වර්තමානයේ
භරතනාග ලෙන සෙනසුන ලෙසින්ද හැඳින්වෙන
අනුරාධපුර දිස්ත්‍රික්කයේ
මහවිලච්චිය ප්‍රදේශයේ පිහිටි කටාරම් කෙටූ ගල්ලෙන් සංකිර්නය (මෙහි කටාරම් කෙටූ ගල් ලෙන් 7 පමණ ඇත.) පිළිබඳව මුල්ම සඳහනක් හමුවන්නේ වර්ෂ 1878 - 1883 කාලයේදී මෙරට ශිලාලිපි පිළිබඳව පුරෝගාමි ගවේෂණයක යෙදුන
එඩ්වඩ් මුලර් මහතා 1883 දී පළකල Ancient Inscriptions in Ceylon නම් ග්‍රන්ථයේය.
විලච්චි කොරලේ
බිල්ලාගල පිහිටි ගල්ලෙනක කොටා ඇති අකුරු පේලි දෙකකින් යුත් ලිපියක
නක මහරජ ලෙසින් සඳහන් වන බව එහි සඳහන් වෙයි.
|
බ්‍රාහ්මි සෙල් ලිපි සහිත කටාරම් කෙටූ ලෙනක් |
ඉන්පසු පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ සමාරාම්භක පුරාවිද්‍යා කොමසාරිස් ධූරය දැරූ
H.C.P. බෙල් මහතා වර්ෂ 1896 වසරේදි නිකුත් කල පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ පාලන වාර්තාවේ නැවතත් මේ ස්ථානය ගැන සඳහන් කරයි.
බිල්ලෑවේගල නම් ස්ථානයේ පිහිටි ලෙන් 7 ක ලිපි 7 හෝ 8 ඇති බව එහි විස්තරවේ. එසේම නටබුන් වූ දාගැබක්ද එහි තිබූ බව එම වාර්තාවේ වැඩිදුරටත් සඳහන් වේ.
|
බ්‍රාහ්මි සෙල් ලිපි සහිත කටාරම් කෙටූ ලෙනක් |
අනතුරුව 1970 දි Inscription of Ceylon Volume 1, Early Brahmi Inscription නම් ග්‍රන්ථයේ
සෙනරත් පරණවිතාන මහතා ඉන් ලිපි 3 කියවා ප්‍රකාශයට පත් කරයි.
බත ගුතශ සහ
බත ශගමිතශ යන දෙදෙනාගේ ඒකාබද්ධව භාවිතා කල ලෙන සිව්දෙසින් පැමිණි නොපැමිණි සංඝයාට පූජා කල බව ඉන් එක් ලිපියකින් කියැවෙන අතර තවත් ලිපියක සඳහන් වන්නේ
බරත නාග ගේ ලෙන සංඝයාට පිදූ බවයි. තුන්වන ලිපියේ
උපසක අ[බ]යහ ගේ ලෙන යන්න සඳහන් වේ. (බත බරත යන විශේෂණ වලින් ස්වාමි [Lord] යන අදහස දෙන අතර උපසක යනු වර්තමාන ව්‍යවහාරයේ උපාසක [Lay - devotee] ලෙස භාවිතා වන වචනයයි.)
