Saturday, May 11, 2024

නොදකින සීගිරිය - සීගිරි ජල උද්‍යානයේ දෙපස පිහිටි කාශ්‍යප රජුගේ (?) 'ශීත මාළිගා'

වර්ෂ 1875 අප්‍රියෙල් 19 දින මහා බ්‍රිතාන්‍ය සහ අයර්ලන්ත රාජකීය ආසියාතික සංගමයට (Royal Asiatic Society of Great Britain and Ireland) On the Ruins of Sîgiri in Ceylon මැයෙන් දේශනයක් කරන එවකට ප්‍රසිද්ධ වැඩ දෙපාර්තමේන්තුවේ නිලධාරියෙකු වූ T. H. Blakesley පවසන්නේ 'සීගිරි නගරයේ' බටහිර කොටසේ දිය අගල් වලින් වටවූ, ඒවායෙහි බෑවුම් වල විශාල ගල් සහිත ගොඩැලි දෙකක අවශේෂ ඇති බවය. මේවා ඇතැම් විට ආගමික ඉදිකිරීම් විය හැකි බවත්, එවැනි ආගමික ගොඩනැගිලි ඉදිරියෙහි, අවම වශයෙන් මෙරට දාගැබ් ඉදිරිපිට දැකිය හැකි පරිදි ජලය තිබීම අනිවාර්යයෙන් අරුමයක් නොවන බවත්ය. එහෙත් ශක්තිමත් ගල් බැමි පැවතීම සහ ස්ථානයේ ඓතිහාසික තොරතුරු අනුව ඒවා යුධ බලකොටු ලෙස හඳුනාගැනීම වඩාත් නිවැරදි බවයි ඔහුගේ අදහස. 

සිතියම 1

බ්ලැකස්ලි 'යුධ බලකොටු' ලෙසින් හඳුනාගන්නා මෙම ස්ථාන දෙකට (ඉහත සිතියමේ A සහ B) අමතරව තවත් එවැනිම කුඩා 'යුධ බලකොටු' දෙකක් (ඉහත සිතියමේ C සහ D) ඒවාට මදක් දුරින් සීගිරියේ පිටත ප්‍රාකාරයට සමීපව පසුකාලීනව හඳුනාගෙන ඇත (එහෙත් එම ස්ථාන දෙකේ මෙතෙක් කිසිදු කැණීමක් සිදුකර නොමැති අතර දැනට පහසුවෙන් ලගාවිය නොහැකි ලෙසින් වනාන්තරයේ සැඟවී ඇත. H.C.P. බෙල් 1899 වර්ෂය සඳහා වූ සිය පුරාවිද්‍යා ගවේෂණ වාර්ෂික වාර්තාවේ අංක 3 සහ 5 දරන දූපත් ලෙසින් හඳුනාගන්නා එම ගොඩැලි වල සහ ඒවා වටා පිහිටි දිය අගල් වල මිණුම් කටයුතු සිදු කර එම අගයන් එහි ඇතුලත් කර ඇති අතර, කැණීමක් සිදු කරන්නට තරම් වැදගත් යමක් ඒවායෙහි පෙනෙන්නට නොමැති බව පවසයි) ඒ අතරින් ඉහත සිතියමේ A ලෙසින් සලකුණු කර ඇති ස්ථානය බොහෝදුරට කැණීම් කර සංරක්ෂණය කර ඇත. දිනපතා සීගිරි බලන්නට පැමිණෙන බොහෝ දෙනා ඉදිරියෙන් පෙනෙන සීගිරි ගල දෙස පමණක් දෙනෙත් යොමුකරගෙන බිතුසිතුවම් බලා, මෑත කාලීනව ගුරුළු පාදයක් කල සිංහ පාදය බලාගෙන*, ගල උඩට නැග අවට නරඹා, ආපසු යාමට හැල්මේ දිවයන පෙත් මගින් මදක් දකුණට වන්නට එය පිහිටා ඇති බව නොදනී. නොදකී. 'ශීත මාළිගය' නැතහොත් 'ගිම්හාන මාළිගය' ලෙස හැඳින්වෙන මෙම ස්ථානය පිළිබඳව දැනුවත්ව එය මතට යා හැකි ආකාරය විමසා බලන කෙනෙකුට වුවද එක්වරම එයට යා හැකි ආකාරය සොයා ගත නොහැක. නමුත් එහි දකුණු කෙලවර පිහිටි ගල් තලාව මතින් විදේශිකයන් සඳහා වෙන්වූ රථගාල දෙසින් පමණක් දිය අගල ජලයෙන් පිරී ඇති වැසි සමයන්හී ප්‍රවේශ වීමට සිදුවන මුත්, වියලි කාලයන්හි දිය අගල හරහා දිය අගලට බැස එහි මුදුනට යාමේ හැකියාව ඇත. 

