Saturday, October 30, 2021

කෝපි කාලේ Lower Road එකේ මහනුවර සිට බදුල්ලට ගිය හැටි

බදුල්ල

පසුගිය සතියේ තොරතුරු ඉදිරිපත් කල හලාබ පාලම ලිපිය උදෙසා එය තැනූ වර්ෂය, ඒ හා සම්බන්ධ වන මාර්ගය පිළිබඳව හෝ උමා ඔයෙන් එතෙර වීම උදෙසා ඉංග්‍රීසීන් තැනූ පාලම් පිළිබඳව හෝ කිසියම් හෝ හෝඩුවාවක් සොයාගැනීම උදෙසා උත්සාහ කලමුත් එය සාර්ථක වූවේ නැත. එහෙත් එම තොරතුරු සොයා යාමේදී ඇස ගැසුන ඉංග්‍රීසි වාර්තා වල Kandy - Badulla Lower Road  through Goneganwa ලෙසින් සඳහන් වන වෙනත් මහනුවර - බදුල්ල මාර්ගයක් පිළිබඳව විස්තර හමුවූ අතර මේ ලිපිය එම තොරතුරු ආශ්‍රයෙන් එකී මාර්ගයේ පිහිටීම සොයා ගැනීමට කල උත්සාහයක ප්‍රතිඵලයයි.

Ferguson's Ceylon Directory

බ්‍රිතාන්‍ය යුගයේ සිට මෙරට කාලීන වානිජ තොරතුරු සම්පිණ්ඩනය කරමින් 1871 සිට (හෝ ඇතැම් විට එයට පෙර සිටත් (මට හමුවූ මුල්ම සංග්‍රහය 1871-72 වර්ෂ සඳහා වේ.) මෑතක් දක්වාම ( මා හට හමුවූ අවසාන කොටස 1997-99 කාලය උදෙසා පල කර ඇත.) පලවූ තොරතුරු සංග්‍රහයකි Ferguson's Ceylon Directory. එය Associated Newspapers of Ceylon Limited මගින් පලකර ඇති අතර මුල් කාලයේදී  මේ තොරතුරු සංග්‍රහයන් උදෙසා මූලිකත්වය ගත් එකල දෙසතියකට වරක් නිකුත්වූ Ceylon Observer පුවත්පතේ නියෝජ්‍ය කතෘ සහ පසුව එහි ප්‍රධාන කතෘ සහ අයිතිකරු බවට පත්වූ A.M Ferguson ගේ සහ John Ferguson ගේ  නම් වලින් ඒවා Ferguson's Ceylon Directory ලෙසින් හැඳින්වූ බව පෙනේ (එම දෙපල විසින් 1864 වර්ෂයේදීද එවන් තොරතුරු සංග්‍රහයක් පලකර ඇත.) Ferguson's Ceylon Directory හී කතෘත්වය දක්වා ඇත්තේ A.M. & J Ferguson, proprietors and editors of "Ceylon Observer" ලෙසිනි. 

ඉහත 1871-72 වර්ෂ සඳහා වූ Ferguson's Ceylon Directory හි මෙරට එවකට වූ ප්‍රධාන මාර්ග කිහිපයක් ගැන තොරතුරු සඳහන් වේ. ඒ යටතේ මහනුවර සිට බදුල්ල දක්වා වූ මාර්ග දෙකක් ගැන තොරතුරු ඉදිරිපත් කර ඇත. එක් මාර්ගයක් වන්නේ නුවරඑලිය හරහා බදුල්ල මාර්ගයයි. එය මහනුවර සිට පේරාදෙණිය, ගම්පොල, පුස්සැල්ලාව, රම්බොඩ, නුවරඑළිය, ඇටම්පිටිය හරහා බදුල්ල දක්වා යන මාර්ගය ලෙසින් හඳුනාගත හැක (මේ මාර්ගයේ තවත් ස්ථාන එහි දක්වා ඇති අතර මාර්ගයේ හමුවන ගංගාවන් හරහා එතෙර වූවේ පාලම් මතින්ද නැතහොත් පාරුවක උපකාරයෙන්ද ආදී තොරතුරුද එහි අන්තර්ගතය. එසේම එම ඇතැම් ස්ථාන වල තිබූ තානායම් ගැනද සඳහන් වේ. මේ ලිපියේ ප්‍රමුඛ අරමුණ එම මාර්ගය සම්බන්ධයෙන් නොවන බැවින් ඒ පිළිබඳව තොරතුරු මෙහි ඉදිරිපත් කිරීමට බලාපොරොත්තු නොවෙමි.) කෙසේ නමුත් එම මාර්ගය ඉහත ස්ථාන නාම අනුව බැලූ කල පැහැදිලිවම මහනුවර සිට පේරාදෙණියට පැමිණ එතැන් සිට වර්තමානයේ A5 ලෙසින් හැඳින්වෙන පේරාදෙණිය-බදුල්ල-චෙන්කලඩි මාර්ගයේ බදුල්ල දක්වා කොටස බව පැහැදිලිවේ. 

