Sunday, April 16, 2023

නිශ්ශංකමල්ලට රජකම හිමිකර දී පමුණු ලැබූ විජයා යාන්තැන්නාවන්

පොළොන්නරුව පැරණි නගරයේ උතුරු සීමාවේ එහි ප්‍රාකාරයට පිටතින් ඒ ආසන්නව සහ වර්තමානයේ මැණික් වෙහෙර ලෙසින් හැඳින්වෙන ආරාමයට දකුණින් පොළොන්නරු යුගයේ භාවිත සිංහල අක්ෂර වලින් රචිත පුවරු ලිපියක් ඇත. මෙම සෙල්ලිපිය පැරණි ඇල මාර්ගයක් අසල ඇති බවට 1917 වසරේදී ඒ පිළිබඳව ලිපියක් ලියන Z. වික්‍රමසිංහ මහතා සඳහන් කරයි. බොහෝවිට මේ ආසන්නයෙන් නගරයේ උතුරු සීමාවේ වූ දිය අගල තිබෙන්නට ඇත. නැතහොත් ලිපියේ නම සඳහන් පරාක්‍රම සමුද්‍රයෙන් ජලය ගෙනගිය තුඟභද්‍රා ඇල මේ අසලින් ගලා යන්නට ඇත. මෙම ලිපිය ආරම්භ වන්නේ සිංහල අකුරින් සංස්කෘත ශ්ලෝකයක් ඉදිරිපත් කරමිනි. ලිපිය එම යුගයේ භාවිත සිංහල අක්ෂර භාවිතයෙන් ලියවී ඇති මුත් එහි අවසානයේ නැවතත් එම ශ්ලෝකය ග්‍රන්ථ අක්ෂර මගින් ඉදිරිපත් කර ඇත. 

රාජකීය ආසියාතික සමිතියේ සඟරාවට A years work at Polonnaruwa ලෙසින් ලිපියක් සපයමින් S. M. බරෝස් (S.M. Burrows) විසින් 1887 දී පළමුවරට මෙම පුවරු ලිපියේ පළමු පැත්තේ (Side A) වූ කියැවිය හැකි කොටස් ඉදිරිපත් කර එහි පරිවර්තනයක්ද ඉදිරිපත් කරයි. තමා විසින් [එම වසරේ] පොළොන්නරුවෙන් සොයාගත් සියල්ල අතරින් ඉතාමත්ම වැදගත් සොයාගැනීම මෙය විය හැකි බව ඔහු එහිදී සඳහන් කරයි. ලිපිය දෙවන විජයබාහු විසින් කල එකක් ලෙස අනුමාණ කරන හෙතෙම, නමුත් දමිළයන්ගෙන් පොළොන්නරුව බේරා ගත් දඹදෙණි යුගයේ පසුකාලීනව සිටි  එකී නම සහිත  වෙනත් රජකෙනෙකුන් විසින් මෙම ලිපිය පිහිටවූවා වුවද විය හැකි බව පවසයි [එනම් තුන්වන විජයබාහු]. [1886 වර්ෂයේ] වියලි කාලයේ එය නිරීක්ෂණය කල හෙයින් පුවරු ලිපියේ අනෙක් පස ඝනව ලයිකන වැවී තිබූ හෙයින් අකුරු කියවිය නොහැකි වූ බවද, එහෙත් මෙවැනි වෙනත් එවැනි ගල් වල ඇති ලයිකන වැසි කාලය අවසානයත් සමග අර්ධ වශයෙන් හෝ වියැකී යන බව පැවසෙන හෙයින්, එහි සිටින කිසියම් පුද්ගලයෙකු එසේ වූ විට යථා කාලයේදී ඔහුට එහි නිවැරදි පිටපතක් ලබාදෙනු ඇති බවත් බරෝස් වැඩිදුරටත් සඳහන් කරයි. එවිට අවම වශයෙන් ලිපියේ එම පැත්තේ (Side B) කොටසක් හෝ කියවිය හැකි වනු ඇති බවට ඔහු බලාපොරොත්තු පළකරයි.

