Sunday, July 9, 2023

වසර දහසක් නම වෙනස් නොවූ රණැ ග්‍රාමය සහ දෙමෙට්වල පිරිවෙන පිහිටි නා කැලේ කන්ද


මහනුවර - යාපනය A9 පාරේ දඹුල්ල පසු කර මඩාටුගම මංසන්ධියට පැමිණ එතැන් සිට ආඬියාගල දක්වා විහිදුනු මාර්ගයේ කිලෝමීටර් කිහිපයක් පැමිණි විට රණව ග්‍රාමය හමුවේ. එහි රණව දෙව්රද රනරද රජමහා විහාරය නමින් හැඳින්වෙන විහාරස්ථානය ඉදිරිපිට මාර්ගයේ හරි මැද පිහිටි කුඩා බිම් කොටසක් දෙපසින් මාර්ගය දෙකට බෙදෙමින් තනා ඇති බවක් එක්වරම මාර්ගයේ ගමන් කරන බොහෝදෙනෙක් නොදකී. එම කුඩා බිම් කඩ මැද පිහිටි අටපට්ටම් හැඩැති ගල් කණුවක මීට වසර දහසකටත් පෙර මෙම ප්‍රදේශය හැඳින්වූ නම සටහන් වී ඇති බවත්, ඒ නාමය වසර දහසකට පසුවත් එලෙසින්ම අදද භාවිතයේ ඇති බවත් ගම් වැසියන් බොහෝදෙනෙක් වුවද නොදන්නවා විය හැක. ප්‍රදේශවාසියෙකු පැවසූ පරිදි අවස්ථා කිහිපයකදීම රාත්‍රී කාලයේදි බීමතින් රිය පදවන්නන් මෙම ගල් ටැඹ හෝ ඒ වටා ඇති ආරක්ෂිත වැටේ ගැටී අනතුරු සිදුවී ඇත. එසේම ඔහුට අනුව අකුරු සහිත මෙම ගල් ටැඹේ ලියා ඇති දේ නොදන්නා පිරිස් කිහිපවරක්ම පැමිණ එය උගුලා නිධන් සෙවීමටද උත්සාහ කර ඇත.  එම ටැම් ලිපිය සහ එය මාර්ගයේ පිහිටා ඇති ආකාරය දැක ගැනීම සඳහා මේ සමග ඇති වීඩියෝවේ මුල් විනාඩි කිහිපය නරඹන්න >> 

රණව ටැම් ලිපිය, නා කැලේ පිහිටි පබ්බත විහාරයේ නටබුන් සහ රෝස තිරිවාණ කන්ද දැක්වෙන වීඩියෝව [නා ගස් (Mesua ferrea) බහුලව දැකිය හැකි මෙම රණව කන්ද සහ ඒ ආශ්‍රිත ප්‍රදේශය අද ජනප්‍රිය වී ඇත්තේ ජාතික නාමල් උයන ලෙසින්ය] 

H.C.P. බෙල් මහතා1893 වර්ෂය සඳහා වූ සිංහලේ පුරාවිද්‍යා ගවේශන වාර්ෂික වාර්තාවේ (Archaeological survey of Ceylonමඩාටුගම - ආඬියාගල 'පින්පාරේ' රණව නමින් වූ ස්ථානයක පාර මැද පිහිටි, අලංකාර පුන් කලසක් එහි මුදුනේ නෙලා තිබූ, සියළුම පැති වල අකුරු කෙටූ ටැම් ලිපියක් පිළිබඳව සඳහන් කරයි (බෙල් සඳහන් කරන 'අලංකාර පුන් කලස' අද මෙම ටැම් ලිපිය මුදුනේ දක්නට නැත.)  කුඩා අකුරු වලින් ලිපිය කොටා තිබූ හෙයින් සහ එම අකුරුද බෙහෙවින්ම ගෙවී තිබූ නිසා ඔහු එය කියවීමට උත්සහ නොකල බව එහි වැඩිදුරටත් සඳහන් කරන බෙල් එය අභා සලමෙවන් නම් රජෙකුගේ 12 වන රාජ වර්ෂයට අදාල එකක් බවත් බොහෝවිට ඒ පස්වන දප්පුල විය හැකි බවත් පවසයි. ඒ අසල පිහිටි පැරණි කුඩා දාගැබක් අසල වූ කැබලි වූ වෙනත් ටැම් ලිපියක අබා සලමෙවන් සහ ඔහුගේ පියා වූ සිරි සන් බෝ (එනම් දෙවන සේන) ගැන සඳහන් වන බවත්, එමගින් එම අනුමාණය තහවුරු වන බවත් ඔහු වැඩිදුරටත් සඳහන් කරයි.

