Monday, December 21, 2015

සිංහලේ දෙමළ සෙල්ලිපි 4 - හය වැනි පරාක්‍රමබාහුගේ Central Cafe දෙමළ සෙල්ලිපිය සහ සපුමල් කුමරුගේ නල්ලුර් කන්දසාමි කෝවිල

හුණුගලක දෙමළ අකුරු වලින් කොටා තිබූ සෙල්ලිපියක් යාපනයේ ප්‍රධාන වීදීයේ (Main Street) පිහිටි Central Cafe නම් වූ වෙළඳ සැලක දොරක් අභියස බිමට අතුරා කිසිවෙකුගේ අවධානයට ලක් නොවී වසර ගණනාවක්ම තිබුනි. එම වෙළඳ සැලට ඉදිරියෙන්ම පිහිටි පුරාවිද්‍යා කෞතුකාගාරයේ සේවකයන්ද දිනපතාම පාහේ මෙම ස්ථානයට තේ පානය සඳහා පැමිණි මුත් පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවට එය වර්ෂ 1968 වනතුරුම අනාවරනය වූවේ නැත.


වර්තමාන නල්ලුර් කන්දසාමි කෝවිල
වර්ෂ 1915 දී  Yalppana Carittiram නමින් මුත්තුසාමි නම් වූ පුද්ගලයෙක් කල ග්‍රන්ථයක එන සඳහනකට අනුව පෘතුගීසීන් විසින් නල්ලුර් නගරය විනාශ කිරීමෙන් පසු එහි තිබූ ගොඩනැගිලි වල ගඩොල් සහ ගල් කනු ආදිය යාපනය කොටුව සහ නිවාස සෑදීමට උපයෝගි කරගෙන ඇති අතර යාපනයේ පැරණි නගරයේ පරංගී විදියේ (වර්තමානයේ Main Street හෙවත් ප්‍රධාන විදිය ) පිහිටි පජානානන්තර්ගේ පැරැණි නිවසේ පඩියකට යොදාගෙන ඇත්තේද අකුරු කෙටූ එවන් ගලකි. පජානානන්තර්ගේ එම නිවස අප මෙහි සඳහන් කල Central Cafe සහ වෙනත් වෙළඳ සැල් පිහිටි 18 වන ශතවර්ෂයේ අවසාන භාගයේ හෝ 19 වන ශතවර්ශයේ මුල්භාගයේ පමණ ඉදිකල බව හැඟෙන ගොඩනැගිල්ල බව මේ පිළිබඳව කරුණු සෙවූ ඉහත සඳහන් සෙල්ලිපිය පසුව පරිවර්තනය කර Epigraphia Tamilica පලමු වෙලුමේ ඉදිරිපත් කල මහාචාර්ය කාර්තිගේසු ඉන්ද්‍රපාල (Karthigesu Indrapala) මහතා හඳුනා ගනී.


වර්තමාන නල්ලුර් කන්දසාමි කෝවිල
කැබැලි වූ මෙම සෙල්ලිපියේ පේලි 25 පමණ ඇති මුත් ඉන් කියවිය හැකි මට්ටමේ පවතින්නේ පේලි 15 පමණි.  ලිපිය ආරම්භයේම ඇති  'ශ්‍රී' අකුර ග්‍රන්ථ අක්ෂර වලින් සහ ඉතිරි කොටස 15 වන ශතවර්ෂයේ භාවිත දෙමළ අකුරු වලින් රචිත මෙම ලිපිය කෝට්ටේ සිට තුන් සිංහලය අවසාන වරට එක්සේසත් කල 6 වන පරාක්‍රමබාහු රජතුමාගේ නයිම්මන සහ මුන්නේස්වරම් (කියවන්න සිංහලේ දෙමළ සෙල්ලිපි 1 - මුන්නේස්වරමට ගම්වර පිදූ 6 වැනි පැරකුම්බා) දෙමළ සෙල් ලිපි වලට බොහෝ දුරට සමාන කමක් දක්වයි. ලිපිය පිහිටුවීමේ අරමුණ සඳහන් කොටස ගෙවී ගොස් ඇති බැවින් කියවිය හැකි කොටසින් අනාවරනය වනුයේ එය පිහිටවූ රජතුමාගේ නම පමණි. ශ්‍රී සංඝබෝධිවර්මන් ත්‍රිභුවණ චක්‍රවර්ති  ශ්‍රී පරාක්‍රමබාහු දේවා ලෙස සඳහන් එම රජු හඳුනා ගැනීම එතරම් අපහසු නැත. 15 වන සියවසේ එම නමින් යාපනය ප්‍රදේශය හා සම්බන්ධව නම කියවෙන්නේ ඉහත සඳහන් සෙල්ලිපි දෙකෙහිද සඳහන් 6 වන පරාක්‍රමබාහු (ක්‍රි.ව.1412 - 1467) රජු පමණි.

