පසුගිය සතියේ හලාබ පාලම නිරීක්ෂණය කිරීමට ගිය ඩිලාන් පෙරේරා මන්ත්‍රීවරයා එහි ලෑල්ලක් ගැලවීමෙන් එය මත ඇද වැටෙන වීඩියෝ දර්ශන ගොසිප් සයිට් කිහිපයක පලවීමෙන් පසු එහි කොමන්ට් දැමූ "3% නෙගටිව් කොමන්ට් කාරයන්ගේ" අදහස් දැකීමෙන් පසු තැනූ අවදිය හෝ එහි අරමුණ පිළිබඳව ස්ථිර නිගමනයකට ඒමට කරුණු ප්‍රමාණවත් නොවීම නිසා කිහිප වරක්ම කල් දමමින් සිටි හලාබ පාලම පිළිබඳව යමක් ලිවීමට සිත්විය.
සුපුරුදු පරිදි 225 න් එකෙක් නැතිවෙන්න ගිය අවස්ථාව අහිමිවීම පිළිබඳව වැලපීම් වලට (මේ නෙගටිව් කොමන්ට් කාරයන් සිතන්නේ රටේ සියළුම ගැටළු වලට මුල මේ 225 බැවින් ඔවුන් නැතිවූ පසු සියල්ල හරියන බවය.) අමතරව ඒවායේ තිබුනේ ගම් වල වෙසෙන ජනතාව සිය අවශ්‍යතා සඳහා ගමන් කරන මෙවැනි පාලම් ඇති බව නගර වලට වී සුර සැප විදින පාලකයන් මේ සිද්දියෙන්වත් තේරුම් ගත යුතු බවය (හැබැයි ගමක පාරක්, පාලමක් හදන්න යන විට පට්ටපල් බොරු සමාජ ගත කරමින් ඒවාට එරෙහි වන්නේද සමාජයේ වෙසෙන මේ 3% මය. හොඳම උදාහරණය ලංකාගමට යෑමට දශක ගණනාවක්ම එහි ගැමියන් සහ සංචාරකයන් භාවිතා කල මාර්ගයම පිලිසකර කිරීමට උත්සාහ කල අවස්ථාවේ සිංහරාජ වනාන්තරය මැද්දෙන් පාරක් කපනවායැයි පට්ටපල් බොරු කියමින් එය ජාතික ප්‍රශ්නයක් කිරීමය. සිද්දිය තවත් හිට් කරන්නට සිතූ එක් පරිසර ප්‍රශ්න විකුණා ගතමනාව සොයාගන්නා NGO කාරයෙකු පැවසුවේ ඒ පාර කපන්නේ සිංහරාජය මැද තිබෙන නාමල්ගේ හෝටලයට යන්න බවය. අද වෙනකොට පාර පිළිසකර කර අවසානය. සිංහාරජ වනාන්තරයේ එක් ගසක් හෝ බිම හෙලා නැත. නාමල්ගේ හෝටලය ඇති තැන ඔහුවත් දන්නා බවක් නොපෙනේ. නෙගටිව් කොමන්ට් කාරයන් සහ ඔවුන් කඩේ යන පජාත දේශපාලනය එවැනිය.)
කෙසේ නමුත් මන්ත්‍රීවරයා ඇදන් වැටුන හලාබ පාලම අපට මෙහිදී වැදගත් වන්නේ එය මේ 3% සෙට් එක කියන ආකාරයේ ජනතාව භාවිතා කරන පාලමක් නොවීම නිසාය. පාලමේ දෙකෙලවර හා සම්බන්ධ වන පාරක් කිසිදා තිබී නැති බව පැවසේ. එසේම අදද මේ පාලම බැලීමට යෑම උදෙසා ඇති අඩි පාර විනා අවම වශයෙන් යතුරිපැදියකටවත් පහසුවෙන් යා හැකි පාරක් එහි දෙපසින් නොමැත.