Kandy - Badulla Lower Road  through Goneganwa

අපගේ ප්‍රස්තුතයට වැදගත් වන්නේ මහනුවර සිට බදුල්ල දක්වා එවකට වූ අනෙක් මාර්ගයයි. Lower Road (From Kandy to Badulla by "Lower Road" through Goneganwa) ලෙසින් හැඳින්වෙන එම මාර්ගය සම්බන්ධයෙන් ඉහත Ferguson's Ceylon Directory වල 1940 දශකය දක්වාම කිසියම් හෝ තොරතුරක් හමුවේ. 1871-72 වාර්තා වල ඉහත සඳහන් කල මුල් මාර්ගය ගැල් පාරක් (Carriage Road) ලෙසින් හැඳින්වෙද්දී Lower Road මාර්ගය හැඳින්වෙන්නේ හාරගම ඔය දක්වා කරත්ත ගමන් කල හැකි මාර්ගයක් බවත් එතැන් සිට පටු පාරක් (Bridle Road) ලෙසින් වූ බවත්ය (From Kandy to Harrackgam Oya passable for carts. Beyond that Bridle Road).  

එම වාර්තා වල සඳහන් ස්ථාන නාම වර්තමාන නම් හා ගැලපීමෙන් මාර්ගය මේ ආකාරයෙන් හඳුනාගත හැක. මහනුවර [Kandy] සිට කුන්ඩසාලේ [Kondesally] දක්වා ගොස් (සැතපුම් 3) එහිදි තලාතු ඔයේ පාලමෙන් (පලල අඩි 5) [Tallat Oya Bridge] එතර වී (පසු වාර්තා වල දැක්වෙන පරිදි කුණ්ඩසාලේ සිට තලාතු ඔය පාලම දක්වා සැතපුම් 1.5 ක දුරක් ඇත.) එතැන් සිට තවත් සැතපුමක් ගොස් ගෝනවත්ත තොට [Gonawatte Ferry] ලගාවී, එතැන් සිට තවත් සැතපුම් 3 ක් ගොස් හාරගම ඔය [Harrackgam Oya] දක්වා පැමිණ [හාරගම ඔය අසලදී මතුරට දක්වා යන මාර්ගය හමුවේ],  එතැන් සිට තවත් සැතපුම් 2 ක් ගොස් මහ ඔය තොටුපලින් [Maha Oya Ferry] එගොඩ වී ගෝනගමුව [Gonnegamwa] දක්වා වූ සැතපුම් 3 ගමන් කල විට දියබුබුල දුර්ගය මුදුනේ එම ගම හමුවේ [Top of Diaboobela pass, village]. එතැන් සිට තවත් සැතපුම් 3 ක් ගිය තැන බෙලිහුල් ඔයේ තොටුපල [Billahool Oya Ferry] හමුවේ. එම තොටුපලින් එතර වී කුරුඳු ඔය [Kooroade Oya] දක්වා යෑමට ගමන් කල යුතු දුර සැතපුම් 4 කි. කුරුඳු ඔයෙන් එතර වීමට නොගැඹුරු ජලයේ බැස යා යුතු බව එය Ford ලෙසින් හඳුන්වා තිබීමෙන් පැහැදිලි වේ. ගමන් මාර්ගයේ ඉන්පසු හමුවන්නේ උමා ඔයයි [Ooma Oya ferry]. කුරුඳු ඔයේ සිට උමා ඔය දක්වා යෑමට සැතපුම් 5 ක් ගමන් කල යුතුය. උමා ඔයේදි හමුවන්නේ ඔරුවකින් එගොඩ විය යුතු තොටුපලකි. එහි මුල් වරට මේ මාර්ගයේ තානායමක් [Rest house] වූ බවද සඳහන්ය. එතැන් සිට බදුල්ල දක්වා වූ මාර්ගයේදි නැවතත්  වේල්ල ඔය [Vella Oya] නම් වූ බැස එගොඩ විය යුතු ඔයක් සැතපුම් 6 ගිය තැන හමුවේ. ඉන්පසු නැවතත් තානායමක් තල්දෙන  [Taldene] නම් ස්ථානය දක්වා සැතපුම් 9 ක් ගමන් කල විට හමුවේ. මේ ස්ථානයේදී මාර්ගය දෙකට බෙදෙන අතර එක් මාර්ගයක් මඩකලපුව දක්වා විහිදේ [Road branches off to Batticaloa]. බදුල්ලට යොමු වන අනික් මාර්ගයේ එතැන් සිට බදුල්ලට ඇති දුර සැතපුම් 10 ලෙස සඳහන් වේ. මහනුවර සිට මේ මාර්ගයේ ඒ අනුව මුළු දුර සැතපුම් 54 ක් ලෙස දැක්වේ. ඉහත සඳහන් කල අනෙක් මාර්ගයේ මුළු දුර සැතපුම් 84  ලෙසින් දක්වා ඇති බැවින් මෙම මාර්ගය දුරින් අඩු බව පෙනේ.

