Sunday, April 2, 2017

රජුන් හොරුන් කිරීම සහ හොරුන් රජුන් කිරීම - ශ්‍රී වික්‍රම රාජසිංහ ආදර්ශය 1

මහනුවර සම්ප්‍රදායෙ විහාර චිත්‍රයක් - මැණික්කඩවර
ජෝන් ඩොයිලිගේ දීර්ඝ කාලීන චරපුරුෂ ව්‍යාපෘතියක පරිසමාප්තිය සනිටුහන් කරමින් තුන් සිංහලේ කිරීටය වර්ෂ 1815 මාර්තු මස දෙවෙනි දින මහා බ්‍රිතාන්‍යයේ තුන්වන ජෝජ් රජතුමාගේ දෙපාමුල තැන්පත් කරවිණි. බලලෝභී සිංහල නායකයින් නොමග යවමින්, ඇහැළේපොළ  නිලමේතුමාගේ රාජ යෝග සිහිනය කුඩුපට්ටම් කරමින් ඉංග්‍රීසීන්ගේ  විශේෂයෙන්ම ඩොයිලිගේ සහ බ්‍රවුන්රිජ්ගේ සූර සහ කපටි දේශපාලන උපාය උපක්‍රම මල්ඵල දරමින් සිංහල රාජාවලියේ අවසානය ලගාවිය. මෙම ක්‍රියාදාමය තුලදී 1815 ට පෙර සහ පසු ජනතාව කෙරෙහි සහ සිංහල නායකයන් කෙරෙහි රජතුමා සම්බන්ධ ප්‍රතිරූපය සහ විශ්වාසය හීන කිරීමේ ප්‍රචාරක ව්‍යාපෘතියක් දියත් විය. ඇහැළේපොළ කුමාරිහාමි ලවා ඇයගේ දරුවන්ගේ හිස් වන්ගෙඩියක දමා කෙටවීම වැනි අසත්‍ය කටකතා නිර්මාණය කර මේ දක්වාම පවතින ලෙසින් ජනතාව අතරට යැවිණි. (මේ සම්බන්ධව වැඩිදුර විස්තර වෙනම ලිපියකින් ඉදිරියේදි ඉදිරිපත් කරමු)
මහනුවර සම්ප්‍රදායෙ විහාර චිත්‍රයක් - හිඳගල
බටහිර අධිරාජ්‍යවාදී බලමුළු වල පූර්ණ අනුග්‍රහය ඇතිව එංගලන්තයේ ජෝන් ඩොයිලි වෙනුවට ඉන්දියාවේ අජිත් ඩෙවොල්ගේ චරපුරුෂ ව්‍යාපෘතියක් සාර්ථක ලෙස නිමා කරමින් (කියවන්න - ඉන්දියාවේ අජිත් ඩෙවොල් රාජපක්‌ෂ ආණ්‌ඩුව බලයෙන් පහකළ කතාව) ඊට වසර 200 කට පසු ජනවාරි මස 8 වන දිනක මේ රට නැවතත් 1815 වැනිම වූ පාවාදීමකට ලක්විය. ඊට පෙර හා පසුද 1948 න් පසු මෙරට බිහිවූ විශිෂ්ඨ ජාතික නායකයකුගේ ප්‍රතිරූපය විනාශ කිරීමට සහ ජනතාව අතර ඔහුව අප්‍රසාදයට පත් කිරීමට සිදු කල ප්‍රචාරක මෙහෙයුම් නිමක් නැතිවා මෙන්ම ඒවායින් සාර්ථක ප්‍රතිඵල අත්කර ගැනීමටද අල්ලපු රටේ හොටබරියන්ට හැකිවිය. ඇහැළේපොළ ලෙසම රජ පුටුවට කෙල හැලූ පාංකඩයක් මේ වන විට රටවැසියන්ගේ කුණු බැනුම් අසමින් තවමත් යහතින් වැජඹේ (අවම වශයෙන් කුරුල්ලන් එලවීමටවත් හැකි නිසා පඹයාට ඔහුව සමාන කිරීමෙන් පඹයන්ට අපහාස නොකරමු.) මෙවන් තත්වයක් යටතේ එදා ශ්‍රි වික්‍රම රාජසිංහ රජු සම්බන්ධයෙන් සිදු කල මඩ ප්‍රචාරක මෙහෙයුම සම්බන්ධයෙන් අවධානය යොමු කිරීම වැදගත් වන්නේ එය වර්තමානයටද අඩු වැඩි වශයෙන් අදාල වන බැවිනි.
මහනුවර සම්ප්‍රදායෙ විහාර චිත්‍රයක් - දෙගල්දොරුව
ශ්‍රී වික්‍රමරාජසිංහ රජුගේ කවිකාර මඩුවේ වැලිගල කවිසුන්දර නම් වූ කවියෙකු විසිය. හෙතෙම රජතුමාට ප්‍රශස්ති කීමේ සිය රාජකාරිය ඉටුකරමින් සිටි යුගයේ, වර්ෂ 1803 දී සිදුවූ ඉංග්‍රිසීන් මහනුවරදී සමූලඝාතනය වූ සටන තේමා කරගනිමින් ඉංග්‍රීසි හටන නමින් යුත් රචනයක් සිදු කරනු ලැබූහ. තිබ්බටුවාවේ ශ්‍රී සිද්ධාර්ථ බුද්ධරක්ෂිත මහ නායක හිමියන්ගේ ගෝලයෙකු වූ ඔහු, වර්ෂ 1816 වන විට වර්තමානයේ මෙන් දිනන පැත්තට හොරණෑව ගහගෙන පිල් මාරු කරන සෝමරත්න දිසානායක වැනි කලාකාරයන් මෙන් ශ්‍රී වික්‍රමරාජසිංහයන් හෙලා දකිමින් යුවරජු ලෙසින් ඇහැළේපොළ අධිකාරම්තුමා අමතමින්, ඇහැළේපොළ වර්ණනාව නම් වූ කවි මාලාවක් රචනා කරන ලදි. මෙහි උපුටා දක්වන්නේ එම කවි අතරින් ශ්‍රී වික්‍රම රාජසිංහ චරිතය ඝාතනය කිරීම සඳහා පබැඳි කවි කිහිපයකි.
මහනුවර සම්ප්‍රදායෙ විහාර චිත්‍රයක් - හල්පේ සුදර්ශනාරාමය
වැවක් බඳිමැයි කොටු ගොඩැල්ලේ සියක් බඹයක් විතර උසටම
වැඩක් නැතිකර ගෙවතු ගහකොළ කොටා වනසා ගෙවල් සහ හැම
නොයෙක් රටවල දිසාවල මහ සෙනඟ රැස්කරවා ගමින් ගම
යමෙක් ලෙස රැක ඉඳින බැම්මට පස් අද්දවන ලෙසට කර පෙම