හලාබ පාලමේ එක් පසක සිට ඇති කුඩා අඩි පාර |
නමුත් පාලම දෙපසින් අඩි 10 ක් පළල්වද මැද කොටස අඩි 8 ක් පළලටද තනා ඇති බව පැවසේ. දිග අඩි 372 ක්ය. බදුල්ල දිස්ත්‍රික්කයේ හලාබ ග්‍රාමයේදී උමා ඔය හරහා ඉදිකර ඇති මෙම පාලම උමා ඔයේ පලල්ම ස්ථානයක් හරහාද ඉදිකර තිබීම විශේෂත්වයකි (මෙම ස්ථානයේදී ගඟේ පලල අඩි 300 ක් පමණද ගැඹුර අඩි 25-40 ක් පමණද වන බව පැවසේ.) පාලම තනා අත්තේ උමා ඔයේ සිට අඩි 100 පමණ උසින්ය. පාලමේ ඉහල ඇති පුවරුවක එය 1919 දී තැනූ බව සටහන් කර ඇති බව පැවසේ. [සැ.යු. ඉහත දත්ත සියල්ල අන්තර්ජාලයෙන් (Link >> )ලබාගත් ඒවා වන අතර කිසිදු පිළිගත් මූලාශ්‍රයකින් තහවුරු කරගත් ඒවා නොවේ. එහෙත් තැනූ වර්ෂය ගැන දැක්වෙන පුවරුව හැර අනෙක් මිණුම් අඩු වැඩි වශයෙන් නිවැරදි බව එම පාලමේ කල නිරීක්ෂණ වලින් තහවුරු විය. වර්ෂය සඳහන් පුවරුව අප හට සොයාගැනීමට නොහැකිවිය. එය ඇත්තේ පාලමේ උඩින් නම් එයට ලගාවීම පහසු නොවේ.]
මෙවැනි හේතූන් නිසා කිසියම් අභිරහස් පාලමක් ලෙසට මෙය දකින ගැමියා ඒ වටා විවිධ කතන්දර ගෙතීමද ස්වභාවිකය. එවන් එක් කතාවකින් කියැවෙනුයේ මෙය හලාවත කිසියම් ගඟක් හරහා තැනීමට සැලසුම් කල එකක් බවත්, හලාබ, හලාවත සමග පටලා ගත් සුද්දන් මෙය හලාබ ගමේ උමා ඔය හරහා ඉදි කල බවත්ය.
මේ පාලමේ පිහිටීම පිළිබඳව තවත් එක් වැදගත් කරුණක් වන්නේ එය පිහිටා ඇත්තේ සුප්‍රසිද්ද බෝගෝඩ ලී පාලම ආසන්නයේ වීමය. බෝගොඩ ලී පාලම තනා ඇත්තේ පැරණි මහනුවර - බදුල්ල මාර්ගයේ ගල්ලන්දා ඔය හරහාය (ගල්ලන්දා ඔය ආසන්න ස්ථානයකදී උමා ඔය හා එක්වන එහි අතු ගංගාවකි.) මෙයට පෙර අවස්ථාවකදී ලිපි කිහිපයක් මගින් මා එම පැරණි මහනුවර- බදුල්ල මාර්ගය පිළිබඳව කරුණු ඉදිරිපත් කර එහි ගමන් මාර්ගය පිළිබඳව අනුමාන කිරීමක් සිදු කර ඇත. එම ලිපි කියවීමට >>
- මග සලකුණ ඔස්සේ බදුලු පුරයේ සිට සෙන්කඩගලට
- මග සලකුණ පාර කියන බදුලු මගියාගේ සෙන්කඩගල වන්දනාව
- Mcdonald සිට මතුරටට, ඩේවි ගිය මග ඔස්සේ..
- දියතිලකපුර හරහා මතුරට සිට සිරිවද්දන පුරවරට...
මග සලකුණ නම් පැරණි කවි පොතට අනුව එම අනුමාන මාර්ගය බෝගොඩ පාලමෙන් එතෙර වීමෙන් පසු යොමු වන්නේ උමා ඔයෙන් එතෙර වීමටය. එම එතෙරවන ස්ථානය සලාතොට ලෙසින් එහි සඳහන් වේ. එය පැහැදිලිවම තොටුපලකි.
