Saturday, July 18, 2026
බඳගිරිය
හම්බන්තොට දිස්ත්‍රික්කයේ කෑලියවලාන ග්‍රාමයේ විහාරගල සහ වෙහෙරගල යනුවෙන් හැදින්වෙන පර්වත දෙක මත්තෙහි නිර්මාණය කර ඇති මෙම අනුරාධපුර යුගයට අයත් නටබුන් පුරාවිද්‍යා ස්ථානය බඳගිරිය වැව ආශ්‍රිතව පිහිටා ඇත. මෙහි මෑත කාලීනව පර්වතය පාමුල ඉදිකල විහාරස්ථානය පිහිටි භූමියෙහිද පැරණි පූජනීය ස්ථානයට අයත් ගල් කණු සහ ගොඩනැගිලි දොරටු ආදිය විසිරී ඇති මුත් ස්ථානයේ ප්‍රධාන ගොඩනැගිලි ආදිය පිහිටා ඇත්තේ පර්වත මුදුන්හීය. පර්වත මුදුන් දක්වා ගමන් කිරීමට පුරාණ කාලයෙහි තිබූ ගල් පඩි ප්‍රතිසංස්කරණය කර පසුකාලීනව ඉදිකල පඩි පෙලක් දැක ගත හැකි අතර එහි පිය ගැට 90 ක් පමණ ඇත. එහි දෙපස පිහිටි ගල් තලාවෙහි මෙහි හමුවන ප්‍රධාන පුවරු ලිපි දෙක කොටා ඇති අතර, ඒවා පොදු වර්ෂ 3-4 සියවස් වලට අයත් අපර බ්‍රහ්මී අක්ෂර වලින් රචනා කර ඇත. පඩි පෙල අවසාන වූ ස්ථානයේ සිට පර්වත මස්තකය මතට යාමටද ගල් තලාව මත කෙටූ පියගැට පෙලවල් දක්නට ඇති අතර, ගල් තලාවේද ගොඩනැගිලි පිහිටි බවට සලකුණු ලෙසට ගලේ කෙටූ ගල් කණු වලවල් සහ නටබුන් වූ තවත් ගල්කණු සහිත ගොඩනැගිල්ලක අවශේෂ සාක්ෂි දරයි. මෙහි ඇති එක් පුවරු ලිපියකින් අමාත්‍ය බපගේ පුත්‍ර සිහ විසින් අවුරුද්දක පොලිය ගෙන මෙම විහාරයෙහි අරියවංශ දේශනාව පැවැත්වීමට දීමනාවක් දුන් බවත්, තවත් ලිපියකින් එම අරියවංශ දේශනාව පැවැත්වීමට සිවුපසය ලබාදීමට කල දීමනාවක් පිළිබදවත් සදහන් වේ. තුන්වන ලිපිය කියවීමට අපහසු ලෙසට විනාශ වී ඇත. පර්වතකය මස්තකයේ මෙම ස්ථානයේ ප්‍රධාන පූජනීය ස්ථානයක් වූ චතුරශ්‍රාකාර වේදිකාවක් මත ඉදිකල ස්ථූප දෙකක් දක්නට ලැබෙන අතර ඉන් එක් ස්ථූපයක් මෑත කාලයේ නවීකරණය කර හුණු බදාම ආලේප කර ඇති අතර, අනික් ස්ථූපය පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව මගින් සංරක්ෂණය කර ඇත. මෙම මළුවේ සිරිපතුල් ගල් ආදිය හමුවන අතර මළුවට දකුණු දෙසින්ද තවත් නටබුන් වූ ස්ථූපයක අවශේෂ දැක ගත හැක. ස්ථූප පිහිටි ගල් තලාවට දකුණු දෙසින් වූ අනික් පර්වතය මතද නටබුන් වූ ගොඩනැගිලි සාධක හමුවන අතර කියවිය නොහැකි ලෙසින් ඛාදනය වූ ශිලා ලේඛන සහ ගමන් පහසුව උදෙසා තැනවූ ගල් පඩි ආදියද ගල් තලාවේ තැනින් තැන හමුවේ.
Tuesday, July 14, 2026
රාජගිරිකන්ද පබ්බත විහාරය
මිහින්තලය ප්‍රධාන නටබුන් පිහිටි ප්‍රදේශයට පරිබාහිරව මහනුවර - යාපනය මාර්ගයේ හමුවන කළුදිය පොකුණ විහාර සංකීර්ණයට පිවිසෙන මාර්ගයට ප්රතිවිරුද්ධ දිශාවට පිහිටි මාර්ගයේ මීටර 200 පමණ ගිය විට රාජගිරි ලෙන නටබුන් ලෙන් පද්ධතිය පිහිටි කුඩා කදු ගැටය හමුවේ. එම කන්ද පාමුල තවමත් කැනීම් කර සංරක්ෂණය නොකල පබ්බත විහාර සම්ප්‍රදායට අයත් විහාරයක් ලෙස හදුනාගත් විහාරයකට අයත් ගොඩනැගිලි කිහිපයක නටබුන් හමුවේ. පාර ආසන්නයේම පාහේ පැරණි පොකුණක ලක්ෂණ හදුනාගත හැකි පිහිටීමක් දැක ගත හැකි අතර, ඒ ආසන්නයේ මෙම විහාරයේ සෙසු ගොඩනැගිලි කිහිපයක් හදුනාගත හැක. ඒ අතරින් ජරාවාස වූ ස්තූප දෙකක්, පිළිම ගෙයක් සහ තවත් ගොඩනැගිලි කිහිපයක නටබුන් පෙනෙන්නට තිබෙන අතර එක් ස්තූපයක දෙපසින් නැගෙනහිර සහ බටහිර දෙසින් විශාල ගල් උළුවහු දෙකක් සහ ස්තූපය වටා පිහිටා තිබූ මල් ආසන කිහිපයක්ම දැකගත හැක. මෙයට අමතරව මෙහි ඇති තවත් ගොඩනැගිල්ලක අවශේෂ අතර එහි පිවිසුමේ පිහිටි සංඛ සහ පද්ම කැටයම් නිරූපණය කර ඇති මුරගල් දෙකක්, කොරවක්ගල්, සදකඩපහණ සහ වාමන රූප තුන බැගින් කැටයම් කර ඇති ගල් පඩි 4 ක් දැක ගත හැක. මේ ආශ්‍රිත ප්රදේශයේ වනාන්තරය තුල තවත් පොකුණු සහ සෙල්ලිපි සහිත කටාරම් කෙටූ ලෙන් කිහිපයක්ද හමුවේ.
Saturday, July 11, 2026
පුරාණ මහකනදරාව ගල් පාලම
අනුරාධපුර දිස්ත්රික්කයේ මහකනදරාව ගම්මානයේ පිහිටා ඇති මෙම පුරාණ ගල් පාලම අනුරාධපුර යුගයේ අනුරාධපුර නගරයේ නැගෙනහිර දොරටුවේ සිට පුලියන්කුලම, හුණු කනදරාව, මහකනදරාව, කහටගස්දිගිලිය, කෝන් වැව, කොක් ඇබේ, රත්මලේ වැව හරහා එකල ගෝකණ්ණ තිත්ථය ලෙසින් හැදින්වූ ත්‍රිකුණාමල වරාය දක්වා විහිදුණු මාර්ගයේ කනදරා ඔය හරහා එගොඩ වීමට ඉදිකල පාලමක් ලෙස සැලකේ. මෙම මාර්ගයේ ඔයවල් හරහා ඉදිකල ගල් පාලම් කිහිපයක්ම හදුනාගත හැකිමුත් මහකනදරා ඔය ගල් පාලම ඒ අතරින් වැඩි හානියක් නොවී බොහෝදුරට එදා ඉදි කල අයුරින්ම අදද දැකගත හැකි පාලමකි. මහසෙන් රජතුමා විසින් ( පොදු වර්ෂ 274-301) කනදරා වැව විශාල කර ප්රතිශංශ්කරණය කල බව මහාවංශයේ සදහන් වේ. එම වාරිමාර්ග ව්‍යාපෘතියට ප්‍රථම කනදරා ඔයේ ගලාගිය විශාල ජලකද වැව ඉදිකිරීමත් සමග සීමා වීම හේතුවෙන් එයට පෙර ඉදි කල මෙම ගල් පාලමට පසුකාලීනව ජල පහර සහ විඩින් විඩ පැමිණි ගංවතුර ආදියෙන් හානි පැමිණීමක් සිදුනොවීම එලෙස පෙර තත්වයෙන්ම පාහේ එය ආරක්ෂා වීමට හේතු වූවා විය හැක. ගල් කණු පේලි තුනක් මත ඉදි කර ඇති මෙම පාලම ගල් කණු 39 ක් ආධාරයෙන් දරා සිටී. එය දිගින් අඩි 85 ක් වන අතර පලල අඩි 10 ක් වේ. සෘජුකෝණාස්‍රාකාර ගල් පුවරු අතුරා ශක්තිමත් ලෙස සකසා ඇති මෙම පාලම මතින් කිසිදු අපහසුවක් නැතිව බර පිරවූ ගැල් පවා එකල ගමන් කරන්නට ඇත.
Saturday, July 4, 2026
බුදුරුවගල
මොණරාගල දිස්ත්‍රික්කයේ වැල්ලවාය ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයට අයත් බුදුරුවගල ග්‍රාමයේ පිහිටා ඇති මෙම ස්ථානයේ අඩි 50 කට වඩා උසැති ගල් පර්වතයක මුහුණතක මහායානික සම්ප්‍රදායට අයත් ප්‍රතිමා 7 ක් නෙලා ඇත. මධ්‍යයේ අඩි 52 ක් උස අර්ධ උන්නත හිටි බුදු පිළිමයක් නෙලා ඇති අතර එහි වම් පසින් මීටර 2 ක් පමණ දුරින් අවලෝකිතේශ්වර බෝධිසත්වයන්ගේ පිළිමයක් සහ එම පිළිමය දෙපසින් තාරා දෙවඟන සහ සුදන කුමාර යන පිළිම නෙලා ඇත. ඒ තරම්ම වූ දුරක් බුදු පිළිමයට දකුණු පසින් ඒ ආකාරයටම මෛත්‍රීය, වජ්‍රපාණී සහ මංජුශ්‍රී යන බෝධිසත්ව පිළිම නෙලා ඇත. දැනට විනාශ වී ඇති මුත් මෙම සියළුම පිළිම වල ආසන වෙනම සකස් කර දෙපා වලට සවිකර තිබූ බවට සාධක දැක ගත හැක. බුදු පිළිමයේ දකුණු අතින් අභය මුද්‍රාව දක්වා ඇති අතර මෙම සියළුම පිළිම හුණු බදාමයෙන් වසා පාට ගල්වා තිබූ බවට සාධක හමුවේ. තවද මෙම පිළිම ආවරණය වන පරිදි සුවිසල් පිළිම ගෙයක්ද තිබූ බවට දැව පරාල හෝ බාල්ක රැදවීමට පිළිම වලට ඉහලින් පර්වතයේ හාරා ඇති සිදුරු අනුව නිගමනය කල හැක.
