Monday, February 5, 2018

කපිල විහාරය, පොත්ගුල් වෙහෙර සහ කාම්බෝජයේ Monastery of Mi Baume

පොළොන්නරුවේ පැරණි නගරයේ නටබුන් පිහිටි ප්‍රදේශයට දකුණින් සුප්‍රසිද්ද 'පරාක්‍රමබාහු පිළිරුව' ලෙසින් වැරදියට හඳුනාගන්නා පිළිරුවට නුදුරින් පිහිටි නටබුන් වූ ගොඩනැගිලි සහිත ප්‍රාකාරයකින් වටවූ පෙදෙස වර්තමානයේ පොත්ගුල් වෙහෙර ලෙසින් හඳුනාගනී. මිනින්දෝරු දෙපාර්තමේන්තුවේ D. Blair විසින් වර්ෂ 1898 දී තමන්කඩුව කෝරලයේ පැරණි වාරිමාර්ග පද්ධති සම්බන්ධව ඉදිරිපත් කල වාර්තාවක (Ancient irrigation channels, &c., in Tamankaduwa) පළමුවරට මෙම ස්ථානය පිළිබඳව සඳහනක් හමුවේ. "Pulge Vihare නමින් හඳුන්වන ස්ථානයක් පරාක්‍රමබාහු පිළිමයට මද දුරක් දකුණින් ඇති බවත්, මෑතකදි නිධන් සොයන්නන් විසින්  එහි සුන්බුන් ටොන් ගනනක් ඉවත්කල බවත්" ඔහු එහි සඳහන් කරයි. එම කාලය වනවිටත් මෙම ස්ථානය පොත්ගුල් වෙහෙර ලෙසින් හැඳින්වුනු බව එම නමේ විකෘතියක් ලෙස පෙනෙන Pulge Vihare යන්නෙන් පැහැදිලි වේ. එහෙත් එහි පැරණි නම එය විය නොහැක.
ඉහලම මළුවේ පිහිටි වලයාකාර ගොඩනැගිල්ල සහ නැගෙනහිර දෙසට වූ මණ්ඩප දෙක
සිය පාලන වාර්තා වල පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ පළමුවන පුරාවිද්‍යා කොමසාරිස් ධූරය හෙබවූ H.C.P. බෙල් මුල්වරට 1904 සහ නැවතත් 1906 යන වසර වල පොත්ගුල් වෙහෙර (Pot-gul Vehera) ගැන තොරතුරු ඉදිරිපත් කරයි. 1904 වසරේදී එහි ඝන කැලය කපා කැලෑවෙන් සම්පූර්නයෙන් වැසි තිබූ නටබුන් පාදාගන්නා තෙක් එය පිහිටි නිවැරදි ස්ථානය පවා නොදැන සිටි බව බෙල් පවසයි. එවකට දැකිය හැකි වූ නටබුන් පිළිබඳව දීර්ඝ විස්තරයක් ඉදිරිපත් කරන බෙල් පොත්ගුල් වෙහෙර නමින් හැඳින්වූ වලයාකාර ගොඩනැගිල්ලේ වහලය කඩා වැටීම නිසා එහි ඇතුලත පිරී තිබූ අවශේෂ 1890 වසරේදී නිදන් හොරුන් විසින් සිදු කල දරුණු කැනීම් සහ සුන්බුන් ඉවත්කිරීම් නිසා, එහි හැඩය පිළිබඳව කිසිම තොරතුරක් සොයාගත නොහැකි පරිද්දෙන් ඒ වනවිටද විනාශ වී තිබූ බව පවසයි. කෙසේ නමුත් එවකට දැකිය හැකිවූ අයුරින් වහලයේ පිටත හැඩය කුමක් වුවත් ඇතුලතින් එය ක්‍රමයෙන් හීන් වෙමින් යන කේතු ආකාර වූ බව හෙතෙම වැඩිදුරටත් සඳහන් කරයි.
වලයාකාර ගොඩනැගිල්ල සහ පළමු මණ්ඩපයේ දැකිය හැකි බිත්තිය තුලට ඉදිකල කුඩා අවකාශ 