මින් පසු කිහිප අවස්ථාවකම ඉහත දුර ප්‍රමාණයන් වල යම් යම් වෙනස්කම් සහිතව මෙම මාර්ගය ගැන විස්තර හමුවේ. පහත දැක්වෙන්නේ 1905 වර්ෂයේ එම දුර ප්‍රමාණයන් සහ විස්තර දැක්වෙන වගුවයි. 1905 වර්ෂය වන විට බෙලිහුල් ඔය හරහා අශ්වයන්ට ගමන් කල හැකි මට්ටමේ පාලමක් වූ බව ඉන් පැහැදිලි වේ. එසේම උමා ඔයෙන් එතර වීම දැක්වෙන්නේ Ferry ලෙසින් නොව Ford ලෙසිනි. මාර්ගයේ මුළු දුර සැතපුම් 58.75 ලෙසින් මෙහි දැක්වෙන අතර, සිංහල නම් ඉංග්‍රීසියෙන් ලිවීමේදි මුල් කාලයේදීට වඩා වෙනස් වඩාත් නිවැරදි ශබ්දය එන ලෙසින් ලියා ඇති අයුරුද දැක ගත හැක.

ඉන්පසු 1912 වර්ෂය සඳහා වූ වගුව පහතින් දැක්වෙන අතර එහි මීට පෙර සඳහන් කල තොරතුරු වලට අමතරව කුන්ඩසාලේදී ඉලුක්මෝදර තොටුපල හමුවන බව සඳහන් වේ. කුණ්ඩසාලේ පිහිටන්නේ මහවැලි ගඟේ වම් ඉවුරේ වන අතර තලතු ඔය එහි දකුණු ඉවුරේ වේ. එමෙන්ම මෙහිදී තලාතු ඔය පාලම Kershaw's Bridge ලෙසින් හඳුන්වා ඇත. මහ ඔයදී පැරණි බදුල්ල මාර්ගය වම් පසට විහිදෙන බවද මෙහි සඳහන් වේ (Old bridle road to Badulla on Left)

1914 වන විට කුරුඳු ඔය හරහාද Horse Bridge ලෙසින් හැඳින්වෙන පාලමක් ඇති බවට සඳහන් වේ. මේ කාලය වනවිටත් කරත්ත ගමන් කල හැක්කේ හාරගම ඔය දක්වා පමණක් වන අතර හාරගමදී දකුණු පසින් හඟුරන්කෙත සහ මතුරට දක්වා යොමුවූ මාර්ග හමුවන බව සඳහන් වේ.

