Sunday, October 20, 2019

කුවේණිය ලතෝනිදුන් ගලෙහි දුෂ්ඨගාමිණී පිහිටවූ තුමුල සෙල් ලිපි

මෙරට තෝනිගල ලෙසින් හැඳින්වෙන ස්ථාන කිහිපයක්ම ඇති අතර ඉන් ස්ථාන දෙකකම පැරණි සෙල්ලිපි හමුවේ. මෙරට එකල පැවති බැංකු ක්‍රමය ගැන විස්තර සඳහන් ඉන් එක් සෙල්ලිපියක් වව්නියාව දිස්ත්‍රික්කයේ තිබෙන අතර මේ ලිපියේ ප්‍රස්තුතය වන තෝනිගල සෙල් ලිපි පිහිටා ඇත්තේ පුත්තලම දිස්ත්‍රික්කයේය. එම සෙල්ලිපි වල වීඩියෝවක් සමග කෙටි හැඳින්වීමක් මීට පෙර ලිපියකින් ඉදිරිපත් කල අතර ඒවායෙහි වැඩිදුර විස්තර සහිත මෙම ලිපිය කියවීමට පෙර සෙල්ලිපියේ විශාලත්වය සහ පිහිටි පරිසරය පිළිබඳව අවබෝධයක් ලබාගැනීම උදෙසා එම වීඩියෝව නැරඹීම වැදගත්ය Link >>

මෙම ස්ථානයේ කුඩා වැවක වැව්බැම්ම ඔස්සේ එකිනෙකට මීටර 100 පමණ දුරින්  පිහිටා ඇති ගල්තලා දෙකක් මත විශාල සෙල්ලිපි දෙකක් ඇති අතර ඒවායේ වචනයක් දෙකක් අඩු වැඩි ලෙස එහෙ මෙහෙ වීම නිසා එක් සෙල්ලිපියක පිටපතක් ලෙස අනෙක සැලකිය නොහැකි මුත්, එම සෙල්ලිපි දෙකෙහිම අර්ථය එකක් ලෙස සැලකීමට එය බාධාවක් නොවේ. ඉන් එක් ලිපියක පෙල සහ ලිපි දෙකෙහිම අර්ථ මෙසේ දැක්විය හැක.
සෙල්ලිපිය 1
පරුමක අබය පුත පරුමක තිශහ වපි අචගිරික තිශ පවතහි අගත අනගත චතුදිශ ශගශ දිනෙ දෙවනපිය මහ රක්ධ ගමිණි අබයෙ නියතෙ අචනගරකච තවිරිකිය නගරකච පරුමක අබය පුත පරුමක තිශ නියත පිත රක්ධහ අගත අනගත චතුදිශ ශගශ

ලිපිය 1 අර්ථය - පරුමක අබයගේ පුත්‍රයා වූ පරුමක තිශහගේ වැව අචගිරික තිශ පර්වතයේ පැමිණි නොපැමිණි සිව්දිග සංඝයාට දෙන ලදී. දෙවන පිය මහරජ ගමිණි අබය විසින් දෙන ලදී. අචනගරයද තවිරිකිය නගරයද පරුමක අබයගේ පුත්‍රයා වූ පරුමක තිශ විසින් පැමිණි නොපැමිණි සිව්දිග සංඝයාට දෙන ලදී.