1909 වර්ෂයේ පුරාවිද්‍යා ගවේෂණ පිළිබඳව වාර්ෂික වාර්තාවේ H.C.P. බෙල් විසින් මේ පිළිබඳව කෙටි සටහනක් ඉදිරිපත් කරයි. දෙවන විජයබාහුගේ ඝාතනය පිළිබඳව සඳහන් වන එම සෙල්ලිපිය නිශ්ශංකමල්ල හෝ සහස්සමල්ල විසින් කරවූ එකක් විය හැකි බව ඔහු එහිදී සඳහන් කරයි. නැවත Z. වික්‍රමසිංහ මහතා 1917 දී කලින් බරෝස් කියවූ පැත්ත පමණක් කියවා Epigraphia Zeylanica 2 කලාපයට ලිපියක් සම්පාදනය කරයි. පැරණි ඇල මාර්ගයක් අසල ඇති ලෙස පවසන එම පුවරු ලිපිය පිළිබඳව වික්‍රමසිංහ මහතාගේ කියවීමද පෙර බරෝස් පල කල කියවීමේම යම් වැඩිදියුණු කිරීමක් පමණි. Z. වික්‍රමසිංහ මහතාද මෙය දෙවන විජයබාහු විසින් කල සෙල්ලිපියක් ලෙස පවසා මහාවංශයේ සඳහන් කරුණු සමග ලිපියේ සඳහන් ඓතිහාසික තොරතුරු සසඳා බැලීමක් සිදුකරයි.

Z. වික්‍රමසිංහ මහතාගේ කියවීම පිළිබඳ දැඩි විවේචනයක් ඉදිරිපත් කරමින් H.C.P. බෙල් මහතා එය පලවී වසර දෙකකට පමණ පසුව Ceylon Antiquary and Literary Register පස්වන වෙලුමට ලිපියක් සපයමින් පවසන්නේ මෙම ලිපිය පිහිටුවා ඇත්තේ වික්‍රමසිංහ මහතා කියන අයුරින් දෙවන විජයබාහු නොව නිශ්ශංකමල්ල රජතුමා බවය

නැවත සෙනරත් පරණවිතාන මහතා 1963 වසරේ පලවූ Epigraphia Zeylanica පස්වන වෙලුමේ දෙවැනි කොටසට මෙම සෙල් ලිපිය පිළිබඳව ලිපියක් සම්පාදනය කරයි. එතුමා මෙහි අනෙක් පස වූ අක්ෂර ද ලිපිය ඇති ස්ථානයට ගොස් සහ T.K. ජයසුන්දර නම් මහතෙකු විසින් එම පැත්තේ වූ ලයිකන ඉවත් කර සැකසූ පිටපතක් ආධාරයෙන් දැඩි පරිශ්‍රමයක් දරා කියවා එහි පරිවර්තනයක්ද ඉදිරිපත් කරයි. ලිපිය පිහිටවූ රජතුමා සහ එහි සඳහන්  අනෙකුත් චරිත හඳුනාගැනීම පිළිබඳව H.C.P. බෙල් මහතා කලින් ඉදිරිපත් කල කරුණුද උපයෝගි කරගනිමින් දීර්ඝ පැහැදිලි කිරීමක් ඉදිරිපත් කරන සෙනරත් පරණවිතාන මහතාගේ කියැවීම සහ පසුව මෑතකදි සිරිමල් රණවැල්ල මහතා Inscription of Ceylon සයවන වෙලුමට ඉදිරිපත් කල කියවීම අනුසාරයෙන් පහත කරුණු ඉදිරිපත් කෙරේ. 

ඒ අනුව මෙම ලිපිය පිහිටුවන්නේ දෙවන විජයබාහු නොව දෙවන විජයබාහු යටතේ යුව රජු ලෙස සිට පසු කලක රාජ්‍යත්වය ලබාගත් මෙරට වැඩිම සෙල්ලිපි ප්‍රමාණයක් පිහිටවූ රජු ලෙස හඳුනාගත හැකි නිශ්ශංකමල්ල රජතුමාය. තවද අන්තර්ගතය අනුව බොහෝදුරට මෙම ලිපිය එතුමා විසින් පිහිටවූ පළමුවන සෙල්ලිපිය විය හැක.

