සීතාවකින් පහල පෙදෙසේ කැලණි ගං දෙගම්බඩ පිහිටි හිඟුරල, මල්වාන, ඇස්වත්ත, පූගොඩ, මීතිරිගල, රන්වල වැනි ගම් වල පුහුල් පහන් ලෙසින් හැඳින්වෙන ගොක්කොළ වලින් නිර්මිත මේ සමග ඇති ඡායාරූප වල දැක්වෙන ආකාරයේ සැරසිල්ලක් තුල පහන් දැල්වීම අද දක්වාම දැකිය හැකි සම්ප්‍රදායික චාරිත්‍රයකි. මේ සම්බන්ධව තව දුරටත් විමසිලිමත් වුවහොත් එම පහන් රන්වල දෙවියන් උදෙසා දල්වන බව එම ගම්මුන් පවසනු ඇත. රන්වල දෙවියන් උදෙසා වූ දේවාල කිහිපයක්ද මේ ප්‍රදේශ වල හමුවේ. මෙරට බොහෝ පැරණි ගම් පිහිටි ප්‍රදේශ වල එම පෙදෙස් වලටම ආවේනික වූ ප්‍රාදේශීය දෙවිවරුන් වන්දනා මාන කිරීම දැකිය හැකි අතර එම දෙවිවරුන්ගේ උප්පත්තිය අලලා ගෙතුණු විචිත්‍ර ජන කතාද අසන්නට ලැබේ. මේ රන්වල දෙවියන් බිහිවූ ආකාරය පිළිබඳ වූ කතන්දරයයි. උපුටා ගැනීම මහාචාර්ය කේ. එන්.ඕ ධර්මදාස සහ එච්. එම්. එස් තුන්දෙනිය මහතුන් විසින් රචිත සිංහල දේව පුරානය ග්‍රන්ථයෙනි.
රන්වල නමින් වූ ගමක් වර්තමාන කෑගල්ල නගරය ආසන්නයේද ඇත. රන්වල දෙවියන් සම්බන්ධ වූ එක් ජන කතාවකට අනුව දෙවන රාජසිංහ රජුගේ කාලයේ මෙම ගමේ රජුට අයත් වී අටුවක් තිබී ඇත. එම ගමේ සිටි මිතුරන් දෙදෙනෙකි අලවතුරේ රාළ සහ ගණේගොඩ රාළ. ඔවුන් දෙදෙනා දිනක් මෙම වී අටුවෙන් වී සොරාගැනීමක් සිදු කරයි. අද මෙන් නොව එතරම් විශාල පුද්ගලයන් ප්‍රමාණයක් නොසිටි පැරණි සිංහල ගම් වලට එම ගමේ ගම්මුන්ට රහසේ පිටස්තර ගම් වලින් පුද්ගලයන් පැමිණීම එතරම් පහසු නොවේ. එසේම ගම තුල සිටින ගැමියන්ද ගම තුල සිදු වන ක්‍රියාකාරකම් සහ එකිනෙකාගේ හැසීරිම් ගැන මනා වැටහීමකින් යුතුව සිටි බවට ඓතිහාසික වාර්තා මගින්ද තොරතුරු හෙලිවේ. එබැවින් මෙම සොරාගැනීම සිදුකලේ අලවතුරේ රාළ සහ ගණේගොඩ රාළ යන දෙදෙනා බව කිසිවෙකුටත් රහසක් නොවීය. පත්තෑයම ලෙසින්ද හැඳින්වෙන රජුගේ වී අටුවේ රාජකාරිය සිදුකලේ පත්තෑයමේ ලේකම් විසිනි. ඔහු මේ සිද්දිය රජුට සැල කල පසු රජු සෙංකඩගල පුර සිට ඔවුන් අල්ලා ගැනීම උදෙසා කටුපුල්ලේ රාල සමග පිරිසක් රන්වල ගමට පැමිණීමට පිටත් කරයි. ඔවුන් ගැටඹේ තොටින් නික්මුන ආරංචිය සැල වන අලවතුරේ රාළ සහ ගණේගොඩ රාළ රන්වල ගමින් රහසේ පැනගොස් යටියන්තොට හරහා අවිස්සාවේල්ලට පැමිණ එතැන් සිට උණ ගස් සහ වේවැල් උපයෝගි කරමින් සාදාගන්නා පහුරක නැගී කන්ද උඩරට රාජධානියෙන් තවදුරටත් ඈත් වීම උදෙසා ගඟ පහලට යන අතරේ, අලවතුරේ රාළ එක් ස්ථානයකදීද, ගණේගොඩ රාළ තවදුරටත් ගඟ පහලට ගොස් දන්ගල්ල නම් ගමේදීද පහුරෙන් නික්මෙයි. අලවතුරේ රාළ එම ගමේ තරුණියක් පාවා ගෙන එහි කැළෑ එලි කර නව ගමක් ඉදිකරයි. ඔහුගේ පැමිණීමට පෙර එතරම් සරුසාර ගමක් නොවූ එය කෙටිකලකින්ම දියුණු ගම්මානයක් බවට පත්වී ඇත. තමා පැමිණි රන්වල ගමේ නමම එම ගමටත් තැබීමට අලවතුරේ රාළ ක්‍රියා කර ඇති අතර ඔහු එම ගමේ බොහෝ ගරු බුහුමණට පාත්‍ර වූ පුද්ගලයෙක් බවට පත්ව, කලකින් මිය පරලොව ගියහ. ඉක්බිති ගම්මුන් ඔහුට දේවාලයක් තනා දේවත්වයට පත් කලහ. රන්වල දෙවියන් ලෙසින් හැඳින්වූ එම දෙවියන් කැලණි ගඟට අරක් ගත් දෙවියන් ලෙසින්ද එම ප්‍රදේශ වල පිළිගැනේ.
