසාවේ පාදමට ආසන්න ගැටි බැම්මේ වූ හුණුගල් වල වූ 5 වන ශතවර්ෂයට අයත් බ්‍රහ්මී අක්ෂර වලින් ලියා ඇති සෙල්ලිපි විශාල ප්‍රමාණයක් මෙහිදී හමුවූ බව පැවසේ. සමිතිය මගින් මෙම කාර්යන් සඳහා එකතු කල මුදල් අවසන් වෙමින් තිබූ හෙයින් ඒ සඳහා මූල්‍යමය ප්‍රතිපාදන සපයාගැනීම උදෙසා 1977 දෙපාර්තමේන්තු අයවැයට රුපියල් 70000 ක වැය ශ්‍රීර්ෂයක් හඳුන්වාදුන් බවද 1970-1977 වර්ෂ සඳහා වූ පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ වාර්ෂික වාර්තාවේ වැඩිදුරටත් සඳහන් වේ. 
යටාල විහාරයයේ සිටි භික්ෂූන් වහන්සේලා වැඩසිටි ආවාස කුටි ලෙස අනුමාන කරන මෙවැනි ගොඩනැගිලි කිහිපයකම අවශේෂ යටාල දාගැබ අවට දැකිය හැක.
19 වන ශතවර්ෂයේ අවසාන භාගයේ ආරම්භ වී සිදුකල පුද්ගලික සංරක්ෂණයකදි ස්තූපයේ බඳට එකතු කල ඝන ගඩොල් ස්ථරයේ බටහිර සහ වයඹදිග පැති වල ගඩොල් පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව විසින් ඉවත් කල බව 1979 වර්ෂය සඳහා වූ පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ වාර්තාවක සඳහන්වේ. කෙසේ නමුත් කතරගම ගම් උදාව ව්‍යාපෘතියට සමගාමීව මෙම දාගැබේ සංරක්ෂණයක් 1994 දී පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව මගින් නැවතත් ආරම්භ කරයි. ඉහත සඳහන් කල පරිදි බෞද්ධ සමිතියක් මගින් මෙම දාගැබ සංරක්ෂණය කිරීමේ උත්සාහයක් එයට පෙර සිදු කර ඇති අතර මුලදී එක් පේසාවක් පමණක් තිබූ මෙහි එම සංරක්ෂණය සිදු කල පිරිස විසින් පේසා තුනක් එකතු කර අඩි 40 ක් පමණ උසක් දක්වා ඉදිකිරීම් සිදුකර නතර කර ඇත. මේ නිසා පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව මගින් නැවතත් මුල සිටම ස්තූපයේ සංරක්ෂණය ආරම්භ කර ඇත. එහිදි ප්‍රධාන දිශා සතරින්ම සඳකඩපහණ සහ පඩිපේලි සහිත පිවිසුම් හතරක් සහිත පිට මළුවේ කැනීමක් සිදු කරන අතර දැනට පිහිටි පොළොවේ සිට අඩි 5 ක් යටින් පිහිටි එම මළුව පාදාගැනීමත් සමග එය වතුරින් පිරී  ඇත. පුරාණයේ තිබූ මට්ටමේ සිට භූගත ජල මට්ටම අඩි 5 ක් පමණ මෙම ප්‍රදේශයේ ඉහල ගොස් තිබීම මෙයට හේතුව බව පැවසේ. එම භූගත ජල මට්ටම තිස්සමහරාම වැව දක්වාම එලෙස ඇති බව සඳහන්වේ. එම හේතුව නිසා මේ වන විටත් එම පිට මළුව ජලයෙන් යටවී ඇති අතර එම ජලය ඉවත් කිරීමට ගත් සියළු උත්සාහයන් ව්‍යවර්ථ වී ඇත.

