හම්බන්තොට දිස්ත්‍රික්කයේ කිරිඳි ඔය මුවදොර ආසන්නව විශාල ප්‍රදේශයක් පුරා විසිරුණු නටබුන් දැකිය හැකි තෙළුල්ල පුරාවිද්‍යා ස්ථානය ලෙසින් හැඳින්වෙන පරිශ්‍රයක් තිබේ. මේ අවට පිහිටි බුන්දල පතිරාජවෙල වැනි බොහෝ ස්ථාන වලින් හෙලිවී ඇති පරිදි ප්‍රාග් ඓතිහාසික යුගයේ සිටම මේ ප්‍රදේශයේ මානව ජනාවාස තිබී ඇත. මෙම පරිශ්‍රය තුලින්ද එවැනි සාධක සොයාගෙන ඇත. කෙසේ නමුත් මෙහිදී අපේ අවධානය යොමුවන්නේ මෙහි ඇති පසු කාලීන යුගයන්ට අයත් බෞද්ධ සංඝාරාමයක නටබුන් පිළිබඳවය. අලි ඇතුන් ගැවසෙන කැලෑවක පිහිටි මෙහි මේ වන විට පැහැදිලිවම ස්තූප දෙකක නටබුන් මතු කර ගෙන ඇති අතර ඉන් එක් ස්තූපයක් පූර්ණ ලෙස සංරක්ෂණයටද ලක් කර ඇත. චතුරශ්‍රාකාර මළුවක පිහිටි එම ස්තූපයට තරමක් දුරින් පිහිටි අනෙක් ස්තූපය පිහිටුවා ඇත්තේ සලපතල මළුව මත තැනූ අෂ්ඨාශ්‍රාකාර වේදිකාවකය. මීට අමතරව එම ස්තූප දෙක අතර එක පෙලට අවම වශයෙන් තවත් ස්තූප දෙකක හෝ වෙනත් එවැනි ගඩොල් ගොඩනැගිලි දෙකක නටබුන් දැකිය හැක. වර්තමානයේ මෙම පරිශ්‍රයට පිවිසෙන ස්ථානයට ආසන්නව තවත් එවැනි ගඩොල් ඉදිකිරීමක ගොඩැල්ලක් දැක ගත හැකි අතර ඒ ආසන්නව යූප ගලක් විය හැකි කැඩී ගිය ගල් කණුවක කොටසක් පොළොව මතුපිටට මතුවී තිබේ. මෙයට අමතරව කිරිඳි ඔය මෝය ආසන්නයේ වැලි වලින් වැසී ගිය තවත් එවැනි ගඩොල් ගොඩැල්ලක් සහ කැලෑව තුල තරමක් දුරින් පිහිටි තවත් එවැනිම ගොඩැල්ලක් ඇති බව පැවසේ. මේ ගොඩැලි සහ ස්තූප වලට අමතරව ගල්කණු සහිත ගොඩනැගිලි දෙකක නටබුන්ද ස්ථානයට යන කෙනෙක් හට පහසුවෙන් නිරීක්ෂණය කල හැක. ඉහත සියළු ස්ථාන වල දර්ශන නැරඹීම සඳහා >>
සාදා නිම නොකල ප්‍රතිමාගෘහය |
2006 වර්ෂයේදී ස්විඩනයේ උප්සලා විශ්වවිද්‍යාලයට ඉදිරිපත් කල සිය ආචාර්ය උපාධි නිබන්ධනයේ මහාචාර්ය රාජ් සෝමදේව මහතා මෙම නටබුන් පරිශ්‍රය පිළිබඳව කෙටි හැඳින්වීමක් ඉදිරිපත් කරයි . ඒ මහතා සඳහන් කරන්නේ පැරණි බෞද්ධ ආරාමික සංකීර්ණයක් වන මෙහි ගඩොල් ස්තූපයක් සහ තවත් ගොඩනැගිලි කිහිපයක් දැක ගත හැකි බවත්, ස්තූපය අවට ඇති ගොඩැලි මෙම ආරාම සංකීර්ණයේ තිබූ වෙනත් ගොඩනැගිලි වල නටබුන් විය හැකි බවත්ය.