බෙල් සිය වාර්තාවේද පවසන අයුරින් මෙම ස්ථානයට ව්‍යවහාර වන පොත්ගුල් වෙහෙර යන නම එතරම් පැරණි නොවේ. ඔහු පවසන්නේ එය  (1906 සිට) වසර 20 කට පමණ පොරොතුව පුස්කොල පොත් සහ වෙනත් පැරණි දේවල් සොයමින් මෙම චක්‍රාකාර ගොඩනැගිල්ලේ සිදුකල තකතීරු විනාශය සිදුකල අවධියේ ඇති වූවක් විය හැකි බවය. මෙම විනාශය සඳහා උසස් උඩරට රදලවරයෙකු සම්බන්ද වූ බවට යම් ඉඟියක් බෙල් ඉදිරිපත් කරන අතර එම රදලවරයා නූගත් ප්‍රදේශවාසින් ඒ සඳහා යොදාගත් බවත්, මෙහි පැරණි පොත් ඇතිබවට ඔහු සිදු කල ප්‍රකාශයක් එම ගැමියන්ට පොත්ගුල් වෙහෙර ලෙසින් මෙය නම් කිරීමට ප්‍රමානවත් බවත් බෙල් පවසයි.
ප්‍රධාන ගොඩනැගිල්ල ඉදිරිපසින් (නැගෙනහිර දෙසින්)
කෙසේ නමුත් මෙය පොත් රැස් කල පුස්තකාලයක් විය නොහැකි බවත් එය බොහෝ දුරට මහාවංශයේ දැක්වෙන පරිදි පරාක්‍රමබාහු රජු "බුදුන් විසින් දෙසන ලද ජාතක එහි නැවතී සිටින ආචාර්යවරුන් ලවා කියවන්නට කරවූ රමණිය මණ්ඩලමන්දිරය" විය හැකි බවත් බෙල් සැක කරයි (කෙසේ නමුත් එම මණ්ඩල මන්දිරය පිළිබඳව මහාවංශ සඳහන රජුගේ මාළිගය සම්බන්දව වන විස්තරයේ අතුලත් වන්නක් වන හෙයින් එය එම මාළිගාව තුල හෝ ඒ අසල තිබූවක් වූ බව පෙනේ. පොත්ගුල් වෙහෙර පිහිටා තිබෙන්නේ පරාක්‍රමබාහු මාළිගය ලෙසින් හඳුනාගන්නා ගොඩනැගිල්ලට බොහෝ දුරකින් බැවින් බෙල්ගේ හඳුනාගැනීම නිවැරදි නොවේ.) මහාචාර්ය සෙනරත් පරනවිතාන මහතාගේද අදහස වූවේ එහි වර්තමාන නමින් කුමක් අදහස් වුවත් මෙය කිසිසේත්ම පුස්තකාලයක් විය නොහැකි බවය.
නැගෙනහිර දෙසින් වූ ප්‍රධාන දොරටුව
ප්‍රාකාරයකින් වටවූ සතරැස් ප්‍රදේශයක කෙමෙන් උස් වන මළු සතරකින් යුක්තව මෙම පරිශ්‍රය ඉදිකර ඇත. පහලින්ම පිහිටි මළු බොහෝවිට සක්මන් මළු ලෙස භාවිතාකිරීමට සෑදු ලෙස පෙනෙන අතර තුන්වන මළුවේ විවිධ ප්‍රමාණයේ ගොඩනැගිලි අවශේෂ නවයක් දැකිය හැක. මේවා භික්ෂුන්ගේ වාසය සඳහා ඉදිකල කුටි ලෙස හඳුනාගෙන ඇති අතර ඒවා උතුරු, දකුණු සහ නැගෙනහිර දිසා වල පිහිටා ඇත. විහාර පරිශ්‍රයට පිවිසීමට නැගෙනහිරින්, දකුණින් සහ බස්නාහිර දිශාවෙන් දොරටු දැකිය හැක. ප්‍රධාන දොරටුව නැගෙනහිරින් ඇති දොරටුව වූ බව පෙනේ. ඉහලම මළුව වටාද ගඩොල් ප්‍රාකාරයක් දැකිය හැකි අතර එයට පිවිසීමට නැගෙනහිර දෙසින් පඩිපෙලක් සාදා ඇත.
සිව්වන මහලට පිවිසීමට නැගෙනහිර දෙසින් ඇති සෝපානය සහ එහි වටා ඇති ප්‍රාකාරය. මෙහි ගඩොලින් කල ඇත් රූප තිබූ බවට සලකුණු දැකිය හැක.
ඉහලම මළුවේ මධ්‍යයේ දැකිය හැකි වලයාකාර ගඩොල් ගොඩනැගිල්ල මෙහි ප්‍රධාන ඉදිකිරීම ලෙස හඳුනාගෙන ඇති අතර එහි වහලය ගෝලාකාර ලෙස ඉදිකර තිබී ඇති මුත් මේ වන විය එය විනාශ වී ඇත. ගොඩනැගිල්ලේ ඇතුළු බිත්ති වල පැරණි බදාම තට්ටු තවමත් දැකිය හැකි වන අතර ඒ මත  සිතුවම් තිබී ඇති බව ශේෂ වී ඇති රතු සහ කහ වර්ණක කොටස් වලින් පැහැදිලි වේ. ගොඩනැගිල්ලේ වලයාකාර කොටසට සම්බන්ධව සෘජුකෝණාශ්‍රාකාර මණ්ඩප දෙකක් නැගෙනහිර දෙසට නිර්මාණය කර ඇත. මෙම පළමුවන මණ්ඩපයේ ගඩොල් බිත්ති සැලකිය යුතු තරමින් දැනටද ඉතිරිවි ඇති අතර පසු කලක ඉදි කල දෙවෙනි මණ්ඩපයේ පාදම දැකිය හැක.