ලිපියේ සඳහන් වන පරිදි කාලිඟ (කාලිංග) චක්‍රවර්තීන් වහන්සේගේ වංශයෙහි උපන් සිංහබාහු රජපාවහන්සේට ජේය්ෂ්ඨ පුත්‍ර වූ කාලිඟයෙන් ලංකාවට බැසැ යක්ෂ ප්‍රලය කොට මනුෂ්‍ය වාස කොට ඒකත්පත්‍ර රාජ්‍ය කල විජයරාජයන් වහන්සේගේ වංශ පරම්පරායෙන් ආ ලක්දිව ඒකරාජ්ජ කළ පරාක්‍රමබාහු වත් හිමියන් වහන්සේ ස්ව වංශය මත්තට පවත්නා කැමැතිව පූර්ව රාජයන් කොට ආ පරිද්දෙන්ම සිංහපුරයට යවා බෑනණුවන් වහන්සේ ගෙන්වා සිය නම දී හිමියා පටි බන්දවා ශත්‍රශාස්ත්‍රයේ නිපුණ කරවා රාජ්‍ය සනාථ කොට ස්වර්ගස්ථ වූ කල්හී....ලෙසින් පැවසෙන්නේ කාලිංගයේ සිට පැමිණි විජය රජුගේ වංශයෙන් පැවතෙන මහා පරාක්‍රමබාහු රජතුමා එහි සිටි සිය බෑනණුවන් වන නිශ්ශංකමල්ල කුමාරයා මෙරටට කැඳවා ඔහුට සිය පරාක්‍රමබාහු යන නමද දී හිමියා යන විරුද නාමයද පවරා ඔහුව සිය වංශය ඉදිරියට ගෙනයෑම උදෙසා ( ආසන්න අනුප්‍රාප්තිකයා ලෙස නොව.) ආයුධ හැසිරීමෙහි සහ අනෙකුත් ශාස්ත්‍රයේ නිපුණ කල බවය.

මෙහිදි වංශ කතාවට අනුව අප හට මහා පරාක්‍රමබාහු සහ නිශ්ශංකමල්ල දෙදෙනාගෙන් නිශ්ශංකමල්ල පරාක්‍රමබාහු රජුගේ බෑණනුවන් ලෙස හැඳින්වීම උදෙසා කිසියම් හෝ සම්බන්ධයක් සොයා ගත නොහැක. එසේ හැඳින්වීමට නම් නිශ්ශංකමල්ල එක්කෝ පරාක්‍රමබාහුගේ සහෝදරියකගේ පුතෙකු විය යුතුය, නැතහොත් ඔහු පරාක්‍රමබාහුගේ දියණියක විවාහ කරගත යුතුය. මහාවංශයේ සඳහන් ඇතැම් තොරතුරු ආශ්‍රයෙන් නිශ්ශංකමල්ල පරාක්‍රමබාහුගේ දියණියක හෝ නෑකමින් එසේ වන කෙනෙකු ආවාහ කරගත් බව පෙන්වීමට සෙනරත් පරණවිතාන මහතා උත්සහ කරන මුත් නිසැකවම එය එසේ වේයැයි පිළිගැනීමට එම සාධක ප්‍රමාණවත් නොවේ. 

ලිපියට අනුව පරාක්‍රමබාහු රජුගෙන් පසුව ජේ‍යෂ්ඨත්වය අනුව  අභිෂේක ලබන්නේ විජයබාහු වහන්සේය (එනම් මහාවංශයේ සඳහන් දෙවන විජයබාහුය.) එහෙත් දුෂ්ඨ අමාත්‍යයන් රාජ ද්‍රෝහීව, ලංකාවට ව්‍යසන ගෙනදුන් බැවින් විජයා යාන්තැන්නාවන් මැදිහත් වී ලිපිය පිහිටුවන [නිශ්ශංකමල්ල කුමාරයා] අභිෂේක කර ඔටුණු පළඳා රාජ්‍යත්වයට පත් කල හෙයින් සහ එනයින් කාලිඟ පරම්පරාවටම රාජ්‍යය සාධා දුන් හෙයින් සහ රුවන්දම්බුයෙහි පටන් [නිශ්ශංකමල්ල කුමාරයාගේ] ශරීර ආරක්ෂක ලෙසින් සිටි හෙයින් සහ විජය රජුගේ කාලයේ සිටම එම විජයා යාන්තැන්නාවන්ගේ පරපුර කාලිඟ වංශයටම සේවය කල හෙයින් ඔහුට පිරිණැමෙන ත්‍යාගයක් පිළිබඳව වූ විස්තර සඳහන් කිරීම මෙම පුවරු ලිපියේ අරමුණයි.