ස්තූපයේ සංරක්ෂණයට පෙර යටාල වෙහෙරෙහි ගල් පතුරු ඇල්ලූ සලපතල මලුවෙහි 1998 වර්ෂයේ සිදු කල කැනීමකදී යටම පිහිටි ගල් පතුරු ස්ථරයට යටින් අවම වශයෙන් අවධි තුනකට අයත් ගඩොල් ස්ථර අතුරා ඇති බව නිරීක්ෂණය වී ඇත. පහලම පිහිටි ස්ථරයේ ගඩොල් ප්‍රමාණයෙන් විශාල ඒවා බවද සඳහන්ය. එම කැනීමෙන් ගෙවීගිය කෙටි පාද සතරක් සහිත ශෛලමය ඇඹරුම් ගල් වැනි භාණ්ඩ (Saddle querns) කිහිපයක්ම හමුවී ඇති අතර ඒවායේ මතුපිට පො.ව.  3 - 2 සියවස් වලට අයත් මුල් බ්‍රහ්මී අකුරු සහ විවිධ සෞභාග්‍යයේ සංකේත කොටා තිබී ඇත (මෙම ගල් කිහිපයක් දැනට යටාල කෞතුකාගාරයේ ප්‍රදර්ශනයට තබා ඇත.)   

පිළිම ගෙයක්

19 වන සියවසේ හෙන්රි පාර්කර් යටාල දාගැබේ සිදු කල නිරීක්ෂණ

යටාල දාගැබේ 19 වන සියවසේ ප්‍රතිසංස්කරණ කටයුතු සිදුවන අවධියේ එහි තිබූ ගඩොල් විශාල ප්‍රමාණයක අක්ෂර කොටා තිබූ බව එවකට වාරිමාර්ග නිලධාරියෙක් වූ හෙන්රි පාර්කර් නිරීක්ෂණය කර ඇත. කිහිපයක් හැර සියළුම ගඩොල් වල පාහේ තිබී ඇත්තේ එක අක්ෂරයක් මුත් අකුරු දෙකකින් සැදි පුද්ගල නාම ලෙස ගිනිය හැකි කජ, තක, ජත වැනි ගඩොල්ද ඔහුට හමුවී ඇත. පාර්කර් අනුමාන කරන්නේ එම අක්ෂර ගඩොල් නිෂ්පාදනය කල පුද්ගලයන්ගේ මුලකුරු විය හැකි බවය. ගඩොල් පිලිස්සීමට පෙර එම අක්ෂර ලියන්නට ඇති බවය ඔහුගේ අදහස. බහුතරයක් ගඩොල් වල අකුරු ලියා ඇත්තේ ඇගිල්ලෙන් බවය පාර්කර් සඳහන් කරන්නේ. එහෙත් ගඩොල් කිහිපයක උල් කල කෝටුවකින් හෝ රිකිල්ලකින්ද තවත් ස්වල්පයක් පැහැදිලිවම තද ලී වර්ගයකින් කල අච්චුවකින් අලංකාර ලෙස ගැඹුරට මුද්‍රා තබා තිබූ බවත් හෙතෙම සඳහන් කරයි. පාර්කර් යටාල දාගැබ ඉදිකල කාලය පො.ව. පූර්ව 220 පමණ කාලය විය හැකි බවට අනුමාන කරයි. මීට අමතරව පාර්කර් හට කලින් ධාතු ගර්භය තුල තිබී පසුව එය හාරා විනාශ කල පසු පහලට වැටී ස්තූපයේ පහල කොටසේ සුන්බුන් අතර යටවී තිබී කරඩු හතරක්ද හමුවේ. මින් එකක් අඹතේස්ත [Amethyst] පාෂාණයෙන්ද, තවකෙක් ස්ඵටික පාෂාණයෙන්ද [Rock-crystal] (මෙහි පියනද ඒ සමග වෙනම තිබී හමුවී ඇත.) තනා තිබී ඇත. ක්‍රිසෝබෙරිල් [Chrysoberyl] පාෂාණයෙන් නිමවූ දාගැබක හැඩය සහිත තවත් කරඩුවක් සහ ස්ඵටික පාෂාණයෙන්ම නිමවූ මනාව ඔපදැමූ තවත් කරඩුවක් එහි පියනද සමගින් හමුවූ බව පාර්කර් විස්තර කරයි. එම සිව්වන කරඩුවේ කුහරය තුල ධාතු තැන්පත් කර තිබූ තුනී රත්තරන් පතුරු දෙකක්ද තිබී ඇත. තවද කාසි දෙකක් විය හැකි රිදියෙන් කල නමුත් කිසිදු සලකුණක් නොමැති සතරැස් කුඩා පැතලි කැබලි දෙකක්ද ඔහුට හමුවූ ද්‍රව්‍ය අතර තිබී ඇත. මෙහි තිබී පාර්කර් හට හමුවු සුවිශේෂම දෙය නම් රතු කාර්නේලියන් පාෂාණයෙන් තැනූ මුදුවකට අල්ලා තිබුනා විය හැකි මුද්‍රාවයි. එහි මුහුණතේ පුටුවක් වැනි ආසනයක ඉඳගෙන සිටින රජ කෙනෙකුගේ රුවක් කැටයම් කර තිබී ඇත. පාර්කර්ගෙ විස්තරයට අනුව එම රූපයේ ඉතා සියුම් ලෙස එම පුද්ගලයාගේ ශරීරයේ සහ ඔහු පැලද සිටි ආභරන සහ ඇඳුම් ආදියේ මෙන්ම ඔහු වාඩිවී සිටින ආසනයේද විස්තර මතු කර තිබී ඇත. (එම කාර්නේලියන් ගලේ ප්‍රමාණය අඟල් 0.78 කි.)  

