මැදිරිගිරිය වටදාගෙය යනු මෙරට ඕනෑම පුද්ගලයෙක් අවම වශයෙන් ඡායාරූපයකින් හෝ දැක ඇති පුද බිමක් මෙන්ම ජනප්‍රිය සංචාරක ගමනාන්තයකි. මදක් උස් වූ කළුගල් තලා දෙකක් මතට ගොඩවීමට ශෛලමය පඩිපේලි සකසා ඒ මත තැනූ ස්තූපය සහිත වටදාගෙයක්, තවත් ස්තූපයක්, ප්‍රතිමාගෘහ හතරක් සහ පොකුණු දෙකක් මෙම පරිශ්‍රයේ ප්‍රධාන වශයෙන් දැකිය හැක. එසේම පූජනීය ගොඩනැගිලි පිහිටි ගල් තලා දෙකම ආවරනය වන පරිදි ඉදි කල විශාල ප්‍රාකාර බැම්මක් මගින් විහාරයේ සීමාව සළකුණු කර ඇත. එහෙත් මෙම සීමාවන්ට පිටතින් විශාල ප්‍රදේශයක් පුරාවිද්‍යා රක්ෂිතයට අයත් වන අතර කැනීම් සිදු කර සංරක්ෂණය කල පුරාණ රෝහලක් හෙවත් වෙදහලක් ආරාම සංකීර්ණයේ ගොඩනැගිලි වලට ඊසාණ දෙසින් දැකගත හැක. සෙල්ලිපි වල සිංහල භාෂාවෙන් මැඩිලිගිරිය ලෙසත්, මහාවංශයේ පාලි භාෂාවෙන් මණ්ඩලගිරිය ලෙසත් හැඳින්වෙන මැදිරිගිරිය ලෙසින් වර්තමානයේ හඳුනාගන්නා මෙම ස්ථානයෙන් හමුවූ සෙල්ලිපි සහ වංශකතා තුලින් එහි අතීතය පිලිබඳව කරුණු ඉදිරිපත් කිරීම ප්‍රධාන වශයෙන් අරමුණු කොට මෙම ලිපිය සැකසේ.
මැදිරිගිරිය විහාරයේ ගොඩනැගිලි දැක්වෙන වීඩියෝව >>
කනිට්ඨතිස්ස රජු (පො. ව. 167 - 186) මණ්ඩලගිරි විහාරයේ උපොසථඝරයක් කරවූ බවද, සිරිසංඝබෝධි නමින් රජවූ හත්ථදාඨ රජුගේ (පො. ව. 659 - 667) අග්ගබෝධි නම් වූ බාල සොහොයුරාගේ (එනම් පො. ව. 667 - 683 කාලයේ රජ්‍ය පාලනය කල සිව්වන අග්ගබෝධි) රාජ්‍ය පාලන කාලයේ මහත් ධනවත් වූ මලය රජු, මණ්ඩලගිරි විහාරයේ චේතියට වටිනා දාගෙයක් කරවූ බවද, දෙවන සේන රජු (පො. ව. 853 -887) මණ්ඩලගිරි විහාරයට ගම් පිදූ බවද, පළමුවන විජයබාහු රජු ප්‍රතිසංස්කරණය කරන ලද දිරාගිය විහාර අතර මණ්ඩලගිරි විහාරය තිබූ බවටද මහාවංශයේ තොරතුරු හමුවේ. නැවතත් මහාවංශයේ මණ්ඩලගිරි විහාරය (මණ්ඩලීගිරි ලෙසින්) ගැන සඳහන් වන්නේ දෙවන ගජබාහු රජු (පො.ව. 1132-1153) සහ පරාක්‍රමබාහු කුමාරයා අතර ඇතිවූ "සාම ගිවිසුම" පිළිබඳව වූ විස්තරයේදීය. මණ්ඩලගිරි විහාරයට පැමිණ ඔවුන් දෙදෙනා එකඟ වූ කරුණු ගලක මතුපිට ලියවූ බව එහි සඳහන් වේ (එහෙත් එම සෙල්ලිපිය හමුවන්නේ වර්තමානයේ සංගමුව නමින් හැඳින්වෙන කුරුණෑගල දිස්ත්‍රික්කයේ පිහිටි වෙනත් විහාරයකය. එම සෙල්ලිපිය සහ විහාරය පිළිබඳව තොරතුරු මීට පෙර ලිපි දෙකකින් ඉදිරිපත් කර ඇත (1) >> (2) >>. )