සතැරැස් මළුවක ඉදි කල දැනට සංරක්ෂණය කර ඇති ස්තූපය |
මහාචාර්ය ප්‍රිශාන්ත ගුණවර්ධන මහතා මෙම ස්ථානයේ ඇති ස්තූප දෙකක් පිළිබඳව සඳහන් කරයි. මුහුදු වෙරලට ආසන්නව ඇති ස්තූපය ඉන් එකක් බව එහි සතැරැස් සලපතල මළුවක් ඇති බව පැවසීමෙන් හඳුනාගත හැක. එතුමා ඉදිරිපත් කරන සැලැස්මට අනුව අනික් ස්තූපය දැනට අර්ධ වශයෙන් සංරක්ෂණය කර ඇති ස්තූපය වේ. මෙම පරිශ්‍රයේ ඇති එක් ගොඩැල්ලක් එතුමා හඳුනාගන්නේ බෝධිඝරයක් ලෙසිනි. කණු සහිත ගොඩනැගිලි දෙකින් මධ්‍යයේ කුඩා හිටි පිළිමයක් සහිත ගොඩනැගිල්ල ඒ අනුව පිළිමගෙය බව ඔහු නිගමනය කරයි. අනෙක් කණු සහිත ගොඩනැගිල්ල උපෝසථඝරය බව ප්‍රිශාන්ත ගුණවර්ධන මහතා පවසයි. ඒ අනුව ස්තූපය, බෝධිඝරය, පිළිමගෙය සහ උපෝසථඝරය එකම පූජනීය මළුවක පිහිටන මෙම ආරාම සංකීර්ණය පබ්බත විහාර සම්ප්‍රදායයේ ආරාම සංකීර්ණයක් බව එතුමා නිගමනය කරයි. ප්‍රිශාන්ත ගුණවර්ධන මහතා 2009 වර්ෂයේ පලකල සිය Buddhist Monasteries Towards Urbanism in Southern Sri Lanka ග්‍රන්ථයේ සඳහන් කරන්නේ තෙළුල්ල ආරාම සංකීර්ණයේ තිබූ ඩොලමයිට් පාෂාණයෙන් තැනූ බුදු පිළිමය ඒ වන විට කතරගම කෞතුකාගාරයේ ප්‍රදර්ශනයට තබා ඇති බවය. එහි හිස සහ දෙඅත් විනාශ වී ඇති බවත් දැනට පවතින කොටසේ උස මීටර 1.9 ක් බවත් ඔහු සඳහන් කරයි. එම පිළිමයේ රැලි මනාව සුරක්ෂිත වී ඇති බව එතුමා විශේෂයෙන් සඳහන් කරයි. නිසැකවම මෙම පිළිමය තෙළුල්ල පරිශ්‍රයේ පිළිමගෙයි තිබූ පිළිමය විය යුතු බව පවසන එතුමා දැනට එහි තබා ඇති කුඩා පිළිමය මීටර 1.56 ක් උස බව සඳහන් කරයි (මෙම පිළිම දෙකේ උස ඉහත උපුටා දැක්වූ චාර්ල්ස් ගොඩකුඹුර මහතා 1963-64 වර්ෂ සඳහා ඉදිරිපත් කල පුරාවිද්‍යා කොමසාරිස්වරයාගේ වාර්තාවේ අඩි සහ අඟල් වලින් ඉදිරිපත් කල එම පිළිම වල උස මට්ටම් වලට සමානය.)
ප්‍රතිමාගෘහය |
කතරගම කෞතුකාගාරයේ ඇති තෙළුල්ල ප්‍රදේශයෙන් හමුවූ ලෙස සඳහන් පිළිමයද උස අඩි 5 අඟල් 6 ක් බව සඳහන් කරමින් එහි ඡායාරූපයක් මෑතකදී වෛද්‍ය රුවන් මාරසිංහ මහතා විසින් පළකල ග්‍රන්ථයක දක්වා ඇත. එහෙත් එහි සඳහන් කර ඇත්තේ එම පිළිමය ඌව පළාතෙන් හමුවූ බවය. ඌව පළාතට අයත් තෙළුල්ල නම් නටබුන් සහිත ස්ථානයක්ද හම්බන්තොට - වැල්ලවාය මාර්ගයේ (A2) 41 වෙනි සැතපුම් කණුව අසල ඇත. කුඩා දාගැබක අවශේෂ, ගල් කණු සහිත ගොඩනැගිල්ලක අවශේෂ සහ තවත් ගොඩැල්ලක් එහි ඇති බව තොරතුරු ඇති මුත් එයින් හමුවූ බුදු පිළිමයක් ගැන වාර්තා සොයාගත නොහැක. එහෙත් කෞතුකාගාරයේ ඇති පිළිමයේ රුවන් මාරසිංහ මහතා දක්වන උස හරියටම මෙම පරිශ්‍රයෙන් හමුවූ බවට ආචාර්ය චාර්ල්ස් ගොඩකුඹුර මහතා වාර්තා කරන කුඩා පිළිමයේ උසට සමාන වන හෙයින් කතරගම කෞතුකාගාරයේ ඇත්තේ අපගේ ප්‍රශ්තුතයට අදාල තෙළුල්ලෙන් හමුවූ පිළිමය බව පැහැදිලිය. ප්‍රිශාන්ත ගුණවර්ධන මහතා ඉහත සඳහන් කරන්නේ මෙම පිළිමය පිළිබඳව නොව විශාල පිළිමය පිළිබඳවය. ඒ මහතාට අනුව එවකට එම පිළිමයද තිබී ඇත්තේ කතරගම කෞතුකාගාරයේය. ඒ අනුව මෙහි තිබූ පිළිම දෙකම මේ වන විට කතරගම කෞතුකාගාරයට ගෙන ගොස් ඇත.