ලිපිය 2 අර්ථය - පරුමක අබයගේ පුත්‍රයා වූ පරුමක තිශ විසින් මේ වැව අචගිරික තිශ පවතහි පැමිණි නොපැමිණි සිව්දිග සංඝයාට දෙන ලදී. දෙවනපිය මහරජ ගමිණි අබය විසින් දෙන ලදී අචනගරයද, තව්රකිය නගරයද අචගිරික තිශ පවතහි පැමිණි නොපැමිණි සිව්දිග සංඝයාට පරුමක අබයගේ පුත්‍ර පරුමක තිශගේ විහාරයද දෙන ලදී.
සෙල්ලිපිය 2
ඒ අනුව මෙම සෙල්ලිපි දෙකින්ම කියැවෙන්නේ අචගිරික තිශපවත නම් වූ විහාරයට වැවක් සහ නගර දෙකක් පිදීම පිළිබඳවය. එක් ලිපියක "මේ වැව" ලෙසින්ම සඳහන් වන බැවින් එම විහාරයට පූජා කල වැව මෙම ලිපි දෙක පිහිටා ඇති ගල්තලා මතින් එහි වැව් බැම්ම වැටී ඇති දැනට තෝනිගල වැව ලෙසින් හැඳින්වෙන වැව ලෙස හඳුනාගත හැක. මෙම සෙල්ලිපි පිළිබඳව වර්ෂ 1909 දී සිය Ancient Ceylon ග්‍රන්ථයේ සඳහනක් කරන හෙන්රි පාර්කර් එකල එම වැවට භාවිතා වූ නම ලෙස සඳහන් කරන්නේ ගල් වැව හෝ ගලේ වැවය (Galawaewa, the Rock tank). එයටත් පෙර කලක වර්ෂ 1883 දී එඩ්වඩ් මියුලර් එය කුඩා වැව ලෙස හඳුන්වයි. (කෙසේ නමුත් මියුලර් ලිපි වල සඳහන් වැව රෝහණයේ දූරතිස්ස වැව විය හැකි බව පවසයි.)
අඩියක් පමණ විශාලව අඟලක් පමණ ගැඹුරට ගලේ කොටා ඇති සෙල්ලිපි අක්ෂර
මෙම ලිපි වල සඳහන් දෙවනපිය මහරජ ගමිණි අබය ලෙසින් හැඳින්වෙන රජු හඳුනාගැනීම පිළිබඳව සඳහන් කරමින් මියුලර් සඳහන් කරන්නේ එම රජු දුට්ඨගාමිණී (දුටුගැමුණු) හෝ වට්ඨගාමිණී (වලගම්බා) විය හැකි බවය (ගාමිණි අබය නම් සහිත රජවරුන් ලෙස මෙම යුගයේ අපට හමුවන්නේ ඉහත නම් සඳහන් රජවරුන් දෙදෙනා පමණි). ඒ අතරින් 'දෙවනපිය' විරුදාවලිය නිසා හෙතෙම වට්ඨගාමිණි වීමට වැඩි ඉඩක් ඇති බව ඔහු පවසයි. හෙන්රි පාර්කර් එම රජු දුට්ඨගාමිණි ලෙස නිසැකවම පවසයි. කෙසේ නමුත් මෙම සෙල්ලිපි වල අක්ෂර අයත් යුගයේ මෙරට පාලනය කල රජවරුන් අතරින් වට්ඨගාමිණී රජුගේ (ක්‍රි.පූ. 103 සහ නැවත ක්‍රි.පූ. 89 - 77) ලෙසින් හඳුනාගත් වෙනත් සෙල්ලිපි වල හමුවන ඔහු භාවිතා කල විරුදය වනුයේ 'දෙවනපිය' විරුදය නොව 'පිතිමහරජ' යන්නය (මහාවංශයේ සහ අට්ඨකථා වලද පිතුරාජ ලෙසින් ඔහුව හඳුන්වා ඇත.) එම හේතුව මත මෙම ලිපි වල සඳහන් රජු දුට්ඨගාමිණි (ක්‍රි.පූ. 161 - 137) ලෙසින් හඳුනාගන්නා එල්ලාවල මේධානන්ද හිමියන්ගේ හඳුනාගැනීම වඩාත් නිවැරදි බව පෙනේ. C.W. නිකොලස් මහතාද එම රජු බොහෝවිට දුට්ඨගාමිණි අභය රජු විය යුතු බව පවසයි.
තෝනිගල වැව
එම රජු විසින් ඉහත ලිපි වල සඳහන් වන පරිදි අචනගරය සහ තවිරිකිය නගරය ලෙසින් හැඳින්වෙන නගර දෙකක් අචගිරික තිශපවත විහාරයට පූජා කර ඇත.  එම නගර දෙක හෝ විහාරය නිසැකව හඳුනාගැනීමට සාධක නොමැති මුත් මෙම ලිපි වල සඳහන් පරුමක අබයගේ පුත් වූ පරුමක තිශ විසින් කරවූ ලෙන් ලිපි 3 ක්ම මේ අසලම පිහිටි දැනට පරමාකන්ද විහාරය ලෙසින් හැඳින්වෙන ගල් ලෙන් පිහිටි කඳු ගැටයක හමුවේ. ඉන් ලිපි දෙකකම පැවසෙන පරිදි ඔහු දුතනවිකහ/දුටකණයතහ නම් තනතුරක් දරා ඇති බව පෙනේ. එහි අදහස තානාපති සේවයේ යෙදුන නාවිකයෙක් යන්නය (Envoy-.mariner). මෙ අනුව පරුමක තිශ අපගේ හඳුනාගැනීම නිවැරදි නම් දුටුගැමුණු රජු යටතේ නාවික තානාපති සේවයේ යෙදී සිටි ප්‍රභූවරයෙකු ලෙස හඳුනාගත හැක.
තෝනිගල සිට දිස්වන පරමාකන්ද 