විජයා යාන්-තැන්-නාවන් ලෙසින් හැඳින්වෙන පුද්ගලයා ගේ යාන්-තැන්-නාවන් යන්න වාහන-නායක යන තනතුර (The Chief of the department of vehicles)  ලෙසින් සෙනරත් පරණවිතාන මහතා හඳුන්වයි. එතුමා ඉදිරිපත් කර ඇති සංස්කෘත ශ්ලෝකයේ පෙලෙහි එය වාහන-නායක ලෙසින් සංස්කෘත භාෂාවෙන් සඳහන් වේ (එහෙත් සිරිමල් රණවැල්ල මහතා ඉදිරිපත් කරන පෙලේ එය දැක්වෙන්නේ එතුමා අනුමාණ වශයෙන් කියවන (දාරානුද) නායක ලෙසිනි. රණවැල්ල මහතා ඉදිරිපත් කරන ඉංග්‍රීසි පරිවර්තනයේ එය ඉංග්‍රීසි භාෂාවට පරිවර්තනය නොකර Yantanna ලෙසින් දැක්වෙයි. )

පුවරු ලිපියේ ග්‍රන්ථ අක්ෂර වලින් ඇති කොටස

අපගේ ප්‍රධාන ඓතිහාසික තොරතුරු ඇතුලත් මූලාශ්‍රය වන මහාවංශයට අනුව මහා පරාක්‍රමබාහුගෙන් පසුව රාජ්‍යත්වයට පත්වන්නේ රජුගේ බෑනා වූ කවීශ්වර, පණ්ඩිත විජයබාහුය. ඔහු රාජ්‍යත්වයට පත්වී වසරක් ගිය තැන කාලිංග කුලයෙහි උපන් මහින්ද නැමැත්තෙක් දීපනී නමැති ගොපලු දියණියක සහයිකාව කරගෙන, දුෂ්ට උපායකින් ඒ රජු මරා, කිපුණු සෙන්පතිවරුන්ගේ, යෝධයන්ගේ, රටවැසියන්ගේ සහ ඇමතිවරුන්ගේ අනුමැතිය නොලැබ "ඉතා දුකසේ" පස් දිනක් ලක් රජය කර ඇත. ඉක්බිති විජයබාහු රජුගේ උපරජු වූ කාලිංග වංශයෙහි උපන් කීර්ති නිශ්ශංක නමැත්තා ඔහු මරා රජ විය. මෙම සෙල්ලිපියේ සහ මහාවංශයේ ඇතුලත් කරුණු එක් කොට සලකා බැලූ විට පෙනීයන්නේ නිශ්ශංකමල්ල රජ වීමෙන් පසු මෙම පුවරු ලිපිය පිහිටුවා කෘතගුණ දක්වන්නේ එම විජයබාහු (එනම් දෙවන විජයබාහු) රජු මරා දින පහකට රජ වූ කාලිංග වංශයේම මහින්ද නමැත්තාගෙන් රාජ්‍යය නිශ්ශංකමල්ල (මහාවංශයට අනුව කීර්ති නිශ්ශංක) කුමරා හට ලබා දීමට මූලික වූ පුද්ගලයා වෙත බවය. එනම් විජයා යාන්තැන්නාවන්ටය.