|
බරත නාග ලෙන් පිදූ බව දැක්වෙන සෙල්ලිපිය |
තවත් ලෙන් ලිපියක් වර්ෂ 1984 දී ප්‍රකාශයට පත් වූ Epigraphia Zeylanica හත් වන වෙලුම සඳහා කියවා ඉදිරිපත් කරන
සද්ධාමංගල කරුණාරත්න මහතා ඉන්
උපසක මකහ සහ
උපසික තිසය යන දෙදෙනාගේ ලෙන සඝ සතු කල බව පැවසෙන බව පෙන්වා දෙයි. (
උපසික යනු උපාසිකා [Female lay-devotee]යන වර්තමාන ව්‍යවහාරයේ පැරණි ස්වරූපයයි)
|
ලෙන් ලිපියක් |
මීට අමතරව මෙතෙක් විධිමත් ලෙස ප්‍රකාශයට පත්වි නොමැති බවට අප අනුමාණ කරන තවත් ලෙන් ලිපි පහක්, පර්වතයක කොටා ඇති එක් ලිපියක් සහ එක් ගිරි ලිපියක් මෙම ස්ථානයේ ඇති බවට පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව සහ මෑත කාලයේ පිහිටුවා ගත් විහාරයට සම්බන්ධ විවිධ පුද්ගලයන් විසින් එහි සවිකර ඇති පුවරු වල දැක්වේ. ඉන් කිහිපයක් තවමත් නිරුපද්‍රිතව ඇති මුත් නටබුන් වූ ස්ථූපය අසල
බරත නාග ගේ ලිපිය හමුවන ලෙන පිහිටි පර්වතයේ පිහිටා තිබූ
උපසක ධතහ ගේ ස්ථූපය ලෙස සඳහන් ලිපිය මෑත කාලයේදි විනාශ කර ඇති බවට සැක පහල වන්නේ එය තිබූ බවට පැවසෙන පුවරුව අසල ගල කිසියම් ආකාරයකින් පුපුරුවා ඇති බවට සාධක විද්‍යාමාන වන බැවිනි. එසේම ඒ අසල පිහිටි වෙනත් පර්වතයක්ද ගල් වෙඩි දමා පුපුරුවා ඇති අතර ඒ සඳහා විදින ලද කුහර තවමත් දක්නට ඇත. පෞරාණික උරුමයක අගය නොදන්නා පරපුරක් ජාතක කල වර්තමාන අධ්‍යාපන ක්‍රමය විසින් පැරණි අකුරු ඇති තැන් යනු නිධන් තැන්පත් කල ස්ථාන ලෙස සිතනා නූගතුන් රැලක් බිහිකර ඇත. එම ඔලමොට්ටලයන් විසින් දවසින් දවස මෙසේ විනාශ කරන්නේ ජාතියක ඉපැරණි අභිමානය විදහාපෑමට ඉතිරි වි ඇති සාක්ෂ්‍ය නොවේද?
|
විනාශ කල ගිරි ලිපිය? |
විහාරාධිපති හිමි නමක්ද වැඩවසන බවට පැවසෙන මෙම ස්ථානයේ සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තුවට අනුබද්ධ බවට පැවසෙන පුද්ගලයන්ද විවිධ කාර්යවල නිරත වෙමින් සිටි. එවන් තත්වයක් මත මෙවන් දෑ කෙසේ සිදුවන්නේද යන්න බලධාරින් අවධානය යොමු කල යුතුය. එසේම වර්තමානයේ විවිධ ඉදිකිරීම් මෙහි සිදුවෙමින් පවතින බැවින් ඒවා මගින් මෙහි පෞරාණිකත්වයට ඇතිවන බලපෑමද සුලුකොට තැකිය නොහැක.
|
ස්ථූපය දෙසට යොමුවූ ගලේ කෙටූ පැරණි පඩි පේලි |
මූලාශ්‍ර
- Paranavitana s., 1970, Archaeological Survey of Ceylon, Inscriptions of Ceylon Volume 1, Early Brahmi Inscriptions.
- Karunaratne S, 1984, Archaeological Survey of Ceylon, Epigraphia Zeylanica being Lithic And Other Inscriptions of Ceylon. Vol VII.
- Muller E., 1883, Ancient Inscriptions in Ceylon.
- Bell H.C.P., 1904, Archaeological Survey of Ceylon, North Central, Sabaragamuwa and Central Provinces, Annual Report 1886
- රණවැල්ල සිරිමල් , 2004, සිංහල සෙල්ලිපි වදන් අකාරාදිය
මෙම ස්ථානය වනය ආශ්‍රිත කතාවන් සහිත නාට්‍ය චිත්‍රපට සඳහා යොදාගෙන තියෙන තැනක්ද මන්ද, හොඳට මතකයි මේ සමහර තැන්...
ReplyDeleteවිස්තර වලට ගොඩක් ස්තුතියි භූෂණ...