මින් පසු 1942 වර්ෂය දක්වාම Ferguson's Ceylon Directory  වල මෙම මාර්ගය මෙරට ප්‍රධාන මාර්ග ලැයිස්තුවේ (Principal Roads in Ceylon) දක්වා ඇති මුත් පෙර පරිදි එහි එක් එක් ප්‍රධාන සංදිස්ථාන වලට ඇති දුර ප්‍රමාණ හෝ අනෙකුත් විස්තර අඩංගු නොවේ. මෙම තොරතුරු වලට අමතරව මහනුවර - බදුල්ල Lower Road මාර්ගය පිළිබඳව අපට හමුවන තවත් වැදගත් තොරතුරක් නම් ශ්‍රීමත් හෙන්රි වෝඩ් (Henry Ward) ආණ්ඩුකාරවරයාගේ සමයේ (1855-1860) ඔහු විසින් බදුල්ලේ කෝපි වතු වල නිෂ්පාදන පහසුවෙන් මහනුවර දක්වා ගෙන ඒම උදෙසා මෙම මාර්ගය පිළිසකර කිරීමේ හැකියාව පිළිබඳව සොයා බැලූ බවය. එහෙත් දරන්නට සිදුවන අධික වියදම නිසා එම ව්‍යාපෘතිය අතහැර දමන ඔහු වර්ෂ 1857 දී ඒ වෙනුවට බදුල්ල - නුවරඑළිය මාර්ගය පිළිසකර කිරීම අරඹයි. 

ඉහත සඳහන් තොරතුරු වලින් පමණක් මෙම මහනුවර - බදුල්ල මාර්ගයේ පිහිටීම පිළිබඳව දල අදහසක් විනා එය සිතියමක සටහන් කිරීමට අවශ්‍ය දත්ත හමු නොවේ. එහෙත් මහනුවර සිට මුල් කොටසේදී එය මහවැලි ගඟේ දකුණු ඉවුර ඔස්සේ ගොස් ඉළුක්මෝදර තොටුපල පසුකර තලාතු ඔය මහවැලි ගඟට වැටෙන ස්ථානයේ පිහිටි  Kershaw's bridge නමින් හැඳින්වෙන පාලම හරහා ගමන් කරයි. එම ස්ථාන දෙකම අඟලේ සිතියම් වල ලකුණු කර ඇත. එම ස්ථානයේදී තලාතු ඔය සහ අම්පිටිය දක්වා යන මාර්ගය හමුවේ. ගෝනවත්ත තොටුපලද පැරණි මහනුවර අඟලේ සිතියමේ හඳුනාගත හැක. (මෙම මාර්ගය හඳුනාගැනීම උදෙසා භාවිතා කරන මහනුවර සහ හඟුරන්කෙත අඟලේ සිතියම් මහවැලි කඩිනම් ව්‍යාපාරය යටතේ වික්ටොරියා, රන්දෙණිගල, රන්ටැඹේ ජලාශ ඉදිවීමට පෙර අඳින ලද ඒවාය.)

සිතියම 1 - මහනුවර සිට ගෝනවත්ත තොටුපොල දක්වා මාර්ගය පැරණි අඟලේ සිතියම් ආශ්‍රයෙන් හඳුනාගත හැක. ඉලුක්මෝදර තොටුපොල, Kershaw's bridge සහ ගෝනවත්ත තොටුපොල මෙහි සලකුණු කර ඇත. එසේම තලාතු ඔය (නිල් පැහැයෙන් ) සහ එම නමින් යුතු නගරය කරා යන මාර්ගය (කොළ පැහැයෙන්) දක්වා ඇත.  

තලාතු ඔය මහවැලි ගඟට වැටෙන ස්ථානයේ ඉදිකර ඇති Kershaw's bridge නමින් හැඳින්වෙන පාලම (Google Street View ඇසුරින්. එම පාලම පිහිටි මාර්ගය පැරණි මහනුවර මාර්ගය ලෙස Google Map වල දක්වා ඇත.)

