Wednesday, November 16, 2016

රජරට අප්‍රකට පැරණි පුදබිම් 2 - වක්වූ නැහැයක් වූ තිස්ස කරවූ කාඩිගල මංගලාරාමය.

අනුරාධපුර හා කුරුණෑගල දිස්ත්‍රික්ක මායිම් වන කලා ඔය හරස් කර බැඳි රාජාංගන ජලාශය සමීපයේ වර්තමානයේ කාඩිගල ලෙසින් හැඳින්වෙන කුඩා කඳු ගැටයක් මත  මාර්ගය ආසන්නයේ සිට පර්වතය මුදුනට නැගීමට ගලේ කපන ලද පියගැටපෙලක් දිස්වේ. ගල් පඩි 400 ක පමණ ප්‍රමාණයක් නැග කඳු මුදුනට පැමිණි කල නිධන් කොල්ලකරුවන් විසින් විනාශ කරන ලද තරමක විශාල ස්ථූපයක නටබුන් දැකිය හැක. පර්වතය පාමුල සහ අතරමගද කුඩා ස්ථූප හෝ වෙනත් ගොඩනැගිලි වූ බවට සාධක ඇතිමුත් ඒවා බෙහෙවින්ම විනාශ කර දමා ඇත. 
මේ ස්ථානය පිළිබඳව මෑත යුගයේ මුල්ම සඳහනක් හමුවන්නේ එවකට පුරාවිද්‍යා කොමසාරිස් ධූරය දැරූ H.C.P. බෙල් මහතා විසින් වර්ෂ 1895 දී පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ පාලන වාර්තාවේ තැබූ සටහනකය. විලච්චි කොරලයේ සීමාව ආසන්නයේ කලා ඔයේ වම් ඉවුරේ කාඩිගල නම් වූ ගල් පර්වතයේ මුදුනට නැගීමට තිබූ දිගු පඩිපෙල ආරම්භ වන ස්ථානයේ 'ගාමිණි අභය' කරවූ ශිලා ලේඛනයක් ගැන මෙන්ම නටබුන් වූ දාගැබක් සහ එවකට ගඩොල් ගොඩක් බවට පත්ව තිබූ  කලකට ඉහතදී විහාරයක්ව තිබූ ලෙනක දැකිය හැකි වූ බුද්ධ සහ විෂ්ණු ශිලා ප්‍රතිමා දෙකක් ගැනද ඔහු විස්තර කරයි. කඳු මුදුනේ තිබූ දෙවෙනි දාගැබ කිසිවෙකු විසින් හෝ විනාශ නොකර තිබූ අතර එහි ශිලාමය කොත එය තිබිය යුතු ස්ථානයේම තිබූ බවද ඔහු වැඩිදුරටත් සඳහන් කරයි. මේ සමග පලවන රූපයේ දැක්වෙන්නේ බෙල් සඳහන් කල ස්ථූපයේ වර්තමාන ස්වරූපයයි. කොත තිබූ ස්ථානයේ අඩි ගනනාවක් පහලට හෑරූ වල අනිත් රූපයෙන් දැක්වේ. පැරණි ආගමික ස්ථාන වල අගනා වස්තුව ඇතැයි යන මිත්‍යාවෙන් පෙලනු ලැබූ අමනයන් විසින් එම අගනා ජාතික උරුමය සදහටම වනසා දමා ඇත.  මිට අමතරව විහාර ගෙයක් තිබූ බවට බෙල් සඳහන් කරන පර්වතය පාමුල වූ ගල් ලෙනේ මේ වන විට දේවාලයක් පිහිටුවා ඇත.