මෙම පැදිය සහ ඉන් පසු එන පද්‍ය මගින් කවියා ඉස්මතු කිරීමට උත්සහ කරනුයේ ප්‍රධාන වශයෙන් නගර අලංකරණය සහ ඇතැම් විට කෘෂිකාර්මික කටයුතු සඳහා එවකට කිරි මුහුද නමින් හැඳින්වූ වර්තමාන මහනුවර වැව ඉදිකිරිම නිශ්ඵල ක්‍රියාවක් බවත් ඒ සඳහා ශ්‍රි වික්‍රමරාජසිංහ රජතුමන් බලහත්කාරයෙන් ජනයා යොදා ගත් බවත්ය. සසදන්න ඊට වසර 200 කට පසු මිහිපිට අපායක්ව තිබූ කොළඹ නගරය අලංකාර නගරයක් බවට පත් කිරීමට ගෝඨාභය රාජපක්ෂ මහතා කල මෙහෙවර නිශ්ඵල කටයුත්තක් ලෙසත් ඉන් බඩගින්නේ සිටින ජනතාවට කිසි පිලිසරනක් නැති බවත් කියමින් බෙරිහන් දුන් රතු සහ කොළ අලි ප්‍රචාරක මෙහෙයුම සමග.
මහනුවර සම්ප්‍රදායෙ විහාර චිත්‍රයක් - වේරගොඩ වළගම්බා ගල්ලෙන් විහාරය
නාථ දේවාලය අයත් දෙය්යන්නේ වෙල ලෙසින් හැඳින්වූ කුඹුරු යායක් මෙම වැව නිසා ජලයෙන් යටවූ අතර එහි පස් බැම්ම තැනීම කවියාගේ උපහාසයට ලක්වූවේ මෙසේය.