විජයා යාන්තැන්නාවන් හට මෙම සෙල්ලිපිය පිහිටුවා ලබාදුන් දෑ වන්නේ තුඟභද්‍රා ඇලෙන්* [වගා කරන කුඹුරු ඉඩම් වලින්] පමුණුවක් [පමුණුව = Freehold allotment = සින්නක්කර බිම් කොටසක්], රන්මඩවතුරෙන් පමුණුවක්, අන් මිනිසුන් සතුවූ හෙයින් නැවත මිලදීගත් යක්තුඩුකුබුර (The field [named] Yaktudu which has been purchased (back) as it had passed into the possession of other people), දියදඩ නුදුන් තුඟභද්‍රා ඇළ ආතැන් පටන් අට කිරියක් [කරීස 8 ක් එනම් අමුණු  32 ක් (4 * 8) - 8 Kiri of field beginning from the turn of Tungabhadra canal, from which water-rates are not levied] හා ඔහු හට අයත් (තමන් වලඳනා) පමුණුවක් වේ.

* පරාක්‍රම සමුද්‍රයේ වතුර ගෙන ගිය එක් ඇල මාර්ගයක්.

මැණික් වෙහෙර සහ ඒ අසබඩ මෙම පුවරු ලිපියේ පිහිටීම දැක්වෙන වීඩීයෝ දර්ශන >>

මෙම පැවරීම් කඩ කලහොත් ඔවුන් රාජ ධර්මයට පිටු පෑ හෙයින් මාතාංග [චණ්ඩාල යන අදහස දේ] ආදී හීනයන් හා ද කවුඩු බල්ලන් හා ද සම නම් වේ යැයි ග්‍රන්ථ අක්ෂරයෙන් නැවතත් දක්වා ඇති සංස්කෘත ශ්ලෝකයට පෙර ලිපියේ අවසාන කොටසේ දැක්වේ. සංස්කෘත ශ්ලෝකයෙන් පැවසෙන්නේ පාන්ඩ්‍ය දේශයේ නායකන්ටත් නායක වූ* පරාක්‍රමබාහු නම් කාලිංග රජු විජයා යන්තැන්නා හට පැවරූ දේ ඉර හඳ පවතින තුරා ඔහුගෙන් පැවතෙන්නන් හට හිමි බවත්, එය මතු රජ වරුන්ද සුරැකිය යුතු බවත්ය. ලිපියේ අවසානයේ කපුටෙකුගේ [කවුඩු] බල්ලෙකුගේ සහ කිසියම් බර දෙයක් සිය වමතින් ඔසවාගත් පුද්ගලයෙකුගේ රූපයක් දක්වා ඇත. එම මනුෂ්‍ය රූපයෙන් සෙල්ලිපියේ මාතංගයන් එනම් චණ්ඩාලයන් ලෙස හැඳින්වෙන පුද්ගලයන් නිරූපණය කලා විය යුතුය. 

* මේ අවධිය වන විට සිංහලයන් චෝලයන්ට එරෙහිව පාණ්ඩවයන් හා මිතුරු සන්ධානයකින් සිටි අතර, සාපේක්ෂව යුධමය වශයෙන් පාණ්ඩවයන් සිංහලයන්ට වඩා දුර්වල තත්වයක සිටි හෙයින් සහ මහා පරාක්‍රමබාහු පාණ්ඩවයන්ගේ ජයග්‍රාහි සටන් වලට මැදිහත් වීම ආදිය නිසාත් කාලිංග පරාක්‍රමබාහු ලෙසින් මෙම පුවරු ලිපියේ තමන්ව හඳුන්වාගන්නා නිශ්ශංකමල්ල රජු මෙවන් අතිශයෝක්තියට නැගූ බලයක් තමුන්ට ආරෝපණය කර ගන්නට ඇත. මේ අවධියේ මෙරට සහ දකුණු ඉන්දීය පාලකයන්ගේ මෙවන් සෙල් ලිපි වල එවන් දේ බහුලව හමුවේ.