H.C.P. බෙල් සඳහන් කරන ශිලා ලිපිය පසු කලක නිවැරදිව කියැවූ සෙනරත් පරණවිතාන මහතා එය වහබ රජුගේ පුත් වූ තිස රජ විසින් සිය මව් වූ ජිත දේවියට පිං පිණිස යමක් කරවූ බව සදහන් වන ලිපියක් බව පවසයි. ලිපියෙන් ඔහු විසින් කරවූ දෙය පැහැදිලිව ඉදිරිපත් නොවන මුත් එය පිහිටවූ ස්ථානය සහ එහි වර්තමානයේ දැකිය හැකි නටබුන් අනුව එය මේ ස්ථානයේ තිබූ ආරාමය බව පැහැදිලිය. ශිලා ලිපියේ දැක්වෙන වහබ රජු වසබ රජු (ක්‍රි.ව. 65-109) බවත් තිස ලෙසින් හැඳින්වෙන ඔහුගේ පුතු වංකනාසික තිස්ස (වක් වූ නහයක් ඇති තිස්ස ) ලෙසින් මහාවංශ කතෘ නම් තැබූ රජු (ක්‍රි.ව. 109-112) ලෙසත් පහසුවෙන් හඳුනාගත හැක. මේ හඳුනාගැනීම තවදුරටත් තහවුරු වන්නේ මහාවංශයේ වංකනාසික තිස්ස රජු ගැන සදහන් වන විස්තරයේ දැක්වෙන වෙනත් සදහනකිනි. මහාවංශ කතෘ වංකනාසික තිස්සගේ තුන් අවුරුදු පාලන කාලය පිළිබඳ වූ කෙටි විස්තරයේ ඇතුලත් කරන එකම වැදගත් කටයුත්ත නම් ඔහු විසින් ගෝණ නදී තීරයේ කල මහාමංගල නම් වූ විහාරයයි. 
රාජාංගනය ජලාශය සහ කාඩිගල පර්වතය
 වංශ කතා වල එන ගෝණ නදිය යනු වර්තමානයේ කලා ඔය ලෙසින් හැඳින්වෙන නදිය බව හඳුනාගෙන ඇත. ඒ අනුව කලා ඔය හරස් කර මෑත කාලයේ තැනවූ රාජාංගන ජලාශය ඉවුරේ වූ මෙම ස්ථානයේ එවකට වූ විහාරය වංකනාසික තිස්ස රජු කරවූ මහාමංගල වෙහෙර බව පැහැදිලිය. (දීපවංශයද වසබ රජුගේ පුත් තිස්ස විසින් මංගල නම් වූ ආරාමයක් කල බව පවසන මුත් එය පිහිටි ස්ථානය ගැන කිසිවක් සඳහන් නොකරයි.)
පර්වතය මුදුනේ ඇති කටාරම් කෙටූ ලෙනක්
මහාවංශයේ සඳහන් වන ලෙසට වසබ රජු තම අගමෙහෙසිය ලෙස පත් කරගත්තේ ඔහුට රජය ගැනීමට උපකාරී වූ පොත්ථා නමින් හැඳින්වූ  සිය මාමාගේ බිරිඳය. මෙම ශිලා ලේඛනයේ සඳහන් වන වසබ රජුගේ පුත් තිසගේ මව වන ජිත දේවිය යන්න සමග නම් එය නොගැලපේ. ඇතැම් විට වසබ රජුට වඩා බෙහෙවින් වැඩි වයසින් යුත් පොත්ථා අභාවයට පත් වූ පසු අභිෂේක කල අගමෙහෙසිය ජිත දේවිය විය හැක.

ආශ්‍රිත පෙර ලිපි
මූලාශ්‍ර
  • මහාවංශය සිංහල - බෞද්ධ සංස්කෘතික මධ්‍යස්ථානය.
  • The Deepavamsa, Hermann Oldenberg, 1879
  • Mahavamsa The Great Chronicle of Sri Lanka, An Annotated new translation with Prolegomena by Ananda W. P. Guruge, 2005.
  • Inscriptions of Ceylon Vol II, Part I. Late Brahmi Inscriptions, Containing rock and other inscriptions from the reign of Kutakanna Abhaya (41 B.C. - 19 B.C.) to Bhathiya II (140-164 A.D). Senarat Paranavitana, 1983
  • ජාතික උරුමය පණගන්වන ගලේ කෙටූ අකුරු - 1, එල්ලාවල මේධානන්ද හිමි, 2016
  • අනුරාධපුර යුගය, අමරදාස ලියනගමගේ සහ රණවීර ගුණවර්ධන,1965
  • Bell H.C.P., 1904, Archaeological Survey of Ceylon, North Central, Sabaragamuwa, Central And North - Western Provinces, Annual Report 1895.
  • Nicholas C.W. 1963, Historical Topography of Ancient and Medieval Ceylon, Journal of the Ceylon Branch of the Royal Asiatic Society, New Series, Volume VI, Special Number. 

No comments:

Post a Comment