කිසිදු ඓතිහාසික මූලාශ්‍රයකින් මෙම පිළිම ඉදි කල කාලය හෝ ඒ සදහා අනුග්‍රාහකත්වය දැක්වූ රාජ්‍ය පාලකයා පිළිබදව කරුණු අනාවරනය නොවන මුත් විවිධ විද්වතුන් විසින් මේවා ඉදි කල කාලය පොදු වර්ෂ 9 - 10 සියවස් අතර කාලය, පොදු වර්ෂ 900 පමණ, පොදු වර්ෂ 8-10 මෙන්ම පොදු වර්ෂ 6-7 හෝ 8 තරම් ඈත කාලයන්ද දක්වා ඇත. මෙම ප්‍රතිමා පිහිටි ස්ථානයට යන මාර්ගයේ මුල් හරියේ එම කාලයටම අයත් පබ්බත විහාරයක නටබුන් මෙන්ම පැරණි වැවක්ද දැක ගත හැක.
Sunday, June 14, 2026
රැස්වෙහෙර|| සැස්සේරුව
අනුරාධපුර-කුරුණෑගල දිශා මායිම ලෙස පිහිටි සැස්සේරුව කන්දේ මහ කන්ද සහ කුඩා කන්ද ලෙසින් හැදින්වෙන කදු දෙක අතර පිහිටි කපොල්ලක් සහිත තරමක තැනි බිමේ, කුරුණෑගල දිස්ත්රික්කයේ හිරියාල හත් පත්තුවට අයත් සැස්සේරුව, නෑගම්පහ ග්‍රාමයේ මෙම විහාරය පිහිටා ඇත. මෙම ස්ථානයේ පිහිටි ප්‍රධානම පූජනීය ස්මාරකය වන්නේ පර්වත බිත්තියක් මත හාරන ලද කවාටය තුල මතු කර පෙන්වා ඇති අඩි 39 යි අගල් 3 ක් පමණ උස බුදු පිළිමයයි. ආශිර්වාද මුද්‍රාව සහිතව නෙලා ඇති මෙහි අසම්පූර්ණ කර්ණය, නිර්මාණ කටයුතු අවසන් නොකල ශෛලමය ප්‍රතිමා ආසනය සහ මුහුණේ හැඩය අනුව වැඩ අවසන් නොකල බවක් දිස්වෙයි. පර්වතයේ කපා ඇති තව් සහ ඉදිරිපස ඉතිරි වී ඇති ගල් කණු අනුව පිළිමයට ආවරනයක් ලෙස වහලයක් සහිත පිළිම ගෙයක් තිබූ බව පෙනේ.
මෙම පිළිමයට අමතරව මෙම ස්ථානයේ තැනින් තැන වෙනත් ගොඩනැගිලි අවශේෂ දැකිය හැක. පෝය ගෙය ලෙස සැලකෙන ගොඩනැගිල්ලක ගල්කණු, සක්ක ගල් එක මත එක අතුරා බෝධිය වටා තනා ඇති පැරණි බෝධිඝරයක් සහ දැනට සම්පූර්ණයෙන් ප්‍රතිසංස්කරණය කර ඇති පැරණි ස්තූපය මේ අතර ප්‍රධාන වේ. ස්තූපය වටා සිරිපතුල් ගල් 12 ක් දක්නට ඇත. ස්තූපයේ දකුණු දොරටුවේ වූ පියගැටයක ගෙවී ගිය සෙල්ලිපියක් සහ දොරටුව අසලම මාලකයේ පුවරු ලිපියක්ද දැකිය හැක. මෙයට අමතරව පසු කාලීන යුගයට අයත් ලෙන් විහාර දෙකක්ද මෙහි දැකිය හැකි අතර එම ලෙන් විහාර වල පෙර යුගයට අයත් කටාරම් සහ සෙල්ලිපි හමුවන මුත්, ඒ තුල ඇති බිතු සිතුවම්, ප්‍රතිමා සහ මකර තොරණ ආදිය මහනුවර හෝ ඒ ආසන්න යුගයකට අයත් බව පෙනේ.
එල්ලාවල මේධානන්ද හිමියන්ට අනුව මෙම විහාර භූමියේ සහ අසල කන්දේ ගල් ලෙන් 80 ක් පමණ තිබෙන අතර ඒ අතරින් සමහරක් කටාරම් කොටා සෙල්ලිපි පිහිටුවා ඇත. පොදු වර්ෂ පූර්ව 2 වන සියවසේ සිට 10 වන සියවස පමණ දක්වා මෙහි ලෙන් ලිපි, ගිරි ලිපි සහ පුවරු ලිපි හමුවී ඇති අතර ඒ අතරින් ලෙන් පූජා කල බවට වූ ලිපි 29 ක් මේ දක්වා වාර්තා කර ඇත. එම ලිපි අනුව පරුමකවරුන් 12 දෙනෙක්ද, බත තනතුරුධාරීන් 7 දෙනෙක්ද, ගමික වරුන් 4 දෙනෙක්ද, බමණ නමින් දෙදෙනෙක්ද, උපශක සහ උපශික නමින් තුන්දෙනා බැගින්ද, නට (නලුවන්) 6 දෙනෙක්ද මෙහි ලෙන් පුදා ඇත. මීන නම් ඇමතියෙකු සහ පදුම නම් සෙන්පතියෙකුගේ පුත්‍රයෙක් ගැන සදහන් වන ලිපියක්ද වේ. පුරකමත (නගර කර්මාන්ත පාලක) සහ ශොබිකනගකමින (නගර ශෝභිනීන්ගේ නායිකා ?) නම් වූ විශේෂ තනතුරු දෙකක් පිළිබදවද මෙහි ඇතිසෙල්ලිපි වල සදහන් වේ. එක් ලෙන් ලිපියක සදහන් වන දෙවනපිය ගමිණි අබය මහ රජු, වලගම්බා රජු විය හැක. එල්ලාවල මේධානන්ද හිමියන් අනුමාන කරන්නේ වලගම්බා රජු අනුරාධපුර නගරයේ සිට පලායාමේදී සැගවුන වෙස්සගිරි වනය මෙම පැරණි අනුරාධපුර සිට මලය රට දක්වා වැටී ඇති මාර්ගය අසල ඉන් ඔබ්බෙහි පිහිටා ඇති සස්සේරුව කදු ප්‍රදේශය විය හැකි බවයි. ඓතිහාසික ලේඛන වල මුල් වරට රැස්වෙහෙර යන නම හමුවන්නේ සිංහල බෝධි වංශයේ පිටපත්වලය. ඒ අනුව බොහෝවිට එම නාමය කුරුණෑගල යුගයේ සිට හෝ ඉන්පසු යුගයේ සිට මෙම ස්ථානයට භාවිතා වූවා විය හැක.
Saturday, March 21, 2026
උතුරුකරයේ බොදු උරුමය - කදුරුගොඩ විහාරය
යාපනයේ සිට කන්කසන්තුරෙයි දක්වා වැටී ඇති මාර්ගයේ චුන්නාකම් මංසන්දියේ සිට මද දුරක් ගමන් කිරීමෙන් මල්ලාකම් උඩෙයියාර් ග්‍රාමයෙහි පිහිටි වර්තමානයේ කන්තරොඩෙයි ලෙසින් හැදින්වෙන, නමුත් මහනුවර යුගයේ හෝ ඊට පෙර කාලකයදි ලියැවුන නම්පොත නම් එකල පැවති බෞද්ධ විහාර නාමලේඛනයක කදුරුගොඩ විහාරය ලෙසින් සදහන් වන මෙම පුරාවිද්යාත්මක ස්ථානයට පැමිණිය හැක. මෙම ස්ථානයේ කුඩා දාගැබ් 57 ක නටබුන් දැකගත හැකි අතර වරින් වර කල කැනීම් වලින් කවන්ධ බුද්ධ ප්‍රතිමාවක්, විශාල බුද්ධ ප්‍රතිමාවක කොටසක්, බෝධිසත්ව ප්‍රතිමා, පිළිම ගෙයක අවශේෂ, පබළු, කානේලියන් මුදුවක්, මැටි මුද්‍රාවක්, බ්‍රාහ්මි අක්ෂර සහිත මැටි බඳුන් කැබැල්ලක් (එහි ලියා ඇති "දතහ පත" යන අකුරු වලින් දතහගේ පාත්‍රය යන අර්ථය ගත හැක. එම අකුරු ක්‍රිස්තු පූර්ව යුගයට අයත්ය.) කාසි ආදිය හමුවී ඇත. තවද මෙම ස්ථානයේ තිබී හමුවූ අත්තාණි කණුවක ක්‍රිස්තු වර්ෂ 10 වන සියවසට අයත් සිංහල අකුරින් කිසියම් රජකෙනෙකු විසින් බෞද්ධ විහාරයකට කල පිරිනැමිමක් ගැන තොරතුරු සඳහන් වේ.
Friday, June 21, 2024
දඹකොල පටුනේ සිට ශ්‍රී මහා බෝධිය වැඩමවූ "බෝධි මාර්ගයේ" හමුවන පැරණි ගල් පාලම්
අනුරාධපුර පූජනීය නගරයේ නටබුන් ස්ථාන පිහිටි කලාපයට උතුරින් එකිනෙකට සැතපුම් භාගයක් පමණ දුරින් පිහිටි පැරණි ගල් පාලම් දෙකක නටබුන් දැකගත හැක. හල්පන් ඇල/ හාල්පාණු ඇල/ හාල්පාන් ඇල ලෙසින් වර්තමාන ව්‍යවහාරයේ හැඳින්වෙන ඇලක් හරහා මින් එක පාලමක් තිබූ බවට සලකුණු ඉතිරි වී ඇති අතර, ප්‍රමාණයෙන් විශාල අනික් පාලම මල්වතු ඔය හෙවත් පැරණි කදම්භ නදිය හරහා ඉදිකර තිබී ඇත. මෙම පැරණි ගල් පාලම් දෙක එකල ඉදිකර තිබුනේ අනුරාධපුර අගනගරයේ සිට උතුරේ ජම්බුකෝලපට්ඨන වරාය තෙක් තිබූ ප්‍රධාන මාර්ගයේ බවට සාධක හමුවී ඇත. මේ ලිපිය එම ගල් පාලම් දෙකේ සහ මෙකල ව්‍යවහාරය අනුව නම් ඒ මතින් දිව ගිය Northern Highway එකේ මුල් අදියර පිළිබඳ කතාවයි.
ඒ අනුව 1960 වර්ෂයේදී පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව අනුරාධපුර ඇතුළු නුවර දකුණු දොරටුවේ සිදු කල කැනීම් මගින් පැරණි මාර්ගයක සලකුණු හඳුනාගෙන ඇත. එම මාර්ගය අඩි 57 පලලට ඉදිකර තිබී ඇති අතර එය නගර ප්‍රාකාරයට සෘජුකෝණාශ්‍රාකාරව ඉදිකර තිබී ඇත. එසේම දොරටුවේ මධ්‍යයට වන්නට එය දෙකට බෙදෙන ආකාරයට ඉදිකර තිබූ මුර කුටියක් විය හැකි ගොඩනැගිල්ලක ශිලා පාදම සහ එහි ගඩොල් ඉදිකිරීමෙහි අවශේෂද මෙහිදි හඳුනාගෙන ඇත. එය අඩි 24 X 16 ප්‍රමාණයේ ඉදිකිරීමකි.