නිල තුරඟුට නැගෙමින් රිවි දෙව් සිරි න
දුල කර සේසත් මිණිබරණ කිරණි    න
බල පිරිසෙන් සහ යාපා පටුන් ගෙ    න
බල සේනානායක සපු කුමරු එ        න

සැළළිහිණි සංදේශයේ තොටගමුවේ ශ්‍රී රාහුල හිමියන් එලෙසින් වර්ණනා කරන්නේ පරාක්‍රමබාහුගේ හදාවඩා ගත් දරුවෙකු වන සේනානායක සපුමල් කුමරු හෙවත් සෙම්බගප් පෙරුමාල්, ආර්යචක්‍රවර්ති නම් වූ යාපා පටුන ප්‍රදේශයේ බලය පැතිරවූ ප්‍රාදේශිය රජු මරා ඔහුගේ රාජධානියේ බලය අල්ලා ගෙන නැවැත පැමිණෙන අයුරුය. ඉන් පසු එම සපුමල් කුමරු යාපා පටුනේ පරාක්‍රමබාහු යටතේ පාලනය මෙහෙය වූ බව රාජාවලිය පවසයි. වර්තමානයේ නල්ලුර් වල තිබෙන කන්දසාමි කෝවිල හෙවත් කතරගම දෙවිඳුන් සඳහා පුද කල දේවාලය පිහිටුවන්නේද එම සපුමල් කුමාරයාය. ඒ බව අදටත් එම දෙවොලේ ගැයෙන කත්තියම් (Kattiyam) වල සඳහන් වේ (6 වන පරාක්‍රමබාහුට පසුව භුවනෙකභාහු ලෙසින් කෝට්ටේ රජ වන සපුමල් කුමරු එම කත්තියම් වල හැඳින්වෙන්නේ ශ්‍රී සංඝබෝධි භුවනෙකබාහු ලෙසිනි.). එසේ නම් මෙම ලිපිය එම යාපා පටුන ජයගැනීම ගැන හෝ නල්ලුර් දේවාලය පිහිටුවීම සම්බන්ධයෙන් වූ සඳහනක් විය නොහැකිද?

* 70 දශකය වන විටත් Central Cafe භූමියේ පිහිටි එම සෙල්ලිපියේ වර්තමාන ඉරණම පිළිබඳව ලිඛිත මූලාශ්‍ර වල කිසිවක් සඳහන් නොවේ.

සම්බන්ධිත පෙර ලිපි
මූලාශ්‍ර 
  • Epigraphia Tamilica, A Journal of Tamil Epigraphy Volume 1, Part 1, Edited by Karthigesu Indrapala, Jaffna Archaeological Society, 1971.
  • රාජාවලිය - ඒ වී සුරවීර සංස්කරණය, 1976.
  • සැළළිහිණි සංදේශය
  • Pieris P.E., 1917, Nagadipa and Buddhist remains in Jaffna, Journal of the Ceylon Branch of the Royal Asiatic Society, Volume XXVI, 70.
  • Ancient Jaffna, Mudaliyar C. Rasanayagam, 1926

4 comments:

  1. සපුමල් කුමාරය යාපනය පාලනය කරද්දි එයා හැඳින්වෙන්නෙ සෙම්බගප්පෙරුමාල් කියල. යටත් වැසියො එයාගෙ නම දෙමළට හරවගෙන වගේ පේනවා. ඒ වගේම එයා නල්ලූර් කෝවිල හදනව (හරි වැඩි දියුණුකරනව හරි). ඒ‍කෙන් ම පේනව ඒ කාලෙ ජාතිකත්ව දෙක අතරෙ තිබ්බ සහජීවනය. ඊට අමතරව කෝට්ටෙ රජවරුන්ගෙ දූවරු දෙමළ කුමාරවරු බඳින අවස්ථාවක් හෝ දෙකක් මම කියවල තියෙනවා. දෙමළ කවියො එහෙමත් ඒ කා‍ලෙ ඉඳල තියෙනව. නන්නූරු තුනයා කියන්නෙ එහෙම කෙනෙක්...

    ReplyDelete
    Replies
    1. නැහැ සපුමල් කුමාරයා උපතින්ම දෙමළ. ඔහුගේ පියා දෙමළ, මව සිංහල. සෙම්බගප්පෙරුමාල් කියන්නේ ඔහුගේ සැබෑ නම. දෙමළෙන් සෙම්බගප් කියන්නේ සිංහලෙන් සපු කියලා හඳුන්වන ශාකය. නල්ලුර් දේවලය බොහෝවිට හඳන්නේ ඔහු මොකද නල්ලූර් යාපාපටුනේ අගනුවර කරල එය ගොඩ නගන්නේ ඔහු. මේ ගැන වෙනම පෝස්ට් එකක් ලියන්න පුලුවන්. දැනට මතකෙන් මීට වඩා දෙයක් කියන්න බැහැ. විස්තර හොයලා බලලා ඒ ගැන පසුව ලියන්නම්.

      Delete
    2. ස්තූතියි භූෂණ. වෙලාවක සපුමල් කුමාරයගෙ පැටිකිරියත් ලියන්න පුලුවන්නං...

      Delete
  2. හොඳ විස්තරයක් මචං...
    මේ ගැන කලින් දැනගෙන හිටියෙ නැහැ...

    ReplyDelete