Saturday, April 22, 2023

ගොපල්ලන්ගේ පර්වතයේ තැනූ පොළොන්නරුවේ පැරණිතම විහාරය - හුළුගලු විහාරය

 පොළොන්නරුව පැරණි නගරයේ රන්කොත් වෙහෙර නමින් වර්තමානයේ හැඳින්වෙන ස්තූපයට ආසන්නව එයට උතුරු දෙසින් ගල් පර්වත සහ ලෙන් වලින් සමන්විත ස්ථානයක් තිබේ. ගෝපාල පබ්බත එනම් ගොපල්ලන්ගේ පර්වතය ලෙසින් හැඳින්වෙන එහි එක් ලෙනක ඇති ලෙන් ලිපිය සහ ඒ අසල පර්වතයක ඇති ගිරි ලිපිය පොළොන්නරුව පැරණි නගරය සහ ඒ අවටින් හමුවී ඇති පැරණිම සෙල් ලිපි වන අතර, ඒවා එම ප්‍රදේශයේ ඓතිහාසික යුගයේ මුල් අවදියේ පටන්ම ජනාවාස පැවති බවට වූ සාක්ෂ්‍ය ලෙස ගෙනහැර පෑ හැක. H.C.P. බෙල් මහතා මුල් වරට මෙම ලිපි දෙකම කියවා 1911-12 වර්ෂ සඳහා වූ සිය වාර්තාවේ පළ කර තිබේ. ලෙන් පිහිටි ගල් පර්වත වලින් බටහිරට වන්නට වූ ගල් පොත්තක වූ කාලගුණික හේතූන් නිසා ගෙවීගිය ගිරි ලිපියේ කියවිය හැකි අකුරු 5 වන සියවසට පෙර යුගයට අයත් බවත්, ලෙන් ලිපිය බ්‍රාහ්මි අක්ෂර වලින් රචිත බවත් හෙතෙම එහි සඳහන් කරයි. එම ලෙන් ලිපිය එතුමා කියවන්නේ සිද(ම්) මඩලයහ ලෙනෙ [Hail! cave of Madalaya] ලෙසිනි. එහි අදහස වන්නේ මඩලය ගේ ලෙන යන්නය. 
මෙහි ඇති ගිරි ලිපිය සම්පූර්ණයෙන් ආරක්ෂා වී නැති බව සහ එහි පේලි දෙකක කොටස් කිහිපයක් පමණක් කියවිය හැකි බව පවසමින් පසු කලක එය නැවත කියවා ප්‍රකාශයට පත් කරන සෙනරත් පරණවිතාන මහතා එම ලිපියේ අකුරු පළමුවන හෝ දෙවන ශතවර්ෂ වලට අයත් බව පවසයි. එම කියවිය හැකි කොටසට අනුව ගිරි ලිපිය කෙටීමේ අරමුණ චුළගල [පාළි - චූගල්ල,  හුළුගලු ලෙසද ගත හැක.] නම් විහාරයට චුළ අහලය [චූල අසේල] නම් වූ පුද්ගලයා විසින් සිදු කල කිසියම් ප්‍රදානයක් පිළිබඳව සටහන් කර තැබීමයි. ඔහු විසින් සිදු කල ප්‍රදානය තිස් දෙක ලෙස ප්‍රමාණය දක්වා ඇති කිසියම් දෙයකින් ලද ආදායම බව පෙනේ. චුළ අහලය නැමැත්තා අය තියබුත ගේ පුත්‍රයා බවද එහි සඳහන් වේ. ඒ අනුව ගෝපාලපබ්බතය ලෙසින් පොළොන්නරු යුගයේදී හැඳින්වූ මෙම ගුහා පද්ධතිය ආශ්‍රිතව පළමුවන සියවස පමණ කාලය වන විට චුළගල විහාරය නමින් හැඳින්වූ විහාරයක් පැවති බව පැහැදිලි වේ.

සෙනරත් පරණවිතාන මහතා ඉදිරිපත් කරන එම ගිරි ලිපියේ ඉංග්‍රීසි පරිවර්තනය >>  Cula-Ahalaya, son of Aya Tiyabuta...of the income...thirty two. 