භික්ෂුන්ගේ වාසය සඳහා ඉදි කල කුටි
මෙම ඉහලම මළුවේ සිව් කොනේ කුඩා ස්ථූප දැකිය හැකි අතර මළුවේ එකතු වන වැහි ජලය පහතට ගලා යාම සඳහා යෙදූ පීලී එක් පසක දෙක බැගින් සිව් දිසාවෙන්ම දැකිය හැක. වලයාකාර ප්‍රධාන ගොඩනැගිල්ලේ සහ එයට සම්බන්ධ පළමුවන මණ්ඩපයේ  පිටත බිත්තියේ බිත්තිය තුලට ඉදිකල කුඩා අවකාශ තිබූ බවට සලකුණු ඉතිරි වී ඇති අතර ඒවායෙහි පොළොන්නරුවේ ථූපාරාමය, ලංකාතිලකය සහ තිවංක පිළිමගෙය වැනි ගොඩනැගිලිවල දැකිය හැකි ආකාරයේ ගඩොලින් නිර්මිත දේව රූප තිබෙන්නට ඇත.
ප්‍රධාන ගොඩනැගිල්ල වටා ඇති ගඩොලින් මතු කල අවකාශයක්
මෙම වලයාකාර ගොඩනැගිල්ල කුමක්ද යන්න පිළිබඳව වියතුන් නොයෙක් මත පළකර ඇති අතර මහාචාර්ය සේනක බණ්ඩාරනායක මහතා පවසන්නේ මෙය ගඩොලින් නිර්මිත චේතියඝරයක් විය හැකි බවයි. එය තුල තිබූ කුඩා ස්ථූපය ඉහත බෙල් පවසන පරිදි ඔහුගේ කාලයට පෙර සිදුවූ සුන්බුන් ඉවත් කිරීමේදි විනාශ වෙන්නට ඇති බවය ඒ මහතාගේ අදහස. උස් දොර උළුවස්සක් තිබීම සහ ඇතුලත බිත්ති වල සිතුවම් තිබීම හේතුවෙන් මෙය ප්‍රතිමාඝරයක් විය හැකි බවට වූ මතයක් මහාචාර්ය  H.T. බස්නායක මහතා ඉදිරිපත් කර ඇත. බොහෝ උස් උළුවහු යෙදීමෙන් ඇතුලත ඇති ප්‍රතිමාව පිටතට මැනවින් දිස්වන හෙයින් එම මතයේ සත්‍යතාවයක් ඇති බව පෙනේ. එසේම එම යුගයේ සහ එයට පෙර සහ පසු යුග වල වෙනත් බොහෝ ප්‍රතිමාඝර වලද උස් උළුවහු සහ ඇතුලත බිත්ති වල සිතුවම් දැකිය හැක. මෙම පරිශ්‍රයේ ඇති කිසියම් ගොඩනැගිල්ලක පොත් තැන්පත් කර තිබූ හෙයින් මෙම මුළු විහාරයම පොත්ගුල් වෙහෙර ලෙස හඳුන්වන්නට ඇති බව ඔහු වැඩි දුරටත් පවසයි. 
ඉහල මළුවේ ප්‍රධාන ගොඩනැගිල්ලේ  සිව් කොනින් දැකිය හැකි පරිවාර ස්ථූපයක්
 මෙහි ප්‍රතිමාවක් තිබූ බවට වූ කිසිදු හෝඩුවාක් හමු නොවන බැවින් මහාචාර්ය ලීලානන්ද ප්‍රේමතිලක මහතා පවසන්නේ පොත්ගුල් වෙහෙර යන නමින් පැවසෙන පරිදි මෙය ධර්ම ග්‍රන්ථ රැස්කර වන්දනාමාන කිරීම සඳහා තැනූ සිද්ධස්ථානයක් වූවා විය හැකි බවය. මේ කාලයේද පැවති මහායාන ඇදහිලි අතර එවැනි දේ දැකිය හැක. එසේම අසල පිහිටි පුස්කොල පොතක් අතින් ගත් පිළිරුවද මුනිවරයෙකුගේ ලෙස සැලකුවහොත් එම අදහස තවත් ශක්තිමත් කරන බව ඔහු පවසයි.
ප්‍රධාන ගොඩනැගිල්ලේ වලයාකාර කොටසේ ඇතුලත දර්ශණයක්