මහා බෝධිය සංඝමිත්තා තෙරණිය විසින් මෙරටට වැඩම කිරීමේදී දේවානම්පියතිස්ස රජු නගරයේ උතුරු දොරටුව සිට දඹකොළ පටුන (ජම්බුකොලං මහාපථං) දක්වා මග සරසවා මහමග රිදීපටක පැහැ ගත් වැලි විසිරවූ බව මහාවංශයේ සඳහන් වේ. තවද එහිම මහාබෝධිය උතුරු දොරටුවෙන් නගරයට වඩම්මවා, නගරය මැදින් රැගෙන විත් දකුණු දොරටුවෙන් නික්ම...ලෙසින් සඳහන් වන හෙයින් දඹකොළ පටුනේ සිට නගරයට මාර්ගයක් වූ බවත්, නගරයේ උතුරු සහ දකුණු දිසා වල දොරටු වූ බවත්, එම දොරටු දෙක අතරද මාර්ගයක් තිබූ බවත් පැහැදිලිවේ. සිංහල මහාබෝධි වංසයේ මෙය විස්තර වන්නේ නුවර උතුරු දොරටුවේ සිට දඹුලු තොට දක්වා මඟ ලෙසිනි. එසේම නුවරට උතුරු දොරින් බෝධීන් වහන්සේ ඇතුළට ගෙනවුත්,.... නුවර මධ්‍යයෙන් මඟුල් මහා වීථියෙන් ගෙන ඇර දකුණු දොරින් පිටත් කොට මහමෙවුනා උයනට පමුණුවා ලෙසිනි. ඒ අනුවඇතුළු නුවර උතුරු සහ දකුණු දොරටු අතර වූ වීදීය මගුල් මහා වීථිය ලෙස හැඳින්වූ බව පෙනේ.
| මල්වතු ඔය සහ ඒ හරහා වැටී ඇති පැරණි ගල් පාලමේ කොටසක් |
ඔහු විසින් හඳුනාගත් සේල චේතියේ සිට මල්වතු ඔය දක්වා වූ පුරාණ මාර්ගයක් පිළිබඳව H.C.P. බෙල් 1891 වර්ෂය සඳහා වූ සිය වාර්තාවේ කරුණු ඉදිරිපත් කරයි. ඔහුට අනුව නව රෝහල සඳහා වෙන් කල භූමිය පසුපසින් ගොස් එම පුරාණ මාර්ගය පොල් වත්තක් තුලට ඇතුළු වේ.ඉන්පසු ගල් ඔරුව සහ වෙනත් නටබුන් අද්දරින් බටහිරට යොමුව කැලෑව තුලින් බසවක්කුලම ඔයෙන් දැනට නටබුන් ඉතිරි වී ඇති දියමංකඩක් (Causeway) ඔස්සේ එතෙර වී කුට්ටම් පොකුණට මදක් බටහිරෙන් එම මාර්ගය පිටත වට රවුම් මාවතට සම්බන්ධ වේ. ඉන්පසු විහාරාරාම දෙක වෙන් කරමින් ලඳු කැලෑව තුලින් ගොස් විශාල රම්බා පොකුණ අසල ඇති චත්‍රරස්‍රාකාර නටබුන් වෙත ලඟා වේ. ඉන්පසු ඊසාන සහ උතුරු දෙසට යොමුවෙමින් "වලව්ව" ලෙසින් හැඳිවෙන ස්ථානය පසු කරමින් මාර්ගය, අතහැරදමා ඇති එලපත්වැව හෝ එහි කුඹුරු වලට ලඟාවේ. ඉන්පසු තව දුරටත් වනාන්තර තුලට ඇතුළු වී "යෝධ ඇල" හරහා ඇති පුරාණ ගල් පාලම හමුවන තෙක් වනාන්තරය තුලින් ගමන් කරයි. එම ගල් පාලමින් එගොඩ වූ පසු මල්වතු ඔය හරහා ඉදිකර තිබූ විශාල ගල් පාලම දක්වා දුර සැතපුම් භාගයක් පමණ වේ.
මල්වතු ඔය හරහා ඉදිකර තිබූ පුරාණ ගල් පාලමේ නටබුන් දැක්වෙන වීඩියෝව >>
මෙම විස්තරයේ සඳහන් භූගෝලිය ස්ථාන සහ ලක්ෂණ බොහෝමයක් මේ වන විට වෙනස් වී ඇතත් ඒ අතරින් ස්ථාන කිහිපයක් අදටද පැහැදිලිව හඳුනාගත හැක. කුට්ටම් පොකුණ සහ මල්වතු ඔය හරහා වූ විශාල ගල් පාලම මෙන්ම එයට සැතපුම් භාගයක් පමණ මෙපිටින් වූ බෙල් සඳහන් කරන යෝධ ඇල හරහා වූ පුරාණ ගල් පාලම කිසිදු සැකයකින් තොරව හඳුනාගත හැක. බෙල් යෝධ ඇල ලෙසින් හඳුන්වන පුරාණ ගල් පාලම සහිත ඇල මාර්ගය අද වන විට හැඳින්වෙන්නේ යෝධ ඇල ලෙසින් නොව හල්පන් ඇල/හාල්පන් ඇල/හාල්පාන් ඇල/හාල්පාණු ඇල ලෙසින්ය.
බෙල් යෝධ ඇල හරහා වැටී තිබූ ගල් පාලම ලෙසින් හඳුන්වන වර්තමානයේ හල්පන් ඇල ලෙසින් හඳුන්වන ඇල හරහා වැටී ඇති ගල් පාලමේ වීඩියෝ දර්ශන >>
| මල්වතු ඔය හරහා වැටී තිබූ ගල් පාලමේ නටබුන් |
එසේම බෙල් සඳහන් කරන ගල් ඔරුව සහ වෙනත් නටබුන් අනුරාධපුර ඇතුළු නුවර ලෙස හඳුනාගෙන ඇති කොටසේ ඇති මහාපාලි දාන ශාලාවේ ඇති ගල් ඔරුව සහ ඒ අවට ඇති මහාපාලි දාන ශාලාවේ සහ අනෙකුත් ඇතුළුනුවර ගොඩනැගිලි නටබුන් බව පැහැදිලිය. රුවන්වැලි සෑයෙන් නැගෙනහිරට වන්නට ඇති කුඩා දාගැබ අදටත් සේල චේතිය/ශිලා චේතිය නොහොත් කුජ්ජතිස්ස ස්තූපය ලෙසින් හඳුන්වන බැවින් පුරාණ මාර්ගය ආරම්භ වන ස්ථානය ලෙසින් බෙල් හඳුන්වන ස්ථානයද වැඩි අපහසුවකින් තොරව හඳුනාගත හැක. එවකට අතහැරදමා තිබූ එලපත්වැව අද සක්‍රිය වැවක් බවට නැවත පත්වී එයින් පෝෂණයවූ කුඹුරු වලට අවශ්‍ය ජලය සපයයි. කුට්ටම් පොකුණට උතුරින් කපාරාමූල විහාරයේ නටබුන් ලෙස හඳුනාගෙන ඇති ගොඩනැගිලි සහ ඒ අසල තිබෙන පොකුණ මෙහි බෙල් විසින් විශාල රම්බා පොකුණ සහ අසල ඇති චත්‍රරස්‍රාකාර නටබුන් ලෙස හඳුන්වන ස්ථාන විය යුතුය.
ඉහත රම්බා පොකුණ ලෙසින් බෙල් හඳුන්වන පොකුණ විය හැකි තවමත් සංරක්ෂණය කර නොමැති පොකුණේ වීඩියෝ දර්ශන >>
මෙලෙස හඳුනාගත් ස්ථාන සිතියමක සලකුණු කල විට පහත පරිදි වේ.
| මල්වතු ඔය හරහා වැටී තිබූ ගල් පාලමේ නටබුන් |
ජය ගඟ, එයින් පෝෂණය වන අනුරාධපුර අගනගරයේ වැව් සහ නගරය තුල ජලවහන රටාව
දීර්ඝ ලෙස වෙනත් ලිපියකින් කරුණු ඉදිරිපත් කල යුතු මාතෘකාවක් වුවද ජය ගඟ එසේ නැතහොත් කලා -තිසා යෝධ ඇල පද්ධතිය පිළිබඳව කෙටි හැඳින්විමක් නොමැතිව මෙම ලිපියට අදාල කරුණු නිරවුල්ව ඉදිරිපත් කිරීමට අපහසු බැවින් ඉතාමත්ම කෙටියෙන් වුවද ඒ පිළිබඳවද විස්තර ප්‍රථමයෙන් විමසා බැලිය යුතු වේ.
| හල්පන් ඇල (යෝධ ඇල) හරහා වැටී තිබූ ගල් පාලමේ නටබුන් |
මාතලේ කඳු පන්තියේ උතුරු විහිදුමේ කඳු වලින් ඇරඹෙන දිය කඳුරු වලින් පෝෂණය වන දඹුළු ඔය සහ මිරිස්ගෝනියා ඔය (ඇරෑවුල සහ කළුන්දාව ඔය මගින් පෝෂණය වන කණ්ඩලම වැවේ ජලය එක් වන්නේ මිරිස්ගෝනියා ඔයට වේ.) එක් වීමෙන් ඇරඹෙන දුණුමඩල ඔයේ ජලය ලබන කලා වැව සහ මොරගොල්ල ඔය, හැවැන් ඇල්ල ඔය සහ රණව ඇල මගින් පෝෂණය වන බළලු වැව, එක් වැවක් ලෙසට එක්කිරීමෙන් කලා ඔය නිම්නයේ ඉදි කල කලා - බළලු වැවට එකතු වන ජලය, එහි සිට පටන් ගන්නා යෝධ ඇලක් ඔස්සේ එකල අගනගරය වූ අනුරාධපුරයේ නාගරික වැව් පද්ධතියට එකතු කිරීම එක් අරමුණක් ලෙස සලකා පැරණි සිංහල වාරි ඉංජිනේරුවන් විසින් මෙම ජය ගඟ ලෙසින් හැඳින්වෙන යෝධ ඇල මාර්ග පද්ධතිය ඉදිකර ඇත.
කලා වැවේ ජලය ගෙන එයින් නික්මෙන ජයගඟ හෙවත් යෝධ ඇල, කලා ඔය නිම්නයේ සිට මල්වතු ඔය නිම්නයට පිවිස කෙලින් දුර සැතපුම් 30 ක් වනමුත් වංගු ගසමින් සිය මාර්ගයේ පිහිටි ලොකු කුඩා වැව් රාශියකට ජලය සපයමින් සැතපුම් 54.5 පමණ දුරක් ගොස් අනුරාධපුර නගරයේ මල්වතු ඔයෙහි වම් ඉවුරේ පිහිටි තිසා වැවට ඇතුළු වේ. එයට පෙර කලා වැවේ සිට සැතපුම් 26 ක් පමණ ගිය විටදී එයින් නික්මෙන තවත් ශාඛා ඇලක් මගින් නාච්චාදූව වැවටද ජය ගඟ ජලය සපයයි. නාච්චාදූව වැව ඉදිකර ඇත්තේ රිටිගල කඳු පන්තියේ සිට ඇරඹෙන මල්වතු ඔය හරස් කරමිනි. නාච්චාදූව වැවේ සිට නික්මෙන තවත් යෝධ ඇලක් මගින් අනුරාධපුර නගරයෙන් නැගෙනහිර දෙසට වන්නට මල්වතු ඔයේ දකුණු ඉවුරේ පිහිටි නුවර වැවට ජලය සපයයි.