*ගුරුළු පාද කතාවේ සත්‍ය අසත්‍යතාවය පිළිබඳව දැනගැනීමට >>

ශීත මාළිගයට එහි දකුණු දෙසින් පිවිසීමට හැකි ලෙස දිය අගල හරහා ඇති පර්වතය. මෙහි ගලේ දික් අතට හාරා ඇති කානු දෙක තුල පදනම දමා බිත්ති බැඳ මෙයට පිවිසීමට හැකි වන ලෙසින් සංවෘත ප්‍රවේශ මාර්ගයක් ඉදිකර තිබෙන්නට ඇති බව අනුමාණ කරයි.

1899 වර්ෂය සඳහා  වූ පුරාවිද්‍යා ගවේෂණ වාර්ෂික වාර්තාවේ H.C.P. බෙල් දූපත් අංක 2 සහ දූපත් අංක 4 ලෙසින් නම් කරමින් ඉහත බ්ලැකස්ලි බලකොටු ලෙසින් හඳුනාගන්නා ගොඩැලි දෙක පිළිබඳව විස්තර ඉදිරිපත් කරයි. පිළිවෙලින් අංක 2 සහ අංක 4 දූපත් ලෙසින් ඔහු හඳුන්වන්නේ ඉහත සිතියමේ (සිතියම 1) A සහ B ලෙසින් සලකුණු කර ඇති ස්ථානයි.

වැසි සමයෙහි ජලයෙන් පිරී ඇති ශීත මාළිගය වටා වූ දිය අගල සහ මාලක තුනක් ලෙසින් තනා ඇති  එහි කොටු පවුර

අංක 2 දූපත (සිතියමේ A)


පාළමක් හරහා බටහිර දෙසින් දිය අගල උඩින් සහ බිත්ති වලින් වටවූ ගමන් මගක් හරහා දකුණින් මෙයට ප්‍රවේශයන් තිබෙන්නට ඇති බව පවසන බෙල් එම දකුණු පිවිසුමේ බිත්ති ඉදිකර තිබූ පදනම් දැනට ගලේ දැකිය හැකි කට්ට දෙක තුල (ඉහත රූපය බලන්න) තිබෙන්නට ඇති බවට අනුමාණ කරයි. ගොඩැල්ලේ පැති සතරම සුන්බුන් වලින් වැසී තිබූ මුත් එම බෑවුම් අවම වශයෙන් ස්ථර තුනකට තනා තිබෙන්නට ඇති බව සුන්බුන් අවම වශයෙන් තිබූ නැගෙනහිර බෑවුම අනුව බෙල් සැක කරයි. ගොඩැල්ල මධ්‍යයේ විශාල දිගැටි ගොඩනැගිල්ලක් තිබී ඇති බවට සුළුවෙන් නමුත් සාධක විද්‍යාමාන වන බවත්, එහි බිම ගඩොල් අතුරා තිබූ බව සහ නැගෙනහිර පිවිසුමේ හුණුගල් පියගැට කිහිපයක් සහ සඳකඩපහණක් දැකිය හැකි බවත් බෙල් වැඩිදුරටත් සඳහන් කරයි. 
ශීත මාළිගය මතට පෙනෙන සීගිරි පර්වතය, ශීත මාළිගයේ නටබුන් අතර තිබූ බවට බෙල් සඳහන් කරන ශෛලමය සඳකඩපහණද මෙහි දැකගත හැක