ගෝනවත්ත තොටුපලින් පසු මාර්ගයේ වැදගත් සන්දිස්ථානයක් ලෙස දැක්වෙන්නේ හාරගම ඔයයි. 1914 දක්වාම කරත්ත පාරක් ලෙස මාර්ගය තිබී ඇත්තේ මෙම ස්ථානයට වන තුරු පමණි. හාරගම ඔයෙන් එතෙර වන ස්ථානයේ සිට හඟුරන්කෙත හරහා මතුරටට මාර්ගය ඉහත විස්තර වන ආකාරයෙන්ම දකුණු පසින් දක්වා ඇත. හාරගම ඔයෙන් පසු මහ ඔය හමුවන අතර අඟලේ සිතියම් වල මාර්ගය වාහන ගමනාගමනය කල හැකි මාර්ගයක් ලෙසට මහ ඔයෙන් පසු ගෝනගමුව දක්වාම සලකුණු කර ඇත (සිතියම් වල ගෝනගමුව දැක්වෙන්නේ ගෝනගම්පිටිය ලෙසිනි.  Ferguson's Ceylon Directory වල සඳහන් වන දියබුබුල දුර්ගය අඟලේ සිතියමේ සලකුණු කර නොමැති වුවත් භූගෝලිය ලක්ෂණ අනුව ගෝනගම්පිටිය පිහිටා ඇත්තේ ඒවායේ දැක්වෙන පරිදිම දුර්ගයක මුදුනත බව හඳුනාගත හැක.) ගෝනගම්පිටියේ සිට එම මාර්ගය හඟුරන්කෙත දක්වා යොමුවන අතර අපගේ ප්‍රස්තුතයට අදාල මාර්ගය ගෝනගම්පිටියේ සිට කුඩා අඩි පාරක් ලෙස අඟලේ සිතියම් වල දක්වා ඇත. පහත සිතියම 2 බලන්න (එහි හාරගම ඔයෙන් එතෙර වන ස්ථානයේ සිට මතුරට මාර්ගය කොළ පැහැයෙන් ලකුණු කර ඇත. කහ පැහැයෙන් දැක්වෙන්නේ Lower Road මාර්ගයයි. වම් පස සිට පිළිවෙලින් නිල් පැහැයෙන් මතු කර ඇත්තේ. හාරගම ඔය , මහ ඔය සහ බෙලිහුල් ඔයයි. ලා නිල් පැහැයෙන් දැක්වෙන්නේ මහවැලි ගඟයි)

සිතියම 2
ගෝනගම්පිටියේ සිට කුඩා අඩි පාරක් ලෙසින් දැක්වෙන මාර්ගයේ ඊලග සංදිස්ථානය වන්නේ එය බෙලිහුල් ඔයෙන් එතෙර වෙන ස්ථානයයි. ඉන්පසු එය පිළිවෙලින් කුරුඳු ඔය සහ උමා ඔයෙන් එතෙර වන ස්ථාන දක්වාම අඟලේ සිතියම් වල බොහෝ දුරට අඩි පාරක් ලෙසින් සටහන් වී ඇත.එහෙත් බෙලිහුල් ඔයත් කුරුඳු ඔයත් අතර මාර්ගයේ මුළු දුරින් අඩක් පමණ දුරක් කුරුඳු ඔයෙන් එතෙර වන ස්ථානයේ සිට බෙලිහුල් ඔය දෙසට වන්නට කරත්ත පාරක් ලෙසින් සලකුණු කර ඇත. ඉන්පසු උමා ඔය තරණය කිරීමෙන් පසු සැලකිය යුතු දුරක් යනතෙක් එය කරත්ත පාරක් ලෙසින් ගොස් නැවත සුළු දුරක් අඩි පාරක් බවට පත්වී ඉන්පසු බදුලු ඔයට ආසන්නවීමත් සමග ප්‍රධාන පාරක් බවට පත්වේ. ඉන්පසු බදුලු ඔයේ අතු ගංගාවක් වන වේල්ල ඔයෙන් (?) එතෙර වන අතර මෙය ඉහත Ferguson's Ceylon Directory වල Wella Oya Ford ලෙසින් දක්වා ඇත. ඉන්පසු බොහෝදුරට බදුලු ඔයට සමාන්තරව විහිදෙන මාර්ගය තල්දෙන දක්වා ගොස් එතැන් සිටද බදුලු ඔය නිම්නය ඔස්සේම බදුල්ල දක්වා ලඟාවේ. අඟලේ සිතියම් වල මේ කොටස ප්‍රධාන මාර්ගයක් ලෙසින් පෙන්වා ඇති අතර එය වර්තමාන B36 බදුල්ල-කරමැටිය-ආඳාඋල්පත මාර්ගයයි.  පහත සිතියමේ මේ සියළු ස්ථාන සහ පැරණි මාර්ගය ( කහ පැහැයෙන් ) ලකුණු කර ඇත.