රණව ටැම් ලිපිය

නැවතත් 1895 වර්ෂය සඳහා වූ එම වාර්තාවේ රණව කන්ද සහ ලිපිය පිළිබඳව කෙටි සටහනක් හමුවේ.  'ලුණු ගල' ලෙසින් හඳුන්වන එම කඳු වැටියේ මැද පිහිටි සුදු පැහැ උද්ගතය (බෙල් ට අනුව හුණුගල් [Limestone] විශේෂයක් නිසා එලෙස දිස්වේ.) නිසා එය දුරදී වුවද හඳුනාගත හැකි බව බෙල් පවසයි. අටපට්ටම් හැඩැති ටැම් ලිපියේ පිටපත (?  ස්තූපය අසල වූ කැබලි වූ ලිපිය බෙල් මෙහිදි පිටපත ලෙසින් හඳුන්වන්නට ඇත.) පරික්ෂා කල බවද ඔහු එහිදි වැඩිදුරටත් සඳහන් කරයි.

කෙසේ නමුත් මෙම ලිපිය මහාචාර්ය සිරිමල් රණවැල්ල මහතා විසින් 2004 වර්ෂයේදී කියවා පල කර ඇත. අටපට්ටම් හැඩැති කුලුනේ සියළුම පැති වල පේලි 209 ක වචන 240 කට වඩා වැඩි ප්‍රමාණයක් අකුරු 800 කින් පමණ ලියා ඇති මෙම ලිපිය දිග අනුව ගත් කල දෙවැනි වන්නේ බදුල්ල ටැම් ලිපියට පමණක් බව පවසන ඒ මහතා එහි අකුරු 10 වන ශතවර්ෂයේ මුල් අර්ධයට කාල නිර්ණය කල හැකි බව පවසයි. ලිපිය අභා සලමෙවන් නම් රජෙකුගේ 12 වන රාජ වර්ෂයේ පොසොන් මස පුර පස පස් වන දින පිහිටවූ බවට එහි සඳහන් වන අතර, ඔහුගේ පියා සැහැකුල කෙවිලු සුදොනා පරපුරෙන් ආ (Descended from the lineage of King Suddhodana, the banner of the Sakya race) සිරිසඟ්බෝ බවත්, මව සඟා රද්නා බවත් එහි වැඩිදුරටත් සඳහන් වේ. ලිපියේ සඳහන් තීන්දුව ප්‍රකාශයට පත් කරන්නේ උදා මහපාණන් වහන්සේ ලෙසින් එහි සඳහන් වන මහපාවරයාය. මෙම තොරතුරු මත පිහිටා රණවැල්ල මහතා එම අභා සලමෙවන් නම් වූ විරුද නාමයෙන් හැඳින්වෙන රජු සිව්වන දප්පුල (ක්‍රි.ව. 923 - 924) ලෙසට හඳුනාගනී. 