(මෙහිදී යෝධ ඇල නැතහොත් ජයගඟ ලෙසින් මෙහි විස්තර වන්නේ පැරණි යෝධ ඇල විනා මහවැලි ව්‍යාපාරය විසින් එම පැරණි යෝධ ඇල ජල/පරිසර පද්ධතිය විනාශ කර දමා අළුතින් ඉදි කල වාරි ඇල ගැන නොවන බව මෙහිදී අවදාරනය කල යුතුවේ.)
පැරණි අඟලේ සිතියම් වල දැක්වෙන විස්තර උපයෝගී කරගනිමින් පිළියෙල කල මේ සමග දැක්වෙන සිතියමේ පෙන්වා ඇති පරිදි ජය ගඟේ ජලය ලබන තිසා වැවේ සිට බසවක්කුලම එනම් පුරාණ අභය වැවට ගෙන යන ජලය ඉන්පසු එම වැව් දෙකින් සහ බුලංකුලම වැවෙන් වගා කෙරෙන කුඹුරු පෝෂණය කර ඒවායින් පිටවන අතිරික්තය ලෙසින් එම කුඹුරු අතර විහිදී ඇති ලොකු කුඩා ඇල මාර්ග වලට එක් වේ. (පැරැන්නන් විසින් වෙල් පහු වතුර ලෙසින් හැඳින්වූවේ මෙසේ කුඹුරු වලට අවශ්‍ය ජලය සපයා එයින් නික්මෙන අතිරික්ත ජලයටය.) එම ඇල මාර්ග වලින් එකතු කර ගන්නා ජලය අවසානයේ උතුරු ඇළ මාර්ගය ලෙසින් හැඳින්වෙන අනුරාධපුර නගරයට උතුරින් පිහිටි මල්වතු ඔයේ වම් ඉවුර ඔස්සේ ගලා යන තවත් පැරණි යෝධ ඇලකට එකතුවේ. ඉන්පසු අනුරාධපුර නගරයෙන් වයඹ දෙසට (තන්තිරිමලේ දෙසට) ගමන් ගන්නා එම පැරණි යෝධ ඇලද පැරණි අඟලේ සිතියම් වල සැලකිය යුතු දුරක් යනතෙක් ලකුණු කර ඇති අතර එහි ගමනාන්තය දැනට සොයාගත නොහැකි බව බ්‍රොහියර් පවසයි. බෙල් විසින් ඉහත බසවක්කුලම ඇල ලෙසින් හඳුන්වා ඇත්තේ පැරණි අනුරාධපුර ඇතුළු නුවරට මදක් උතුරින් කුට්ටම් පොකුණ ආසන්නයේදී ඉහත සිතියමේ කහපාටින් දැක්වෙන මාර්ගය හරහා යන ඇල මාර්ගය විය යුතුය. එහි ජලය පැරණි යෝධ ඇලට නැතහොත් වර්තමාන හල්පන් ඇලට එකතු වේ.
හල්පන් ඇල/හාල්පාණු ඇල/හාල්පාන් ඇල
| හල්පන් ඇල (යෝධ ඇල) සහ එය හරහා වැටී තිබූ පැරණි ගල් පාලමේ නටබුන් |
බෙල් විස්තර කරන ලෙසට මෙම පැරණි මාර්ගයේ අනුරාධපුර නගරයේ සිට යනවිට හමුවන පළමුවන ගල් පාලම වැටී ඇත්තේ යෝධ ඇල මත්තෙන්ය. පැරණි අඟලේ සිතියම් වලද යෝධ ඇල ලෙසින් හඳුන්වන එම ඇල සහ පැරණි මාවතේ කොටසක් පැහැදිලිව හඳුනාගත හැක. එම ගල් පාලමේ සිට මල්වතු ඔය හරහා වැටී තිබෙන අනික් විශාල ගල් පාලම වෙත බෙල් දක්වන දුරද සැතපුම් භාගයක් පමණ වේ. එහෙත් අද මෙම ගල් පාලම වැටී ඇති ඇල මාර්ගය හඳුන්වන්නේ හල්පන් ඇල/හාල්පාණු ඇල/හාල්පාන් ඇල යන නම් වලිනි. පැරණි යෝධ ඇලේ මතකය ජන ව්‍යවහාරයෙන් වියකී ගොස් මෙම නව නාමය කිනම් කලක භාවිතයට පැමිණියේදැයි පැහැදිලි නැත. එහෙත් අද Google සිතියම් වල සහ භූමියේ හඳුනාගත හැකි හල්පන් ඇල, මල්වතු ඔයේ නගරයට දකුණින් පිහිටි ස්ථානයකදී අමුණක් බැඳ හරවා ගන්නා ජලය මෑත කාලීන වාරි ඇළක් මගින් පැරණි යෝධ ඇලට කිසියම් කාලයකදී සම්බන්ධ කිරීමෙන් ඉදිකල එකක් බව පැහැදිලිය. ඉහත සිතියමේ A ලෙසින් ලකුණු කර ඇති ස්ථානයේදී මල්වතු ඔය හරහා ඉදි කල කොන්ක්‍රීට් අමුණකින් බොහෝවිට කලින් මල්වතු ඔයට ජලය බැස ගිය ස්වභාවික ඇළ මාර්ගයකට (එම පැරණි ඇළ මාර්ගය ඉහත පැරණි අඟලේ සිතියමේ හඳුනාගත හැක) හරවා ගන්නා ජලය, ඇල මාර්ගයේ ප්‍රතිවිරුද්ධ අතට ගමන් කරවා, එයට උතුරින්ද ඉහත සිතියමේ දක්වා ඇති පරිදි ඒ වන විටත් පැවති ඇතැම් ස්වභාවික හෝ පෙර කල කුඹුරු අතර ජල වහනය උදෙසා ඉදි කල ඇල මාර්ගද උපයෝගි කරගනිමින්, බොහෝවිට ඒවා අළුතින් ඉදි කල වාරි ඇලවල් මගින් සම්බන්ධ කර, අවසානයේ පැරණි යෝධ ඇලේ ගමන් මාර්ගයටම යොමු කල බවක් දිස්වේ. මල්වතු ඔයේ වම් ඉවුරේ අනුරාධපුර නගරයට නැගෙනහිර දෙසින් පිහිටි කුඹුරු වලට අවශ්‍ය ජලය සැපයීම එහි අරමුණ බව පෙනේ. කෙසේ නමුත් පැරණි ගල් පාලමට මෙපිටින් ඉහත සිතියමේ දම්පාටින් සලකුණු කර ඇති පැරණි යෝධ ඇලට මෙයින් බලපෑමක් වූ බවක් නොපෙනේ. හල්පන් ඇලේ ගල් පාලම අද තිබෙන්නේද එම යෝධ ඇල හරහා වන අතර එහි නම පමණක් හල්පන් ඇල ලෙසට වෙනස් වී ඇත.
| හල්පන් ඇල (යෝධ ඇල) හරහා වැටී තිබූ ගල් පාලමේ නටබුන් |
වංශ කතාවට අනුව ශ්‍රි මහා බෝධිය රැගෙන ආ මාවත හෙයින් රෝලන්ඩ් සිල්වා මහතා බෝධි මාර්ගය ලෙසින් හඳුන්වන අනුරාධපුර උතුරු දොරටුවෙන් නික්මී හල්පන් ඇල (පැරණි යෝධ ඇල) සහ මල්වතු ඔය මතින් වූ ගල් පාලම් වලින් එතෙර වී ජම්බුකෝලපට්ඨනය හෙවත් දඹකොල පටුන දක්වා තිබූ පැරණි උතුරු මාර්ගය පිළිබඳව රෝලන්ඩ් සිල්වා මහතා මෙන්ම P. විදානපතිරණ මහත්මියද පර්යේෂණ සිදු කර ඇත. H.C.P. බෙල්ගේ කාලය වනවිටත් සලකුණු ඉතිරි වී තිබූ එම මාර්ගයේ සහ එයටම සම්බන්ධ වන අනුරාධපුර ඇතුළු නුවර හරහා උතුරු - දකුණු දිශා ඔස්සේ වැටී තිබූ මගුල් මහා වීථිය මෙන්ම එම වීථියට නගරයේ දකුණු ද්වාරය හරහා සම්බන්ධ වූ දකුණු දොරටුවෙන් නික්මී අනුරාධපුර නගරයේ දකුණු දිශාවට යොමු වූ මාර්ගයක කුජ්ජතිස්ස ස්තූපය (සේල චේතිය) දක්වා ඉතිරි වූ කොටසක් පිළිබඳවද බෙල් විස්තර ඉදිරිපත් කර ඇත. ඒ ඔස්සේ ඉහත පර්යේෂකයන් විසින් හඳුනාගත් මාර්ගය ඔවුන් විසින් සිතියම් වල ලකුණු කර ඇති අතර මෙම ලිපියේ කරුණු එම විස්තර අනුව ඉදිරිපත් කර ඇත. P. විදානපතිරණ මහත්මිය විසින් මල්වතු ඔය ගල් පාලමෙන් ඔබ්බටද එම බෝධි මාර්ගයේ ඇතැම් ස්ථාන හඳුනාගෙන තිබෙන මුත් එම කරුණු මෙම ලිපියේ සන්දර්භයට අදාල නොවන හෙයින් මෙහිදී ඉදිරිපත් කිරීමට බලාපොරොත්තු නොවෙමි.
| බෙල් ඉහත විස්තර කරන රම්බා පොකුණ විය හැකි තවමත් සංරක්ෂණය කර නොමැති කපාරාමූල විහාර නටබුන් අසල තිබෙන පොකුණ |
| කපාරාමූල විහාරයේ සංරක්ෂිත කොටසක් |
මූලාශ්‍ර
- මහාවංස 1 වෙළුම, මාගධී පෙළ සහ සිංහල අනුවාදය, නව සංස්කාරක චන්ද්‍ර වික්‍රමගමගේ, සිංහල අනුවාදය අරුණ තලගල, 2012
- Mahavamsa The Great Chronicle of Sri Lanka, An Annotated new translation with Prolegomena by Ananda W. P. Guruge, 2005.
- Reflections on a heritage, Historical Scholarship on Premodern Sri Lanka, 2000
- වංසත්ථප්පකාසිනිය, මහාවංශ ටීකාව - සිංහල අනුවාදය, අකුරැටියේ අමරවංශ නාහිමි සහ හේමචන්ද්‍ර දිසානායක , 1994
- Settlement Patterns of the Malvatu Oya and Kala Oya Basins, A Study in the Historical, Geography of Sri Lanka, P. Vidanapatirana, 2010
- Ancient Irrigation Works in Ceylon, Part Two, R.L. Brohier, 1935
- ලක්දිව පුරාතන වාරිමාර්ග, ආර්. එල්. බ්‍රෝහියර්, පරිවර්තනය එල්. පියසේන, 2001
- Nicholas C.W. 1963, Historical Topography of Ancient and Medieval Ceylon, Journal of the Ceylon Branch of the Royal Asiatic Society, New Series, Volume VI, Special Number.
