Sunday, June 14, 2026

රැස්වෙහෙර|| සැස්සේරුව


 අනුරාධපුර-කුරුණෑගල දිශා මායිම ලෙස පිහිටි සැස්සේරුව කන්දේ මහ කන්ද සහ කුඩා කන්ද ලෙසින් හැදින්වෙන කදු දෙක අතර පිහිටි කපොල්ලක් සහිත තරමක තැනි බිමේ, කුරුණෑගල දිස්ත්රික්කයේ හිරියාල හත් පත්තුවට අයත් සැස්සේරුව, නෑගම්පහ ග්‍රාමයේ මෙම විහාරය පිහිටා ඇත. මෙම ස්ථානයේ පිහිටි ප්‍රධානම පූජනීය ස්මාරකය වන්නේ පර්වත බිත්තියක් මත හාරන ලද කවාටය තුල මතු කර පෙන්වා ඇති අඩි 39 යි අගල් 3 ක් පමණ උස බුදු පිළිමයයි. ආශිර්වාද මුද්‍රාව සහිතව නෙලා ඇති මෙහි අසම්පූර්ණ කර්ණය, නිර්මාණ කටයුතු අවසන් නොකල ශෛලමය ප්‍රතිමා ආසනය  සහ මුහුණේ හැඩය අනුව වැඩ අවසන් නොකල බවක් දිස්වෙයි. පර්වතයේ කපා ඇති තව් සහ ඉදිරිපස ඉතිරි වී ඇති ගල් කණු අනුව පිළිමයට ආවරනයක් ලෙස වහලයක් සහිත පිළිම ගෙයක් තිබූ බව පෙනේ. 

මෙම පිළිමයට අමතරව මෙම ස්ථානයේ තැනින් තැන වෙනත් ගොඩනැගිලි අවශේෂ දැකිය හැක. පෝය ගෙය ලෙස සැලකෙන ගොඩනැගිල්ලක ගල්කණු, සක්ක ගල් එක මත එක අතුරා බෝධිය වටා තනා ඇති පැරණි බෝධිඝරයක්  සහ දැනට සම්පූර්ණයෙන් ප්‍රතිසංස්කරණය කර ඇති පැරණි ස්තූපය මේ අතර ප්‍රධාන වේ. ස්තූපය වටා සිරිපතුල් ගල් 12 ක් දක්නට ඇත. ස්තූපයේ දකුණු දොරටුවේ වූ පියගැටයක ගෙවී ගිය සෙල්ලිපියක් සහ දොරටුව අසලම මාලකයේ පුවරු ලිපියක්ද දැකිය හැක. මෙයට අමතරව පසු කාලීන යුගයට අයත් ලෙන් විහාර දෙකක්ද මෙහි දැකිය හැකි අතර එම ලෙන් විහාර වල පෙර යුගයට අයත් කටාරම් සහ සෙල්ලිපි හමුවන මුත්, ඒ තුල ඇති බිතු සිතුවම්, ප්‍රතිමා සහ මකර තොරණ ආදිය මහනුවර හෝ ඒ ආසන්න යුගයකට අයත් බව පෙනේ. 

එල්ලාවල මේධානන්ද හිමියන්ට අනුව මෙම විහාර භූමියේ සහ අසල කන්දේ ගල් ලෙන් 80 ක් පමණ තිබෙන අතර ඒ අතරින් සමහරක් කටාරම් කොටා සෙල්ලිපි පිහිටුවා ඇත. පොදු වර්ෂ පූර්ව 2 වන සියවසේ සිට 10 වන සියවස පමණ දක්වා මෙහි ලෙන් ලිපි, ගිරි ලිපි සහ පුවරු ලිපි හමුවී ඇති අතර ඒ අතරින් ලෙන් පූජා කල බවට වූ ලිපි 29 ක් මේ දක්වා වාර්තා කර ඇත. එම ලිපි අනුව පරුමකවරුන් 12 දෙනෙක්ද, බත තනතුරුධාරීන් 7 දෙනෙක්ද, ගමික වරුන් 4 දෙනෙක්ද, බමණ නමින් දෙදෙනෙක්ද, උපශක සහ උපශික නමින් තුන්දෙනා බැගින්ද, නට (නලුවන්) 6 දෙනෙක්ද මෙහි ලෙන් පුදා ඇත. මීන නම් ඇමතියෙකු සහ පදුම නම් සෙන්පතියෙකුගේ පුත්‍රයෙක් ගැන සදහන් වන ලිපියක්ද වේ. පුරකමත (නගර කර්මාන්ත පාලක) සහ ශොබිකනගකමින  (නගර ශෝභිනීන්ගේ නායිකා ?) නම් වූ විශේෂ තනතුරු දෙකක් පිළිබදවද මෙහි ඇතිසෙල්ලිපි වල සදහන් වේ. එක් ලෙන් ලිපියක සදහන් වන දෙවනපිය ගමිණි අබය මහ රජු, වලගම්බා රජු විය හැක. එල්ලාවල මේධානන්ද හිමියන් අනුමාන කරන්නේ වලගම්බා රජු අනුරාධපුර නගරයේ සිට පලායාමේදී සැගවුන වෙස්සගිරි වනය මෙම පැරණි අනුරාධපුර සිට මලය රට දක්වා වැටී ඇති මාර්ගය අසල ඉන් ඔබ්බෙහි පිහිටා ඇති සස්සේරුව කදු ප්‍රදේශය විය හැකි බවයි. ඓතිහාසික ලේඛන වල මුල් වරට රැස්වෙහෙර යන නම හමුවන්නේ සිංහල බෝධි වංශයේ පිටපත්වලය. ඒ අනුව බොහෝවිට එම නාමය කුරුණෑගල යුගයේ සිට හෝ ඉන්පසු යුගයේ සිට මෙම ස්ථානයට භාවිතා වූවා විය හැක. 



No comments:

Post a Comment