මෙම දෙවන මණ්ඩපයේ නටබුන් අතර තිබූ උළුවහු කණුවක කොටා තිබූ සෙල්ලිපියක් මෙම ස්ථානයේ නිර්මාතෘ සහ එය කුමක්දයි යන්න පිළිබඳව කිසියම් ඉඟියක් සපයයි. පාළි භාෂාවෙන් ලියා ඇති එම ලිපියෙන් පැවසෙන්නේ බුදුන්ගේ ශාසනය පිරිසිදු කල වික්‍රමාන්විත ප්‍රඥාවන්ත රජු විසින් මෙම සම්පූර්ණ විහාරය කරවූ බවත්, ඉන්පසු රජවූ එම රජුගේ බිසව විසින් එය නැවත ඉදි කල බවත්, එම රජුගේ දෙවැනි ප්‍රධාන බිසව වූ චන්දවතී විසින් මෙම මණ්ඩපය ඉදිකල බවත්ය. එම තිදෙනා පිළිවෙලින් සිය සිව් වන රාජ්‍ය වර්ෂයේදී (ක්‍රි. ව. 1165) ශාසන සංශෝධනයක් කල පළමුවන පරාක්‍රමබාහු රජු, ක්‍රි.ව. 1197 සිට 1200 දක්වා පළමුවරට රාජ්‍ය විචාල ඔහුගේ බිසව වූ ලීලාවතී රැජින සහ පරාක්‍රමබාහුගේ තවත් බිසවක් වන රූපවතී ලෙසත් එම ලිපිය කියවා පල කල  H.C.P. බෙල්, Z. වික්‍රමසිංහ සහ මහාචාර්ය සිරිමල් රණවැල්ල වැනි වියතුන් හඳුනාගනී. 
භික්ෂුන්ගේ වාසය සඳහා ඉදි කල කුටියක්
"වීවේකය කැමති සියලු ධුතංගධර භික්ෂූන්ගේ සුවපහසුව පිණිස කපිල නම් විහාරයද කරවීය. එහි දෙමහල් ප්‍රාසාදයක් , දිග සක්මන්මළුවක්, දීඝපාසාද හතරක් සහ දෙමහල් පාසාද හතරක්ද වූහ. නොයෙක් විසිතුරු කර්මාන්තයෙන්ද, කුළු ගෙවල් ආදියෙන්ද, අලංකාර වූ ගිඤ්ජකාවස්ථ නම් ගෙයක් කපිල සෘෂිවරයාට කරවන ලදී. කුඩා ප්‍රාසාද හතරක්ද, වැසිකිලි තුනක්ද විය. පිරිකර සහිතව මේ විහාරයද භික්ෂූන්ට දුන්නේය."
ධූතංගධර භික්ෂුන් උදෙසා පරාක්‍රමබාහු රජු ඉදි කල කපිල විහාරය සහ එම පරිශ්‍රයේ කපිල සෘෂිවරයා සඳහා ඉදි කර භික්ෂුන්ට දුන් ගිඤ්ජකාවස්ථ නම් ගෙයක් (එනම් ගඩොලින් කල ගෙඩිගේ ආකාරයේ ගොඩනැගිල්ලක්) පිළිබඳව වූ ඉහත මහාවංශ ගාථා වල එන විස්තරය බොහෝ දුරට පොත්ගුල් වෙහෙර ලෙසින් වර්තමානයේ හඳුන්වන විහාර පරිශ්‍රයේ ඇති නටබුන් සමග එකග වේ.
ඉහල මළුවේ ජලය පහලට බැසයෑම සඳහා ඉදි කල පීල්ලක්
 එසේම නගරයට තරමක් දුරින් පිහිටා ඇති බැවින් එය භාවනානුයෝගී භික්ෂූන්ගේ පරිහරනය සදහා වඩාත් ගැලපේ. පොත්ගුල් වෙහෙර සහ කාම්බෝජයේ ඇති Mi Baume නම් වූ පැරණි හින්දු ආගමික ගොඩනැගිල්ලේ ඇති සමානත්වයන් පිළිබඳවද අදහස් දක්වන H.C.P. බෙල් පොළොන්නරුව නගරයේ 'කාම්බෝජ පෙදෙස' බොහෝ දුරට නගරයට දකුණින් වූ බවට වූ ලිඛිත සදහන් පිළිබඳව සලකා බලතොත් මෙම විහාරයට එම ක්මර් (Khmer) බලපෑම වටහාගත හැකි බව සඳහන් කරයි. කෙසේ නමුත් මෙම "පොත්ගුල් වෙහෙර" මෙරට තුල හමුවන ඒ ආකාරයේ වූ එකම පැරණි ගොඩනැගිල්ල බව නම් අවිවාදිතය.