බෝගොඩ පැරණි දැව පාලම, හලාබ යකඩ පාලම සහ උපකල්පිත පැරණි බදුල්ල-මහනුවර මාර්ගය වැටී තිබූ ආකාරය |
කලාවටින් පිරිසිඳ වත යුගැස පෙටින්
පිලාසැටින් රනහස දෙතන බැඳ පටින්
කලාවිටින් විට දිය කෙළිනෑවිත් වටින්
සලාතොටින් යා කර සබඳ සිත තුටින්
උමා ඔය මැද පිහිටි ගල් පරයක් මත තනා ඇති පාලමේ අධාරක කණුව |
වැදගත්ම කරුණ වන්නේ සලාතොට ලෙසින් සිතියම් ආශ්‍රයෙන් ඉහත දෙවන ලිපියෙන් මා අනුමාන කල ස්ථානය මේ හලාබ පාලමට ඉතාම ආසන්නයේ එයට තරමක් ගඟ පහලට වන්නට පිහිටා තිබීමය. ඒ අනුව සලාතොට වර්තමාන හලාබ පාලම පිහිටි ස්ථානයම ලෙසින් හෝ ඒ ආසන්න ස්ථානයක් ලෙසින් වුව සැලකීම නිවැරදි බව පෙනේ. මේ කරුණු අනුව හලාවතට ගෙන යෑමට තිබූ පාලම හලාබට නොහොත් සලාතොටට ගෙනා බවට වූ ජනප්‍රවාදයේද යමක් ඇති බව පෙනේ. හලාබ යන්නද සලාතොට යන්නේ විකාශනයක් බව පෙනේ. එහෙත් මා සැක කරන්නේ මේ පාලම ඉංග්‍රීසින් සැබවින්ම මේ සලාතොට සවි කිරීමටම ගෙනාවක් බවත්, එය කිසිසේත්ම ඔවුන්ට සිදුවූ වැරදීමක් නොවන බවත්ය. එසේ නම් ඒ කුමන හේතුවක් නිසාද? හලාබ පාලම මේ ස්ථානයේ සවි කිරීමෙන් ඔවුන් උනන්දු වූවේ පැරණි මහනුවර - බදුල්ල මාර්ගය පලල් කර ඒ වන විට බදුල්ල ආශ්‍රිත වතු වල නිෂ්පාදන ප්‍රවාහනය උදෙසා පහසු ගමන් මාර්ගයක් සකසා ගැනීමද? පසුව එම අදහස කිසියම් හේතුවක් නිසා අතහැර දැමුවාද?
හුම්ම්ම්
ReplyDeleteඅවුරුදු විස්සකටත් එහා කාලයේ දවසක බෝගොඩ පන්සලේ පුංචි බණ මඩුවේ නැවතිලා ඉඳලා, පසුවදා පාන්දර පයින්ම හලාඹ පාලම බලන්න ගියා. එතකොටත් ගම්මුන් කිව්වේ ඔය සුද්දන්ට වැරදිච්ච කතාවමයි.
ReplyDeleteඅවුරුදු කීපෙකට කලින් යද්දී පාර පළල් කෙරෙමින් තිබුණා. බෝගොඩ පන්සල පසුකර ටික දුරකටත් ඒ සංවර්ධනය ගිහින් නැවතිලාද? හැබැයි දෙවැනි වතාවේ යද්දී අපට දැඩි ලෙස අනතුරු ඇඟවුණා අලි ගැන. ඒ තරමටම අලින්ගෙන් කරදර වැඩි වෙලා තිබුණා.
මේ ඡායාරූප ගත්තේ 2019 පෙබරවාරි මාසේ ගිහිල්ල. වාහනයක රෝද දෙක අතර දුර හරියටම තියෙන පටු පාලමක් හැරෙන්න පාර නම් හොඳටම පලලට කපලා තිබ්බා. ඒත් තාර දාල තිබ්බේ නැහැ. වැඩේ අතහැරලා දාලා හුඟක් කල් බවයි පෙනුනේ. මොකෝ පාර සමහර තැන් වල හොඳටම හෑරිලා තිබ්බේ. හොඳ Ground Clearance තියෙන වාහනයකට මිසක් යන්න අමාරුයි. අලි නම් දැක්කේ නැහැ. එහෙම ඉන්න බවක් දැනගන්නට ලැබුනෙත් නැහැ. වික්ටොරියා, රන්දෙණිගල, රන්ටැඹේ අභයභූමියේ සිට උමා ඔය දිගේ සමහර කාල වල ගම් වදිනවා වෙන්න පුලුවන්.
Deleteස්තුතියි භූෂණ. අපි අවසන් වතාවට එහෙ ගියේ අවුරුදු පහකට විතර කලින්.