තවත් සෙන්කඩගල නුවර තනවමැයි සිතුවක් සිතීලා
මහත් රටවැසි දනන් ගෙන්නා වීදි බිඳුමට වැදීලා
වතුත් ගහකොළ ගෙවල් දොරවල් මුලින් සිඳ බිඳ දමාලා
බිමත් බිඳිනට පටන්ගෙන තැන තැනෙහි පස්කඳු ගසාලා

උතුම් සිරිමා බෝධි සමිඳුන් උසට කළ මහ පස් ගොඩේ
නරින් සුනකුන් නැඟී පහරති දිවා රෑ නොවමින් ඉඩේ
තෙදින් පරසිදු රාම සුරඳුගේ විමන ළඟ පස් කඳු හැඩේ
දනන් යන එන පහර පහරා අසුචි බිම විය හැම විඩේ. 

ශ්‍රි මහා බෝධියේ උසට ගොඩ ගැසූ පස් ගොඩේ නරින් සහ සුනඛයන් මල පහ කරන බවත් රාම සුරිඳුගේ විමන ලෙස මෙහි හැඳින්වෙන විෂ්ණු දේවාලය අභියස ගොඩ ගැසූ පස් ගොඩේ යන එන මිනිසුන් නිතරම අසූචි දමන බැවින් එහි හැම විටම අසූචි තිබූ බවත් පැවසීමෙන් කවියාගේ නොසන්සිඳෙන වෛරය වටහා ගත හැක. ඇවිදින මන්තීරු හදන්නේ කා බී තරබාරු වූවන්ගේ තෙල් බැස්සවීම සඳහා බවත් මාගම්පුර වරාය ආසියාවේ ලොකුම පූල් එක බවත් කියමින් කෑ මොර දුන් ඉරිසියාකාර මෝඩ දේශපාලුවන් සහ ඔවුන්ගේ වහලුන් සිහියට නොනැගේද?
මහනුවර සම්ප්‍රදායෙ විහාර චිත්‍රයක් - පිළිකුත්තුව
මේ තවත් එවන් කවක්

පාර තනමැයි සිතා ගැටඹේ පටන් බිම බිඳිනට වැදී
ගෝර දුක් දී රටවැසින් හට වෙහෙසමින් ඉඩමක් නොඳී
තීර නැතිවූ  උයන්වතු තනවමැයි එහි සිත වී ලැදී
වාර නොහැරම කෙටෙව්වේ පුර වටම පිට්ටනි වෙර දිදී