රණව කන්දේ පිහිටි පබ්බත විහාරයට අයත් සංරක්ෂණය කල ස්තූපය

අත්තානි ප්‍රදානයක් වූ මෙම ටැම් ලිපිය පිහිටුවීමේ අරමුණ වූවේ මහමෙව්නා තිසරම් රද්මහ වෙහෙරට අනුබද්ධ, දාරස් (වතුහි) පිහිටි අභයතුරා පෙතැ දෙමෙට්වල පිරිවෙනට අයත්, පැලැන්බිම්හි රණැ [ග්‍රාමයේ] දොළොස් පයලක් වූ ඉඩම් සඳහා යම් යම් මුක්තීන් ප්‍රදානය කිරීමයි. මෙකාප්පර් [Commander of the Bodyguards] මුගලන්නා බුදු ගේ නියමයෙන් ආ සිවිපිළිගම ගොවය සහ ගිරිස දාපුළ්,  කිලිඟ් කිත් දෙටු නියමයෙන් ආ නාවුනිදෙට් කිලිඟ් සමන සහ ආරක්සමණන්වර [Chief Guardian] වන මහලේ අග්බෝ නියමයෙන් ආ කුඩසලා දෙට් යන අය පොදුවේ උදා මහපාණන් වහන්සේ [සිව්වන දප්පුලට පසුව තුන්වන උදය ලෙසින් රාජ්‍යත්වයට පත් වන්නේ මෙම උදා මහපාණන්ය] වදාළැ හෙයින් මෙම අත්තානි කණු හින්ඳවන්නට ආ බව ලිපියේ පැවසේ. 

ලිපියෙන් පිරිණැමූ මුක්තීන් වන්නේ 

  • පෙරෙනාට්ටු නිලධාරීන්, මදිව, පෙදිව සහ මෙලාත්ති බදු එකතුකරන්නන්, රට්ලදු [Governors of Districts], පස්ලදු [Governors of Provinces], දෙරුවන [Officials of the Two Treasuries], දෙකම්තැන් [Two Secretariats] සහ රද්කොල්කැමියන් [Officials attached to the royal household] මෙම බිමට ඇතුළු නොවිය යුතුය. 
  • ගැල්, ගොන්, මීවුන්, කිරි ගෙරි සහ වැරියන් [Carts, oxen, buffaloes, milch-cows and domesticated elephants] එම බිම් තුළට නොගත යුතුය.
  • පිටතදී මිනී කොටා [මිනී මරා] ගම් වදින්නන් ගම තුලදී අත් අඩංගුවට නොගත යුතුය.
  • තලන්, මීවන් [Trees such as Palmyra-palms and මී] ආදී පල රුක් නොකැපිය යුතුය.
  • ගම තුළ සිට තුඩිය, සොළිය ආදී බෙර නොගැසිය යුතුය. බලත් රැහැණ් [Military whips] නොගැසිය යුතුය.
  • මෙම නියෝග කඩකර ගම තුලට එන්නන් කෙත් සහ උයන් කැමියන් [Park keepers and the keepers of farms] විසින් අත් අඩංගුවට ගෙන නීතිය ක්‍රියාත්මක කල යුතුය.
මෙම නියෝග කඩකරන්නන් කවුඩු [Crows], බලු, ගම් හූර් [Village-pigs] සහ නිවි තිරිසනුන්  [Beasts of the hell] වී ඉපදෙන අතර ඔවුන් මහවුටියේ එළුවන් මැරීමෙන් කරන අකුසල් ගන්නාහු වන්නාහ.