මූලාශ්‍ර

  • Journal of the Ceylon Branch of the Royal Asiatic Society, 1887, Volume X No. 34, 1888
  • Archaeological Survey of Ceylon, Epigraphia Zeylanica beign Lithic and other inscriptions of Ceylon, Vol 5, Part 2, Edited by S. paranavitana, C.E. Godakumbura, 1963
  • Archaeological Survey of Ceylon, North-central, Central and Western Provinces, Annual Report, 1909, 
  • Archaeological Survey of Ceylon Epigraphia Zeylanica, Volume II (1912 - 1927), Edited and Translated by D. M. de Zilva Wickremasinghe1928
  • Archaeological Survey of Ceylon, Inscriptions of Ceylon Volume VI, G.S. Ranawella, 2007
  • මහාවංස 2 වෙළුම, ක්‍රි.ව. 303-1815 මාගධී පෙළ සහ සිංහල අනුවාදය, නව සංස්කාරක චන්ද්‍ර වික්‍රමගමගේ, සිංහල අනුවාදය අරුණ තලගල, 2015
  • ශ්‍රී සුමංගල ශබ්දකොෂය - වැලිවිටියේ සෝරත හිමි, 1999.
  • University of Ceylon History of Ceylon Volume 1, Part 1, 1959.

3 comments:

  1. //... එහෙත් දුෂ්ඨ අමාත්‍යයන් රාජ ද්‍රෝහීව, ලංකාවට ව්‍යසන ගෙනදුන් බැවින්...//
    ආදියෙත් ඉඳල නෙව මේ කුදිටු කැල
    අදත් හිඳී, ඒ වැනියන් දරා නිල
    නැති වෙන්නේ නැතිද උන්හට තියෙන බල
    අනේ එහෙම වෙනදා දුරු වෙයි අපල

    ReplyDelete
  2. //අපගේ ප්‍රධාන ඓතිහාසික තොරතුරු ඇතුලත් මූලාශ්‍රය වන මහාවංශයට අනුව මහා පරාක්‍රමබාහුගෙන් පසුව රාජ්‍යත්වයට පත්වන්නේ රජුගේ බෑනා වූ කවීශ්වර, පණ්ඩිත විජයබාහුය. ඔහු රාජ්‍යත්වයට පත්වී වසරක් ගිය තැන කාලිංග කුලයෙහි උපන් මහින්ද නැමැත්තෙක් දීපනී නමැති ගොපලු දියණියක සහයිකාව කරගෙන, දුෂ්ට උපායකින් ඒ රජු මරා, කිපුණු සෙන්පතිවරුන්ගේ, යෝධයන්ගේ, රටවැසියන්ගේ සහ ඇමතිවරුන්ගේ අනුමැතිය නොලැබ "ඉතා දුකසේ" පස් දිනක් ලක් රජය කර ඇත. ඉක්බිති විජයබාහු රජුගේ උපරජු වූ කාලිංග වංශයෙහි උපන් කීර්ති නිශ්ශංක නමැත්තා ඔහු මරා රජ විය.//

    ඔය කියන්නෙ දැනට අවුරුදු 800කට විතර ඉස්සර නේද?
    ඔය මහින්ද, දීපනී සමග දුකසේ දවස් 5ක් රජකලයි කියන වාක්‍යයට අමතරව ඒ පිලිබඳ විස්තර නෑ නේද? ඒත් ඒ කතාව කොයිතරම් ඉන්ටරෙස්ටින්ද! ඇයි අපේ ඉතිහාසය මහා වංශයේ තියන සංක්ෂිප්ත වාක්‍යවලට සීමා වෙලා තියෙන්නෙ?

    උදාහරණයක් විදිහට... අවු 900-1000කට කලින් ඉන්ගලන්තයේ නෝර්මන් ආක්‍රමණය කාලෙ ගැන අති විශාල ප්‍රමාණයක් විස්තර තියනව.හැරල්ඩ් ගොඩ්වින්සන්, හැරැඩ්ල්ඩ් හැඩ්‍රඩා, එඩ්වර්ඩ් the Confessor, විලියම් the Conqueror , ඒ අයගේ පවුල්, අනියම් සබඳතා, ඕපාදූප.............. සැක්සන් පැත්තෙන්, නෝර්මන් පැත්තෙන්, ස්කැන්ඩිනේවියන් පැත්තෙන් වගේ ඒ චරිත අදාල පැතිවලින් වගේම විදේශිකයින් විසින් යුරෝපයේ වෙනත් රටවලින් හා වතිකානුවෙන් ඒ සිද්ධි ගැන ලියවුන දේවල්.