Deleteදැන් දවස් කීපෙකට කලිනුත් අපේ නඩේ කතා වුණා. ඔය ඩිලාන් මහත්තයා ඇද වැටුණේ හලාඹ පාලමෙන්ද කියලා. ඇත්තටම අපි හිතුවේ දැන් ඒ පාර හොඳට හදලා පාවිච්චි වෙනවත් ඇති කියලයි.
(අතුරු කතාවක්- බෝගොඩ පන්සලේ බෝධිය ළඟම තියෙන කඩේ කිතුල් හකුරු මාරයි!)
අලි ගැන කියද්දී - එහෙ ගම් වැසියෝ තමයි අපිට ඉගැන්නුවේ, අලි ආවොත් සිග්සැග් ගගහා පල්ලමකට දුවන්නයි කියලා. අලියාගේ ඇඟ බරපතල නිසා හිටි ගමන් වංගු ගන්න බැහැල්ලු- ඒ වගෙමයි පල්ලමකට දුවද්දී උගෙ කන්පෙතිවලින් ඇස්දෙක වැහෙන නිසා වේගය අඩු වෙනවලු.
අලිත් එක්ක දුවලා බේරෙන්න පුළුවන් කියන එක නිවැරදි නැහැ කියලා තමා අලිත් එක්ක වසර ගණනාවක අත්දැකීම් ඇති වෛද්‍ය නන්දන අතපත්තු මහතා අලි සමග සිය ජීවන අත්දැකීම් ගැන ලියලා තියෙන පොත් වල නම් කියන්නේ. වංගු ඔස්සේ දිවීම උනත් සාර්තක එකක් නෙමේ. බොහෝවිට එහෙම දුවලා බේරුන අවස්තා වලදී එහෙම වෙලා තියෙන්නේ එක්කෝ අලියටම එපා වෙලා නැවතිලා, නැත්නම් තමන්ගේ target එක ගිය දිහා හොයාගන්න බැරුව අලිය වෙනත් මගක ගිහිල්ලා. බොහෝවිට අලියා පාරක් දිගේ නම් පන්නන් එන්නේ මාර්ගය අයිනෙම ගසකට මුවා වී බේරුන අවස්තා තියෙනවා. අලියගේ පෙනීම එතරම් හොඳ නැහැ සුලඟ හමන දිශාව අනුව අලියා වෙත එන අපේ ඉව ඔස්සේ තමා ඌ වැඩියෙන්ම අපිව හොයගන්නේ. හුලඟ අපි ඉන්න තැන ඉදන් අලියා දෙසට නොවේ නම් තියෙන්නේ අලියාට නොදැනී ඌ ඉන්න තැනට ගොඩක් ලංවෙන්න පුලුවන්. කන් පෙති හකුලා ගත් විට අලියාගේ දෘෂ්ටි කෝණය වැඩි වෙනවා. අලියාගේ ඇස් තියෙන්නේ හිස දෙපැත්තේ නිසා. ඒක හින්ද පල්ලමකට දුවනකොට කන් පෙති වලින් එය යම් තරමක් අඩුවෙනවා වෙන්න පුලුවන් මාර්ගයේ පසකට වීමේන් බේරීමට ඒක හේතු වෙනවා වෙන්න පුලුවන්. අලියගෙන් බේරෙන්න හොඳම දේ නම් ඌට බදලා පෙරලන්න බැරි ගහකට නැග ගැනීම විතරයි මට හිතෙන්නේ සාර්ථක. ඒත් එහෙම ගස් හැමතැනම හම්බෙන්නේ නැහැනේ. අනික එහෙම වෙලාවක ගහකට නැග ගන්න ඒකත් ලේසි නැහැ. විවෘත භූමි වල අලි එක්ක රේස් දුවපු හුඟ දෙනෙක් අලියට පරාජය වෙලා තියෙන වාර්තා තමා තියෙන්නේ.
Deleteතවමත් අපි වල් වදිනවා වැඩි නිසා මේ අලි ගැන තොරතුරු ඉතා වැදගත්.
Deleteකරදරයක් තමයි වුණත්, තරහ නැතිව කියනවද 'අලියෙක් පන්නන විට හැඳ සිටින ඇඳුමක් ගලවා දාලා දුවන්න' කියන උපදෙස ගැනත්...