හුණු ගලින් නිර්මිත බුදු පිළිම 2 සහිත පිළිම ගෙය

යටාල ස්තූප මළුවේ ප්‍රතිමාගෘහ සහ පිළිම

යටාල ස්තූප මළුවේ ප්‍රතිමාගෘහ 8 ක් ඉදි කර තිබී ඇත. එහෙත් දැනට එහි ආරක්ෂා වී ඇත්තේ 7 ක් පමණි. සෑ මළුවේ එක් කෙලවරක දෙක බැගින් ඉදි කර ඇති මෙම ප්‍රතිමාගෘහ අතරින් චතුරශ්‍ර සැලසුමකට ඉදි කර ඇති එක් ප්‍රතිමාගෘහයක පාදම සලපතල මළුවේ මට්ටමට වඩා පහලින් ඇති හෙයින් මුලින් ඉදි කරන්නට ඇති බවත් ඉතිරි ප්‍රතිමාගෘහ ඉන්පසු කාලයකදි එකවර ඉදි කරන්නට ඇති බවත් ආචාර්ය දනන්ජය ගමලත් මහතා පවසයි. ඔහු එම ප්‍රතිමාගෘහය හැර අනිත් ප්‍රතිමා ගෘහ 7 ඉදි කල කාලය පො. ව. 5-7 සියවස් වලට අයත් විය හැකි බව සඳහන් කරයි. පැරණි ප්‍රතිමාගෘහය ඔහුට අනුව පො.ව. 3 - 6 සියවස් අතර කාලයේ ඉදි කර ඇත.  මහාචාර්ය ප්‍රිශාන්ත ගුණවර්ධන මහතාට අනුව මෙම ප්‍රතිමා ගෘහ පොළොන්නරු යුගයට අයත් ඒවා වේ. එහෙත් මෙම ප්‍රතිමාගෘහ එම යුගයට අයත් වන්නේ කුමන හේතූන් නිසාද යන්නට ඔහු කරුණු නොදක්වයි. පොළොන්නරු යුගයට නිසැකවම අයත් කල හැකි පබළු වෙහෙර වැනි පොළොන්නරුවේ තිබෙන දාගැබ් කිහිපයකම මේ ආකාරයේ ප්‍රතිමාගෘහ දාගැබ් මළුවේ දක්නට ලැබෙන හෙයින් ඔහු එම අදහස පල කලා විය හැක. එහෙත් එම අදහස ප්‍රතික්ශේප කරන ආචාර්ය දනන්ජය ගමලත් පොළොන්නරු යුගයේ ඉදිකල එම සියළුම පිළිම ගෙවල් දාගැබ් මළුවේ ස්ථූපයේ පේසා වලට බද්දව ස්තූපයට පිටුපා සිටින සේ පිළිම තැන්පත් කිරීමට ඉදි කල ඒවා බව ආදී වාස්තුවිද්‍යා ලක්ෂණ කිහිපයකම වෙනස්කම් මෙන්ම යටාල වෙහෙරේ තැන්පත් කර තිබූ පිළිම වල අංග ලක්ෂණ අනුව ඒවා පො.ව. 3 - 7 සියවස් අතර ප්‍රචලිතව තිබූ අමරාවතී සහ පශ්චාත් ආන්ද්‍ර අමරාවතී බුද්ධ ප්‍රතිමා වල මූලික ලක්ෂණ නියෝජනය කරන හෙයින් එම පිළිම හෝ ප්‍රතිමාගෘහ පොළොන්නරු යුගයට අයත් කල නොහැකි බව පෙන්වා දෙයි.  