එම ගොඩනැගිල්ල වටා ගඩොලින් කල සිදුරු සහිත සතැරස් පාදම් සිව් දිශාවෙන්ම දොළහ බැගින් තිබී ඇති බවත් ඒවා දැව කණු සිටවීම උදෙසා භාවිතා වන්නට ඇති බවත්, ගොඩනැගිල්ලේ පිට බැම්ම ඇතුලතින්ද එවන් පාදම් දැකිය හැකි බැවින් (ඉහත බෙල්ගේ වාර්තාව අනුව උපුටා සැකසූ කටු සටහන බලන්න) එම පිට බැම්මේ සිට මුළු ගොඩනැගිල්ලම ආවරනය වන පරිදි වහලයක් තිබෙන්නට ඇති බවටත් බෙල් අනුමාණ කරයි. 
ගඩොලින් කල සිදුරු සහිත සතැරස් පාදම් (මෑත කාලයේදී අලුතින් ගඩොල් යොදා සංරක්ෂණය කර ඇත.)

එම විශාල ගොඩනැගිල්ලට ආසන්නව නැගෙනහිර දෙසින්ද විශාල ගොඩනැගිල්ලේ පිට බැම්මට පිටින් තවත් කුඩා ගොඩනැගිල්ලක් තිබී ඇති බවත්, එහි පිවිසුම බටහිර දෙසින් විශාල ගොඩනැගිල්ලේ ලෙසින්ම පියගැට කිහිපයක් සහිතව තිබී ඇති බවටත් බෙල් හඳුනාගනී. එහි පදනම පිහිටි ගල මත වූ හෙයින් එතරම් ගැඹුරු නොවන බවත්, එහි බටහිර පිවිසුමේ පටු ආලින්දයක් වූ බවටත් වූ සාධක බෙල් හට දැක ගැනීමට හැකිවී ඇත.
වියලි කාලයේ දිය සිඳී ගිය ශීත මාළිගයේ දිය අගල සහ මාලක තුනකට තනා ඇති කොටු බැම්ම

අංක 4 දූපත (සිතියමේ B)

වඩාත්ම හොඳින් ආරක්ෂා වී ඇති දූපත ලෙසින් H.C.P. බෙල් හඳුන්වන මෙම ගොඩැල්ලේ පැති තුනක්ම කුඩා කැපූ ගල් වලින් බදාම දමා බැඳ තිබූ බවත්, ගොඩැල්ල මුදුනේ දිගැටි කුඩා කුටි තුනක වට පවුරු ඔහුට සොයාගැනීමට හැකිවූ බවත්, ඉන් දෙකක බිම ගඩොළු අතුරා තිබූ බවත් සඳහන් කරයි. හමුවූ සුන්බුන් අනුව මෙම කුටි වල වහලවල් උළු සෙවිලි කර තිබෙන්නට ඇති බවත් ඒවා බොහෝ විට විවෘත මණ්ඩප විය හැකි බවත් ඔහු තවදුරටත් පවසයි.
ශීත මාළිගයේ සංරක්ෂණය කර ඇති පැරණි ඉදිකිරීමක්