මැදිරිගිරිය පුරාවිද්‍යා පරිශ්‍රයෙන් හමුවී ඇති 10 වන ශතවර්ෂයේ මුල් අර්ධයට අයත් සිංහල අක්ෂර වලින් රචිත ටැම් ලිපි දෙකක් වේ. බොහෝදුරට එකම ලිපියේ පිටපත් දෙකක් ලෙස සැලකිය හැකි එම ටැම් ලිපි වල සඳහන් වන ලෙසට ඔකාවස් පරපුරෙන් පැවතෙන දඹදිව් තල එක් හෙළි කොට මධුරා දිනූ සිරිසග්බො මහරද්හු පුත් දෙබිසව් දා අභා සලමෙවන් මපූර්මකා තුන්වැන්නෙහි [එනම් අභා සලමෙවන් නම් වූ රජුගේ තුන් වන රාජ්‍ය වර්ෂයේ] නවය[නවම් මස] අව විසෙනිය [චන්ද්‍ර මාස ක්‍රමයට අනුව අවපක්ෂයේ පස් වන දින] එක්තැන් සමියෙන් [Supreme Council] වදාල හෙයින් අත්තාණි ප්‍රදානයක් සඳහන් කරමින් එම ලිපි පිහිටුවා ඇත. මහවංශයේද සඳහන් ලෙසට දෙවන සේන රජු (පො. ව. 853 -887) මධුරා පුරය ආක්‍රමණය කර ඇත. එසේම දෙබිසව් දා යන අභිධානය දැරූ එකම රජු ලෙස එම සේන රජුගේ පුත් පස්වන කාශ්‍යප හඳුනාගෙන ඇති බැවින් මෙම අත්තාණි ප්‍රධානයන් සිදු කර ඇත්තේ මෙම ලිපි වල අභා සලමෙවන් විරුදය දරන 5 වන කාශ්‍යප රජුගේ (පො. ව. 914 - 923) රාජ්‍යත්වයෙන් තුන්වන වර්ෂයේදී බව පැහැදිලිය.
වෙදහල |
අත්තාණි ලිපි පිහිටුවීමේ අරමුණ ලෙස සඳහන් වන්නේ බිදෙර්වතු කුළියෙහි [බිජෙර්වතු කුළිය ලෙසින් අනෙක් ටැම් ලිපියේ සඳහන් වේ. ] රන්තිසැයෙහි පිහිටි මැඩිලිගිරි ඇත් වෙහෙර් පියැන්ගලැ සතර් සීමාවෙන් ඇතුලත පිහිටි භූමියෙහි [Land situated within the four boundaries of the Meditation Hall of the Inner Monastery of the මැදිලිගිරිය විහාර, situated in රන්තිසා in බිදෙර්වතු කුළිය. අනෙක් ටැම් ලිපියේ මෙය සඳහන් වන්නේ බිජෙර්වතු රන්තිසැයෙහි පිහිටි මැඩිලිගිරි විහාරයේ සතර සීමා තුල ලෙසටය.] බලපවත්නා මුක්තීන් පිළිබඳව සඳහන් කිරීමය. අඩු වැඩි වශයෙන් වෙනත් බොහෝ අත්තාණි පිරිනැමීම් සඳහන් ටැම් ලිපි වල සඳහන් කරුණු එලෙසින්ම සඳහන් වන මෙම අත්තාණි පිරිනැමීමේදීද ඒ සඳහා එක්තැන් සමියෙන් පැමිණි නිලධාරීන්ගේ නම් ගම් සඳහන් වන අතර, ඊට අමතරව සඳහන් වන වැදගත් කරුණු ලෙසට වෙද්හල් වැස්සන් [Employees of the hospital] ගම් වැද කිසිදු අකටයුතු කමක් නොකලයුතු බව සඳහන්වීම සහ මළ එළුවන් සහ කුකුළන් වෙහෙර් වෙද්හලට බහාලනු [ලබාදිය යුතු බවට] ලෙසට වූ සඳහන සැලකිය හැකිය (මෙම වෙදහල එනම් රෝහලේ නටබුන් විහාරය පිහිටි භූමියට ඊසාණ දෙසින් කැනීම් කර සංරක්ෂණය කර ඇත. මේ සමග ඇති ඡායාරූප සහ වීඩියෝව නරඹන්න.)