මාර්ගයේ අද තත්වය. 

ඉහත පැරණි මාර්ගය අඟලේ සිතියම් වල දැක්වෙන අකාරය මහවැලි ව්‍යාපාරයේ වික්ටෝරියා, රන්දෙණිගල සහ රන්ටැඹේ ජලාශ සහ රජ මාවත ඉදිවීමෙන් පසු සිදුවූ වෙනස්කම් නිරූපණය වන සිතියමක සටහන් කල විට දැක්වෙන ආකාරය පහත දැක්වේ. මහනුවර සිට හාරගම දක්වා පැරණි කරත්ත පාර ප්‍රධාන මාර්ගයක් ලෙස අදද දක්නට ඇත (සිතියමේ කළු පාටින්). පැරණි මාර්ගයේ හාරගමින් පසු යම් දුරක් සහ නැවතත් මහ ඔයෙන් එගොඩ වූ පරණ තොටුපල පිහිටි ස්ථානයෙන් පසු තරමක දුරක් වික්ටොරියා ජලාශයට යටවී ඇත (සිතියමේ නිල් පැහැයෙන් දක්වා ඇත). ඉන්පසු  මහ ඔයේ සිට ගෝනගමුව පසු කර බෙලිහුල් ඔය දක්වා ඇති දුරින් වැඩි ප්‍රමාණයක වර්තමාන රජ මාවත එම පැරණි මාර්ගයට අනුරූපව ඉදි කර ඇති බව පෙනේ (සිතියමේ රජ මාවත සුදු පැහැයෙන් සහ පැරණි මාවත කළු පැහැයෙන්.). බෙලිහුල් ඔය ආසන්න වෙත්ම රජ මාවත පැරණි මාර්ගයෙන් අපගමනය වන අතර ඉන්පසු උමා ඔය හමුවන තෙක්ම පැරණි මාර්ගය වර්තමාන රන්දෙණිගල සහ රන්ටැඹේ ජලාශ වලට යටවී ඇත. උමා ඔයේ සිට නැවතත් රජ මාවත තරමක දුරක් පැරණි  මාර්ගයට අනුරූපව තනා ඇති බව පෙනේ.  

ඉන්පසු නැවතත් රන්ටැඹේ ජලාශයෙන් පටන් ගන්නා මිණිපේ දකුණු ඉවුරු ඇල හෙවත් ලොග්ගල් ඔය ඇල පටන් ගන්නා ස්ථානයේ සිට කිලෝමීටර් 1.4 පමණ ගිය පසු රජ මාවතේ දකුණු පසට විහිදෙන පැරණි මාර්ගය අදද භාවිතා වන අතර (පහල සිතියමේ කළු පැහැයෙන්) එය මද දුරක් ගිය පසු පැරණි මාර්ගයට අනුරූපව අද ඉදිවී ඇති කන්දෙකැටිය-මහ කැලේ-රජ මාවත මාර්ගය (එම කොටස සිතියමේ නිල් පැහැයෙන් දක්වා ඇත.) හා එක්වේ. ඉන්පසු කන්දේකැටිය නගරය දක්වාම එම මාර්ගය අඩු වැඩි වශයෙන් පැරණි මාර්ගයට අනුරූපව ඉදිවී ඇති බව පෙනේ. කන්දේකැටිය නගරය පසු කල පසු එම පැරණි මාර්ගයට අනුරූපව අද ඉදිවී ඇති මාර්ග වන්නේ කිලෝමීටර 2 ක් පමණ දුරට ගල්ලන්ද-කන්දේකැටිය මාර්ගය (සිතියමේ රතු පැහැයෙන්) සහ ඉන්පසු තවත් කිලෝමීටර් 2.3 කට ආසන්න දුරක් කන්දේකැටිය-සොරණාතොට මාර්ගයයි (සිතියමේ කොළ පැහැයෙන්). 