බෝධිසත්ව රූපය
යටාල දාගැබ් මළුවේ පිළිමගෙයක් තුල හුණුගලින් කල බෝධිසත්ව රූපයක් ඇත. 7-8 සියවස් වල නිර්මාණය කරන්නට ඇති බව පැවසෙන මෙය රජ රුවක් විය හැකි බවට ෂ්රූඩර් සිදු කරන අනුමානය මෙම පිළිමය ප්‍රතිමාගෘහයක් තුල තැන්පත් කර ඇති බැවින් ආචාර්ය දනන්ජය ගමලත් ප්‍රතික්ෂේප කරයි. ඩොලමයිට් මාර්බල් පාෂාණයෙන් නිමකර ඇති මෙම බෝධිසත්ව රූපයේ මකූටයේ සලකුණු අපැහැදිලි බැවින් එයින් කිනම් බෝධිසත්වවරයෙකු නිරූපණය වන්නේදැයි ඉඳුරා පැවසිය නොහැකි බව ඔහු වැඩිදුරටත් සඳහන් කරයි. මෙම දාගැබ් පරිශ්‍රයෙන් හමුවූ තවත් හුණුගලින් නිර්මාණය කර ඇති 6-7 සියවස් වලට අයත් බවට විශ්වාස කරන බෝධිසත්ව ශීර්ෂයක් සහ 7-8 සියවස් වලට අයත් යැයි පැවසෙන බොහෝවිට මෛත්‍රී බෝධිසත්ව පිළිමයක් ලෙසට හඳුනාගත හැකි දෑත් වලින් අහ්වන මුද්‍රාව දැක්වෙන පිළිමයක් යටාල කෞතුකාගාරය තුල ප්‍රදර්ශනයට තබා ඇත. ඉහත බෝධිසත්ව ශීර්ෂය හින්දූන්ගේ යෝගී ශිව ( යෝගේශ්වර) රූපය අනුකරණය කරමින් මහායාන බෞද්ධයන් නිර්මාණය කල යෝගී අවලෝකිතේශ්වර පිළිමයක හිසක් බවත් සමහර යෝගී අවලෝකිතේශ්වර පිළිම වල ජටාමකූටයේ ධ්‍යානි බුදුරුව නැති බවත් යටාල වෙහෙරින් ලැබී ඇත්තේ එවන් බෝධිසත්ව ශීර්ෂයක් බවත් මහාචාර්ය චන්ද්‍ර වික්‍රමගමගේ මහතා සඳහන් කරයි. මෙම පිළිම ගෙවල් 8 අතරින් එක් පිළිමගෙයක හුණු ගලින් නිර්මිත බුදු පිළිම 3 ක් හමුවී ඇති අතර ඉන් වඩාත් හොඳ මට්ටමේ තිබූ ස්ඵටික හුණුගලින් තැනූ දකුණතින් අභය මුද්‍රාව නිරූපිත පිළිමය දැනට යටාල කෞතුකාගාරය තුල තැන් පත් කර ඇති අතර, අනෙක් පිළිම දෙක එම පිළිම ගෙය තුලම දැකිය හැක. මින් එක් පිළිමයක හිස දැකිය නොහැකි අතර මෙම පිළිම සියල්ල 8 වන සියවසට අයත් විය හැකි බවට ෂ්රූඩර් අනුමාණ කරයි. යටාල පරිශ්‍රයෙන් හමුවූ හුණුගලින් නිර්මිත තවත් අඩි 1.5 පමණ උස බුදු පිළිමයක සිරසක් ෂ්රූඩර් 7-8 සියවස් වලට කාල නිර්ණය කර ඇතිමුත්  සෙනරත් පරණවිතාන මහතාට අනුව එය 3 වන ශතවර්ෂයට අයත්ය. යටාල කෞතුකාගාරය තුලම තවත් 5-6 සියවස් වලට අයත් ලෙස අනුමාණ කරන ශීර්ෂය රහිත හුණුගලින්ම නිර්මිත පීඨයක් මත නෙලා ඇති හුණුගල් හිඳි පිළිමයක් දැකිය හැකි අතර එහි පිටිපස වූ හුණුගලින්ම නිර්මිත ආසනයේ වම්පසින් කිසියම් රුවක් මතු කර ඇති බව පෙනේ. පොළොන්නරුව ගල් විහාර පිළිම අතර දැකිය හැකි බෙහෙවින් මතභේදයට ලක්වූ පිළිමයක් වන දෑත ලය මත බැඳ තබාගෙන සිටින ආකාරයේ මුද්‍රාවක් සහිත කවන්ද පිළිමයක් මෙම යටාල පරිශ්‍රයෙන්ද හමුවී ඇත (මහාචාර්ය ප්‍රිශාන්ත ගුණවර්ධන මහතාට අනුව  යටාල කෞතුකාගාරයේම තබා ඇති ඉහත විස්තර කල බුදු පිළිම හිස මෙම පිළිමයේ හිස වේ.) හුණුගලින් නිර්මිත මෙම පිළිමයද 8-7 සියවස් වලට අයත් ලෙස සැලකෙන අතර දැනට යටාල කෞතුකාගාරයේ තැන්පත් කර ඇත. නමුත් පොදුවේ මෙම සියලු බුද්ධ ප්‍රතිමා පො.ව. 3 - 7 සියවස් අතර කාලයේ ප්‍රචලිතව තිබූ අමරාවතී සහ පශ්චාත් ආන්ද්‍ර අමරාවතී සම්ප්‍රදායට අනුව නෙලා ඇති හෙයින් ඒවා එම යුගයන්ට අයත් විය යුතු බවය ආචාර්ය දනන්ජය ගමලත් මහතාගේ මතය.