කිරිඳි ඔය මුවදොර |
මෙම තෙළුල්ල ආරාම සංකීර්ණය පබ්බත විහාර සම්ප්‍රදායේ සංඝාරාමයක්ය යන මහාචාර්ය ප්‍රිශාන්ත ගුණවර්ධන මහතාගේ මතය අභියෝගයට ලක්කරන ආචාර්ය දනන්ජය ගමලත් මහතා ස්තූප දෙකක් පිහිටා තිබීමත්, එම ස්තූප දෙකේ සිට ප්‍රතිමාගෘහයට සහ පොහොයගෙය (උපෝසථඝරය) ලෙස ගුණවර්ධන මහතා හඳුනාගන්නා ගොඩනැගිලි වලට ඇති දුර ප්‍රමාණ දෙස අවධානය යොමුකරන විට එය එසේ විය නොහැකි බව පවසයි. එසේම පබ්බත විහාරයක ප්‍රාකාරයකින් වටවූ පූජනීය චතුරශ්‍රය තුල පිහිටුවන්නේ එක් වර්ගයකින් එක් ගොඩනැගිල්ලක් පමණක් බවත්, එක් වර්ගයකින් ගොඩනැගිලි දෙකක් එසේ පිහිටන අවස්ථාවක් මෙතෙක් හමුවී නොමැති බවත් පෙන්වාදෙන එතුමා තව දුරටත් සඳහන් කරන්නේ එසේ එක් වර්ගයකින් ගොඩනැගිලි දෙකක් හමුවන්නේ නම් එසේ හමුවන්නේ ඉන් එක් ගොඩනැගිල්ලක් පූජනීය චතුරශ්‍රය තුල සහ අනෙක් ගොඩනැගිල්ල ඉන් පිටත වූ විහාර සංකීර්ණය තුල බවය. ඒ අනුව තෙළුල්ල පරිශ්‍රයෙන් විසද කරන්නේ පබ්බත විහාරයකට වඩා ග්‍රාමීය හෝ නාගරික විහාර සැලැසුමක සාධක බව ඔහු පෙන්වාදෙයි.
