Sunday, February 18, 2018

රූපවතී දේවිය කරවූ, සසරින් එතර වීමට රන් නැවක් වන් වූ, ස්වර්ණමය ස්ථූපය - පබළු වෙහෙර

ඉක්බිති.......ඒ රජුගේ ප්‍රිය භාර්යාව වූ .............රූපවතී දේවිය "මිනිසුන්ගේ ආයුෂ අල්පය, සත් පුරුෂයා ඒ දැන හිස ගිනිගත්තකු මෙන් ක්‍රියා කරන්නේය; මරුගේ නොපැමිණීමක් නොවන්නේය", මේ ආදී අනිත්‍යතාවෙන් යුක්ත බවද, නොයෙක් බුදුවරුන් විසින් ප්‍රකාශකරන ලද පරිදි, සත්වයන්ගේ ආයුෂ අල්පබවද, සසර සැරිසරණ සත්වයන්ගේ පිහිටට පින් හා සමාන කිසිවක් නැති බවද දන්නී, බුදුන්ගේ අනුශාසනා සිහිකරන්නී, අප්‍රමාදීව නොයෙක් ආකාර කුසල් රැස්කරන්නී, සංසාර සාගරයෙන් එතරව නිවන්තෙරට පැමිණවීමට රන් නැවක් වැනි වූ, ස්වර්ණමය ස්තූපයක් නගරය මැද කරවූවාය. (මහාවංශය 71 වන පරිච්ඡේදය)
පැරණි පොළොන්නරුවේ නගරයේ ප්‍රාකාරය තිත් මගින් සලකුණු කර ඇත. පබළු වෙහෙර එම නගර සීමාවේ උතුරු දෙසින් පිහිටා ඇත.
පොළොන්නරුව පැරණි නගරයේ දැනට දක්නට ඇති ප්‍රාකාරයේ නටබුන් අනුව එහි සීමාව ඉහත සිතියමේ දක්වා ඇත. එම ප්‍රාකාරයෙන් වටවූ ප්‍රදේශයේ දක්නට ඇති එකම ස්ථූපය පබළු වෙහෙර නමින් දැනට හැඳින්වෙන ස්ථූපයයි. ඉහත මහාවංශ ගාථා වලින් පැවසෙන පරිදි එම ස්ථූපය 'නගරය මැද' කරවූ බව පැවසෙන හෙයින් පරාක්‍රමබාහු රජුගේ බිසවක වූ රූපවතී දේවිය ඉදිකල 'ස්වර්ණමය ස්තූපය' මෙම පබළු වෙහෙර වීමට බෙහෙවින්ම ඉඩ ඇත. මෙම භූමියේ සුලභව පබළු දක්නට ලැබුන බැවින්(?) පබළු වෙහෙර යන නම මෑත අවදියේ කිසියම් කලක ප්‍රදේශවාසීන් විසින් තබන්නට ඇතැයි සැලකේ.
පිළිම ගෙයක්
සොලී ආක්‍රමණ වලදි සිදුවූ විනාශයන් හේතුවෙන් හෝ පොළොන්නරුව අග නගරය අතහැර දැමීමත් සමග වන ප්‍රවාහයට අසුවීමෙන් හෝ විනාශ වී ගිය මෙම දාගැබෙහි ඉහල කොටස මේ වන විට දක්නට නොමැත. එහි කොත් කැරැල්ල මුලු මනින්ම විනාශ වී තිබූ අතර හතරැස් කොටුවද සම්පූර්ණයෙන්ම විනාශ වූ ගඩොල් ගොඩක් පමණක්ව තිබූ බව මුල් යුගයේ මේ පිළිබඳව ලියැවුණු පුරාවිද්‍යා ගවේශන වාර්තා වල සඳහන් වේ.
ශෛලමය හිඳි පිළිමයක් සහිත පිළිම ගෙයක්
පබළු වෙහෙර වටා නොයෙක් ප්‍රමාණයේ බුදු මැදුරු නවයක් දක්නට ලැබෙන අතර මෙම ගොඩනැගිලි ඇතැම් විට විවිධ යුග වලදී එයට එක් කලා වීමටද ඉඩ ඇත. ගඩොලින් ඉදිකල සැතපෙන බුද්ධ ප්‍රතිමාවක් එක් කුටියක දක්නට ලැබෙන අතර, එක් ශෛලමය හිඳි බුදු පිළිමයක් සහ හිටි පිළිම කිහිපයක්ම මෙම කුටි තුල දක්නට ලැබේ. මින් සමහරක් පිළිම නිධන් හොරුන් විසින් හෝ ආක්‍රමණික හමුදාවන් විසින් හෝ උවමනාවෙන් විනාශ කර ඇති බව පෙනේ. හිටි පිළිම කිහිපයකම හිස දක්නට නැත.
ශෛලමය හිටි පිළිමයක් සහිත පිළිම ගෙයක්