ස්තූපයේ පහල මට්ටමේ බොරදම් වල මහායාන සූත්‍රයක් වන ධාරණී සූත්‍රය කොටා ඇති බැවින් (ඉහත සඳහන් කල 70 දශකයේ සිදු කල කැනීම් වලදී ස්තූපයේ පේසාවේ පාදමට ආසන්න වූ ගැටි බැම්මේ තිබී හමුවූ බ්‍රාහ්මි අක්ෂර වලින් ලියා ඇති සෙල්ලිපි මෙම ධාරණී සූත්‍රය සහිත සෙල්ලිපි විය යුතුය.) මෙම යටාල ස්තූපය අයත් වන සංඝාරාමය මහායාන ඇදහීම් පිළිගත් භික්ෂූන් සිටි සංඝාරාමයක් බව මහාචාර්ය රාජ් සෝමදේව මහතා පවසයි. එම අක්ෂර  4 වැනි හෝ 5 වැනි සියවස් වලට අයත් බවය ඔහු වැඩිදුරටත් සඳහන් කරන්නේ. කෙසේ නමුත් මෙරට මහායානික ඇදහීම් පිළිබඳව මහාවංශයට අනුව මුලින්ම සඳහන් වනුයේ වෝහාරිකතිස්ස (පො.ව. 209-231) හා පසුව ගෝඨාභය හෙවත් මේඝවණ්ණ අභය ( පො.ව. 249-262 ) රජුගේ රාජ්‍ය කාල වලදීය. එසේම මෙරටින් හමුවී ඇති පැරණිම මහායාන ලේඛන පො.ව. 8 වන සියවසට වඩා පැරණි නොවේ. එහෙත් කිසියම් කලක මෙම විහාරය මහායාන ඇදහීම් සිදු කල ස්ථානයක් බවට පත්වූ බව එම සාධකය මෙන්ම බෝධිසත්ව වන්දනය උදෙසා පිළිමයක්ද සහිතව වෙනමම පිළිම ගෙයක් තිබීම ආදී වෙනත් පුරාවිද්‍යාත්මක අවශේෂ අනුව පැහැදිලිය. එය අනුරාධපුර යුගයේ මධ්‍යතන අවදිය විය හැක.  