ඉන්පසු පැරණි මාර්ගය වඩාත් බදුලු ඔයට ආසන්නව ගමන් කරන අතර Google Satellite View මගින් තල්දෙන දක්වාම හඳුනාගත හැක. ඉහත කන්දේකැටිය-සොරණාතොට (පහත රූපයේ කොළ පැහැයෙන් දක්වා ඇත ) මාර්ගයෙන් වෙන් වන ස්ථානයේ සිට මාර්ගයේ එම කොටසේ මුල් කොටස පමණක් පහත රූපයේ කහ පැහැයෙන් මතු කර ඇත.  තල්දෙන සිට බදුල්ල දක්වා පැරණි මාර්ගයට අනුරූපව අද ඉහත විස්තර කර ඇති පරිදි B36 මාර්ගය ඉදිවී ඇත.



13 comments:

  1. සොයා බලා තොරතුරු හැම, අකුරටම
    විස්තර map එක්ක කරමින් සැසඳීම
    සාරවත් ලෙසින් අප හැමටම දීම
    මෙහෙයකි මහරු, ඉහළයි ඔබෙ කැපවීම!

    ReplyDelete
  2. ෆෝර්ඩ් කියල තියනවනම් පයින් සහ / හෝ අසු පිටින් ගඟ හරහා යන්න පුලුවන් නොගැඹුරු (බොහෝ අවස්ථාවලදි ගඟ පලල් ) ස්ථානයක්නෙ.

    ඉන්ගලන්තයේනම් එහෙම ස්ථාන හුඟක් අතීතයේ තිබුනා. ෆොර්ඩ්ස් නිසා ඇතිවුන ස්ථාන නාම හුඟක් තියනවනෙ. උදා . ඔක්ස්ෆර්ඩ්. ගඟ හරහා හරක් දක්කන ස්ථානය (ford of the oxen).

    ට්‍රොපිකල් රටවල එහෙම තැන් යුරෝපයට වඩා අඩුද (මෙහෙ වර්ෂාපතනය වැඩි නිසා ගංගා ගැඹුරුයිනෙ) ? ඒත් වියලි කලාපයේ සහ ගල් සහිත නොගැඹුරු ඇල දොලවල තියනවනෙ(උදා. මැණික් ගඟ, රූණ කන්ද).
    Fords ලාංකික ඉතිහාසයේ සඳහන් වෙනවද? මොන නමකින්ද හැඳින්වෙන්නෙ?