අචගිරික තිශපවත විහාරය (අච්ඡගිරි තිස්ස පබ්බත) යන්නෙහි 'අචගිරික' යන්නෙහි අර්ථය වලස්ගල ලෙසින් ගත හැක. මෙම විහාරයට බොහෝ පූජාවන් කල පරුමක තිශ නැමැත්තාගේ නමින් එය 'තිශපවත' වූවා විය හැක. එම විහාරය මෙම ස්ථානයෙන් ඈතක පිහිටි වෙනත් විහාරයක් ලෙස හඳුනාගන්නවාට වඩා ඉහත පරුමක තිශගේ වෙනත් ලිපිද හමුවන පරමාකන්ද විහාරය ලෙසින් දැනට හැඳින්වෙන විහාරය ලෙසින් සැලකීම නිවැරදි බව පෙනේ. එම විහාරය පුරාණයේ මෙම ස්ථානය දක්වාම පැතිර තිබෙන්නට ඇති බවට වූ සාධකයක් ලෙස කඩගලින් කල ස්ථූපයක නටබුන් මෙහි තිබී දැනට විනාශ වී ගොස් ඇති බවට පරනවිතාන මහතා 1972 දී පැරණි ස්ථාන නාමාවලියේ කරන සඳහන උපයෝගි කරගත හැක.
පරමාකන්ද  ගල් ලෙන්
මහාවංශයේ සඳහන් වන පරිදි සූරතිස්ස රජු නැගෙනහිර අච්ඡගල්ලක විහාරය නමින් විහාරයක් කරවීය. නැගෙනහිර අච්ඡගල්ලක විහාරය ලෙසින් එය හැඳින්වෙන බැවින් අනුරාධපුරයට නිරිත දිගින් පිහිටි මෙම විහාරය සූරතිස්ස රජු තැනවූ විහාරය විය නොහැක. නැගෙනහිර අච්ඡගල්ලක විහාරය නමින් සූරතිස්ස රජු තැනවූ විහාරය හඳුන්වන්නට ඇත්තේ අච්ඡගල්ලක නමින් වෙනත් විහාරයක්ද ඒ වන විට තිබූ නිසා විය හැක. එය අනුරාධපුරයට නිරිත දිගින් පිහිටි මෙම විහාරය විය නොහැකිද? කෙසේ නමුත් මෙම මහාවංශ ගාථාවේ අර්ථය පහදන වංසත්ථප්පකාසිනී නම් මහාවංශ ටීකාව දේවානම්පියතිස්ස රජු (ක්‍රි.පූ. 250 - 210) විසින් 'දකුණු දිග' කරවන ලද අච්ඡවිහාරයෙන් වෙන්කොට දක්වනු පිණිස සූරතිස්ස රජු විසින් අනුරාධපුරයට නැගෙනහිරෙන් රහගල්ලක සමීපයේ කරවන ලද විහාරය එසේ හැඳින්වූ බව පහදා දෙයි. නිවැරදි දිශාව නිරිත දෙසින් වුවත් අනුරාධපුරයට සැලකිය යුතු දුරකින් දකුණට වන්නට පිහිටි පරමාකන්ද, එම දේවානම්පියතිස්ස රජු කරවූ අච්ඡවිහාරය ලෙසින් හඳුනාගැනීමද එතරම් වැරදි නොවන බව අපට හැඟේ. මෙහිදි මහාවංශ ටීකාව මුල් කාලයේ අනුරාධපුරයට දකුණින් කලා වැවෙන් සීමා වූ ලෙස පැවති රෝහණ රාජ්‍යය (මහාචාර්ය සිරිමල් රණවැල්ල මතය) මෙහිදී 'දකුණු දිග' ලෙස හැඳින්වූවා විය හැක. මහාවංශයේම පසුව එන සඳහනකට අනුව වට්ඨගාමිණි අභය රජු දමිළයන් සමඟ යුද වැදී පරාජය වී සැඟවී  සේනා සංවිධානය කරමින් සිටි සමයේ කුපික්කලමහාතිස්ස තෙරුන් හමුවී අච්ඡගල්ල විහාරයේ බුද්ධපූජාවක් කරවීය. වට්ඨගාමිණි අභය රජු සැඟවී සිටි ප්‍රදේශයෙහිම පිහිටි මෙම විහාරය බොහෝවිට එම අච්ඡගල්ල විහාරය විය හැක.
පරමාකන්ද  ගල් ලෙන්
ඒ අනුව දුටුගැමුණු රජු ඔහුට පෙර සිටි දේවානම්පියතිස්ස රජු කරවූ අච්ඡවිහාරයට නගර දෙකක් පූජා කරමින්ද, රජුගේ තානාපති සේවයේ යෙදී සිටි නාවිකයෙක් වන පරුමක තිශ වැවක් පුදමින්ද, එම විස්තර සඳහන් කරමින් එම තිශ සමග එක්වී මෙම ස්ථානයේ මෙරට විශාලම අකුරින් රචිත දිගම සෙල්ලිපි ද්වය පිහිටුවා ඇති බවට අනුමාන කල හැක. මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමන් වසර ගනනාවක් ඉදිරිය ගැන සැලසුම් කරමින් ඉදිකල මාගම්පුර වරායට ලෝකයේ ලොකුම ස්විමින් පූල් එක ලෙස ගැරහූ රතු අලි ලප කුමාරලා එකල සිටියා නම් මොනවා නොකියන්න ඇත්ද? මෙරට උසම ගොඩනැගිල්ල වන නෙළුම් කුළුන සැදුවේ පැනලා මැරෙන්නදැයි ඇසුවේද ඔහුගේම සගයා Till Win ය. ගාමිණි දුෂ්ඨයා ලොකුම අකුරින් දිගම සෙල්ලිපිය කලේ හඳේ හාවාට පේන්නදැයි "රතු-කොළ අලි" එකල සිටියා නම් දුටුගැමුණුගෙන් අහනවා සිකුරුය.