යටාල වෙහෙර පරිශ්‍රයේ ඇති ආසනඝරය නොහොත් බෝධිඝරය පිළිබඳව වූ ලිපිය කියවීමට >>

මූලාශ්‍ර

  • Archaeological survey of Ceylon Inscriptions of Ceylon  Volume V Part III, Sirimal Ranawella, 2005
  • Administration Report of the Archaeological Commissioner for the years 1970-1977, R.H. de Silva
  • Administration Report of the Director-General of Archaeology for the year 1994, S.U. Deraniyagala
  • Administration Report of the Director-General of Archaeology for the year 1995, S.U. Deraniyagala
  • Administration Report of the Director-General of Archaeology for the year 1998, S.U. Deraniyagala
  • Administration Report of the Commissioner of Archaeology for the year 1979, R.H. de Silva, W.S. Karunaratne
  • බුද්ධ ප්‍රතිමාගෘහයේ අවකාශීය සංවිධානය (අනුරාධපුර සහ පොළොන්නරු යුග ඇසුරෙන්) - ආචාර්ය දනන්ජය ගමලත්, 2016
  • අපේ උරුමයන් මගේ ඇසින්, පුරාතන ලංකාවේ බුද්ධ සහ බෝධිසත්ත්ව ප්‍රතිමා, වෛද්‍ය රුවන් මාරසිංහ, 2021
  • ශ්‍රී ලංකාවේ බෞද්ධ ප්‍රතිමා කලාව,  මහාචාර්ය චන්ද්‍ර වික්‍රමගමගේ, 2006
  • 1962-63 මුදල් වර්ෂය සඳහා පුරාවිද්‍යා කොමසාරිස්තැනගේ පාලන වාර්තාව, චාල්ස් ගොඩකුඹුරේ, 1964
  • Eleven years in Ceylon, Major Forbes, 1840
  • Studies in Global Archaeology 5,  Raj Somadeva, Urban Origins in Southern Sri Lanka, 2006
  • රුහුණේ යටගියාව සහ සෙල්ලිපි, පුරාවිද්‍යා චක්‍රවර්ති පූජ්‍ය එල්ලාවල මේධානන්ද හිමි, 2013
  • Buddhist Monasteries Towards Urbanism in Southern Sri Lanka, Prishanta Gunawardhana, 2009
  • Archaeology of Tissamaharama, Henry Parker, 1884 ( Reprint 1998)
  • මහාවංස 1 වෙළුම, මාගධී පෙළ සහ සිංහල අනුවාදය, නව සංස්කාරක චන්ද්‍ර වික්‍රමගමගේ, සිංහල අනුවාදය අරුණ තලගල, 2012
  • Chulavamsa, Being the more recent part of the Mahavamsa, Translated by Wilhelm Geiger And from the German into English by C. Mabel Rickmers, 1929
  • Nicholas C.W. 1963, Historical Topography of Ancient and Medieval Ceylon, Journal of the Ceylon Branch of the Royal Asiatic Society, New Series, Volume VI, Special Number. 
  • සිංහල ධාතුවංශය (සේරුවාවිල තිස්ස මහා විහාරවංශය ) M.W. විමල් විජේරත්න සංස්කරණය, 2012
  • සද්ධර්මාලංකාරය



2 comments:

  1. ගොම රිටි උඩට එන කාලෙක බොල් පිළිම
    වන්දනා නොකොට ඉතිහාසය කීම
    පුරුද්දකි ඔබේ, භූෂණ හැමදාම
    අගයමි එතැත, හද පිරි පිරියෙන් මෙහෙම!

    ReplyDelete