රණව කන්දේ පිහිටි පබ්බත විහාරයට අයත් කැනීම් සිදුකර මෙතෙක් සංරක්ෂණය නොකල උපෝසථඝරය හෙවත් පොහොය ගෙය

නිසැකවම ලිපියේ රණැ ලෙසින් හැඳින්වෙන්නේ ලිපිය සහ රණව කන්ද පිහිටි මෙම ප්‍රදේශය බවත් එම නාමය අවම වශයෙන් වසර 1100 ඒ ආකාරයෙන්ම භාවිතයේ තිබී ඇති බවත් පැහැදිලිය. ටැම් ලිපියේ සඳහන් රණැ [ග්‍රාමයේ] පිහිටි ඉඩම් පිරිණැමූ අභයතුරා පෙතැ දෙමෙට්වල පිරිවෙන කුමක්ද යන්න ලිපියෙන් හෝ වෙනත් සාධක වලින් ඉඳුරා පැවසීමට නොහැකිමුත්, එය මේ අසල පිහිටි රණව කන්දේ වූ නටබුන් සහිත පැරණි විහාරය විය යුතු බව බොහෝදෙනාගේ අද වනවිට ජනප්‍රිය පිළිගැනීමයි. 

නා ගස් බහුලව හමුවන නිසා පෙර නා කැලේ කන්ද ලෙසින් හැඳින්වූ එම ස්ථානය සම්බන්ධයෙන් සංස්කෘතික අමාත්‍යාංශය මගින් 1972 වර්ෂයේදී පළකල පැරණි ස්මාරක නාමාවලියේ සඳහන් වන්නේ අනුරාධපුර දිස්ත්‍රික්කයේ දකුණු කලාගම් පළාතේ රනාව ග්‍රාමයේ පිහිටි නාකැලේකන්ද මුදුනේ ද්විත්ව වේදිකා ගොඩනැගිලි වල අවශේෂ ඇති බවය. කැකිරාව - දඹුල්ල පාරේ 51 වැනි සැතපුම් කනුව ලගින් හැරී සැතපුම් 4 ක් පමණ ගිය පසු එම ස්ථානයට ලගාවිය හැකි බව එහි වැඩිදුරටත් පැවසේ.

රණව කන්දේ පිහිටි පබ්බත විහාරයට අයත් සංරක්ෂණය කල බෝධිඝරය

අද වන විට ජාතික නාමල් උයන නමින් බොහෝදෙනා දෛනිකව පැමිණෙන සංචාරක ආකර්ශනීය ස්ථානයක් වන  මෙම රණව කන්දේ ද්විත්ව වේදිකා ගොඩනැගිලි එනම් පධානඝර ඇති බවට වෙනත් ප්‍රකාශනයකද සඳහන් වන මුත් මේ වන විට එහි කැනීම් සිදුකර සංරක්ෂණය කර ඇත්තේ ස්තූපයක් සහ බෝධිඝරයක් පමණි. පොහොය ගෙයක් හෙවත් උපෝසථඝරයක් ලෙස හඳුනාගත් ගොඩනැගිල්ලකද කැනීම් සිදු කර ඇත [මේ සමග ඇති වීඩියෝව සහ ඡායාරූප බලන්න]  එම සාධක අනුව නම් මේ ස්ථානයේ තිබිය යුත්තේ පධානඝර සංකීර්ණයක් නොව පබ්බත විහාර ලෙසින් හඳුනාගන්නා සංඝාරාමයකි. පධානඝර පිරිවෙන නැතහොත් ගාමිණී විජේසූරිය මහතා හඳුනාගන්නා ආකාරයට බෞද්ධ භාවනාරාම පිළිබඳව සඳහන් වන කෘති වලද දිවයිනේ ඇති එවන් පධානඝර පිහිටි ස්ථාන අතරට මෙම ස්ථානය ඇතුලත් කර නැත. කෙසේ නමුත් එවන් පධානඝර මෙම ස්ථානයේ පබ්බත විහාරයේ නටබුන් වලට ආසන්නයෙන් හමුවන්නේ නම් සහ ඒවා එකම කාලයකට අයත් නම් එය පධානඝර සංකීර්ණයක් සහ පබ්බත විහාර සංඝාරාමයක් එකට පිහිටි විශේෂ අවස්ථාවක් ලෙස හඳුනාගත හැකි අතර, එම පැරණි සිංහල ගෘහ නිර්මාණ ශිල්පීය ඉදිකිරීම් ද්විත්වය සම්බන්ධයෙන් ඉදිරිපත් වී ඇති ඇතැම් මත නැවත සලකා බැලීමටද සිදුවන්නක් බව පැවසිය යුතුය. 