ස්තූපයේ දකුණු පස පෙදෙසින් එහි පළමුවන සහ දෙවන පේසා කරා ගොඩවීමට ඉදිකර තිබූ පඩි සහ මල් ආසනයක් දක්නට ඇත. කොරවක් ගල්, මුරගල් සහ සඳකඩපහණ මගින් එම පියගැටපෙල අලංකාර කර ඇත. මෙය පසුකාලීන එකතු කිරීමක් විය හැකි බවය සෙනරත් පරණවිතාන මහතාගේ අදහස
පළමුවැනි සහ දෙවැනි පේසාවලට ගොඩ වීමට තැනූ පියගැටපෙලවල්
වර්ෂ 1938 දී මෙම පබළු වෙහෙර කැනීම් කර සංරක්ෂණය කල A.H. Longhurst පවසන පරිදි ඔහුට මෙහි හතරැස් කොටුවේ බිම මත ගිල්ලවා තිබූ විශාල රවුම් කළු ගලකට සවි කර තිබූ පැති අටකින් යුතු ශෛලමය ස්ථම්භයක් හමුවී ඇත. චත්‍රාවලියේ යෂ්ටිය ලෙසින් ඔහු එය හඳුන්වන මුත් පැහැදිලිවම එය යූප ගල ලෙසින් හඳුන්වන පැරණි ස්තූප වල හමුවන අංගය ලෙසින්  හඳුනාගත හැක. එම ස්ථම්භයේ පාමුල සහ එය සවි වී තිබූ රවුම් ගලමත උණු කර වැක්කෙරූ යකඩ ඔහුට දක්නට ලැබී ඇත. එම යූප ගල ස්ථානයේ දැනට දක්නට නොමැති මුත් රවුම් ගල දක්නට ලැබුන බව ඒ පිළිබඳව සොයා බැලූ W.B. මාකස් ෆනැන්ඩු මහතා පවසා ඇත (1990). මෙහි කැනීමෙන් සොයාගත් දේ අතර කුඩා රන් ආලේපිත ලෝකඩ ස්තූපය පබළු වෙහෙරේ ආකෘතියක් විය හැකි බවය Longhurst මහතාගේ අදහස.
පිළිම ගෙයක්
එම රවුම් ගලට පහලින් ගඩොලින් කර සිව් දිසාවෙන් පිළිම තැබීම සදහා සෑදු කුඩා කුටි සහිත ධාතු ගර්භය හමු වී ඇති අතර එය තුල කුටීර නවයකින් සමන්විත යන්ත්‍ර ගල හෙවත් ගර්භපාත්‍රයක් හමු වී ඇත.  එහි සිව් දිශා වල එම දිශා වලට අයත් සතුන්ගේ කුඩා පිලිරූ තැන්පත් කර තිබී හමුවී ඇත (එනම් නැගෙනහිර දිසාවට ඇතා, දකුණු දිසට ගවයා, බටහිරට අශ්වයා සහ උතුරු දෙසින් සිංහයා ).
හිටි පිළිම දෙකක් සහිත පිළිම ගෙයක්
මූලාශ්‍ර
  • Polonnaruwa, Medieval Capital of Sri Lanka, Anuradha Seneviratna, 1998
  • University of Ceylon History of Ceylon Volume 1, Part 2, 1960.
  • History and Archaeology of Sri Lanka, Volume II, The Art and Archaeology of Sri Lanka 1, CCF, 2007
  • Archaeological Department Centenary (1890-1990) Commemorative series, Volume Three, Architecture, Editor in Chief Pandit Dr. Nandadeva Wijesekera, 1990
  • මහාවංස 2 වෙළුම, ක්‍රි.ව. 303-1815 මාගධී පෙළ සහ සිංහල අනුවාදය, නව සංස්කාරක චන්ද්‍ර වික්‍රමගමගේ, සිංහල අනුවාදය අරුණ තලගල, 2012
  • Memoirs of the Archaeological Survey of Ceylon, Volume V, The Stupa in Ceylon, S. Paranavitana, 1988
  • Heritage of Rajarata, Chandra Wikramagamage, 2004
  • Archaeological Department Centenary (1890-1990) Commemorative series, Volume One, History of the Department of Archaeology, Editor in Chief Pandit Dr. Nandadeva Wijesekera, 1990


No comments:

Post a Comment