ස්තූපයක් විය හැකි කිසියම් ගඩොල් ඉදිකිරීමක නටබුන් සහිත ගොඩැල්ලක් |
උපෝසථඝරය ලෙස ප්‍රිශාන්ත ගුණවර්ධන මහතා හඳුනාගන්නා ගොඩනැගිල්ලේ දැනට දැකිය හැකි ගල් කණු වල පිහිටීම අනුව ප්‍රතිමාගෘහයක ගර්භගෘහය සහ එයට ඉදිරියෙන් ඇති මණ්ඩපය (ආලින්දය) හඳුනාගත හැකි බව පවසන ආචාර්ය දනන්ජය ගමලත් මහතා එම ගොඩනැගිල්ල පොහොය ගෙයක් නොව ප්‍රතිමාගෘහයක් ලෙස හඳුනාගනී. මෙහි ගර්භගෘහය තුල එහි කෙලවරවල් සතරේ ගල් කණු තුන බැගින් පිහිටා ඇති බවත්, එය සාමාන්‍යයෙන් ප්‍රතිමාගෘහයක ගල් කණු පිහිටුවන සම්මත ලක්ෂණයක් බවත් එතුමා වැඩිදුරටත් සඳහන් කරයි. එහෙත් මෙම ගොඩනැගිල්ලේ දොරටුවක් නොමැති හෙයින් ඒ පිළිබඳව තහවුරු කර ගැනීම උදෙසා එතුමා 2012 වර්ෂයේදී මෙහි කැණීමක් සිදු කරයි. එහිදී හෙලිවී ඇත්තේ මෙහි දොරටුව තිබිය යුතු ස්ථානයේ කිසිදු ඉදිකිරීමක සාධක දැකිය නොහැකි බවත් දොරටුව දෙපස සිට මණ්ඩපය වටා සහ ගර්භගෘහය වටා විහිදී යන ගඩොලු බැමි සහ අධිෂ්ඨානයේ ව්‍යුහයන් කිසිවක් මෙම ගොඩනැගිල්ලේ නොමැති බවත්ය. එසේම වහළය සෙවිලි කල උළුකැට කිසිවක් මෙහිදී හමු වී නැති අතර හමුවූ කැඩුණු ගඩොල් කැට 20 ක් පමණ ප්‍රමාණය වුවද අහඹු ලෙස මෙම ස්ථානයට එකතු වූ ඒවා මිසක මෙම ගොඩනැගිල්ලට අයත් ඒවා නොවන බව හෙතෙම සඳහන් කරයි. ඒ අනුව ඔහු පවසන්නේ මෙම ගොඩනැගිල්ල වැඩ අවසන් නොකල එකක් බවත් එහි සිදු කර ඇත්තේ වහලය සඳහා ගල්කණු සිටුවීම පමණක් බවත්ය. එම කණු සිටුවා ඇති වළවල් වල පතුලේ ගල් කණුව ගිලා බැසීම වැලැක්වීම උදෙසා යොදන ලද ශෛලමය ආධාරක පුවරු (Pads) දක්නට ලැබුණු බව එම කැනීමේදී සොයා ගැනීමට හැකි වී ඇත. අනුරාධපුර, පොළොන්නරු යුගවල ඉදි කල ගොඩනැගිලි වල පළමුව ගල් කණු සිටුවා ඒ මත වහලය ඉදි කර අනතුරුව බිත්ති බැඳීම ආදී කාර්යයන් සිදු කරන ලද බවට වන මතය මේ අනුව තහවුරු වන බව මෙහිදී ආචාර්ය දනන්ජය ගමලත් මහතා විශේෂයෙන් සඳහන් කරයි. එම තාක්ෂණික ක්‍රමවේදය අනුව බිත්ති වලට වහලයේ බර කේන්ද්‍රගතවීම සිදු නොවේ. මෙම කැණීමේදී හමුවූ අඟුරු නිදර්ශක වල කාල නිර්ණය අනුව ඒවා පො.ව. 480-530 කාලයට අයත් බව සොයාගෙන ඇත.
ස්තූපයක් විය හැකි කිසියම් ගඩොල් ඉදිකිරීමක නටබුන් සහිත ගොඩැල්ලක් |
මෙම ස්ථානයේ ඇති ගල් කණු සහිත අනික් ගොඩනැගිල්ලද ආචාර්ය දනන්ජය ගමලත් මහතා හඳුනාගන්නේ ප්‍රතිමාගෘහයක් ලෙසය. නිදන් හොරුන් විසින් දරුණු ලෙස විනාශ කර දමා ඇති මෙහි ගර්භගෘහය මධ්‍යයේ විශාල වලක් හාරා එහි තිබූ හිටි පිළිමය ඒ මහතා එම ගෘහය පරික්ෂා කරන අවදිය වන විට එය තුලට දමා තිබූ බව ඔහු සිය ග්‍රන්ථයේ සඳහන් කරයි. ඉහත ගොඩනැගිල්ලේ මෙන් නොව මෙහි අධිෂ්ඨානයේ සහ ගරා වැටුණු ගඩොළු බිත්තියේ කොටස් ගොඩනැගිල්ල වටාම දැක ගත හැක. මීටර් එකක් පමණ උස කොටසක් ඉතිරි වී ඇති ස්ඵටික හුණුගලින් කල හිස දෙපා සහ දෙ අත් විනාශ වී ඇති හිටි පිළිමය අනුරාධපුර යුගයට අයත් සිවුරු රැල්ල විසද කරන බව ආචාර්ය දනන්ජය ගමලත් මහතා සඳහන් කරයි (මෑතකදි මෙම ස්ථානය නිරීක්ෂණය කිරීමේදී කිසිදු බුදු පිළිමයක් පොළොව මතුපිට අප හට දැක ගත නොහැකි විය.)