ඉහත විස්තර ඉදිරිපත් කල සෙල්ලිපිය පාදක කරගනිමින් ජාතික නාමල් උයනේ ඉතිහාසය සම්බන්ධයෙන් ලියැවී ඇති සහ සමාජ මාධ්‍ය වල සංසරණය වන බොහෝ වැරදි ප්‍රකාශ වෙන වෙනම ගෙන පිළිතුරු දීමක් මෙම ලිපියෙන් සිදු කිරීමට බලාපොරොත්තු නොවන මුත් ටැම් ලිපියේ සඳහන් සියළු තොරතුරු ඒ ආකාරයෙන් ඉදිරිපත් කල පසු ඒ සම්බන්ධයෙන් නිවැරදි කුමක්දැයි කියවන ඔබට පැහැදිලි වේ යැයි සිතමි. කෙටියෙන් නමුත් පැවසිය යුත්තේ ජාතික නාමල් උයන යනු මිනී මරා සැඟවීමට වෙන් කර තිබූ ස්ථානයක් නොවන බවය. මෙම අත්තානි ප්‍රදානයේදී පමණක් නොව මෙතෙක් දිවයින පුරා විවිධ ප්‍රදේශ වලින් හමුවී ඇති බොහෝ අත්තානි ප්‍රදානයන් වල එම ප්‍රදානය සිදු කරන බිම් වලට පිටතින් රාජ පුරුෂයන් වැනි නිලධාරීන්ට පැමිණීමට නොහැකි වන ලෙසට මුක්තීන් ප්‍රදානය කර ඇති බවත්, කිසියම් අපරාධයක් කර එම බිම් තුලට පැමිණෙන පුද්ගලයෙකු එම ප්‍රදේශයේ බලය පවරා තිබූ පුද්ගලයන් විසින් ප්‍රදේශයෙන් පිටතට යොමු කල පසු රජුගේ නිලධාරීන්ට කැමැත්තක් කල හැකි බවත්ය ඒවායේ සඳහන් වන්නේ. 

මූලාශ්‍ර
  • පැරණි ස්මාරක නාමාවලිය, සංස්කෘතික අමාත්‍යාංශය 1972
  • Archaeological survey of Ceylon, North-Central And Sabaragamuwa Provinces, Annual Report, 1893, H.C.P. Bell, 1904
  • Archaeological survey of Ceylon, North-Central, Sabaragamuwa, Central and North-Western Provinces, Annual Report, 1895, H.C.P. Bell, 1904
  • Jathika Namal Uyana, Duminda Sanjeewa Balasooriya, Indika Senevirathna, 2018
  • Sigiriya & Beyond To Dambulla, Habarana, Kekirawa, Galewela. 2016
  • පුරාණ ශ්‍රී ලංකාවේ බෞද්ධ භාවනාරාම (පධානඝර) ගාමිණී විජේසූරිය, 2023
  • Archaeological Survey of Ceylon, Inscriptions of Ceylon Vol 5 Part 2 , Sirimal Ranawella, 2004

2 comments:

  1. අතරු කතාවක් තියෙනව ලියනවද
    මී ගස් වැනසුවේ සුද්දන් හිතලමද

    ReplyDelete
  2. එහෙම සුද්දෝ උවමනාවෙන් මී ගස් වනසපු බවක් මම කිසිම පිළිගත හැකි මූලාශ්‍රයක දැකලා නැහැ. ඕක මේ මෑතකදි මුහුණු පොතේ වයිරල් කරපු ප්‍රලාඵයක් කියලයි මගේ විශ්වාසය.

    ReplyDelete