- මාර්ග පුරාණය, පී විදානපතිරණ, 2016
- ශ්‍රී ලංකාවේ ඓතිහාසික ජල කළමනාකරණය, භූගෝලිය පසුබිම සහ සුරක්ෂිතතාව, පී විදානපතිරණ, 2022
- Archaeological survey of Ceylon, North Central Provinces, Annual Report, 1891, Bell, H.C.P. 1904
- විල්ගම්මුළ මාහිමියන්ගේ සිංහල බෝධිවංසය, මහාචාර්ය සුචරිත ගම්ලත් සහ දර්ශනපති ඊ. ඒ. වික්‍රමසිංහ සංස්කරණය, 1996
- Jetavanaramaya Project Anuradhapura, first Archaeological Excavation an Research Report ( January - June 1982 ), Hema Ratnayake, 1984
- 2009 වර්ෂය සඳහා පුරාවිද්‍යාඅධ්‍යක්ෂ ජනරාල්ගේ පාලන වාර්තාව සෙනරත් බණ්ඩාර දිසානායක, 2024
- The Road Network: Within the city of Anuradhapura and the suburbs by P. Vidanapatirana IN Roalnd Silva Felicitation Volume, Nandana Chutiwongs & Nimal de Silva, 2008
- History and Archaeology of Sri Lanka, Volume II, The Art and Archaeology of Sri Lanka 1, CCF, 2007
Saturday, May 11, 2024
නොදකින සීගිරිය - සීගිරි ජල උද්‍යානයේ දෙපස පිහිටි කාශ්‍යප රජුගේ (?) 'ශීත මාළිගා'
වර්ෂ 1875 අප්‍රියෙල් 19 දින මහා බ්‍රිතාන්‍ය සහ අයර්ලන්ත රාජකීය ආසියාතික සංගමයට (Royal Asiatic Society of Great Britain and Ireland) On the Ruins of Sîgiri in Ceylon මැයෙන් දේශනයක් කරන එවකට ප්‍රසිද්ධ වැඩ දෙපාර්තමේන්තුවේ නිලධාරියෙකු වූ T. H. Blakesley පවසන්නේ 'සීගිරි නගරයේ' බටහිර කොටසේ දිය අගල් වලින් වටවූ, ඒවායෙහි බෑවුම් වල විශාල ගල් සහිත ගොඩැලි දෙකක අවශේෂ ඇති බවය. මේවා ඇතැම් විට ආගමික ඉදිකිරීම් විය හැකි බවත්, එවැනි ආගමික ගොඩනැගිලි ඉදිරියෙහි, අවම වශයෙන් මෙරට දාගැබ් ඉදිරිපිට දැකිය හැකි පරිදි ජලය තිබීම අනිවාර්යයෙන් අරුමයක් නොවන බවත්ය. එහෙත් ශක්තිමත් ගල් බැමි පැවතීම සහ ස්ථානයේ ඓතිහාසික තොරතුරු අනුව ඒවා යුධ බලකොටු ලෙස හඳුනාගැනීම වඩාත් නිවැරදි බවයි ඔහුගේ අදහස.
![]() |
| සිතියම 1 |
බ්ලැකස්ලි 'යුධ බලකොටු' ලෙසින් හඳුනාගන්නා මෙම ස්ථාන දෙකට (ඉහත සිතියමේ A සහ B) අමතරව තවත් එවැනිම කුඩා 'යුධ බලකොටු' දෙකක් (ඉහත සිතියමේ C සහ D) ඒවාට මදක් දුරින් සීගිරියේ පිටත ප්‍රාකාරයට සමීපව පසුකාලීනව හඳුනාගෙන ඇත (එහෙත් එම ස්ථාන දෙකේ මෙතෙක් කිසිදු කැණීමක් සිදුකර නොමැති අතර දැනට පහසුවෙන් ලගාවිය නොහැකි ලෙසින් වනාන්තරයේ සැඟවී ඇත. H.C.P. බෙල් 1899 වර්ෂය සඳහා වූ සිය පුරාවිද්‍යා ගවේෂණ වාර්ෂික වාර්තාවේ අංක 3 සහ 5 දරන දූපත් ලෙසින් හඳුනාගන්නා එම ගොඩැලි වල සහ ඒවා වටා පිහිටි දිය අගල් වල මිණුම් කටයුතු සිදු කර එම අගයන් එහි ඇතුලත් කර ඇති අතර, කැණීමක් සිදු කරන්නට තරම් වැදගත් යමක් ඒවායෙහි පෙනෙන්නට නොමැති බව පවසයි) ඒ අතරින් ඉහත සිතියමේ A ලෙසින් සලකුණු කර ඇති ස්ථානය බොහෝදුරට කැණීම් කර සංරක්ෂණය කර ඇත. දිනපතා සීගිරි බලන්නට පැමිණෙන බොහෝ දෙනා ඉදිරියෙන් පෙනෙන සීගිරි ගල දෙස පමණක් දෙනෙත් යොමුකරගෙන බිතුසිතුවම් බලා, මෑත කාලීනව ගුරුළු පාදයක් කල සිංහ පාදය බලාගෙන*, ගල උඩට නැග අවට නරඹා, ආපසු යාමට හැල්මේ දිවයන පෙත් මගින් මදක් දකුණට වන්නට එය පිහිටා ඇති බව නොදනී. නොදකී. 'ශීත මාළිගය' නැතහොත් 'ගිම්හාන මාළිගය' ලෙස හැඳින්වෙන මෙම ස්ථානය පිළිබඳව දැනුවත්ව එය මතට යා හැකි ආකාරය විමසා බලන කෙනෙකුට වුවද එක්වරම එයට යා හැකි ආකාරය සොයා ගත නොහැක. නමුත් එහි දකුණු කෙලවර පිහිටි ගල් තලාව මතින් විදේශිකයන් සඳහා වෙන්වූ රථගාල දෙසින් පමණක් දිය අගල ජලයෙන් පිරී ඇති වැසි සමයන්හී ප්‍රවේශ වීමට සිදුවන මුත්, වියලි කාලයන්හි දිය අගල හරහා දිය අගලට බැස එහි මුදුනට යාමේ හැකියාව ඇත.
*ගුරුළු පාද කතාවේ සත්‍ය අසත්‍යතාවය පිළිබඳව දැනගැනීමට >>
1899 වර්ෂය සඳහා වූ පුරාවිද්‍යා ගවේෂණ වාර්ෂික වාර්තාවේ H.C.P. බෙල් දූපත් අංක 2 සහ දූපත් අංක 4 ලෙසින් නම් කරමින් ඉහත බ්ලැකස්ලි බලකොටු ලෙසින් හඳුනාගන්නා ගොඩැලි දෙක පිළිබඳව විස්තර ඉදිරිපත් කරයි. පිළිවෙලින් අංක 2 සහ අංක 4 දූපත් ලෙසින් ඔහු හඳුන්වන්නේ ඉහත සිතියමේ (සිතියම 1) A සහ B ලෙසින් සලකුණු කර ඇති ස්ථානයි.
| වැසි සමයෙහි ජලයෙන් පිරී ඇති ශීත මාළිගය වටා වූ දිය අගල සහ මාලක තුනක් ලෙසින් තනා ඇති එහි කොටු පවුර |
අංක 2 දූපත (සිතියමේ A)
| ශීත මාළිගය මතට පෙනෙන සීගිරි පර්වතය, ශීත මාළිගයේ නටබුන් අතර තිබූ බවට බෙල් සඳහන් කරන ශෛලමය සඳකඩපහණද මෙහි දැකගත හැක |
| ගඩොලින් කල සිදුරු සහිත සතැරස් පාදම් (මෑත කාලයේදී අලුතින් ගඩොල් යොදා සංරක්ෂණය කර ඇත.) |
| වියලි කාලයේ දිය සිඳී ගිය ශීත මාළිගයේ දිය අගල සහ මාලක තුනකට තනා ඇති කොටු බැම්ම |
| ශීත මාළිගයේ සංරක්ෂණය කර ඇති පැරණි ඉදිකිරීමක් |
| වැසි සමයෙහි ජලයෙන් පිරී ඇති ශීත මාළිගය වටා වූ දිය අගල සහ මාලක තුනක් ලෙසින් තනා ඇති එහි කොටු පවුර |
| ස්වභාවිකව පිහිටි ගල් තලාවට එපිටින් ශීත මාළිගා ගොඩැල්ල (බෙල් හඳුනාගත් ලෙසට නම් දූපත) මත තිබූ පැරණි ගොඩනැගිල්ලේ පදනමේ අවශේෂ දැකගත හැක |
| සීගිරිය ජල උද්‍යානයේ සිට දැකගත හැකි ශීත මාළිගයේ දිය අගල සහ කොටු බැම්ම |
- On the Ruins of Sîgiri in Ceylon IN The Journal of the Royal Asiatic Society of Great Britain and Ireland , Jan.,1876, New Series, Vol. 8, No. 1 (Jan., 1876), pp. 53-61, T. H. Blakesley
- සීගිරිය එහි සුප්‍රකට සිතුවම්, රජ උයන හා අනෙකුත් නගරාංග, මහාචාර්ය සෙනරත් දිසානායක, 2011
- Archaeological survey of Ceylon, North Central And Central Provinces, Annual Report, 1899, Bell, H.C.P. 1904
- UNESCO -SRI LANKA PROJECT OF THE CULTURAL TRANGLE, SIGIRIYA PROJECT, Second Archaeological Excavation and Research Report ( October - December 1982 ), Senake Bandaranayake, 1988
- UNESCO -SRI LANKA PROJECT OF THE CULTURAL TRANGLE, SIGIRIYA PROJECT, Third Archaeological Excavation and Research Report ( January - June 1983 ), Senake Bandaranayake, 1989
- සංස්කෘතික ත්‍රිකෝණයේ යුනේස්කෝ ශ්‍රී ලංකා ව්‍යාපෘතිය, සීගිරිය ව්‍යාපෘතිය, සීගිරියේ සිව්වන පුරා විද්‍යාත්මක කැණීම් ( 1983 ජූලි - දෙසැම්බර් ) , සේනක බණ්ඩාරනායක, 1993