අෂ්ඨාශ්‍රාකාර වේදිකාවක ඉදිකල ස්තූපය |
ඉහත ආචාර්ය දනන්ජය ගමලත් මහතා පෙන්වාදෙන පරිදිම මෙම නටබුන් පරිශ්‍රය පබ්බත විහාරයක් ලෙස හඳුනාගැනීම ගැටළු සහගතය. විශේෂයෙන්ම බොහෝදුරට ස්තූප දෙකකට වඩා මෙහි ඇති බවට සලකුණු ඇති බැවින් එම ගොඩැලි වල නිසි කැනීමක් සිදු කර ඒ බව තහවුරු කරගැනීමකින් තොරව එවන් නිගමන වලට එලඹීම එතරම් සුදුසු නොවන බව පෙනේ. අනෙක් අතට රජරට ප්‍රදේශයේ හමුවන පුරාණ යුගයන්ට අයත් නටබුන් විමසා බලා ගොඩනැගූ වාස්තුවිද්‍යාත්මක ප්‍රවාද ඒ ආකාරයෙන්ම රුහුණු රටේ විහාරරාම වලටත් යෙදිය හැකිද යන්න විමසා බැලිය යුතුය. එකම ආරාමික පරිශ්‍රයක වුවත් ස්තූප එකකට වඩා හමුවන අවස්තා රුහුණු රට නටබුන් පිරිස්සා බැලීමේදී බහුලය. යාන්ගල, බඳගිරිය සහ ඇතැම්විට යටාල-මැණික් පරිශ්‍ර උදාහරන ලෙස පෙන්වාදිය හැක. ඉදිරියේදි සිදු කරන කැනීම් තුලින් පමණක් මෙම කරුණු නිරවුල් කරගත හැකි වනු ඇත.පුරාණයේදී මෙම බොදු පුද බිම හැඳින්වූ නාමය වැනි තොරතුරු කිසිවක් හෙලි කර ගැනීම සඳහා අවශ්‍ය කිසිදු සෙල්ලිපියක් මේ ස්ථානයෙන් මෙතෙක් හමුවී නැත. ඇතැම් විට ඉදිරි ගවේෂණ වලින් ඒ සඳහාද යම් හෝඩුවාවක් ලැබීමට ඉඩ නැතුවා නොවේ.
මූලාශ්‍ර
- බුද්ධ ප්‍රතිමාගෘහයේ අවකාශීය සංවිධානය (අනුරාධපුර සහ පොළොන්නරු යුග ඇසුරෙන්) - ආචාර්ය දනන්ජය ගමලත්, 2016
- Administration Report of the Archaeological Commissioner for the Financial Year 1963-64, C.E. Godakumbura
- Ruins of Sri Lanka, Somapala Jayawardhana, 1987
- Buddhist Monasteries Towards Urbanism in Southern Sri Lanka, Prishanta Gunawardhana, 2009
- Studies in Global Archaeology 5, Urban Origins in Southern Sri Lanka, Raj Somadeva, 2006
- අපේ උරුමයන් මගේ ඇසින්, පුරාතන ලංකාවේ බුද්ධ සහ බෝධිසත්ත්ව ප්‍රතිමා, වෛද්‍ය රුවන් මාරසිංහ, 2021
- පුරාවිද්‍යා ස්ථාන නාමාවලිය, හම්බන්තොට දිස්ත්‍රික්කය, පළමු වෙළුම, 2019
- පැරණි ස්මාරක නාමාවලිය, සංස්කෘතික අමාත්‍යාංශය 1972
ඊයෙම කියෙව්වෙමි මේ ලිපියත් සවස
ReplyDeleteනිවයි; පැරණි තතු සොයනාවුන් පවස
රුහුණට සින්න වීලද මන්දා මෙලෙස
ඒත් අගෙයි, කියවමි; නොම වී අලස
ස්තූතියි නිදි...නැහැනේ මේකට කලින් දෙකම රජරටින්... ස්ථානය නම් එකමයි. ඉස්සරහටත් ආයෙත් රජරටට ගිහිල්ලා පෝස්ට්2 ක් 3 ක් ගිහිල්ලා ආයෙමත් සමහරවිට මායා රට හරහා රුහුණට යන්න තමා කල්පනාව.
Deleteඅන්න හොඳයි!
Delete++++++++++
ReplyDelete