සංස්කෘතික ත්‍රිකෝණයේ යුනෙස්කෝ - ශ්‍රී ලංකා ව්‍යාපෘතියේ සීගිරිය ව්‍යාපෘතිය යටතේ 1982 වර්ෂයේ  අප්‍රියෙල් මාසයේ ඉහත A ලෙසින් හඳුන්වන ගොඩැල්ලේ කැණීම් ආරම්භ කර වසර කිහිපයක්ම සිදු කරගෙන ගිය අතර ඒ මගින් බෙල් අනුමාණ කල පරිදිම එහි ඉවුර මළු තුනක් ලෙසින් ඉදිකර තිබී ඇති බව හඳුනාගන්නා ලදී. ස්ථාන කිහිපයකම සිදු කල කැණීම් වලින් යකඩ ඇණ, ගඩොල් කැබැලි, උළු කැබැලි මෙන්ම වලන් කටු කැබැලි ආදිය හමුවී ඇත. විශේෂයෙන්ම එතරම් විනාශ වී නොතිබුණු උතුරු ඉවුරේ කැණීම් වලින් එහි මුල් ස්වරූපය පිළිබඳව මනා අදහසක් ගැනීමට හැකිවී ඇත. ස්ථාන බොහෝමයක එම ඉවුරු බැමි ඉදිකර තිබී ඇත්තේ මව් පාෂණය (Bed Rock) මත වන අතර, කොටු බැම්මෙන් වට කල එම ස්ථානයේ තිබූ ස්වභාවික පර්වතය මගින් දූපතේ හැඩය මතු කර ගැනීමට නොහැකි ස්ථාන වලදී පමණක් අවශ්‍ය පරිදි එම කොටස් පස් පුරවා එය සිදුකරගෙන ඇති බව හඳුනාගෙන ඇත. තවද කොටු බැම්මේ පහල කොටස් බැඳීම උදෙසා උපයෝගි කරගත් අඩක් ඔප මට්ටම් කල ගල් කුට්ටි බැම්මේ ඉහල කොටස බැඳීමට යොදාගත් ගල් කුට්ටි වලට වඩා විශාල ඒවාය.
වැසි සමයෙහි ජලයෙන් පිරී ඇති ශීත මාළිගය වටා වූ දිය අගල සහ මාලක තුනක් ලෙසින් තනා ඇති  එහි කොටු පවුර

එසේම එම කැණීම් වලදී ඉවුරේ වූ ගල් බැම්මේ උඩ කොටස මත ගඩොල් අතුරා තිබූ බව හඳුනාගන්නට හැකිවී ඇත. ඒ මත ගමන් කිරීමට හැකිවන ලෙස එලෙස සිව්  දිශාවෙන්ම ගඩොල් අල්ලා තිබූ කොටු බැම්ම මත ඇවිදින කෙනෙකු හට පහලින් පිහිටි ජල උද්‍යානය, දිය අගල සහ අවශේෂ උද්‍යාන වල මනා දර්ශනයක් දැක ගැනීමට හැකි වන්නට ඇත. එසේම මෙහි බටහිර ඉවුරේ දිය අගල දෙසට බැසීමට හැකිවන පරිදි වූ පඩි පේලියක අවශේෂද දැක ගැනීමට හැකිවී ඇත. ගිම්හාන මාළිගයේ මුදුනේ කල කැණීම් වලින් ලී කණු සිටුවීම සඳහා තැනුණ ඉහත බෙල්ගේ වාර්තාවේද සඳහන් වන ගඩොලින් කල කණු වළවල් මෙන්ම වළං කැබලිති, උළු සහ ගඩොල් කැබලි විශාල වශයෙන් හමුවී ඇති අතර ඊට අමතරව කාසි, පබළු සහ විශේෂ පිඟන් කැබැලි කිහිපයක්ද හමුවී ඇත.

ස්වභාවිකව පිහිටි ගල් තලාවට එපිටින් ශීත මාළිගා ගොඩැල්ල (බෙල් හඳුනාගත් ලෙසට නම් දූපත) මත තිබූ පැරණි ගොඩනැගිල්ලේ පදනමේ අවශේෂ දැකගත හැක

සිගිරියේ බොහෝතැන් වල දැකගත හැකි පරිදි සමමිතික බව ඇතිව ඉදි කර ඇති මෙම ශීත මාළිගා නැතහොත් ගිම්හාන මාළිගා ලෙසින් අප වර්තමානයේ හඳුන්වන ස්ථාන හතරින් බොහෝදුරට කැණීම් මගින් කරුණු අනාවරනය වී ඇති ගිම්හාන මාළිග දෙක ස්වභාවිකව පිහිටි පර්වත දෙකක් කේන්ද්‍ර කරගනිමින් ඒ වටා ගල් බැමි ඉදිකර අවශ්‍ය තැන් පස් වලින් පුරවා මුදුන සමතලා කරමින් තැනූ වේදිකාවක් මත ඉදිකර ඇත. ඒ අතරින් මේ සමග ඇති වීඩියෝවේ දැකිය හැකි ඉහත විස්තර කල ශීත මාලිගය  (සිතියමේ  A) ඒ වටා යන දිය අගලක් සහිතව එයට ඇතුලතින් පිහිටි කොටු පවුර මාලක තුනක් ලෙසට සිව් දිශාවෙන්ම ඉදිකර නිමවා ඇත.