හිටි පිළිම තුනක් සහ හිඳි පිළිම දෙකක් සහිත පිළිම ගෙය |
මෙම ටැම් ලිපි වලට අමතරව පුවරු ලිපි හතරක්ද මෙම පරිශ්‍රයෙන් හමුවී ඇත. ලිපියේ අර්ථය පැහැදිලිව මතු කර ගත නොහැකි ලෙසට කොටස් ගෙවීගිය, කුඩා අකුරු වලින් කල මින් එක් ලිපියක සඳහන් වන ලෙසට එය සිරිබර සැහැකුල කොත් සුදොනා පරපුරෙන් බට් සලමෙවන් අබහ මහරද් හට සහ දෙව්ගොන් බිසො හට පුත් වූ සිරිසග්බො මහරජු හට සත්වැන්නෙහි පිහිටුවා ඇත. මහාචාර්ය සිරිමල් රනවැල්ල මහතා එහි භාෂාව සහ පූර්විකාවේ ඇති සමානතාවය අනුව ලිපියේ සඳහන් සිරිසඟබෝ විරුදය දරන රජු දඹේගොඩ ලිපියේද ඒ ආකාරයෙන් විස්තර වන සිව්වන මහින්ද (පො. ව. 956 - 972) රජු ලෙස හඳුනාගනී. කෙසේ නමුත් මෙම ලිපියේද මැඩිලිගිරි මහවෙහෙර ගැන මෙන්ම විශේෂයෙන්ම එහි වෙදහල ගැනද කරුණු සඳහන් වන බව කියැවිය හැකි අක්ෂර අනුව පෙනී යයි.
වෙදහල තුල තිබුණා විය හැකි බෙහෙත් ඔරුවක්. එහෙත් මෙය කිසියම් කලක එයට සැලකිය යුතු තරම් දුරකින් පිහිටා ඇති සැතපෙන පිළිමයක් සහිත ප්‍රතිමාගෘහය පිහිටි මළුවට රැගෙන විත් ඇත. |
අභා සලමෙවන් මපුර්මකා පස්වැන්නෙහි මැන්දින් දිනැ පුර විසෙනිය [එනම් අබා සලමෙවන් නම් මහ රජුගේ රාජ්‍යත්වයෙන් පස් වන වර්ෂයේ මැදින් දින චන්ද්‍ර මාස ක්‍රමයට අනුව පුර පක්ෂයෙන් පස්වන දින], රාල් පුවිළ නම් වූ පුද්ගලයෙක් පනස් කලඳක් රන් දී පිඬින් වසගක් [Food ration] ගෙන මැඩිලිගිරි වෙහෙර මහ සඟ්නට [සංඝයා හට] දිනපතා එක් කෙනෙක් හට රදින් තුන් අඩ්මනාක් සාලෙ බත් [Boiled rice cooked of three අඩ්මනාක් of raw rice from the royal house], තුන් මාළුවක් [Three curries] සහ දෙහිරා බුලතක් [Two sheaves of betel] දෙන ලෙසින් පවසා පිහිටවූ පුවරු ලිපියක්ද මැදිරිගිරිය පුරාවිද්‍යා පරිශ්‍රයේ තිබී හමුවී ඇත. එහි වැඩිදුරටත් සඳහන් වන ලෙසට මෙම දන් සැපයීම කඩ කරන සඟුන් වුව උපැවිදි කර ආවාසයෙන් පිටුවහල් කල යුතු අතර, කැමියන් [officials] දාසයන් කල යුතුය.
ස්තූපයක් |
අඩු වැඩි වශයෙන් මෙම කරුණුම සඳහන් මෙහි හමුවන තවත් පුවරු ලිපියක් පිහිටුවා ඇත්තේ රද් මදියා නම් පුද්ගලයෙක් අභා සලමෙවන් නම් රජෙකුගේ [මපුර්මකා] රාජ්‍යත්වයෙන් නවවැන්නේ හිලැ පුර දසවක් දවස [හිල මස පුර පක්ෂයෙන් දසවන දින] මැඩිලිගිරි රද් වෙහෙරට පනැස් කළන්දක් රන් දී පිඩින් වසගක් [Food ration] ගෙනය. මෙම පුවරු ලිපි දෙකෙහි මෙන්ම ලිපියේ නම සඳහන් රජු හඳුනාගත නොහැකි, එහෙත් සිරිසඟබො මපුර්මකා පළමුවන්නේ මැන්දින් දින පුර විසෙනි දවස් මහ අරකි බුදල්නාවන්ගෙ සුත්කා... ලෙසින් ආරම්භ වන ලිපියේ අන්තර්ගතය හඳුනාගත නොහැකි ලෙසින් ගෙවී ගිය තවත් පුවරු ලිපියක් මැදිරිගිරිය විහාරයේ නටබුන් අතර තිබී හමුවී ඇත.