- Sigiriya, city, palace, gardens, monasteries paintings, Senake Bandaranayake, 2013
- Sigiriya, Senake Bandaranayake, 1999
- Magnificent Sigiriya, Prof. Senarath Dissanayaka, 2013
- Archaeological Guide to Sigiriya, Raja de Silva, 2004
- Sigiriya, R. H. De Silva, 1976
Saturday, April 27, 2024
මීන් විල්ලුවේ එරික් ස්වෝන් ගලේ අභිරහස්
සෝමාවතිය ජාතික උද්‍යානය, මීන් විල්ලුව, මීන් විල්ලුවේ සහ මහවැලි ගඟ ඉවුරේ සැරිසරන විල් අලි ලෙසින් හැඳින්වෙන අලින්ගේ සහ එරික් ස්වෝන් ගලේ දර්ශන සහිත කෙටි වීඩියෝව >>
![]() |
| මීන් විල්ලුවේ සැරිසරන වන අලි |
1951 වර්ෂයේ සැප්තැම්බර් අවසාන භාගයේ වූ මේ සිදුවීම, පසුකාලීනව එම සිදුවීම සිදුවන අවස්ථාවේ එයට මුහුණදුන් පුද්ගලයකු ලෙසට සිටි ස්ටැන්ලි ද සිල්වා මහතා විසින් එකල Wild Life Protection Society of Ceylon ලෙසින් හැඳින්වූ මුල් යුගයේදී Ceylon Game and Fauna Protection Society වූ වර්තමාන Wild Life and Nature Protection Society of Sri Lanka සංගමයේ සඟරාව වූ Loris දහවන කලාපයට (1964-1966) Eric Swan's Last Journey ලෙසින් ලිපියක් ලියමින් විස්තර කර ඇත. ඒ අනුව ඔහු මග පෙන්වන්නා (Game Ranger) ලෙසින් එකතු වී ඇත්තේ ප්‍රවීන සිනමාවේදී ලෙස්ටර් ජේම්ස් පීරිස්ගේ රේඛාව ඇතුළු සිනමා නිර්මාණ රැසකට කැමරා ශිල්පියා ලෙසින් දායක වූ මෙරට සිටි ප්‍රධාන පෙලේ සිනමා කැමරා ශිල්පියෙකු වන විලියම් බ්ලේක් (නැතහොත් විලී බ්ලේක් - විලී බ්ලේක්ගේ දියණියන් ඔහුගේ අභාවයෙන් පසුව ඔහු පිළිබඳව තැබූ සටහන කියවීමට >>) ඇතුළු පිරිසක් සමග වන අලින් චිත්‍රපටයකට නැගීම සඳහාය. දෙවන දිනයේදී ඔවුන් සමග මෙම සිද්ධියට මුහුණ දුන් එවකට සිටි ප්‍රකට වනසත්ව ඡායාරූප ශිල්පියෙකු වන එරික් ස්වෝන්ද එකතු වී ඇත (එරික් ස්වෝන් බ්‍රිතාන්‍ය ජාතිකයෙකු නොවේ. ඔහු මෙරට බර්ගර් ලෙසින් හැඳින්වෙන ජන වර්ගයට අයත් පුද්ගලයෙකි.) මීන් විල්ලුව ආසන්න ස්ථානයක කඳුවුරු බැඳ සිටි එම පිරිස පසු දින නැවතත් එයට පෙර දින ඔවුන් දුටු 72 ක පමණ වූ අලි රංචුව ඡායාරූපයට නැගීම උදෙසා ප.ව. 2.30 ට පමණ මීන් විල්ලුව වෙත පැමිණ ඇත. එහෙත් සැතපුම් ගණනාවක් ඇවිද ගියමුත් ඔවුන්ට කිසිදු අලියෙකු දැකගැනීමට හැකි නොවූ හෙයින්, පෙරදින අලි රංචුව නැරඹු ගල් පර්වතය [දැන් එරික් ස්වෝන් පර්වතය ලෙසින් හැඳින්වෙන ස්ථානය] වෙතට පැමිණ ඇත්තේ විඩා නිවීම උදෙසාය. ප.ව. පහට පමණ කණ්ඩායමේ සිටි ලැනරෝල් මහතා (මේ තවත් පිරිසක් සමග මහියංගනයේ සිට මහවැලි ගඟ දිගේ ඔරුවකින් පහලට චාරිකා කරමින් පසුව ඒ පිළිබඳව වන නදිය නමින් පොතක් ලියූ සැමුවෙල් ඩියුක් දි ලැනරෝල් මහතා වේ. විලී බ්ලේක්ගේ නායකත්වයෙන් සිදු කල එම ගමනට එරික් ස්වෝන්ද සහභාගී වී ඇත. ලැනරෝල් මහතා සිය වන නදිය පොතේ පිරිනැමීම සිදු කර ඇත්තේද ඔහුට වන චාරිකා යාමට ඇල්ම ඇති කරවූ එරික් ස්වෝන් නම් මිතුරාගේ ස්මරණය උදෙසාය.) වනාන්තරය තුලින් මතුවූ තනි අලියෙකු දැක ඇති අතර, පිරිස තීරණය කර ඇත්තේ එම අලියාව සමීපව ඡායාරූපගත කිරීම උදෙසා ඒ දෙසට යා යුතු බවය. ස්ටැන්ලි මහතා සමග එරික් සහ විලී බ්ලේක් කැමරා සහ තුවක්කු රැගෙන පඳුරු වලට මුවා වෙමින්, සුලඟ හමන දිශාව නිරීක්ෂණය කරමින් ඒ දෙසට ගමන් කර යාර 50 ක් පමණ දුරක සිට පඳුරකට මුවාවී ඔවුනට පසු පස හරවාගෙන සිටි එම ඇතින්න ඡායාරූපයට නැගීම සහ චිත්‍රපටගතකිරීම අරඹා ඇත.
![]() |
| මීන් විල්ලුවේ යාර 200 ක පමණ දුරක සිටින ඇතින්නක සහ පැටවෙකුගේ ඡායාරූපයක් - එරික් ස්වෝන් සිටි යුගයේ මෙන් ජීවිත අවදානමක් නොගෙන අද එවන් ඡායාරූපයක් ගැනීම තාක්ෂණයේ දියුණුව සමග පහසුවෙන් කල හැක. |
මද වේලාවකට පසුව එරික් පවසා ඇත්තේ ඇතින්නට තව දුරටත් සමීප විය යුතු බවය. ස්ටැන්ලි සහ බ්ලේක් එයට එකඟ වී නොමැති මුත් මෙයට පෙර අවස්ථා වලදී අලින්ට ඉතාමත් ලන්ව ඡායාරූප ගත කර පලපුරුදු එරික් තනිව හෝ යන බව පවසා යාමට සැරසුන විට අනෙක් දෙදෙනාද ඔහු සමග එකතු වී ඇත. ඒ අවස්ථාවේ එරික්ගේ රයිපලය පරික්ෂා කල ස්ටැන්ලි එය ලෝඩ් කර නොමැති බව දැක එය ලෝඩ් කර ඔහුට දී, ඔවුන්ද සිය රයිපල් අතැතිව එරික් සමග එකතු වී ඇත. සුලඟ ඔවුන්ට වාසිදායක දිශාවට තිබූ හෙයින් ඇතින්නට යාර 25 ක් 30 ක් පමණ දක්වා ලගාවීමට හැකිවී ඇති අතර ඇතින්න ඔවුන් පිළිබඳව කිසිදු දැනීමක් නොමැතිව තණකොල කමින් සිට ඇත. මේ අවස්ථාවේ බ්ලේක් සිය සිනමා කැමරාව ක්‍රියාත්මක කර ඇති අතර ස්ටැන්ලි මහතා සැක කරන ලෙසට එහි ශබ්දය ඇතින්නට ඇසුනා විය යුතුය. ඒ අවස්ථාවේ මදක් දකුණු පසට හැරුන ඇතින්න හොඩවැල ඉහලට ඔසවා තප්පර කිහිපයක් සුලඟ පරික්ෂා කර බලා එක්වරම ඔවුන් සිටි දිශාවට හැරී අදහාගත නොහැකි වේගයකින් හොඩවැල ඉහලට කරකවාගෙන ස්ටැන්ලි මහතා විස්තර කරන ලෙසට ශීඝ්‍රගාමී දුම්රියක වේගයෙන් ඔවුන්ට පහරදීමට පැමිණ ඇත.
අන් අයට දුවන ලෙසට කෑගසා පවසා ස්ටැන්ලි මහතා තමා දෙසට එන ඇතින්නට වෙඩි තබා ඇති මුත් එය සාර්තක වී නැත. මේ අවස්ථාවේ කැමරාවට ඇස තබාගෙන සිටි බ්ලේක් එයින් ඇස ඉවතට ගෙන එක් වරක් ඇතින්න දෙස බලා දිවගිය බවත් එරික්ද ඔහු අනුගමනය කල බවත් හෙතෙම පවසයි. වෙඩිල්ල අසාර්ථක වූ බැවින් ඔහු හැකි උපරිම වේගයෙන් පර්වතය දෙසට දිව ගොස් ඇත. එසේ දුවන අතරේ ස්ටැන්ලි එක්වරම ඔහුට යාර 10 ක් 15 ක් පමණ දුරින් එරික් එන බව දැක ඔහුට ඉක්මන් කරන ලෙස පවසා ඇති මුත්, එරික් සිනාසී හිස වනා අලියා දෙසට හැරී බිම දිගාවී, ඇතින්න යාර කිහිපයක් දක්වා ලගාවන තෙක් සිට වෙඩි තබා ඇත. ඇතින්න දනින් වැටුන මුත් එක්වරම යලි නැගිට ඒ වන විට නැවතත් සිය රයිපලය ලෝඩ් කරගැනීමට උත්සහ කරමින් සිටි එරික් වෙත වේගයෙන් පැමිණ ඇත. මේ අවස්ථාව වනවිට තම රයිපලය නැවතත් ලෝඩ් කරගෙන සිටි ස්ටැන්ලි සිය දනහිස් වලින් එරික්ව තල්ලු කරදමා පාගමින් සිට ඇති ඇතින්න වෙතට නැවතත් වෙඩි තබා ඇත. එවිට එරික්ව අතහැර දැමූ ඇතින්න ස්ටැන්ලි වෙත දිව ආ බැවින් දුවන්නට පටන්ගත් ස්ටැන්ලි එක්වරම ගැඹුරු වලක වැටී ඇද වැටී ඇත. අනෙක් පස හැරෙන විට ඇතින්න වේගයෙන් තමන් දෙසට එන බව දකින ස්ටැන්ලි පවසන්නේ තමන් කිසිදා යාඥා නොකල ලෙසට යාඥා කිරීමට පටන් ගත් බවත්, සිය යාඥාවෙන් ස්වර්ගයේ දොරටු දෙදරා ඇතින්න එක්වරම ඔහුගෙන් ඉවත් ව ඔහුට ආසන්නව වූ කිසියම් පඳුරක් දෙසට දිවගොස් එය පාගා පොඩි කර කුංච නාද නගමින් වනාන්තරයට දිවගිය බවත්ය.