** මෙම ලිපියෙහි මාතෘකාවට පාදක වූ ජන කතා පිළිබඳව විස්තර සඳහා පෙර ලිපියේ (Link>>) පරිකථන (Comments)  කියවන්න.

මූලාශ්‍ර

  • Paranavitana S., 1970, Archaeological Survey of Ceylon, Inscriptions of Ceylon Volume 1, Early Brahmi Inscriptions.
  • Ancient Ceylon, H. Parker, 1909
  • Ancient Inscriptions in Ceylon, Edward Muller, 1883
  • ජාතික උරුමය පණගන්වන ගලේ කෙටූ අකුරු - 1, එල්ලාවල මේධානන්ද හිමි, 2016
  • Nicholas C.W. 1963, Historical Topography of Ancient and Medieval Ceylon, Journal of the Ceylon Branch of the Royal Asiatic Society, New Series, Volume VI, Special Number.
  • පැරණි ස්මාරක නාමාවලිය, සංස්කෘතික අමාත්‍යාංශය 1972
  • මහාවංස 1 වෙළුම, මහානාම අනුවාදයේ මොග්ගල්ලාන සංස්කරණය, මාගධී පෙළ සහ සිංහල අනුවාදය, නව සංස්කාරක චන්ද්‍ර වික්‍රමගමගේ, සිංහල අනුවාදය අරුණ තලගල, 2012
  • වංසථප්පකාසිනිය, මහාවංශ ටීකාව, අකුරටියේ අමරවංශ නාහිමි සහ හේමචන්ද්‍ර දිසානායක සිංහල අනුවාදය, 2001

7 comments:

  1. ඔබ ස්වාධීනව බැලුවොත් ඔබට තේරෙවි මේ ලිපියේ වටිනාකම අවසාන පේලි දෙක තුනෙනන් ඔබ විසින් විහින්ම නැති කරගෙන තියෙන විත්තිය. ඒක අපරාධයක්. මීට කලිනුත් මේ ගැන කිව්වා. මං දේශපාලන මතයක නැති නිසා මෙවැනි දෙයක් කියන්නේ. අතිශය වැදගත් සරල ලෙසින් මෙවැනි ලිපි පලවන වෙනත් ස්ථානයක් නැති තරම් ඒ නිසා ඔබගේ ලිපියේ ඇති අභිමානය තවත් වසර ගණනකාවක් පවත්වාගෙන යාමට නම් නූතන දේශපාලනය එයට මුසු නොකර සිටීම වටීවි. තවත් වසර කිහිපයකින් මේ ලිපිය කියවන කෙනෙකු අවසන් පේලි දෙක තුන නිසා තුෂ්නිම්භූත වේවි. මොකද ඒ වෙනකොට මොකක් වෙලා තියේද කියල අපි නොදන්න නිසා. මොනව තිබ්බත් ඉතිං මම නං ඔබගේ ලිපි කියවන්න එනවා.

    කලින් ලිපිය බලද්දිම මට හිතුනා මේ දුට්ඨගාමීනි වෙන්න ඇති කියල. භූෂණ මෙවන් සමානකමකින් (විශාලත්වයට) යුක් සෙල්ලිපිය දුටුගැමුණු සමයේ කොට තිබේද?

    ReplyDelete
    Replies
    1. ස්තූතියි දේශක ඔබගේ අදහස් වලට. මොනවා උනත් මට නැවතත් කියන්න තියෙන්නේ මට අතීතයෙන් වෙන්වූ වර්තමානයක් නොමැති බවයි. මගේ ලිපි වල මගේ දේශපාලනය තියෙනවා. ඒක ඉදිරියටත් තියෙයි. ඔබට දේශපාලන මතයක් නැහැ කිව්වට මට මතක හැටියට ඔබ දැනට වසර 5 කට පමණ සහ ඉන්පසුත් සිටියේ මම නියෝජනය කරන මතවාදයට ප්‍රතිවිරුද්ධ මතයේ. ඔබ ලියූ සටහන් වල (මන් හිතන්නේ කොමනට්ස් වල ) මම එහෙම දැක්කා වගේ මතකයි. මම වැරදි නම් සමාවන්න. සමහර විට දැන් ඔබට වසර 5 කට පෙර එම මතය නියෝජනය කල බොහෝ දෙනෙකුට වගේ දේශපාලන මතයක් නැති වෙලා ඇති ( දේශපාලන මතයක් නැති වීමත් දේශපාලනිකයි ) ඔබ පවසන පරිදි තවත් වසර කිහිපයකට පසුව මෙය කියවන කෙනෙකුට අවසන් පේලි 2-3 නිසා තුෂ්නිම්භූත වීමක් වෙනවා නම් මන් මතු කරන ප්‍රශ්නය එතනම තියෙනවා. අපේ රටේ මිනිස්සුන්ට විශේෂයෙන්ම සිංහලයට හරි ඉක්මනට අතීතය අමතක වෙනවා. පාස්කු ප්‍රහාරය දවස් වල බදුර්දීන්ව බේරගන්න චන්දේ දීලා ප්‍රදේශයේ මන්ත්‍රීට ගමට එන්න එපා කියපු උන්ම මේ දවස් වල ඔය අගේට බදුර්දීනුත් අපිත් එක්ක ඉන්නවා කියනකොට පුතානෝට හුරේ දාන්නේ. මිනිස්සු අතීතය අමතක කල යුතු නැහැ. අතීතයේ වැරදුන තැන් වලින් පාඩම් ඉගෙනගන්න ඕනේ. ඒකට පලමුවෙන්ම අතීතය දැනගන්න ඕනේ. මේ බ්ලොග් එක මම පටන් ගත්තෙත් 2015 මේ රටේ මිනිස්සු කල ඒ මහා වරද අතීතය ඇසුරින් පෙන්වා දෙන්න. 1815 ත් මේ වගේම වැරද්දක් කලා. ඒකේ දුර්විපාක අපි තාම විදවනවා. 2015 කල වරද ඇතැම්විට නුදුරේම සිදුවන වෙනසක් සමගින් යම් තාක් දුරකට හරි මගකට වැටෙයි. ඒත් තව සමහර දේවල් කිසි දාක වෙනස් වෙන එකක් නැහැ. අතීතය වර්තමානට අවශ්‍ය පරිදි ගලපා ගත්තේ නැත්නම් ඒ අතීතයෙන් වැඩක් නැහැ. අතීතය තියෙන්නේ රසකර කර කියවන්න නෙමේ. විශේෂයෙන්ම මන් කතා කරන මේ අතීතයට අයත් ශිෂ්ඨාචාරය තාම තියෙනවා. ඒ ජාතිය තාම මැරිලා නැහැ. තව කාලයකට මරන්නත් බැරිවෙයි. ඒ හින්දා ඒ ජාතියට ඔවුන්ගේ අතීතය වැදගත් කියවලා රස විඳින්න නෙමේ පාඩම් ඉගෙනගන්න. යා යුතු නිවැරදි මග හඳුනාගන්නා. ලොව මියගිය ජාතියක් සම්බන්දව නම් මෙය මීට වඩා වෙනස් වෙයි.