    ඔය මං කියන්නෙ ඉන්ගලන්තයේ නෝර්මන් ආක්‍රමණය කාලෙ ගැන විතරයි. ඒත් අනිත් රටවල් හා කාල ගැනත් කොයිතරම් විස්තර, කොයිතරම් වෙනස් කෝණයන්ගෙන් ලියවිලා තියනවද!

    ඊටත් හුඟක් ඉස්සර (අවු 2500 කට ඉස්සර) පටන් ගත්ත රෝම ජනරජය ගැන කොයිතරම් විස්තර තියනවද !

    අපි මහා වංශයේ වටිනාකම ගැන ආඩම්බරවෙන එක මට තේරෙනවා. ඒත් ඇයි අපේ අයිතිහාසික තොරතුරු මහා වංශෙ සංක්ෂිප්ත වාක්‍යවලට සීමා වුනේ?

    අපේ සංස්කෘතික හෝ සමාජයීය වෙනසක්ද? එහෙම නැත්නම් අපි 1800 ගණන්වලට එනකම්ම විවිධ ආක්‍රමණවලට ගොදුරුවුන නිසා යුරෝපයෙ වගේ රෙකොර්ඩ් තියා ගන්න බැරිවුනාද? දේශගුණය නිසා ඒවා විනාශවුනාද? මෙහෙ ඉතිහාසය ලිව්වෙ පූජ්‍ය පක්ෂය විතරක් නිසා සීමිත වුනාද?

    බූෂණට අනාගත ලිපියකට suggestion එකක්

    ReplyDelete
  3. කෙටි පිළිතුරක් දෙනවා නම් මහාවංශය ලියන්නේ ඉතිහාසය ලියා තබන්න නෙමේ. යුරෝපයේ තිබ්බ වගේ ඒ සම්ප්‍රදායේ ඉතිහාසය ලිවීමක් අපේ තිබ්බේ නැහැ. හැබැයි අපිත් වාර්තා තබා ගෙන තිබ්බ. මහාවංශ කතෘ ලියන්නේ එයාට ඕනේ එයාගේ අරමුණට අදාල දේවල් විතරයි. අනික මහාවංශයත් එක කතෘ කෙනෙක් ලියපු දෙයක් නෙමේනේ අවම වශයෙන් 3 ක් හෝ 4 ක් 1815 දක්වා මහාවංශය ලිවීමට දායක වෙලා තියෙනවා. අනෙත් දේ තමා මේ දේවල් ලියන්නේ ඒ සිදුවීම් සිදුවී යම් කාලයකට පස්සේ. එතකොට මහාවංශ කතෘට ඒ තොරතුරු ගන්න තිබ්බ මූලාශ්‍ර වල යම් සීමිත බවක් උනත් තියෙන්න ඇති. කෙලින්ම මේකට අදාල නැතත් මහාවංශයට එල්ල වන චෝදනා ගැන හොඳ දේශනයක් මෑතකදී ඉෂංක මල්සිරි මහතා කලා. මේ ලින්ක් එකෙන් ඒක බලන්න පුලුවන් >> https://www.youtube.com/watch?v=cLxLUJ0e0rY&t=22s . මහාවංශයට අදාලව හුගක් වැදගත් දේවල් එතුමා ඒකෙදී කියනවා. මේ කියන දෙවන විජයබාහු රජුව ගොපලු දියනියක සහායිකාව කරගෙන ඝාතනය කරවීම පිළිබඳව ප්‍රා කියන්නා වගේ ඉතාමත්ම ඉන්ටරෙස්ටින්ග් සැගවුණු කතාවක් තියෙන බව එය කියන ආකාරයෙන්ම පේනවා. ඇතැම් විට මහාවංශ කතෘට එය සැඟවීමටම උවමනා වෙන්නත් ඇති.

    ReplyDelete