![]() |
| මීන් විල්ලුව අසල මහවැලි ගං ඉවුරේ සැරිසරන ඇතින්නක සහ පැටවුන් දෙදෙනෙක් (ජනවහරේ බොහෝවිට තුන්පත් රැල ලෙසින් හැඳින්වෙන්නේ මෙවන් ඇතින්නක සහ ඇගේ පැටවුන් වේ.) |
ඇතින්න ගිය පසු එරික් සිටි තැනට යන ස්ටැන්ලි දකින්නේ ඔහු අධික ලෙසින් නහයෙන් සහ කටින් ලේ දමමින් සිටින බවය. සිහි විසඥව සිටි මුත් ඔහුගේ ඇතින්න විසින් පාගා බෙලහීන කර දැමූ ශරීරයේ ජීවයක සලකුණක් යන්තම් තිබූ බව ස්ටැන්ලි පවසයි. එම ස්ථානයට යාර 50 ක් 60 ක් පමණ දුරින් උස පඳුරකට මුවා වී සියල්ල බලා සිටි බ්ලේක්ද ඒ වන විට එතනට පැමිණ ඇත. ස්ටැන්ලි තවත් පිරිසක් සමග මේ කාලයේ මහවැලි ගඟේ ඉවුරු දෙපස දුම්කොළ වගාවන් කල මුස්ලිම් ගොවියෙකුගෙන් ලබාගත් කරත්තයක එරික්ව මීන්විල්ලුවේ සිට මහවැලි ගඟේ ඉවුරු දෙසට රැගෙන ගොස් මැස්සක තබා ඇති අතර, එහිදි ඔහු සිය අවසන් හුස්ම හෙලා ඇත. එරික්ගේ සිරුර පසු දින පොළොන්නරුවට ගෙන ගොස් එහිදී හිඟුරක්ගොඩ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරියා වූ දොස්තර නීල් ලූස් ලවා සිදු කල පශ්චාත් මරණ පරික්ෂණයේදී හෙලිවී ඇත්තේ එරික්ගේ හිස් කබල, එක් හනුවක් සහ ඉල ඇට කිහිපයක් කැබලි වී ඇති බවය. කොළඹදී සිදුවූ අවසන් කටයුතු වලින් පසුව වනසතුන් දඩයම් කිරීම ක්‍රීඩාවක් ලෙස කල පිරිසක් (මේ කාලයේ එය නීතිවිරෝධී නොවේ.) සූදානම් වී ඇත්තේ එරික්ට පහර දුන් ඇතින්න සොයා ගොස් මරා දැමීමටය. ඔවුන්ගේ තර්කය වී ඇත්තේ එම ඇතින්න ඉන්පසු මිනීමරු අලියෙකු බවට පත්විය හැකි බැවින් එසේ කල යුතු බවය. එහෙත් පුවත්පත් මගින් ඇති කල විරෝධය හමුවේ වන සත්ව දේපාර්තමේන්තුවේ අධිපති C.W නිකොලස් මහතා ඔවුන්ට සිය අදහස අතහැර දමන ලෙස ඒත්තු ගන්වා ඇත. ස්ටැන්ලි මහතා අවසාන වශයෙන් පවසන්නේ ඉන්පසුවද ඔහු වරින් වර මීන් විල්ලුවට ගිය බවත්, වන අලි රංචු නොයෙක් වර දැකගැනීමට හැකිවුවද එරික්ව මරාදමූ ඇතින්න නැවත කිසි දිනක නොදුටු බවත්ය.
| එරික් ස්වෝන් පර්වතයේ වර්ෂ 2008 දී ගත් ඡායාරූපයක්. ඒ වන විට පර්වතය මැනවින් මාර්ගයේ සිට දැකිය හැකි ලෙසට තිබී ඇත. මේ වන විට පර්වතය බොහෝදුරට වනාන්තරය තුල සැගවී ඇත. |
| වර්ෂ 2008දී ගත් ඡායාරූපයක් .එම යුගයේ ඉහත ඡායාරූපයේ ගස් කොළන් වලින් වැසී ඇති ගුහාව මැනවින් දර්ශනය වන අයුරින් තිබී ඇත. |
| එම ගුහාවේ පොළොව මත ආසනයක් වැනි යමක් මතු කර ඇත (වර්ෂ 2008 දී ගත් ඡායාරූපයක්) |
එරික් ස්වෝන් පර්වතයේ ඇති බ්‍රාහ්මී සෙල්ලිපි
මෙකල පවා නිතර වන අලින් ගැවසෙන මෙම පර්වතයේ කොටා ඇති සෙල්ලිපි පරික්ෂාකිරීම උදෙස එරික් ස්වෝන් ගේ මරණය සිදුවීමට අඩ සියවසකට පමණ පෙර වර්ෂ 1897 දී පැමිණෙන H.C.P. බෙල් මින් විල වගුරේ හුදකලාව පිහිටි දික් සහ නොඋස් ගල් කන්දක අවම වශයෙන් සෙල් ලිපි හයකට නොඅඩු ප්‍රමාණයක් ඇති බව එම වර්ෂය සඳහා වූ සිය වාර්තාවේ සඳහන් කරයි. එකම පර්වතයක සෙල් ලිපි මෙතරම් ප්‍රමාණයක් තිබීමට හේතුව තමන්කඩුවේ මෙම ප්‍රදේශයේ පවතින එවන් ගල් වල හිඟකම බවය බෙල්ගේ අදහස වන්නේ. එම සෙල්ලිපි වට්ටගාමිණී (පො.ව. පූර්ව 103 සහ පො.ව. පූර්ව 89-77), පළමුවන ගජබාහු (පො.ව. 114 - 136), මහල්ලක නාග (පො.ව. 136 - 143), ඔහුගේ පුත් භාතිය තිස්ස (පො.ව. 143 - 167) සහ කණිට්ඨ තිස්ස (පො.ව. 167 - 186) ආදී රජවරු කිහිප දෙනෙකුට අයත් බව පවසන ඔහු මෙම ස්ථානය මෙරට ශ්‍රේෂ්ඨතම වටිනා ඓතිහාසික "දැන්වීම් පුවරු" වල සංක්ෂිප්ත ගබඩාවක් බව පවසයි.
| මෙම ස්ථානයේ දැකිය හැකි පැරණිම ගිරි ලිපිය |
සෙනරත් පරණවිතාන මහතා පසු කලක බ්‍රාහ්මි අක්ෂර වලින් කොටා ඇති මෙම සෙල්ලිපි කියවා ප්‍රකාශයට පත් කර ඇති අතර ඒ අතරින් පේලි දෙකකින් යුත් පැරණිම සෙල්ලිපියේ මුල් පේලිය වමේ සිට දකුණට ලියා ඇති අතර අකුරු තුනකින් යුත් එහි දෙවෙනි පෙල පලමු පේලිය අවසාන වූ ස්ථානයේ පහලින් දකුණේ සිට වමට ලියා ඇත (ඉහත ඡායාරූපය බලන්න.)
දෙවනපිය කුලහි මහචුඩිකහ පුත පුටකණ අබයස අඩි දෙගම
ලෙසින් පෙළ සඳහන් වන එහි අදහස වන්නේ දෙවනපිය කුලයෙහි මහචුඩිගේ (පාලි- මහාචූලි) පුත් වූ පුටකණ අබයගේ දෙගම ඇල යන්නයි. ලිපියේ සඳහන් වන ඇල මාර්ගය වර්තමානයේදීද මෙම මීන් විල්ලුව හරහා මෙම ලිපිය පිහිටි පර්වතයට නුදුරින් ගලා බසින ඇල ලෙස හඳුනාගන්නා ඒ මහතා බෙල් විසින් වට්ටගාමිණී අභය ලෙසින් හඳුනාගන්නා පුටකණ අබය ලෙසින් ලිපියේ හැඳිවෙන්නේ මහාවංශයේ කුටකණ්ණතිස්ස (පො.ව. පූර්ව 44 - 22) ලෙසින් හැඳිවෙන රජු ලෙස හඳුනාගනී. ඒ අනුව එම ඇල ඉදිකර ඇත්තේ කුටකණ්ණතිස්ස රජු බව එතුමා නිගමනය කරයි. මහාවංශයේ සඳහන් වන ලෙසට කුටකණ්ණතිස්ස රජුගේ පියා මහාචූලිකරාජ (පො.ව. පූර්ව 77 - 63) වේ. එම සම්බන්ධයද ලිපියේ කරුණු සමග එකග වන බව පවසන පරණවිතාන මහතා ලිපියේ පුටකණ ගේ රාජ නාමය නොමැත්තේ එම ලිපිය ඔහු රජ වීමට පෙර කරවූවක් හෙයින් විය හැකි බව සඳහන් කරයි.
| මෙම ස්ථානයේ ඇති තවත් මේ වන විට අකුරු එතරම් පැහැදිලිව දැකගැනීමට නොහැකි ගිරි ලිපියක් |
මුල් යුගයේ කරවූ එම සෙල්ලිපියට අනතුරුව කාලයේදී මෙම ස්ථානයෙන් හමුවන සෙල්ලිපියකට අනුව රජ-අඩි-පිටිය නම් ග්‍රාමය නාග මහරජු විසින් ඔහුගේ පුත් නකල විසින් කරවූ පජි(න) නකල අරබ විහාරයට [පාලි: ප්‍රාචීන නාගාරාම] දුන් බව පැවසේ.
සිද්ධ නක මහරජ රජ අඩි පිටිය තුමහ පුත අය නකලයහ කරිත පජි(න) නකල අරබ විහරටය දිනෙ
මෙම නක මහරජ H.C.P. බෙල් විසින් මහල්ලක නාග රජු ලෙස හඳුනාගන්නා අතර සෙනරත් පරණ්විතාන මතය වනුයේ එම රජු මහාදාඨික මහානාග රජු (පො.ව. 7 - 19) බවය. මෙම සෙල්ලිපි සහිත පර්වතයට නුදුරින් පිහිටි වර්තමානයේ සෝමාවතිය ලෙසින් හඳුනාගන්නා පුදබිමෙන් හමුවූ පුවරු ලිපියක මහනක රජ ගේ පුත් අය නකල (නකල කුමරු) විසින් කරවූ පජිනි නක අරබ විහාරයට මහනක රජු විසින් ඒ ආසන්නයේ වූ රජළි කෙතෙහි කරිස සතක් පිරිනැමූ බව කියැවේ. මේ අනුව සෙනරත් පරණවිතාන මහතා පවසන්නේ ඔහු විසින් මහාදාඨික මහානාග රජු ලෙසින් හඳුනාගන්නා මෙම ලිපි දෙකෙහි නක මහරජ/මහනක රජ ලෙසින් සඳහන් වන රජුගේ නකල නම් වූ වංශ කතා වල නම සඳහන් නොවන පුතෙකු විසින් ප්‍රාචීන නාගාරාමය [පජිනි නක අරබ] නම් වූ විහාරය කරවූ බවය. පොදු පිළිගැනීම කුමක් වුවත් ඒ අනුව වර්තමානයේ සෝමාවතිය ලෙසින් හැඳින්වෙන විහාරය ඒ අනුව එකල හදුන්වා ඇත්තේ ප්‍රාචීන නාගාරාමය [පජිනි නක අරබ] ලෙස බවත් එය මහාදාඨික මහානාග රජුගේ නකල නම් වූ පුත්‍රයා විසින් කරවූ බවත් පිළිගැනීමට සිදුවේ.
| එරික් ස්වෝන් ගේ නමින් නම් වූ පර්වතය |
මීන්විල්ලුවේ පිහිටි පර්වතයේ වූ ලිපියේ රජ අඩි පිටිය ලෙසින් හැඳිවෙන ග්‍රාමය එහි වචානාර්ථය අනුව රාජකීය ඇලේ ඉහලින් පිහිටි භූමිය ලෙසින් හඳුනාගත හැකි අතර, ඒ අනුව මුල් ලිපියේ සඳහන් කුටකණ්ණතිස්ස විසින් කරවූ 'ඇලෙහි ඉහලින් පිහිටි පිටියේ වූ ග්‍රාමය' මෙලෙස විහාරයට පිරිනමා ඇති බවට අනුමාණ කල හැක.
