Sunday, July 5, 2020

උඩුගම්පොල පැරණි පතහ (Video)


ගම්පහ දිස්ත්‍රික්කයේ උඩුගම්පොල නගරයේ වටරවුමේ සිට දිවුලපිටිය පාරේ මීටර් 50 පමණ ගිය විට පාරේ වම්පස හමුවන ශරීර සුවතා මංතීරුව ඔස්සේ මීටර 400 පමණ දුරක් ගියවිට 'පතහ' නමින් හැඳින්වෙන මෙම පැරණි පොකුණ වෙත පැමිණිය හැක. කෝට්ටේ යුගයට අයත් උප රාජධානියක් වන උඩුගම්පොල රාජධානියට අයත් නටබුන් වූ පතහක් හෙවත් පොකුණක් ලෙස මෙම ස්ථානය ජනප්‍රවාදගත තොරතුරු, පුරාවිද්‍යාත්මක කැනීම් සහ සාහිත්‍ය මූලාශ්‍ර අනුසාරයෙන් හඳුනාගත හැක. සකලකලාවල්ලභ නම් එම යුගයේ විසූ ප්‍රාදේශීය රජෙකු හා එම තොරතුරු බැඳී පවතී. 'මාලිගාගොඩැල්ල' නමින් හැඳිවෙන ස්ථානයක්ද මේ අසලම හඳුනාගත හැකි අතර එම ස්ථානයේ වර්තමානයේ උත්තරාරාමය නම් බෞද්ධ විහාරයක් ඉදිකර ඇත. මෑතක් වනතුරු මඩ වගුරක් සහ කැලෑවෙන් යටවූ ඉවුරු ලෙසින් පැවති මෙම පතහ වසර කිහිපයකට පෙර පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව මගින් කැනීම් සිදු කර සංරක්ෂණය කර ඇත.
උඩුගම්පොල පැරණි පතහ (කැනීම් සිදුකිරීමට පෙර) -  Google Earth Pro ඇසුරින් ලබාගත් 2014 වසරේ ගුවන් ඡායාරූපයක්
 තවද ඉහත සඳහන් ශරීර සුවතා මංතීරුව පොකුණේ ඉවුරු වලට ඇතුලතින් පොකුණ වටා ඉදිකර ඇත (කැනීම් කිරීමට පොරොතුව වසර 2007 දී මෙම ස්ථානය තිබූ ආකාරයද මෙම කෙටි වීඩියෝවේ අන්තර්ගත වේ.) කැනීම් මගින් පතහේ දකුණු , නැගෙනහිර සහ උතුරු දිසා වලින් මතු කරගත් කබොක් ගලින් නිර්මිත ඉවුරු බිත්ති මේ වන විට දැක ගත හැක. නමුත් පතහේ බටහිර දෙසට වන්නට උතුරු - දකුණු දිශා ඔස්සේ වූ ඉවුරු වල කබොක් ගල් දැකිය නොහැක. ඉංග්‍රිසී L අකුරේ හැඩයට නිමවා ඇති මෙම පොකුණ වර්ග මීටර 25 805 ක ප්‍රදේශයක් පුරා පැතිරි ඇති අතර අස්වාන ඔය නම් අසලින් ගලා යන ඔයක සිට භූගත උමං මාර්ගයක් ඔස්සේ මෙම පතහ වෙත ජලය ගලා ඒ.
සිතියම 1
මෙම පතහ හා සම්බන්ධ ජනප්‍රවාද, උඩුගම්පොල උපරාජධානිය සහ සකලකලාවල්ලභ රජු පිළිබඳ ඓතිහාසික තොරතුරු ඉදිරියේදී විස්තරාමක ලිපියකින් ඉදිරිපත් කිරීමට බලාපොරොත්තු වෙමි.
උඩුගම්පොල පැරණි පතහ  - කැනීම් අවසන් කර සංරක්ෂණය කීරීමෙන් පසු ශරීර සුවතා මංතීරුවද ඉදිකල පසු Google Map ඇසුරින් ලබාගත් ඡායාරූපයක්

5 comments:

  1. අගෙයි; වටියි
    දුරත් නැතෙයි
    ඇවිත් දිනෙක
    බලනු රිසියි!

    සකලකලාවල්ලභ ගැන
    නොපමාවම ලියා දෙමින
    රිසිය තවත් වඩවන්නට
    සිත් වේවා, මිත භූෂණ!

    ReplyDelete
    Replies
    1. බෙහෙවින්ම ස්තූතියි!! නිදි..

      Delete
  2. //අස්වාන ඔය //

    මල කෙලියයි.
    රාවණා ඊජිප්තුවෙ පිරමීඩ් හදනකාලෙ හැල ඉන්ජිනේරුවොන්ගෙ නිල නිවාස තිබුන නගරයයි එහෙනං අස්වාන් !

    ReplyDelete