ටැම් ලිපිය |
ස්වස්ති බිජෙර්වතුකුළියැ සෙල බොය් (මෙ) ගී
(ඇජැ තබ) ය් බෙයන්දහි [රන්] වන් පිළිබිබ් ඇත්නි
(හැ)ජවෙය් මෙ (සෙස්) සිත සිරිබර්නි පෙවෙහි කා අවද්
අට වෙනි සියවසේ අවසාන භාගයට හෝ නව වන සියවසේ අරම්භක යුගයට අයත් කල හැකි සිංහල අක්ෂර වලින් ලියා ඇති ඉහත සඳහන් සීගිරි ගීයෙහි සඳහන් වන පරිදි බිජෙර්වතු කුළියේ සෙල බොය් නම් පුද්ගලයා සිගිරි පැමිණ කැටපත් පවුරේ ගීයක් සටහන් කර ඇත.
ගඩොලින් කල සැතපෙන පිළිමය සහිත ප්‍රතිමාගෘහය |
කවන්ධ හිටි පිළිම තුනක් සහිත ප්‍රතිමාගෘහයක් |
නිශ්ශංකමල්ල රජතුමා පිහිටවූ සෙල්ලිපි කිහිපයකම (රන්කොත් දාගැබ ටැම් ලිපිය, ශිව දේවාල පුවරු ලිපිය සහ Polonnaruva Stone-Bath Slab Inscription ලෙසින් හැඳින්වෙන පුවරු ලිපිය) රන්තිසැ, මිණිහොරු, ගඟතළා, පදී ඇතුළු වූ තුන් රජයෙහි මහවෑ (තැනැ) අශේෂ ප්‍රාණීන්ට අභය දී නොමරන නියායෙන් සම්මතකොටැ... ලෙසින් සඳහන් කරන පරිදි එතුමා රන්තිසැ, මිණිහොරු (වර්තමාන මින්නේරිය වැව), ගඟතළා (වර්තමාන කන්තලේ වැව), පදී (වර්තමාන පදවිය වැව) ආදී තුන් රජයේ මහ වැව් වල සියළු සතුන් නොමැරිය යුතු බවට නියෝග කර ඇත.
පොකුණ |
මැදිරිගිරිය විහාර පරිශ්‍රයෙන් හමුවන සෙල්ලිපි වල සඳහන් වන පරිදි එය පිහිටා ඇත්තේ බිජෙර්වතු (හෝ බිදෙර්වතු) කුළිය ලෙසින් හැඳින්වූ ප්‍රදේශයක පිහිටි රන්තිසා නම් වූ උප කොට්ඨාශයක බව පැහැදිලිය. එම රන්තිසා නම් වූ ප්‍රදේශය තුල එම නමින්ම වූ වැවක් මහසෙන් රජු ඉදිකර ඇති අතර එය මහාවංශයේ තිස්සවඩ්ඪමානක ලෙසින් හඳුන්වා ඇත. රන්තිසා නම් වූ ප්‍රදේශයද මහාවංශයේ වසභ රජු කල තිස්සවඩ්ඪමානක ලෙසින් හඳුන්වා ඇති අතර, එහි එතුමා මුචේල නම් වූ විහාරයක් ඉදිකර එයට ආලිසාර ඇලේ දියබාගය පවරා දී ඇත. ආලිසාර ඇල යනු මහවැලි ගඟේ අතු ගංගවක් වන අඹන් ගඟ වර්තමාන ඇලහැර ප්‍රදේශයේදී පුරාණ අමුණක් මගින් හරවා මින්නේරිය ප්‍රදේශය කරා ජලය ගෙන ගිය ඇලක් වන අතර එය වසභ රජු කරවූ ලෙස පිළිගැනේ. ආලිසර ඇල පිළිබඳව වූ ලිපිය කියවීමට >>
කවුඩුල්ල හෙවත් පුරාණ රන්තිසා වැව |
ගල් ගුහාව |
- Nicholas C.W. 1963, Historical Topography of Ancient and Medieval Ceylon, Journal of the Ceylon Branch of the Royal Asiatic Society, New Series, Volume VI, Special Number.