මූලාශ්‍ර

  • Archaeological Survey of Ceylon, Inscriptions of Ceylon Vol 6 , G.S. Ranawella, 2007
  • Polonnaruwa, Medieval Capital of Sri Lanka, Anuradha Seneviratna, 1998
  • Archaeological Survey of Ceylon Epigraphia Zeylanica, Volume II (1912 - 1927), Edited and Translated by D. M. de Zilva Wickremasinghe1928
  • University of Ceylon History of Ceylon Volume 1, Part 2, 1960.
  • Kalyani, Journal of Humanities & Social Sciences of the University of Kelaniya, Vol 2, 1983
  • Sinhalese Monastic Architecture, The Viharas of Anuradhapura, Senake Bandaranayake, 2009
  • Archaeological Survey of Ceylon North-Central And Central Provinces, Annual Report 1906, H.C.P. Bell, 1910
  • History and Archaeology of Sri Lanka, Volume II, The Art and Archaeology of Sri Lanka 1, CCF, 2007
  • Archaeological Department Centenary (1890-1990) Commemorative series, Volume Three, Architecture, Editor in Chief Pandit Dr. Nandadeva Wijesekera, 1990
  • The Polonnaruwa Period, A Special issue of The Ceylon Historical Journal, Edited by S.D. Saparamadu,Vol 4, No 1,2,3 & 4, 1954-55
  • මහාවංස 2 වෙළුම, ක්‍රි.ව. 303-1815 මාගධී පෙළ සහ සිංහල අනුවාදය, නව සංස්කාරක චන්ද්‍ර වික්‍රමගමගේ, සිංහල අනුවාදය අරුණ තලගල, 2012

2 comments:

  1. හරියට හෝ වැරදීමකින් නමක්, කතාවක් ඇතිවුනාම ක්‍රමක්‍රමයෙන් ඒකට තවත් ඇත්ත හා බොරු එකතුවෙනවා. ඊට පස්සෙ විද්වතුන් පවා මුල්ම කතාව හරිද වැරදිද නොසලකා ඒ මත තම හැදෑරීම හා මත පල කිරීම් කරනවා

    ReplyDelete
    Replies
    1. පැහැදිලිවම. තව දෙයක් තමා මේ ක්ෂේත්‍රයේ ඇතැම් විද්වතුන් උනත් පලමුව නිගමනයකට බැහැල ඊට පස්සෙයි ඒක ඔප්පු කරන්න සාධක සොයන්නේ. මෙරට ඉතිහාසයට සහ පුරා විද්‍යාවට කොතරම් සේවයක් කල විද්වතෙක් වුවත් පරණවිතාන මහතා පවා ඇතැම් අවස්ථා වලදී ඒක කරලා තියෙනවා.

      Delete