ගැටඹේ සිට මහනුවරට පාරක් තැනීම විවේචනය කරන වැලිගල කවිසුන්දර කවියාගේ ක්‍රියාව, කොළඹ - මාතර අධිවේගය තැනුවේ මහ හොරාට බෙලිඅත්තේ සිට ඇඹුල් තියල් නරක් වෙන්නට පෙර රජගෙදරට ගෙන ඒමට යැයි බෙරිහන් දුන් අනුර දිසානායක රතු අලියාගේ ඇස් දෙක නලලේ තබන් බිනූ පට්ටපල් කෙබර මෙන් නොවේද?  සූරිය වැව ක්‍රීඩාංගනය ගැන කියූ කතා මෙහි එන පුරය වටේම කල පිට්ටනි කතාව මෙන්ම වනවා නේද?
මහනුවර සම්ප්‍රදායෙ විහාර චිත්‍රයක් - වේරගොඩ වළගම්බා ගල්ලෙන් විහාරය
සංචාරක ආකර්ශනය උදෙසා මහනුවර නගරයේ මෝටර් රථ තරඟ පැවත්වූ කල එය නාමල් බේබි කොළඹ ගණිකාවන් නුවර ගෙන්වා අනඟ රැගුම් රැගීමක් ලෙස අර්ථ දැක්වූ කුහකයන් මෙන්ම අපගේ කවියාද කුහකයෙකු බව පෙනෙන්නේ ශ්‍රී වික්‍රමරාජසිංහ රජු විසින් පත්තිරිප්පුව ඉදි කිරීම විවේචනය කරන පහත පැදිය කියවීමේදීය. 

නිමල් මුනිඳුගේ දකුණු දළදා සමිඳු වැඩ සිටි හැම දිනේ 
දෙමල් පායට උසින් මහ පත්තිරිප්පුවක් තනමිනේ
සියල් ඇඳ පුටු තබා එහි ඉඳ ගෑනු සහ දවසරිමිනේ 
විපුල් කරගති එයින් වන වැඩ ඔහුට පරලොව ගිය තැනේ.

කවියා කියන ලෙසින් රජු ගැහැනුන් සමග එහි ඇඳ පුටු තබා දවස ගෙවා ඇත. ඔහුගේ විවේචනයට ලක්වූවේ එය දළදා මාලිගයට ඉහලින් පිහිටා තිබීමය. ගැහැනුන් සමග දවසැරියායැයි කීම පැහැදිලිවම කවියාගේ ප්‍රලාඵයකි. පත්තිරිප්පුව යනු රජුට පෙරහැර වැනි අවස්ථා නැරඹීම සඳහා උස් ව තනන කුඩා ගෘහයකි. මුලදී මෙය තාවකාලිකව එවන් අවස්ථා වලදි පමණක් තැනූ අතර ශ්‍රී වික්‍රමරාජසිංහ රජු එය දළදා මාළිගාව අසලින් ස්ථිර ගොඩනැගිල්ලක් ලෙස නිමවීය. පත්තිරිප්පුව පමණක් නොව රජ මාළිගයද තිබෙනුයේ දළදා මාළිගාවට ඉහලින් වන අතර ශ්‍රී වික්‍රමරාජසිංහට පෙර පළමුවන විමලධර්මසූරිය රජ කල පටන්ම දළදා මාළිගය සහ රජ මාළිගය එම ස්ථාන වලම තිබූ බවට සාධක ඇත. 
මහනුවර සම්ප්‍රදායෙ විහාර චිත්‍රයක් - කහඳව පුරාණ ගල්ලෙන් විහාරය
ශ්‍රී වික්‍රමරාජසිංහ රජු හොරෙකු දුෂ්ටයකු සහ මිනීමරුවෙකු කිරීම සඳහා රචිත ඇහැළේපොළ වර්ණනාවේ තවත් පද්‍යයන් පිළිබඳව සහ ඒවායේ සත්‍ය අසත්‍යතාව පිළිබඳව ඉදිරි ලිපියකින් වැඩිදුරටත් විමසා බලමු.
මූලාශ්‍ර
  • ඇහැළේපොළ වර්ණනාව හෙවත් වඩුග සටන - මහාචාර්ය බන්දුසේන ගුණසේකර සංස්කරණය
  • Kandy Past and Present, Nihal Karunaratna, 1999
  • Heritage of Kandurata, Dr. H.A.P. Abeyawardana, 2004
  • Kandy, Anuradha Seneviratna, 1983

No comments:

Post a Comment