    ReplyDelete
    Replies
    1. ඔබ කිව්වා වගේ ලංකාව වගේ නිවර්තන කලාපීය රටක ගංගා, ඔයවල් සහ ඇලවල් වල බැහැලා එතෙර වීමේ හැකියාව අවුරුද්ද පුරාම එක විදිහක නැහැ. වැස්ස වැඩි කාලෙක ඒවායින් එතෙර වීම සමහරවිට ඔරුවකින්වත් අමාරුයි සැඩ පහර වැඩි නම්. ඒක හින්ද වෙන්න ඕනේ අපේ තෙත් කලාපයේ සහ කඳුකරයේ වීශේෂයෙන්ම ඒදන්ඩ කියන වීශේෂිත එතෙර වීමේ ක්‍රමය ආවේ. ඒ වගේම වියලි කලාපයේ ආර හෝ ආරුව ලෙසින් හැඳින්වෙන වැසි කාලයේදී පමණක් සක්‍රීය වන අනෙක් කාලවල නිකන්ම නිකන් වැලි තලාවක් බවට පත්වන ජල දුර්ගද හමුවෙනවා. වියලි කලාපයේ ඇතැම් පලල් ගංගා වල එම ප්‍රදේශ වල පුද්ගලයන් පමණක් දන්නා ගඟෙන් එතෙර වීමේ ස්ථාන තියෙනවා බොහෝවිට ඉන මට්ටමට සහ ඇතැම් ස්ථාන වලදී කරවටක් ජලයේ ගිලී. වැලි එකතු වී සෑදෙන එක පාර වැලි කන්ද කඩා වැටීමෙන් ගිලී යා හැකි ස්ථාන මග හරිමින් ගමන් කරන එහෙම ගම්මුන් මම දැකල තියෙනවා. ඒ වගේම තෙත් කලාපයේ විශේෂයෙන් සිංහාරජය අවට ගඟ හරහ ලොකු ගල් එකතු කර තනා ගන්නා "සපත්තු පාලම්" දැනටත් භාවිතා වෙනවා.ගඟේ වතුර ගොඩක් වැඩි උනාම නම් එම ස්ථාන වලින් ගමන් කිරීම අපහසුයි. බොහෝවිට එම ස්ථාන වල ගඟ හරහා ඇද ඇති කේබල් එකක් මගින් අත්වැලක්ද සපයා තියෙන ආකාරය දැකගන්න පුලුවන්. ඉහත ෆොර්ඩබල් කියන ඇතැම් ස්ථාන ඒ වගේ තැන් වෙන්න පුලුවන්. වීශේෂයෙන්ම මෙහිදි ඉංග්‍රිසි ජාතිකයන් නම් මෙම මාර්ග වල ගමන් කලේ අශ්වයා පිටේ නිසා ඔවුන්ට ඇතැම්විට පයින් බැස මිනිසෙකුට එතර වීමට අපහසු තැන් වලිනුත් යන්නට පුලුවන් වෙන්න ඇති. සැඩ පහර දරුණුවට නැත්නම්. වීශේෂයෙන්ම මෙම ලිපියේ මම වේල්ල ඔය (Wella Oya) කියා සඳහන් කර ඇති බදුලු ඕඅ අතු ගංගාවට ඒ නම අද භාවිතා වෙනවද කියලා මට හොයාගන්න බැරි උනා. ඒත් ඔය කියන ඉසව්වේ බදුලු ඔය හරහා එතෙර වීමට ඉංග්‍රිසි යුගයේ සිටම භාවිතා වන ලෙස කියන ගල් කුට්ටි යොදා සැකසූ සපත්තු පාලමක් පිළිබදව මට වීඩියෝවක් හම්බුනා. ඔය කියන වේල්ල හින්ද ඒ කුඩා ඔය (බදුලු ඔයේ අතු ගංගාව ) වේල්ල ඔය උනාද කියලා මට හිතෙනවා. ඒ ගැන හරියටම හොයාගන්න බැරි උන හින්ද මේකේ ලිව්වේ නැහැ. දන්නා තරමින් Ford කියන එකට හරියටම ගැලපෙන සිංහල වචනයක් මමත් දන්නේ නැහැ.

      Delete
  3. ස්තුතියි Pra Jay මහත්තයෝ භූෂණ ලවා තව තොරතුරු කියවා ගන්නවට!
    භූෂණට ස්තුතියි ලෝබ නැතුව ඒවාට උත්තර දෙනවට.

    ReplyDelete
  4. බොහොමත්ම ස්තූතියි. ඔබ සෑහෙන්න වෙහෙස වී තොරතුරු සොයා ඇති හැඩයි.
    ඇත්තටම අපූරු තොරතුරු කිහිපයක්. ජය. ❤️

    ReplyDelete
  5. මේ වන විටත් ඔබගේ බ්ලොගය අප අපගේ සින්ඩියට ඇතුලත් කොට හමාරය. එය "3. බ්ලොග් සඟරා" කොලමයේ දක්වා ඇත! අපට අවශ්‍ය වන්නේ බ්ලොග් ස්වර්ණමය යුගයක් යලිත් ඇතිකිරීමටය. ඒ සඳහා ඔබගේ සහයෝගයද අප නිරන්තරයෙන් බලා පොරොත්තු වෙමු. අප පිළිබඳව හැකි උපරිම ප්‍රචාරණයක් ලබා දෙන්න!

    ReplyDelete
  6. අම්මට වූඩු.. තාත්තට ගෝයා.. (රවී විරසින්හගෙන් කොපි කර ගත්ත එකක්) මේක පට්ටනේ.. හැබෑට කවුද මේ බුසන? උඩගෙදර සුගතපාල මහතාගේ ටච් එකක් තියෙනවා..

    තැන්ක්ස් ප්‍රා ජේ. පාර පෙන්නුවට!

    ReplyDelete
  7. A very valuable article. Thank you so much...

    ReplyDelete