      මම දන්නා තරමින් මෙවැනි වෙනත් සෙල් ලිපි දුටුගැමුණු හෝ වෙනත් සමයක් කොටා නැහැ. අකුරු ගනනින් මීට වඩා වැඩි සෙල්ලිපි තියෙනවා ඒත් ඒවායේ අක්ෂර වල ප්‍රමාණය කුඩයි.

      Delete
  2. කොච්චර ගමන් ගිහින් තිබුණත් තෝනිගලටත් ගිහින් නැහැ. දැන් නම් යන්නම බලනවා, කොහොම හරි. ස්තුතියි!

    ReplyDelete
  3. අපි ඉස්සර කාලෙ ඉඳම්ම මුල්ගල තැබීම්, විවෘත කිරීම්, සිහිකිරීම් ලොකු අකුරෙන් කරන්න ආසයි වගේ

    ReplyDelete
    Replies
    1. ඒ කාලෙට අදාලව නම් ඒක අවශ්‍යතාවයක් කියලයි මම හිතන්නේ. මොකද මේ විදිහට රාජ අණ හැමෝටම පේන්න ගලේ කොටලා තිබ්බම වෙනත් තුන් වන පාර්ශවයක් එම දේවල් වලට අයිතිය කියාපෑම සිදුවෙන්නේ නැහැ. පසුව එන වෙනත් පාලකයෙක් වුවත් එය වෙනස් කරන්න උත්සහා කරන්නෙත් නැහැ. පසු කාලීනව තඹ සහ පුස්කොල වල ලියන සන්නස් වලින් කෙරෙන්නෙත් මේ කාරියමයි. ඇතැම් විට සෙල් ලිපියම සන්නසක් විදිහට අපිට හමුවන අවස්ථාත් තියෙනවා. වර්තමාන කාලයට අදාලව නම් දේශපාලකයන්ට බලය තබා ගැනීමට නිතර ඔවුන් කල දේවල් ජනතාවගේ ඇස ගැසෙන ලෙස තිබිය යුතුයි. ඒකනේ පොර්ට් සිටි එකෙ මුල් ගල තියපු ගල් ගලවල මුහුදේ ගිල්වලා අලුත් ඒවා හිටවෙන්නේ. එතකොට සීතාවක උද්භීද උද්‍යානය, තලවතුගොඩ දියසරු උයන වගේ ඒවගේ වැඩේ කල මිනිස්සුන්ගේ නම් සහිත පුවරු ගලවලා ඒවට බාල්දි ඇදපු උන්ගේ නම් සහිත පුවරු හිටවෙන්නේ ( එහෙම උන කිහිපයක් විතරයි සඳහන් කලේ තව ඕනේ තරම් තියෙනවා ) එහෙම කල දේවල් වල ප්‍රතිඵලත් තියෙනවා. සැලකිය යුතු පිරිසක් දකින දේ පිලිගන්නවා වැඩියෙ හොයලා බලන්න උත්සාහයක් ගන්නේත් නැහැ ඕනේ කමකුත් නැහැ

      Delete
  4. මේවා වැදගත් ලිපි..ඔබට බොහොම පිං

    මමත් උග්‍ර පොහොට්ටු කාරයෙක් නමුත් මේ වගේ ඓතිහාසික ලිපිවලට වත්මන් දේශපාලනය ආදාගන්න එපා...

    ඓතිහාසික අභිමානය වෙනම රසයක්...
    වත්මන් දේශපාලනය තව අවුරුදු 100කින් 200කින් වෙනම රසයක් වේවි..අනාගත පරපුරට...

    ඒකයි..පිං..

    ReplyDelete
  5. ස්තුතියි හරවත් ලිපියට..

    ReplyDelete