| සෙල්ලිපි වටා පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව විසින් යොදා ඇති ආරක්ෂිත යකඩ වැට මෙහි පැමිණෙන්නන් විසින් හෝ වන අලින් විසින් බොහෝදුරට විනාශ කර දැමීමට පෙර (2008 වර්ෂයේදී ගත් ඡායාරූපයක්) |
මෙම පර්වතයේ කොටා ඇති කොටස් විනාශ වී ගිය තවත් ලිපියක දෙව(නපි)ය පුටකණ අබ(ය මහ) රජ ගේ මුණිබුරු නක මහ රජගේ පුත් දෙව(නපිය ගමිණි) අබ මහ රජ යන කොටස පමණක් කියවිය හැක. තවද සෙනරත් පරණවිතාන මහතා විසින් අනුමාණ වශයෙන් පළමුවන ගජබාහු (පො.ව. 114 - 136) ලෙස හඳුනාගන්නා යුදජි (Conqueror in Battle/සංග්‍රාමයේ විජයග්‍රාහක) ගමිණි අබය ලෙසින් ලිපියේ සඳහන් වන රජු විසින් (රජ අ)ඩිය ගමේ ආදායම මණි(අගිය විහර) ට දුන් බව සඳහන් වන පළමුවන හෝ දෙවන සියවස් වල අක්ෂර සහ ලිපියේ භාෂාව අයත් කල හැකි, ඇතැම් අකුරු කියවිය නොහැකි ලිපියක්ද මෙම ස්ථානයේ තිබේ. එම ලිපියේහිද රාජකීය ඇල [රජ අඩිය] ග්‍රාමය යන සඳහන ඒ. මෙහි සඳහන් මණි (අගිය) විහාරය වර්තමාන සෝමාවතී දාගැබ පිහිටි භූමියේ වූ විහාරය ලෙස හඳුනාගන්නේ නම් මේ වන විට එහි මුල් නම [පජිනි නක අරබ] වෙනස් වී ඇති බවක් පෙනේ.
| එවකට හොඳ තත්වයෙන් තිබූ තවත් සෙල්ලිපියක් ( 2008 වර්ෂය ) |
මෙහි ඇති පස්වන සෙල්ලිපියේ (නක) මහරජුගේ පුත් ම[ලු]තිස මහරජ ර(ජ)අ(ලි )විටියේ හවිටක සරහි (අකඩ) සග අරබ කරවා බවකිරිය නිකායට දුන් බව පැවසේ. බවකිරිය නිකාය, අභයගිරි නිකාය ලෙසින් සහ මලු රජ ලෙසින් හඳුන්වන්නේ කණිෂ්ඨතිස්ස රජු (පො.ව. 167 - 186) ලෙසින් හඳුනාගන්නා සෙනරත් පරණවිතාන මහතා ඒ අනුව මේ ලිපියේ අදහස වන්නේ නාග මහරජුගේ පුත් වූ කණිෂ්ඨතිස්ස මහ රජු විසින් රජ-අලි-විටියේ, හවිටක විල සමීපයේ නිත්‍ය ලෙස සංඝාරාමයක් කරවා එය අභයගිරි නිකායට පිරිනැමූ බව යැයි සඳහන් කරයි. මුලින් රජ-අඩි-පිටිය ලෙසින් හැඳින්වූ ගම පසුකාලීනව රජ-අඩි-ගම වී මේ වන විට රජ-අලි-විටිය ලෙසින් වෙනස්වී ඇති බව පෙනේ.
| මහවැලි ගඟේ නව ගමන් මාර්ගයේ සිට ඇරඹී මීන් විල්ලුව හරහා ගමන් කර එහි පැරණි ගමන් මාර්ගය සමග එක්වන ඇල මාර්ගය |
| සෝමාවතිය රජමහාවිහාර භූමියේ ඇති පුවරු ලිපියක් |
| සෝමාවතිය රජමහාවිහාර භූමියේ ඇති පුවරු ලිපියක් |
| මීන් විල්ලුව |
මහවැලි ගඟේ ගමන් මාර්ගයේ සිදු වූ වෙනස්වීම්
රාජකීය ආසියාතික සමිති සඟරාවේ විශේෂ කලාපයක් ලෙස 1980 දී ප්‍රකාශයට පත් කල ශ්‍රී ලංකාවේ පැරණි ප්‍රධාන වාරිමාර්ග කටයුතු පිළිබඳව වූ A. ඩෙනිස් N. ෆර්නැන්ඩෝ මහතාගේ ලිපියේ එතුමා ඓතිහාසික යුගයේ සිදුවූ ලෙසට අනුමාණ කරන මහවැලි ගඟේ ප්‍රධාන අපගමනයක් පිළිබඳව එවකට බොහෝ දෙනෙකුට පරිශීලනය කිරීමට නොලැබුනු ගුවන් ඡායාරූප උපයෝගි කරගනිමින් කරුණු ඉදිරිපත් කරයි. මහවැලි ගඟේ ගමන් මගෙහි සිදුවූ එම වෙනස්වීම භූ කම්පනයක් හේතුවෙන් සිදුවූ බවට අනුමාන කරන ඒ මහතා එය සිදුවූ කාලය පිළිබඳව යම් මතයක් ඉදිරිපත් කිරීමටද ඓතිහාසික මූලශ්‍ර වල එන කරුණු අනුව එම ලිපියෙහි යම් උත්සාහයක් දරයි. එම කරුණු වල යම් යම් පිළිගත නොහැකි උපකල්පන ඇති මුත් ඒ පිළිබඳව දීර්ඝ ලෙස විමසා බැලීම මෙම ලිපියෙහි අරමුණ නොවේ. කෙසේ නමුත් කඳු නිම්න වලින් ඔබ්බේ වූ සමතලා බිමක වන ගංගාවක ගමන සැමදා එක ලෙස නොතිබූ බව මහවැලි ගඟේ පමණක් නොව මෙරට වෙනත් ගංගා වලද ඒ ආශ්‍රිත භූ විෂමතා විමසා බැලීමේදී පැහැදිලි වේ. මල්වතු, වලවේ, කලා ඔය වැනි ගංගා වලද ගං මෝය ආසන්නයේ එවන් තත්වයන් දැක ගත හැක. කාලයත් සමග එකතු වන වැලි පර වැනි ස්වභාවික බාධක නිසාද, අධික ලෙස වර්ෂාව පවතින කාලයේ එකවර පැමිණෙන යෝධ ජලධාරාව නිසාද ගංගාවක් එවන් අලුත් මං සලකුණු කරගනිමින් සිය ගමන යාමට පෙලඹෙනු ඇත.
| මීන් විල්ලුව පසු කර කන්දකාඩුව දෙසට යාමේදී හමුවන සෝමාවතිය පාලම අසලදී මහවැලි ගඟ |
සුප්‍රසිද්ධ මනම්පිටිය පාලම අසල සිට මහවැලි ගඟේ සැතපුම් තුනක් පමණ පහලට ගිය විට ගඟ දෙකට බෙදී විශාල දූපතක් තනමින් ගමන් කර නැවත එකට එකතුවේ. මෙම දූපතේ දකුණු පස වූ තැනකින් මේ වන විය වියලී ගොස් ඇති මහවැලි ගඟේ පැරණි ගමන් මාර්ගය හමුවේ. මහවැලි ගඟේ පැරණි ගමන් මාර්ගයෙන් නව ගමන් මාර්ගය වෙන්වන තැන සිට සැතපුම් දෙකක් පමණ පහලට යාමේදී මහවැලි ගඟේ ජලයට අර්ධ වශයෙන් යටවූ, ඇතෙකුගේ ජීවමාන ප්‍රමාණයට සමාන පැරණි ශෛලමය ඇත් රුවක් හමුවේ (මේ වන විට මෙම ඇත් රුව නිදන් හොයන අමනයන් විසින් සම්පූර්ණයෙන්ම විනාශ කර ඇති බව පැවසේ. එහි පැරණි කළු සුදු ඡායාරූපයක් පමණක් එවන්නක් තිබූ බවට සාක්ෂ්‍යයක් ලෙසට ඉතිරිව ඇත.) ඩෙනිස් ෆර්නැන්ඩෝ මහතා අනුමාණ කරන්නේ මෙම ඇත් රුව මහවැලි ගඟේ ගමන වෙනස්වීමත් සමග එහි ජලකඳට බිලිවූ පැරණි කිසියම් ආරාමයක තිබූවක් බවය. මෙම ස්ථානය පසු කල පසු මහවැලි ගඟ සෝමාවතී පුද බිමට ඊසාන දෙසින් වූ ස්ථානයකදී එහි පැරණි ගමන් මාර්ගය සමග එක්වන අතර එතැන් සිට නැගෙනහිර දෙසට වූ පැරණි ගමන් මගක්ද චන්ද්‍රිකා ඡායාරූප වල යන්තමින් දැකගැනීමට හැක. ඩෙනිස් ෆර්නැන්ඩෝ මහතා අනුමාණ කරන්නේ මහවැලි ගඟේ ගමන් මගේ සිදුවූ මෙම වෙනස එකල සරුසාර කෙත් බිම් වලින් පිරී තිබූ මෙම ප්‍රදේශය ජනශූන්‍ය වී වන ප්‍රවාහය විසින් යටවී යෑමට බලපාන්නට ඇති බවය.
![]() |
| මහවැලි ගඟේ පැරණි ගමන් මාර්ගය සෝමාවතී පුදබිමට ඊසාණ දෙසින් වූ ස්ථානයකදි එහි නව මාර්ගය සමග එක්වේ. (සිතියම විශාලනය කර බැලීම උදෙසා ඒ මත ක්ලික් කරන්න) |
![]() |
| මහවැලි ගඟේ නව ගමන් මාර්ගයේ සිට එහි පැරණි ගමන් මාර්ගය දක්වා මීන් විල්ලු හරහා ජලය ගලා බසින ඇල මාර්ගය (සිතියම විශාලනය කර බැලීම උදෙසා ඒ මත ක්ලික් කරන්න) |
![]() |
| ඉහත ඇල මාර්ගය මහවැලි ගඟේ පැරණි ගමන් මග සමග එක්වන ආකාරය (සිතියම විශාලනය කර බැලීම උදෙසා ඒ මත ක්ලික් කරන්න) |
- Archaeological survey of Ceylon, North Central, Central And Eastern Provinces, Annual Report, 1897, Bell, H.C.P. 1904
- Archaeological survey of Ceylon, Inscription of Ceylon, Volume 2, Part 1, Paranavitana S., 1983
- Archaeological survey Department , Inscription of Ceylon, Volume 2, Part 2, Paranavitana S., Editor Malini Dias, 2001
- මහාවංස 1 වෙළුම, මාගධී පෙළ සහ සිංහල අනුවාදය, නව සංස්කාරක චන්ද්‍ර වික්‍රමගමගේ, සිංහල අනුවාදය අරුණ තලගල, 2012
- Diversity of Terrestrial Vegetation in Sri Lanka, A.H. Magdon Jayasuriya, Phd,
- A Directory of Asian Wetlands
- Canoeing along the Mahaveli In Sri Lanka River In The Jungle, S.D. de Lanerolle, 2003
- University of Ceylon History of Ceylon Volume 1, Part 2, 1960.
- Journal of the Sri Lanka Branch of the Royal Asiatic Society, Major Ancient Irrigation Works of Sri Lanka, New Series Volume XXII Special Number, by A.Denis .N. Fernando, 1980
- Saga of the elephant in Sri Lanka , Extracts from Loris Volume 1 (1936) - Volume 10 (1964) Part 1, Compiled by Ranasinghe D.B. et. al., 2010
