එහි දකුණු දෙසින් පිහිටි ස්වභාවික ගල් තලාව මතින් බිත්ති යොදා ආවරනය කල පිවිසුමක් හරහා එහි ප්‍රවේශය තිබී ඇත. ඇතැම් විට එහි බටහිර දෙසින් දිය අගලට බැසීමට හැකි ලෙසට පඩි පෙලක් හඳුනාගෙන ඇති බැවින් දිය අගල මතින් වූ පාලමක් හරහාද එයට ප්‍රවේශ වීමට හැකි ලෙස තිබෙන්නට ඇත. ඒ මත වූ ප්‍රධාන ගොඩනැගිල්ල දැව කණු යොදා ඒ මත උළු සෙවිලි කල වහලයක් සහිතව ඉදිකර තිබී ඇත. වටා වූ දිය අගල සහ පහත පිහිටි උද්‍යානය හරහා හමා එන සුළග මගින් වියලි කලාපීය දේශගුණයක් සහිත මෙම ප්‍රදේශයේ උස් ස්ථානයක වූ මෙම ගොඩනැගිල්ල තුල සිහිල් පරිසරයක් ඇති කලා විය හැක. 
සීගිරිය ජල උද්‍යානයේ සිට දැකගත හැකි ශීත මාළිගයේ දිය අගල සහ කොටු බැම්ම

මූලාශ්‍ර 

  • On the Ruins of Sîgiri in Ceylon IN The Journal of the Royal Asiatic Society of Great Britain and Ireland , Jan.,1876, New Series, Vol. 8, No. 1 (Jan., 1876), pp. 53-61, T. H. Blakesley
  • සීගිරිය එහි සුප්‍රකට සිතුවම්, රජ උයන හා අනෙකුත් නගරාංග, මහාචාර්ය සෙනරත් දිසානායක, 2011
  • Archaeological survey of Ceylon, North Central And Central Provinces, Annual Report, 1899, Bell, H.C.P. 1904
  • UNESCO -SRI LANKA PROJECT OF THE CULTURAL TRANGLE, SIGIRIYA PROJECT, Second Archaeological Excavation and Research Report ( October - December 1982 ), Senake Bandaranayake, 1988
  • UNESCO -SRI LANKA PROJECT OF THE CULTURAL TRANGLE, SIGIRIYA PROJECT, Third Archaeological Excavation and Research Report ( January - June 1983 ), Senake Bandaranayake, 1989
  • සංස්කෘතික ත්‍රිකෝණයේ යුනේස්කෝ ශ්‍රී ලංකා ව්‍යාපෘතිය, සීගිරිය ව්‍යාපෘතිය, සීගිරියේ සිව්වන පුරා විද්‍යාත්මක කැණීම් ( 1983 ජූලි - දෙසැම්බර් ) , සේනක බණ්ඩාරනායක, 1993
  • Sigiriya, city, palace, gardens, monasteries paintings, Senake Bandaranayake, 2013
  • Sigiriya, Senake Bandaranayake, 1999
  • Magnificent Sigiriya, Prof. Senarath Dissanayaka, 2013
  • Archaeological Guide to Sigiriya, Raja de Silva, 2004
  • Sigiriya, R. H. De Silva, 1976


4 comments:

  1. Thanks Bushana. Probably the best article I've ever read on Sigiriya.

    But, you missed Ravana's space control station covered by Bell's concrete.

    Seriously, now I think Ravanamaniacs got the idea from Clarke's SF.
    https://en.m.wikipedia.org/wiki/The_Fountains_of_Paradise

    Pra Jay

    ReplyDelete
  2. නරඹා ඇතත් මෙහි කියවෙන බොහෝ දෙය
    යළි යමු කියයි හිත කියවන විට ලිපිය
    එතරම් කරුණු ගොඩකින් මෙය පෝෂිතය
    Bushana පිස්සු හදවන්නට දෙවියෙක්ය!

    ReplyDelete