මහා පරාක්‍රමබාහු විසින් ඉදි කල ආළහණ පිරිවෙනේ බද්ධසීමා ප්‍රාසාද නම් වූ පොහොයගෙහි සීමාවන් බැඳීමේදි එහි දකුණු දිශාවෙහි පිහිටි සලකුණු ගල ගෝපාලපබ්බතයෙන් යෂ්ටි පණස් අටක් දුරින් වූ බව මහාවංශයේ සඳහන් වේ.  (එනම් ගෝපාලපබ්බතයේ සිට තවත් මීටර 176 දුරින් දකුණු දිශාවට.) මෙම ස්ථානය පිළිබඳව  1911 දී මුල් වරට සඳහන් කරන විටද H.C.P. බෙල් ගෝපාලපබ්බත යන නම යොදාගනී. ඒ වන විටත් එම ස්ථානය ප්‍රදේශවාසීන් අතර එම නමින් හැඳින්වූවේද නැතහොත් මහාවංශ තොරතුරු අනුසාරයෙන් බද්ධසීමා ප්‍රාසාදයට දකුණු දිගින් පිහිටි එකම ගල් පර්වත සහිත ප්‍රදේශය ගෝපාලපබ්බතය විය යුතුයැයි බෙල් හඳුනාගත්තද යන්න පැහැදිලි නැත. බොහෝවිට මින් දෙවැන්න නිවැරදි විය යුතුය. 

මෙම ස්ථානයේ ඇති ගල් පර්වත වලින් ස්වභාවිකව ඇතිවූ අවම වශයෙන් ලෙන් හතරක් කටාරම් කොටා මුල් කාලයේදී භික්ෂූන්ගේ වාසස්ථාන උදෙසා පිළියෙල කරගෙන ඇති බව පෙනේ. H.C.P. බෙල් සඳහන් කරන පරිදි මේ ලෙන් අතරින් එක් ලෙනක් පසු කලක විහාරයක් ලෙසින් භාවිතා කර ඇත. ඔහු එය නිරීක්ෂණය කල අවධියේ අර්ධ වශයෙන් සුන්බුන් අතර යටවී තිබූ අත් සහ පා නොමැති කුඩා ශෛලමය හිටි පිළිමයක්,  අඩි දෙකක් පමණ වූ තවත් හිස නොමැති ශෛලමය ඔත් පිළිමයක් සහ වන්දනා කරන ඉරියව්වෙන් නෙලා තිබූ තවත් ගල් පිළිමයක බඳ කොටස පිළිබඳව බෙල් සිය වාර්තාවේ සඳහන් කරයි. 1967 වසරේදී චාර්ල්ස් ගොඩකුඹුරේ මහතා විසින් පොළොන්නරු පැරණි නගරය ලෙසින් පළකල කුඩා පොත් පිංචක ගෝපාලපබ්බතය පිළිබඳව වූ විස්තරයේ සඳහන් වන්නේද මෙහි ඇති එක් ලෙනක බුද්ධ ප්‍රතිමා වල කොටස් පවතින බවය.

 එම ප්‍රතිමා කොටස් දැනට මේ ස්ථානයේ දක්නට නොමැති අතර ඒවා මුළුමනින්ම සුන්බුන් අතර යටවී ගොස් ඇත්ද, නැතහොත් කිසියම් කලක මෙම ස්ථානයෙන් වෙනත් ස්ථානයකට රැගෙන ගොස් ඇත්ද යන්න පැහැදිලි නැත. එහෙත් පොළොන්නරුව සම්බන්ධයෙන් රචිත ඇතැම් ග්‍රන්ථ වල ඇතැම්විට බෙල්ගේ ඉහත සඳහන මෙම ස්ථානයේ සිට තරමක්  උතුරු දෙසට වන්නට සහ බද්ධසීමා ප්‍රාසාදයෙන් නැගෙනහිර දෙසට වන්නට පිහිටි ලෙන් විහාරයේ (මෙය කුඩා ගල් විහාරය ලෙසින්ද හැඳින්වේ) දැකිය හැකි පිහිටි ගලේ නෙලා ඇති කුඩා හිඳි පිළිම සමග පටලවාගෙන කරුණු ඉදිරිපත් කර ඇති බව පෙනේ. 
ඉහත ප්‍රධාන ගල් ලෙනේ කටාරමට යටින් වූ ගලේ තැනූ කුඩුම්බි වලවල්. ඒ අනුව වහලයක් වැනි ඉදිකිරීමක් මෙහි තිබූ බව පෙනේ. බෙල් සඳහන් කරන බුදු පිළිම බොහෝවිට මෙම ලෙනේ තිබුණා විය හැක.

ගෝපාල පබ්බතයේ සහ ඒ අශ්‍රිතව වූ ආළහණ පිරිවෙනේ ගොඩනැගිලි දැක්වෙන වීඩියෝව >> 

මූලාශ්‍ර

  • Archaeological survey of Ceylon, Inscription of Ceylon Volume II, Part II, Late Brahmi Inscriptions, Paranavitana S., 2001
  • Archaeological survey of Ceylon, North-Central, Central, And North-Western Provinces, Annual Report 1911-12, Bell, H.C.P.,  
  • polonnaruva, Issued by The Archaeological Commissioner, 1970
  • Polonnaruwa, Medieval Capital of Sri Lanka, Anuradha Seneviratna, 1998
  • අසිරිමත් පොළොන්නරුව, ආචාර්ය සෙනරත් දිසානායක, 2009
  • පොළොන්නරු පැරණි නගරය, චාර්ල්ස් ගොඩකුඹුරේ, 1967
  • සිංහල සෙල්ලිපි වදන් අකාරාදිය, සිරිමල් රණවැල්ල, 2004
  • පොළොන්නරු නටබුන්, කඹුරුපිටියේ වනරතන හිමි, 1962
  • මහාවංස 2 වෙළුම, ක්‍රි.ව. 303-1815 මාගධී පෙළ සහ සිංහල අනුවාදය, නව සංස්කාරක චන්ද්‍ර වික්‍රමගමගේ, සිංහල අනුවාදය අරුණ තලගල, 2015
  • 4 comments:

    1. වැරදුනු තැනක් ගැන පෙර රජ දරුවන්ට
      ආවා මගෙ දෙන්නකො ඉඩ විමසන්ට
      ආරාමාධිපති සඟ ගණ සනහන්ට
      පුදලා තියෙනවද 'දෝලා' වඩින්නට

      ReplyDelete
    2. නොදුන්නා වෙන්න බැහැ. දීමේ ඇති වරදකුත් නැහැ. ඒ ගැන සඳහන් වන තැනක් නම් මතකයට එන්නේ නැහැ. පූජා කරන්න නම් මහනුවර යුගයේ භාවිතා වූ දෝලා එයට පෙර යුග වලත් භාවිතා උනාද කියන එකත් හොයලා බලන්න ඕනේ.

      ReplyDelete
    3. ගොපල්ලන් ඒ ලෙන් පාවිච්චි කිරීම නිසා නම හැදුනා වෙන්න ඇති නේද?

      ReplyDelete
    4. ඔව් Pra මේ අවට භූමියේ තියෙන උසම ස්ථානයක් මෙතන. අනෙත් එක මේ ස්ථානයේ දැන් තියෙන ආලාහණ පිරිවෙනේ ගොඩනැගිලි හදන්නේ මහා පරාක්‍රමබාහු රජතුමා. එතුමා එම ආලාහණ පිරිවෙන හදන්න කලින් මෙතන තිබ්බේ සොහොන් පිට්ටනියක්. ආලාහණ කියන වචනේ සිංහල තේරුමත් ආදාහණ. ඒ බව මහාවංශයේ විශේෂයෙන්ම කියලා තියෙනවා. අනෙත් එක ආලාහණ පිරිවෙනේ මධ්‍යම සංස්කෘතික අරමුදලින් කල කැනීම් වලදී හමුවූ කුඩා චෛත්‍ය වල භෂ්මාවශේශ හමුවී තියෙනවා. ඒ කියන්නේ ඇත්තටම ඒවා කිසියම් ප්‍රභූවරුන්ගේ සොහොන්. අදත් හරක් ඇති කරන අය තම හරකුන් සොහොන් බිම් වලට යවනවා එහි ඇති තණකොළ කන්න. මේ අවට භූමිය අද වනාන්තරය වැවී තිබුනා උනත් ඒ කාලේ තෘණභූමියක් වෙන්න ඇති. එතකොට ගෝපලපබ්බතය වගේ උස තැනකට නැග්ගම ගොපල්ලන්ට තම හරකුන් කොහෙද ඉන්නේ කියන එක බලාගන්න පුලුවන්. කොටියන් වගේ සතුන්ගෙන් අනතුරු එනවද කියන එක උනත්. අනිත් එක හවස් යාමේ ආයෙමත් නොපැමිණි හරකුන් ඉන්න තැන් උනත් මෙහි සිට නිරීක්ෂණය කරන්න පුලුවන්. ඒ වගේම අද මෙහි ඉතිරි වී ඇත්තේ පෙර තිබූ පර්වත වලින් ඉතාම සුළු කොටසක් වෙන්න පුළුවන්. මේ ස්ථානයේ මීට වඩා උසට ගල් පර්වතය තියෙන්න ඇති. මොකද මෙම පර්වතයේ කොටස් මේ අවට ආලාහණ පිරිවෙනේ ගොඩනැගිලි ඉදිකරන්නට කඩපු බවට තවමත් මේ අවට ඕනේ තරම් සාධක තියෙනවා. ඉතින් එහෙම වෙන්න කලින් මන් මේ කියන අවශ්‍යතාවය ඉටු කරගන්න ගොපල්ලන්ට දැනටත් වඩා අවශ්‍ය තත්වයන් තිබුණා වෙන්න ඕනේ. ඒ අනුව ඔබ කියන අයුරින් ලෙන් පමණක් නොව සමහරවිට ඊටත් වඩා මේ පර්වතය ගොපල්ලන් භාවිතා කල නිසා ඒක ගොපල්ලන්ගේ පර්වතය උනා වෙන්න ඕනේ. ලෙන් උනත් ඔවුන්ට විවේක ගැනීම උදෙසා භාවිතා කරන්න ඇති.

      ReplyDelete