ඔව් ඒක සමහර විට වැඩ කරන්න පුළුවන්. අලියා මිනිහා ඇතහැරලා ඒක අල්ලගන්න ඉඩ තියෙනවා. ඒත් ඕක හරි ගිය අවස්තාවක් ගැන නම් මට මතකයක් නැහැ අලි ගැන ලියැවුණු පොත් වල නම් කියවපු බවක්. අලි ඉන්න ප්‍රදේශයක ඇවිදිනවා නම් එම ප්‍රදේශයේ අලි එලියට බහින වෙලාවන්, තැන් වගේ දේවල් ගැන දන්න කෙනෙක් එක්ක යන එක තමා හොඳම දේ. ඒත් ඉතින් අලින්ගෙන් සිදුවන මිනිස් මරණ වැඩි හරියක් වෙන්නෙත් ඔය වගේ නිතර අලි ඉන්න පැති වල අය අතරමනේ. අලින්ගෙන් බේරෙන විදි ගැන අත්දැකීමෙන් කියන්න තරම් මම නම් එහෙම අවස්තා වලට මුහුණ දීලා නැහැ. එක් අවස්තාවකදි නම් හබරන පාරෙදී පාර අයිනේ ඉන්න කොට රංචුවක්ම එකපාර මතු උනා මීටර් කිහිපයක් එහායින්. අලි ටික බය වෙලා සද්දයක් දාල ආපහු හැරුණා ඒ සද්දෙන් තමා මම උන්ව දැක්කෙත්. මමත් පුලුවන් උපරිම වේගෙන් දුවලා පාර එහා පැත්තේ තිබ්බ වාහනේට නැගගත්තා. දුවලා බේරූන අවස්තාවක් තමා හැබැයි අලි පැන්නුවේ නැහැ. :D ඩඩ්ලිගේ හාල් ලොරි යන පාරේ නිකන් මොකටද මේ කොහෙවත් යන එකෙක් පන්නලා හාල් ලොරියක හැප්පෙන්නේ කියලා අලියට හිතෙන්න ඇති.
Deleteගොඩාරියක් ස්තුතියි පිළිතුරුවලට. භූෂණ,
Deleteඅලින්ගේ ධාවන වේගය ගැන නං හොඳටම දැක්කා වතාවක් වස්ගමුවේ- යුදඟනා පිටියේදී. අලි දෙන්නෙක් දබර වෙලා එකෙක් අනෙකා පස්සෙන් පන්නද්දී.
ඒ වගෙමයි අවුරුදු දෙක තුනකට ඉස්සර වස්ගමුවේ ගියාම අපේ ජීප් රථ තුනම අලි රංචු තුන හතරකට එකවර මැදි වුණා. අලි දෙන්නෙක් විතර නපුරෝ. අපේ ජීප් තුනකටම පොඩි ප්‍රහාරත් එල්ල වුණා. ඒ ගමනෙ විස්තර නං කොළොම්පුරේ අසංග හිතවතා ලියනවයි කිව්වා වෙනම blog පොස්ට් එකකට, එයාත් ඒ ගමනට එකතු වෙලා හිටි නිසා.
අපිට පයින් යනකොට වන අලියෙක් මුණ ගැහුනේ එකවතාවයි. කිරින්ද පාරෙ කැලයක නටඹුන් චයිත්‍යයක අනිත් පැත්තෙ ඉඳල මතුවුනා. අපි හිමින් පස්සෙන් පස්සට ගිහිල්ල හැරිලා ආවා.
Deleteඅලින්ට කඳු හොඳින් නගින්න පුලුවන්. බහින්නත් ලොකු අමාරුවක් නෑ.
ඇඳුමක් බිම දාල දුවන එකනම් සමහරවෙලාවට සාර්ථක වෙන්න පුලුවන්. බයිසිකලයක් දාල දිව්වාම අලියා නැවතිලා බයිසිකලේට පහරදෙන අවස්ථා වාර්තාවෙලා තියනව
ඔව් ප්‍රා කිව්වා වගේ බයිසකලය දමලා දුවපු වෙලාවට අලියා ඒකෙ ආපු මනුස්සයා අතහැරලා බයිසිකලය කුඩු පට්ටම් කල අවස්ථා ගැන මමත් අහලා තියෙනවා.
Delete