රන්වල දේව උප්පතිය සම්බන්ධ වූ තවත් කතාවකට අනුව රන්වල ගමේ සිටි මිතුරන් දෙදෙනා අස්වාන් රාළ සහ රන්කිරි රාළ නම් වේ. ඔවුන් දෙදෙනාගේ රාජකාරිය වී ඇත්තේ රජුට අයත් පත්තෑයම හෙවත් වී අටුව බලාගැනීමය. එහෙත් ඔවුන් දෙදෙනා කෙරෙහි ඊර්ෂ්‍යා කල පිරිසක් එම අටුවට ගිනි තබා ඒ බව මහ වාසලට දන්වා තිබේ. රජතුමා ඔවුන්ට දඩුවම් කිරීමට යන ආරංචිය කෝහල්පිරි රාළ නම් පුද්ගලයෙකුගෙන් දැනගන්නා ඔවුන් දෙදෙනා රහසේ ගමින් නික්මී අරන්දරට පැමිණ පහුරු දෙකක් තනා ගුරුගොඩ ඔය දිගේ පහලට පැමිණ ඇත. අතරමගදී ගඟ බඩ සිට ගී කියන කතකගේ ගී රාවයක් ඇසී ඇය සමග පිළිතුරු ගී කියා ගන්නා අස්වාන් රාළ ඇයගේ ගී හඩට වශී වී එම ගමින් ගමන නතර කරන මුත්, රන්කිරි රාළ තව දුරටත් ගඟ පහලට ගොස් සියනෑ කෝරළයේ ගිරිදර නම් ගමේ නතර වේ. අස්වාන් රාළ ගී ගැයූ තරුණිය සමග ඇයගේ නිවසට යන මුත් ඇයගේ මව්පියන් ඔවුන් ප්‍රතික්ශේප කරන හෙයින්, ඔවුන් අසල පිහිටි දන්ගොල්ල නම් ගමේ ලැගුම් බිම නම් ගල් ලෙනක වාසය කරමින් හේන් ගොවිතැන් කිරීමට පටන් ගනී. ජන කතාවට අනුව අද හේනේ ගම ලෙසින් හැඳින්වෙන්නේ එම බිමයි. අස්වන් වෙල ලෙසින් අද හැඳින්වෙන්නෙ ඔවුන්ගේ කුඹුරු වේ. නමුත් කෙටි කලකින් යුග දිවිය අත් හරින අස්වන් රාළ කැලණි ගඟ බඩ අසපුවක් ඉදිකරගෙන එහි වාසය කරයි. හෙතෙම තම අසපුව වටා රාත්‍රියේ පහන් දැල්වීම සිරිතක් කරගනී. එම පහන් ගඟේ ඉහල පහල යන පාරුකරුවන්ට පහසුවක් වී ඇත. එනිසා අස්වන් රාළ මියගිය පසුද එම පහන් දැල්වීම පාරු කරුවන් සහ අසල්වැසියන් නොකඩවා සිදු කර ඇත. එසේම ඒ අසල වූ තොටුපොළ භාරකරුවන්ද එය නොකඩවා සිදු කර ඇත. එසේම එම තොටුපොල භාරකරු වෙත පැමිණි පොඩියා නම් ද්‍රවිඩ ජාතිකයෙකුද එම චාරිත්‍රය නොකඩවා සිදු කර ඇත. පසුව අවිස්සාවේල්ල දුම්රිය මාර්ගය ඉදිවීමත් සමග පහන් දල්වන ස්ථානය මහාමාර්ගය අසලට ගෙන ගොස් ඇත.
ගොඩ කාලෙකින් නේද අප්පේ? ලියමු, ලියමු!!
ReplyDeleteදිග කාලෙකින්.... ලියමු ලියමු ආයෙමත් ලියමු!
ReplyDeleteඔව් ඔව්... ස්තූතියි නිදි. උත්සහ කර බලමු මොන මොනවා හරි ලියන්න. :)
DeleteNiyamai !
ReplyDeleteඅපූරුයි... ලියමු දිගටම.. ජය
ReplyDeleteමට මතක, අපි පොඩි කාලේ, මල්වාන පැත්තෙ, පෝයදාට ගඟ අයිනේ මේ "පුහුල් පහන්" පත්තු කරන බවයි.
ReplyDeleteරංවල මුත්තා ජීවත්ව සිටියදී, පොහෝ දිනවල ගඟ දිගේ ඔරුවෙන් කැලණි යන විට ඔහුට ආලෝකය ලැබීම සඳහා, අතීතයේ වැසියන් ගඟ අයිනේ මේවා එල්ලූ බවත්, ඔහු දෙවියකු වීමෙන් (මරණයෙන්) පසු ද ගඟ අසල වැසියන් දිගටම ඒ සිරිත ඔහුට උපහාර පිණිස කරන බවත් එකල වැඩිහිටියන් කියූ බව මතකයි.
පෝය දින වල කැලණි විහාරයට යන ඔරු පාරු උදෙසා සිරිතක් ලෙසට පහන් පත්තු කලා කියන එක වඩාත් පිළිගන්න පුලුවන් තාර්කික දෙයක් ලෙස තමා මටත් හිතෙන්නේ, ගඟේ වානිජ අවශ්‍යතා උදෙසා යන පාරු වෙනුවෙන් කලා වෙනුවට. වර්තමානය වෙනකොට ඒ මුල් අරමුණ කෙමෙන් අමතකවී ගොස් පෝය දින වල මාර්ග අසල, පාලම් උඩ වගේ තැන් වලත් සිදුකරනවා ඇති. දැන් කවුරුවත් ඔරු වලින් කැලණි විහාරයට යන්නෙත් නැහැනේ.
Delete