- Archaeological survey of Ceylon, Inscription of Ceylon Volume V, Part III, Edited by Sirimal Ranawella, 2005
- Archaeological survey of Ceylon, Inscription of Ceylon Volume V, Part I, Edited by Sirimal Ranawella, 2001
- බුද්ධ ප්‍රතිමාගෘහයේ අවකාශීය සංවිධානය (අනුරාධපුර සහ පොළොන්නරු යුග ඇසුරෙන්) - ආචාර්ය දනන්ජය ගමලත්, 2015
- The Mahavamsa or The Great Chronicle of Ceylon, Translated into English by Wilhelm Geiger, 1950
- Archaeological Survey of Ceylon Epigraphia Zeylanica, Volume II (1912 - 1927), Edited and Translated by D. M. de Zilva Wickremasinghe1928
- Chulavamsa, Being the more recent part of the Mahavamsa, Translated by Wilhelm Geiger And from the German into English by C. Mabel Rickmers, 1929
- මහාවංස 1 වෙළුම, මාගධී පෙළ සහ සිංහල අනුවාදය, නව සංස්කාරක චන්ද්‍ර වික්‍රමගමගේ, සිංහල අනුවාදය අරුණ තලගල, 2012
- මහාවංස 2 වෙළුම, ක්‍රි.ව. 303-1815 මාගධී පෙළ සහ සිංහල අනුවාදය, නව සංස්කාරක චන්ද්‍ර වික්‍රමගමගේ, සිංහල අනුවාදය අරුණ තලගල, 2012
- පැරණි ස්මාරක නාමාවලිය, සංස්කෘතික අමාත්‍යාංශය 1972
- Mahavamsa The Great Chronicle of Sri Lanka, An Annotated new translation with Prolegomena by Ananda W. P. Guruge, 2005.
- University of Ceylon History of Ceylon Volume 1, Part 2, 1960.
- අපේ උරුමයන් මගේ ඇසින්, පුරාතන ලංකාවේ බුද්ධ සහ බෝධිසත්ත්ව ප්‍රතිමා, වෛද්‍ය රුවන් මාරසිංහ, 2021
- Sigiri Graffiti, S. Paranavitana, Vol 1 & 2, 1956
- පූජාවලිය. පණ්ඩිත වේරගොඩ අමරමෝලි නා හිමියන්ගේ සංස්කරණය, 1953.
- A Short History of Ceylon, H.W. Codrington, 1926.
- රාජාවලිය - ඒ වී සුරවීර සංස්කරණය, 1997
- Ancient Irrigation Works in Ceylon, Part 1, R.L. Brohier, 1934
- Journal of the Sri Lanka Branch of the Royal Asiatic Society, Major Ancient Irrigation Works of Sri Lanka, New Series Volume XXII Special Number, by A.Denis .N. Fernando, 1980
බුසන මහත්මයා පුරා විද්‍යා දෙපාර්තුමේන්තුවේ කැනීම් කටයුතු කරන කණ්ඩායමේ සහයකයෙක් දැ?
ReplyDeleteනැහැ.
Deleteවෙනදා වගෙමයි ලිපිය හරබරයි- වැදගත් තොරතුරු ගොඩක් තිබේ
ReplyDeleteවැඩි පාඨකයන් පිරිසක් එක්වී කියවත්වා මේ ලිපිය ඔබේ
ස්තූතියි නිදි!!
Deleteභූෂණගේ ලිපි බහුතරය බ්ලොග්වල විතරක් පල කරන්න හොඳ වැඩියි.
Deleteස්තූතියි ප්‍රා :)
Deleteගොඩක් කාලෙකට පස්සේ අහම්බෙන් බ්ලොග් එක පැත්තේ ඇවිත් බලනකොට තමා දැක්කේ අළුත් ලිපි වගයක් තියෙනවා ❤️❤️😘😍 මම ඔයාගේ හොඳ පාඨකයෙක්. කාලයක් නොලියපු නිසා වැඩේ අතෑරලා කියලා හිතුවේ
ReplyDelete